රැකියා විරහිත උපාධිධාරින් පිළිබඳ ගැටලුව කාලයක් මුළුල්ලේ සිට පවතින අර්බුදයකි. සෑම වසරකම උපාධිලාභීන් විශාල පිරිසක් විශ්වවිද්‍යාලවලින් පිටවන නමුදු ඔවුන්ගෙන් බොහෝ දෙනකුට වසර ගණන් රැකියා විරහිතයන් ලෙස බලා සිටින්නට සිදුවී තිබේ. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්රකාශනය අනුව උපාධිධාරීන් 50,000කට සහ අඩුආදායම්ලාභීන් ලක්ෂයකට රැකියා ලබාදීම ප්‍රධාන මාතෘකාවක් විය.
ආණ්ඩුවේ ඉලක්කය වූයේ උපාධිධාරීන් 50,000කට රැකියා ලබා දීම වුවද රුකියා විරහිත උපාධිධාරීන් එම සංඛ්‍යාවට වඩා වැඩි පිරිසක් සිටි බැවින් තවත් 10,000කට රැකියා ලබා දීම සඳහා අනුමැතිය හිමි විය. රජයේ ප්‍රබල ඇමැතිවරුන් ප්‍රකාශ කර තිබුණේ මේ වන විට 60,000කට වැඩි උපාධිධාරීන් පිරිසකට රැකියා ලබා දී ඇති බවටය. එහෙත් එම ප්‍රකාශ නිරවද්‍ය නොමැති යැයි රැකියා විරහිත උපාධිධාරීහු පවසති. ඔවුන් සඳහන් කරන අයුරින් 2020 සැප්තැම්බරයේ 43616ක්ද, 2021 පෙබරවාරියේ 8076ක්ද ඉන්පසුව තවත් 897ක් ද වශයෙන් අවස්ථා තුනකදී 53,000කට ආසන්න පිරිසක් බඳවා ගැනුණු අතර ඔවුන් වසරක අභ්‍යාසලාභී පුහුණුවට අනුක්ත කර තිබේ. ඔවුනට මසකට රුපියල් 20,000ක දීමනාවක් හිමිවේ.
එහෙත් තවත් පිරිසක් තවමත් රැකියා නොමැතිව සිටිති. ඒ 2020 උපාධිය ලබාගත් පිරිසය. එම සංඛ්‍යාව දළ වශයෙන් 5460ක් වැනි පිරිසකි. 60,000ක පිරිසකට රැකියා ලබා දීමට අනුමැතිය ලබාගෙන ඇති බැවින් මේ පිරිසටද රැකියා ලබා දෙන ලෙසට රැකියා විරහිත උපාධිධාරීන්ගේ ඉල්ලීම වී තිබේ. මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා අවස්ථා කිහිපයකදීම බලධාරීන්ගෙන් අවස්ථාවක් ඉල්ලා සිටියද මෙතෙක් එවැනි අවස්ථාවක් ලබා දී නොමැති යැයි ඔවුහු පවසති. එමෙන්ම විශ්වවිද්‍යාල උපකුලපතිවරු, පීඨාධිපතිවරු, අංශාධිපතිවරු මේ සම්බන්ධයෙන් දැනුම්වත් කොට ඔවුන් මගින් බලධාරීන්ගෙන් ඉල්ලීමක් කිරීමටද රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමය කටයුතු කරමින් සිටී. ඉන් නොනැවතී ඔවුහු පසුගිය අප්‍රේල් 23 දින උද්ඝෝෂණයකද නිරත වූහ.
තමන් මුහුණ පා සිටින අර්බුදය සම්බන්ධයෙන් ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරී සංගමයේ කැඳවුම්කරු තැන්නේ ඥානානන්ද හිමියෝ මෙලෙස අදහස් දැක්වූහ.
