‘නැහැ’ යනු ‘නැහැ’මයි

‘නැහැ’ යනු ‘නැහැ’මයි

ලිංගික අතවර කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයකුට, ඔස්ට්‍රේලියානු කාන්තාවක විසින් එල්ල කරනු ලැබ ඇති චෝදනාවක් සම්බන්ධයෙන් වන පුවත පළවු දින සිට, පසුගිය දින කිහිපයේදී ඒ සම්බන්ධයෙන් බොහෝ දේ ලියැවී සහ ප්‍රකාශ වී ඇත.

අන්තර්ජාලයේ පැතිර යන විහිළු කතා, අසභ්‍ය විහිළු සහ හාස්‍ය දනවන ප්‍රකාශ අතර, ලිංගික ක්ෂේත්‍රය තුළ කැමැත්ත අවශ්‍ය වන්නේ කුමකට ද යන්න සම්බන්ධයෙන් ශ්‍රී ලාංකිකයන්ට ඉතා නොපැහැදිලි අදහසක් ඇති බව බොහෝ දෙනෙකුට පැහැදිලි වේ. ක්ෂණික උපකල්පනය වන්නේ කාන්තාවක් තම නිවසට පැමිණෙන ලෙස පිරිමියකුට ආරාධනා කළහොත්, ඇය ඔහු සමඟ ලිංගිකව හැසිරීමට කැමැත්ත ලබා දී ඇති බවයි. පැමිණිලිකාරීය ක්‍රිකට් ක්‍රීඩකයා සමඟ සම්බන්ධ වූයේ ටින්ඩර් යන ඩේටින් ඇප් (dating app) හරහා යන කාරණයෙන් පටන් ගනිමින්, එම කරුණ ලිංගිකව හැසිරීමට ඇයට තිබූ චේතනාව පිළිබඳ සාක්ෂියක් ලෙස හුවා දක්වා ඇත.

ඕනෑම ආකාරයක ලිංගික ක්‍රියාකාරකමක් සම්බන්ධයෙන් වන කැමැත්ත, එම හමුවීම අතරතුර ඕනෑම අවස්ථාවක වෙනස් කිරීමේ හැකියාව තිබෙන අතර, සිද්ධිය සිදුවූයේ යැයි කියනු ලබන නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ අධිකරණ බල ප්‍රදේශය තුළ වත්මන් ඔස්ට්‍රේලියානු නීතිය මඟින් මෙය පැහැදිලිව ප්‍රකාශ කර ඇත. බොහෝ ශ්‍රී ලාංකිකයන් – පිරිමින් තරමටම කාන්තාවන් ද – සමාජ මාධ්‍ය හරහා “නර්තනයට දෙදෙනෙක් අවශ්‍යයි” සහ “ඇය ඔහුට තම නිවසට ආරාධනා කළ බැවින් ඇය එය ඉල්ලා සිටියාය” යන කරුණු ඔස්සේ අදහස් පළ කරති. ලිංගික විෂයෙහි අයිතිවාසිකම් සහ වගකීම් පිළිබඳව අපේ සංස්කෘතිය තුළ සාමාන්‍යකරණය වී ඇති නොදැනුවත්කම මෙවැනි ප්‍රතිචාර වලින් ඉස්මතු වේ.

ලිංගික ක්‍රියාවකදී පවා කැමැත්ත වෙනස් කිරීමේ අදහස බොහෝ ශ්‍රී ලාංකිකයන්ට ආගන්තුක බව සමාජ මාධ්‍ය ඔස්සේ ඉදිරිපත් කෙරෙන තර්කවලින් සනාථ වේ. සදාචාරය සහ ලිංගික අපගමනතාවය අතර බෙදුම් රේඛා ඉතා කරදරකාරී ආකාරයෙන් නොපැහැදිලි වන අතර, එහිදී කාන්තාවක් තම නිවසට පැමිණෙන ලෙසට පිරිමියකුට ආරාධනා කළහොත් දූෂණයට ලක්වීම බොහෝ දුරට අපේක්ෂා කරන හෝ පිළිගත හැකි යැයි සලකනු ලබන අතර සංස්කෘතික ද්විත්ව ප්‍රමිතියක් මඟින් යමකු සමඟ ලිංගිකව හැසිරීමට ඇති ආශාව නිසා ඇයව ඉවසුම් නැති හෝ අශීලාචාර ලෙස නිරූපණය කරයි.

ලිංගිකව එක්වීමේ අදහසින් තමාට කාන්තාවක් ඇගේ නිවසට පැමිණෙන ආරාධනා කළ ද හාදුවක්වත් නොලැබ ඔවුන් කිසිදු ආකාරයක ලිංගික ක්‍රියාකාරකමකින් තොරව එක්ව රාත්‍රිය ගත කළ අවස්ථා ඇති බව මෑතකදී මිතුරෙක් පැවසීය. මෙය සම්පූර්ණයෙන්ම පිළිගත යුතු දෙයකි. යම් අවස්ථාවක දී ලිංගිකව හැසිරීමේ චේතනාව තිබුණ ද, ඕනෑම කෙනකුට එම කැමැත්ත වෙනස් කිරීමේ නිදහස ඇති අතර, ඔවුන්ට පහසු නොවන ක්‍රියාවක් කිරීමට කිසිදූ බැඳීමක් නොමැත. මෙය කාන්තාවන්ට පමණක් නොව ඕනෑම පුද්ගලයකුට අදාළ වේ.

