"සීමා මායිම් නැති මානවවාදීයා"

"සීමා මායිම් නැති මානවවාදීයා"

නිදහස් වෙළඳ කලාප හා පොදු සේවක සංගමයේ ආරම්භකයා වන ඇන්ටන් මාකස් මහතාගේ වසර 50ක හිමිකම, යුක්තිය, ගෞරවය වෙනුවෙන් කුසල් පෙරේරා මහතා විසින් රචිත "සීමා මායිම් නැති මානවවාදීයා" කෘතියේ, ඇන්ටන් ගැන "ඇරඹුම" කර්තෘවරයා තැබූ සටහන

ඇරඹුම

මෙය පළමුව කියා මම ඇන්ටන් මාකස් ගේ වසර පණහක වෘත්තීය සමිති ඉතිහාස කතාවට ආරම්භයක් ගන්නෙමි. සිද්ධීන් හා ඒවායේ දින වකවානු, එතෙර මෙතෙර සාකච්ඡා සම්මේලන, කාර්මික ආරවුල්, දැරූ තනතුරු, පවුල් පසුබිම වැනි තොරතුරු ලියා ඇන්ටන් මාකස්ගේ වසර පණහක වෘත්තීය සමිති ජීවිතය ගැන කතාව ලියා සම්පූර්ණ කළ නොහැක. ඔහු පාසල් ජීවිතයෙන් පසු සංවිධානාත්මක දේශපාලනයකට ගොඩවී පක්ෂ ක්‍රියාකාරිකයෙකු ලෙස වැඩිහිටි ජීවිතය ඇරඹුවද, ඔහුගේ වෘත්තීය සමිති ජීවිතය හැඩ වන්නේ, පෝෂණය වන්නේ සහ අර්ථවත් වන්නේ අති බහුතර කාලයක් දේශපාලන පක්ෂයකට සම්බන්ධ නොවුනු ස්වාධීන දේශපාලන මතවාදියෙකු ලෙස කම්කරු අයිතීන් හා සේවක ගරුත්වය වෙනුවෙන් පෙනී සිටි අයුරින් ය. එනිසාම ඔහු අදේශපාලනික සත්වයෙකුද නොවේ. ඔහුගේ පණස් වසරක වෘත්තීය සමිති ජීවිතය ලිහා බැලීමට සිදුවන්නේද දේශපාලන කියවීමක් තුලය. පණස් වසරක දේශීය හා ජාත්‍යන්තර දේශපාලන කතාවක පසුබිමෙහිය.

මේ “ඇරඹුම” එනිසා මා වෙන්කර ගන්නේ මෙම පොතෙහි දේශපාලන අඩංගුව ගැන කෙටි හැඳින්වීමක් කිරීමට සහ ඒ සමග මෙය ලිවීමට මා තේරුණේ කෙසේදැයි කීමට ය. පළමුව මගේ සම්බන්ධය ගැන කිවහොත් ඇන්ටන් ගේ චරිතය වර නැගීමට මා තේරෙන්නේ අප දෙදෙන වමේ දේශපාලනයෙහි එකට කරක් ගැසූ නිසාවෙන් පමණක්ම නොවේ. ඇන්ටන් සමග ඉතා දිගු කාලයක් මා පක්ෂ දේශපාලනයකින් බැහැරව දේශපාලන සංවාදයකද යෙදී සිටි හෙයිනි. සරළව කිවහොත් අප දෙදෙන දේශපාලන ගමන් සගයන් වූයෙනි.

දැන් මෙහි අඩංගු දේශපාලනය ගැන කිවහොත් ලෝක ඉතිහාසයෙහි ට්‍රොට්ස්කිවාදී පක්ෂයක් රටක ප්‍රධාන මැතිවරණ දේශපාලන ධාරාවේ පිළිගත් බහුජන පක්ෂයක් බවට පත්ව තිබුණි නම්, ඒ ලංකාවෙහිය. ලංකාවේ ප්‍රථම දේශපාලන පක්ෂය වශයෙන් 1935 දෙසැම්බරයේදී සංවිධානය කෙරුණු “ලංකා සම සමාජ පක්ෂය”, තම දේශපාලනය සරළ සිංහලෙන් බහුතර සමාජය හමුවේ තැබූ පක්ෂයක් විය. ලියෝන් ට්‍රොට්ස්කිගේ මාක්ස්වාදී කියවීමෙහි ඉතා දැඩිව ගොනු වූ මාක්ස්වාදී පක්ෂයක් ලෙස ඔවුන්ව හඳුන්වනු ලැබුණී. දේශපාලනිකව ඔවුහු ඉතා දැඩි අධිරාජ්‍ය විරෝධී, ප්‍රධාන වශයෙන් කම්කරු පංතික දේශපාලන පක්ෂයක් වූහ. එබැවින් දෙවන ලෝක යුද්ධයේ ආරම්භයත් සමග බි්‍රතාන්‍ය යටත් විජිත පාලනය විසින් 1940 ජුනි මස අග සතියෙහි සමසමාජ පක්ෂය තහනම් කරනු ලැබිණ.

