ලොව පුරා විවිධ තනතුරු නාමයන්ගෙන් පෙනී සිටිමින් වනජීවී හා ස්වභාවික සම්පත් ආරක්ෂණ වෘත්තියේ යේදී සිටින වෘත්තීයවේදීන් සැමරීමේ දිනය සෑම වසරකම ජූලි මස තිස් එක් වැනිදාට යේදී තිබේ. වර්ෂ 1992 දී ආරම්භ කරන ලද ඉන්ටර්නැෂනල් රේන්ජර ෆෙඩරේෂනය එහි 15 වැනි සංවත්සරය සනිටුහන් කරමින් ලොව පළමු වරට ලෝක වනජීවී හා ස්වභාවික සම්පත් ආරක්ෂණ වෘත්තිකයින්ගේ දිනය සමරන ලද්දේ 2007 වසරේදීය. සංස්කෘතික හා ඓතිහාසික උරුමයන් ආරක්ෂා කිරීම සහ ස්වභාවික සම්පත් සම්බන්ධයෙන් වත්මන් සහ අනාගත පරම්පරාවේ අයිතිවාසිකම් සහ සමෘද්ධිය ආරක්ෂා කිරීම එම වෘත්තිකයින්ගේ කාර්ය භාරය වේ. නීතිමය සහ ආයතනික රාමු වලට සහ අන්තර්ජාතික සම්මුතීන්ට යටත්ව ඔවුන් විසින් ලොව පුරා විවිධ රටවල ඇති රාජ්‍ය හෝ පෞද්ගලික සංරක්ෂණ භූ දර්ශන හෝ සාගරික භූමි සංරක්ෂණය හා කලමනාකරණය සිදු කරයි. ජෛවවිවිධත්වයෙන් අගතැන්පත් රටක් ලෙස ශ්‍රී ලංකාවද මෙවර එම දිනය සමරනු ලබන්නේ තම රට තුළ දිනෙන් දින වර්ධනය වන වනජීවී අපරාධ රැල්ල මැඩීම සම්බන්ධයෙන් පුළුල් කතිකාවක් සමාජගතවී ඇති පසුබිමකය.
ලොව ජෛවවිවිධත්ව උණුසුම් කේන්ද්‍ර වලින් එකක් වන ශ්‍රී ලංකාවේ මුළු භූමි ප්‍රමාණයෙන් සියයට පහළොවකට (15%) වඩා වනජීවී රක්ෂිත වශයෙන් ප්‍රකාශයට පත්කර ඇත. එම භූමි තුළ මෙන්ම ඉන් පරිබාහිරව සමස්ථ දිවයිනම සහ ඒ අවට සමුද්‍ර කලාපයද ඇතුලත් වපසරිය තුළ වනජීවීන් හා ඔවුන්ගේ ස්වභාවික වාසස්ථාන ආරක්ෂා කිරීමේ සහ සංරක්ෂණය කිරීමේ වගකීම පැවරී ඇත්තේ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට ය. ඒ සඳහා නෛතික ප්‍රතිපාදන හිමිව ඇත්තේ වන සත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනත සහ ඒ යටතේ සකස් කෙරුණු රෙගුලාසි යටතේය. නමුත් එම පනත බලාත්මක කළ හැකි නිලධාරීන් වන අඩවි ආරක්ෂකවරුන්, අඩවි සහකාරවරුන් සහ වනජීවී නියාමකවරුන් දැනට සේවයේ නියුතුව සිටින්නේ 894 දෙනෙකු පමණි. ඒ අනුව බොහෝ කලකින් යාවත්කාලීන කර නැති එනයින්ම කොහෙත්ම ප්‍රමාණවත් නැති 1591 ක් වන අනුමත සේවක සංඛ්‍යාවෙන්ද සියයට හතළිස් හතරක් (44%) පුරප්පාඩුවී ඇති බව බොහෝ දෙනෙකු නොදන්නා කරුණකි. එවැනි අවස්ථාවලදී සේවකයින් දෙදෙනෙකු විසින් කළයුතු රාජකාරි ඉටුකිරීමට සිදුවී ඇත්තේ එක් නිලධාරියෙකුට බව අමුතුවෙන් කිවයුතු නැත. එසේම වැටුප් විෂමතා, දීමනා ගැටළු, යටිතල පහසුකම් හිඟය වැනි විවිධ ගැටළු රැසක් මධ්‍යයේ මෙරට වනජීවී සංරක්ෂණ නිලධාරීන්ට කටයුතු කිරීමට සිදුවී තිබීම කණගාටුවට කරුණකි.
