මැයි 14 ඉරිදා සන්ඩේ ටයිම්ස් පුවත් පතේ ප්රවෘත්තියක සිරස් තලය වූයේ “රජයේ ආයතන 430 ක් අලෙවියට හෝ ප්‍රතිව්‍යුහගත කිරීමට” යන්නයි. යෝජිත ව්‍යාපෘතියට අනුව ඇතැම් ආයතන අලෙවි කරනු ලබන බවත් අනෙක්වා ප්‍රතිව්‍යුහගත කරනු ලැබීමටත් ඒකාබද්ධ කිරීමට හෝ වසා දැමීමටත් නියමිත යැයි එහි සඳහන්ව තිබිණ. එකී ක්‍රියාවලිය තව දෙමසකින් පමණ ආරම්භ කෙරෙන අතර, වසර අවසාන වනවිට සම්පූර්ණ කිරීමට නියමිත බවද සඳහන්ව තිබිණ.
මේ ආරම්භ කරන රාජ්‍ය දේපොළ අන්සතු කිරීමේ ක්‍රියාවලියේ පදනම ලෙස ප්‍රසිද්ධියේ කියන්නේ රාජ්‍ය ව්‍යාපාර පාඩු ලබන බවත් ඒ වෙනුවෙන් මහජන මුදල් දිගින් දිගටම වැය කළ නොහැකි බවත්ය. එසේ කියන සැමට කිව යුත්තේ ඒවා පාඩු ලබන්නේ අයිතිය රජයේ නිසා නොවන බවය. ඒවා පාඩු ලබන්නේ හැම ආණ්ඩුවකම එවැනි රාජ්‍ය ආයතන කැබිනට් ඇමතිවරයෙකු යටතේ පැවති අතර, ඒ හැම ඇමතිවරයෙකුම කලමනාකරණයක් නොදන්නා, සමාජ වගකීමක් ගැන තැකීමක් නැති දූෂිත දේශපාලකයෙකු වූ නිසා ය. එවගේම පෞද්ගලික ව්‍යාපාරද බංකොලොත් වන බවත් එවිට වසා දමන බවත් කිව යුතුය. එයට සාක්ෂි අවශ්‍ය නම්, 2010 සිට 2016 දක්වා වසරවල බදු මුදල් රුපියල් බිලියන ගණන් වැය කරමින් ගෙන්වා ගනු ලැබූ විදේශ ආයෝජන සමාගම් කොපමණ සංඛ්‍යාවක් පාඩු පිට වසා දමා තිබේදැයි ආයෝජන මණ්ඩලයෙන් විමසා දැනගත හැකිය.
ඒවා එසේ වන අතර, මෙහි මට වඩාත් සංවේදී තොරතුර වූයේ, පසුගිය වසරේ වැඩිම පාඩු ලැබූ ආයතන 20 අතර, ශ්‍රී ලංකා රූපවාහිනිය, ස්වාධීන රූපවාහිනිය සහ ගුවන් විදුලි සංස්ථාව තිබීම නොවේ. ඒවාද අලෙවි කිරීමට ඉඩ ඇතැයි වන තොරතුර ය. විශේෂයෙන් ගුවන් විදුලි සංස්ථාවද අලෙවි කරන්නට ඉඩ ඇතැයි සඳහන්ව තිබීමෙන් යම් කම්පණයක් ඇති වූයේ කලක් මා එහි සඳුදා උදය “සුභාරති” වැඩසටහන කිරීමේදී ලැබූ තෘප්තිය වෙනත් කිසිදු මාධ්‍ය ආයතනයක වැඩසටහන් කිරීමෙන් නොලැබූ හෙයිනි.
ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව යනු 1925 දෙසැම්බරයේදී කොළඹ කුඹිකැලේ කාමරයක සිට මධ්‍යම තරංග විකාශනයක් ලෙස “රේඩියෝ සිලෝන්” නමින් ආරම්භ කළ, ආසියාවේ පළමු ගුවන් විදුලිය පමණක් නොව, ලොව දෙවැනි පරණම ගුවන් විදුලි ආයතනයැයි සඳහන් වන්නේය. එනිසාම වෙනත් රටක නම් “රේඩියෝ සිලෝන්” යන සන්නාහ නාමය කිසි ලෙසකින් අත් නොහරිනු ඇත. එපමණක් නොව, එය රජයේ වියදමින් දිගටම පවත්වා ගෙන යාමටද තීන්දු කරනු ඇත. එහෙත් 1967 ජනවාරියේ එය ගුවන් විදුලි සංස්ථාව බවට පත් කෙරුණි. මේ වසර අවසාන වනවිට එය මිලට ගන්නා ආයෝජකයා “ගුවන් විදුලි සංස්ථාව” වෙනුවට එයට “තැන්කියු රනිල්” ගුවන් විදුලි නාලිකාව යැයි නම තැබුවහොත් ඊට පුදුම වන්නටද අවශ්‍ය නැත.
කෙසේ නමුත් මේ රජයේ මාධ්‍ය ආයතන ප්‍රතිසංවිධානය කළ යුතු බව සැබෑය. එසේ කළ යුත්තේ ඒවායේ අයිතිය වෙනස් කිරීමෙන් හෝ අන්සතු කිරීමෙන් නොවේ. ඒවායේ කලමනාකරණය හා ප්‍රතිපත්තිමය තීන්දු දේශපාලනයෙන් හා ආණ්ඩුවේ තීන්දු තීරණ වලින් මුදවා තැබීමට හැකි අයුරු ස්වාධීන අධීක්ෂණයකට හා වගකීමකට යටත් කිරීමෙනි. එය කෙසේ කළ හැකිදැයි අපට කතා කළ හැක. මා කැමති එවැන්නකටය.
එහෙත් මේ ආයතන අලෙවි කිරීමේ කතා සමග මතුවන වඩාත්ම වැදගත් කාරණාව වන්නේ ඒවායේ විකාශන සඳහාවන සංඛ්‍යාත ගොනු වලට සිදුවන්නේ කුමක්ද යන්නය. මේ සංඛ්‍යාත ජාත්‍යන්තරව පිළිගනු ලබන්නේ මහජනතාව සතු පොදු සම්පතක් වශයෙනි. එබැවින් මෙම විද්‍යුත් සංඛ්‍යාත විදුලි සංදේශ නියාමන කොමිසම් සභාව විසින් නිශ්චිතව ඒ ඒ මාධ්‍ය ආයතන වලට ලබාදී ඇත්තේ දෙවසරකට පමණක් වලංගු සහ අනතුරුව බලාත්මක කළ යුතු අවසර පත්‍රයක් සමගින්ය.
ඒ සම්බන්ධ එනමුත් බරපතල ප්‍රශ්න ඇත්තේ එළෙස බලපත් ලබා දීමේදී ඊට අදාල කොන්දේසි පිළිබඳ කිසිදු පාරදෘශ්‍ය භාවයක් නොමැතිවාට අමතරව නිදහස් මාධ්‍ය හා අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය වෙනුවෙන් පෙනී සිටින කිසිදු මාධ්‍ය සංවිධානයක් ඒ ප්රශ්නය විදුලි සංදේශ නියාමන කොමිසම හමුවේ නොතැබීමෙහිය. සංඛ්‍යාත රජයේ දේපළක් යැයි කියන්නේ සියලු පුරවැසියන් වෙනුවෙන් ඒවායේ භාරකාරත්වය හා වගකීම රජය යටතේ පවත්වා ගන්නා හෙයින්ය. ආණ්ඩුවටද මේවායේ අයිතියක් නැත. ආණ්ඩුවකට ඇත්තේ රජය යටතේ ඒවා භාවිත කිරීමේ කොන්දේසි හා පිළිවෙත් හැදීමේ ව්‍යවස්ථාමය බලය පමණි. එබැවින් මෙම සංඛ්‍යාත ලබා ගන්නා අවසර පත්ලාභීන් ඒවා භාවිත කිරීමේදී ඔවුන් සමාජ වගකීමකටද බැඳෙන බව කොතැනකවත් කතා වන්නේ නැත.
