මේ කියන “සමාජ වෙළඳපල ආර්ථිකය” සුවසැරියක් නොවේ

මේ කියන “සමාජ වෙළඳපල ආර්ථිකය” සුවසැරියක් නොවේ

මේ ශ්‍රී ලංකාවේ අවුරුදු 40 ට වැඩි කාලයක් අසාර්ථක වූ සහ වත්මන් ආර්ථික අර්බුදයට හේතු වූ විවෘත වෙළඳපල ආර්ථිකයට විකල්පයක් ඉදිරිපත් කරන්නට නොහැකි සියලු දේශපාලන පක්ෂ නතරවී සිටින්නේ, යෝධ දූෂණ වංචා වලට විරුද්ධව පමණි. ඒ අතරතුර “සමාජ වෙළඳපල ආර්ථිකයක්” ගැන ස.ජ.බ. ප්‍රධානියෙකු සහ ආර්ථික විශේෂඥයෙකු වන ආචාර්ය හර්ෂ ද සිල්වා නැවත කතා කර තිබිණ.

මීට අවුරුදු 08 ට පෙර, යහපාලන ආණ්ඩුවේ ප්‍රතිපත්ති සැළසුම් හා ආර්ථික කටයුතු රාජ්‍ය ඇමති හැටියට 2015 පෙබරවාරි 26 වන දින මැලේසියානු මහ කොමසාරිස්වරයාද සහභාගි වූ ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාවේ උත්සවයක් අමතමින් හර්ෂ කියුවේ, ඉතාම තරගකාරී “සමාජ වෙළඳපල ආර්ථිකයක්” හැදීමට ඔවුන්ගේ ආණ්ඩුව දැඩි අධිශ්ඨානයක සිටින බවය. “ගරු මහ කොමසාරිස් තුමනි, ඉන් අප අදහස් කරන්නේ, ඒ ආර්ථිකය කුළුණු දෙකක් මත පිහිටුවනවා කියලයි. එකක් ‘තරගකාරිත්වය’. එය ඉතාම බලසම්පන්න වචනයක්. අනෙක ‘ධාර්මිකත්වය’. ඉන් අපි අදහස් කරන්නේ දේශපාලනික, ආර්ථික හා සමාජ සාධාරණත්වයයි” ඔහු විස්තර කළේය.

ගිලන් රථ සේවාව

පසුගිය දිනෙක අනුර කුමාර ඔහුගේ මෑත ඕස්ත්‍රේලියානු සංචාරයේදී ඇසූ ගිලන් රථ කතාවක් මාධ්‍යයට කියා තිබූණි. රෝගියකු ප්‍රවාහනය කිරීමට එරට ගිලන් රථයක් යන්නේ හදිසි අවශ්‍යතාවක් වුවහොත් ඒ සඳහා තවත් අමතර ගිලන් රථයක්ද සමගින් යැයි අනුර කියූ කතාව සමග අවුරුදු 08 ට පසු හර්ෂ නැවත “සමාජ වෙළඳපල ආර්ථිකයක්” ගැන කතාවට මුල පුරා තිබිණ. “මේ රටේ අපි 1990 සුවසැරිය ආරම්භ කරනකම්, ඇම්බියුලන්ස් දෙකක් නෙවෙයි එකක්වත් ආවේ නැහැ. ආව නම් ආවේ, අතිශය පොහොසත් පෞද්ගලික රෝහල්වල ඇම්බියුලන්ස් වලට රුපියල් විසිපන්දාහ තිස්දාහ වියදම් කරන්න පුළුවන් ඉතාම සීමිත දාහකට දෙදාහකට පමණයි........” හර්ෂ කියා තිබිණ.

