විද්‍යුත් විකාශන නියාමන කොමිෂන් සභා පනත: මාධ්‍යයේ කටට වැට බැඳෙයි ද?

විද්‍යුත් විකාශන නියාමන කොමිෂන් සභා පනත: මාධ්‍යයේ කටට වැට බැඳෙයි ද?

යෝජිත විද්‍යුත් විකාශන නියාමන කොමිෂන් සභා පනත ආණ්ඩුව විවේචනය කරන මාධ්‍ය ආයතන මර්දනය කිරීමට, එසේ නොමැති නම් හීළෑ කිරීමට දැයි, දැඩි කතා සමාජයේ නිර්මාණය වී තිබේ.

බොහෝ පෞද්ගලික විද්‍යුත් මාධ්‍ය ආයතන දැනටමත් ඒ පිළිබඳ බිය පළ කර ඇත. ඒ, රජයේ සැලැස්ම පිළිබඳ යෝජනා ඇතුළත් දළ කෙටුම්පතක් කැබිනට් අනුකමිටුවක් විසින් සකස් කර ඇති පසුබිම තුළයි.

උග්‍ර ආර්ථික අර්බුදයකට මුහුණ දුන් ශ්‍රී ලංකාව මේ වන විට ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ඇතුළු තමන් වෙත සහාය දක්වන ගෝලීය බලවතුන්ගේ ආධාර හා උපකාර මත මව් ආර්ථිකය ස්ථායිකරගැනීමේ අපේක්ෂාව රඳවාගෙන තිබේ.

බැලු බැල්මට තෙල් පෝලිම් නැත.විදුලි කප්පාදුව නතර වී ඇත. එහෙත් බදුබර සමග ජීවත් වීමේ දෛනික අරගලයක නිරත බහුතර ජනතාවගේ ජීවන වියදම් ගැටලුව වර්ධනය වෙමින් තිබෙන අතර රජයේ රෝහල්වල ඖෂධ හිඟය ශ්‍රී ලංකා සෞඛ්‍ය සේවයට සැලකිය යුතු ලෙස බලපෑම් සිදුකරමින් තිබේ.

ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක් වන පළාත් පාලන මැතිවරණය දින නියමයක් නොමැතිව කල්දමා ඇත. රජය පාර්ශවයෙන් අධිකරණය වෙත දන්වා ඇත්තේ රජයට මැතිවරණය පැවැත්වීමට ප්‍රමාණවත් මුදල් නොමැති බවයි.

මේ අතර ආණ්ඩුව මහජන මර්දනය කිරීමේ ක්‍රියා පිළිවෙතක දිගින් දිගටම සිටින බවට චෝදනා කරමින් පළකෙරෙන මහජන මෙන්ම වෘත්තීය විරෝධතා ද නැවත සැලකිය යුතු ලෙස වර්ධනය වෙමින් තිබේ. 'විද්‍යුත් විකාශන නියාමන කොමිෂන් සභා පනත් කෙටුම්පතක්' ගෙන ඒමට ආණ්ඩුව සූදානම් වන්නේ එවන් පසුබිමක් තුළය.

නව පනත ක්‍රියාත්මක වීමෙන් මාස 3ක් ඇතුලත සියලු විද්‍යුත් මාධ්‍ය ආයතන විකාශන බලපත්‍ර සඳහා අලුත් අයදුම්පත් ඉදිරිපත් කළ යුතු වේ.

යෝජිත කොමිෂන් සභාව සාමාජිකයින් 5 දෙනෙකුගෙන් සමන්විත වන අතර අමාත්‍යංශ ලේකම්වරයෙක් සහ විදුලි සංදේශ අධ්‍යක්ෂ ජනරාල්වරයා එහි සාමාජිකයෝ වෙති.

සෙසු සාමාජිකයින් තිදෙනා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා දායක සභාවේ අනුමැතියට යටත්ව ජනපති විසින් පත්කරනු ලබයි.

සාමාජිකයින් අතුරින් සභාපතිවරයා තෝරා පත් කරනු ලබන්නේ ජනපති විසිනි.

විකාශන නියාමන කොමිසමේ අරමුණු මොනවාද?