වනජීවී හා ස්වභාවික සම්පත් ආරක්ෂණ වෘත්තිකයින් විසින් සපයන සේවාවන් අතර පරිසරයට අහිතකර ක්‍රියාකාරකම් වැළැක්වීම සඳහා නීති ක්‍රියාත්මක කිරීම, මිනිසුන් සහ වන සතුන් සඳහා ආරක්ෂිත පරිසරයක් පවත්වාගෙන යාම, වන සතුන් සහ ඔවුන්ගේ වාසස්ථාන සංරක්ෂණය කිරීම හා කලමනාකරණය කිරීම, පාරිසරික අවදානම් කළමනාකරණය, ආශ්රිත ප්‍රජාවන් සවිබල ගැන්වීම සහ සම්බන්ධීකරණය, සංරක්ෂණයේ ප්‍රධාන පාර්ශවකරුවන් සමඟ සහයෝගයෙන් කටයුතු කිරීම සහ සංචාරක කර්මාන්තය, අධ්‍යාපනය සහ මහජන දැනුවත් කිරීම සඳහා සහාය වීම වේ.
පාරිසරික හා පුරාවිද්‍යාත්මක උරුමයන් සංරක්ෂණය සහ තිරසාර භාවිතය අභියෝග රැසකට මුහුණදී ඇති රටක් වන ශ්‍රී ලංකාවේ ඊට එදිරිව එම සම්පත් සංරක්ෂණය හා ආරක්ෂණය වෙනුවෙන් රැකියාවට එහා ගිය කැපකිරීම් සමුදායක් ඉටු කරමින් තම ජීවිත පවා අවධානමේ හෙලා ගනිමින් වනජීවී සංරක්ෂණ නිලධාරීන් දිවයින පුරා සේවයේ නිරතව සිටිති. මෙරට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව ආරම්භ කෙරුණු 1949 ඔක්තෝබර් මාසයේ සිට මේ දක්වා වනජීවී නිලධාරීන් අසූපස් දෙනෙකු තම රාජකාරි අතරතුර මෙරට සොබා උරුමයන් සංරක්ෂණය වෙනුවෙන් ජීවිත පරිත්‍යාග කර තිබීම මෙම වෘත්තියේ ඇති අවධානම් සහගතබව මොනවට කියා පායි. නමුත් නොයෙකුත් අගහිඟකම් මැද දිවි හිමියෙන් වනදිවි රකින එම වනජීවී සංරක්ෂකයින්ගේ කැපවීම බොහෝ විට ඇගයීමට ලක් නොවීම කණගාටුවට කරුණකි.
