වෙහෙස නොබලා වෙහෙසෙන, විඩා දරන ගම්වල ගැහැණු  - නිර්මලා දිසානායක

women-fish-work

ස්ත්‍රිය, කාන්තාව, වනිතාව නැතහොත් ගැහැණිය යනු ලොව උතුම්ම වස්තුවක් පමණක් නොව ස්වභාව ධර්මයේ අපූර්ව නිමැවුමකි. එය එසේ වුවද ස්ත්‍රී චරිත අභ්‍යන්තරය තුළ මතු පිටින් පෙනෙන සුන්දරත්වය හෝ මිහිරිබව නැති නමුත් විශිෂ්ට බව ඇත. ඒ උපතේ පටන් මරණය තෙක් සමාජ සන්ධර්භය තුළ විවිධ භූමිකාවන් දරමින් ඇය ඉටු කරනු ලබන වගකීම්, කැපකිරිම හා දරාගැනීම්  සියල්ලේ ප්‍රමුඛ බව නොඅඩු බැවිනි.

දියණියක, සොයුරියක, මිතුරියක,බිරිඳක, මවක ලෙස පමණක් නොව මිත්තණියක වශයෙන්ද ජීවිතෝත්පත්තියේ සිට ජීවිතාන්තය දක්වා ඇය සමාජය තුළ විවිධ භූමිකා නිරූපණය කරයි. එය විටෙක පුරුෂාධිපත්‍ය පරයා ඉස්මතු වීමටත්  ප්‍රමුඛ වීමටත් ප්‍රබල වේ.

කාන්තාව

ස්ත්‍රියක් විවිධ සමාජ තුළ එනම් පවුල, නාගරික, ග්‍රාමීය, කුලීන-කුලහීන, සංස්කෘතික, සම්ප්‍රදායික, ආගමික, දේශපාලනික, වෘත්තීය ආදී වූ විවිධ සමාජ ස්ථර නියෝජනය කරමින් එකී සමාජ තලය දරාගනිමින් ඈ මත වන වගකීම් ඉටුකිරීමෙහිලා ශක්‍ය වෙති.

මෙකී ස්ත්‍රිය හෙවත් කාන්තාව යනු කවුරුන්දැයි  විවිධ අර්ථකථන ඉදිරිපත් කළ හැකිය. නූතනයේ පමණක් නොව පුරාතනයේ සිටම ස්ත්‍රිය පිළිබඳ අර්ථකථන නොඅඩුව හඳුනාගත හැකිය. ඒ කෙසේ වෙතත් වර්තමානයට අනුව ස්ත්‍රිය යනු,

“අසීමාන්තික දරා ගැනීමක් උරුම කායික මෙන්ම මානසිකව ද ශක්තිමත් වගකීම් දරමින් සමාජය තුළ විවිධ භූමිකාවන්ට අනුගතව කටයුතු කරන වස්තුවකි.”

තවත් පැහැදිලිව කිවහොත් “එකම ගැහැණු චරිතයක් ජීවිතය නම් පරිච්ඡේදය තුළ චරිත කිහිපයක් රඟ දක්වන නැතහොත් පරිච්ඡේදයෙන් පරිච්ඡේදයට හාත්පසින්ම වෙනස් වූ තත්ත්වයන්ට අනුගතවීමේ සුවිශේෂී ශක්‍යතාවක් ඇති වස්තුවකි.”

ස්ත්‍රියකට තරම් එකී තත්ත්වයන් නිරූපණය කිරීමට කිසිවකුට නොහැකිය. ඒ නිසයි ස්ත්‍රිය එතරම් විශිෂ්ට. බිරිඳක වන්නේත්, මවක් වන්නේත්, දියණියක වන්නේත්, සොයුරියක වන්නේත්, මිතුරියක වන්නේත්, මිත්තණියක වන්නේත් එකම ගැහැණු චරිතයකි. ඒ එක් එක් භූමිකාවන්ට අදාළව වගකීම් සමූහයක් ඈ වටා පිරී ඇත.

