විදුලියෙන් ජීවිත දල්වන රාජාංගණේ සමරනායක

විදුලියෙන් ජීවිත දල්වන රාජාංගණේ සමරනායක

විශ්වවිද්‍යාලයක් කියන්නේ උගතුන්ගේ තෝතැන්නක්. එහෙම නැත්නම් විධිමත් අධ්‍යාපන ක්‍රියාවලිය කියන ඉණිමග දිගේ ඉහළටම නැත්නම් සැලකිය යුතු දුරක් ගිය පිරිසක් ඉන්න තැනක්. ගංවතුරින් විශ්වවිද්‍යාලයට වෙලා තිබුණු හානි නැවත යථා තත්ත්වයට පත් කරගෙන තනියම නැගී සිටින්න මේ අයට විතරක් පුළුවන් කමක් නැහැ. ඒ සඳහා හැමෝගෙම සහය අවශ්‍යයයි. හානියේ තරම ඒ තරම්ම විශාලයි. පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ ජලයෙන් යටවුණු ගොඩනැගිලිවල විදුලි පද්ධතියට ලොකු හානියක් සිදුවෙලා තිබුණා. ප්ලග් පොයින්ට් 400 කට වඩා ජලයෙන් යටවෙලා. විදුලි බල මණ්ඩලය හා ඉංජිනේරු පීඨයේ විදුලි හා ඉලෙක්ට්‍රොනික විද්‍යා දෙපාර්තමේන්තුව මැදිහත් වෙලා විදුලි සැපයුම යථා තත්ත්වයට පත් කළත් මේ ප්ලග් පොයින්ට් පරීක්ෂා නොකර ඒවට ඉලෙක්ට්‍රොනික උපකරණයක් සම්බන්ධ කිරීමේ හැකියාවක් නැහැ. විදුලි පංකා, වායු සමීකරණ, විදුලි පරිපථ මේ සියල්ල අලුතින් පරීක්ෂා කිරීම පහසු කටයුත්තක් නෙවෙයි. ඒ සඳහා ඉදිරිපත්ව තිබුණේ ලංකාව පුරා විසිරී සිටින විදුලි වෘත්තිකයින් පිරිසක්. මේ අතර සිටි ඇතැමෙකු පාසල් අධ්‍යාපනය නිමා කිරීමෙන් පසු අත්දැකීමෙන් හා එම වෘත්තියේ නිරත වෙනත් අයගෙන් අසා දැනගෙන කාලයක් තිස්සේ විදුලි ශිල්පීන් ලෙස සේවය කළ කාර්මිකයින්. කැලණි කේබල්ස් ආයතනය පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විද්‍යුත් හා විදුලි ඉංජිනේරු දෙපාර්තමේන්තුව සමඟ 2008 දී අත්සන් කළ ගිවිසුමකට අනුව තමයි මේ පිරිසට විශ්වවිද්‍යාලයට ඇවිත් තමන්ගේ දැනුම වැඩි දියුණු කර ගන්න අවස්ථාව සැලසිලා තිබුණේ. එදා සිට මේ දක්වා 500 ක පමණ පිරිසක් පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් මෙම 'වෘත්තීය දැනුම හා පුහුණුව' සම්පූර්ණ කරගැනීමට සමත්වී තිබෙනවා.රටපුරා විසිරී සිටින ඔවුන් අතරින් බොහෝ දෙනෙකු මේ වනවිට මාසිකව රුපියල් ලක්ෂ දෙක තුනකට එහා මට්ටමේ ආදායමක් ලබන වෘත්තිකයින්. ඒ අතරේ හිටපු සමහරු මේ වනවිට ප්‍රමුඛ මට්ටමේ ව්‍යවසායකයින්.

