” මගෙ ගම අනුරාධපුර පැත්තෙ. මම සාමාන්‍ය පෙළ හොඳටම පාස්. මගෙ තාත්තා කළේ කුළී වැඩ. මට යි නංගිලා දෙන්නටයි මල්ලිටයි වේලක් ඇර වේලක්වත් කන්න දෙන්න බැරුව අපේ තාත්තා හෙම්බත් වෙලා හිටියෙ.
අන්තිමට මම කලාපෙ රස්සාවකට ආවා. එතන ඉඳන් මට වෙච්ච දේවල් දන්නේ මම විතරයි. ඇත්තටම මට මොනවද නොවුණේ? මුලින්ම මම අනාථ වුණේ අපේම බොස් කෙනෙක් අතින්. ඊට පස්සේ මට සිද්ධ වෙච්ච දේවල් ලියන්න පුළුවන් පොතක් හරි. අවුරුද්දකින්වත් මම ගෙදර ගිහින් නෑ. ඒත් මාසයක් ගාණෙ කොහොම හරි ගෙදරට සල්ලි යවනවා. එහෙම නොකළා නම් මගේ ගෙදර අය බඩගින්නෙ මැරෙනවා …”
මේ කටුනායක ආයෝජන ප්‍රවර්ධන කලාපයෙහි යුවතියක මා සමග පැවසූ කතාවයි. මේ ඇගේ පමණක් නොව කලාපයේ බොහොමයක් යුවතියන්ගේ කඳුළු කතාව ය. අප මේ කතා කරන්නේ කටුනායක ආයෝජන ප්‍රවර්ධන කලාපය පිළිබඳවයි. මේ කලාපයෙහි සේවක සේවිකාවෝ බහුතරයක්ම ග්‍රාමීය ප්‍රදේශවලින් කටුනායක වෙත සංක්‍රමණය වූ අය වෙති. කලාපයෙහි කම්හල් අසූ හතරක් පමණ ඇති බව පැවසේ. එම කම්හල්වලට දුර බැහැරින් මෙලෙස සංක්‍රමණය වූ පිරිස දළ වශයෙන් තිස් හතර දහසක් පමණ වන බව තොරතුරු සොයා බැලීමේදී දැනගත හැකි විය.
කලාපයේ කම්හල්වල සේවක සේවිකාවන් මුහුණ දෙන ගැටලු සියල්ල පිළිබඳව සැලකුවහොත් එය ආර්ථික, සමාජීය, කායික මානසික වශයෙන් වර්ග කළ හැකිය. නමුත් ඒ සියල්ල කොටස් දෙකකට බෙදා ගත් පසු කම්හල් තුළ මුහුණ දෙන ගැටලු සහ කම්හලෙන් පිටත නවාතැනේදී සහ සමාජයේදී මුහුණ දෙන ගැටලු වශයෙන් දක්වන්නට පුළුවන.
සාමාන්‍යයෙන් කලාපයේ කම්හලක මූලික වැටුප අවම රුපියල් විසිදහස හෝ ඉන් ඉහළ අගයක් ගනියි. මෙම වැටුපට පැමිණීමේ දිරිදීමනා, නිෂ්පාදන දිරිදීමනා, අතිකාල දීමනා යනාදිය එකතු වූ විට ඔවුනට සැලකිය යුතු වැටුපක් මාසිකව උපයා ගැනීමට හැකියාව ඇත. නමුත් මේ මුදල උපයා ගැනීම සඳහා ඔවුන්ට ලබා දෙන ඉලක්ක ඉතා අසීරු ය.
කම්හලට අලුතෙන් ඇණවුමක් ලැබුණු පසු කාර්ය අධ්‍යයන (Work Study) නිලධාරියා විසින් “ප්‍රොඩක්ෂන් ලයින්” එකෙහි වේගවත්ම සේවිකාවට එය ලබා දී මිනිත්තුවක් තුළ ඇයට කොපමණ කෑලි ප්‍රමාණයක් මැසිය හැකිද යන්න සොයා බලයි. ඉලක්කය හෙවත් “ටාගට් එක” සකස් කරන්නේ එම සේවිකාවගේ වේගයට තවත් ප්‍රතිශතයක් එකතු කිරීමෙනි. ඉන්පසු වේගවත්ම සේවිකාවට මෙන්ම වැඩි වේගයකින් කටයුතු කිරීම අසීරු සේවිකාවත් වැඩ කළ යුත්තේ මෙම ඉලක්කය වෙනුවෙනි. නමුත් එකි`නෙකාගේ හැකියාවන් විවිධ ය.