කාන්තාව යන්න සරලව එසේ හඳුනාගත හැකි අතර මෙම ලිපියේ අරමුණ පිටිසර ග්‍රාමීය කාන්තාවන්ගේ ජීවිතයේ විවිධ සමාජ කාරණා මතුකර පෙන්වීමයි.  මේ සඳහා නිශ්චිත ලිඛිත හෝ සංඛ්‍යාත්මක තොරතුරුවලට වඩා එය ග්‍රාමීය නිරීක්‍ෂණයක් ආශ්‍රයෙන් සිදු කෙරුණකි.

ග්‍රාමීය ස්ත්‍රියගේ ස්වභාවය

ග්‍රාමීය කාන්තාව යනු ඉතාම සරල සාම්ප්‍රදායික ජීවිතයක් ගත කරන වැඩ කරන කාන්තාවෝය. විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ ගම්බද ගැහැණිය ගෙවනුයේ ඇඳුම-පැළඳුම, කතාබහ, සමාජ ආශ්‍රය ඇවතුම් පැවතුම් ආදී මේ සියල්ලකින්ම සාමාන්‍ය ජීවිතයකි. එසේ වුවද ඒ් සරල හා සාමාන්‍යයකම තුළ පවතින්නේ ඒ ජීවිතයේ ගැඹුරු හා කටුක බවය.

ගැහැණියකගේ ජීවිතය කිසිවිටක සුන්දර නොවේ. එය කොයි කාලෙටත් එසේම ය. අතීත ගැහැණියගේ ජීවිතයට වඩා යම්තාක් දුරකට තාක්ෂණය මුසුවීමත් සමඟ වැඩපළ අතින් තරමක් පහසු වුවද ඇය දරන්නා වූ වගකීම් කැප කිරීම් අතින් නූතන ගැහැණියද ගෙවමින් සිටින්නේ අතීතය වර්තමානය යැයි කියා වෙනසක් නැති ජීවිතයකි.

පවුල තුළ ඇය පුරුෂාධිපත්‍යයට යටත් ය. පුරුෂයාගේ සිතැඟි පරිදි අනුමැතිය පරිදි කටයුතු කළ යුතුය. පුරුෂයා සමඟ පුරුෂයාට නොදෙවෙනිව වැඩ කළ යුතුය. පවුල තුළ ඇයට පැවරෙන කාර්යයන් අතුරින් නිදහස අහිමිය. ඉර නැඟෙන්නටත් පෙර සිටම වැඩ කරන්නියකිි. නමුත් ඇයට හිමි වැටුපක් හෝ වටිනාකමක් නැත. ඇය ගෙවන දවසක් පුරා කරනු ලබන සෑම දෙයක්ම නොමිල සේවයකි. නැතහොත් ඇය මත පැටවුණු යුතුකමක්ම පමණි.

මහා සමාජ දැනුමක්, අධ්‍යාපනයක්, උගත්කමක් නොමැති නමුත් බොහෝ ග්‍රාමීය කතුන් බොහෝ තැන්වලදී තීන්දු තීරණ ගැනීම්වලදී ඉවසීමෙන් හා දරා ගැනීමෙන් බුද්ධිමත්ව කටයුතු කරයි. ඊට ඇතැම් විට ඔවුන් සාම්ප්‍රදායිකවම හුරු වූ සමාජ ජීවිතය, සංස්කෘතික ඇවතුම් පැවැතුම්, විශ්වාසයන්ද හේතු වනවා විය හැකිය.

