ශ්‍රී ලංකාව ඇතුළු රටවල ඉදිරි දශකය තුළ ඇති විය හැකි රැකියා අර්බුදයක් ගැන අනතුරු ඇඟවීමක්

ලෝක බැංකුවට සම්බන්ධ World Bank Group නමැති ආයතනයට අනුව, දරිද්‍රතාවට එරෙහිව සටන් කිරීමට සහ සමෘද්ධිය කරා යාමට ඇති ස්ථිර ම මාර්ගය රැකියාවක නිරත වීම ය. එහෙත්, ඔවුන් විසින් මෑතකදී සිදු කරනු ලැබ ඇති පුරෝකථනයක් අනුව, එය අභියෝගයට ලක් වෙමින් පවතින බව පෙනී යයි.
ලෝක බැංකුව පුරෝකථනය කර ඇත්තේ, ඉදිරි දශකය තුළ සංවර්ධනය වෙමින් පවතින රටවල තරුණ තරුණියන් බිලියන 1.2ක් වැඩ කරන වයසට (ශ්‍රම බළකායට) පැමිණෙන නමුත් වත්මන් තත්ත්වය අනුව ඉදිරියට යන්නේ නම්, රැකියා නිර්මාණය වන්නේ මිලියන 420ක් පමණක් බව ය.
කඩිනම් පියවර නොගතහොත් මිලියන සංඛ්‍යාත තරුණ තරුණියන් ඉන් බලපෑමට ලක්ව ඔවුන්ට ඇති අවස්ථා සහ බලාපොරොත්තු අහිමි වන බවටත්, ඉන් සමාජ ස්ථාවරත්වයට සහ ආර්ථික වර්ධනයට පුළුල් බලපෑම් ඇති වනු ඇති බවටත් World Bank Group අනතුරු අඟවා තිබේ.
එබැවින්, ගෞරවණීය ජීවනෝපායන් පෝෂණය කරන සහ ජනතාව නැවත දරිද්‍රතාවට තල්ලු කළ හැකි කම්පනවලට ඔරොත්තු දීමේ හැකියාව වැඩි කරන, ඵලදායී රැකියා නිර්මාණය කරන, පෞද්ගලික අංශය මෙහෙයවන ආර්ථික වර්ධනයක් ඇති කර ගැනීම සඳහා කඩිනමින් ක්‍රියා කිරීම ඉතා වැදගත් බව ඔවුහු පෙන්වා දෙති.
රැකියා උත්පාදනය වැදගත් වන්නේ ඇයි?
රැකියා උත්පාදනය යනු, දරිද්‍රතාව පරාජය කිරීමට සහ සමෘද්ධිය කරා යාමට ඇති ඉතා ඵලදායී ක්‍රමවලින් එකක් බව World Bank Group පවසයි. එමගින් රටවලට ස්වයංපෝෂිත ආර්ථිකයන් සහ ශක්තිමත් ශ්‍රම බළකායක් ගොඩනැගීමට උපකාරී වේ.
තව ද ඊට ගෝලීය ස්ථාවරත්වය ශක්තිමත් කළ හැකි අතර නොසන්සුන්තා සහ සංක්‍රමණවලට හේතු වන මූලික ගැටලු විසඳා ගත හැකි බව ද එම ආයතනය සඳහන් කරයි.
රැකියා යනු ආදායම් මාර්ගයක් පමණක් නොව, එය මිනිසුන්ට ගෞරවයක් සහ අරමුණක් පිළිබඳ හැඟීමක් ලබා දෙන ප්‍රභවයක් ද වෙයි. නිදසුනක් වශයෙන්, කාන්තාවන්ට ඇති ආර්ථික අවස්ථා සඳහා ආයෝජනය කිරීම දරිද්‍රතාව අඩු කිරීම සඳහා විවිධාකාරයෙන් බලපාන බව World Bank Group පෙන්වා දෙයි.
ඊට හේතුව ලෙස ඔවුන් පෙන්වා දෙන්නේ, කාන්තාවන් සාමාන්‍යයෙන් තම ඉපැයීම්වලින් 90%ක් දක්වා තම පවුල් සහ ප්‍රජාවන් සඳහා නැවත ආයෝජනය කරන බැවිනි.
ගත යුතු පියවර මොනවා ද?
World Bank Group පෙන්වා දෙන පරිදි මෙම අභියෝගයට පැති කිහිපයකින් මුහුණ දිය යුතු ය.