  • විකාශන සේවා ආයතන මගින්, ව්‍යවස්ථාවෙන් තහවුරුකර ඇති පරිදි ජනතාවට නිවැරදි සහ සත්‍ය තොරතුරු සැපයීම තහවුරු කිරීම
  • විකාශන සේවා ආයතන මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14(අ) වගන්තියෙන් තහවුරුකර ඇති ප්‍රකාරව අදහස් දැක්වීමේ හා භාෂණයේ නිදහස තහවුරු කිරීම
  • විකාශන සේවා ආයතන වෙත විනිවිදභාවයෙන් සහ අපක්ෂපාතීව වාර්ෂික බලපත්‍ර නිකුත් කිරීම
  • විද්‍යුත් විකාශන සේවා ආයතන නියාමනය කිරීම
  • විකාශන සේවා සඳහා නිකුත් කර ඇති බලපත්‍ර අවභාවිතා කිරීම වැළැක්වීම
  • විකාශන වැඩසටහන් තුළින් මාධ්‍ය සාක්ෂරතාව,දැනුම හා අධ්‍යාපනයේ ගුණාත්මකභාවය තහවුරු කිරීම
  • සමාජයේ බහුත්වවාදයට ගරු කරමින් විකාශන සේවා සැපයීම තහවුරු කිරීම
  • ජනතාවගේ මානසික හා අධ්‍යාත්මික සංවර්ධනය උදෙසා විකාශන මාර්ගෝපදේශ නිකුත් කිරීම
  • සාහිත්‍ය ප්‍රවර්ධනය වන පරිදි ශ්‍රව්‍ය දෘෂ්‍ය මාධ්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම
  • විශේෂ අවශ්‍යතා ඇති පුද්ගලයින්, කාන්තාවන් හා බාලවයස්කරුවන්ගේ අයිතීන් තහවුරු කිරීම
  • මහජන සාමයට, ජාතික ආරක්ෂාවට සහ ජාතික ආර්ථිකයට හානිදායක නොවන පරිදි විකාශන සේවා පවත්වාගෙන යාම තහවුරු කිරීම
  • බලපත්‍රලාභී විකාශකයින් සමග සාකච්ඡාකර විකාශන ආයතන විසින් අනුගමනය කළ යුතු ආචාර ධර්ම පද්ධතියක් හඳුන්වාදීම

 මාධ්‍ය ආයතනවලට බලපත්‍ර නිකුත් කිරීමේ පොදු නීතියක් රට තුළ නොමැති බවද රජය අවධාරණය කරයි.

| මාධ්‍ය ආයතනවලට විකාශන බලපත්‍ර නිකුත් කිරීමේ පොදු නීතියක් රට තුළ නොමැති බවද රජය අවධාරණය කරයි.

විද්‍යුත් විකාශන නියාමන පනතක් කුමකටද?

ආණ්ඩුව පවසන්නේ, මේවන විට මාධ්‍ය ආයතනවල විකාශන කටයුතු නියාමනය උදෙසා නිසා ක්‍රමවේදයක් නොමැති බවයි. මාධ්‍ය ආයතනවලට විකාශන බලපත්‍ර නිකුත් කිරීමේ පොදු නීතියක් රට තුළ නොමැති බවද ආණ්ඩුව අවධාරණය කරයි.

දැනට සියළුම පෞද්ගලික මාධ්‍ය ආයතන වලට ලබා දී ඇත්තේ තාවකාලික බලපත්‍ර බවත් ඕනෑම අවස්ථාවක ඒවා අවලංගු කිරීමේ හැකියාව ඇති බවත් ආණ්ඩුව පෙන්වා දෙයි.

මෙවැනි පනත් අලුත් දෙයක් නොවන බවත්,එක්සත් රාජධානිය, ජර්මනිය, ස්විට්සර්ලන්තය වැනි රටවලද මෙවැනි පනත් ක්‍රියාත්මක බව ඔව්හු කියා සිටිති.

අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ බීබීසී සිංහල වෙත පැවසුවේ, “මේ රටේ ලයිසන් නිකුත් කරන්න කිසිම නීතියක් නැහැ. පළවෙනි කාරණය, ජනමාධ්‍ය නිසි ලෙස හසුරුවා ගන්න අයිතිවාසිකම් දීලා නැහැ.” අමාත්‍යවරයා පැවසීය.