උදාහරණයක් වශයෙන් දක්වතොත් විවාහයකින් පසු ගොඩනැගෙන පවුල තුළ පුරුෂ පාර්ශ්වයෙන් එල්ලවන විවිධ තාඩන පීඩන දරා සිටීමට කාන්තාව හුරු වේ. එය පාරම්පරිකව එන්නක් ලෙසය. දරුවන් හැදූ පසු දරුවන් ගැන සිතා යැයි ඇතැම් ගැහැණු දික්කසාදයකට නොයා ජීවිතය පුරා දරා සිටි. එසේම ගම්බද පිරිමින් බොහෝවිට බීමත්ව පැමිණ බිරිඳට පහර දෙනු ලැබුවද රණ්ඩු සරුවල් කෙරුවද ඒ වෙනුවෙන් තමාට අසාධාරණයක් වූවායයි සිතාවත් තම අයිතීන් ඉල්ලාවත් සාධාරණය ඉල්ලාවත් පොලිස් පොතක පැමිණිල්ලකට නොයන ගැහැණු ඇත. පුරුද්දක් ලෙස පුරුෂයාගේ තාඩන පීඩන ඉවසමින් යුතුකම් ද ඉටුකරමින් දරුවන්ද හදා වඩා ගනිමින් ගේ දොරවතු පිටියේ වැඩ පල ද කරගනිමින් ජීවත්වන ගැහැණු අදටත් ගම්වල සිටි සිටි. නූතන පරම්පරාවේ ද එසේ දරා ගන්නා ගම්බද තරුණ කතුන්ද සිටිති. එක් මැදිවියක කාන්තාවක් තම බීමත් ස්වාමියාගෙන් විදි තාඩන පීඩන ගැන කියා සිටියේ මෙසේ ය.

“අපේ මනුස්සයගේ වැඩේ හැමදාම බීගෙන ඇවිල්ලා මට තඩිබාන එක. ගුටි කන එක ඇරෙන්න මට වෙන කරන්න දෙයක් නෑ. මං දෙමාපියන්ට පිටුපාලා මේ මනුස්සයා එක්ක ආවේ හොරෙන්. එකට ජීවත් වෙනකොටයි තේරුණේ මෙයා එක්ක ජීවත්වෙන්න අමාරුයි කියලා. ඒත් ආපහු යන්න බෑ. දරුවෝ ගැන හිතලා මං ඉවසගෙන හිටියා. අනික මං ගියානම් මේ මනුස්සයාට මොනවා වෙයිද කියන්න දන්නේ නෑ. රණ්ඩුවලට පැටලිලා ප්‍රශ්න හදාගන්නත් තිබ්බා.”

ග්‍රාමීය කතට වැදගත්ම තම පවුලය. බොහෝ ගැමි කාන්තාවන් දරුවන් හැඳීම, පුරුෂයාට අනුගතව ජීවත්වීම, ගෙදරදොර වැඩ කටයුතු කිරීම, ගොවිතැන් කටයුතුවලට උදව් කිරීම ආදී දේ තුළ මූලිකත්වය ගනී.  සමාජයේ කැපී පෙනෙන්නට යන්නේ නැත. නමුත් සමිති සමාගම්වල කැපී පෙනෙන, ගමටම නායකත්වය ගෙන කටයුතු කරන ක්‍රියාශීලී ගැහැණුු ඇත.

ග්‍රාමීය කාන්තාවක් තම ආසාවන් යටපත් කරගෙන සඟවාගෙන පුරුෂයා හා පවු‍ලේ වැඩිහිටියන්ගේ සිත් සතුටු කිරීමටත් ගම්මුන්ගේ ඇනුම් බැඳුම් පදවලින් බේරීමටත් පරිස්සම් ය. අඳින පළඳින ඇඳුම ගැන පවා සිතන්නේ එබැවිනි. තමාට කැමති ආසාව ඇතිවන ඇඳුම අඳින්නටත් පවා ඇය නොපෙළඹෙන්නේ ඉහත කාරණා නිසාය.

ග්‍රාමීය කාන්තාවකට අවැසි පරිදි සමාජ ආශ්‍රයට යාමට නිදහසක් ග්‍රාමීය පරිසරය තුළ නැත. විවිධ සමාජ සාම්ප්‍රදායික රාමුවලින් ඇය සිරවී ඇත. සමාජය විසින්ම ඇය සිරකර ඇත. මෙය සිංහල සමාජය තුළ පමණක් නොව ග්‍රාමිය දෙමළ, මුස්ලිම් සමාජවල පවා දැකිය හැකි කරුණකි.