අධ්‍යාපනය කියන්නේ කවදාවත් ලබාගනෙ ඉවර කරන්න පුළුවන් දෙයක් නෙවෙයි

මේ කණ්ඩායමට නායකත්වය ලබා දී තිබුණේ 'කැලණි සවියෙන් ජීවිතයට සවියක් සමඟ අලුත් ආරම්භයක් ගත්ත, රාජාංගනය යාය හතරේ තරුණයෙක්. ඔහු තමයි 'කැලණි සවිය' ආදි විද්‍යාර්ථීන්ගේ සංගමයේ සභාපති.නමින් ජී.ඩී.කේ සමරනායක. උසස් පෙළ ගණිත අංශයෙන් අධ්‍යාපනය ලබලා ඉංජිනේරුවෙකු වීමේ සිහිනය බොඳ වුණාට පස්සෙත් ඔහු ජීවිතයේ ඉලක්කය අත් නොහැරපු දිරිමත් තරුණයෙක්. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ අධ්‍යාපනය ලබන්නට දොරටු විවර නොවුණත් 'කැලණි සවිය' ඔස්සේ ඔහු ඒ දොරටුව විවර කර ගැනීමට සමත් වෙනවා.’අධ්‍යාපනය කියන්නේ කවදාවත් ලබාගෙන ඉවර කරන්න පුළුවන් දෙයක් නෙවෙයි.ඒ සඳහා තියෙන්න ඕන අවශ්‍යතාව විතරයි.’ එහෙම හිතාගෙන වැඩකරපු සමරනායක ඒත් එක්කම කාර්මික ඉංජිනේරු පුහුණු කිරීමේ මධ්‍යස්ථානයෙන් ඩිප්ලෝමාවත් සම්පූර්ණ කරගෙන සිය ඉලක්කය පසුපස හඹා යාමට පටන් ගන්නවා. මේ කාලය තුළ ඉංජිනේරු පීඨයේ ආචාර්ය මහාචාර්යවරුන්ගේ ඇසුර තුළින් පොත පතින් ලබාගත් දැනුමට අමතරව තවත් දැනුම් ලබා ගන්න ඔහුට හැකියාව ලැබෙනවා. එක පැත්තකින් 'කැලණි සවිය' පාඨමාලාව සාර්ථකව අවසන් කරද්දී අනෙත් පැත්තෙන් ඉංජිනේරු විද්‍යාව පිළිබඳ ජාතික සහතිකය උපයෝගි කරගෙන විදුලි අධිකාරි විභාගයට පෙනී සිටින අයට පෞද්ගලික පංති පවත්වලා මාසිකව හොඳ ආදයමක් උපයා ගන්නත් ඔහු සමත් වෙනවා.


රාජාංගනයේ ඉලෙක්ට්‍රොනික ගම්මානයක්

සමරනායක කියන්නේ අපේ රටේ විධිමත් හා අවිධිමත් අධ්‍යාපන ක්ෂේත්‍ර දෙක ඔස්සේම සාර්ථකවත්වට ළඟා වූ පුද්ගලයෙක්. මේ වනවිට ඔහු ඉංජිනේරු පාඨමාලා ආචාර්යවරයෙක්, නැනෝවිෂන් කියන ඔහුගේම ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂවරයෙක්. ඒ විතරක් නෙවෙයි රාජාංගනයේ ඉලෙක්ට්‍රොනික ගම්මානයක් ගොඩ නගලා වයස් භේදයෙන් තොරව සැමට ඉලෙක්ට්‍රොනික දැනුම ලබා දෙන්න මුල් වෙන්නෙත් ඔහුයි. මේ අතර ලංකාවේ බොහොම අසාර්ථක වැඩපිළිවෙළක් වෙලා තිබුණු අලි වැට සඳහා විද්‍යාත්මක පදනමකින් සාර්ථක පිළිතුරක් සොයන්නත් ඔහුට හැකිවෙනවා. ඒ අපේ රටේ අලි මිනිස් ගැටුම් තියෙන දිස්ත්‍රික්ක 19 ක ඇවිදිමින් ඒ පිළිබඳ අත්දැකීම් තිබෙන වැඩිහිටි ගම්වාසීන්ගේ ද අදහස් එකතු කරමින්. කර්මාන්ත අමාත්‍යාංශය 2023 පවත්වපු INCO කර්මාන්ත ප්‍රදර්ශනයේදී ඔහු නිර්මාණය කළ විද්‍යුත් එනජයිසරයට සහ විදුලි වැටට තමයි දේශීය හොඳම නිෂ්පාදනයට හිමි සම්මානය හිමි වුණේ. ඒ සම්මානයෙන් පස්සේ ජාතික ඉංජිනේරු ආයතනයේ සහය ඇතිව එනජයිසරය වැඩි දියුණු කිරීමේ ප්‍රතිඵලයක් විදිහට ජාතික තාක්ෂණ ආයතනය 2024 දී ටෙක්නෝ ප්‍රදර්ශනයේදී දේශීය හොඳම ඉංජිනේරුමය නිෂ්පාදනයට හිමි සම්මානය හිමිවෙන්නෙත් ඔහු ප්‍රමුඛ ජාතික ඉංජිනේරු පරීක්ෂණ ආයතනයට.අපේ රටේ හැමදාම කැඩෙන අලි වැට වෙනුවට සමරනායක මුල්වෙලා පහුගිය ජනවාරියේ වීරවිල බන්ධනාගාරය වටා ඉදිකරපු අලි වැට තාම එක පාරක්වත් කැඩිලා නැහැ. එම නව ඉදිකිරීමේ සාර්ථකත්වය ඒකෙන් පේනවා.