“දැනට ඔක්කොටම දීලා තියෙන්නේ ටෙම්පරි. ලයිසන් කාටවත් නැහැ. ලයිසන් එකක් නැහැ නීත්‍යානුකූලව හරියට. ඒ ගොල්ලෝ තරග කරන ආයතනවල පනතක් යටතේ තමයි, ඒවා දීලා තියෙන්නේ . රූපවාහිනි නාලිකාවලට දීලා තියෙන්නේ, රූපවාහිනී පනත යටතේ. ගුවන් විදුලි නාලිකාවලට දීලා තියෙන්නේ ගුවන් විදුලි සංස්ථා පනත යටතේ. ඒගොල්ලෝ කම්පිටිටර්ස්ලා.එක ආයතනයකින් අනෙක් ආයතනයකට බලපත්‍ර දෙනවා. අනිත් එක ටෙම්පරි ලයිසන් ගත්තාම, 10ක් ගත්තොත් දහ විදිහටකට තියෙන්නේ. එක් එක ඇමතිලා අල්ලගෙන ඕන විදිහට අරන්. ඒකෙ සම තත්ත්වයක් නැහැ.”

එම තත්ත්ත්වය පාලනය කිරීමට සහ ප්‍රතිපත්තියක් මත කටයුතු කිරීම සඳහා මෙම පනත ගෙන එන බව අමාත්‍ය විජයදාස රාජපක්ෂ පැවසීය.

සමාජ මාධ්‍ය කිසිලෙසකින් මෙයට අදාළ නොවන බවද ඔහු අවධාරණය කළේය.

විද්‍යුත් විකාශන නියාමන කොමිෂන් සභාවක් පිහිටුවීමට මෙමගින් යෝජිතය.

මේ සම්බන්ධයෙන් දළ කෙටුම්පතක් පමණක් ඉදිරිපත්ව ඇති අතර යෝජනා තවමත් සාකච්ඡා මට්ටමේ පවතින බව ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් අනූෂ පැල්පිට බීබීසී සිංහල වෙත පැවසීය.

යෝජිත පනත මගින්, විද්‍යුත් මාධ්‍ය ආයතන වෙත බලපත්‍ර නිකුත් කිරීමේ බලතල, දේශපාලන අධිකාරියෙන් ඉවත් කර ස්වාධීන කොමිෂන් සභාවක් යටතට පැවරීමට රජය අදහස් කරයි.

කැබිනට් අනුකාරක සභාවක්

යෝජිත පනත් කෙටුම්පත සැකසීම උදෙසා කැබිනට් අනුකාරක සභාවක් පත් කර ඇති අතර අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ එහි සභාපති ධුරය දරයි.

බන්දුල ගුණවර්ධන

කෙහෙලිය රඹුක්වැල්ල

නිමල් සිරිපාල ද සිල්වා

මනූෂ නානායක්කාර

රමේෂ් පතිරණ යන අමාත්‍යවරු මෙම කැබිනට් අනුකාරක සභාව නියෝජනය කරති.

මෙම අනුකාරක සභාව පාර්ලිමේන්තුව සංකීර්ණයේදී විද්‍යුත් විකාශකයින්ගේ සංගමය හමුවු අතර සංගමය එහිදී යෝජිත දළ කෙටුම්පතේ සිංහල පිටපතක් ලබාදෙන ලෙස ඉල්ලා ඇත. එම පිටපත ලබා දීමෙන් අනතුරුව සති දෙකක් තුළ විකාශකයින්ගේ සංගමයේ අදහස් ලිඛිතව ලබා දෙන බව මෙම කැබිනට් අනුකාරක සභාවට දැනුම් දී තිබේ.

විද්‍යුත් විකාශකයින්ගේ සංගමයේ සභාපති අසංග ජයසූරිය බීබීසී සිංහල වෙත පැවසුවේ, රජය දැනට ඉදිරිපත් කරන දළ කෙටුම්පත තම සංගමය ප්‍රතික්ෂේප කරන බවයි.

කැබිනට් අනුකාරක සභාව සමග පැවති සාකච්ඡාවේදී තමන් ඒ බව දැනුම් දුන් බවද ඔහු සඳහන් කළේය.