කැමැත්තෙහි ඇතැම් කොටස්/අංශ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ නීති ඉතා පැහැදිලිය. එම කොටස්/අංශ නොමැති ලිංගික ක්‍රියාවක්, දූෂණයක් ලෙස සැලකේ. බලහත්කාරයෙන්, තැති ගැන්වීමෙන් සහ තර්ජනයෙන් බිය ගැන්වීමෙන් ලබා ගන්නා කැමැත්ත ලිංගික සංසර්ගය සඳහා වන කැමැත්ත ලෙස නොසැලකේ. තවද, සිහිකල්පනාව නොමැති වීම හෝ බීමත්ව සිටීම ඇතුළුව හොඳ සිහියක් නොමැති පුද්ගලයෙකුට නීතිය අනුව ලිංගික සංසර්ගයේ යෙදීම සඳහා කැමැත්ත ලබා දිය නොහැක. කැමැත්ත වෙනස් කිරීම කල හැක්කේ කුමන අවස්ථාවේදී ද යන්න පැහැදිලිව ප්‍රකාශ නොවුණ ද, මෙම මාර්ගෝපදේශ සම්පූර්ණයෙන්ම පැහැදිලි ය.

සමාජ මාධ්‍යවල නිදහසේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය භුක්ති විඳින සෑම කෙනකු විසින් ම ස්ත්‍රී පුරුෂභාවයේ අයිතීන්, ලිංගික හිංසනය, ඔස්ට්‍රේලියාවේ සහ ශ්‍රී ලංකාවේ පිරිමි සහ ගැහැනුන්ගේ තත්ත්වය, වෙනස් ලිංගික නිදහස සහ සියල්ලටම වඩා වැඩිහිටියන් අතර ලිංගික කැමැත්ත සමන්විත වන්නේ කුමකින් ද යන්න පිළිබඳ ව තමන්ගේම විශ්වාසයන් හෙළිදරවු කරන බව පැහැදිලිය.

ඔස්ට්‍රේලියාව මෑත කාලයේ දී, එනම් මේ වසරේ ජූලි මසයේ දී, කැමැත්ත පිළිබඳ සිය නිර්වචන පැහැදිලි කර ඇත. මෙම නව නීති යටතේ, ලිංගික ක්‍රියාකාරකම් සඳහා වන කැමැත්ත ධනාත්මක සහ පැහැදිලි විය යුතු අතර, එක් පාර්ශ්වයක් ‘නැහැ’ නොකියන්නේ යැයි හෝ අකැමැති නොවේ යැයි උපකල්පනය නොකළ යුතුය.

මෙම නඩුවේ විත්තිකරුගේ පුහුණුවීම්, කණ්ඩායම් විනය සහ ජාතික ක්‍රිකට් ක්‍රීඩකයකුට ගැලපෙන අයුරින් හැසිරීම සම්බන්ධයෙන් පසුගිය කාලය තුළ විනය පරීක්ෂණ පැවති බව ද පැවසේ. ඇත්ත වශයෙන්ම, පුද්ගලයකු වරදකරු බව ඔප්පු වන තුරු නිර්දෝෂී වන අතර වර්තමාන තත්ත්වය ඔප්පු කිරීමට අතීතයේ අවස්ථා අත්තනෝමතික ලෙස භාවිත කළ නොහැක. කෙසේ වෙතත්, වසර ගණනක් මුළුල්ලේ ඔහුට දඬුවම් නොදීම සම්බන්ධව කළමනාකාරීත්වයේ මැදිහත් වීම් සහ සහාය වෙමින් බලපෑම් කළ තැනැත්තන් පිළිබඳ බොහෝ විස්තර තිබේ.

මෙය එසේ නම්, ඇතැම් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ජාතික සම්පතක් ලෙස සලකන දක්ෂතා ඇති බැවින් ඔවුන්ගේ නරක හැසිරීම්වලට සමාව දිය යුතු යැයි හැඟෙන ශ්‍රී ලාංකිකයන්ගේ ‘විහිළු මානසිකත්වය’ තවදුරටත් වර්ධනය වේ. මෙය එක්සත් ජනපදයේ බ්‍රොක් ටර්නර් (Brock Turner) තීන්දුව සිහිපත් කරවයි. එම නඩුවේ දි කාන්තාවක් දූෂණය කළ තරුණයකුට විනිසුරුවරයා විසින් ඔහුගේ පිහිනුම් වෘත්තිය ඉදිරියට ගෙන යාමට හැකි වීම සඳහා සුළු දඬුවමක් ලබා දුන් අතර එවැනි අවස්ථා මඟින් පුද්ගලයකුට ආරක්ෂා කළ යුතු දක්ෂතාවයක් තිබේය යන පදනම මත ලිංගික අඩන්තේට්ටම් වැනි දරුණු අපරාධයකට සමාව දීමට කැමති සමාජයක සදාචාරාත්මක සීමාව සැබැවින්ම ප්‍රශ්න කරයි.