පක්ෂ තහනම සමග පක්ෂයේ ප්‍රධානීන් අත් අඩංගුවට ගැනීමට නියෝග නිකුත් වන විට, ඔවුන්ගේ දේශපාලන කියවීමට අනුව එවැනි තහනමක් අපේක්ෂාවෙන් “බිම්ගත” දේශපාලනයේ උපායික පැවැත්ම ඔවුන් තීන්දුකර තිබිණ. ඒ අනුව නායකත්වයෙන් අත්අඩංගුවට පත් වූයේ ඇන්.ඇම්, පිලිප්, කොල්වින් සහ එඩ්මන් සමරක්කොඩි පමණය. ලෙස්ලි පක්ෂයේ ප්‍රධාන ලේකම් ලෙස සිය බිරිඳ විවියන් සමග වසන් විය. ඔවුන්ගේ පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීම් සඳහා බෝගම්බර සිරගෙදර රඳවා සිටි නායකයින් සතර දෙනාද සහභාගි වූ අතර, පසුව ඔවුන් සිරෙන් පැන ගියේ යැයි කීවාට, ඔවුන් ජේලර් සොලමන් සමග එක් රාත්‍රියක සිර මැදිරිය විවෘත කර ගනිමින් එළියට බැස, යන්නට ගියහ. ඔවුන් නතර වූයේ ඉන්දියානු නිදහස් ව්‍යාපාරයේ වාමගාමී ක්‍රියාධරයින් ලෙසින්ය.

එය කරන්නට දෙයක් නොවුනු නිසා ගිය ගමනක් නොවුනි. සමසමාජ නායකත්වය ඉතා දැනුවත්ව ඉන්දු කලාපීය දේශපාලනයෙහි ලාංකීය වාමාංශිකයින් දැරිය යුතු පංගුකාරිත්වය ගැන ගැඹුරු විවරණයක් 1940 වන විට ආරම්භ කර තිබිණ. ඔවුන්ගේ මාක්ස්වාදී කියවීමට අනුව, ඉන්දීය නිදහස් ව්‍යාපාරයේ සාර්ථකත්වය, ලාංකීය නිදහස තීන්දු කෙරෙන්නක් විය. එබැවින් සමසමාජ පක්ෂය ලාංකීය දේශපාලන ඒකකය ලෙස තබා ගනිමින් ඉන්දියානු ට්‍රොට්ස්කිවාදී කණ්ඩායම් හවුල්කර ගනු ලැබූ සමස්ථ ඉන්දීය කලාපය සඳහාවන “ඉන්දියානු බොල්ෂෙවික්-ලෙනින්වාදී පක්ෂය” (BLPI) පිහිටුවා ගනු ලැබිණ. ඒ වන විට බෝගම්බර සිර ගෙදර සිටි ඇන්.ඇම්, පිලිප්, කොල්වින් සහ එඩ්මන් සමරක්කොඩිද එම සාකච්ඡා වලට හවුල් වූහ.  

සමසමාජ නායකයින් සමග තවත් සමසමාජ ක්‍රියාධරයින් කණ්ඩායමක් 1947 ආරම්භය වනවිට නැවත ලංකාවට පැමිණියේ ඉන්දියානු පාලකයින් විසින් අත්අඩංගුවට ගනු ලැබ ලංකාවට පිටත්කර එවීම හේතුවෙනි. 1948 පෙබරවාරියෙහි නිදහස් ලංකාවේ පාලනය බාර දීම සඳහා යටත් විජිත පාලකයින් 1947 අගෝස්තු-සැප්තැම්බර පැවැත් වූ පළමු පාර්ලිමේන්තු මැතිවරණයෙහි ප්‍රධාන විපක්ෂය බවට පත් වූයේ ලංකා සම සමාජ පක්ෂය විය. එහි නායක ආචාර්ය ඇන්.ඇම්. පෙරේරා මෙරට පාර්ලිමේන්තු ඉතිහාසයෙහි පළමු විපක්ෂ නායක විය. 1953 අගෝස්තුවේ සම සමාජ පක්ෂය නායකත්වය දුන් අති සාර්ථක හර්තාලයෙන් පසු සම සමාජ පක්ෂයට ආණ්ඩුවක් හැදීමට තරම් ජනප්‍රියත්වයක් සමාජයේ ඇතැයි ඇතැම් විචාරකයින් සිතූහ.