දෛනික ජීවිතය හා ශ්‍රමය 

ග්‍රාමීය ස්ත්‍රියක සතු ශක්තීන් පිළිබඳව කතා කිරීමේදී අමතක කළ නොහැකිම කරුණක් වන්නේ ඇයගේ ශ්‍රමයයි. සැබෑවටම ගැමි කාන්තාවන් වෘත්තීමය වශයෙන් රැකියාවන්වල නිරත වන්නේ අවම පිරිසකි. නමුත් දවස පුරා ඇය කරන්නේ නිමක් නොවන වැඩ රාශියකි. විශේෂයෙන්ම ග්‍රාමීය කාන්තාව බහුලවම ගෙදරට වී පුරුෂයා යටතේ දරුවන් රැකබලා ගනිමින් නිවසේ කටයුතු පාලනය කරමින් සිටියද ග්‍රාමීය ප්‍රධාන ජීවනෝපාය වන කෘෂිකාර්මික කටයුතුවලදී පුරුෂයාට නොදෙවනි වැඩ කොටසක් සිදු කරනු ලබයි.

අව්වක් වැස්සක් නොබලාම කුඹුරු කරන කාලෙට සීසෑමේ පටන් අස්වැන්න ගෙට ගන්නා තුරුත් වෙහෙසෙන කාන්තාව ගෙටගත් අස්වැන්න බත් ලෙස උයාදීමටත් වෙහෙසෙන්නේ වී තැම්බීම කෙටීම විවේලිම වැනි කාර්ය කොටස් ඇයගේ දෑතින්ම සිදුවීමෙනි.

හේන් කුඹුරු පමණක් නොවෙයි ඊට අමතරව සත්ත්ව පාලනය ග්‍රාමීය ගෙවල්වල සිදු කෙරෙති. එහිදී විශේෂයෙන්ම ගව පාලනය ප්‍රමුඛය. ගවයින් තණ බිම් වෙත කැඳවාගෙන යාම ඔවුන්ට මේච්චල් කිරීම ආදි කටයුතුවලදී මූලික වන්නේ ස්ත්‍රියයි. විශේෂයෙන්ම කිරි දෙවීම බොහෝවිට සිදු කරන්නේ කාන්තාවන්ය. බොහෝ විට ඒ කිරි ටික මණ්ඩලයට ගොස් දෙන්නේද කාන්තාවමය.

ග්‍රාමීය කාන්තාවකගේ ජීවිතය තුළ සෑම තත්පරයක්ම විඩාවෙන් පිරී ඇත. ගම්බද බොහෝමයක් ගෙවල්වල ටැප්ලයින් නැත. වතුර ටික ගතයුත්තේ ගමේ පොදු ළිඳෙනි. නැතහොත් ගෙවත්තේ හෝ එහා වත්තේ ළිඳකිනි. නිවසට අවශ්‍ය ජලය සපයා ගන්නේ කාන්තාව තමාගේ උකුලෙන්මය. නෑමට ෂවර් හෝ ෆූල් නැත. වැවකට, දොළකට, ඇලකට යා යුතුය. ඇතැම් විට ඒ තැන් බොහෝ දුරය. දහඩිය සෝදා නාගෙන එන ගෙදරට එන විට නැවත ඇඟ දහඩියෙන් තෙමී ඇත.

එපමණක් නොව ගෑස් කුකර, රයිස් කුකරවලින් පවුලේම හත් අට දෙනාට කන්නට කෑම පිහින්නේ නැත. ගත දැවෙනතුරු දහඩිය පෙරනතුරු දර ළිපකට පිඹිමින් තුන්වේලකට කැම පිසිය යුතුය.  හදිසියකට කෑම ඕඩර් කිරීමට ඌබර් හෝ පික්මී  පහසුකම් නැත. කවර අමාරුකමක සිටියද ළිප ගිනි මොලවාම ආහාර පිසිය යුතුය.

දරුවන් පාසල් යැවීමට ස්කූල් වෑන් නැත. දරුවා රැගෙන හා ආපසු රැගෙන ඒමට යා යුතුය. කොතරම් වෙහෙසකර වුවත් අව්වක වුව වැස්සක වුව පයින්ම යා යුතුය. නැතහොත් බයිසිකලයක යා යුතුය. ග්‍රාමීය කාන්තාවගේ ළඟම වාහනය පුට් බයිසිකලයයි. එහෙමත් නැතහොත් මෝටර් බයික් පදියි. ඒ කිසිවක් නැති ගැහැණුන්ගේ එකම වාහනය තම දෙපාම පමණි.

