වන්ධ්‍යාකරණ සැත්කම් සඳහා කාන්තාවගේ කැමැත්ත පමණක් ප්‍රමාණවත්: දශක ගණනක් පැවති නීතියේ සිදුවූ වෙනස කුමක් ද?
මානව අයිතිවාසිකම් සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකාව තුළ වන්ධ්‍යාකරණය සම්බන්ධව දශක ගණනාවක් තිබූ නීතියක් වෙනස් කිරීමට සෞඛ්‍ය බලධාරීන් පියවර ගෙන තිබේ.
ඒ අනුව මෙතෙක් වන්ධ්‍යාකරණ සිදු කිරීමට කැමැත්ත ප්‍රකාශ කිරීමේ ලියවිල්ලට, කලත්‍රයාගේ අත්සන් යෙදීම අනිවාර්ය කරමින් තිබූ නීතිය අහෝසි කර ඇත.
සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන විසින් මේ වසරේ ජූලි මාසයේදී චක්‍රලේඛයක් නිකුත් කරමින් කලත්‍රයාගේ කැමැත්ත ලබා ගැනීමට තිබූ නීතිය සංශෝධනය කරනු ලැබ තිබේ.
වන්ධ්‍යාකරණය සිදුකිරීම සම්බන්ධව පැවත එන නීතියට, 1983දී කරන ලද සංශෝධනයට අනුව වන්ධ්‍යාකරණ සැත්කම සිදුකිරීමට කැමැත්ත පළ කරන ප්‍රකාශයට කලත්‍රයාගේ අත්සන යොදා කැමැත්ත ලබා දීම අනිවාර්ය කර තිබිණි.
නීතියෙන් බාධාවක් නැති බවට නීතිපති තහවුරු කරයි
පුද්ගලයකුගේ ප්‍රජනන සෞඛ්‍ය සම්බන්ධව තීරණ ගැනීමේ අයිතිය ජාත්‍යන්තර මානව හිමිකම් රාමුවලට අනුව, පුද්ගලික නිදහසේ සහ ගරුත්වයේ මූලික අංගයක් බව ද චක්‍රලේඛයේ අවධාරණය කර තිබේ.
ඒ අනුව 2022 වසරේ අප්‍රේල් මාසයේ රැස්වූ මාතෘ සෞඛ්‍යය සහ පවුල් සැලසුම් පිළිබඳ තාක්ෂණික උපදේශක කමිටුව නිගමනය කර ඇත්තේ වන්ධ්‍යාකරණය සඳහා කැමැත්ත ප්‍රකාශ කිරීමට කලත්‍රයාගේ අත්සන අනිවාර්ය නීතිය සංශෝධනය කිරීමට යි.
ශ්‍රී ලංකාවේ පවතින නීති යටතේ පිරිමි හෝ කාන්තාවන්ට වන්ධ්‍යාකරණ ක්‍රියා පටිපාටිය සිදුකිරීමට කලත්‍රයාගේ කැමැත්ත ලබා ගැනීම අවශ්‍ය නොවන බව නීතිපතිවරයා විසින් ද තහවුරු කර ඇතැයි සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කරන ලද චක්‍රලේඛයේ දක්වා ඇත.
'කාන්තාවගේ කැමැත්ත අනුව කිරීමේ හැකියාව තිබුණා'
මෙරට තුළ බහුලව ම සිදු කරනු ලබන්නේ කාන්තා වන්ධ්‍යාකරණ සැත්කම් බව මේ පිළිබඳව බීබීසී සිංහල කරන ලද විමසීමකට පිළිතුරු දෙමින් රාගම ශික්ෂණ රෝහලේ, ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට පැවසීය.
එමෙන් ම මීට පෙරත් විශේෂඥ වෛද්‍යවරයාගේ නිර්දේශ මත කාන්තාවගේ කැමැත්ත සහිතව වන්ධ්‍යාකරණ සැත්කම් සිදුකළ බව ද විශේෂඥ වෛද්‍යවරයා කියා සිටියේ ය.
"විශේෂඥ වෛද්‍යවරයෙක් යටතේ සැත්කම සිදු කරද්දි, විශේෂඥ වෛද්‍යවරයා හිතනවා නම් කාන්තාවට මේ සැත්කම අවශ්‍යයි කියලා, එතකොට සෞඛ්‍ය අමාත්‍යංශයේ චක්‍රලේඛය අදාළ වෙන්නේ නැහැ ඒකට, ඒ අවස්ථාවේ කාන්තාවගේ කැමැත්ත අනුව ඒක කිරීමේ හැකියාව තිබුණා. චක්‍රලේඛය නිකුත් කරලා තිබුණේ පවුල් සෞඛ්‍ය සේවයේ නිලධාරිනියක් විසින් සැත්කමට කැමැත්ත ලබා ගැනීමේදී දෙදෙනාගේ කැමැත්ත අරගෙන රෝහලට යොමු කරන්න කියන එකට."
'ලෝකේ කොහෙවත් තියෙන ක්‍රමයක් නෙමෙයි'
විශේෂඥ වෛද්‍යවරයා පෙන්වා දෙන්නේ සැත්කමට ලක් කරන පුද්ගලයා කුඩා දරුවකු හෝ මානසික කැමැත්ත දීමට නොහැකි අයෙකු නොවන්නේ නම් සැත්කමට භාජනය වන පුද්ගලයාගේ කැමැත්ත පමණක් ප්‍රමාණවත් බවයි.