මේ රටේ සියලු ජනතාවට, කන්කසන්තුරේ සිට දෙවුන්දර දක්වා දිනපතා සුවසැරිය ගිලන් රථ 325 ක්....නොබෝ දිනකින් එය ගිලන් රථ 367 ක් විය හැකි අතර, දැනට දිනකට රෝගීන් 1,050 ක් රෝහල් වෙත ගෙන යන බවත් ඇතැම් හදිසි තත්ත්වයන් සඳහා මේ රටෙත් ගිලන් රථ දෙකක් ලබා දෙන බවත් හර්ෂ පැහැදිලි කළේය. “ඒකට තමයි අපි කියන්නේ සමාජ වෙළඳපල ආර්ථිකය කියලා....” ඔහු කීවේය. සියල්ලන්ට ගිලන් රථ සේවය ලබා දීමට නොහැකි මූලික අසාර්ථකත්වයක් වෙළඳපලේ ඇතැයි කියූ ඔහු “එතකොට වෙළඳපල කඩා වැටීම, ඒ වෙළඳපල අසාර්ථක්වය කොහොමද හදන්නේ? ඒකට තමයි රජයේ මැදිහත්වීම....රජය මැදිහත් වෙනවා දුප්පත් පොහොසත් භාවයකින් තොරව ඒ වෙළඳපලේ කඩා වැටීම නිවැරදි කරන්න. ඒ නිවැරදි කිරීම තමයි අපි සමාජ වෙළඳපල ආර්ථිකයක් කියලා අර්ථකතනය කරන්නේ” යැයි කීවේය.

අවසානවාකට ඔහු සමාජ වෙළඳපල ආර්ථිකය යැයි සිතා සිටින්නේ ජාවාරම්කාර දූෂිත වෙළඳපල ආර්ථිකයක හිස් තැන් පිරවීමක් ගැනය. ඔහු කතා කරන්නේ පවතින ජාවාරම්කාර විවෘත වෙළඳපල ආර්ථිකයෙහි ව්‍යාපාරිකයින් ලාභ ලැබිය නොහැකිව අතහැර දමන සහ සමාජ විරෝධතා හමුවේ පූර්ණ වශයෙන් පෞද්ගලීකරණය කළ නොහැකි අධ්‍යාපනය, සෞඛ්‍ය වැනි ක්ෂේත්‍ර ආණ්ඩුවට බාර ගැනීමට සිදුවීම සමාජ වෙළඳපල ආර්ථිකයෙහි වැදගත් ලක්ෂණයක් ලෙසින්ය. එය කෙතරම් අසාර්ථකදැයි කිවහොත් සුවසැරිය ගිලන් රථ සේවය මාස ගණනාවකට පෙර මේ ආණ්ඩුවට නඩත්තු කරගත නොහැකිව අවසන් කෙරෙන තැනට පත් විය. ඔහු උජාරුවට කියුවේ ආණ්ඩුව නැවත මුදල් සොයා ගන්නා තෙක් ව්‍යාපාරිකයින්ද හවුල්වී එය පවත්වා ගත් බවය. සමාජ වෙළඳපල ආර්ථිකවල අඩමානෙට නඩත්තු කෙරෙන පොදු පහසුකම් සැළසුම් නෙකෙරෙන බව ඔහු දන්නේ නැත. ජාවාරම්කාරයෝ අත නොගසන නිසා කවුරුන් හෝ ඇමතිවරයෙකු විදේශාධාර සමග ආරම්භ කරන ව්‍යාපෘතියකින් සමාජ වෙළඳපල ආර්ථිකයක් හැදෙන්නේ නැතැයි ඔහු තේරුම් ගෙන නැත.

සුභසාධනය

සමාජ වෙළඳපල ආර්ථිකය නියත වශයෙන්ම වෙළඳපල නියාමනයක් ඇතිව ආණ්ඩු විසින් සැළසුම් කෙරෙන ජාතික ආර්ථිකයකි. ඒ සඳහා ඉතිහාසයක් ඇත. එවැනි ආකෘතීන් ගොඩ නැගුණේ 1880 ගණන්වල ලිබරල්වාදය ප්‍රශ්න කරමින් ජර්මනියේ දිග හැරුණු වෙළඳපල “මැදිහත්වීනුවාදය” (Interventionism) යැයි හඳුන්වනු ලැබූ ආර්ථික ක්‍රියාවලීන් සමග ය. ජාතික සමාජවාදී ආර්ථික ප්‍රතිපත්තීන් යැයි වර්ධනය වූ ඒ ක්‍රියාවලීන් සමග සමාජ අවශ්‍යතා ඉටුකර ගැනීමේදී ධනවාදී සහ ලිබරල්වාදී ආර්ථික ආකෘතීන් අභියෝගයට ලක් කෙරුණු නව විකල්ප සඳහා අවකාශ සැපයින. මැදිහත්වීනුවාදයේ මූලික තර්කයක් වූයේ “සුභසාධනය” ධනේශ්වර වෙලඳපල ආර්ථිකයට බාධාවක් නොව, ආධාරයක් යැයි යන්න ය. කොලෝන් විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා මහාචාර්ය ක්‍රිස්ටියන් වට්රීන් “ප්‍රමුඛ අදහස් සහ ඒවායේ බුද්ධිමය මූලයන්” නම් කෘතියේ පෙරවදනෙහි කියන අයුරු “වෙළඳපල ආර්ථිකය හා සමාජ සුභසාධනය එකිනෙක ප්‍රතික්ෂේප නොකරන්නේය. අධිකාරවාදී සුභසාධන රාජ්‍ය ස්ථාපිත කළවුන් මෙන් වෙළඳපල නියමයන් හා ගැටෙන අයුරින් දිළිඳුකම පිටුදැකීම, විරැකියාව, රෝගීවීම හා වයස්ගතවීම වෙනුවෙන් වන ප්‍රගතිගාමී මැදිහත්වීම් ක්‍රියාත්මක නොකළ යුතුය. ජර්මනිය ඒ අතින් වෙනස් ය. එහි වෙළඳපල හා සමාජ සංරක්ෂණය අන්‍යෝන්‍ය සහායක් ඇතිව තිරසාර ලෙස පවතින්නකි.”