ව්‍යාපාර-හිතකාමී ප්‍රතිපත්ති සහ සංකීර්ණ නොවන සරල නීති රෙගුලාසි පෞද්ගලික අංශයේ වර්ධනයට රුකුලක් විය හැකි බව ඔවුහු පෙන්වා දෙති. එමෙන් ම, උසස් තත්ත්වයේ පොදු යටිතල පහසුකම් සහ විදුලිය හා ඩිජිටල් තාක්ෂණයන් වෙත ප්‍රවේශය, ජනතාවට රැකියා වෙත ප්‍රවේශ වීම පහසු කරන බව ද ලෝක බැංකුව සඳහන් කරයි.
අධ්‍යාපනය සහ කුසලතා සංවර්ධන මුලපිරීම් අවශ්‍ය නිපුණතා සහ දැනුම සමග පෙළගැස්විය යුතු බවට ද ඔවුහු පෙන්වා දෙති.
මූල්‍යකරණයට ප්‍රවේශ වීමේදී, විශේෂයෙන් කුඩා පරිමාණ ව්‍යාපාරලවලට සහය වීම සඳහා වැඩි අවධානයක් යොමු කිරීම ද ඉතා වැදගත් වන අතර එමගින් ඔවුන්ට වර්ධනය වීමට සහ වඩාත් ඵලදායී වීමට හැකි වන බව World Bank Group සඳහන් කරයි.
ලෝක බැංකුවේ උපාය මාර්ගය කුමක් ද?
මේ සඳහා ලෝක බැංකුව කුලුනු තුනක ප්‍රවේශයක් පෙන්වා දෙයි. ඉන් පළමු වැන්න ලෙස ඔවුන් සඳහන් කරන්නේ රැකියා සඳහා මූලික යටිතල පහසුකම් ස්ථාපනය කිරීම ය.
රැකියා උත්පාදනය ආරම්භ වන්නේ, රාජ්‍ය අංශයේ සහයෙන් බව ඔවුහු පෙන්වා දෙති. රජයන්ට තම ශ්‍රම බළකායේ යහපැවැත්ම සඳහා ප්‍රමුඛත්වය දිය හැකි අතර සෞඛ්‍ය සේවා, අධ්‍යාපනය, කුසලතා පුහුණුව, පිරිසිදු වාතය සහ ජලය, ප්‍රවාහනය සහ මිනිසුන්ට සහ ව්‍යාපාරවලට දියුණු වීමට අවශ්‍ය බලශක්තිය සඳහා ආයෝජනය කළ හැකි බව ද ලෝක බැංකුව මේ යටතේ සඳහන් කරයි. මෙම යටිතල පහසුකම් ආයෝජන තිරසර ආර්ථික වර්ධනයක් සඳහා අඩිතාලම දමන බව ඔවුහු පවසති.
ලෝක බැංකු සමූහය, විශේෂයෙන් ප්‍රතිසංස්කරණ හා සංවර්ධනය සඳහා වූ ජාත්‍යන්තර බැංකුව සහ IDA, රටවලට මෙම ප්‍රමුඛතා සඳහා මූල්‍යකරණය කිරීමට සහ සම්පත් ඵලදායී ලෙස භාවිත කරන බව සහතික කිරීමට උපකාරී වේ.
උදාහරණයක් ලෙස බංග්ලාදේශය වෙත සැපයූ මෙම අරමුදල් ආර්ථික කලාප සහ මෘදුකාංග තාක්ෂණ උද්‍යාන සවිබල ගැන්වීමට උපකාරී වී ඇති අතර, කාන්තාවන් ඇතුළුව රැකියා 45,000කට ආසන්න ගණනක් උත්පාදනය කර ඇතැයි ලෝක බැංකුව පවසයි.
දෙවන ප්‍රවේශය ලෙස පෙන්වා දෙන්නේ, පාලනය සහ ප්‍රතිපත්ති ශක්තිමත් කිරීම ය.
මේ යටතේ රාජ්‍ය ආයෝජනවලට අමතරව, ශක්තිමත් පාලනයක් සහ ව්‍යාපාර සක්‍රීය කිරීමේ ප්‍රතිපත්ති සහ පුරෝකථනය කළ හැකි නියාමන පරිසරයක් ද අවශ්‍ය වන ලෝක බැංකුව පෙන්වා දෙයි.
ඔවුන් සඳහන් කරන්නේ, වඩාත් බුද්ධිමත්, වඩාත් අභිලාෂකාමී රජයේ ප්‍රතිපත්ති මගින් පෞද්ගලික අංශයට ක්‍රියාත්මක වීමට, වර්ධනය වීමට සහ කර්මාන්ත හරහා රැකියා උත්පාදනය දිරිමත් කිරීමට හැකි සක්‍රීය පරිසරයක් පෝෂණය කළ හැකි බව ය.