එබැවින් ඉලක්කය සපුරාලීම සඳහා සමහර සේවිකාවන්ට කැප කරන්නට සිදුවන්නේ තමන්ගේ පෞද්ගලික අවශ්‍යතාවයන් ය. මුත්‍රා පහකිරීමේ අවශ්‍යතාවය වළක්වා ගැනීමට සමහර සේවිකාවන් වතුර පානයෙන් වැළකී සිටින බව දැන ගන්නට ලැබිණි. හදිසියෙන් හෝ එක්කෙනෙක් නැගිට්ටොත් ” ඔයා ගියොත් මගේ කෑලි ගාණ නේද අඩු වෙන්නේ ? ” යි කියමින් ඊළඟ සේවිකාවක් චෝදනා කරන නිසා ය. ලයින් එකේ සමහර සේවිකාවෝ තේ පානයට වෙන් වූ කාලය පමණක් නොව ඇතැම් විට දිවා ආහාරය සඳහා ඇති කාලය පවා ඉලක්ක සපුරාලීම වෙනුවෙන් කැප කරති. කිසිදු ඉස්පාසුවක් මේ සේවිකාවන්ට ලයින් එක තුළ නැත. නිසි අහරක් නොලැබීම මත පෝෂණ ඌණතාවයෙන් මතු ඔවුන් විවිධ රෝගාබාධවලට ලක්වීමේ පහසු අවකාශයක් ඇත.
අනාගතයේ මව්වරුන් වන මෙම තරුණියන්ට නිරෝගී දරුවන් බිහිකළ හැකිද? යන්න තවත් ගැටලුවක් බව පවසන්නේ කලාපයේ සේවක සේවිකාවන්ගේ ගැටලු වෙනුවෙන් පෙනී සිටින ස්ටෑන්ඩ්අප් මූව්මන්ට් ආයතනයේ විධායක අධ්‍යක්ෂිකා අශිලා දන්දෙනිය යි.
සුපර්වයිසර්ට සහ කාර්ය අධ්‍යයන නිලධාරියාට හිතවත් නම් වැඩ පහසු වේ. කාර්මික නිලධාරියා (Technician ) තවත් අයෙකි. ඔහු අමනාප කර ගත්තොත් මැෂිමේ කුමක් හෝ ආබාධයක් ඇතිවූ කල එය නිසි ලෙස සකසා ගන්නට නොහැකි වන බව එක් කම්හල් සේවිකාවක් අප හා පැවසුවාය. මේ අය හොඳින් තබා ගන්නට කේලාම්, කෙටවීම් වගේම තවත් බොහෝ දෑ කැප කරන්නට සිදුවන අවස්ථා ද නැතිවා නොවේයැයි කීවේත් එම සේවිකාවම ය. ඇය සිය නම, ගම, ආදී පෞද්ගලික තොරතුරු හෙළි කිරීමෙන් සම්පූර්ණයෙන් වැළකී සිටි අතර එනිසාම ඇගේ ඡායාරූපයක් ගැනීමේ හැකියාවක් ද අපට නොවිණි.
