ප්‍රති-ත්‍රස්ත පනත සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන පාර්ශ්වයන්ගේ අදහස් විමසා ඒවාද ඇතුළු කොට නැවත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නට බලාපොරොත්තු වන බව ආණ්ඩුව කීවේය. එවැනි පසුබැසීමකට ආණ්ඩුවට සිදුවුණේ දේශීය වශයෙන් සහ විදේශීය වශයෙන් එම පනත් කෙටුම්පතට එරෙහිව නැගුණු බලවත් විරෝධයයි. තමන්ට පාර්ලිමේන්තුවේ වැඩි බලයක් තිබෙන නිසා පනන් කෙටුම්ප පහසුවෙන් (සාමාන්‍ය පනත් කෙටුම්පතක් වන එය සම්මත කර ගැනීමට අවශ්‍ය වන්නේ පාර්ලිමේන්තුවේ සාමාන්‍ය බහුරයකගේ කැමැත්ත, එනම් එදින පාර්ලිමේන්තුවට පැමිණි මන්ත්‍රීවරුන්ගෙන් වැඩි දෙනකුගේ ඡන්දය) සම්මත කරගත හැකි වෙතැයි ආණ්ඩුව කල්පනා කරන්නට ඇත. ඒ නිසා පනත් කෙටුම්පත ඉදිරිපත් කළත් එය හකුලා ගන්නට සිදුවුණේ කාරණා දෙකක් නිසා බව පෙනේ.
එකක් පෙර කී පරිදි ඊට එරෙහිව නැගුණු බලවත් විරෝධයයි. දෙවැන්න පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ආණ්ඩුව තුළම පවතින බෙදුම්කාරී ස්වභාවයයි. ආණ්ඩුව තුළ, එනම් දැනට ඉතිරි වී තිබෙන පොදු ජන පෙරමුණේ කණ්ඩායම තුළ පවා පනත් කෙටුම්පත සම්බන්ධයෙන් විරෝධය හා අකමැත්ත දක්වන පිරිසක් සිටින බව එහි තේරුමයි. සමහර විට ඒ කණ්ඩායම පනත් කෙටුම්පතට විරුද්ධව ඡන්දය දීමට හෝ ඡන්දයෙන් වැළකී සිටීමට ඉඩ ඇති නිසා ඒ තුළින් ඇතිවන බෙදිමද ආණ්ඩුවේ පැවැත්මට බලපාන නිසා කෙටුම්පත ඉදිරිපත් කිරීම ගැන නැවත සිතා බලන්නට ආණ්ඩුවතීරණය කළා විය හැකිය.
ප්‍රති-ත්‍රස්ත පනත් කෙටුම්පත ක්‍රෑර හා භයානක එකක් බවට දැනටමත් විශාල දැනුම් සම්භාරයක් ගොඩනැගී තිබේ. රටේ නීතියේ පාලනය ගැන උනන්දුවක් දක්වන හැම පාර්ශ්වයක්ම පාහේ පනත් කෙටුම්පත ගැන විවිධ සාකච්ඡා සංවාද සංවිධානය කළ අතර විවිධ උද්ඝෝෂණ හා විරෝධතාද යහමින් පැවැත්වූහ. ඒ නිසා මෑත කාලයේ වෙනත් පනත් කෙටුම්පතක් සම්බන්ධයෙන් දකින්නට නොලැබුණු තරමේ මහත් සමාජ අවධානයක් ප්‍රති-ත්‍රස්ත කෙටුම්පත කෙරෙහි එල්ල විය. රටේ සාමාන්‍ය පුරවැසියකුට පවා පනත් කෙටුම්පත කොයි තරම් භයානකද යන්න ගැන අවබෝධයක් ලැබෙන තරමට එම සංවාද අවකාශය පුළුල් වීම ඉතාම වැදගත් කාරණයකි.