ජනාකීර්ණ ප්‍රදේශ වලින් ඉතා දුර බැහැර හුදෙකලා වනගත ප්‍රදේශ වල තනිව, වනජීවී අපරාධකරුවන් සමග ගැටෙමින්, අලි ඇතුන් ඇතුළු වනජීවීන්ගෙන් එල්ලවන පීඩා මධ්‍යයේ රාජකාරි ඉටු කරන වනජීවී නිලධාරීන්ට ඒ සඳහා ලැබෙන මාසික දුෂ්කර හා අවධානම් දීමනාව රුපියල් 2500.00 බව කීවොත් ඔබ පුදුමයට පත්වන බව නොඅනුමානය. වර්ෂ 1989 දී ගෙවීම ආරම්භ කෙරුණු රුපියල් 500 ක අවධානම් දීමනාව (එකල මූලික වැටුපටත් වඩා වැඩි අගයක් වූ) රුපියල් 2500 ක් දක්වා ඉහළ දමන ලද්දේ 2010 වසරේදීය. නමුත් අද දක්වාම එහි වර්ධනයක් සිදුව නැත. එම දීමනාව අඩු තරමින් රුපියල් 25000.00 දක්වා හෝ ඉහළ දමා ගැනීමට සමස්ථ ලංකා වනජීවී නියාමක නිලධාරීන්ගේ සංගමය මගින් ඉල්ලීම් කර ඇතත් තවමත් එය යථාර්තයක් බවට පත්ව නැත.
එසේම රාජ්‍ය සේවයට බඳවා ගැනීම් සීමා කර ඇති පසුබිමක, අප ඉහත සඳහන් කළ විශාල පුරප්පාඩු ප්‍රමාණයක් තිබියදී වනජීවී සංරක්ෂණ කටයුතු හැකි උපරිමයෙන් කළමනාකරණය කර ගනිමින් පැය 24 පුරා රාජකාරි ඉටුකිරීමටත්, අඛණ්ඩව දින ගණන් රාජකාරි කිරීමටත්, අවධානම් රාජකාරිවල නියැලීමටත් දිරි ගැන්වීම සඳහා එම නිලධාරීන්ට ලැබෙන දිරි දීමනාවද වර්තමාන ආර්ථික අභියෝග හමුවේ නොගිනිය හැකි සොච්චමක් බව කිව යුතුය. රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ අංක 10/2025 අනුව වැටුප් ගැලපීමේදී වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේම ක්ෂේත්‍ර නොවන නිලධාරීන් කාර්යාලගත රාජකාරි ඉටු කරමින් ලබන අතිකාල දීමනා ප්‍රමාණය, ක්ෂේත්රයේ දැඩි අවධානම් රාජකාරි ඉටු කරමින් භාරධූර රාජකාරියක් ඉටුකරන ක්ෂේත්‍ර නිලධාරීන් ලබන දීමනාව ඉක්මවීම විමතිය දනවන කරුණකි. උදාහරණයක් වශයෙන් වනජීවී නියාමකවරයෙක් ලබන දීමනාව රුපියල් 11500.00 කි. එම දීමනාවද ලැබෙන්නේ මසකට පැය 24 බැගින් දවස් 21 ක් සේවය කළොත් පමණි. යම් හෙයකින් දවස් 19 කට වඩා අඩුවෙන් රාජකාරි කළහොත් එම මාස වල අදාළ දීමනාව ගෙවීමක් සිදු නොවේ. පළමුවන ශ්‍රේණියේ වනසත්ව අඩවි ආරක්ෂකවරයෙකු රුපියල් 15000.00 ක දීමාවක් ලබන විට, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ කාර්යාලයක සේවය කරන තුන්වන ශ්‍රේණියේ ක්ෂේත්‍ර සහායකයෙකු ලබන මාසික අතිකාල දීමනාව රුපියල් 27812.50 කි. පළමුවැනි ශ්‍රේණියේ සංවර්ධන නිලධාරියෙකු ලබන එම දීමනාව රුපියල් 51293.00 කි.