"කාලයක් තිස්සේ රජයේ රෝහල්වල, රජයේ ආයතනවල කරනකොට කන්සෙන්ට් ෆෝම් එක රජයේ චක්‍රලේඛයක් මගින් නිකුත් කරපු එකක් තිබුණා, සැත්කම කරන කාන්තාවට අමතරව එයාගේ පුරුෂයාගේ අත්සනක් අවශ්‍ය වෙනවා මේ ශල්‍යකර්මයට කැමැත්ත දීමේදී කියලා. හැබැයි ඒක සමාන්‍යයෙන් ලෝකේ කොහෙවත් තියෙන ක්‍රමයක් නෙමෙයි."
"ඕන ම කෙනෙක්ගේ ශල්‍යකර්මයක් කරන්න, කරන කෙනාගේ කැමැත්ත විතරක් ඇති. පොඩි ළමයෙක් හරි මානසිකව කැමැත්ත දීමට හැකියාවක් නැති කෙනෙක් නෙමේ නම්, ශල්‍යකර්මය ගැන අවබෝධය කරගන්න පුළුවන් කෙනෙක් නම්, තමන්ගේ කැමැත්තෙන් විතරක් ශල්‍යකර්මයකට භාජනය වෙන්න පුළුවන්. මේ සැත්කමට විතරක් වෙනසක් තිබුණ හින්දා තමයි ඒක වෙනස් කරලා තියෙන්නේ," ඔහු පැවසුවේ ය.
පුරුෂ සහ කාන්තා වන්ධ්‍යාකරණ සැත්කම්
පුරුෂයින්ට සහ කාන්තාවන්ට සිදුකරන වන්ධ්‍යාකරණ සැත්කම් පිළිබඳව ද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට විස්තර කළේය.
"ගැහැනු කෙනෙකුගේ පැලෝපීය නාල දෙක අවහිර කරනවා. ඒ අවහිර කරපුවාම පිටවෙන ඩිම්බයක් පැලෝපීය නාලය හරහා ගර්භාෂයට ගමන් කරන එක නවතිනවා, එතනින් ගැබ් ගැනීමක් වළක්වා ගැනීම තමයි කරන්නේ," ඔහු පැහැදිලි කළේ ය.
"පුරුෂ වන්ධ්යාකරණයේදී ශුක්‍ර නාල අවහිර කිරීමක් කරනවා, ශුක්‍රාණු පිටතට පැමිණීම වළක්වන්න. ඒක සමාන්‍යයෙන් ලංකාවේ කාන්තා වන්ධ්‍යාකරණ ශල්‍යකර්මය වගේ බහුලව කරන එකක් නෙමෙයි. විශේෂ අවස්ථාවක විතරයි කරගන්න පුළුවන් පහසුකම් තියෙන්නේ," යැයි විශේෂඥ වෛද්‍යවරයා පැහැදිලි කළේ ය.
කාන්තා වන්ධ්යාකරණයේදී සලකා බලන කරුණු මොනවා ද?
කාන්තාවන් වන්ධ්‍යාකරණ සැත්කමක් සිදු කිරීමට පෙර කරුණු කිහිපයක් සලකා බලන අතර විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට ඒ සම්බන්ධයෙන් ද කියා සිටියේ ය.
"ඕනෑ ම ශල්‍යකර්මයක් කරන්න කලින් අපි බලනවානේ මේ ශල්‍යකර්මය ඇත්තටම අවශ්‍ය එකක් ද කියලා. වන්ධ්‍යාකරණය විතරක් නෙමෙයි මොන ශල්‍යකර්මය කළත් ඒ ශල්‍යකර්මය අවශ්‍ය ශල්‍යකර්මයක් ද කියලා තීරණය කරන නිර්ණායක තියෙනවා," ඔහු පවසයි.
"සැත්කම කියන්නේ අවදානම් දෙයක්නේ, ඊට වඩා අවදානම් අඩු සාර්ථක ක්‍රමයකින් පවුල් සැලසුම සකස් කරලා දෙන්න පුළුවන් හැකියාව තියෙනවා ද කියන එක අපි පළවෙනියට බලනවා. එහෙම හැකියාවක් තියෙනවා නම් සැත්කමක අවදානමට භාජනය වෙන්න අවශ්‍ය නැති නිසා. කිසි ම දරුවෙක් නැති කාන්තාවක් සැත්කමකට ඉල්ලුම් කලොත් එතකොට සුදුසු නෑනේ ඒකට. අපි සාමාන්‍යයෙන් දරුවන් දෙදෙනෙක්වත් සිටින කියලා තමයි කියන්නේ. අනිත් කාරණය තමයි වන්ධ්‍යකරණ සැත්කමක් සිදු කළාට පස්සේ ඒක ආපහු අනිත් පැත්ත හරවන්න තියෙන හැකියාව ඉතාම අඩුයි. LRT රිවර්සල් කියන සැත්කමක් තියෙනවා, නමුත් සැත්කම කළත් සාර්ථක වෙන්න චාන්ස් එක තියෙන්නේ සීයට පනහක් විතර. ඒකත් වන්ධ්‍යකරණ සැත්කමට වඩා සංකීර්ණ සැත්කමක්. ඒ නිසා යම් කිසි කාන්තාවක් වන්ධ්‍යාකරණ සැත්කම් අවශ්‍යයි කියලා තීරණය කළොත් අපි බලනවා මේක ආපහු වෙනස් කරන්න තියෙන හැකියාව කොහොම ද කියලා."
එම නිර්ණායක යොදා ගෙන ඇත්තේ වන්ධ්‍යාකරණ සැත්කම සුදුසු කාටදැයි සලකා බැලීමට බව ද ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට වැඩිදුරටත් කියා සිටියේ ය.

