(මෙම ලිපියේ දී 'ස්ත්‍රී දූෂණය' යන යෙදුම භාවිතා කෙරෙන්නේ, ස්ත්රීන්ට එරෙහි ලිංගික බලහත්කාරකම් සහ අඩත්තේට්ටම් සඳහා වන නීතිමය යෙදුම එය නිසාවෙනි.)
ශ්‍රී ලංකාව තුළ ලිංගික හිංසනයන්ට ගොදුරු වූ වින්දිතයන් සඳහා යුක්තිය ඉටුකෙරෙන්නේ ඉතා මන්දගාමීව හා අකාර්යක්ෂමව ය.
ශ්‍රී ලංකාවේ ස්ත්‍රී දූෂණ සිදුකරන පිරිමින්ගෙන් බහුතරය දඬුවම් නොලබා නිදැල්ලේ පසුවන අතර, 2013 දී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය සිදුකළ අධ්‍යයනයකට අනුව ඔවුන්ගෙන් 96.5%ක් කිසිදු නීතිමය ප්‍රතිවිපාකයකට මුහුණ දී නැත.
විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයෙන් ඉදිරිපත් කර ඇති වර්තාවක දැක්වෙන පරිදි, 2019 වසරේ දී ශ්‍රී ලංකාවෙන් ස්ත්‍රී දූෂණ සිදුවීම් 1779ක් වාර්තා වී තිබූ මුත්, ඒ සම්බන්ධයෙන් ගොනු කර ඇති පැමිණිලි හෝ අධිචෝදනා සංඛ්‍යාව 235ක් පමණි.
එමෙන්ම, ලිංගික අතවරයක් ගැන පැමිණිලි කිරීමට නීතිය ඉදිරියට යන කාන්තාවන්ට හා ළමුන්ට, ඔවුනට සිදුවූ අතවරය වසර ගණනක් තිස්සේ නැවත නැවතත් අධිකරණය ඉදිරියේ විස්තර කරන්නට සිදුවීමත්, ලිංගික හිංසනයන්හි වින්දිතයින් සමාජ අවමානයට පාත්රවීමත් නිසා, ලිංගික අඩත්තේට්ටමට හෝ අතවරය ලක්වෙන බොහෝදෙනා එය අතවරයක් වශයෙන් හඳුනාගත්ත ද නීතිය ඉදිරියට යෑමට මැළිවෙයි.
ඉඳින්, ශ්‍රී ලංකාවේ ලිංගික අපරාධ සම්බන්ධයෙන් යුක්තිය පසිඳලීමට ඌණ ලිංගික අධ්‍යාපනයත්, සමාජයීය සහ සංස්කෘතික තහංචිත් පමණටම නීති පද්ධතියේ ඇති අඩුලුහුඬුකම් හා දැඩි ප්‍රමාදය ද වගකිව යුතුබව පෙනෙන්නට ඇති කරුණකි.
නීතිමය ප්‍රතිපාදන මොනවා ද?
කාන්තාවන්ට හා දරුවන්ට එරෙහි ලිංගික හිංසනයන් සිදුවීම ශ්‍රී ලංකාව තුළ එදිනෙදා බහුලව අසන්නට දකින්නට ලැබෙන්නකි. දණ්ඩ නීති සංග්‍රහයේ 363 වන වගන්තියේ (අ) සිට (ඈ) දක්වා උපවගන්ති යටතේ ස්ත්‍රී දූෂණය බරපතල අපරාධයක් වශයෙන් අර්ථ නිරූපණයකර ඇත.
නමුත්, මින් ආවරණය කෙරෙන්නේ පුරුෂයකු විසින් කාන්තාවක් දූෂණය කිරීම පමණක් වන අතර, එය ද, පුරුෂයකුගේ ශිෂ්ණයක් කාන්තාවකගේ යෝනිය තුළට ඇතුළුකර සිදුකරන දූෂණයකට පමණක් සීමා වේ. මුඛ හෝ ගුද දූෂණය ඊට ඇතුළත් නොවේ.