ඇන්ටන් මාකස්ගේ දේශපාලනය එයමදැයි මට ප්‍රශ්නයක් වූයේ ඔහුගේ වෘත්තීය සමිති ඉතිහාසය ගොනු කිරීමේදී එය දේශපාලනිකව කියවීමට සිදු වීමෙන් පසුවය. ඔහුගේ නොදැනුවත් ළදරු ජීවිතය ගත වන්නේ ලංකාවේ විශාලම තනි නිවාස සංකීර්ණය වන රත්මලානේ දුම්රිය වැඩපළට සම්බන්ධ සේවක නිවාස සංකීර්ණයෙහි ය. ඔහුගේ පියා රත්මලාන දුම්රිය වැඩපළෙහි ලේත් යන්ත්‍ර ක්‍රියාකරවන්නකු විය. සමසමාජ පක්ෂයට සම්බන්ධ ඉතා ශක්තිමත් කම්කරු සමිතියක් පැවති රත්මලාන දුම්රිය වැඩපළෙහි අර්ධ-පුහුණු කම්කරුවකු වශයෙන් ඔහුට යම් වාම නැඹුරුවක් තිබෙන්නට ඇත. එබැවින් 1950 දසකයේ මැද පැවති පාර්ලිමේන්තු මැතිවරණය සඳහා එකල දෙහිවල-ගල්කිස්ස ආසනය සඳහා සමසමාජ පක්ෂයෙන් තරග කළ පක්ෂයේ ආරම්භකයෙකු වූ හා ඉහළ පෙළේ ට්‍රොට්ස්කිවාදී න්‍යායාචාර්යවරයෙකුද වූ ආචාර්ය කොල්වින් ආර් ද සිල්වාද ඔවුන්ගේ නිවසට පැමිණියෙකි.

දැඩි කතෝලික භක්තිකයින් නොවුනු ඔවුන්ගේ පවුලේ මිතුරෙකු ලෙස වැඩි ඇසුරක් තිබූයේ කොමියුනිස්ට් පක්ෂයේ කේ.ඊ බ්‍රිටෝ සමගය. ඔහු ඉතා වැදගත් පැවැත්මක් තිබූ කතා්ලිකයෙකු ලෙස ඒ ප්‍රදේශයේ පොදු පිළිගැනුමක් ලැබූ සහතිකලත් ස්ටාලින්වාදියෙකු වූවෙකි.

මට ඒ අතරතුර උත්තර සොයන්නට සිදුවූ ප්‍රශ්නය වූයේ 1964 දී බරපතල න්‍යායික බෙදීමකට ගිය සමසමාජ පක්ෂය 70 දසකය වන විට අව ගමන් යමින් තිබූණෙන්, එය ඇන්ටන්ගේ ආකර්ශනයට හසු වූයේ කෙසේද, නැතිනම් ඔහු ට්‍රොට්ස්කිවාදී දේශපාලනයට නැඹුරු වූයේ කවර සාධක මතද යන්න ය. එය වඩාත් අවුල් වූයේ ඔහු ක්‍රියාකාරී දේශපාලනයට පිවිස ඇත්තේ අතිශය සිංහලවාදී ගැමි පදනමක් මත සංවිධානය වූ අසම්මත දේශපාලන නැඹුරවක් සමගින් වූ තරුණ දේශපාලනයක් ඇසුරෙන් වීමය. එවැනි දේශපාලනයක ට්‍රොට්ස්කිවාදී කම්කරු පංතික දේශපාලනයකට කිසිදු ඉඩක් නොමැති විය.