තමන්ගේ ගමන් මගේ සාර්ථකත්වය දිහා ආපසු හැරී බලන සමරනායක හැම වෙලාවෙම කල්පනා කරන්නේ අපේ රටේ වැඩිහිටි ප්‍රජාව අධ්‍යාපන ක්‍රියාවලියට බද්ධ කරගැනීම ගැනය. "වැඩිහිටියන් දැනුම ලබා ගන්න කැමතියි.ඒත්, ඒකට අවස්ථාවක් නැහැ. ඒ නිසා තමයි මොබයිල් ෆෝන් එකක පුංචි අවුලක් වුණත් ඒ අය ඒක උස්සගෙන පුතාලා හරි තරුණයෙක් ළඟට හරි යන්නේ. අම්මලා තාත්තලාට ස්මාර්ට් ෆෝන් වලින් වැඩ කරන්න බැහැ කියලා ගොඩක් දරුවන් අම්මට තාත්තට අරන් දෙන්නේ බොත්තං ෆෝන්. මගේ නෝනගේ තාත්තට වයස අවුරුදු 84 ක්. එයා තමයි මගේ සාවස්තිපුර තියෙන ගබඩාව බලාගන්නේ. අලි වැට ගැන මම එයාට කියල දුන්නා. දැන් එයාට ඒ් දැනුම ඕන කෙනෙකුට දෙන්න පුළුවන්. බඩු ගන්න එන අයගෙන් ඉඩමේ ප්‍රමාණය අහලා ඒ්කට හරියන වෝල්ටේජ් එක තාත්තා කියනවා. අර්ත් වයර් එක ගහන්න ඕන විදිහ පවා ලස්සනට කියලා දෙනවා. මේ අය ජීවිතය හොයාගෙන යන්නේ. අපි මුල්කාලේ ඉගෙන ගත්තේ දෙමව්පියන්ගේ වුවමනාවට.අවුරුදු පනහ පැන්න කෙනෙක් මොනවා හරි ඉගෙන ගන්න හිතන්නේ ඒක අවශ්‍යය බව එයාට දැනෙන නිසා."