1978 වසරේදී කටුනායක ආයෝජන ප්‍රවර්ධන කලාපයේ ආරම්භක අවදියේදී එහි සේවයට පැමිණි බහුතරය සිංහල ජාතික තරුණ තරුණියන් ය. මේ වන විට ද්‍රවිඩ සහ මුස්ලිම් ජාතික තරුණ තරුණියෝ ද බහුලව රැකියාවල යෙදෙති. නමුත් අද වනවිටත් කම්හල්වල ශබ්ද විකාශන යන්ත්‍ර මගින් විකාශය කරන සියලු නිවේදන, කම්හල් තුළ ප්‍රදර්ශනය කරන දැන්වීම්, කම්හලෙන් නිකුත් කරනු ලබන ලියකියවිලි මේ සියල්ල සඳහා යොදාගන්නේ සිංහල භාෂාව පමණි. කම්හල්වල දිනපතාම උදේට ශබ්ද විකාශන යන්ත්‍ර මගින් පිරිත් විසුරුවා හරින අතර කතෝලික, හින්දු සහ ඉස්ලාම් ආගමට සම්බන්ධ කිසිවක් එලෙස ප්‍රචාරය වන්නේ නැත. තමන් වෙනුවෙනුත් එවැනි දෙයක් ඇත්නම් එය ඉතා සතුටක් සහ අභිමානයක් බව නම සඳහන් කිරීමට අකමැති ද්‍රවිඩ ජාතික සේවිකාවක් පවසා සිටියාය.
සුළුතරයක් වුවද මෙහි තවත් සේවය කරන පිරිසක් වන්නේ විෂම සමාජභාවී (Trance Gender) තරුණයන් ය. කලක් මෙම කලාපයේ රැකියාව කර දැන් ඉන් ඉවත් වී හිඳින සිහින තෙනුවරගෙන් අපි මේ පිළිබඳව විමසා සිටියෙමු.
” විෂම සමාජභාවය කියන්නෙ ලෙඩක් නෙමේ . ඒ වගේම ඒක ඒ අයගේ වැරැද්දකුත් නෙමෙයි. නමුත් මේක ගැන සමාජයේ බොහෝ දෙනෙක් තවම දැනුවත් නෑ. විශේෂයෙන්ම විෂම සමාජභාවි තරුණයන් දිහා සමාජය බලන්නෙම වපර ඇහින්. බොහෝ වෙලාවට තමන්ගේ ම පවුලෙන් පවා ඒ අයට විරෝධතා එල්ල වෙනවා. ඒ නිසා විෂම සමාජභාවී තරුණයන් බොහෝ විට තම නිවෙස්වලින් පැන යනවා. සමහර වෙලාවට ඇතැම් වැඩිහිටියන්ම මේ තරුණයන්ව නිවසින් එළවා දමනවා. ඒ නිසාම රැකියා හොයාගෙන මෙවැනි තරුණයන් කලාපයට එන අවස්ථා සුලබයි. අවාසනාවට ඔවුන්ගේ ඒ තත්ත්වය නිසාම සමහර කම්හල්වලින් ඔවුන්ට රැකියා දෙන්නේ නෑ. කොහොම හරි රැකියා ලැබුණා කියලා හිතමුකො. ඊට පස්සේ කම්හල ඇතුළේදී ඔවුන් විවිධ ගැටලුවලට මුහුණ දෙනවා. ඔවුන් භාවිතා කළ යුතු නාන කාමරය, විවේක කාමරය මොකක්ද කියන එක ඔවුන්ට විතරක් නෙමෙයි කම්හලේ අනික් අයටත් ලොකු ගැටලුවක්. කැන්ටිමේ ඔවුන් සිටිය යුතු පෝලිම මොකක්ද කියන එක තවත් ගැටලුවක්. මේ වගේ ප්‍රායෝගික ගැටලු ගොඩකට විෂම සමාජභාවී තරුණයන් මුහුණ දෙනවා. කාන්තාවන් වැඩ කරන ප්‍රොඩක්ෂන් ලයින්වල ඒ අයට වැඩ ලැබෙන්නේ නෑ . ඇඳුම් මැදීම, පැක් කිරීම වගේ අංශවලට අමතරව ස්ටෝස්වල බර වැඩවලට ඔවුන් බොහෝ විටම යොදවන්නෙ. මේ හැරුණුකොට සමහර සේවකයන්ගේ අසභ්‍ය උසුළු විසුළුවලට ලක් වීම , ඇතැම් සේවකයන් මේ අයගේ ශරීරාංග මිරිකමින් ප්‍රසිද්ධියේම ඔවුන් අපහසුවට, ලජ්ජාවට පත්කිරීම කම්හල්වල බොහෝ විට සිදුවෙනවා. මේ තත්වය ඔවුන්ට සාමාන්‍ය සමාජයේදිත් මේ විදිහටම අත්විඳින්නට වෙනවා. ඔවුනුත් සාමාන්‍ය මනුෂ්‍යයන් බව පිළිගන්න අය අඩුවීම තමයි මේ ඛේදවාචකයට හේතුව.