නමුත් මේ සඳහා රජයන් විසින් නීති රෙගුලාසි විධිමත් කිරීම, නිලධාරිවාදී බාධක ඉවත් කිරීම සහ අනවශ්‍ය අමතර ලියකියවිලි කටයුතු කපා හැරීම අවශ්‍ය වන බවත්, දූෂණය පාලනය කිරීම සඳහා හවුල්කරුවන් සමග වැඩ කිරීම ද ඊට ඇතුළත් වන බවත් ලෝක බැංකුව පවසයි.
තෙවැන්න වන්නේ, පෞද්ගලික ප්‍රාග්ධනය මේ සඳහා යොදා ගැනීම ය.
ලෝක බැංකුව පෙන්වා දෙන්නේ, රැකියා නිර්මාණය කරන සහ තිරසර වර්ධනයක් ඇති කරන ශක්තිමත් පෞද්ගලික අංශයක් ගොඩනැගීම සඳහා අවශ්‍ය ආයෝජන රාජ්‍ය මූල්‍ය මගින් පමණක් ලබා දිය නොහැකි බව ය.
ශක්තිමත් පෞද්ගලික අංශයකට ව්‍යවසායකත්වය, තරගකාරිත්වය සහ අවසානයේ ශ්‍රමය සඳහා ඇති ඉල්ලුම උත්ප්‍රේරණය කළ හැකි බැවින්, කුඩා, මධ්‍යම සහ විශාල පරිමාණ වැනි ව්‍යාපාර දිරිමත් කිරීම අවශ්‍ය බව ඔවුහු පවසති.
නමුත් පෞද්ගලික අංශයේ ආයෝජන ගලා එන්නේ කොන්දේසි නිවැරදි වූ විට සහ ප්‍රතිලාභ ලැබීමේ පැහැදිලි සම්භාවිතාවක් ඇති විට පමණක් බව ලෝක බැංකුව අවධාරණය කරයි.
යටිතල පහසුකම් සහ බලශක්තිය, කෘෂි ව්‍යාපාර, සෞඛ්‍ය සේවා, සංචාරක ව්‍යාපාරය සහ අගය එකතු කළ නිෂ්පාදන ඇතුළු මහා පරිමාණයෙන් දේශීය රැකියා උත්පාදනය සඳහා ඉඩ සලසන අංශ ද ඇතැයි ලෝක බැංකුව පෙන්වා දෙයි.
ඒ ඒ රටවල ශක්තීන්ට ගැලපෙන පරිදි, මෙම අංශවලට රැකියා නිර්මාණය සඳහා ඉහළ විභවයක් ඇති අතර, ගෝලීය ආර්ථිකය නැවත හැඩගස්වන පුළුල් බලවේගයන්ට වඩා ඔරොත්තු දිය හැකි, ඩිජිටල්කරණය වැනි ඉහළ මට්ටමේ ආයෝජන අවශ්‍ය නොවනු ඇති බව ඔවුහු සඳහන් කරති.
රැකියා අවස්ථා වැඩි කිරීම කාන්තාවන්ට සහ තරුණයින්ට වැදගත් වන්නේ ඇයි?
ලෝක බැංකුව පෙන්වා දෙන පරිදි, රැකියා අවස්ථා ඉහළ නැංවීම විශේෂයෙන් කාන්තාවන්ට ඉතා වැදගත් වේ.
යොවුන් වියේ ගැබ් ගැනීම්, අඩු වයසින් විවාහ වීම, ගෘහස්ථ වගකීම්, ළමාරක්ෂක සේවා සඳහා සීමිත ප්‍රවේශය, ප්‍රවාහන යටිතල පහසුකම් සහ ආරක්ෂාව ප්‍රමාණවත් නොවීම, වත්කම් සඳහා අසමාන ප්‍රවේශය සහ සීමාකාරී සමාජ සම්මතයන් ගැහැනු දරුවන්ට උසස් අධ්‍යාපනයට ප්‍රවේශ වීමට බාධා කරන අතර ශ්‍රම බළකාය තුළ කාන්තා සහභාගීත්වය සීමා කරන බවට ඔවුහු පෙන්වා දෙති.
එහි ප්‍රතිඵලයක් වශයෙන්, කාන්තාවන්ගේ වෘත්තීය තේරීම් බොහෝ විට සීමිත වන අතර, ඔවුන් වැටුප් සහිත රැකියාවක නිරත වුවහොත්, අවදානමට ලක්විය හැකි රැකියාවලට අසමානුපාතිකව සම්බන්ධ වීමට හේතු වන බව ලෝක බැංකුව පවසයි.