මීට අමතරව, පහත සඳහන් වගන්තීන් ද ලිංගික අපරාධ සම්බන්ධයෙන් භාවිතා වේ:
- ලිංගික අතවර කිරීම (345 වගන්තිය) - වචනයෙන් හෝ ක්‍රියාවෙන් සිදුකරන ලිංගික අතවර ඇතුළත් ය
- බරපතල ලිංගික අපයෝජන (365 (ආ) වගන්තිය) - අනෙකුත් ආකාරවල ලිංගික ප්රචණ්ඩත්වය ආවරණය වේ. එහෙත්, විත්තිකරු ඒවා තමාට ලිංගික තෘප්තිය ලබාගනු පිණිස සිදුකළ ක්රියාවන්විය යුතු ය
- පුද්ගල කුට්ටනය (360 (අ) වගන්තිය)
- ළමුන්ගෙන් යුතු ලිංගික ප්‍රයෝජන ගැනීම හා පොළඹවා ගැනීමට තැත්කිරීම (360 (ආ, ඉ) වගන්ති)
කෙසේ නමුත් වෛවාහක ස්ත්‍රී දූෂණය ද මේ යටතට නොවැටෙයි. ශ්‍රී ලංකාව, වෛවාහක ස්ත්‍රී දූෂණය අපරාධයක් ලෙස නොසලකන රටවල් 36න් එකකි.
ලංකාවේ නීතියට අනුව වෛවාහක ස්ත්‍රී දූෂණය වරදක් ලෙස සැලකෙන්නේ පුරුෂයෙකු සිය ස්ත්‍රිය සමග නීති මාර්ගයෙන් වෙන්ව සිටින අතරතුරේ ඇගේ කැමැත්තෙන් තොරව මෛථුනයේ යෙදුණු අවස්ථාවක දී පමණකි.
වෛවාහක ස්ත්‍රී දූෂණය සම්බන්ධයෙන් නීතිය විසින් සිදුකර ඇති මේ නොසලකා හැරීම, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දැක්වෙන මූලික අයිතිවාසිකම් ද උල්ලංඝනය කරයි.
පුරුෂයින් වින්දිතයින් නොවේ
ශ්‍රී ලංකාවේ නීතිය මඟින් ලිංගික ප්රචණ්ඩත්වය නිර්වචනය කර ඇත්තේ පුරුෂයින් ද එවැනි අපරාධයන්හි වින්දිතයින් විය හැකිබව සලකා නොවේ. අපගේ නීතියේ නිර්වචනයන් අනුව දූෂණයක් සිදුවිය හැකිවන්නේ වින්දිතයා කාන්තාවක නම් හා අපරාධකරු පුරුෂයෙකු නම් පමණි. එනිසා, මෙම නිර්වචනයන් ඉතාමත් සීමාසහිතබව පැවසිය හැකි ය.
ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 (2) වගන්තියට අනුව, 'කිසිම පුරවැසියකු වර්ගය, ආගම, භාෂාව, කුලය, ස්ත්‍රී පුරුෂ භේදය, දේශපාලන මතය හෝ උපන් ස්ථානය යන හේතු මත හෝ ඉන් කවර වූ හේතුවක් මත හෝ වෙනස්කමකට හෝ විශේෂයකට හෝ භාජනය නොවිය යුතු ය'.
එනමුත්, පුරුෂයින්ට ද ලිංගික හිංසනයන් සිදුවිය හැකිබවට ශ්‍රී ලංකා නීතිය විසින් හඳුනා නොගැනීම හා එවැනි අවස්ථාවන්ට සුදුසු නීතිමය ප්‍රතිපාදන සකස් නොකිරීම හරහා ශ්‍රී ලංකාවේ පුරුෂයින්ගේ මූලික අයිතිවාසිකමක් කඩවී ඇතැ යි ද යන ගැටලුව මතුවේ.
"[පිරිමි] ළමයෙක් ලිංගික අතවරයට ලක්වුණාම 365 වගන්තිය යටතේ නීති තියෙනවා... නමුත් අවුරුදු 18ට වැඩි පිරිමිකෙනෙකු ලිංගික අතවරයට ලක්වුණාම ඒ සම්බන්ධයෙන් නීතියක් නැහැ ලංකාවෙ," විවෘත විශ්වවිද්‍යාලයයේ අපරාධ නීතිය පිළිබඳ හිටපු බාහිර කථිකාචාර්ය නීතීඥ දර්ශන කුරුප්පු අප වෙත පවසයි.