සමරනායකට ඒ විෂය ගැන කියන්න කදිම උදාහරණ ගොඩක් තිබේ

"ගංවතුරට ගෙවල්වල තිබුණු විදුලි උපකරණ ගොඩක් යටවුණා. වතුරට යටවුණු ටී.වී එක, රයිස් කුකර් එක, ෆෑන් එක වෙනුවට අලුත් එකක් ගන්න ගියොත් ලොකු මුදලක් වැය කරන්න වෙනවා. පොළොන්නරුවේ මහවැලි කලාපයේ ජලයෙන් යටවුණු ගෙවල්වල අයට තමන්ගේ විදුලි උපකරණ තනියම අලුත් වැඩියා කරගන්න පුහුණුවක් දෙන්න ඕන කියලා කුඩා කර්මාන්ත සංවර්ධන මණ්ඩලය වැඩසටහනක් සැලසුම් කළා. මහවැලිය සම්පත් දායක්තවය ලබා දුන්නා. මම තමයි පුහුණුව කළේ. පළමු දවසේ 25 ක් විතර ආවා. හැමෝම අවුරුදු 25-40 අතර. ඊට වැඩි අය හිටියේ පස් දෙනෙක් විතර. මම කිව්වා මේක ගමේ හැමෝටම වයස් භේදයකින් තොරව කරන පුහුණුවක් කියලා. පහුවදා ගමේ අවුරුදු හැට ඉක්මවූ ගොඩක් දෙනෙක් පුහුණුවට ආවා. වතුර ගිහින් වැඩ කරන්නේ නැතුව තිබ්බ ටී.වී එක, රයිස් කුකර් එක, ෆෑන් එක විතරක් නෙවෙයි ගොඩක් විදුලි උපකරණ අපි පොඩි දේවල් ටිකක් කරලා නැවත ප්‍රයෝජන ගන්න පුළුවන් තත්ත්වයට පත් කළා. වයසක අය හිතලා තියෙන්නේ ඒ පුහුණුවට ඒ අයට එන්න බෑ කියලා. එදා ආපු අයගෙන් අපි වට්ස් ඇප් ගෘෘප් එකක් හැදුවා. දැන් වැඩිපුරම ප්‍රශ්න අහලා ඒකට මැසේජ් දාන්නේ හැට පැනපු අය. පුහුණුවට ආපු කෙනෙක් වොයිස් මැසේජ් එකක් දලා ප්‍රශ්න වලට උත්තර වොයිස් මැසේජ් එකකින්ම දාන්න කියලා ඉල්ලීමක් කළා. මම හිතුවා එයාට ඇස් පේන්නේ නැහැ කියලා. පස්සේ තමයි දැන ගත්තේ අකුරු කියවන්න ලියන්න බැහැ කියලා. මේ අය හැමෝටම අධ්‍යාපනය ලබන්න වුවමනාව තියෙනවා. විභාග ඉලක්ක කරලා උගන්වන පාඨමාලා වලින් බැහැරව මේ අය වෙනුවෙන් පුහුණු වැඩ සටහන් සංවිධානය කරනවා නම් ඔවුන්ගේ දායකත්වය අපේ රටේ ආර්ථික ක්‍රියාවලියට බොහොම පහසුවෙන් ලබා ගන්න පුළුවන්."

ඔහු අදහස් පළ කරන්නේ දැඩි විශ්වාසයකින් යුතුවය

"මම තවත් උදාහරණයක් කියන්නම්. යුද හමුදාවේ සේවය කර විශ්‍රාම යන පිරිසකගේ උත්සවයක් කන්ද කාඩු කෑම්ප් එකේ තිබුණා. සේනපුර පුනරුත්ථාපනය වන තරුණයින්ට මම 'කැලණි සවිය' යටතේ විදුලි කාර්මික පාඨමාලාවක් කරනවා. ඒ සම්බන්ධතාව උඩ කෑම්ප් එකේ ප්‍රධානියාට මම කිව්වා විශ්‍රාම යන අය අතරින් කැමැති අයට අලි වැට නඩත්තු පාඨාමාලාවක් කරමු කියලා. එතන හිටිය 90 % ක්ම අලි මිනිස් ගැටුම තියෙන පැති වල අය. ඒ අය හැමෝම පාඨමාලාව කළා. විශ්‍රාම ගියාට පස්සේ අලි වැට නඩත්තුව මගින් හොඳ ආදයම් මාර්ගයක් ගොඩනගා ගන්න පුළුවන් කියලා ඒ අය දන්නවා. මේ වගේ අවස්ථා තියෙනවා නම් අපේ වැඩිහිටි ප්‍රජාව ඉගෙන ගන්න කැමතියි. මම අලි වැටවල් ගහද්දී ගම්මාන වල වැඩිහිටියන්ට තමයි පුහුණුව දෙන්නේ. මොකද තරුණයින්ට වඩා අලි කරදරයෙන් පීඩා විඳින්නේ ඒ අයයි. අලි වැට කැඩුණාම ඒක හදාගන්න වනජීවි එකෙන් එනකල් ඉන්නේ නැතුව ගමේ වැඩිහිටි අයටම ඒක හදාගන්න අවශ්‍යය පසුබිම හදන්න ඕන.