යොවුන් වියේදී තම පවුල් පරිසරයෙන් මිදී යම් නිදහසක් භුක්ති විඳීමට ඇති කැමැත්ත, නවීන විලාසිතාවල ඇඳුම් අඳින්නට රන් ආභරණ පළඳින්නට තිබෙන ආශාව ඕනෑම තරුණියකට පොදු වූවකි. නමුත් සිය තරුණ දියණියන්ගේ එවැනි අපේක්ෂාවන් ඉටු කර දීමේ හැකියාවක් දරිද්‍රතාවයෙන් මිරිකෙන දෙමාපියන්ට නොමැත. එපමණක් නොව දෙමාපියන්ට තවදුරටත් දරා ගත නොහැකි පවුල් බරට උරදීමටද පවුලේ වැඩිමහල් දරුවන්ට සිදුවේ. ඒ අනුව බාල සහෝදර සහෝදරියන්ට අධ්‍යාපනය ලබාදීම, නිවස ගොඩනගා ගැනීම, ගම්වල පැතිර තිබෙන ක්ෂුද්‍ර මූල්‍ය ආයතනවලින් ගත් ණය පියවීම ආදී දහසක් අරමුණුවලින් මේ තරුණියන් ගේ මනැස් පිරී පවතී. මේ බර සැහැල්ලු කරගන්නට නම් ඔවුන් “මැරීගෙන” වැඩ කළ යුතු ය. එසේ ලබාගන්නා මුදල් තමන්ගේ සහ පවුලේ අවශ්‍යතා ඉටුකිරීම සඳහා නොසෑහෙන කල ඔවුන් කරන්නේ ඇඳුම් පැළඳුම් ආදී අනෙකුත් වියදම් නොව කෑම බීම සඳහා වන වියදම් සෑහෙන පමණ කපා හැරීම ය. මේ සියලු ගැටලුවල අවසානය වන්නේ ද මතු ඔවුන් අතර උග්‍ර මන්දපෝෂණ තත්ත්වයක් නිර්මාණය වීමට ඇති අවකාශය වැඩි වීම යි.
ආයෝජන ප්‍රවර්ධන කලාපය පිහිටුවන විට ග්‍රාමීය ප්‍රදේශවලින් විශාල වශයෙන් තරුණ තරුණියෝ කටුනායකට ඇදුනහ. ඊළඟට ප්රබලව ඉස්මතු වූ ගැටලුව නම් නවාතැන් ප්රශ්නය යි. තමාගේ නිවසේ ඇති වැඩිපුර කාමර බෝඩිම් ලෙස ලබා දීමට අමතරව මේ ප්‍රදේශවල තවත් බොහෝ දෙනා කළේ ඔවුන් එතෙක් පවත්වාගෙන ගිය ඌරු කොටු සහ කුකුල් කොටුවලින් එම සතුන් ඉවත් කර ඒවා බෝඩිම් කාමර ලෙස අවම පහසුකම් සහිතව සකස් කිරීම ය. අදටත් කලාපයේ බෝඩිම්වල එදාට වඩා ලොකු වෙනසක් සිදු වී නැත. එක කාමරයක එක ඇඳක් දැමීමට වඩා වැඩි ඉඩක් මේවායෙහි නැත. මෙවැනි කාමරයක අවම මාසික කුළිය මේ වන විට රුපියල් හාර දහස ඉක්මවයි.