"කොළඹ ප්‍රධාන පාසැලක අවුරුදු 18ක 19ක වගෙ පිරිමි ළමයෙක් බෝඩිමේ ඉඳිද්දී, ඒ බෝඩිමේ අයිතිකාර නෝනා මේ ළමයව - ළමයා කිව්වට [නීතියෙන්] වැඩිහිටියෙක් - නිරන්තරයෙන් ලිංගික අතවරවලට ලක් කරලා තිබුණා," නීතීඥවරයා ඔහුගේ අත්දැකීමක් අප හා බෙදාගත්තේ ය.
නමුත් ඒ සම්බන්ධයෙන් පැමිණිල්ලක් ගොනු කිරීමට නීතිමය ප්‍රතිපාදන නොතිබූ හෙයින් සිසුවා අසරණවී ඇති අතර, මිතුරන් අතර විහිළුවට ලක්වණු ඇතැ යි බියෙන් ඔහු එය සඟවා තිබුණි.
| පිරිමින් හා පිරිමි ළමුන් ලිංගික හිංසනයට ලක්වීම උපහාසාත්මක මාතෘකාවක් ලෙස සමාජය විසින් සැලකෙයි. මේ, 16 හැවිරිදි සිසුවෙකු සිව්වසරක් තිස්සේ එම පාසලේ ගුරුවරියක අතින් ලිංගික අපයෝජනයට ලක්වූබව පැවසෙන පුවතක් සම්බන්ධයෙන් පළවූ අදහස් කීපයකි
මෙවැනි ලුහුඬුකම් නිසා පිරිමි දරුවන් නීතිය ඉදිරියේ දී ලිංගික හිංසකයන් ලෙස සැළකෙන අවස්ථාවන් ද වෙයි. 'ව්‍යවස්ථාපිත ස්ත්‍රී දූෂණය' පිළිබඳ නීතිය මීට හොඳ උදාහරණයකි.
දණ්ඩ නීති සංග්‍රහයේ 363 (ඉ) වගන්තියට අනුව, ස්ත්‍රීය වයස අවු. 16ට අඩු තැනැත්තියක නම් 'කැමැත්ත' යන්න අදාළ නොවන නිසා, එවැනි තැනැත්තියක සමග ලිංගික සංසර්ගයක් පැවැත්වීම 'දූෂණයක්' ලෙස සැලකෙයි. මෙය 'ව්‍යවස්ථාපිත ස්ත්‍රී දූෂණය' යි.
මෙහිදී, වයස අවුරුදු 16ට අඩු දැරියක හා දරුවෙකු කැමැත්තෙන් ලිංගික සබඳකම් පැවැත්වූ විට පවා, අදාළ පිරිමි දරුවා වැඩිහිටියෙකු නොවූව ද වරදකරුවෙකු ලෙස සැලකෙයි.
"ඒක බරපතල අසාධාරණයක්," නීතිඥ කුරුප්පු අප හා පවසයි.
"එතන දි [වයස] 16ට අඩු නම් දෙන්නටම, ඒක කැමැත්තෙන් වෙනවා නම් - දැන්, අපි හිතමුකෝ දෙන්නෙක් අවු. 15 දී ඉස්කෝලෙ දී ආදර සම්බන්ධතාවයක් පටන් අරගෙන දෙන්නා ලිංගිකව එකතුවෙනවා නම්, එතන දී දෙන්නටම දඬුවම් නොකර, පිරිමි ළමයත් වරදක් කරන්නෙ නැති විදියට සලකන්න පුළුවන් නම් හොඳ යි."
ළමුන් වැඩිහිටියන් වනතෙක්ම ඇදි ඇදී යන නඩු
"නීති ප්රමාණවත්වුණත් ප්‍රශ්නයක් තියෙනවා, දැන් ලංකාවේ නඩු විසඳීමේ ප්‍රමාදය නිසා. ඇත්තටම දැන් ළමා අපයෝජනයක් වුණාම, ඒ නඩුව අහනකොට ළමයා වැඩිහිටියෙක් වෙලා," නීතිඥ කුරුප්පු අප වෙත පවසයි.