රට තුළ හා රටෙන් පිට පනත් කෙටුම්පතට මේතරම් විශාල විරෝධයක් හා විවේචනයක් ගොඩනැගෙද්දී පවා ආණ්ඩුවේ වගකිවයුත්තන් පනත් කෙටුම්පත ආරක්ෂා කරන්නට ඉදිරිපත්වූ නිරුවත් ආකාරය නම් ඉතාම පිළිකුල් සහගතය. ඒ අතරින් පෙරමුණ ගත්තේ අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂය. ඇත්ත වශයෙන්ම පනත් කෙටුම්පත කොහොමින් හරි නීතියක් කරගන්නට ආධ්‍යාත්මික වුවමනාවක් තිබුණේ විජේදාස රාජපක්ෂ ඇමතිවරයාට බව ඔහුගේ කරුණු දැක්වීම්වලින් මනාව පැහැදිලි විය. ඔහු පනත මුළුමනින්ම අනුමත කළේය. එහි කිසිදු වරදක් නොදුටුවේය. ඒ වෙනුවෙන් පෙනීසිටියේය. විදේශ ඇමති අලි සබ්රි පවා පනත් කෙටුම්පතේ තමා එකඟ නොවන කාරණා තිබෙන බව කිව්වත් විජේදාස රාජපක්ෂ මහතා ඉතාමත් දරදඬු ලෙස පනත් කෙටුම්පත සහමුලින්ම ආරක්ෂා කළේය. අනෙක් අය පනත් කෙටුම්පත ගැන කරන විවේචන හා විරෝධතා පිළිබඳව අඩු ගණනේ සලකා බලන ස්ථාවරයකවත් රාජපක්ෂ මහතා මුලින් නොසිටීම කැපී පෙනුණි. ඒ වාගේම පනත් කෙටුම්පත ආරක්ෂා කිරීම සඳහා ඔහු ඉදිරිපත් කළ තර්ක ඉතාම සාහසික මෙන්ම රටේ ඇමතිවරයකුට තරම් නොවන මට්ටමේ අතාර්කිකය. ඔහුගේ එක් තර්කයක් වූයේ ලෝකයේ හැම රටකම පාහේ, විශේෂයෙන්ම දියුණු ප්රජාතන්ත්රවාදයක් පවතින රටවල්යැයි කියන ඒවායේ පාහේ ත්‍රස්ත මර්දන පනත් තිබෙන බවය. ඒ නිසා ලංකාවේද එවැනි පනත් තිබීම අවශ්‍ය බව ඔහුගේ සරල තර්කයයි. මේ තර්කය කෙතරම් දුර්වල හා අඥාන එකක්දැයි පෙන්වන්නට වචන නාස්ති කළ යුතු නැත.
එහෙත් වැදගත්ම කාරණය නම් මේ තරම් ක්‍රෑර විධිවිධාන සහිතව මේ පනත් කෙටුම්පත ගෙනාවේ ඇයිද යන්නයි. පනතක් කෙටුම්පත් කරන විවිධ ආකාර තිබේ. පනක් කෙටුම්පත් කරන්නේ නීති සම්පාදක දෙපාර්මේන්තුවෙන්ය යන්න හැම විටම සිදුවන දෙයක් නොවේ. සමහර විට අදාළ විෂය පිළිබඳ නීති ප්‍රාමාණිකයන්ට පනත් කෙටුම්පත් කිරීමේ කාර්යය පැවරේ. සමහරී විට ඒ පිරිස එක්කෙනකු හෝ දෙන්නකු වන්නටද පුළුවන. නැතිනම් නීතිය පිළිබඳ විශේෂඥයන් හා අදාළ ක්ෂෙත්රය පිළිබඳ විශේෂඥයන් ඇතුළු පුළුල් කණ්ඩායමක් වන්නට පුළුවන. ප්‍රති-ත්‍රස්ත පනත් කෙටුම්පතද එවැනි කණ්ඩායමක් විසින් කෙටුම්පත් කරන ලදැයි දැනගන්නට තිබේ. එහි වර්තමාන නීතිඥ සංගමයේ උපසභාපතිවරයාද සිටි බව දැනගන්නට ඇත. එම කණ්ඩායම තුළද පනත් කෙටුම්පතේ විධිවිධාන ගැන විසංවාදයක් තිබුණු බව නිල නොවන ලෙස අපට දැනගන්නට තිබේ. කමිටුවේ සමහර සාමාජිකයන් ඉදිරිපත් කළ වඩා හොඳ යෝජනා අවසානයේ සලකා බලා නැති බවද ඒ අර වාර්තා වෙයි. කෙසේ නමුත් අවසාන විග්රහයේදී පනත් කෙටුම්පත ඉදිරිපත් කළේ එම කමිටුව නොවේ, ආණ්ඩුවයි. ඒ නිසා පනත් කෙටුම්පතේ ඇත්තේ ආණ්ඩුවේ අදහසයි. ආත්මයයි.