කාමර සියයක් පමණ වූ බෝඩිම් පවා වෙළෙඳ කලාපය ආශ්‍රිතව පවතී. මේ කුඩා කාමරවල දෙදෙනකුට නවාතැන් ලැබේ. එහි ඔවුන් උයාපිහා ගැනීමද කළ යුතුය. මේ කාලයේ කලාපයේ කම්හල්වලට ප්‍රමාණවත් පරිදි ඇණවුම් නොලැබීම නිසා වැඩ අඩු වීම හේතුවෙන් බොහෝ සේවක සේවිකාවන් කලාපයෙන් ඉවත් වී තිබීම හේතුවෙන් දැන් බෝඩිම් කාමරවල තදබදයක් නැත. තදබදය තිබූ කාලයේ කාමර සියයේ බෝඩිමක දෙසීයක් දෙනා සිටියහ. නමුත් එවැනි බෝඩිමකත් වැසිකිලි ඇත්තේ පහක් හයක් පමණි. වතුර මල් පහක් හයක් පමණක් ඇති එක් පොදු ස්ථානයක් නෑම සඳහා වෙන්ව ඇත.
කෙසේ වුව ද මාසය අවසානයේ වතුර බිලත්, විදුලි බිලත් සියලු බෝඩිම් කාමරවල සිටින නේවාසිකයින් අතර සමසේ බෙදනු ලබයි. සමහර බෝඩිම් හිමියෝ තමන්ගේ ගෙදර විදුලිමීටරයත් මීටම සම්බන්ධ කර එම බිලත් මේ අසරණ නේවාසිකයින් වෙතින්ම ගෙවා ගන්නට තරම් සැහැසි වී සිටිති. මේ බව අපට කීවේ නම ගම සඳහන් කිරීමට අකමැති තවත් තරුණියක විසිනි.
කලාපයේ සේවිකාවන් උයන පිහන බඩු ගන්නේ බෝඩිමට ආසන්න කඩයකින් පොතට ය. හැම මාසයකම වැටුප ලැබීමෙන් පසු එම මාසයේ පොතේ ණය අවසන් කළ යුතුය . මෙහිදී ඔවුන්ගේ එම ණය මුදලට තව 5% ක, 10% ක ඇතැම් විට 15% ක පමණ තරමේ ප්‍රතිශතයක් හීන් සීරුවේ එකතු කරන්නට බොහෝ කඩහිමියන් අමතක කරන්නේ නැත . එය එක්තරා ආකාරයක පොලියකි. පොතේ ණය හැම මාසයකම නිසි ලෙස පියවා ගන්නට නොහැකි වුවහොත් ණයට හිලව්වට කඩ හිමියා අදාළ තරුණියගේ කාමරයේ ඇති රයිස් කුකරය වුව බලහත්කාරයෙන් රැගෙන යාමට නොපැකිලෙන අවස්ථා නැත්තේ නොවේ. වඩාත්ම ඛේදවාචකය වන්නේ කඩේ පොත පියවාගන්නට නොහැකි වීම හේතුවෙන් ඇතැම් මුදලාලිලාගේ ලිංගික ගොදුරක් වීමට තරුණියන්ට සිදුවීම ය.
කම්කරුවකුගේ සතියක සේවා කාලය දිනකට පැය 8ක් වශයෙන් සතියට පැය 45ක් විය යුතුය. ඊට අතිරේකව වැඩ කරන හැම පැයක් සඳහාම අතිකාල දීමනාවල හිමිකම ඔවුන්ට ලැබේ. මේ පැය 45 සකස් වන්නේ සතියේ දින පහ සහ සෙනසුරාදා දින වරුවක් වශයෙනි. කලාපයේ ඇතැම් කම්හල්වල සතියේ දින 3කින් පමණ මේ පැය 45 ආවරණය කිරීමට කම්හල් හිමියන් පියවර ගෙන ඇත්තේ තමන්ගේ පැත්තෙන් පිරිවැය අඩුකර ගැනීමට ය. නමුත් එමඟින් මෙම සේවක සේවකාවන්ට අතිකාල දීමනා ඇතුළු සියලු අමතර දීමනා අහිමිවන අතර, සේවක අර්ථ සාධක අරමුදල්, සේවා නියුක්තිකයන්ගේ භාරකාර අරමුදල් ආදිය කැපී මූලික වැටුපෙහි ඉතිරි වෙන කොටස මාසික වැටුපක් ලෙස ඔවුන්ගේ අතට ලැබෙනු ඇත. බෝඩිම් ගාස්තු ගෙවන්නට, කෑමට බීමට වැය කරන්නට, පවුලේ අයගේ යැපීම් පිණිස යවන්නට මේ සියල්ලම ඉටු කරන්නට සිදුවන්නේ එම මුදලිනි . අනෙක් අතට වැඩ අඩු වනවිට ඔවුන් බෝඩිමේ රැඳී සිටින කාලය වැඩිවේ. එවිට වතුර, විදුලිය වැඩියෙන් පරිහරණය වීම සහ කෑම බීමවලට අතිරේක මුදලක් වැය කරන්නට වීම නිසා ඔවුන්ගේ පැත්තෙන් තව දුරටත් වියදම් ඉහළයයි .