පොළොන්නරුවේ එක් ගමක වෙසෙන නවයොවුන් දැරියකි. සහෝදර සහෝදරියන් කීපදෙනෙකු සිටින ඇගේ දෙමාපියන් ගොවියන් ය. අපි ඇයට 'නිශාන්ති' කියමු.
"නිශාන්ති අධ්‍යාපනය ලැබුවට, ඉගෙනගන්න හුඟාක්ම දුර්වල දරුවෙක්. නිශාන්තිට අවුරුදු පහළොවේ දි නිශාන්තිගෙ බාප්පා - මේ බාප්පා හැබැයි තරුණයෙක් - මේ බාප්පා නිශාන්ති එක්ක ලිංගිකව හැසිරෙනවා. අපි දන්නෙ නෑ ඒක කැමැත්තෙන් වුණා ද නැද්ද කියලා. හැබැයි [නිශාන්තිට] අවුරුදු පහළවක් නේ, එතකොට ඒක ව්‍යවස්ථාපිත ස්ත්‍රී දූෂණයක්," නීතීඥ කුරුප්පු ඔහුගේ වෘත්තීය අත්දැකීමක් අප හා බෙදාගනියි.
"නිශාන්ති කියන්නේ, 'නංගිව කඩේ යැව්වා, මල්ලියි මායි විතරයි ඉන්නේ, අම්මලා ගොවිතැන් කරන්න ගිහිල්ලා, කාටවත් කිව්වොත් මරණවා කිව්වා' කියලා," ඔහු දැරියගේ ප්‍රකාශය අප වෙත පවසයි.
නමුත් මේ සිදුවීම හෙළිදරව් වී ඇත්තේ දැරිය ගර්භනීභාවයට පත්වීම හේතුවෙනි.
"දැන්, නිශාන්තිට බබෙක් හම්බවෙන්න ඇවිල්ලා බඩ ටික ටික ලොකුවෙද්දී, අම්මලා කියලා 'බඩේ අමාරුවක් හැදිලා' කියලා... ළමයා හම්බවෙන්න සතියක් තියෙද්දී තමයි ඩොක්ටර්කෙනෙක් ගාවට ගියාම කියන්නේ, 'නෑ මේ බබෙක් හම්බවෙන්න ඉන්නේ, තව සතියයි තියෙන්නේ' කියලා. එතකල්ම නිශාන්ති දන්නෙත් නෑ - නිශාන්තිට තේරුනෙත් නැද්ද දන්නෑ ළමයෙක් හම්බවෙන්න කියලා. මේක නිශාන්තිගෙ අම්මලත් දැන් බඩ ලොකුවෙද්දී හිතන්නේ මේ 'බඩේ ගෙඩියක් ඇවිල්ලා ඇති' කියලා අර ගමේ තියෙන බෙහෙත් දිදී ඉන්නවා."
නිශාන්ති ගර්භනීබව දැනගත් දෙමාපියන් ඇයට පහරදෙද්දී බාප්පා විසින් මෙසේ සිදුවූබව ඇය හෙළිදරව් කළා ය.
එවිට ඒ සම්බන්ධයෙන් පොලීසියට පැමිණිල්ලක් සිදුකර ඇතත් එම නඩුව විභාගවෙද්දී චූදිත බාප්පා විවාහයක එළැඹ, දරුවන් ද ලබා සිටි තැනැත්තෙකි. මන්ද, ඔහු වැරදිකරුබවට තීරණය කිරීම සඳහා අධිකරණයට වසර 15ක් පමණම ගතව තිබේ.
"නඩුව අවුරුද්දෙන් අහලා ඉවර කළා නම් අර ගෑණුකෙනා [බාප්පාගේ බිරිඳ, බාප්පාව] බඳින්නෙ නෑනේ... නමුත් [නඩුව] පහුගියාම අර පිරිමිකෙනා මේ ගෑණුකෙනාව බඳින එකත් සිද්ධවුණා නේ. ඒකයි වෙන්නේ."