“අපේ රටේ උපාධිධාරින්ට රැකියා ලබා දෙන නිශ්චිත වැඩපිළිවෙළක් නැහැ. ඊට ප්‍රධාන හේතුව රැකියාව මූලික අයිතියක්ය යන්න ව්‍යවස්ථාවෙන් මෙතෙක් පිළිගෙන නොමැතිකම. ඒ නිසා ඒ සම්බන්ධයෙන් ප්‍රතිපත්ති සම්පාදනය වෙලා නැහැ. 2016 සිට රැකියා විරහිත උපාධිධාරින් සංගමය විදියට අප අරගල කළේ රැකියා ලබා දෙන ජාතික ප්‍රතිපත්තියක් සකස් කරන ලෙසත්, රැකියාව මිනිස් අයිතියක් ලෙස පිළිගන්නා ලෙස සහ සියලු රැකියා විරහිත උපාධිධාරීන්ට රැකියා ලබා දෙන ලෙසත් යන මූලික තේමා තුන යටතේ. ඉල්ලීම් කරමිනුයි. ගෙවුණු දසකය තුළ පැවැති කිසිම ආණ්ඩුවක් මේ සම්බන්ධයෙන් ප්‍රතිපත්තිමය තීන්දුවක් ගත්තේ නැහැ. එහෙත් විවිධ ක්‍රමවේද මගින් රැකියා ලබාදෙන අවස්ථා නිර්මාණය වුණා. අප ඉල්ලා සිටින්නේ විවිධ ක්‍රමවේද මගින් රැකියා ලබා දීම නොව රැකියා ලබා දෙන ජාතික ප්‍රතිපත්තියක් ඇති කරන ලෙසටයි. නව ජනාධිපතිවරයාගේ රැකියා ලබා දීමේ වැඩපිළිවෙළ යටතේ 2020 ජනවාරි 1 දින රුකියා ලබා දෙන බව ප්‍රකාශ වුණා. දැන් 2021 අප්‍රේල් මාසයත් එළඹිලා. එහෙත් රැකියා ලබාදීමේ වැඩපිළිවෙළ අවසන් කර නැහැ. මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට අවස්ථාවක් ලබා දෙන ලෙසට අප බලධාරින්ගෙන් ඉල්ලා සිටියත් තවමත් කිසිදු ප්‍රතිචාරයක් ලැබී නැහැ. ගතවූ වසර 7ක අපේ අරගල ඉතිහාසය තුළ අපේ ගැටලුවට ඇහුම්කන් දුන්නේ හර්ෂද සිල්වා ඇමැතිවරයා පමණයි. ඒ හැර වෙනත් කිසිදු බලධාරියෙක් අපේ ගැටලුවට ඇහුම්කන් දී නැහැ. අප ජනාධිපතිතුමාගෙන් ඉල්ලීමක් කළා එතුමා ගම සමඟ පිළිසදර පවත්වන පරිදි රැකියා විරහිත උපාධිධාරීන් සමඟද පිළිසඳරක් ලබා දෙන ලෙසට. එහෙත් එවැන්නට මෙතෙක් ධනාත්මක ප්‍රතිචාරයක් ලැබී නැහැ. එහෙත් එතුමාගේ දේශපාලන ව්‍යාපාරයට සම්බන්ධ වූ උපධිධාරීන්ට නම් සාකච්ඡා අවස්ථා ලබා දුන්නා. අප ඊට විරෝධය පළ කරමින් කියා සිටියේ එවැනි පුද්ගලයන්ගේ අදහස් අනුව මෙම ප්රශ්නය විසඳන්නට යනවා නම් එය දේශපාලන න්‍යාය පත්‍රයක කොටසක් පමණක් වේවි කියලයි. මෙම ගැටලුවේ සැබෑ මුහුණුවර පෙන්වා දීමට නම් අපටත් සාකච්ඡාවක් ලබා දිය යුතුයි. පසුගිය අප්‍රේල් 19 වැනිදාත් අපේ ඉල්ලීම සම්බන්ධයෙන් සිහිකැඳවීම් ලිපියක් බාර දුන්නා. ජනාධිපතිතුමා කාර්ය බහුල නම් අඩුගානේ එතුමාගේ ලේකම්වරයෙක්වත් නම් කර මෙම ගැටලුව සම්බන්ධයෙන් කිසියම් පියවරක් ගන්නා ලෙස අප ඉල්ලා සිටිනවා.”
ආණ්ඩුව රැකියා ලබා දීමට බැඳී නොමැතිය යනුවෙන් පසුගිය රජය සමයේ කතාවක් අසන්නට ලැබිණි. නොමිලේ අධ්‍යාපනය ලබා දී උපාධියක් ලබා දීමෙන් පසු රැකියාවක් ලබා දීමට ඇත්තටම ආණ්ඩුවක් බැඳී සිටින්නේද? මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ තැන්නේ ඥානානන්ද හිමි “ ආණ්ඩු පත්වෙන්නේ ජනතාවට සේවය කරන්න. රුකියා ලබා දෙන එක ආණ්ඩුවල වගකීමක්. ඕනෑම ආණ්ඩුවකට රැකියා ලබාදීම සම්බන්ධයෙන් කිසියම් ප්‍රතිපත්තියක් තිබිය යුතුයි. මිනිස්සු ඡන්දෙ දුන්නේ බලධාරීන්ට සුඛ විහරණය ලබා දෙන්න නොවෙයි. පසුගිය 19 දා රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම්වරයා හමු වූ අවස්ථාවේ ඔහු අපෙන් ඇහුවේ. රුකියා ලබා දීමට බිලියන ගණන් වියදම් වෙනවා. ආණ්ඩුවට මේ තරම් සල්ලි කොහෙන්ද කියලයි. එවිට අපි කිව්වා ‘ඒකට තමයි ඔබතුමන්ලා ප්‍රතිපත්ති සම්පාදකයන් විදිහට ඔය පුටුවල ඉන්නේ‘ කියලා.”