එවන් සමාජ වගකීමක් හමුවේ තාවකාලික භාවිතය සඳහා අවසරපත් ලබා ගන්නා කිසිවකුට තවකෙකුට සංඛ්‍යාත අලෙවි කළ නොහැක. එහෙත් සසිරිබර මෙසිරි ලක අත යට නොයෙක් දේ සිදුවේ. ස්වර්ණභූමි ඉඩම් බලපත් මෙන් දේශපාලන සම්බන්ධතා මත සංඛ්‍යාත ලබා ගන්නා බොහෝ අය කරන්නේ ඒවා විශාල මුදලකට වෙනත් අයකුට පැවරීමය. ජනාධිපතිනි චන්ද්‍රිකා සමයේ “වී එෆ්.එම්” ගුවන් විදුලි විකාශනය සඳහා ජ.වි.පෙ ලබාගත් සංඛ්‍යාත බලපත්‍රයට සිදු කෙරුණේද එය ය.
රජයේ මාධ්‍ය ආයතන අලෙවි කිරීමේදී පෞද්ගලික ජාවාරම්කාරයින් මෙන් ආණ්ඩුවට ඒවා සංඛ්‍යාත සමගින් අලෙවි කළ නොහැක. ගුවන් විදුලිය, ජාතික රූපවාහිනිය හා ස්වාධීන රූපවාහිනිය අලෙවි කිරීමට අවශ්‍ය වුවහොත් පාර්ලිමේන්තුවේ පනත් සම්මතකර හෝ ආණ්ඩුවට එම ආයතන හා ඒවායේ සන්නාහ නාම, ගොඩනැගිලි, ඉඩම්, උපකරණ ආදී වත්කම් අලෙවි කළ හැක. එහෙත් පාර්ලිමේන්තු පනතකින් හෝ විද්‍යුත් සංඛ්‍යාත සමගින් ඒවා අලෙවි කිරීමට නොහැක.
එවැනි ස්වාභාවික සම්පත් අලෙවි කිරීම පිළිබඳ අපේ රටේ ඉතාම වැදගත් අධිකරණ තීන්දුව වන්නේ එප්පාවල ෆොස්ෆේට් නිදිය අලෙවි කිරීමට අදාලව බුලන්කුලම සහ අනෙකුන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම (එස්.සී පැමිණිලි අංක 884/99) සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දෙනු ලැබූ තීන්දුවය. තිදෙනෙකුගෙන් යුත් විනිසුරු මඬුල්ලකින් දෙනු ලැබූ ඒකමතික තීන්දුව ලියූ විනිසුරු අමරසිංහ ඉතා පැහැදිලිව එහි සඳහන් කර තිබූයේ “ජනතාව විසින් ජනතාවගේ සම්පත් සුරැකීමට හා රැක බලා ගැනීමට බාර දෙනු ලබන රජයේ ආයතන, ඒවායේ භාරකරුවන් පමණි. මෙය, ව්‍යවස්ථාවෙහි ආණ්ඩු පාලනය සඳහා සහතික කර ඇති සැළසුම සමග පමණක් නොව, මහවංශයේ (68. 8-13) සංවර්ධනය වෙනුවෙන් සංකල්පගත වන ස්වාභාවික සම්පත් කාර්යක්ෂම ලෙස කලමනාකාරයේදී අපගේ පාලකයින් සතු යුතුකම් සමගද එකඟ වන්නකි” යනුවෙන්ය.
එවැනි පසුබිමක, මේ රටේ ප්‍රධානම විද්‍යුත් මාධ්‍ය ආයතන තුන අලෙවි කිරීමට තීන්දු වුවහොත් මාධ්‍ය සංවිධාන පමණක් නොව මාධ්‍යවේදීන්ද ගන්නා ස්ථාවරය කුමක් විය හැකිද? අපි බලා සිටිමු.
| කුසල් පෙරේරා
සමාජ විචාරක හා ජ්‍යෙෂ්ඨ මාධ්‍යෙව්දී
2023 මැයි 15