"අනුරාධපුරේ විතරක් තියෙනවා විශේෂ මහාධිකරණයක් ළමා අපචාර නඩු විතරක් අහන්න," ඔහු පවසයි. ලංකාවේ වැඩිම ළමා අපයෝජන ප්‍රමාණයක් වාර්තාවන්නේ අනුරාධපුරයෙනි.
ළමා ආරක්ෂණ අධිකාරියේ දත්තයන්ට අනුව 2021 වර්ෂයේ පමණක් ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ ළමා අපයෝජන සිදුවීම් සංඛ්‍යාව 11 000කි. 2022 දී වාර්තා වූ සියලු ළමා අපයෝජන සිදුවීම් අතුරින් 41%ක් ලිංගික අපයෝජනයන් විය.
| ලිංගික හිංසනයන් හඳුනාගන්නා ආකාරය හා ඒවාට විරුද්ධවිය යුතුබව ඔබ ඔබේ දරුවට උගන්වා තිබේ ද?
2019 වසරේ දී ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව ලංකාවේ කාන්තාවන් අතර සිදුකළ සමීක්ෂණයකට අනුව, ලාංකික කතුන්ගෙන් 24.9%ක් වයස අවුරුදු 15 සිට සහකරුවෙකු හෝ සහකරුවෙකු නොවන අයෙකු විසින් ශාරීරික හා/හෝ ලිංගික හිංසනයන්ට ලක්වී තිබේ. වයස අවුරුදු 15ක තැනැත්තියක ලංකාවේ නීතියට අනුව දරුවෙකුබව ද මෙහිදී සිහිපත් කිරීම වටියි.
"හැකි නම් මේ ළමා අපයෝජන නඩු, සිද්ධියේ සිට අවුරුදු දෙකක් තුළවත් අහලා නිමකරන්න ඕන කියන එක සහ ළමා අපයෝජන නඩුවක විමර්ශනය මාසයක් ඇතුළත අනිවාර්යයෙන්ම අවසන් කරන්න ඕන. මොකද ඇත්තටම ළමා අපයෝජන නඩුවක මහා ලොකු විමර්ශනයක් කරන්න වෙන්නෙ නැහැ. ළමයගෙ ප්‍රකාශයක් සටහන්කර ගන්නවා, ළමයා වෛද්‍යවරයෙක් ගාවට ඉදිරිපත් කරනවා, ඊට පස්සෙ ඒ සම්බන්ධයෙන් තහවුරු කිරීමේ සාක්ෂි තියෙනවා නම් ඒක තහවුරුකර ගත්තා, විද්‍යාත්මක සාක්ෂි, DNA සාක්ෂි තියෙනවා නම් ඒ අදාළ ආයතනවලට යවලා ඒ රිපෝට් ගෙන්නාගෙන, ඒ සම්බන්ධයෙන් නීති ගෙනැල්ලා මේ ළමා අපයෝජන නඩුවක් අඩුම අවුරුද්දක් දෙකක් ඇතුළත අහලා අවසන් කරන්න පුළුවන් වුණොත් ඒ ප්‍රශ්නේ විසඳගන්න පුළුවන් වෙයි," නීතීඥ කුරුප්පු යෝජනා කළේ ය.
පසුගිය වසරේ දී, ලිංගික අතවර කිරීම් සහ සියලුම ආකාරයේ ලිංගික අඩත්තේට්ටම් කිරීම් සාපරාධී ක්රියාබවට පත් කරන වගන්ති දණ්ඩ නීති සංග්‍රහයට ඇතුළත් කිරීමටත්, ඒ සඳහා දැඩි දඬුවම් ලබාදීමටත්, ලිංගික අල්ලස වරදක්බවට පත්කිරීම පිණිස අලුතින් වගන්තියක් ඇතුළත් කරමින් දණ්ඩ නීති සංග්‍රහය සංශෝධනය කිරීමටත් හැකි වන පරිදි පනත් කෙටුම්පතක් සකස් කිරීමට හැකිවනු පිණිස අධිකරණ ඇමැති ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කෙරිණ.
