ලෝක මානසික සෞඛ්‍ය දිනය: 'මූලික අවශ්‍යතා හිඟ වුනාම මානසික ආතතියට සහ පීඩනයට පත්වීමට මිනිසුන්ට අමුතුවෙන් වෙන හේතු අවශ්‍ය වෙන්නේ නැහැ'
ශ්‍රී ලංකාවේ වත්මන් තත්වය සහ ආර්ථික අර්බුදය හමුවේ මානසික යහ පැවැත්ම කෙරෙහි වන සමාජ අවධානය අන් කවරදාටත් වඩා ඉහළ යා යුතුව තිබේ.
ලෝක මානසික සෞඛ්‍ය දිනය යනු කුමක්ද?
2013 වසරේ සිට සෑම වසරකම ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) විසින් ලෝක මානසික සෞඛ්‍ය දිනය වෙනුවෙන් ගෝලීය ව්‍යාපාරයක් සංවිධානය කර ඇත.
සෑම වසරකම ඔක්තෝබර් 10 වන දින ලෝක මානසික සෞඛ්‍ය දිනය සමරනු ලබන්නේ ලොව පුරා මානසික සෞඛ්‍යය පිළිබඳ දැනුවත් කිරීම සහ මානසික සෞඛ්‍ය ගැටලු අත්විඳින අයට සහාය වීමට උත්සාහයන් බලමුලු ගැන්වීම සඳහා ය.
මේ පිළිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ "මානසික සෞඛ්‍යයේ බොහෝ අංශ අභියෝගයට ලක්ව තිබෙන අතර, 2019 කොරෝනා වසංගතයට පෙර ගෝලීය වශයෙන් පුද්ගලයන් අට දෙනෙකුගෙන් එක් අයෙකු මානසික ආබාධයකින් පෙළෙන බව වාර්තා වී තිබේ. ඒ අතරම, මානසික සෞඛ්‍යය සඳහා ලබා ගත හැකි සේවාවන්, කුසලතා සහ අරමුදල් හිඟයක් පවතින අතර, විශේෂයෙන් අඩු සහ මධ්‍යම ආදායම් ලබන රටවල් වල අවශ්‍ය ප්‍රමාණයට වඩා බෙහෙවින් පහත් තත්වයක ඇත" යනුවෙනි.
ඒ අනුව මෙවර 2022 ලෝක මානසික සෞඛ්‍ය දිනය සඳහා මානසික සෞඛ්‍යය සඳහා වූ ලෝක සම්මේලනය (WFMH) විසින් "සියලු දෙනාගේ මානසික සෞඛ්‍යය සහ යහපැවැත්ම ගෝලීය ප්‍රමුඛතාවයක් බවට පත් කිරීම" යන තේමාව ප්‍රකාශයට පත් කොට තිබේ.
ශ්‍රී ලංකාවේ තත්ත්වය
ශ්‍රී ලංකා මනෝ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය කපිල රණසිංහ මහතා පැවසුවේ 'මානසික සෞඛ්‍යය දීර්ඝ කාලයක් තිස්සේ ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා පද්ධතිය තුළ තිබු දුර්වල ස්ථානයක් බවත් එය ප්‍රමුඛත්වය ලබා දෙන මාතෘකාවක් වන්නේ කලාතුරකින්' බවත් ය.
එසේම ලෝක මානසික සෞඛ්‍ය දිනය වෙනුවෙන් නිල ප්‍රකාශයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා මනෝ වෛද්‍යවරුන්ගේ සංගමය රටේ සියලුම ජනතාවට මානසික සුවය සහතික කිරීමට මෙන්ම ඕනෑම ආකාරයක ප්‍රචණ්ඩත්වයකින් සහ වාර්ගික වෛරයකින් වැළකීම සඳහා ප්‍රජාවන් අතර දයාව, සහයෝගීතාවය සහ එකමුතුකමේ වැදගත්කම අවධාරණය කරයි.