“දැන් දීල තියෙන එක අනුව, තනිකරකම ජනාධිපතිවරයට පත් කරන්න පුළුවන් සහ අස්කරන්න පුළුවන් අය තමා මේකේ ඉන්නේ. මේක සම්පූර්ණයෙන්ම ආණ්ඩුවේ පාලනයක් යටතට ගැනීමක් නේ වෙන්නෙ, නියාමනයක් නෙමේනේ . මේකේ ඉන්න ජනමාධ්‍ය ලේකම් කිව්වම, ජනාධිපතිවරයට පත් කරන්නත් පුළුවන්. අයින් කරන්නත් පුළුවන්.”

“පුළුල් කතිකාවක් කරලා , සහනියාමනය කියන තත්ත්වය යටතේ අලුතින්ම එකක් ගේන්න ඕනේ. මේක සංශෝධනය කරන එක නෙමේ අපි ඉල්ලන්නේ.අලුතින්ම ගේන්න ඕනේ.” අසංක ජයසූරිය පැවසුවේය.

“අධිකාරිය ස්වාධීන නැහැ”

පුද්ගල නිදහස සීමා කිරීමේ වෑයමේ කොටසක් ලෙස මෙම පනත් කෙටුම්පත ගෙන එන බව තම හැඟීම යැයි, ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් බීබීසී සිංහල වෙත පැවසීය.

දැනට නිකුත් කර ඇති දළ ආකෘතිය කලින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් විභාග කර , ජනමත විචාරණයක් අවශ්‍ය බවට නිගමනය කළ කෙටුම්පතට සමාන බවද ඔහු සඳහන් කළේය.

“මේකේ කියනවා සත්‍ය නියාමන කරන එක ගැන.ඇත්තටම සත්‍ය කොහොමද නියාමනයක් කරන්නේ? කව්ද තෝරන්නේ සත්‍ය මොනවද කියලා. එහෙම බලනකොට මම හිතන්නේ මේ පනත් කෙටුම්පතත් ගෙන්නේ පුද්ගල නිදහස සීමා කරන වෑයමේ කොටසක් හැටියට කියලා.” ජනාධිපති නීතිඥවරයා පැවසීය.

“සංයුතිය සලකා බැලීමේදී 5 දනොගෙන් දෙදෙනෙකුම රජයේ නිලධාරීන්. ඒගොල්ලෝ රජයේ අණසකට යටත් වන අය. ඒක ස්වාධීන අධිකාරියක් කියලා කියන්න බැහැ.ඒකෙ සංයුතියයි ඒකෙ සියලු දේ බලනකොට.”

“මේ වෙලාවේ මේක අනවශ්‍යයි.” ජනාධිපති නීතිඥ සාලිය පීරිස් පැවසීය.

“ජනාධිපතිතුමා ම පිළිගන්නවානේ, මේ පාර්ලිමේන්තුවට ජනතා සහයෝගයක් නැහැයි කියලා. එවගේ තත්ත්වයක් යටතේ මේවගේ පාර්ලිමේන්තුවක් ඔය පනත් කෙටුම්පත ගෙන එන එක මම නම් හිතන්නේ නැහැ සුදුසුයි කියලා.” ඔහු කියා සිටියේය.

මාධ්‍ය ආයතන වහන්නත් පුළුවන්ද?

යෝජිත විද්‍යුත් විකාශන අධිකාරී පනත් කෙටුම්පත මගින් මාධ්‍ය ආයතන මර්දනය කිරීමට හෝ රජය විවේචනය කරන මාධ්‍ය ආයතන වසා දැමීමේ හැකියාවක් ඇති බව එල්ලවන ප්‍රධාන විවේචනයකි.

දළ කෙටුම්පතට අනුව පනත් කෙටුම්පතේ ප්‍රතිපාදන උල්ලංඝනය කරන, කොමිසමේ නියෝගවලට අනුව කටයුතු නොකරන, විකාශන බලපත්‍ර නිකුත් කිරීමේදී දක්වා ඇති කොන්දේසිවලට අනුකූලව කටයුතු කිරීමට අපොහොසත් වන මාධ්‍ය ආයතනවල විකාශන බලපත්‍ර අහෝසි කිරීමට,අත්හිටුවීමට හෝ දඩපැනවීමේ හැකියාව කොමිසම සතුවෙයි.

