අයාලේ යන්නට ඉඩ දී බලා සිටින රජයේ අනුමත පෞද්ගලික පාසල් සහ ජාත්‍යයන්තර පාසල්

අයාලේ යන්නට ඉඩ දී බලා සිටින රජයේ අනුමත පෞද්ගලික පාසල් සහ ජාත්‍යයන්තර පාසල්

ඉදිරි වසර 25 සඳහා වූ අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව කරළියට පැමිණීමත් සමග පෞද්ගලික පාසල් සහ ජාත්‍යන්තර පාසල් පිළිබඳව ද කථිකාවතක් නිර්මාණය වී ඇත. ගෙන එන්නට නියමිත අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව තුළ පවා පෞද්ගලික පාසල් සහ ජාත්‍යන්තර පාසල් සම්බන්ධව එම පාසල් පවත්වාගත යුතු ප්‍රමිතිය සහ නියාමන ක්‍රියාවලියක් හෝ සඳහන් කොට නොමැති බව ඒ පිළිබඳව අදහස් දක්වන පාර්ශ්ව පෙන්වා දෙති.

2022 වර්ෂයේ ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව විසින් නිකුත් කළ වාර්ෂික වාර්තාව අනුව දැනට ක්‍රියාත්මක වන රජයේ අනුමත පෞද්ගලික පාසල් ගණන 90 කි. ජාත්‍යන්තර පාසල් ගණන 395 කි. රජයේ අනුමත පෞද්ගලික පාසල්වල සහ ජාත්‍යන්තර පාසල්වල අධ්‍යාපනය ලබන මුළු ශිෂ්‍ය ප්‍රමාණය ලක්ෂ 3කට ආසන්නය. එම පාසල් ක්‍රියාත්මක මේ දක්වා ක්‍රියාත්මක වන්නේ අධ්‍යාපන අමාත්‍යාංශයේ නිසි අධීක්ෂණයකින් තොරවය. එම පාසල් නියාමනය කිරීමට ද කිසිදු ආයතනයක් නොමැත. එසේනම් එම පාසල් නියාමනය වන්නේ කෙසේද? උගන්වන විෂය නිර්දේශ කවරේද? එම පාසල්වල අධ්‍යාපනයේ ඇති ප්‍රමිතිය කුමක් ද? ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය වන්නේ කෙසේද? එහි සිටින ගුරුවරු සුදුසුකම් සහිත ගුරුවරු ද? මානව සහ භෞතික සම්පත් ප්‍රමාණවත් ලෙස තිබේ ද? ශිෂ්‍යයන්ගෙන් මුදල් අය කර ගන්නා ක්‍රමවේදය කුමක්ද? යන්න පිළිබඳව සොයා බැලීමක් කළ යුතුය.

මේ පිළිබඳව 2022 මාර්තු 02 නිකුත් කළ රජයේ නොවන පාසල් සම්බන්ධයෙන් වන නියාමන ක්‍රියාවලිය පිළිබඳ විගණන වාර්තාවේ ද පෞද්ගලික පාසල් සහ ජාත්‍යන්තර පාසල්වල ඇති සුවිශේෂී වූ ගැටලු ප්‍රමාණයක් හඳුනාගෙන ඇත.

1961 අංක 08 දරන උපකෘත පාසල් හා අභ්‍යාස විද්‍යාල පනත යටතේ ක්‍රියාත්මක වන රජයේ ආධාර ලබන හෝ නොලබන පාසල් රජයේ අනුමත පෞද්ගලික පාසල් වේ. මෙම පාසල් අධ්‍යාපන අමාත්‍යාංශයේ පෞද්ගලික පාසල් අංශයෙන් කළමනාකරණය වන අතර රජයේ ගුරු වැටුප්, පෙළ පොත්, නිල ඇඳුම් වැනි ආධාර එම පාසල්වලට ලබා දීම සිදු කරයි. රජයේ අනුමත පෞද්ගලික පාසල් නියාමනය සඳහා චක්‍රලේඛ, උපදෙස් ලිපි අධ්‍යාපන අමාත්‍යාංශයේ පෞද්ගලික පාසල් අංශයෙන් නිකුත් කොට ඇතත් එම පාසල් ඒ සඳහා අනුගත නොවීමත් ගුණාත්මක තත්ත්වයන් පිළිබඳව ප්‍රමාණවත් අධීක්ෂණයක් සිදු වී නොමැති බව 2022 විගණන වාර්තාවේ සඳහන්ය.