මේ අතර, එය තරුණයින්ට විශාල අභියෝගයක් වන්නේ, රැකියා අවස්ථා ඔවුන්ගේ ඉහළ යන අධ්‍යාපන මට්ටම් සමග සමපාත වන්නේ ද යන්න මත බව ඔවුහු සඳහන් කරති.
බොහෝ අඩු ආදායම්ලාභී ආර්ථිකයන්හි, තරුණයින් දිගු කාලයක් පාසල් අධ්‍යාපනය ලබන නමුත්, උසස් අධ්‍යාපනය ලැබුව ද, ඔවුන් බොහෝ විට තම කුසලතාවන්ගෙන් සුළු හෝ ප්‍රයෝජනයක් නොගන්නා වෘත්තීන්හි සිරවී සිටින බව ලෝක බැංකුව පවසයි.
ශ්‍රී ලංකාවේ තත්ත්වය කුමක් ද?
ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ගත් කල, 2025 පළමු කාර්තුව සඳහා ශ්‍රම බළකා සහභාගීත්ව අනුපාතය 49.7%ක් බව ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.
ශ්‍රී ලංකා ශ්‍රම බළකා සංඛ්‍යා ලේඛන කාර්තුමය ප්‍රකාශනයේ, 2025 වසරේ පළමු කාර්තුවේ සිදු කර ඇති සමීක්ෂණ වාර්තාවේ මේ බව සඳහන් වේ.
එහි සඳහන් පරිදි ඉන් 70.1%ක් පිරිමි වන අතර 32.0%ක් කාන්තාවෝ වෙති.
එම කාලය තුළ මෙරට ආර්ථික වශයෙන් ක්‍රියාකාරී ජනගහනය මිලියන 8.46ක් වන අතර ඉන් මිලියන 5.54ක් (65.4%) පිරිමි වන අතර මිලියන 2.92ක් (34.6%) කාන්තාවෝ වෙති.
ආර්ථික වශයෙන් අක්‍රිය ජනගහනය මිලියන 8.57කි. ඉන් වැඩි ප්‍රතිශතයක්, එනම් 72.4%ක් කාන්තාවෝ වෙති.
2025 පළමු කාර්තුව වන විට මුළු රැකියා නියුක්තිකයන් ගණන මිලියන 8.14ක් පමණ වන අතර ඉන් 50.3%ක් සේවා අංශයේ ද 26.2%ක් කර්මාන්ත අංශයේ ද 23.4%ක් කෘෂිකර්ම අංශයේ ද සේවය කරති.
ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවට අනුව, 2025 වසරේ පළමු කාර්තුව තුළ රැකියා විරහිත පුද්ගලයින් සංඛ්‍යාව 322,331ක් ලෙස ඇස්තමේන්තු කර ඇත. ඒ අනුව, 2025 පළමු කාර්තුව සඳහා විරැකියා අනුපාතය සියයට 3.8කි. ඉන් 2.5%ක් පිරිමින් වන අතර 6.3%ක් ගැහැනු වෙති.
වයස් අනුව ගත් කල විරැකියා අනුපාතය ආසන්න වශයෙන් අවුරුදු 15–24 අතර 19.7%ක් ද අවුරුදු 25–29 අතර 10.1%ක් ද අවුරුදු 30ට වැඩි 1.3%ක් පමණ වේ.
සියලු ම වයස් කාණ්ඩවල කාන්තාවන් අතර විරැකියාව පිරිමින්ට වඩා ඉහළ මට්ටමක පවතින බවත් රටේ සමස්ත විරැකියාවට තරුණ හා කාන්තා විරැකියාව වැඩි දායකත්වයක් සපයන බව ත් සමීක්ෂණ ප්‍රතිඵලවලින් හෙළි වන බව ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.
මෙම කාලය තුළ ඉහළ ම විරැකියා අනුපාතය වාර්තා වන්නේ, අ.පො.ස. (උසස් පෙළ) සහ ඊට ඉහළ කාණ්ඩයෙනි. එය 6.1%කි. සියලු ම අධ්‍යාපන මට්ටම්වල කාන්තා විරැකියා අනුපාත පිරිමින්ට වඩා ඉහළ අගයක් ගන්නා බව ද එම දෙපාර්තමේන්තු සමීක්ෂණ වර්තාවේ වැඩිදුරටත් දැක්වේ.
| තාරක සම්මාන් / බීබීසී සිංහල