ඔහුගේ අතීත ක්‍රියා නොසලකා හැරීම හෝ නිදහසට කරුණු දැක්වීම මඟින් චූදිතයා විදේශ රටක් තුළ ශ්‍රී ලංකාවේ හැසිරෙන ආකාරයටම හැසිරීමට, සංස්කෘතික සම්මත සහ සාරධර්මවල වෙනස්කම් අගය නොකිරීමට හෝ ඒවායින් තමාට බලපෑමක් නොවනු ඇතැයි විශ්වාස කිරීමට පෙළඹුනා විය හැක.

මාධ්‍යවල ඉස්මතු කර නොමැති කරුණ වනුයේ, චෝදනා කරන ලද අපරාධකරු ආරක්ෂක උපක්‍රම පැළඳීම ප්‍රතික්ෂේප කිරීමයි. ශ්‍රී ලංකීය සමාජයේ කොටසක් උපත් පාලන කොපු නොපැලඳීම හෝ ගැබ්ගැනීම වළක්වන ක්‍රම භාවිත නොකිරීම පිළිබඳව ආඩම්බර වන අතර, එලෙස භාවිත කළහොත් එය එම අත්දැකීම් තුළ ඔවුන්ගේ සතුටට අහිතකර ලෙස බලපාන්නේ යැයි ඔවුහු සිතති. උපත් පාලන කොපු වැනි උපත් පාලන ක්‍රම ලිංගාශ්‍රිත රෝග සහ ගැබ් ගැනීම් වළක්වන බැවින් මෙය ඉතා ගැටලු සහගත වන අතර එය බරපතල ලෙස ගත යුතු ආරක්ෂක උපක්‍රමයකි. එවැනි දේ කෙරෙහි උඬගු ආකල්පයක් මඟින් ශ්‍රී ලංකාව අවසානාවන්ත ලෙස උසස් කොට සලකන පීතෘ මූලික වරප්‍රසාදය සම්බන්ධයෙන් අයුතු විශ්වාසයක් දක්වයි.

විත්තිකරු ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වී ඔස්ට්‍රේලියානු අත්අඩංගුවේ පසුවන බැවින්, ඔස්ට්‍රේලියානු නීතිය යටතේ නඩුව විමර්ශනය කර තක්සේරු කෙරෙන ක්‍රියාදාම කෙරෙහි ශ්‍රී ලාංකීය ජනතාව දක්වන උනන්දුව මෙම නඩුව පිළිබඳ බොහෝ විස්තර ප්‍රකාශවලින් පෙන්නුම් කෙරේ.

ශ්‍රී ලංකාව තුළ, ලිංගික අතවර, ස්ත්‍රී දූෂණ සහ අපයෝජන ගොදුරු වූ වින්දිතයන් සඳහා යුක්තිය ඉටු කිරීම මන්දගාමී ව, වංචා සහිත ව සහ අසාධාරණ ව සිදු වන ක්‍රියාවලියක් වන අතර, බොහෝ අපරාධකරුවන් ඔවුන්ගේ ක්‍රියා සඳහා කිසි විටෙකත් වගකිව යුතු නොවන අවස්ථා ද ඇත. ශ්‍රී ලංකාවේ ගම්‍යමාන වන පහත් බව සහ දෙවන පන්තියේ පුරවැසිභාවය යන ඔවුන්ගේ යටපත් සහ බල රහිත තත්ත්වය තුළ මෙවැනි සිදුවීම්වලදී පිරිමින්ට චෝදනා කරන කාන්තාවන් පුරුද්දක් ලෙස අවමානයට සහ අවිශ්වාසයට ලක් වේ. එමෙන්ම පුරුෂාධිපත්‍යය සහ අයිතිවාසකම් සහගත බව කවුද කිව්වේ? කුමක්ද කළේ? යන්න පිළිබඳව කරන ලද උපකල්පන තුළින් පැහැදිලි වේ.

ශ්‍රී ලාංකීය කාන්තාවන් මෙන්ම පිරිමින් ද ඉක්මන් තීන්දුවක් ගෙන මෙම නඩුවේ පැමිණිලිකාරීය ටින්ඩර් ඩේටින් ඇප් හරහා චූදිතයා සමඟ සම්බන්ධ වූ බැවින් ඇය සදාචාරාත්මකව පහත් යැයි උපකල්පනය කර ඇති ආකාරය මඟින් ඔවුන් යටත්කර ගෙන ඇති ස්ත්‍රී ද්වේෂි විශ්වාස සහ එම විශ්වාස මගින් ඔවුන් දැන් අන් අයව විනිශ්චය කොට තක්සේරුවට ලක් කරන බව මනාව දක්වයි.

සියලුම සමාජ මාධ්‍ය ව්‍යාකූලත්වය මධ්‍යයේ, විශාල වශයෙන් කතා කෙරෙන අප්‍රියජනක ‘මීම්ස්’ බෙදා ගැනීම ප්‍රතික්ෂේප කරමින්, පොදුවේ කාන්තාවන් වෙනුවෙන් පෙනී සිටින බොහෝ පිරිමින් සිටී. විත්තිකරුගේ වගකීම අඩු කරමින් සහ ගොදුරු වීමට එරෙහිව ඔහුව ආරක්ෂා කර ගැනීමට අවශ්‍ය යැයි කියමින් ‘අපේ කොල්ලා’ යැයි කියමින් විත්තිකරු සමඟ විවෘතව සිට ගන්නා, ස්ත්‍රී දූෂණයට පක්ෂව කතා කරන්නන් කොපමණ ප්‍රමාණයක් සිටින්නේ ද යන්න පිළිබඳව ඔවුන් ලැජ්ජ වන බව එම පිරිමින් ප්‍රසිද්ධියේ කියා ඇත. ඔහු පිරිමි ළමයකු නොව වයස අවුරුදු තිස් ගණන්වල මුල් භාගයේ පසුවන මිනිසෙකි. වැඩිහිටි පිරිමියෙකි.