ජාත්‍යන්තර පාසල් පවත්වාගෙන යනු ලබන්නේ අධ්‍යාපන අමාත්‍යාංශයේ අධීක්ෂණයට යටත් නොවන ආකාරයෙනි. 1961 අංක 08 දරන උපකෘත පාසල් හා අභ්‍යාස විද්‍යාල පනතේ 25 වන වගන්තිය මගින් අනිවාර්ය අධ්‍යාපන වයස් සීමාවේ එනම් වයස අවුරුදු 5 ත් 14 ත් දක්වා පසුවන දරුවන්ට අධ්‍යාපනය ලබා දීම සඳහා පාසල් ආරම්භ කිරීමට පෞද්ගලික අංශයට නොහැකි බවට විධිවිධානවලින් පෙන්වා දී ඇත. එම නිසා දැනට ක්‍රියාත්මක වන ජාත්‍යන්තර පාසල් පවත්වාගෙන යන්නේ 2007 අංක 07 දරන සමාගම් පනත යටතේ හෝ පළාත් ව්‍යාපාර නාම ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව යටතේ ලියාපදිංචි වීමෙනි.

එක් අතකින් ව්‍යාපාර මට්ටමින් පෞද්ගලික අංශය පාසල් පවත්වාගෙන යාම නීතිමය ගැටලුවකි. නමුත් ඒ සඳහා අදාළ ආයතන කිසිදු පියවරක් අනුගමනය කොට ඇති බවක් නම් පෙනෙන්නට නැත. අධ්‍යාපනය සම්බන්ධයෙන් කටයුතු කරන ප්‍රධානම රාජ්‍ය ආයතනය වන අධ්‍යාපන අමාත්‍යාංශයේ කිසිදු අනුමැතියක් ජාත්‍යන්තර පාසල් පවත්වාගෙන සම්බන්ධයෙන් මේ වන තෙක් ලබා දී නොමැත. ඒ අනුව දැනට ක්‍රියාත්මක වන ජාත්‍යයන්තර පාසල් කිසිවක් අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ නියාමනයක් සිදු නොවන අතර එම පාසල්වල අධ්‍යාපන ප්‍රමිතිය පාසලෙන් පාසලට වෙනස් වී ඇත.

දැනට ක්‍රියාත්මක රජයේ අනුමත පෞද්ගලික පාසල් අතර ගුරු වැටුප් සහ ආධාර ලබා දෙන පෞද්ගලික පාසල් මෙන්ම රජයෙන් ගුරු වැටුප් සහ ආධාර නොලබන පෞද්ගලික පාසල් ද ඇත. කෙසේ වෙතත් රජයේ ආධාර ලබන පාසල් මෙන්ම රජයේ ආධාර නොලබන පාසලක් වූවද එය රජයේ අධ්‍යාපන ප්‍රතිපත්තියට අනුගත විය යුතු බව 1960 අංක 05 පනතේ 06 වෙනි වගන්තියේ සඳහන් කොට ඇත.

2020 දෙසැම්බර් 31 දින වන විට රට තුළ ක්‍රියාත්මක වන සමස්ත රජයේ අනුමත පෞද්ගලික පාසල් සංඛ්‍යාව 80 කි. ඉන් 47ක්ම ගුරු වැටුප් සඳහා ආධාර ලබන පාසල් වන අතර අනෙක් පාසල් 33 රජයේ ගුරු වැටුප් ආධාර නොලබන පාසල්ය. රජයේ අනුමත පෞද්ගලික පාසල් නියාමනය, අධීක්ෂණය හා පරිපාලනය සඳහා 2018 මැයි 23 දින පැවැත් වූ අමාත්‍ය මණ්ඩලයේ දී මාර්ගෝපදේශ මාලාවක් සකස් කිරීමට තීරණයක් ගෙන ඇතත් 2022 විගණන වාර්තාව අනුව ඒ වන විටත් එවැනි මාර්ගෝපදේශ මාලාවක් සකස් කොට නැත. රජයේ අනුමත පෞද්ගලික පාසල්වල පරිපාලනය සහ කළමනාකාරීත්වය භාරයක් මගින් සිදු කෙරෙන අතර මෙම පාසල් බොහොමයක් ආගම් කේන්ද්‍ර කොට ගත් පාසල්ය.