තිබෙන අවස්ථා ගැන වැඩිහිටියන් දැනුවත් නැහැ

කාර්මික අධ්‍යාපන විෂය නිර්දේශයට දැන් පාඨමාලාවක් ලෙස අලි වැට නඩත්තුව ඇතුළත් කරල තියෙනවා. මේවා ගොඩක් අය දන්නේ නැහැ. මට මෙච්චර දුර ගමනක් යන්න අවස්ථාවේ ලැබුණේ 'කැලණි සවිය'ට සම්බන්ධ වූ නිසයි. ජීවිතයේ තීරණාත්මක වෙන්නේ විභාග නෙවෙයි. විභාග පාස් වුණු ගොඩක් අය ජීවිතේ ෆේල් වෙලා තියෙනවා. ඒ වගේම විභාග ෆේල් වුණු ගොඩක් අය ජීවිතේ දිනලා තියෙනවා. අවිධිමත් අධ්‍යාපනයට අපේ රටේ බරක් දෙනවා අඩුයි.ඒ තත්ත්වය වෙනස් කරන්න ඕන.අවිධිමත් ලෙස දැනුම එකතු කරගත් විශාල පිරිසක් සමාජයේ ඉන්නවා. ඔවුන් ඉලක්කයක් වෙත යොමු කිරීම සඳහා විධිමත් වැඩපිළිවෙළක් අවශ්‍යයි. කාර්මික අධ්‍යාපනයට වැඩිහිටි අයට ඇතුළු වෙන්න අවස්ථාව තිබුණත් කවුරුවත් එන්නේ නැහැ. ෆුල් ටයිම් නැතුව කරන්න පාඨමාලා තිබුණත් මිනිස්සු ඒවට ඇතුළු වෙන්නේ නැහැ. ඒ ප්‍රශ්නයට ආණ්ඩුව ආමන්ත්‍රණය කරන්න ඕන. පොළොන්නරුවේ කාර්මික අධ්‍යයන ආයතනයේ වඩුවැඩ ඉගෙන ගන්න ළමයි තුන් දෙනයි ඉන්නේ. කෝටි ගානක බඩු තියෙනවා. වඩු වැඩ හරියට ඉගෙන ගත්තොත් මොනතරම් වැඩ තියෙනවාද කරන්න. කැලණි සවියෙන් එළියට ආපු අය කැම්පස් ඩ්‍රිග්‍රිය ගත්ත සමහරුන්ට වඩා ලොකු ගමනක් ගිහින් තියෙනවා. දැන් මගේ ළඟ ඉංජිනේරුවෝ 14 දෙනෙක් වැඩ කරනවා."

ජීවිතයේ හැරවුම් ලක්ෂය

සමරනායක එහෙම කියන්නේ ඔහුගේ ජීවිතයේ හැරවුම් ලක්ෂය, පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයෙන් විදුලි කාර්මික ශිල්පය ඉගෙන ගැනීමට යොමුවීම බව කෘතවේදීව සිහිපත් කරමිනි.ඔහු නිර්මාණය කළ අලි වැට විද්‍යාත්මක පසුබිමක් යටතේ ගොඩ නැගුණකි. මෙතෙක් කල් අප අලි වැට ලෙස භාවිත කර තිබෙන්නේ විදේශ රටවලින් මී හරකුන් සඳහා සකස් කළ එකක් බව ඔහු කියයි.සමරනායක මෙය නිර්මාණය කර තිබෙන්නේ අලියාගේ බර, ආහාර ජීර්ණ පද්ධතිය, උස, හෘද ස්පන්ධනය ආදි සියලු කරුණු ගැන අවධානය යොමු කරමිනි. ඒ පිළිබඳ දැනුම ඔහුට ලබා දී තිබෙන්නේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ මහාචාර්ය අශෝක දංගොල්ලය. අලි ඇතුන් පමණක් නොව වෙනත් සතුන් ද මේ අලි වැටෙන් මෙල්ල කළ හැකිය. එහිදී වඩාත් වැදගත් වන්නේ සතාට හානියක් සිදු නොවීමය.