ලිංගික අධ්‍යාපනය අත්‍යවශ්‍ය ය
නීතිය සංශෝධනය කරනවා සේම, ළමා කාලයේ දීම නීතිය පිළිබඳ අධ්‍යාපනය හා ලිංගික අධ්‍යාපනය ලබාදීම හරහා ද ලිංගික හිංසන සිදුවීම හා සිදුකිරීම තරමක් දුරට වළක්වාගත හැකිබව නීතීඥවරයා ප්‍රකාශ කරයි.
"ලංකාව වගෙ රටක මම දකින ලොකුම දුර්වලතාවය තමයි, ලිංගික අධ්‍යාපනය ගැන බියසුළුබවක් දැක්වීම. ඒ කියන්නෙ ළමයින්ට ලිංගික අධ්‍යාපනය ලබා නොදීම. දැන් ලෝකෙ අනිත් රටවල්වල, ඒ ඒ නිසි වයසෙ දි, ඒ ඒ නිසි ප්‍රමාණෙට ලිංගික අධ්‍යාපනය ලබා දෙනවා. [නමුත්] ලංකාවෙ වෙන්නේ, ලිංගික අධ්‍යාපනය ලබා නොදීමත් එක්ක, අවුරුදු 18 නෙවේ සමහර විට විවාහක පිරිමි හා ගැහැණු පවා මේ ලිංගිකත්වය සම්බන්ධයෙන් ඉතාම යල් පැනපු මත තියෙන්නෙ. ඔවුන්ට අත්දැකීමක් නෑ, අවබෝධයක් නෑ, ඒ නිසා ඔවුන් අතවරයට ලක්වෙන අවස්ථා වැඩියි."
උදාහරණයක් ලෙස, "අපි ගත්තම, අවුරුදු 16කට අඩු ගෑණු ළමයෙක් එක්ක අවුරුදු 16ක පිරිමි ළමයෙක් කැමැත්තෙන් ලිංගිකව එකතුවුණත් ඒක 'රේප්' [විදියට තමයි ගණන් ගැනෙන්නේ]. එතකොට අර පිරිමි ළමයත් තවම ඉස්කෝලෙ යන ළමයෙක්. සමහර විට ඒක ආදර සබඳතාවයක් මත සිදුවෙන්නේ. හැබැයි ඔවුන්ට ලිංගික අධ්‍යාපනය යි, ඒ හා සම්බන්ධ නීතිය යි දැනගෙන හිටියා නම්, මේවා සිදුවෙන එක බොහෝදුරට වලක්වාගන්න පුළුවන්."
එමෙන්ම, කුඩා දරුවන්ට ඔවුන්ගේ සිරුර ගැනත්, ඔවුන්ගේ සිරුර හා ලිංගික අවයව ස්පර්ශ කිරීමට අවසර ඇත්තේ කාට ද යන්නත්, යහපත් හා අයහපත් ස්පර්ශය කුමක්දැ යි යන්නත් උගන්වන ලිංගික අධ්‍යාපනය මඟින්, දරුවන් අපයෝජකයින්ට ගොදුරුවීම බොහෝදුරට වළක්වාගැනීමට හැකි ය.
"විශේෂයෙන්ම ළමා අපචාර ගත්තහම, ළමයෙක් තමන්ට අතවරයක් සිදුවනබවවත් දන්නෙ නෑ. මොකද අපි ලිංගික අධ්‍යාපනය ලබාදෙන්නෙ නෑනේ. අපි ළමයින්ට උගන්නන්නෙ නෑ ඔහුගේ හෝ ඇයගේ ලිංගික අවයව මොනවා ද, ඒවා අල්ලන්න පුළුවන් කාට ද [කියන එක] - ඒ අධ්‍යාපනය ලබාදුන්නා නම්, ළමයා ඒ සම්බන්ධයෙන් දැනුවත්වෙලා හැකි ඉක්මණින් පැමිණිල්ලක් කරනවා. මේකෙ වෙලා තියෙන්නෙ, එහෙම අවබෝධයක් නැති නිසා ළමා අපයෝජන වැඩිවෙලා තියෙනවා," නීතීඥ කුරුප්පු පවසයි.