ඇතැම් ශ්‍රී ලාංකිකයන් සමාජ මාධ්‍ය ඔස්සේ ‘සුදු කුණු’ (white trash) සහ ‘මුදලට ප්‍රේම සම්බන්ධකම් ඇති කරගන්නා ගැහැණියක්’ (gold digger) ලෙස පැමිණිලිකාරී කාන්තාව විස්තර කරන ලද ආකාරය තුළ ශ්‍රී ලංකාවේ ආරක්ෂාව පිණිස පෙනි සිටින පුරවැසියන් විසින් පනවන ලද ජාතිවාදී සහ ලිංගික ඒකාකෘති ද ඉතාමත් පිළිකුල් සහගතව හා කර්කශව ප්‍රකාශ වේ. ඔස්ට්‍රේලියානු කාන්තාවන් සෑම ආකාරයකින්ම වැඩි නිදහසක් භුක්ති විඳින බැවින් සහ සාපේක්ෂව යටපත් වූ ශ්‍රී ලංකාවේ කාන්තාවන්ට වඩා ඔවුන් කෙරෙහි මෙම අයිතීන් අඩු නින්දාවකින් හා විරෝධයකින් භාවිත වන බැවින් ශ්‍රී ලාංකික පිරිමින් විසින් ඕස්ට්‍රේලියානු කාන්තාවන්ව ලිංගිකව නිදහස් වූ සහ නිර්බාධ සංස්කෘතියකින් ගොඩනැගුණු අය ලෙස දකිනු ලැබේ.

මෙම කුහක සහ පන්තිවාදී ප්‍රක්ෂේපණ විත්තිකරුගේ පසුබිම සැලකිල්ලට ගැනීමට අසමත් වේ. කීර්තිමත් ක්‍රිකට් ක්‍රීඩකයකු ලෙස ඔහුගේ තත්ත්වය ඔහුගේ ක්‍රීඩාවේ ක්‍රියාකාරිත්වය තුළ ඔහුට ප්‍රශංසාව සහ ගෞරවය ගෙන දෙන බැවින්, තමන්ට අගෞරව කළ බවට සහ බලහත්කාරකම් කළ බවට ඔහුට චෝදනා කළ කාන්තාවට වඩා වෙනස්ව ඔහු ගැන ධනාත්මක උපකල්පන ඇති කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රකට පුද්ගලයකුට එරෙහිව එල්ල කරන ලද ලිංගික අතවර චෝදනාවක් බොහෝ විට අධිකරණයට නොපැමිණෙනු ඇත. කාන්තාවන්ගේ අයිතීන් සාමාන්‍යයෙන් බැහැර නොකරන ඕස්ට්‍රේලියාව වැනි අධිකරණ බල ප්‍රදේශයක යුක්තිය අනුව එවැනි ප්‍රකාශයක් සාක්ෂාත් කර ගන්නේ කුමක්ද? එය රුපියල් බිලියන 2ක ප්‍රශ්නයකි.

හැඩි දැඩි පිරිමි ක්‍රීඩාවන් (macho sports) සහ ධූලක ස්ත්‍රී ද්වේෂිත්වය අතර සහසම්බන්ධය හොඳින් තහවුරු වී ඇත. කීර්තිමත් ගොල්ෆ් ක්‍රීඩකයින්, ටෙනිස් ක්‍රීඩකයින්, මලල ක්‍රීඩකයින්, ක්‍රිකට් ක්‍රීඩකයින් සහ රග්බි ක්‍රීඩකයින් ලිංගික අපරාධ සම්බන්ධයෙන් චෝදනා ලබන පුවත් සිරස්තලවල නිතර දැකිය හැකිය.