ඉන් කියැවෙන වැදගත්ම කාරණාව නම්, සමාජ වෙළඳපල ආර්ථික නිර්මාණය කිරීමේදී රටේ සංවර්ධන වගකීම් ආණ්ඩු විසින් බාර ගනු ලැබීමය. ඒ වගකීම් වෙනුවෙන් ධනේශ්වර ආර්ථිකයෙහි වෙළඳපල ගතික සමගින් සමාජ සංරක්ෂණය හා සුභ සාධනය ඉතා කාර්යක්ෂම ලෙස සැළසුම් කළ යුතු වන්නේය. එනිසා සමාජීය අවශ්‍යතා ප්‍රමුඛතාගත කිරීමේ විවෘත පිළිවෙතක් ආණ්ඩු විසින් අනුගමනය කළ යුතුව ඇත. සමෘදිය, අස්වැසුම සඳහා සමාජ වෙළඳපල ආර්ථික සඳහාවන හර්ෂගේ අර්ථකතනය අදාල නැත. ඒවා ජාතික ආර්ථික සැළසුමක් සමගින් පවත්වා ගන්නා සුභසාධන නොවේ. ඒවා දේශපාලන වාසි සඳහා ඉදිරිපත් කෙරෙන සමාජීය අල්ලස් වන හෙයිනි.

ඒ සමග කිව යුත්තේ “සමාජ වෙළඳපල ආර්ථික” ක්‍රියාත්මක වන්නේ ප්‍රධාන වශයෙන් නියෝජන ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍ය පාලන සමගින් බවය. එවගේම, නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය නිරන්තර සුපරීක්ෂණයට ලක් කෙරෙන සමාජයන්හි ය. ජර්මනිය, ප්‍රංශය හා එංගලන්තය වැනි බටහිර යුරෝපීය රටවල හා ඔස්ත්‍රියාව වැනි ජර්මානු ආභාෂයට බෙහෙවින් නතුවූ මධ්‍යම යුරෝපීය රටවල එවැනි ආර්ථික පවතින්නේ සමාජ සුපරීක්ෂණයක් සඳහාවන දැනුවත් සමාජ සතු පොදු ශක්තියක් සමගින්ය. දීර්ග කාලීන බුද්ධිමය සමාජ සංවාද විසින් තහවුරු කෙරුණු ඔවුන් සතු සමාජ වටිනාකම්, හර පද්ධතීන් හා සම්ප්‍රදායන්ගේ සමාජීය ශක්තිය මත ය. ඒවායේ ප්‍රජාතන්ත්‍රවාදී සමාජ පැවැත්ම සහතික කෙරෙන්නේද ඒ දිගු කාලීන සමාජ සම්මත මගින් මිස නීති හැදීමෙන් නොවේ. සැබෑව නම්, නීති ක්‍රියාත්මක කිරීමේ ස්වාධීන ආයතන පවතින්නේද ඒ සමාජ සම්මුතීන් සමගින්ය.