ලෝක මානසික සෞඛ්‍ය දිනය වෙනුවෙන් නිල ප්‍රකාශයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා මනෝ වෛද්‍යවරුන්ගේ සංගමය
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සහ ගෞරව උපදේශක මනෝචිකිත්සක, වෛද්‍ය පබාසරී ගිනිගේගෙන් ආර්ථික අර්බුදය හමුවේ ශ්‍රී ලාංකිකයින් මුහුණ දෙන මානසික සෞඛ්‍ය අවධානම කෙසේ විය හැකි දැයි අපි කළ විමසීමේදී කියා සිටියේ "මේක ටිකක් අමාරු ප්‍රශ්නයක්, සාමාන්‍ය ශ්‍රී ලාංකිකයෙකුට කියල මේ ප්‍රශ්නේ සාමාන්‍යකරණය කරන්න බැහැ, මොකද එක එක පුද්ගලයට මෙය බලපාන්නේ එක එක විදිහට, ඔහුගේ සමාජ මට්ටම, වයස, ඔහුගේ අධ්‍යාපන මට්ටම, රැකියාවක් කරනවද නැත යන වග වගේ කරුණු ගොඩක් මත මේ තත්වය බලපාන්නේ වෙනස් විදිහට"
"විශේෂයෙන් දරිද්‍රතා රේඛාවට ආසන්නයෙන් ඉන්න පුද්ගලයින්ට තමයි මේ ආර්ථික අර්බුදය වැඩියෙන්ම බලපාන්නේ. හේතුව, ආර්ථික අර්බුදයක දී දුප්පතුන් සහ පොහොසතුන් අතර පරතරය පුළුල් වෙනවා. එවැනි අවස්ථාවක දී මූලික අවශ්‍යතා හිඟ වුනාම මානසික ආතතියට සහ පීඩනයට පත්වීමට මිනිසුන්ට අමුතුවෙන් වෙන හේතු අවශ්‍ය වෙන්නේ නැහැ." යනුවෙනි.
නවක වදය සහ මානසික සෞඛ්‍ය
විශේෂයන්ම පසුගිය කාලය පුරා විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් නවක වදය තත්ත්වයන්ගේ ගොදුරු බවට පත්වීම, විශාද තත්ත්වයන්ට ගොදුරු වීම සහ සිය දිවි හානි කරගැනීම සම්බන්ධව දිගින් දිගටමවාර්තාවූ සිද්ධීන් හේතු කොට ගෙන ඒ සම්බන්ධයෙන් සමාජයේ විශාල කතා බහක් ඇතිව තිබුණි.
කෙසේ වෙතත් මේ සම්බන්ධව විධිමත් දත්ත සහ සාක්ෂි සහිත අධ්‍යනයක අවශ්‍යතාවය දැඩිව මතුව තිබෙන පසුබිමක නවක වදය විශේෂයෙන්ම ආර්ථික අර්බුදයේ අභියෝගයන්ට මුහුණ දෙමින් සිටින විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ගේ මානසික සෞඛ්‍යයට ඇති කරන බලපෑම පිළිබඳවද ඇයගෙන් අපි විමසීමක් කළෙමු.
"විශ්වවිද්‍යාල සිසුන් ගැන මා වඩාත් නිශ්චිතව කියනවානම්, නවකවදය ඉතා වැරදියි. විශේෂයෙන් සමහර රාජ්‍ය විශ්වවිද්‍යාල වල නවකවදය කියන අංගය තියෙනවා, තව මනුස්සයෙක්ව තාඩනයට පීඩනයට ලක් කිරීම අමානුෂිකයි වගේම මානව හිමිකම් උල්ලංඝණය කිරීමක්. රටේ තියෙන ආර්ථික ප්‍රශ්න වලින් බැටකාල. විභාග කල් ගිහින්, සෑහෙන්න පීඩනයක් එක්ක විභාග ජයගෙන රාජ්‍ය විශ්වවිද්‍යාලයකට තේරුණාට පස්සේ විශ්වවිද්‍යාලයේ උප සංස්කෘතිය කියා දෙනවා යන මුලාවෙන් සිසුන් යම්කිසි සිසුන්ගේ තාඩන පීඩන වලට ලක්වෙනවා නම් එය ඉතා වැරදියි. 2022 වගේ වර්ෂයක මිනිස්සුන්ගේ සිතුවිලි එක්ක වගේම කිසිම ආකාරයක වෙනස් කිරීමක් නොමැතිව මිනිසුන් අනේකාව රැකබලාගන්නා කාලෙක මේ නවක වදය නැමති අමු ගව ගෝත්‍රිකත්වය භාවිතා කරන එක ඉතා වැරදියි." යනුවෙනි.