රාජකාරි අතරතුර නිල ඇඳුමින් සැරසී සිටිය යුතු වුවද නිල ඇඳුම් දීමනාවක් හිමි නොවන අතර වසරකට එක් නිල ඇඳුමක් සඳහා පමණක් ප්‍රමාණවත් රෙදි කැබැල්ලක් හිමි වේ. වනගත රාජකාරි සඳහා අත්‍යාවශ්‍ය වේශාන්තරන ඇඳුමක් ලබා දී නැත. අතිකාල දීමනා ගෙවීමක් නැත. අප ඉහතද සඳහන් කළ පරිදි වනජීවී සංරක්ෂණ රාජකාරි අතරතුර නිලධාරීන් අසූපස් දෙනෙකු මරණයට පත්වී තිබුණද අවුරුදු දහයක සේවා කාලය සම්පූර්ණ කිරීමට පෙර රාජකාරි අතරතුර මියයන වනජීවී නිලධාරීන්ගේ පවුල් වලට වැන්දඹු අනත්දරු විශ්‍රාම වැටුප වත් හිමිවන්නේ නැත. කොතරම් අවධානම් රාජකාරියක නිරත වුවද සියලුම රජයේ සේවකයින්ට ලැබෙන අග්‍රහාරය හැර කිසිඳු රක්ෂණය ක්‍රමයක් නැත.
නමුත් එම ගැටළු නිරාකරණය කරගැනීම සඳහා වනජීවී නිලධාරීන්ට වෘත්තීය ක්‍රියාමාර්ගවලට අවතීර්ණ වීමට ඇති ඉඩද අඩුය. ඊට හේතුව සෞඛ්‍ය, අධ්‍යාපන වැනි මූලික මිනිස් අවශ්‍යතා සම්බන්ධ වෘත්තිකයින් විසින් ගනු ලබන වෘත්තීය ක්‍රියාමාර්ගවලට මෙන් වනජීවී නිලධාරීන්ගේ වෘත්තීය ක්‍රියාමාර්ගවලට බලධාරීන්ගේ ඇස් නොඇරෙන බැවිණි. ඒ එවැනි වෘත්තීය ක්‍රියාමාර්ග මගින් තමන්ට ඇතිවෙන පීඩා හඬගා කීමට වනජීවීන්ට නොහැකි බැවිණි.
එවැනි තත්ත්වයන් තුළ පවා සීමිත පහසුකම් යටතේ අතිශය දුෂ්කර සේවා ස්ථානයන්හි සේවය කරන වනජීවී නිලධාරීන් නිහඬව, බොහෝවිට නින්දා අපහාස විඳිමින් ඉටුකරන මෙහෙය අප්‍රමාණය. තවද ඔවුන් වනජීවී සංරක්ෂණ නිලධාරීන් වුවද ඔවුන්ගේ සේවය හුදෙක් වනජීවීන්ට පමණක් සීමා වන්නේද නැති බව අධාරණය කළ යුතුය. 2018 වසරේදී (අප්‍රේල් 21 ප්‍රහාරය සහ කොරෝන වසංගතය මගින් සංචාරක කර්මාන්තයට බලපෑම් එල්ලවීමට පෙර) මෙරටට පැමිණි සියලුම සංචාරකයින්ගෙන් 47% ශ්‍රී ලංකාවේ ජාතික වනෝද්‍යාන නැරඹීමට ගොස් තිබේ. 2024 වසර තුළ පමණක් මෙරට ජාතික උද්‍යාන මගින් රජයට උපයා දී ඇති අදායම රුපියල් බිලියන 5.7 කි. සංචාරක කර්මාන්තයට අමතරව මිනිස් පරිභෝජනයට, ජල විදුලිබල නිෂ්පාදනයට හා කෘෂිකර්මයට අවශ්‍ය ජලය සපයන ජල මුලාශ්‍ර ආරක්ෂා කරගැනීමට වනජීවී රක්ෂිත වැදගත් වේ. තවද දේශගුණ විපර්යාස අවම කිරීම, වනජීවී - මිනිස් ගැටුම් අවම කිරීම හා පුරාවිද්‍යා ස්ථාන ආරක්ෂා කිරීම වැනි කටයුතු වලට වනජීවී රක්ෂිත මගින් ලැබෙන දායකත්වය ද අති මහත්ය. ඒ සියලු මෙහෙයන් මත තැවරී ඇත්තේ බිම් මට්ටමේ වනජීවී සංරක්ෂණ නිලධාරීන්ගේ දහදිය, ලේ සහ කඳුළු බව අප සිහිතබා ගත යුතුය.