මේ සියල්ල ග්‍රාමීය කාන්තාව බහුතරයකගේ සාමාන්‍ය දෛනික දින චර්යාවයි. එවැනි ගැහැණු ගම්වල විරල නොවේ. එවැන්නියකගේ පාපොච්චාරණයක් මෙසේය.

"මම උදේ හතර හමාරට නැගිටිනවා. දරුවො ඉස්කෝලේ යන නිසා එයාලගේ ඇඳුම් ටික අයන් කරලා තමයි උයන්න ගන්නේ. බතයි එළවළුවයි හදලා යනවා කිරි ගන්න. පාන්දරීම කිරි ටික අරන් ඇවිල්ලා ඒක තියලා තමයි  දරුවෝ ඉස්කෝලේ පිටත් කරලා ගෙදර වැඩ පටන් ගන්නේ. සමහරදාට ළමයි මහත්තයා එක්ක යනවා. නැත්නම් මං තමයි අරන් යන්නේ. එක්කන් එන්න නම් කොහොමත් යන්නේ මම දවල්ට. මහත්තයා උදේ අට නමය වෙනකොට වැඩට යනවා. එයා කුලි වැඩ තමයි කරන්නේ.  මහත්තයා ඉන්න දවසට ගොඩක් වැඩවලට මහත්තය උදව් කරනවා. කිරි ටික එහෙම මණ්ඩලයට ගිහින් දෙන්නේ ළමයි එක්කන් එන්න යන්නේ එයා නැති දවසට මං තමයි අව්වේ උනත් වැස්සේ වුනත් ඒ දේවල් කරන්නේ. අපි දර කෑල්ලේ ඉඳලා වතුර ටිකේ ඉඳලා ගන්න ඕනි ගෑස් ලිප් ටැප්ලයින් අපිට නෑ. බොන්න එහෙම වතුර ගේන්න ගොඩක් දුර යන්න ඕනි. බොන්න වතුර මහත්තයා වැඩට යද්දී බූලියක් අරන් යනවා ෆිල්ටරේට නැත්නම් උල්පතක් තියෙනව ඒකෙ වතුර ගේනවා ටැක්ටරයකින්. එයාගෙන් ගන්නවා දවස් හතක් අටකට ඇතිවෙන්න.

ගොවිතැන් කාලෙට වැඩ වැඩියි. අපි හේන් කරනවා. කුඹුරුත් කරනවා. කුඹුරු වැඩත් පටන් ගත්ත දවසේ ඉඳලා ඉතින් මං වැඩ. මහත්තයා වැඩට යද්දි හැමදාම එයාට කුඹුරට වත් හේනටවත් යන්න බෑ. එහෙම වුණාම මං තමයි නියරවල් සුද්ද කරන්න, වතුර හරවන්න, වපුරන්න පොහොර ගහන්න, ගොයම් කපන්න ඒ හැමදේම ඉතින් කරන්න ඕන. හේනත් එහෙමයි කුරක්කන්, බඩ ඉරිඟු,  කවුපි, මුං, එළවළු වගේ ඒවා තමයි අපි වගා කරන්නේ. හේන කරාම ඇස් දෙක එතනම තියන් ඉන්න ඕනේ නැත්නම් සත්තු ඇවිත් විනාස කරනවා. රෑට කොහොමත් ඇහැරන් ඉන්න ඕනේ සත්තු වැඩිපුරම රෑට එන්නේ. අලි, මුවෝ, ඌරෝ, ඉත්තෑවෝ එහෙම. එක දවසක් හරි රැක ගන්න බැරි වුනොත් විනාශ කරලා දානවා. ගොවිතැන් කාලෙට මාස තුන හතරක් ඉතින් ඒ කරදරේ තියෙනවා.