වැඩි දුරටත් ඇය "නවක වදය විවිධ මුහුණුවරවල් වලින් දකින්නට පුළුවන්. මම දකින විදිහට රජයක් විසින් මුළු රටකටම නවක වදයට පාත්‍ර වෙන්න සිද්ධ කරපු රටක් මේක, වසර 70 ගණනක් තිස්සේ ප්‍රධාන දේශපාලන ප්‍රවාහ විසින් රටක ජනතාව අන්දපු රටක ඉන්න අපි, මේ නවකවදයෙන් සිසුන් කෙරෙහි ඇතිවන බලපෑම ගැන කියද්දී, සමහර සිසුන්ට මෙය දරාගැනීමට පුළුවන් උනත්, දුර්වල වටපිටාවන් වලින් එන සිසුන්ට මේවා දරාගන්නට අමාරුයි. අනෙක යමක් කමක් තියෙන පවුල් වල සිසුන්ට වඩා මධ්‍යම පාන්තික සිසුන් සහ දුර පළාත්වලින් එන සිසුන් තමයි මේවාට ගොදුරු වෙන්නේ. විශ්වවිද්‍යාලයේ උප සංස්කෘතිය කියා දෙන්නට ශාරීරික හෝ මානසික වදහිංසා දීමට අවශ්‍ය නැහැ. තව දෙයක් පැහැදිලි කරන්න අවශ්‍යයි, මෙවැනි නවක වදය සිදුවන්නේ ජ්‍යෙෂ්ඨ සිසු සිසුවියන් ගෙන් පමණක් නොව,ආචාර්ය මණ්ඩලයෙනුත් මෙවැනි දේවල් සිදුවෙනවා කියන කරුණ මම අවධාරණය කළ යුතුමයි." යැයි පැවසුවාය.
විශාදය සහ සිය දිවිහානි කරගැනීම
ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව සියදිවි හානි කර ගැනීම හේතුවෙන් වසරකට 700 000 කට වැඩි පිරිසක් මිය යති. සෑම සියදිවි හානි කර ගැනීමක් සඳහාම සියදිවි හානි කර ගැනීමට උත්සාහ කරන තවත් බොහෝ දෙනෙක් සිටිති. වයස අවුරුදු 15-29 අතර තරුණ තරුණියන්ගේ මරණ සඳහා සිව්වන ප්‍රධානතම හේතුව සියදිවි නසා ගැනීමයි. ගෝලීය සියදිවි නසාගැනීම් වලින් 77% ක් අඩු සහ මධ්‍යම ආදායම් ලබන රටවල සිදු වේ. සෑම සියදිවි නසා ගැනීමක්ම පවුල්, ප්‍රජාවන් සහ සමස්ත රටවලට බලපාන ඛේදවාචකයක් වන අතර ඉතිරි වූ පුද්ගලයින්ට දිගුකාලීන බලපෑම් ඇති කරයි.
ලෝක බැංකු දත්ත වලට අනුව 2019 වර්ෂය වන විට ශ්‍රී ලංකාවේ සිය දිවි හානි කරගැනීමේ සංඛ්‍යාව දකුණු ආසියාවේ ඉහලම අගය වන බව කැපී පෙනෙන කරුණකි.
විශේෂයෙන් සියදිවි නසාගැනීම් සහ මානසික ආබාධ, මානසික අවපීඩනය සහ මත්පැන් භාවිතය අතර සම්බන්ධය ඉහළ ආදායම් ලබන රටවල හොඳින් තහවුරු වී ඇති අතර, බොහෝ සියදිවි නසාගැනීම් අර්බුදකාරී අවස්ථාවන්හිදී ආවේගශීලීව සිදු වන්නේ මූල්‍ය ගැටලු, සබඳතා වැනි ජීවන ආතතිය සමඟ කටයුතු කිරීමේ හැකියාව බිඳ වැටීමෙනි.
ඊට අමතරව, ගැටුම්, ව්‍යසන, ප්‍රචණ්ඩත්වය, අපයෝජනය හෝ අලාභ අත්විඳීම සහ හුදකලා වීමේ හැඟීම සියදිවි නසාගැනීමේ හැසිරීම් සමඟ දැඩි ලෙස සම්බන්ධ වේ. සරණාගතයින් සහ සංක්‍රමණිකයන් වැනි වෙනස්කම්වලට ලක්වන අවදානමට ලක්විය හැකි කණ්ඩායම් අතරද සියදිවි නසාගැනීම් සංඛ්‍යාව ඉහළ ය; ආදිවාසී ජනතාව, සමලිංගික, ද්වීලිංගික, සංක්‍රාන්ති ලිංගික, අන්තර් ලිංගික (LGBTI) පුද්ගලයින්; සහ සිරකරුවන්. සියදිවි නසාගැනීමේ ප්‍රබලම අවදානම් සාධකය වන්නේ පෙර සියදිවි නසාගැනීමේ උත්සාහය බව ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙයි.
එසේම මේ සියලු කාණ්ඩ වලට විශේෂයෙන්ම බලපාන්නේ විශාදය බවත් එසේම විශාදය යනු මානසික රෝග වල උච්චතම අවස්තාව බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය පවසා ඇත.