සමරනායකගේ සජීවී අත්දැකීම් , රටක් ලෙස අප මීට වඩා වැඩිහිටි අධ්‍යාපනය පිළිබඳ අවධානය යොමුකළ යුතු බව 'ටොකු අනිමින් පෙන්වා දෙන' වර්ගයේ ඒවාය. අඛණ්ඩ අධ්‍යාපනයේ වැදගත්කම එකකි. අධ්‍යාපනය ඇති අවස්ථා තවත් එකකි. පොතපත දැනුම මෙන්ම අත්දැකීම් මගින් ලබන අවබෝධය තවත් එකකි. අනෙක් විශේෂම කාරණය වන්නේ වැඩිහිටියන් සඳහා රටේ තිබෙන අවස්ථාවල දුලබත්වය ය.

වැඩිහිටි ජනගහනයේ ඉහළ වර්ධනයක්

"2009 වසර වනවිට අපේ රටේ ජනගහනයෙන් 9.3 % ක් වූ වැඩිහිටියන් 2050 වනවිට 27.6% ක් වෙන්න පුළුවන් කියලා වැඩිහිටි ලේකම් කාර්යාලය ඇස්තමේන්තු කරනවා. 2012 දී කළ සංගණනයට අනුව සමස්ත ජනගහනයෙන් අවුරුදු 60 ට වැඩි ප්‍රජාව 12% ක් හිටියා. පසුගිය වසරේ එළිදැක්වූ සංගණන දත්ත වලට අනුව දැන් මේ අගය 18% දක්වා වර්ධනය වෙලා. සෞඛ්‍ය අමාත්‍යාංශය කියන්නේ 2040 වනවිට වැඩිහිටි ප්‍රජාව 25 % ක් විතර වෙයි කියලයි. ඒ කියන්නේ අපේ රටේ සෑම පුද්ගලයින් හතර දෙනෙකු ගෙන්ම එක් අයෙකුම අවුරුදු 60 ඉක්මවූ කෙනෙක් කියන එකයි. ආසියාතික රටවල් අතරින් වැඩිහිටි ජනගහනය වර්ධනය වෙන රටක් විදිහට තමයි අපි ශ්‍රි ලංකාව හඳුනාගෙන තියෙන්නේ. මේ දත්ත පිළිබඳව අපි ගොඩක් කතා කරන්නේ වැඩිහිටි ප්‍රජාව රැක බලා ගැනීම සහ ඔවුන්ගේ සෞඛ්‍ය ගැටලු විසඳීම කෙරෙහි වැඩි අවධානයක් යොමු කරමිනුයි. වැඩිහිටි අධ්‍යාපන අවස්ථා පුළුල් කරමින් මේ අය අපේ රටේ ආර්ථික ක්‍රියාවලියට සමබන්ධ කර ගැනීම පිළිබඳව අපි කතා කරන්නේ හරිම අඩුවෙන්. ඒත් ලෝකයේ ගොඩක් රටවල තත්ත්වය ඊට වෙනස්. වැඩිහිටියන් කියලා ඒ අයව පැත්තකට කරලා තියන්නේ නැහැ. අපි තාමත් හිතන්නේ වැඩිහිටියෝ කියන්නේ කාගෙන් හෝ යැපෙන්න ඕන පිරිසක් කියලා. බියුරෝ ඔෆ් ලේබර් ස්ටැටිස්ටික් වාර්තා වලට අනුව ඇමරිකාවේ අවුරුදු 65 ට වැඩි 19.5 % ක් ආදායම් ලබන රැකියාවක් කරනවා. අවුරුදු 55-64 අතර වයසට එද්දී ඒ අගය 65.9% ක්. මේ අය හැමදාම අලුත් දැනුමක් ජීවිතයට එකතු කර ගන්න උත්සහ කරනවා. ආණ්ඩුව වගේම පෞද්ගලික අංශයත් ඒකට අවස්ථාව ලබා දී තිබීම විශේෂයි.