යම් යම් ආගමික නිකායන්හි මැදිහත්වීම සෘජුව හෝ වක්‍රාකාරයෙන් පාසලේ පරිපාලනයට සම්බන්ධය. ශිෂ්‍යයන් පාසලට ඇතුළත් කර ගැනීම, ගාස්තු අය කිරීම, විනය ක්‍රියාමාර්ග මෙන්ම ගුරුවරු සම්බන්ධ කටයුතු ද එම පාසලේ කළමනාකාරීත්වය සහ ආගමික නිකායන්ගේ මැදිහත්වීමෙන් සිදු වන අතර ඒ සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයේ ප්‍රමාණවත් මැදිහත්වීමක් දක්නට නොමැත. ඇතැම් සුවිශේෂී ගැටලු පවතින අවස්ථාවල දී පමණක් අධ්‍යාපන අමාත්‍යාංශයේ පෞද්ගලික පාසල් අංශය විසින් රජයේ අනුමත පෞද්ගලික පාසල් අධීක්ෂණය සඳහා පැමිණෙන අතර එය පාසලේ කළමනාකාරීත්වය සම්බන්ධයෙන් පමණක් සීමා වී ඇත. ඒ අනුව පෞද්ගලික පාසල්වල ඉගැන්වීම් ක්‍රියාවලිය, අධ්‍යාපනයේ ගුණාත්මක සංවර්ධන කටයුතු ගුරු කාර්ය මණ්ඩල සම්බන්ධ කටයුතු වැනි අත්‍යවශ්‍ය අධීක්ෂණයන් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ගිලිහී ඇත.

අධ්‍යාපන අමාත්‍යාංශයේ රජයේ අනුමත පෞද්ගලික පාසල් සම්බන්ධයෙන් නිකුත් කර ඇති 205/31 චක්‍රලේඛය අනුව පාසල් කටයුතු පරීක්ෂා කිරීමට, තොරතුරු ලබා ගැනීමට, අධීක්ෂණය කිරීමට, පැමිණෙන පළාත් අධ්‍යාපන නිලධාරීන් සහ රේඛීය අධ්‍යාපන අමාත්‍යංශ බලධාරීන්ගේ අනන්‍යතාව තහවුරු කොට ගෙන අවශ්‍ය ලේඛන පරීක්ෂාව, ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය අධීක්ෂණය කොට වාර්තා ලබා ගැනීම සහ සටහන් තැබීම සඳහා අවශ්‍ය පහසුකම් සැලසිය යුතු බව දන්වා ඇත. නමුත් එම චක්‍රලේඛවල සඳහන් කරුණුවලට අනුගත නොවන පාසල් පවතින බවත් රජයේ අනුමත පෞද්ගලික පාසල් අධීක්ෂණයට යාමේදී ඒ සඳහා අවශ්‍ය සහයෝගය එම පාසල්වලින් නොලැබෙන බවත් අධ්‍යාපන අමාත්‍යාංශයේ පෞද්ගලික පාසල් අංශය මගින් විගණන නිලධාරීන්ට වාර්තා කර ඇත.

රජයේ අනුමත පෞද්ගලික පාසල්වලින් බොහොමයක් වාර්ෂිකව සිසුන් ඇතුළත් කිරීමේ කාලයන්හිදී අයදුම් පත්‍ර ගාස්තු ලෙස වැඩි මුදලක් අය කරමින් විශාල අයදුම් පත්‍ර ප්‍රමාණයක් අලෙවි කරන අතර ඉන් පසු සීමිත සිසුන් පිරිසක් ඒ ඒ පාසල්වලට අභිමත නිර්ණායක අනුව බඳවා ගැනීමේ දී ඉහළ ඇතුළත් වීමේ ගාස්තු, පරිත්‍යාග පාසල් ගාස්තු, ආදිය විවිධ වටිනාකම්වලින් අය කරනු ලබයි. එම අය කිරීම් සම්බන්ධ කිසිදු නිර්ණායකයක් හා නියාමනයක් සිදු වන්නේ ද නැත. මෙම පාසල්වල පවතින භෞතික හා මානව සම්පත් මෙන්ම ලබාදෙන සේවාවන් අනුව පාසල් ශ්‍රේණිගත කිරීමක් කොට ඒ අනුව අය කළ යුතු උපරිම හා අවම පරාසයන් පිළිබඳව සීමා පැනවීමක් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් සිදුකර නොමැත. 2005/31 චක්‍රලේඛයට අනුව සියලුම රජයේ අනුමත පෞද්ගලික පාසල්වල සියලු ආකාරයේ ලැබීම් සහ ගෙවීම් අඩංගු ආදායම් වියදම් පිළිබඳ වාර්තාවක් සෑම වර්ෂයක් සඳහාම පෞද්ගලික පාසල් අංශයේ අධ්‍යාපන අධ්‍යක්ෂ වෙත එවිය යුතු වුවද කිසිදු පාසලක් එම වාර්තා එවා නොමැත. මේ සම්බන්ධව කොළඹ අධ්‍යාපන කාර්යාලයෙන් කළ විමසීමකදී ඔවුන් ප්‍රකාශ කළේ එම කලාපයට අයත් රජයේ අනුමත පෞද්ගලික පාසල් දහනමයෙන් කිසිදු පාසලක් කලාප කාර්යාලය වෙත අදාළ ආදායම් වාර්තා ඉදිරිපත් කර නොමැති බවයි. එසේම ආදායම් වාර්තා නොඑවන පාසල් සම්බන්ධයෙන් ගනු ලබන පියවරක් සඳහන් කර නොමැති වීම තුළ එවැනි අවශ්‍යතාවක්ද පෞද්ගලික පාසල්වලට නොමැත.