ගෙදර දොරේ වැඩයි දරුවොන්ගේ වැඩයි වත්තේපිටියේ වැඩයි අම්මා තාත්තලාගේ වැඩයි ඔක්කොම බලන්න ඕනේ. අම්මලාට තාත්තලාට අසනීපයක් වුනාම බෙහෙත් ටික ගන්න එක්කන් යන්න ඕන. තාත්තට වකුගඩු අමාරු තියෙනවා. එයාට බෙහෙත් ගන්න ක්ලීනික් එකට අපි කවුරු හරි යන්න ඕන තනියම යන්න බෑ.

ගොවිතැන් නැති කාලෙට අපි තව ගඩොල් කපනවා. වැඩ එහෙම කරනවා ගඩොල් කපද්දි නම් මුලු ඇඟම කෙඳිරි ගානවා. ඒත් ටික දවසක් කරාම ඒක ඇඟට හුරු වෙනවා. ගඩොල් කපන්න වතුර ගන්නේ කළගෙඩියෙන්. මෝටර් දාලා නෙවෙයි වතුර ගන්නේ. මහත්තයයි මමයි තමයි ඉතින් ගඩොල් කපන වැඩ කරන්නේ. ඒත් මහත්තයා නැති දාට ඇවිත් මම වැඩ කරනවා.

මේ විදියට තමයි ඉතින් අපේ ජීවිතේ ගෙවෙන්නේ. විවේකයක් නෑ. රෑට නිදාගන්න ටිකට විතරයි පොඩි හරි නිදහසක් තියෙන්නේ. නැත්නම් ඉතින් වැඩ තමයි.

ඇය එසේ කියද්දී හැඟෙන දේ නම් රැකියාවක් නොකල ද  ඇය විවේකයක් නැතිව කොතරම් නම් රාජකාරී කරනවාද? ඒ තුළ තිබෙන වේදනාව සුළු නැත. ගැහැණු ශරීරයක් ඒ තරම් බරක් උසුලනවාද? එය සාමාන්‍ය ලෙස මතුපිටින් බැලූ විට ගැඹුරුව දැනෙන්නේ නැත. නමුත් පුදුමය නම් ඒ ජීවිතය තුළ ඔවුන් ඒ සියල්ල කළමනාකරණය කරගනු ලබන අපූරුවයි.

ග්‍රාමීය සාම්ප්‍රදායික ගැහැනිය එසේ දෛනික ජීවිතය ගෙවද්දී ගමෙන් පිටට පැන ගත් ඇඟළුම් සේවිකාවන් ලෙස, විදේශගත කාන්තාවන් ලෙස රටට විදේශ විනිමය උපයා දෙන දියණිවරු, මව්වරු ද ග්‍රාමිය ප්‍රදේශවල විරල නොවේ. සමහරවිට හේනේ, කුඹුරේ අව්වට වැස්සට තෙමෙන මව්වරුන්ගේ දියණිය ඇඟලුම්හල්වලට සේවිකාවන් ලෙස හෝ විදේශගතව රැකියාව කරනවා විය හැකිය.  එවැනි ජීවිත ඕනෑ තරම්ය.

ග්‍රාමීය කාන්තාවට විශ්‍රාම යාමට වයසක් නැත. අතපය වාරු නැතිවෙන තුරුම ඇය ඒ කටයුතු ඒ ලෙස ඉටු කරයි. වයස අවුරුදු හැත්තෑව  අසුව වුවත් ග්‍රාමීය මහලු කාන්තාවට විවේකයක් නැත. මන්දයත් තමන්ගේ වැඩ තව කෙනෙකු ලවා කරවාගන්නට මහලු නමුත් ඔවුන් අකමැතිය. බොහෝවිට විදේශගත දියණියගේ දරුවන්ගේ රැකවලා වන්නේ ඒ වයසේ කිරිඅම්මාවරුය.