එසේම විශාදය ලොව පුරා පොදු රෝගයක් වන අතර, ලෝකයේ ඇස්තමේන්තුගත ජනගහනයෙන් 3.8% ක් පීඩාවට පත්ව ඇත. එයින් වැඩිහිටියන් අතර 5.0% ක් සහ වයස අවුරුදු 60 ට වැඩි වැඩිහිටියන් සංඛ්‍යාව 5.7%කි. ලෝක ජනගහනයෙන් මිලියන 280 ක් පමණ විශාදයෙන් පෙළෙති. එය බලපෑමට ලක් වූ පුද්ගලයාට බොහෝ දුක් විඳීමට සහ රැකියාවේදී, පාසැලේදී සහ පවුල තුළ දුර්වල ලෙස ක්‍රියා කිරීමට හේතු විය හැක. නරකම අවස්ථාවක, මානසික අවපීඩනය සියදිවි නසා ගැනීමට හේතු විය හැක.
මානසික රෝග සඳහා දන්නා, ඵලදායී ප්‍රතිකාර ඇතත්, අඩු සහ මධ්‍යම ආදායම් ලබන රටවල පුද්ගලයින්ගෙන් 75%කට වැඩි පිරිසකට ප්‍රතිකාරයක් නොලැබේ. ඵලදායී සත්කාර සඳහා ඇති බාධක අතර සම්පත් හිඟකම, පුහුණු සෞඛ්‍ය සේවා සපයන්නන් නොමැතිකම සහ මානසික ආබාධ හා සම්බන්ධ සමාජ අපකීර්තිය ඇතුළත් වේ. සියලුම ආදායම් මට්ටම් ඇති රටවල, මානසික අවපීඩනය අත්විඳින පුද්ගලයින් බොහෝ විට නිවැරදිව හඳුනා නොගන්නා අතර, ආබාධය නොමැති අය බොහෝ විට වැරදි ලෙස හඳුනාගෙන විශාද නාශක නියම කරනු ලැබේ.
ශ්‍රී ලංකාවේ 2019 වර්ෂය වන විට සෑම 100,000 දෙනෙක්ට 14 දෙනෙක් වාර්ෂිකව සියදිවි හානි කරගන්නා බව ලෝක බැංකු දත්ත පෙන්වා දෙයි. එය පිරිමි පුද්ගලයින්ගෙන් සෑම 100,000 දෙනෙක්ට 22.3කුත් ස්ත්‍රීන්ගෙන් සෑම 100,000 දෙනෙක්ට 6.2කුත් ලෙස දත්ත වල සටහන්ව ඇත.
සියදිවි නසා ගැනීම වැළැක්වීම සඳහා බොහෝ දේ කළ හැකිය. ලෝක සෞඛ්‍ය සංවිධානයේ සජීවී ජීවන ප්‍රවේශය විසින් පහත කරුණු හතරක් ඒ සඳහා නිර්දේශ කර තිබේ.
- සියදිවි නසාගැනීමේ මාධ්‍ය වෙත ප්‍රවේශය සීමා කිරීම
- සියදිවි නසාගැනීම් පිළිබඳව ඇති පුවත් වගකීමෙන් යුතුව වාර්තා කිරීම
- නව යොවුන් වියේ දී සමාජ චිත්තවේගීය ජීවන කුසලතා පෝෂණය කිරීම
- සියදිවි නසාගැනීමේ හැසිරීම් වලින් පීඩාවට පත් වූ ඕනෑම අයෙකු කල්තියා හඳුනා ගැනීම, තක්සේරු කිරීම, කළමනාකරණය කිරීම සහ පසු විපරම් කිරීම ඒ අතර වේ.
සහාය අවශ්‍ය ඔබට උපකාරක සේවා
අර්බුදකාරී අවස්ථාවන්හිදී හෝ මානසික සෞඛ්‍ය ගැටලුවක් සම්බන්ධයෙන් හදිසි ආධාර අවශ්‍ය නම් මහජනතාවට ජාතික මානසික සෞඛ්‍ය ආයතනයේ ක්ෂණික ඇමතුම් අංකය (1926) ඇමතීමට හැකිය.
ජාතික සෞඛ්‍ය සේවා පද්ධතිය හරහා සපයනු ලබන මනෝචිකිත්සක සේවාවන්, මානසික රෝග සහ ඒවාට ප්‍රතිකාර කිරීම පිළිබඳ සාක්ෂි පදනම් කරගත් තොරතුරු සඳහා මහජනතාවට slcpsych.lk වෙබ් අඩවියට පිවිසිය හැකිය.
ශ්‍රී ලංකාවේ මානසික සෞඛ්‍ය පිළිබඳ විශාලතම රෝහල -ජාතික මානසික සෞඛ්‍ය ආයතනය, ශ්‍රී ලංකාව
(ඔක්තෝම්බර් 10 ලෝක මානසික සෞඛ්‍ය දිනය නිමිත්තෙන් බීබීසී/සන්දේශය හි පළවූ ලිපියකි)