රජයේ අනුමත පෞද්ගලික පාසල්වල රජයේ සාමාන්‍ය අධ්‍යාපන ප්‍රතිපත්තියට අනුව රජයේ අනුමත පෞද්ගලික පාසල් ද අධ්‍යාපන ක්‍රියාවලිය පවත්වාගත යුතු වූවත් විදේශීය විෂයමාලා ඉගැන්වීම් සිදු කරමින් ඇත. නමුත් ඒ පිළිබඳව අධ්‍යාපන අමාත්‍යාංශයේ පෞද්ගලික පාසල් අංශයට කිසිදු දැනුම්දීමක් සිදු වී නැත. එම විෂයමාලා මොනවාද? එහි අන්තර්ගතය කුමක් ද? එම විෂයමාලාවන් සකස්වූවේ කෙසේද? යන්න පිළිබඳව පෞද්ගලික පාසල් කළමනාකාරීත්වයන් විසින් කිසිඳු දැනුවත් කිරීමකින් තොරව ඉගැන්නුම් ක්‍රියාවලිය සිදු කර යන්නට ඉඩ දී ඇත. එමෙන්ම රජයේ අනුමත පෞද්ගලික පාසල්වලට සිසුන් බඳවා ගැනීම, කාල සටහන් අනුමත කරවා ගැනීම, වාර විභාග පැවැත්වීම, පාසලේ සෞඛ්‍ය කටයුතු පවත්වා ගැනීම සහ ගුරුවරුන් බඳවා ගැනීම සම්බන්ධව කළ සමීක්ෂණයන් හී දී ගැටලු රාශියක් ඇති බව 2022 විගණන වාර්තාව මගින් පෙන්වා දී ඇත. පෞද්ගලික පාසල් අධීක්ෂණය සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයේ පෞද්ගලික පාසල් අංශය නමින් අංශයක් පිහටවා ඇති නමුත් ඉන් අපේක්ෂිත කිසිවක් ඉටු වී නොමැත. අනෙක් අතට පෞද්ගලික පාසල්වලට අවශ්‍ය පරිදි පාසල් පවත්වාගෙන යාමට ද අමාත්‍යාංශය ඉඩ දී බලාගෙන සිටීමේ ප්‍රතිපත්තියක් අනුගමනය කොට ඇත. රජයේ අනුමත පෞද්ගලික පාසල් සමීක්ෂණයට හා යම් ආකාරයක නියාමනය කිරීමට නාමිකව හෝ අධ්‍යාපන අමාත්‍යාංශයේ පෞද්ගලික පාසල් අංශය නමින් අංශයක් පිහිටවා තිබුණද ජාත්‍යයන්තර පාසල් අධීක්ෂණයට හා නියාමනයට නමට හෝ කිසිම ආයතනයක් පිහිටවා නොමැත. 2007 අංක 07 දරන සමාගම් පනත යටතේ සමාගමක් හෝ ව්‍යාපාර නාම ලියාපදිංචි කිරීමේ ආයතන වශයෙන් ලියාපදිංචි කළ මෙම පාසල්වලට අධ්‍යාපන අමාත්‍යාංශය සමග බැඳීමක් හෝ නොමැත.

(අනිද්දා)