ශක්තීය හා වීර්යය

කායික වශයෙන් පමණක් නොව මානසිකවද ග්‍රාමීය කාන්තාව ශක්තිමත්ය. දරුවන් සමඟ තනි වූ ගැහැණු ගම්වල හමු වේ. එවැනි කතුන් බොහෝ විට වෙනත් විවාහයකට යන්නේ කලාතුරකිනි. එසේ වුවත් බොහෝ විට දරුවන්ට පිහිටක් අවැසි බැවිනි. "එක්තරා පිටිසර ගමක මවක් දරුවන් පස්දෙනෙකු සමග තනි වන්නේ 2007 වසරේ දිය. ඒ දරුවන් සියල්ල ඒ වෙද්දී කුඩා උන් ය.  වැඩිමලාට අවුරුදු 11ක් ඇත. ඒ වෙද්දි එල්.ටී.ටී. යුධ කාලයයි. ඒ ප්‍රදේශයටද බලපෑම් තිබුණි. සැමියා ඇති කරගත් ආරවුලක් නිසා නිවසින් පිටව ගිය ද නැවත නොපැමිණියේය. දරුවන් සිව් දෙනෙකු හා එක් දරුවකු ලැබීමට සිටි අතර සැමියා ද නැතිව ඇය දරුවන් හදා ගන්නේ කුලී වැඩ කරමින් ගෙදරකට ගොස් වැඩපළක් කරදීමෙන් ලැබෙන සුළු මුදලිනි. දරුවකු ද කුස දරාගෙන දරුවන් සිව් දෙනකු වෙනුවෙන් ඇය ජීවිත පහක් ජීවත් කරවන්නට අපමණ වෙහෙසක් දැරුවාය. දරුකමට හදා ගැනීමට පවා ඇයගෙන් දරුවන් ඉල්ලා තිබුණත්, එකදු දරුවකු හෝ ඇයගේ උණුහුමෙන් මිදෙන්නට නොදී ඇය රැක බලා ගත්තාය. අද ඒ දරුවන් සියලු දෙනා වැඩිහිටි දරුවෝය. එදා එලෙස ජීවිත පහක් තනිව නඩත්තු කිරීමට ඇයගේ සිත කෙතරම් සවිමත් වන්නට ඇත්ද?.

සනීපාරක්ෂාව

ස්ත්‍රිය පිළිබඳ ඇයගේ ශක්තිය ශ්‍රමය ස්වභාවය සේම මඟ නොහැරම කතා කල යුතු කාරණයක් වන්නේ ඇයගේ සනීපාරක්ෂාවයි. විශේෂයෙන්ම මාසික ඔසප් වීම්වලදී ඔවුන් මුහුණපාන්නේ දැඩිි අපහසුතාවයන්ටය. ඒ ඔවුන්ගේ ජීවන රටාවත් සමඟ ය. ගැමියන් අතර වඩා භාවිත වන්නේ මහ ලෙඩේ, සුද්ද වීම, ලෙඩ හැදිලා වැනි කියමන්ය. නූතන ව්‍යවහාරික භාෂාව තුළ පීරියඩ්ස්, මෙන්සස් යනු එයයි.

කාන්තාවගේ ඔසප් චක්‍රය තුළ ග්‍රාමීය කතුන් සැබෑවටම අසරණය. දහඩිය මුඟුරු හලමින් වැඩ කල යුතුය. ඒ වැඩ කිසිවක් සීතල කාමර තුළ  කෙරෙන දේවල් නොවේ. නමුත් එවැනි දිනවලට ස්ත්‍රියකට සැබෑවටම විවේකය අවශ්‍යය. එහෙත් ගම්වල ගැහැණු බැරි බැරියාවේ ගෙදරිගාමින් හෝ සුපුරුදු පරිදිම තම කය වෙහෙසන වැඩවල යෙදෙන්නේ ආරූඪ කරගත් ශක්තියකින්ම විය යුතුය.

කුඹුරු වැඩ, වතුපිටිවල හා හේන්වල කය උණු වෙන කාශ්ඨකයෙත් ගත නිවන වරුසාවෙත් වේදනාව දරන්නට ඔවුන්ට සිදු වේ. මේ දිනවල ඔවුන් සනීපාරක්ෂාව වෙනුවෙන් කරන්නේ කුමක්ද මා විමසීමක් කලෙමි.