එසේම, "අපේ [ලිංගික] අධ්‍යාපනය නැති නිසා මේ සමාජයේ, ලිංගික අතවරයට පත්වෙච්ච වින්දිතයෙක් දිහා බලන්නෙ ලිංගිකත්වය විකුණනකෙනෙක් දිහා බලන විදියට. මේ අර අධ්‍යාපනය නැතිකමේ ආකල්පය තමයි," ඔහු පෙන්වා දෙයි.
| ලිංගික හිංසනය නොයෙක් ආකාරයෙන් සිදුවිය හැකි ය
ඔබ ලිංගික හිංසනයකට ලක්වී ද?
ඔබ ලිංගික හිංසනයකට ලක්වී නම් වහාම පොලීසියට පැමිණිලි කළ යුතු ය. මේ සඳහා අදාළ පොලිස් ස්ථානයේ කාන්තා හා ළමා ඒකකයට යොමුවිය හැකි ය.
"ළඟම තියෙන පොලීසියට පැමිණිල්ලක් කරපුවාම ඒ පොලීසියෙන් පැමිණිල්ල සටහන්කර ගෙන විමර්ශනය ආරම්භ කරනවා. ඊළඟට කරන්නෙ අතවරයට ලක්වූ ළමයව හෝ කාන්තාව හෝ පිරිමිකෙනාව රෝහලට යවනවා, ඒකට දෙනවා 'අධිකරණ වෛද්‍ය පරීක්ෂණ පෝරමය' කියලා [ෆෝම් එකක්]. ඒකත් අරගෙන රෝහලට ඇඩ්මිට්වුණාම, රෝහලෙන් වෛද්‍යවරයා පස්සෙ වාර්තාවක් උසාවියට එවනවා [මේ තැනැත්තා] අතවරයට ලක්වෙලා ද නැද්ද [කියන එක] සහ එයාගෙ මතය සම්බන්ධයෙන්.
"ඊට පස්සෙ පොලිසිය කවුරුහරි ඔය අතවරයට ලක්වීම දන්නා අය[ගෙන්] සාක්ෂි විමර්ශනය කරනවා, අපරාධය සිදුවුණු ස්ථානයට යනවා," ඔහු පැහැදිලි කළේ ය.
පොලීසිය පැමිණිල්ල භාර නොගන්නේ නම් ළමාරක්ෂක අධිකාරියට පැමිණිලි කිරීමට හැකි ය.
ඔබ හෝ ඔබ දන්නා අයෙකු ලිංගික හිංසනයට බඳුන්වන්නේ නම් පහත ආයතනයන්ගෙන් උපකාර පැතිය හැකි ය.
- කාන්තා කටයුතු පිළිබඳ (නීතිමය, මනෝ සමාජයීය, ආරක්ෂණ, වෛද්‍ය උපදෙස්, සහ උපකාර) දැනුම් දීමට ක්ෂණික ඇමතුම් අංකය - 1939
- Women in Need (කාන්තා පිහිට) ආයතනය - අංක 25, ටිකල් පාර, කොළඹ 08. දු.ක.: 0112671411
- ළඟම පිහිටි රෝහලේ බාහිර රෝගී අංශය සහ මිතුරු පියස
- පොලිස් ස්ථානයන්හි පිහිටි ළමා හා කාන්තා කාර්යාංශය
- ශ්‍රී ලංකා පවුල් සැලසුම් සංගමය - අංක 37/27 බුලර්ස් පටුමඟ, කොළඹ 07. දු.ක.: 0112555455
- නොමිලයේ නීති උපදෙස් සහ ආධාර ලබා ගැනීමට ශ්‍රී ලංකා නීති ආධාර කොමිෂන් සභාව - අංක 129, අලුත්කඩේ වීදිය, කොළඹ 12. දු.ක.: 0115 335 329/ 0115 335 281(මෙහි දිස්ත්‍රික් මට්ටමින් පිහිටි කාර්යයාල 77ක් ඇත)
| අමන්දා අබේසූරිය / බීබීසී සිංහල