අභ්‍යාසලාභීන් ලෙස බඳවා ගන්නා උපාධිධාරින්ගේ පුහුණු කාලය වසරකි. එම පුහුණුව පෞද්ගලික, රාජ්‍ය, කළමනාකරණ, ව්‍යාපෘති හා නායකත්ව යනුවෙන් පුහුණු පහකි. ඉන්පසුව ඔවුන් රාජ්‍ය සේවයට අන්තර්ග්‍රහණය කෙරේ. එහෙත් කොවිඩ් පළමු රැල්ලත් සමඟ පුහුණුව නැවතිනි.. ඉන්පසු මේ වන තෙක් කිසිදු පුහුණුවක් ලැබී නොමැති බවට උපාධිධාරීහු පවසති. බොහෝ උපාධිධාරීහු තවමත් මුල් පුහුණුවට යොමු කළ ස්ථානවලමය. එහෙයින් තමන්ට ලබා දීමට නියමිත පුහුණුව ලබා දීමට පියවර ගන්නා ලෙස ඔවුහු ආණ්ඩුවෙන් ඉල්ලා සිටිති. පුහුණුව සඳහා යොමු කළ උපාධිධාරීන්ට නියමිත රාජකාරියක් නොමැත. දැනට ලබා දෙන පුහුණුවට ඉලක්කයක්ද නොමැත. ඔවුන්ට ලබා දෙන පුහුණුව පිළිබඳව තීරණය කරනුයේ ඔවුන් යොමු කර සිටින ආයතනයේ ප්රධානියාය. උදාහරණයක් ලෙස ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකට යොමු කරන පිරිස පාසල්, රෝහල් වැනි විවිධ ආයතන වෙත යොමු කෙරේ. එලෙස යොමුකරන ආයතනවල ප්‍රධානීහු ඔවුන් විවිධ කටයුතු සඳහා යොමු කරති. ඇතැම් උපාධිධාරීන් ගේට්ටු මුර කරන්නට පවා යොදවා තිබූ අවස්ථා වාර්තා විය. “ගල්ගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ගේට්ටුවට දාලා තියෙන්නේ සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ විශේෂ ගෞරව උපාධියක් තියෙන තරුණියක් උපාධිධාරීන් 40,000 කට 50,000 කට රැකියා දුන්නා කියලා මෙහෙම සළකන එක හරිදැ”යි වරක් විජිත හේරත් මන්ත්‍රිවරයා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර තිබිණි.
“දැන් බඳවාගත් උපාධිධාරීන්ට අවුරුද්දක පුහුණු කාලයක් තියෙනවා. ඒ කාලය පුරාවටම ඔවුන්ට ලැබෙන්නේ මාසෙට රුපියල් 20,000 යි. සාමාන්‍ය පෙළ අසමත් අය ලක්ෂයක් බදවාගත්තා. ඔවුන්ගේ පුහුණු කාලය මාස හයයි. ඒ අයට 22,500 ක් ගෙවනවා. උපාධිය ගත්ත අයට ගෙවන්නේ රුපියල් 20,000 යි. අවුරුද්දක පුහුණුවකුත් තියෙනවා. මේක සාධාරණයද? උපාධිධාරීන්ට සැළකුවා කියලා සතුටු වෙන්න පුළුවන්ද? උපාධිධාරීන්ට අරම සළකනවා මෙහෙම සළකනවා කියලා සෑම ආණ්ඩුවක්ම කිව්වා. අච්චර රැකියා දුන්නා මෙච්චර රැකියා දුන්නා කියලා කියනවා. 1999 සිට මේ දක්වා 140,000 විතර උපාධිධාරීන් විවිධ රැකියාවලට ඇවිත් තිබෙනවා. හැබැයි අද වෙනකන් ඒ රජයේ සේවයට බඳවාගත් උපාධිධාරීන්ට, ලැබිය යුතු නිසි ගෞරවය, ඔවුන්ගේ දැනුමට, උපාධියට සරිලන ආකාරයට රැකියා අවස්ථා සම්පාදනය කරලා නෑ.” යැයි විජිත හේරත් මන්ත්‍රිවරයා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර තිබිණි.
තවමත් රැකියා නොමැති උපාධිධාරිහු ජීවත් වීම සඳහා විවිධ අවිධිමත් රැකියාවල නිරතව සිටිති. ඇතැම් පිරිස් ගොවිතැන්, කුලීවැඩ, සිල්ලර වෙළෙඳසල්, අවන්හල්, ඇඟලුම් කම්හල්වල අනියම් රැකියා, සුපර්මාකට් වැනි ස්ථානවල විවිධ රැකියාවල නිරතව සිටින්නේ තමන් ලද අධ්‍යාපනයට සරිලන රැකියාවක් මෙතෙක් නොලද බැවිනි. සෑම වසරකම විශාල පිරිසක් මෙම කණ්ඩායමට එකතු වන අතර මෙම අර්බුදයට ස්ථිර විසඳුම් සෙවීම ප්‍රතිපත්ති සම්පාදකයන්ගේ වගකීමකි.
ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා
උපුටා ගැනීම -දේශය