විදේශ රටවල ආදර්ශය

ෆින්ලන්තය, නෝර්වේ, ස්වීඩනය, ජපානය වගේ රටවල් තමන්ගේ රටෙහි වැඩිහිටි අධ්‍යාපන මධ්‍යස්ථානය පවත්වාගෙන යනවා. භාෂා දැනුම, චිත්‍ර හා මූර්ති පිළිබඳ පමණක් නෙවෙයි යෝගා, ඩාන්සින් වගේ දේවලුත් මේ තැන් වලින් ඉගෙන ගන්න වැඩිහිටියන්ට අවස්ථාව ලබාදී තිබෙනවා. අපේ වගේ නෙවෙයි ඒ රටවල වැඩිහිටියන්ගේ ලොකු සහභාගිත්වයක් මේ වැඩසටහන් වලදී දකින්න පුළුවන්. සිංගප්පූරුව වැඩිහිටි ප්‍රජාවගේ කුසලතා වර්ධනය සඳහා විශේෂ වැඩසටහන් ක්‍රියාත්මක කරනවා. තායිලන්තය වැඩිහිටි පාසල් පවත්වාගෙන යනවා. ඒ ඵලදායි විශ්‍රාම දිවියක් වැඩිහිටි ප්‍රජාවට උදාකර දීමේ අරමුණින්. කලින් සඳහන් කළ රටවල වැඩිහිටි අධ්‍යාපනය ප්‍රවර්ධනය කරන්න සැලකිය යුතු ලෙස රජය පහසුකම් සලසනවා. ඒ වගේම ජීවිත කාලය පුරාම ඉගෙන ගන්න සියලු වයස්වල පුද්ගලයින් දිරිමත් කරන ප්‍රතිපත්ති ඒ රටවල ක්‍රියාත්මකයි.සාර්ථක වැඩසටහන් මගින් ප්‍රායෝගික කුසලතා (ඩිජිටල් සාක්ෂරතාවය වැනි) වැඩිද දියුණු කරන්නත් වැඩිහිටියන්ගේ සමාජ ක්‍රියාකාරකම් වර්ධනය කරන්නත් විධිමත් සහ අවිධිමත් අවස්ථා රාශියක් මේ රටවල දැක ගන්න පුළුවන්. සහභාගී වීම පහසු කිරීම සඳහා වැඩසටහන් වෙනුවෙන් අර්ධකාලීන, මාර්ගගත වගේම හවස්වරු පන්ති ක්‍රමය ක්‍රියාත්මක කිරීම මගින් මේ වැඩසටහන්වල සැලසුම් සහගත බව හොඳින් පැහැදිලි වෙනවා.

අපේ රටේ ද්විතික හා තෘතියික අධ්‍යාපන අවස්ථා සියල්ලේ දොරටු විවර කරලා තියෙන්නේ තරුණ ප්‍රජාව වෙනුවෙන්. ඒවාට බඳවා ගැනීමේ වයස් සීමා වලින් පවා ඒක තහවුරු වෙනවා. මේ නිසා අපේ රටේ වැඩිහිටි ප්‍රජාව අධ්‍යාපනයෙන් ඈත් වෙනවා.”
මහවැලි කලාපයේ වැඩිහිටි ප්‍රජාව වෙනුවෙන් විදුලි උපකරණ පුහුණු වැඩමුළුවක් සමරනායක ලවා කරවීමට මුල්වූ කර්මාන්ත සංවර්ධන මණ්ඩලයේ ව්‍යාපෘති ප්‍රවර්ධන නිලධාරි එම්.එස් පද්මසිිරි මහතා පවසන්නේ අවස්ථා තිබේ නම් අපේ වැඩිහිටි ප්‍රජාව ඉගෙන ගන්න ලොකු උනන්දුවක් දක්වන බවයි.එහෙත් අවාසනාවකට පද්මසිිරි මහතා විදිහට හිතන පුරවැසියන් අපේ රටේ අඩුය.පාලකයින් හා ප්‍රතිපත්තිමය තීරණ ගන්නන් අතර එවැනි පුද්ගලයින් ඉතාම අඩුය.