ඔස්ට්‍රේලියාවේ වෙසෙන විදේශගත ශ්‍රී ලාංකික ප්‍රජාව ආගන්තුක සත්කාරක හැඟීමෙන් ක්‍රිකට් කණ්ඩායමට ඔවුන් පැමිණි දින සිට රාත්‍රී සාද සංවිධානය කරමින් සිටි බව මාධ්‍ය වාර්තා කරයි. කණ්ඩායම සමාජ ශාලා සහ කැසිනෝ වෙත ගොස් ඇති අතර, නිවාසවල සාද සඳහා වන ආරාධනා ද පිළිගෙන ඇත. ඇතැමුන් සිය වාසස්ථාන ක්‍රිකට් ක්‍රීඩකයන් සමඟ බෙදාහදාගෙන ඇති අතර ඇතැම් කාන්තාවන් සිය කාමර පවා ක්‍රීඩකයන් සමඟ බෙදාගෙන ඇත. කණ්ඩායමේ සාමාජිකයෝ ජාත්‍යන්තර තරඟ සඳහා තම රට නියෝජනය කරන දිනවල උදේ පාන්දර වන තුරුම මත්පැන් සාදවලට සහභාගී වූහ. මෙවැනි ජීවන රටාවක් සහිතව තම රට නියෝජනය කරන විට ක්‍රීඩකයන්ට පිටියේ හොඳින් දස්කම් දැක්වීමට නොහැකිය. මෙම සිදුවීමෙන් පෙන්නුම් කරන පරිදි සාමාන්‍යකරණය වී ඇති බව පෙනෙන චර්යා නීති සංග්‍රහ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩකයන්ට අවශ්‍ය ප්‍රමිතියට වඩා පහළ මට්ටමක පවතියි. ඔහුගේ හැසිරීම නැවත ඇගයීමට ලක් කිරීමට අවශ්‍ය ‘වගකීම් විරහිත පුද්ගලයා’ සම්බන්ධව පමණක් නොව, එයට ශක්තිය දී ඇති පරිපාලනය සහ කළමනාකාරිත්වය ද නැවත විනිශ්චයට ලක් කළ යුතුය.

පිරිමි ළමයන් පිරිමි ළමයන් වනු ඇති බවටත්, පිටියේ වෙහෙස මහන්සි වී ක්‍රීඩා කරන සුපිරි ක්‍රීඩකයන් ඊට සමානව වෙහෙස මහන්සි වී ක්‍රීඩා කළ යුතු බවත්, ඉන් පිටතදීත් ඔවුන් ඔවුන්ගේ බලය පෙන්විය යුතු බවත්, ඇත්ත වශයෙන්ම පිරිමි බලපරාක්‍රමයේ සහ පුරුෂත්වයේ සමාජීය වශයෙන් පිළිගත හැකි ලාංඡනයක් ලෙස ක්‍රීඩා කළ යුතු බවත් ක්‍රීඩාවට ආදරය කරන සමාජවල විශාල වශයෙන් සාමාන්‍යකරණය වූ විශ්වාස තිබේ. එහෙත් මෑත වසරවල ඔස්ට්‍රේලියාව, සිය Me Too ව්‍යාපාරයේ ප්‍රගතියත් සමඟ සාර්ථකව පෙන්වා දී ඇත්තේ එවැනි දැඩි නාසිස්මය ප්‍රකාශ පුරවැසියන්ගෙන් අඩක් අඩපණ කරන බවත්, එබැවින් අභියෝගයට ලක්විය යුතු බවත්, නැවත විනිශ්චයට ලක් කර වෙනස් කළ යුතු බවත්ය.

රටවල් දෙකේම සමාජ දෙකම සන්ධිස්ථානයක සිටින බැවින් බොහෝදෙනෙක් මෙය මංසලකුණක් ලෙස දකිති. එක් වැදගත් පුරවැසියෙකු (elder statesman) මෑතකදී පැවසූ පරිදි:

“සමාජ මාධ්‍ය විවරණ මගින් පොදුවේ ලංකා ආකල්ප සහ විශේෂයෙන්ම උග්‍ර ජාතිභේදවාදීන් අතර සැඟවී ඇති ජාතිකවාදී විෂවාතය පෙන්නුම් කරයි. ලාංකීය සහචරයන්ගේ මනස තුළ පැමිණිලිකාරීය ‘බරපතළ ගැටළුවක්’ ය.’ නමුත් ඇය ශ්‍රී ලංකාවේ නොසිටින අතර, ඔස්ට්‍රේලියාව තුළ ඇයගේ පෞද්ගලිකත්වයට ඇති අයිතියට ගරු කරනු ලැබේ.

ඉන්දියන් සාගරයේ දෙපස සිටින සියලුම ස්ත්‍රී පුරුෂ ‘මචන් සහෝදරයන්’ ‘එය සියලුම වැදගත් ක්‍රිඩා තුළ පොදු සිදුවීමක් හා ජයග්‍රාහී වීරයා හෝ ක්‍රිඩකයා ත්‍යාග අත් කරගන්නවා’ යැයි ප්‍රකාශ කරමින් ‘ගැහැනු ළමයාව’ (අවුරුදු 29 යි) පහත් කොට සැලකීම, ප්‍රතික්ෂේප කිරීම සහ නින්දිත අපහාස කිරීම සම්බන්ධයෙන් කාර්යබහුල වී සිටිති.”

කුසලාන මෙන් ත්‍යාගලාභී ක්‍රීඩකයන් වටා සිටින කාන්තාවන්, ප්‍රසිද්ධියේ ඔවුන්ගේ මහත් ආදරය, ඔවුන්ගේ ගෞරවය, ඔවුන්ගේ අවධානය සහ ඔවුන්ගේ ප්‍රශංසාව පෙන්වීම, ධුලික පුරුෂෝත්තමවාදී සංස්කෘතියේ ජයග්‍රාහකයෙකුගේ නියම ජයග්‍රහණවල කොටසක් ලෙස දක්නට ලැබේ.