එමෙන්ම ජාතික ආරක්ෂාවට, ජාතික ආර්ථිකයට තර්ජනයක් වන හෝ ජනවර්ග හෝ ආගම් අතර ගැටුම් නිර්මාණය වන ආකාරයේ කිසියම් විකාශනයක් කර ඇත්නම් එවැනි ආයතනවලට එරෙහිව ක්‍රියාකිරීමේ බලයද කොමිසම සතුවේ.

එබැවින් යෝජිත නව පනත් කෙටුම්පත විකාශන බලපත්‍ර නිකුත් කිරීම සඳහා පොදු නීතියක් හඳුන්වා දීම කෙසේවෙතත් අනිසි ලෙස භාවිත කිරීමට ඉඩ ඇතැයි, බොහෝ පාර්ශව පෙන්වා දෙති.

“ප්‍රශ්නය ඒක තියෙන්නේ භාවිත කලොත් දැනට ආණ්ඩුව විවේචනය කරන මාධ්‍ය මර්දනය කරන්න.” ජනාධිපති නීතිඥ සාලිය පීරිස් විමසා සිටියේය.

නව පනත ක්‍රියාත්මක වීමෙන් මාස 3ක් ඇතුලත සියලු විද්‍යුත් මාධ්‍ය ආයතන බලපත්‍ර ලබා ගැනීම සඳහා අලුත් අයදුම්පත් ඉදිරිපත් කළ යුතු වේ. අනතුරුව වාර්ෂිකව බලපත්‍ර අලුත් කළ යුතු වෙයි.

“අවුරුද්දෙන් අවුරුද්ද අලුත් කරන කොට ඒ ආයතන අසරණ වෙනවා. ආණ්ඩුවේ අණසකට යටත් වෙනවා, ඒ ප්‍රශ්න තියෙනවා.” ජනාධිපති නීතිඥවරයා සඳහන් කළේය.

වෙරිටේ රිසර්ච් ආයතනයේ මාධ්‍ය හා දේශපාලන අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ දීපාංජලි අබේවර්ධන ද මේ සම්බන්ධයෙන් බීබීසී සිංහල සමග අදහස් දැක්වුවාය.

“ලංකාවේ විටින් විට මේවගේ රාජ්‍ය මැදිහත් වීම් කරන්න උත්සහ කරලා තියෙනවා, එවගේම කරලා තියෙනවා, මාධ්‍ය සම්බන්ධ නීති පනවන්න. නීති ගේන්න. මේකෙදි ප්‍රධානම ගැටලුව තමා රාජ්‍ය සම්බන්ධව තියෙන අවිශ්වාසය ලංකාවේ. මොකද මාධ්‍ය සම්බන්ධ නියාමනයකදී රාජ්‍ය කොහොමද හැසිරිලා තියෙන්නේ.ඒ සම්බන්ධ තියෙන කටුක අත්දැකීම්, ඒ සම්බන්ධයෙන් තියෙන අවිශ්වාසයන් බැහැර කරන්න බැහැ.”

“මාධ්‍ය වගේ දේකට රාජ්‍ය මේ විදිහට බලපෑම් කරන්න හදද්දී අපිට සුළුවෙන් තකන්න පුළුවන් එකක් නෙමෙයි”.

“ඒක මේ ආණ්ඩුව කවුද කියන එක නෙමෙයි ගැටලුව. රාජ්‍ය මැදිහත් වීම කියන එකයි ගැටලුව. අවිශ්වාසය පෙර දැරිව තමයි බලන්නේ, මේ තාක්කල් සිදුවෙලා තියෙන සිදුවීම් එක්ක.”

“මේක සාධාරණීකරණය කරන්න, මේක ගේන අය කියන එකක් තියෙනවා, මාධ්‍ය අන්තර්ගතය ගැටලුකාරී කියන එක. එතකොට මාධ්‍යයටත් වගකීමක් තියෙනවා පුළුවන් තරම් ආචාර ධර්ම රැකගෙන ආචාර ධර්මවලට අනුකූලව වාර්තාකරණය කරන්න නැත්නම්, එතකොට ඔය වගේ සාධාරණීකරණය කරන්න බැහැ.” නියෝජ්‍ය අධ්‍යක්ෂවරිය පවසයි.