ඊට වෙනස් මගකින් සමාජ වෙළඳපල ආර්ථික අත්හදා බැලෙන රටවල්ද ඇත. සෝවියට් රුසියාවේ බිඳ වැටීමෙන් පසු පෝලන්තය, චෙක් සමූහාණ්ඩුව, රුමේනියාව වැනි සෝව්යට් බලපෑම යටතේ පැවති රටවල් වලට වෙළඳපල ආර්ථික වෙත මාරුවීමේදී, යම් පමණකට රාජ්‍ය ප්‍රජාතන්ත්‍රීයකරණය කිරීමට සිදුවූවා සේම, ඔවුන්ගේ රාජ්‍යවාදී සමාජ සුභසාධනය නඩත්තු කිරීමටද සිදුවිය. එනිසා ඒවායේද සමාජ වෙළඳපල ආර්ථික ආකෘතීන් නිර්මාණයවී ඇත. එහෙත් එවැනි රටවල සමාජ සම්මුතීන් මත තහවුරු වූ සමාජ සම්ප්‍රදායන් නොමැති හෙයින් “සමාජ වෙළඳපල ආර්ථික” තිරසාර යැයි කිව නොහැක.

 සමාජ ප්‍රජාතන්ත්‍රවාදී ආර් ථිකය

බටහිර යුරෝපා රටවල සමාජ වෙළඳපල ආර්ථික ආකෘතීන් හා ස්කැන්ඩිනේවියානු “සමාජ ප්‍රජාතන්ත්‍රවාදී ආර්ථික” ආකෘතීන් අතරත් වෙනස්කම් ඇත. ඒවා න්‍යායිකව මෙන්ම ප්‍රායෝගික පැවැත්මෙන්ද හඳුනාගත හැක. බටහිර යුරෝපා රටවල ප්‍රජාතන්ත්‍රවාදය ගුණාත්මකව අපට වඩා දියුණු සහ සක්‍රීය වූවත් ඒවාද ව්‍යවස්ථාමය වශයෙන් අපගේ නියෝජන ප්‍රජාතන්ත්‍රවාදී පාලන වැනිය. ස්කැන්ඩිනේවියානු රටවල ඇති “ජන සහභාගිත්වය” එවායේ නොමැත. ස්කැන්ඩිනේවියානු රටවල නියෝජන ප්‍රජාතන්ත්‍රවාදයෙන් ඔබ්බට ගොස් පාලනයේ ඇතැම් ආයතන සඳහා සංවිධිත ජන සහභාගිත්වයක් ව්‍යවස්ථාපිත කර ඇත.

ජන සහභාගි ප්‍රජාතන්ත්‍රවාදය ස්කැන්ඩිනේවියානු ඉතිහාසයෙහි වර්ධනය වූවකි. ඔවුන්ගේ පෞද්ගලික ව්‍යාපාර, සමූහ කෘෂි ව්‍යාපාර ලෙස ආරම්භ වූවත් ඒවායේ පරිනාමය සහ වැටුප් ශ්‍රමිකයින්ගේ වර්ධනය ඇත්තේ අන්‍යෝන්‍ය කේවල් කිරීම් සමග පැමිණි ඓතිහාසික සම්මුතීන් සමගය. එවැනි සම්ප්‍රදායක් ඇතිව ඔවුන් දෙවන ලෝකයෙන් පසු නූතන රාජ්‍ය ලෙස වර්ධනය වන්නේ සේව්‍ය සේවක කේවල් කිරීම් සඳහා ආණ්ඩුව පහසුකම් සපයන්නකු ලෙස මැදිහත්කරවා ගැනීමත් සමගය. වැඩිම වෘත්තීය සමිති සාමාජිකත්වයක් ඇති රටවල් ලෙස සැළකෙන ස්කැන්ඩිනේවියානු රටවල “ජාතික ප්‍රතිපත්ති” සම්පාදනයේදී වෘත්තීය සමිති හා හාම්පුතුන්ගේ සම්මේලන සමග ආණ්ඩු රැක ගන්නා ජාතික ත්‍රෛපාර්ශවීය කේවල් කිරීමේ සම්ප්‍රදායක් ඇත. ඔවුන්ගේ දේශපාලනයෙහි එය පවතින්නේ “උදාර සම්මුතීන්” ලෙසින්ය.