විත්තිකරුගේ නීති කණ්ඩායම සහ ආධාරකරුවන් ඔහු වෙනත් අයෙකු කරන ලද වරදක් නිසා ඔහු මත වරද පවරා ඇතැයි කියනු ඇත. ශ්‍රී ලංකාවේ මහජන ප්‍රතිරූපය නිවැරදි කිරීමට උත්සාහ දරන, හානිකර බලපෑම සීමා කිරීමට උත්සහ කරන පුද්ගලයන් මෙය තනි සිදුවීමක් යැයි කියනු ඇත:

එමෙන්ම චුදිතයා ජාත්‍යන්තර ක්‍රිකට් තරඟවලදී ශ්‍රී ලංකාව නියෝජනය කළ ද, ඔහුව ගොඩනැගූ සංස්කෘතියේ ආකල්ප ඔහු නියෝජනය නොකරන බවට කරුණු ඉදිරිපත් කිරීමට උත්සාහ කරනු ඇත.

ඔස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර විෂමතා ඉස්මතු වන වත්මන් ආර්ථික තත්ත්වය තුළ චූදිතයාට එරෙහි මහජන මත අධිකරණය විසින් සිදු කරන ලද ‘මුදල් ලබා ගැනීම සඳහා සම්බන්ධතා පැවැත්වීමේ’ හෝ ‘කප්පම් ගැනීමේ’ ප්‍රකාශය පදනම් විරහිත බව පෙනේ. චූදිතයාගේ නීති කණ්ඩායම බේරුම්කරණයක් ලෙස විත්තිකරුගෙන් ඔස්ට්‍රේලියානු ඩොලර් 100,000 ක් ඉල්ලා ඇති බව පෙනේ.

ඔස්ට්‍රේලියානු ඩොලර් 100,000 ක් මඟින් සිඩ්නි අධිකරණයේ සම්පූර්ණ දිනකට ඕස්ට්‍රේලියානු ඩොලර් 10,000 බැගින් වැය කොට, නීතිඥයකු හරහා දින දහයක පමණ නීති නියෝජනයක් ලබාගත හැකිය. ඔස්ට්‍රේලියානු සන්දර්භයක් තුල මෙය ‘මුදල් සඳහා සිදු කරන ලද දෙයක්’ ලෙස නොපෙනේ. ඔස්ට්‍රේලියාව යනු වසර ගණනාවක් මුළුල්ලේ ජීවත් වීමට ලෝකයේ තිබෙන වඩාත්ම මිල අධික රටවලින් එකකි. එහෙත් පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් දැනට අවප්‍රමාණය වී ඇති ශ්‍රී ලංකා මුදලින්, මෙම මුදල දැනට රුපියල් බිලියන 2 කට වඩා වැඩි ය.

නොකරන ලද වරදකට එක මිනිසකු මත වරද පැවරීම සාධාරණ හෝ යුක්ති සහගත නොවේ. කෙසේ වෙතත්, මෙම සිදුවීම එක වරක් සිදුවූ ජාතිකමය වශයෙන් ලැජ්ජාවක් ලෙස සලකා, ඉක්මනින් සඟවා යටපත් කළහොත්, අපි අපගේ සමාජය පිළිබඳ විශ්වාස කිරීමට කැමති මිථ්‍යා සහ ස්වර්ණමය ජනප්‍රවාද වලට යටපත්ව තිබෙන ගැටලු වසන් වනු ඇත. දේශීය හා ජාත්‍යන්තර වශයෙන් ශිෂ්ට හා සදාචාරාත්මක හැසිරීම් කඩකිරීමේ තවත් බොහෝ සිදුවීම් නිරන්තරයෙන් සිදුවෙමින් පවතින නමුත් සමස්ත ජාතියක් වශයෙන් නින්දාවට වඩා අභිමානයට පත් වීමට කැමති බැවින් ඒවා මහජන දැනුමට ලක් වන්නේ නැත.

කෙසේ වෙතත්, එවැනි වසන් කිරීම් වැඩි වන තරමට, රටේ පුරවැසියන්ට හැ‌‌ගෙන සැබෑ ආත්ම ගෞරවය අඩු වන අතර නින්දාව සහ ලැජ්ජාව වැඩි වනු ඇත.

අද අපි ඔස්ට්‍රේලියාව ‘ශිෂ්ට සම්පන්න’ රටක් ලෙස දකින්නේ නම් ඊට හේතු වනුයේ එරට පුරවැසියන් වැඩි වැඩියෙන් සිය පුරවැසි අයිතිවාසිකම් පිළිගනු ලබන නීති තෝරා ගෙන ඇති බැවින් සහ අපරාධ හා වරදක් වන්නේ හා නොවන්නේ කුමක්ද යන්න පැහැදිලිව නිර්වචනය කර ඇති බැවින් ය. මෙම ධනාත්මක ගමන්පථය වසර ගණනාවක් මුළුල්ලේ සෙමෙන් සිදු වූ අතර ක්‍රම ක්‍රමයෙන් සිදු කරන ලද බොහෝ සමාජ ක්‍රියාකාරිත්වයන් හා විරෝධතා මඟින් පුරවැසියන් පෙර නොදත් ගැටලු සම්බන්ධයෙන් ඔවුන්ගේ බහුතරය දැනුවත් කිරීම සිදු විය .