ජෛව විවිධත්වය පෘථිවියේ ජීව ආධාරක පද්ධතිය පවත්වා ගැනීමට සහ මානව සමාජයට සමාජ-ආර්ථික ප්රතිලාභ රාශියක් අත්කර දීමට අත්‍යවශ්‍ය වේ. එසේ වුවද මානව ජනගහන වර්ධනය වැඩි වීම සහ ස්වභාවික සම්පත් සඳහා ඇති ඉල්ලුම ඉහළ යාම ලොව පුරා ජෛව විවිධත්ව හායනය වැඩි කර ඇත. දඩයම් කිරීම, සුරතල් සතුන් වෙළඳාම සහ වෙනත් අරමුණු (වෛද්‍ය, සංස්කෘතික), වාසස්ථාන ආක්‍රමණ හා නීති විරෝධී ලෙස නිස්සාරණය කිරීම වැනි හේතු නිසා සංරක්ෂිත ප්‍රදේශ මගින් ප්‍රමාණවත් භෞතික ආරක්ෂාවක් ලැබෙන සහ නොලැබෙන ප්‍රදේශ රැසක ජෛව විවිධත්වය හානි වෙමින් පවතී. සංවර්ධනය වෙමින් පවතින ලෝකයේ නිවර්තන ජෛව විවිධත්ව උණුසුම් කේන්ද්‍ර වල විශේෂයෙන් මෙම තත්ත්වය කැපී පෙනෙන අතර ආරක්ෂිත භූ දර්ශන තුළ පවා මෙවැනි අහිතකර ක්‍රියාකාරකම් මේ මොහොතේ පවා සිදුවේ. මෙරට තුළ එම තත්ත්වය වැලැක්වීම සඳහා දිවි හිමියෙන් කැපවුණු වනජීවී නිලධාරීන්ගේ ජීවන තත්ත්වය උසස් කර ඔවුන්ගේ සේවය ඇගයීම සහ තව තවත් අපගේ මාතෘභූමියේ උන්නතිය සඳහා යොදාගැනීම බලධාරීන්ගේ යුතුකම සහ වගකීම වන්නේය.
| එම්. අයි. ඩබ්ලිව්. පීරිස්
ගරු ලේකම්
සමස්ත ලංකා වනජීවී නියමක නිලධාරීන්ගේ සංගමය
දුරකථන: 0719949616
වගුව 1: වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ පුරප්පාඩු
තනතුර |
අනුමත සේවක සංඛ්‍යාව |
දැනට සිටින සංඛ්‍යාව |
පුරප්පාඩු සංඛාව සහ ප්‍රතිශතය |
අඩවි ආරක්ෂක |
336 |
187 |
149 (44%) |
අඩවි සහකාර |
382 |
216 |
166 (43%) |
වනජීවී නියමක |
873 |
491 |
382 (44%) |
එකතුව |
1591 |
894 |
697 (44%) |
වගුව 2: මියගිය වනජීවී නිලධාරීන්
මරණයට හේතුව |
මියගිය සංඛ්‍යාව |
ත්රස්තවාදීන්ගේ ප්‍රහාර |
37 |
වනජීවීන්ගේ ප්‍රහාර |
26 |
වන අපරාධකරුවන්ගේ ප්‍රහාර |
15 |
හදිසි අනතුරු |
4 |
අත්වැරදීමෙන් රාජකාරි ගිනිඅවිය ක්‍රියාත්මක වීම |
2 |
88/89 භීෂණ සමයේ අතුරුදහන් වීම |
1 |
ප්‍රස්ථාරය 1: ශ්‍රී ලංකාවේ ජාතික උද්‍යානය මගින් වාර්ෂිකව උපයා ඇති ආදායම