වෘත්තීය සමිති

ඒ සියල්ලෙන් කියන්නේ සමාජ වෙළඳපල ආර්ථිකයක් යනු පිරිහුණු සමාජ පැවැත්මක, සමාජයේ සාරධර්ම නොතකා පවත්වා ගත හැකි හුදු ආර්ථික ක්‍රියාවලියක් නොවන බවය. සමාජ වෙළඳපල ආර්ථිකයක් යනු දේශපාලනික ආර්ථිකයකි. එවැන්නක් පැවතිය හැක්කේ දියුණු සමාජ සම්මතයන් සහිත සැබෑ ප්‍රජාතන්ත්‍රවාදී සමාජවල මිස අපගේ වැනි දේශපාලනිකව නොදියුණු පිරිහුණු සමාජවල නොවේ. එබැවින් සුවසැරිය හුවා දක්වමින් “අපි කියන්නේ අන්න එහෙම සමාජ වෙළඳපල ආර්ථිකයක්” යැයි කීම පුම්බාපු බැලුමක් වැනි හිස් කතාවකි. ඇමෙරිකානු “යූඑස්ඒඩ්” ආයතනයේ සහාය ඇතිව 2018 දී හර්ෂද යහපාලන ආණ්ඩුවේ ප්‍රබලයෙකුව සිටියදී කෙටුම්පත් කළ සහ මේ ආණ්ඩුව ලහි ලහියේ සම්මත කිරීමට සූදානම්වන රැකියා සුරක්ෂාව අහිමි කරන, නවීන වහල් ශ්‍රමයකට මග පාදන කම්කරු නීති කෙටුම්පත ප්‍රතික්ෂේප නොකරන විපක්ෂයක ආර්ථික විශේෂඥයෙකු සමාජ වෙළඳපල ආර්ථිකයක් ගැන කතා කිරීම කොරෝනාව අස්සේ ධම්මික පැණිය විකිණීමක් වැනිය.

අපගේ වැනි රටක සමාජ වෙළඳපල ආර්ථිකයක් සඳහා දියුණු සමාජ රක්ෂණ වැඩපිළිවෙලක් ඇතුළත්ව කතා කිරීමට, සමාජීය-දේශපාලනික සාධක දෙක තුනක් සපුරා ගත යුතු වන්නේය. වෙළඳපල ආර්ථිකය උපරිම සමාජ සාධාරණයක් සහිතව නියාමනය කිරීමේ රාජ්‍ය මැදිහත්වීම් අනිවාර්ය වන්නකි. දූෂණයෙන් තොර ස්වාධීන රාජ්‍ය යාන්ත්‍රණයක කාර්යක්ෂමතාව අතිශය වැදගත් වන්නේ එවැනි වෙළඳපල නියාමනයකටය. මේ තියෙන්නාවූ රාජ්‍ය ආයතන සමග සමාජ වෙළඳපල ආර්ථිකයක් තබා කිසිදු ආර්ථිකයක් පවත්වා ගත නොහැක. සමාජ වෙළඳපල ආර්ථිකයක් සඳහා යෝජනාව රාජ්‍ය ප්‍රතිසංස්කරණ සමග ඉදිරිපත් විය යුත්තේ එබැවින්ය.

එවගේම මේ සමාජයේ පවතින සදාචාරමය පිරිහීම්, වල්වැදුණු ඇගයුම් සහ මහජාතිමය අන්තවාදී හැසිරීම්ද වෙනස් කිරීම අනිවාර්ය වන්නකි. එය මාස කිහිපයක සමාජ සංවාද මගින් ඉටුකර ගත හැකි දියුණුවක් නොවන බවද අවධාරණය කළ යුතුය. ඒ වෙනුවෙන් දුරදිග යන අධ්‍යාපනික ප්‍රතිසංස්කරණ අතිශයෙන් වැදගත් ය. පංති කාමරයකට ගාල් කරන ළමුන් තොගයකට විභාග සඳහා උත්තර කටපාඩම් කරවීම අධ්‍යාපනය නොවන බැව්, බහුතරයක් ගුරුවරුන් දන්නේ නැත. අධ්‍යාපන බලධාරීන් දන්නේද නැත. අධ්‍යාපනය පිළිබඳ එවැනි ප්‍රාථමික කෞතුක සමාජ ආකල්ප සහමුලින් වෙනස් නොකර, සමාජ අවබෝධයක් හා වගකීමක් ඇති පුරවැසියන් සමාජයට දායාද කළ නොහැකිය. එයද ඒ අනුව තවත් සමාජ සංවාදයක් ඉල්ලා සිටින්නකි.