‘ශ්‍රී ලංකාවේ සියලු දෙනාට සමානාත්මතාවයෙන් යුත් ගුණාත්මක අධ්‍යාපනයක් සහ ජීවිත කාලය පුරා අඛණ්ඩ ඉගෙනුම් අවස්ථා තහවුරු කිරීම’ වෙනුවෙන් ජාලගතව සිටින අධ්‍යාපන සංවර්ධන සන්ධානය නොවිධිමත් අධ්‍යාපනය හා විශේෂයෙන් වැඩිහිටි අධ්‍යාපනය නංවාලීම සඳහා ඉදිරිපත් කර ඇති සිවිල් සමාජ යෝජනාවලිය එම ගැටලුවලට විසඳුම් සෙවීමට උත්සාහ දරන පාර්ශවවලට ප්‍රයෝජනයට ගතහැකි වැදගත් ලියැවිල්ලකි.විවිධ පාර්ශව සමඟ සිදුකරන ලද උපදේශනාත්මක සාකච්ඡා වලදී අනාවරණය වූ කරුණු ඇසුරින් සකසා ඇති එම යෝජනාවලිය මගින් වැඩිහිටි අධ්‍යාපනය හා ඉගෙනීම් අවස්ථාවන්ට ප්‍රවේශය ප්‍රවර්ධනය කිරීම, ඒ් සම්බන්ධව දැනුම්වත්භාවය වර්ධනය කිරීම, පාර්ශවකරුවන්ගේ සම්බන්ධීකරණය වැඩදියුණු කිරීම හා නියාමනය,විවිධ අධ්‍යාපන විෂය ක්ෂේත්‍ර, කෙටිකාලීන වැඩසටහන් සැකසීම හා සහතිකකරණය, සියලු දෙනා අන්තර්කරණය කර ගැනීම,ප්‍රජා පාදක විස්තීරණ ඉගෙනුම් මධ්‍යස්ථාන ප්‍රවර්ධනය කිරීම,අරමුදල් සම්පාදනය ඉහළ නැංවීම,ශ්‍රම වෙළෙඳ පොළට අනුගත කිරීම,නිතිපතා අධීක්ෂණය හා ඇගයීම් සිදු කිරීම, ජාතික අධ්‍යාපන අරමුණු සමඟ වැඩිහිටි ඉගෙනීම සහ අධ්‍යාපන ප්‍රතිපත්ති ඒකාබද්ධ කිරීම ආදී විවිධ ශීර්ෂ යටතේ යෝජනා රැසක් ඉදිරිපත් කර තිබේ.

අධ්‍යාපනයේ ගෝලීය ඉලක්ක

පසුගියදා මුහුණ දීමට සිදුවූ ව්‍යසන තත්ත්වය සමග ආර්ථික හා සමාජයීය බිඳවැටීම් වලින් විශාල පසුබෑමකට ලක්වී සිටින ශ්‍රී ලාංකික සමාජයට සමරනායකලා, පද්මසිිරිලා වැනි දිරිමත් පුරවැසියන් ප්‍රදීපාගාර බඳුය.රටේ ආර්ථික ක්‍රියාවලියට සම්බන්ධවීමට වැඩිහිටියන්ට ඇරියුම් කරමින්,ඔවුන්ගේ කුසලතා වර්ධනය කිරීමට මග පෙන්වමින්, රට ගොඩනැංවීමට වැඩිහිටියන්ගේ සහය ලබාගැනීමේ සමරනායකලාගේ පද්මසිිරිලාගේ අත්හදාබැලීමේ වෑයම වැඩිහිටි අධ්‍යාපයේ ගෝලීය ඉලක්ක වෙත ලගාවීමේ අවශ්‍යතාවය ගැන ප්‍රතිපත්ති සම්පාදකයින්ට හා පාලකයින්ට බල කෙරෙන සොඳුරු බලපෑම්කරණයක් නොවන්නේද?

asela kuruluwansa

| අසේල කුරුළුවංශ