ඔහුගේ වසර පණහක දේශපාලන හා වෘත්තීය සමිති ජීවිතයෙහි මා දේශපාලන සංවාදයේ යෙදුණු ගමන් සගයෙකු වූවත් අත ගසන හැම දෙයකම සාර්ථකත්වයක් වෙනුවෙන් කැපවීමේ ඔහු සතු වූ පිපාසය කුමක්දැයි සෙවීමත් මේ කතාව සඳහා මට අවශ්‍ය වූවක් විය. ඔහුගේ වෘත්තීය සමිතිවාදය කම්හලේ කම්කරුවාගේ අයිතීන් හා සේවා තත්ත්වයන් වෙනුවෙන් පමණක් නොව, ඔහුගේ ආත්ම ගරුත්වය වෙනුවෙන්ද පෙනී සිටින්නක් වූවකි. ඒ හේතුවෙන් ඔහු යථාවාදී ප්‍රායෝගික ට්‍රොට්ස්කිවාදියෙකු නොවන්නේදැයි වන ප්‍රශ්නය මතු කෙරුවකි. එය වඩාත් හොඳින් සනාථ කෙරෙන්නේ ආණ්ඩු විසින් ජාවාරම්කාර ආයෝජකයින්ට සේවක අයිතිවාසිකම් උල්ලංඝණය කිරීමේ පූර්ණ නිදහස ලබාදී ඇති පසුබිමක, මේ රටේ ආයතනික ක්‍රියාවලිය තුල සාධාරණ විසඳුම් ලබන්නට නොහැකි සේවක ගැටළු විසඳා ගැනීමේදී මෙරට වෘත්තීය සමිති ඉතිහාසයෙහි ජාත්‍යන්තර සහයෝගිතාව ඉතා සාර්ථකව උපයෝගි කර ගන්නා සමිති නායකයා ඔහු වීමෙනි.

එපමණක්ම නොවේ. ඔහු මා දන්නා තරමින් වෘත්තීය සමිති ක්‍රියාකාරිත්වය සමග සංස්කෘතිකාංග මුහුන් කිරීමේ උත්සාහයක් උනන්දුවක් දැක්වූ එකම වෘත්තීය සමිතිවාදියා ය. සාහිත්‍ය කලාව සේවක සේවිකාවන්ගේද අයිතියක් යැයි ප්‍රායෝගිකව පිළිගත් එකම වෘත්තීය සමිති නායකයා ය.

ජා-ඇල ඒකල ප්‍රදේශයෙන් පාපැදියක ආරම්භ කළ ඇන්ටන් මාකස්ගේ වෘත්තීය සමිති භාවිතය ජාත්‍යන්තර වෘත්තීය සමිති මැදිහත්වීම් දක්වා ගමන් ගිය යෝධ භාවිතයකි. කිසිවෙකුට අතරමගදී නතර කළ නොහැකිවූ සහ ඔහුගේ ගමන් මග වෙනස් කරන්නට නොහැකි වූ වසර පණහක අත්දැකීම් සමූහය දේශපාලනිකව කියවා මෙලෙස සටහන් කිරීමේ අරමුණ වන්නේ එය අමතකව නොයන්නට සටහන්කර තැබීම වාගේම, ඒ අත්දැකීම් සමුදාය නැවත කොතැනකින්වත් ලබා ගත නොහැකි හෙයින් ඒවා අනාගත පුරපුර වෙනුවෙන් ආරක්ෂාකර තැබීමය. ඇන්ටන් මාකස්ට වැරදුනු තැන් පිළිබඳවද කියවා ඒවා නැවත නොවන්නට වග බලා ගැනීමේ දැනුම අනාගතයට ඉතිරි කර තැබීමටය.

ඇන්ටන් ගේ මේ වෘත්තීය සමිති ඉතිහාසය මා පළමුවෙන් ලිව්වේ ඉංග්‍රීසියෙනි. මෙය ඒ සියලු විස්තර තොරතුරු මත සිංහලට නැගුවක් මිස පරිවර්තනයක් නොවන්නකි. එවන් චරිතයක් වසර පණහක කාලයක් ඇසුරු කරන්නට පමණක් නොව, ඒ ඇසුර සමගින් ඇන්ටන් ගේ වෘත්තීය සමිති ජීවිතය මෙලෙසින් කැටි කරන්නට මට අවස්ථාව ලැබීමත් සත්තකින්ම ආඩම්බරයකි.

ස්තුතියි.

මම කුසල් පෙරේරා     

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

www.kusalperera.blogspot.com

www.pringlesforstars.wordpress.com

“X” (previously) Twitter - @cokroach