අන්තවාදී හැසිරීම්

පාරිභෝගික අයිතීන් වෙනුවෙන් පෙනී සිටින සමාජයක් මෙන්ම, සමාජ වගකීම් හා වගවීම් වෙනුවෙන් පෙනී සිටින සමාජයක් හදා ගැනීමත් සමාජ වෙළඳපල ආර්ථිකයකට අනිවාර්ය වන්නකි. ඒ සියලු කාරණා කැටි කළහොත් හොරකම්, රැවටිලි, වංචා, දූෂණ වලින් තොරව පාරිභෝගික වෙළඳපල පවත්වා ගැනීමේ සමාජීය වගකීමක් පුරවැසියන්ට ඇති බවත් සමාජ සංරක්ෂණ හා සුභසාධනය නිසියාකාරව සමාජගත කිරීමේ රාජකාරිය ස්වේච්ඡා සුපරීක්ෂණයකට යටත්ව තබා ගැනීම සමාජ වගකීමක් වන බවත් බහුතර සමාජය නොදන්නේ නම්, සමාජ වෙළඳපල ආර්ථිකයක් පවත්වා ගත නොහැකිය.

ඒ වෙනුවෙන් අපට ඇත්තේ ඡන්දදායකයින් මිස පුරවැසියන් නොවේ යැයි කියන “පුරවැසියන්” අනෙක් අතට ඡන්දදායකයින් නොවේ. දියුණු පුරවැසියන් ඡන්දය නිවැරදිව භාවිත කිරීමට දන්නෝය. එනිසා පුරවැසියා සහ ඡන්දදායකයායි දෙදෙනෙක් නැත. ඡන්දදායකයා මැටි මෝල් කියන්නේ නම්, ඉන් කියන්නේ පුරවැසියා මැටි මෝල් කියන කතාවම ය. අවුරුදු 90 ට වැඩි කලක සිට මේ රටේ උගතුන්, වෘත්තිකයින්, නාගරික මැදිපංතිකයින්ද ඇතුළු පුරවැසියෝ ඡන්දය භාවිත කළ යුත්තේ කුමක් සඳහාදැයි තවමත් නොදන්නාහ. මෙතෙක් ඉතිහාසයේ “ජාතික සංවර්ධනය” සඳහා සැළසුමක් සමාජ කතිකාවකට ඉදිරිපත් කරමින්, ඒ වෙනුවෙන් ආණ්ඩුවක් පිහිටුවන්නට ඡන්දය ඉල්ලූ පක්ෂ ඇත්තේ නැත.

පක්ෂ නායකයින්ගෙන් එවැනි සංවර්ධන සැළසුම් ඉල්ලා සිටි පුරවැසියන්ද නැත. එනිසා ඉතිහාසයේ අති බහුතර පුරවැසියන් ඡන්දය දී ඇත්තේ ජාතිය, ආගම, කුලය සහ අතිශය පෞද්ගලික වාසි සහ පල ප්‍රයෝජන වෙනුවෙන් කෙරෙන පුද්ගල තේරීම් සඳහා පමණි. ඒ පිරිහීම වඩාත් උග්‍ර වූයේ ජයවර්ධනගේ අනුපාත මැතිවරණ ක්‍රමයෙහි “මනාප” ඡන්ද සමගින්ය. ඒ අතර විවෘත වෙළඳපල ආර්ථිකය විසින් ඒ පිරිහීම තව වටයකින් ඉස්කුරුප්පුවක් මෙන් කරකවා ඇත.

පුරවැසි වගකීම

එනිසා හර්ෂ කියන අයුරු සමාජ වෙළඳපල ආර්ථික මේ රටේ හැදිය නොහැකිය. සමාජ වෙළඳපල ආර්ථිකයක් විකල්ප සංවර්ධනයක් ලෙස ක්‍රියාවට නැගීමට නම්, මැතිවරණ එනතෙක් සිට ප්‍රකාශ නිකුත් කිරීමෙන් කළ නොහැක. විකල්පයක් ක්‍රියාවට නැගීමට නම්, සියල්ලට ප්‍රථම සමස්ථ සැළසුම, සමාජ සංරක්ෂණ හා සුභසාධනය, රාජ්‍ය ප්‍රතිසංස්කරණ, සමාජ වගකීම් හා සමාජ සාර ධර්ම, අධ්‍යාපන හා ප්‍රජා සෞඛ්‍ය සේවා සඳහා ධවල පත්‍රිකා නොපමාව සමාජය හමුවේ ලිඛිතව තැබිය යුතුය. එවැන්නක් සමාජයට ඉදිරිපත් කරන්නේ කවුරුන්දැයි අපි බලා සිටිමු.

Kusal perera 1

| කුසල් පෙරේරා

2023 ජූලි 18