ස්ටෑන්ඩ්අප් මූව්මන්ට් ආයතනයේ ක්ෂේත්‍ර සම්බන්ධීකාරකවරියක වන කිලිනොච්චියේ එස්. මිලානි මෙසේ කීවාය.
” සාමාන්‍යයෙන් අලුත් අවුරුද්ද, නත්තල් වගේ කාලවලදී ළමයි හැමෝම ගම්වලට යනවා. නමුත් පසුගිය නත්තල් නිවාඩුවේදී ළමයි වැඩි දෙනෙක් බෝඩිම්වල රැඳී හිටියා. දැන් බස් ගාස්තු ගොඩක් ඉහළයි. ගමට ගිහින් එන්න බස් වියදම ඇරුණම තමන්ගේ අතේ වියදමටත් අඩු තරමේ රුපියල් දාහක්වත් තියාගන්න ඕනේ. අත් දෙක වන වනා ගමට යන්නත් බෑ, ගෙදර ඉන්න හැමෝටම තෑගිබෝග වගේම කෑම බීමත් අරගෙන යන්න ඕනේ. මේ සේරටම ප්‍රමාණවත් තරමේ ආදායමක් ඔවුන්ට ලැබෙන්නේ නෑ. දැන් ෆැක්ටරිවලට ලැබෙන ඕඩර්ස් අඩුයි. ඒ නිසා ළමයින්ට වැඩ අඩුයි. වෙනදා තරම් මුදලක් උපයාගන්න නොලැබුණත් වෙනදා කරන වියදම් කොහොමහරි කරන්න වෙනවා. ඒ නිසා මේ වතාවෙ හොඩක් ළමයි මාස්පතා ගෙදරට යවන මුදලටම ඒ බස් ගාස්තුවයි, තව අමතර කීයක් හරි මුදලකුයි එකතු කරලා කෑම බීම, ඇඳුම් පැළඳුම් ගන්න පවුලේ අයට යවල තියෙනවා ”
කටුනායක රැකියා අහිමිවන විට ආපසු ගම්බලා ගිය තරුණියන් ද නැතුවා නොවේ.
ඒ අතර නැවත ආපසු හැරී ගමට ගොස් කරන්නට කිසිවක් නැති නිසාත්, පවුලේ ගැටලුවලට පිළියම් සෙවිය යුතු නිසාත් කටුනායක නතර වී රැකියාවට අමතරව අර්ධකාලීනව වෙනත් ක්‍රමවලින් මුදල් උපයා ගන්නා තරුණියෝ ද සිටිති. මේ අතර සම්බාහන මධ්‍යස්ථානවල සහ ස්පා ආයතනවලත් ෆේස්බුක්, ඉන්ස්ටර්ග්‍රෑම් ආදිය හරහා පිරිමින් සොයාගෙන තම තමන් පෞද්ගලිකවත් අර්ධකාලීනව ලිංගික සේවා වෘත්තිකයන් ලෙස කටයුතු කරන තරුණියෝ කලාපය තුළ සිටිති.