ඔස්ට්‍රේලියාවේ ප්‍රථම කාන්තා අගමැතිනිය වන ජූලියා ගිලාඩ් වෙත එල්ල කරන ලද මුල් බැසගත් ස්ත්‍රී ද්වේෂිත්වය සිනහා වීම සහ සාමාන්‍යකරණය කිරීම වෙනුවට එය අර්ථකාරී ලෙස අභියෝගයට ලක් කර ඇත. වෙනස් කොට සැලකීම වැළැක්වීමේ නීතිය පැහැදිලි කොට දැඩි කර ඇත.

ඔස්ට්‍රේලියානුවන් දශක දෙකකට පෙර ළමා ලිංගික අපයෝජන චෝදනා වලට ලක් වූ ප්‍රසිද්ධ පුද්ගලයන්ට එරෙහිව නිර්භීතව විමර්ශන කටයුතු සිදු කරන ලදී. එවැනි පුද්ගලයන්ගේ හැසිරීම ප්‍රශ්න කිරීම වැරදි යැයි සිතන ජනතාවගේ දැඩි විරෝධය හමුවේ වුවද එය සිදු කරන ලදී. මෙම ප්‍රසිද්ධ වාද විවාදවල ප්‍රතිඵලයක් ලෙස ඔස්ට්‍රේලියාවේ මෑත දශක කිහිපය තුළ අවදානමට ලක්වූවන්ගේ අයිතීන් බෙහෙවින් පිළිගෙන ඇත. මෙමගින් වඩාත් විනීත සහ ගෞරවනීය, ශිෂ්ට සම්පන්න සමාජයක් බිහි වී ඇත. නමුත් එය සාමූහික උත්සාහයක ප්‍රතිඵලයකි.

ඔස්ට්‍රේලියාව පරිපූර්ණ නොවේ. කෙසේ වෙතත්, මෙම ක්ෂේත්‍රය තුළ, සිය පුරවැසියන් සඳහා වැඩි යුක්තියක් සහ සාධාරණත්වයක් ඇති කිරීම සඳහා වඩා හොඳ දෙයක් කිරීමට තෝරා ගැනීමට ඇති කැමැත්ත තුළ, ඔස්ට්‍රේලියාව ආදර්ශමත් ලෙස දැකිය හැකිය. මෙම නඩුව ශ්‍රී ලංකාවේ පුරවැසියන්ට පිබිදීමක් විය හැකිය. එහෙත් එය එසේ වන්නේ කාන්තාවන්ගේ තත්ත්වය හා උසස් බව සහ කැමැත්ත පැහැදිලි කිරීම සඳහා ආදර්ශය අනුගමනය කළහොත් පමණි. මෙම ප්‍රතිඵලය ඔස්ට්‍රේලියාවේ නීති පද්ධතිය තුළ විනිශ්චය කෙරෙන කාරණය හරහා සිදුවීමේ වඩා හොඳ අවස්ථාවක් ඇත. එය මුහුණ දිය යුතු සත්‍යයකි.

ශ්‍රී ලංකාවේ අප ඇසිය යුතු ප්‍රශ්නය වනුයේ: කැමැත්ත මත මිනිසුන් දැනුවත් කිරීම සම්බන්ධයෙන් අප කුමක් කරන්නේද? ආචාරධර්ම හා සදාචාරාත්මක වටිනාකම් පිළිබඳ අධ්‍යාපනය නිවසින්, පාසල්වලින්, පවුල් සහ තරුණ කණ්ඩායම් අතරින් ආරම්භ කළ යුතුය. වර්තමාන අවශ්‍යතා පිළිබඳ අවබෝධයක් සහිත ලිංගික අධ්‍යාපනය වැදගත් වන්නේ එබැවිනි. බොහෝ අය සිතන ආකාරය අනුව ලිංගික අධ්‍යාපනය යනු දරුවන්ට ලිංගිකව හැසිරෙන ආකාරය ඉගැන්වීම සහ එය කාමුක දර්ශනවලට සමාන කිරීමයි. ආගමික බලධාරීන්, දේශපාලනඥයන් සහ විවිධ කොටස් මෙම ක්‍රියාවලියට මැදිහත් වී ඇති අතර, එහි ප්‍රතිඵලයක් ලෙස තාරුණ්‍යය සීමා මායිම් තබා ගැනීම හා ඒවාට ගරු කළ යුත්තේ හෝ ලිංගික හැසිරීම් සම්බන්ධයෙන් සීමා තබා ගන්නේ කෙසේද යන්න නොදන්නා අතර ආශා පිළිබඳ ස්වාභාවික හැඟීම් පාලනය කිරීමට නොදන්නා නිසා ඔවුන්ගේ ලිංගික ආශා අපකීර්තියට පත් කර බලහත්කාරයෙන් යටපත් කර ඇති සමාජයක ස්වයං වටිනාකම, ස්වයං දැනුවත්භාවය සහ කැමැත්ත පිළිබඳ ගැටලු සමඟ කටයුතු කන්නේ කෙසේද යන්න පිළිබඳ දැනුවත් භාවයක් නැත.