බොහෝ කාන්තාවන් සඳහන් කළේ ඉඟුරු කොත්තමල්ලි එකක් බොනවා එතකොට කොන්දේ බඩේ අමාරුව අඩුයි කියලා.

එම දිනවලට භාවිත කරන්නේ සනීපාරක්ෂක තුවාද? නැතහොත් කපුරෙදිද? මේ විමසීමට  වයස් කාණ්ඩ බෙදා තෝරා ගත් අතර ඒ්  දස දෙනා බැගිනි. වයස අවුරුදු 15 -25 සිට තරුණියන් දස දෙනාගේම පිළිතුරු වූයේ සනීපාරක්ෂක තුවා යන්නයි. වයස 25 – 45 දක්වා දස දෙනාගෙන් තුන්දෙනෙකු සඳහන් කළේ කුඩා කල රෙදි කෑලි භාවිත කරන්නට වූ බවත් මේ වන විට සනීපාරක්ෂක තුවා භාවිතා කරන බවත් ය. ඉතිරි හත්දෙනාගෙන් පස් දෙනකුගේ පිළිතුර වූයේ රෙදි කෑලි භාවිත කරන බවයි. හේතුව ලෙස සඳහන් කළේ සනීපාරක්ෂක තුවා භාවිතය නුහුරු බව හා ඊට වඩා කුඩා කල සිට හුරු වූ රෙදි පලුව පහසු බවයි.

කුඹුරු වැඩවල හේන් වැඩවල  කරද්දි දහඩියට හා විඩාබරකමට රෙදි පලුව පහසු බවත් බැහැර කිරීමේදී පවා වැව් මංකණ්ඩියකට හෝ ගලායන ඇල පහරකට ගොස් ඒ රෙදි පිළි පිරිසිදු කරගත හැකි බවයි. මහලෙඩේ හැදුනම ගොඩක් ගැහැණු නාන්නට භාවිතා කරන්නේ පොදු මංකඩ නොවේ. වෙනත් මංකඩකි. ඉතිරී දෙදෙනාගෙන් පිළිතුර වූයේ මාරුවට භාවිතා කරන බවයි. වැඩිහිටි එක් කාන්තාවකගෙන් ලැබුණු තවත් පිළිතුරක් වූයේ හැම මාසෙම මිලදී ගැනීමේ අපහසුකම් තිබෙන බවයි. එහි දී එක් කාන්තාවක කියා සිටියේ තම නිවසේ දියණිවරු තිදෙනෙකු සිටින අතර ඔවුන් ඉතාම තරුණ හා  පාසල් යන වයසේ අය නිසා ඔවුන්ට එය අත්‍යවශ්‍යම බැවින් නොවරදවාම ඔවුන්ට එය සපයා දිය යුතු බවයි. ඒ බැවින් තවත් එකක් මිලදි ගැනීමට නොහැකියාවද මතුවන බැවින් රෙදි භාවිතයට හුරුව සිටින බවයි.

සැබෑම ලෙස ග්‍රාමීය ස්ත්‍රී චරිතය හාත්පස වෙනස් වූ ස්වභාවයකි. එය නාගරික ස්ත්‍රියක හා සැසඳීමේදී එකකට එකක් වෙනස් වූ ලක්ෂණ මතු කල හැකි ය. කෙසේ හෝ අවසන් වශයෙන් සඳහන් කල යුතු කරුණ නම් සමස්තයක් ස්ත්‍රිය කාන්තාවයයි යන රාමුව තුළ ග්‍රාමීය කාන්තා වංශය නූතන සමාජය වන විට කෙමෙන් වෙනස් වෙමින් පැවතුණද තවමත් එහි අතීත සම්ප්‍රදායික හා පීඩාකාරී තත්ත්වයන් ශේෂව පවතින බවයි. එසේ වුවද ඒ රාමුව තුළ වුව ඇය මහ මෙරක් තරමට සවිමත් පිරිමින් සේම ගත වෙහෙසා ක්‍රියාකාරී බවද නොවසා පැවසිය යුතුය.

nirmala damayanthi

| නිර්මලා දිසානායක

(පින්තූර- අන්තර් ජාලයෙන්)