මාසයක් තිස්සේ තරුණියන් දහදුක් විඳ උපයා ගන්නා මුදල එක මොහොතින් ඩැහැගන්නා “නරුමයන්” ද කලාපයේ අඩුවක් නැත . පෙම්වතුන් ලෙස ව්‍යාජ ලෙස පෙනී සිටිමින් තරුණියන් රවටා ගන්නා ඔවුහු මුදල් පමණක් නොව තරුණියන් සතු තවත් වටිනා දේ ඇත්නම් ඒවාද ඩැහැගෙන ශාරීරික සුවයද විඳ අවසානයේ මාරුවී යති. එය කලාපය ආශ්රිත සමහර තරුණයන් මුදල් උපයන ක්රමයකි.
දහසකුත් එකක් වියදම් අතරේ බෝඩිම් ගාස්තු ගෙවා ගන්නට නොහැකි වීම මත එම මුදලත්, කෑම බීමවලට වැයවන මුදලත් බෙදා හදා ගන්නට තරුණයින් සමග විවාහ නොවී එකට පවුල් කන තරුණියන් ද කලාපයෙහි හිඟ නැත. ඒ සබඳතා තුළ බොහෝ විට තිබෙන්නේ ආදරයකට වඩා ජීවත්වීමේ අසීරුවට පිළියම් සෙවීමේ අසරණ උත්සාහය යි.
නමුත් මෙහිදී ඔවුන් ගැබ් ගන්නා අවස්ථා ද බහුල ය. මෙවැනි දරුගැබ් විනාශ කර දැමීම සඳහා මේ තරුණියන් නොකරන දෙයක් නැත. කලාපය ආශ්රිත ව රහසේ පවත්වාගෙන යන අනවසර, අවිධිමත් ගබ්සා මධ්‍යස්ථාන ද රාශියක් පවතී. එසේම පියවරුන් නැති දරුවෝ ද බිහිව සිටිති. නමුත් ඒ හේතුවෙන් ඇඟලුම් කම්හල් සේවිකාවන් සදාචාර විරෝධීන් ලෙස හංවඩු ගැසීම සාධාරණ නොවේ. ඔවුන්ගේ ක්‍රියාවන් වඩාත් ඉස්මතු වී පෙනෙන්නේ ඔවුන් සම්බන්ධ බොහෝ තොරතුරු සමාජයට විවෘතව තිබීම නිසා ය. නමුත් ඔවුන් කරන එම සදාචාර විරෝධී යැයි කියනු ලබන ක්‍රියාවන් ඊට වඩා අඩුවැඩි මට්ටම්වලින් සමාජයේ නොයෙකුත් තරාතිරම්වල තරුණියන් අතර සිදුවන බව ප්‍රසිද්ධ රහසකි. ඒවා බාහිරට අනාවරණය වීම අඩු ය. අවිධිමත් සහ අනවසර ගබ්සා මධ්‍යස්ථාන තිබෙන්නේ කලාපය ආශ්‍රිතව පමණක්ම නොවේ. අපේ රටේ ප්‍රධාන නගර සහ උප නගර ආශ්‍රිතව හොර රහසේ පවත්වාගෙන යන මෙවැනි ස්ථාන ඕනෑ තරම් තිබේ.
සාමකාමී බහුත්වවාදය පිළිබඳව වර්තමානයේ සාකච්ඡාවට ලක්වේ. නමුත් මේවා ඛණ්ඩනය වන සිදුවීම් කටුනායක ආයෝජන ප්‍රවර්ධන කලාපයෙහි තවත් බොහෝ ලියා දක්වන්නට පුළුවන්. ඔවුහු ජාතීන් වශයෙන්, ආගම් වශයෙන්, ස්ත්‍රී සහ පුරුෂ වශයෙන්, උස් මිටිකම් භේද වශයෙන් මෙකී නොකී සියලු ආකාරයෙන් බහුල වශයෙන් බැට කති. නමුත් ඔවුන්ට ගරහන්නට මිස ඔවුන් ගැන සොයන්නට බලන්නට වගකිවයුතු කිසිවෙක් නැත.
| ඉන්දු පෙරේරා
ඡායාරූප – භානුජන් / (උපුටා ගැනීම - vinivida.lk )