පසුගාමී ආකෘතියක්

මාධ්‍ය විශ්ලේෂක නාලක ගුණවර්ධන පැවසුවේ මෙය පසුගාමී ආකෘතියකට අනුව සැකසුණු, ස්වාධීන නියාමනයට ඉඩක් නොතබන අන්දමේ නීති කෙටුම්පතක් බවයි.

“අද ශ්‍රී ලංකාවේ පවතින ජනමාධ්‍ය සහ වෙනත් සන්නිවේදන ක්‍රියාදාමයන් යම් නියාමනයකට නතු විය යුතු බවට විවාදයක් නැහැ. කිසිදු නියාමනයක් නැති තැන ජනමාධ්‍ය සහ සෙසු සන්නිවේදන සේවාවන් විවිධාකාරයෙන් අවභාවිත විය හැකියි.”

මුලින්ම අවධාරණය කළ යුත්තේ ජනමාධ්‍ය නිසි ලෙස නියාමනය කිරීම (media regulation) යනු සෘජු හෝ වක්‍ර ලෙසකින් ජනමාධ්‍ය වාරණය කිරීම (censorship) නොවන බවත්, බොහෝ දෙනෙකු මෙම සංකල්පයන් දෙක පටලවා ගන්නා හෙයින් මෙය නිරවුල්ව තේරුම් ගැනීම වැදගත් බවත් ඔහු පැවසීය.

1966 අංක 38 දරණ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථා පනත පනතේ 44 වගන්තිය යටතේ පෞද්ගලික ගුවන් විදුලි නාලිකා සඳහාත්, 1982 අංක 6 දරණ ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථා පනතේ 17, 28 සහ 30 වගන්ති යටතේ පෞද්ගලික රූපවාහිනී නාලිකා සඳහාත් ජනමාධ්‍ය විෂය භාර අමාත්‍යාංශය විසින් විකාශන බලපත්‍ර නිකුත් කරයි.

නාලක ගුණවර්ධන පෙන්වා දෙන්නේ “මේ බලපත‍්‍ර දීමට කිසිදු ආකාරයක ප්‍රසිද්ධ හෝ විවෘත ඉල්ලුම්පත් කැඳවීමක් සිදු වූයේ නැහැ. කිසිදු මුදලක් රජය විසින් අය කෙරුණේද නැහැ. සමහර බලපත්‍රවල වලංගු කාල සීමාවක් ද සඳහන් නැහැ”

පවතින නීති යටතේ පෞද්ගලික විද්‍යුත් මාධ්‍ය සඳහා බලපත්‍ර නිකුත් කිරීම ඇරඹුණේ තාවකාලික ක්‍රමවේදයක් ලෙස වුවද, දශක තුනකට වැඩි කාලයක් රජයන් කිහිපයක් යටතේ එය දිගටම පවත්වා ගොස් තිබේ.

“රටක සංඛ්‍යාත පරාසය සීමිතයි. එය පොදු දේපළක්. සංඛ්‍යාත පුද්ගලයන්ට හෝ සමාගම්වලට අයිති නැහැ. මේ පොදු දේපළහෙි භාරකරුවා ලෙස රජය කළ යුත්තේ සංඛ්‍යාතයන් කුලියට හෝ බද්දට දීම මිස කිසිවකුට ඒවා සින්නක්කරයට දීම නොවෙයි. අපේ සංඛ්‍යාත බෙදා දීම කිසිදු පිළිවෙළකට සිදු වී නැහැ.” නාලක ගුණවර්ධන පැවසීය.

“ක්ෂේත්‍රයේ විධිමත් බවක් ඇති කිරීම පිණිස රාජ්‍ය හා පෞද්ගලික දෙඅංශයේම විද්‍යුත් මාධ්‍ය ආවරණය කරන නව නීතියක් හඳුන්වා දිය යුතුයි. මේ දක්වා ගත් උත්සාහයන් සාර්ථක වෙලා නැහැ”ඔහු කියා සිටියි.

ස්වාධීන විද්‍යුත් මාධ්‍ය නියාමන ආයතනයක් පිහිටු වීමේ අවශ්‍යතාව දිගටම පවතින බැවින් ඒ ගැන විමසා නිර්දේශ කිරීමට ජනමාධ්‍ය අමාත්‍යාංශය 2017-18 වකවානුවේ විද්වත් කමිටුවක් පත්කරනු ලැබීය.