මේ වන විට තර්ජනය කිරීමේ හෝ කප්පන් ගැනීමේ අරමුණින් නාගරික පාසල් තුළ සමාජ මාධ්‍ය ඔස්සේ නිරුවත් ඡායාරූප හුවමාරු වීම විශාල ගැටලුවක් බවට පත්වී ඇත. වික්ටෝරියානු යුගයේ සදාචාර සංග්‍රහ සහ ලජ්ජා සහගත සාධක හේතුවෙන් මේවා වසං කොට ප්‍රතික්ෂේප කරනු ලැබේ. එය තත්ත්වය තවත් තීව්‍ර කරන අතර මිනිසුන්ට සහනයක් හෝ පිළිසරණක් ලබා නොදේ. අප විසින් මවා පාන තරමට සහ මෙම ප්‍රචලිත සංස්කෘතියේ බොරු ඔපයන් පිටුපස සැඟවී සිටින තරමට, මේ දේවල් වඩාත් නරක අතට හැරෙමින් වර්ධනය වේ. අද අපි දකින්නේ එහි ප්‍රතිඵලයන්ය.

මේ සිදුවීම මඟින් ස්ත්‍රී දූෂණයට හෝ ලිංගික අතවරවලට ගොදුරු වූ බොහෝ කාන්තාවන්ට, ශ්‍රී ලංකාව මේ සම්බන්ධයෙන් තව කොපමණ ඉදිරියට යා යුතුද යන්න සිහිපත් කරවයි. 5% ට වඩා අඩු ස්ත්‍රී දූෂණ සම්බන්ධයෙන් දණ්ඩන නියම කිරීමේ අනුපාතයකින් යුක්තව, මෙම අවස්ථාවලදී යුක්තිය ඉටු වීම සඳහා වන රටේ වාර්තාව ලැජ්ජා සහගත ලෙස අප්‍රමාණවත් වේ.

ශ්‍රී ලංකාව තුළ ස්ත්‍රී දූෂණයට ලක් වූ දන්නා හඳුනන අයෙකුට පොලිසිය කියා සිටියේ ඇය ලිංගිකව ක්‍රියාශීලී බැවින් එය දූෂණයක් ලෙස සැලකිය නොහැකි බවත්, දූෂණයට පත් වු කාන්තාව කන්‍යාවක් වන්නේ නම් පමණක් එය දූෂණය වන බවත්ය. තවද ඇය ශාරීරිකව විශාල බැවින් ඇය ඔහු සමඟ සටන් කළ යුතුව තිබූ බවද ඇයට පවසා ඇත. මෙවැනි තර්ක, ලිංගික අතවරවලට ගොදුරු වූවන් සම්බන්ධයෙන් මෙරට බොහෝ ආයතන දරන විනිශ්චය ආකල්පයේ රෝග ලක්ෂණ වේ. අදාළ බලධාරීන්ගේ ආකල්පය සහ ප්‍රතිචාරය මෙය නම් යුක්තිය පතා ඉදිරියට පැමිණීමට අවශ්‍ය කාටද?

තමාටම අසභ්‍ය දේ අතිශයින්ම පිළිකුල් කරන සදාචාරයක් තමන් පවත්වා ගැනීම සහ ඒ හා සමාන විශ්වාස ක්‍රමයක් අනුගමනය නොකරන අන් අයට එය ආරෝපණය කිරීම සහ එසේ කිරීමට අවශ්‍ය නිසා ඔවුන්ට දඬුවම් නියම කිරීම අතර සියුම් වෙනසක් තිබේ. තහනම් පලතුර – ලිංගිකත්වය – යනු සෑම විටම ඉතා පීතෘමූලික අර්ථයෙන් ස්ත්‍රියකගේ සදාචාරය පිළිබඳ මිනුම වූ අතර එය තවමත් කෙතරම් දුරට විස්තාරනය වී තිබේදැයි මෙම සිදුවීමෙන් ඉස්මතු වේ.

ශ්‍රී ලාංකිකයන්ට මෙයින් වර්ධනය විය හැකි අතර එය පරිණාමවාදී අභියෝගයක් ලෙස සහ ප්‍රගතිය සඳහා වන අභිප්‍රේරණයක් ලෙස හෝ ලැජ්ජාව හා දොස් පැවරීම සහ වගවීම මග හැරීම අඛන්ඩව සිදු කිරීමට අපගේ කැමැත්ත හෙළි කිරීමක් ලෙස දැකිය හැකිය. අපට වර්ධනය විය හැකිය, නැතහොත් සංස්කෘතියක් ලෙස සදාචාරාත්මකව පරිනත නොවු තත්ත්වයෙන් සිටිය හැකිය. දියුණු වෙමින්, වර්ධනය වෙමින්, ඉදිරියට යන ලෝකයක නීත්‍යානුකූලව, සදාචාරාත්මකව හා සංස්කෘතික වශයෙන් එකතැන පල්වීම ජාතියක් ලෙස ඉදිරියට යෑමට වඩා පසුපසට යෑමට හේතු වන බව අද පැහැදිලිය. එමෙන්ම අපගේ කීර්තිමත් පුද්ගලයන්, අධිකාරී පුද්ගලයන් සහ තීරණ ගන්නන් යහපත් හැසිරීම් වල ආදර්ශයන් ලෙස ඉදිරිපත් කරන්නේ කුමක්ද යන්න තරුණ පරම්පරාව බලා සිටියි.

ලිලන්කා බොතේජු සහ දේවිකා බ්‍රෙන්ඩන්

(groundviews.org වෙබ් අඩවියේ She Said/He Said නමින් පළ වූ ලිපියේ සිංහල අනුවාදයකි)

(vikalpa)