බැලු බැල්මට මහජනතාවගේ අයිතිවාසිකම්වලට පීඩාකාරී ලෙස බලපාන විධිවිධාන කමිටුව විසින් ඉදිරිපත් කරන ලද කෙටුම්පතේ තිබුණි නම් එය ගැසට් පත්‍රයේ පළකිරීමට පෙර එම විධිවිධාන කටුගා දමා වඩා හිතකර පනතක් ඉදිරිපත් කරන වගකීම තිබුණේ ආණ්ඩුවටය. අධිකරණ ඇමතිවරයා ඇතුළු ආණ්ඩුවේ නීතිය ගැන දැනුමක් අවබෝධයක් තිබෙන ඇත්තන්ටය. එහෙත් එවැන්නක් සිදු වී නැත. අඩු ගණනේ විදේශ ඇමතිවරයාවත් පනත් කෙටුම්පත ගැන දැක්වූ නිරීක්ෂණ සලකා බලන තත්වයක ආණ්ඩුවේ වගකිවයුත්තන් සිටින්නට නැති බව අපට සිතන්නට පුළුවන.
ආණ්ඩුව වෙනුවෙන් පනත් කෙටුම්පත ආරක්ෂා කළ විජේදාස රාජපක්ෂ ඇමතිවරයා කෙටුම්පතේ කිසිම දෝසයක් වරදක් දුටුවේ නැත. ඔහු කිව්වේ පනත් කෙටුම්පත ගැන ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ අභියෝග කළ පසු ශ්‍රේෂ්ඨාධිකරණය කියන වෙනස්කම් කෙටුම්පතට ඇතුළු කොට ඉදිරිපත් කරන්නට බලාපොරොත්තු වන බවයි. ඇමතිවරයාගේ මේ කතාවෙන්, එකක්, ආණ්ඩුවේ දුෂ්ට මනස ආරක්ෂා කෙරෙයි.
අනෙක් අතට, ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පනත් කෙටුම්පතක් අභියෝග යට ලක්කරන්නේ කුමක් මතද? පනත් කෙටුම්පතේ විධිවිධාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල නොවේය යන පදනමේ සිටය. ශ්‍රේෂ්ඨාධිකරණය තම තීරණය සඳහා සලකා බලන්නේද එම කාරණයම පමණකි. එහෙත්, පනත් කෙටුම්පතක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූලභාවය තිබුණු පමණින් එය මහජන හිතකර පනතක් වන්නේ නැත. උදාහරණයක් හැටියට දැනට නීතියේ පවතින 1979 ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත් කෙටුම්පතද මේ විදියටම ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ අභියෝගයට ලක් කර එයින් යෝජනා කළ වෙනස්කම් සහිතව පාර්ලිමේන්තුවේදී සම්මත කළ එකකි. එම පනත, යහපත් පනතක්ද? නැතිනම්, ක්‍රෑර හා අමානුෂික නීතියක්ද? පනතක දේශපාලන සහ සමාජ බලපෑම ශ්‍රේෂ්ඨාධිකරණයේදී විෂයට පථයට හසු නොවේ. ප්‍රති-ත්‍රස්ත පනතේ තිබෙන විධිවිධානද මහජනතාවගේ දේශපාලන හා සමාජ ක්‍රියාකාරිත්වයට කරන නරක බලපෑම, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සීමාවට හසු නොවේ නම්, ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ සලකා බැලෙන්නේ නැත. ඒවා සලකා බැලිය යුත්තේ දේශපාලන ආයතනයක් වන ආණ්ඩුව විසිනි. ඒ නිසා, ශ්‍රේෂ්ඨාධිකරණය කියන පරිදි වෙනස් කර නැවතත් ඉදිරිපත් කරනවා කීමෙන් විජේදාස රාජපක්ෂ ඇමතිවරයා ආණ්ඩුවේ මේ දේශපාලන වගකීම පැහැර හැර තිබේ. ප්‍රති-ත්‍රස්ත පනත් කෙටුම්පතේ විසකුරු විධිවිධාන, ආණ්ඩුවේ වුවමනාව අනුවම පවනවන ලදැයි අප සිතිය යුත්තේ එබැවිනි.