මහාචාර්ය රොහාන් සමරජීව සභාපති ලෙස ක්‍රියා කළ මෙම කමිටුවේ ආචාර්ය ප්‍රදීප් වීරසිංහ, යුනෙස්කෝවේ හිටපු මාධ්‍ය අංශාධිපති විජයානන්ද ජයවීර සහ ජනමාධ්‍ය පර්යේෂක එම්. ජේ. ආර් ඩේවිඩ් යන විද්වතුන් ද වූහ.

සන්නිවේදන තාක්ෂණයේ නූතන ප්‍රවණතා සැලකිල්ලට ගනිමින් ද, ජාත්‍යන්තරව විද්‍යුත් මාධ්‍ය නියාමනය සඳහා පිළිගැනෙන ප්‍රශස්ත ක්‍රමවේදයන්හි (international best practices) ආභාෂය ලබමින් ද තාක්ෂණික වාර්තාවක් සහ ස්වාධීන විද්‍යුත් මාධ්‍ය අධිකාරියක් සඳහා නීති කෙටුම්පතක් එම කමිටුව 2019 මැද වන විට සම්පාදනය කළත් එම කෙටුම්පත ගැසට් කිරීම 2015-20 රජයේ ධුර කාලය තුළ සිදු නොවූ බව නාලක ගුණර්ධන පෙන්වා දෙයි.

ඔහුගේ අදහස වන්නේ, මේ දක්වා මෙරට කෙටුම්පත් කොට ඇති ප්‍රශස්තම විද්‍යුත් මාධ්‍ය නියාමන නීතිය එය බවටයි.

“එතැන් සිට ඉදිරියට කර ගෙන යනවා වෙනුවට, 2023 මැයි මාසයේ නිකුත් කර තිබෙන්නේ බෙහෙවින් පසුගාමී ආකෘතියකට අනුව සැකසුණු, ස්වාධීන නියමනයට ඉඩක් නොතබන අන්දමේ නීති කෙටුම්පතක්. මෙසේ අනවශ්‍ය ලෙස ආපස්සට යාම නිසා ක්ෂේත්‍රයට ඉතා අවශ්‍ය ප්‍රතිසංකරණ තවත් අතපසු වනවා” මාධ්‍ය විශ්ලේෂක නාලක ගුණවර්ධන අවධාරණය කළේය.

ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක්වෙයිද?

ශ්‍රී ලංකා විද්‍යුත් මාධ්‍ය අධිකාරියක් පිහිටුවීමට 1997 මාර්තුවේ එවකට රජය පනත් කෙටුම්පතක් ගැසට් කළ අවස්ථාවේදී, පුරවැසියන් කිහිප දෙනෙක්, පුරවැසි සංවිධාන කිහිපයක් සහ පෞද්ගලික විද්‍යුත් මාධ්‍ය සමාගම් හතරක් ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ එය අභියෝගයට ලක් කළහ.

රාජ්‍ය විද්‍යුත් මාධ්‍ය එක් අන්දමකටත්, පෞද්ගලික විද්‍යුත් මාධ්‍ය තවත් අන්දමකටත් නියාමනය කිරීමට යෝජිතව තිබීම වෙනස්කමක් හා අසාධාරණයක් බවට ඔවුන් ඉදිරිපත් කළ තර්කය ඇතුළු තවත් සාධක සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය, එම කෙටුම්පත ව්‍යවස්ථානුකූල නොවන බව තීරණය කරනු ලැබීය.

“මේකත් ඉතින් අවසානයේ ශ්‍රේෂ්ඨාධිකරණය බැහැ කිව්වොත් එතනින් නතර වෙනවා. ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය නොවන විදිහට තමා හදලා තියෙන්නේ,ශ්‍රේෂ්ඨාධිකරණය කිව්වොත් වගන්ති කඩවෙනවා කියලා අපිට එතකොට වෙනස් කරන්න වෙනවා. රටේ ව්‍යස්ථාවට අනුව තමා කොයිදෙත් වෙන්නෙ. ඒක ඉතින් අපිට ප්‍රශ්නයක් නැහැ.” අධිකරණ අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ පැවසීය.

(bbc/sinhala)