උනන්දු පාර්ශ්ව පනත් කෙටුම්පතට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණයට යන බවත්, මෙහි තිබෙන ඇතැම් විධිවිධාන වෙනස් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය කියන්නට ඉඩ තිබෙන බවත් ඇත්ත. එහෙත් බැලු බැල්මට මෙහි භයානක විධිවිධාන තිබෙන බව පෙනෙද්දී ඒවා වෙනස් කරන්නට ශ්‍රේෂ්ඨාධිකරණය කියන තුරු සිටින බව කීමේ ආණ්ඩුවේ ස්ථාවරයෙන් කරුණු දෙක්ක පැහැදිලි වෙයි. එකක් නම් පනත තිබෙන ආකාරයෙන්ම සම්මත කර ගැනීමට ආණ්ඩුවට ඇති වුවමනාවයි. දෙවැන්න පනත් කෙටුම්පතක තිබෙන දේවල් වෙනස් කළ යුත්තේ ශ්‍රේෂ්ඨාධිකරණය කියන නිසා පමණක් බව ආණ්ඩුව විශ්වාස කරන බවයි. ඒ කියන්නේ යම් නීතියක් පිළිබඳව ඒ ගැන උනන්දුමත් පුරවැසි පාර්ශ්ව කියන දේවල් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් මෙහා සලකා බලන්නට ආණ්ඩුවට වුවමනාවක් සූදානමක් නැති බවයි. මේ වනාහි ආණ්ඩුවේ දරදඬු අත්තනෝමතිකත්වය මිස අන් යමක් නොවේ. ගෝඨාභය රාජපක්ෂ, මහින්ද රාජපක්ෂ වැනි හිතුවක්කාර නායකයන් ද කටයුතු කළේ මේ තරම්ම අන්ධ දරදඬු මානසිකත්වයකිනි. ඔවුන්ට අවසානයේ දේශපාලන වශයෙන් අත්වුණු ඉරණම ඉතා පැහැදිලිය.
ඊළඟ තර්කයක් වන්නේ මේ පනත් කෙටුම්පත සම්මත කර නොගත්තොත් පරණ පනත ඒ විදියටම පවතින බවයි. එහි අහිතකර ප්‍රතිඵල තවදුරටත් විඳින්නට ජනතාවට සිදුවන බවයි. එය ඇත්තකි. පවතින ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ක්‍රෑර හා අමානුෂික වන අතර, එය දිගටම පැවතිය යුත්තක් නොවේ. එහෙත්, එය වෙනස් කිරීමට ඊටත් වඩා ක්‍රෑර නීතියක් ගෙන ඒම සාධාරණද? දේශීය වශයෙන් හා ජාත්‍යන්තර වශයෙන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට දිගින් දිගටම එල්ලවුණු බලපෑම වූයේ එය වෙනස් කර මහජනතාවට වඩාත් හිතකර හා මානව අයිතිවාසිකම් පිළිබඳ ප්රමිතීන්වලට ගැළපෙන පනතක් ඇතිකර ගත යුතු බවයි. ඒ කියන්නේ ප්‍රති-ත්‍රස්ත පනත වැනි තවත් විසකුරු පනතක් ගැන නොවේ. එයින් මිනිස් අයිතිවාසිකම් මෙන්ම ඒවායේ ජාත්‍යන්තර ප්රමිතීන්ද ආරක්ෂ කෙරෙන්නේ නැත.
කේ.ඩබ්ලිව්. ජනරංජන (අනිද්දා)