2020 වසරේ රජයට ලැබුණු බදු ආදායම වූ රු. බිලියන 1216න් බිලියන 1052ක් විශ්‍රාමික හා රාජ්‍ය සේවක වැටුප් ගෙවීම සඳහා වැය කර ඇති අතර රාජ්‍ය සේවක වැටුප් ගෙවීමෙන් පසු රජයේ බදු ආදායමින් ඉතිරි වන්නේ රු. බිලියන 164ක් පමණක් බව වෙළඳ ඇමති බන්දුල ගුණවර්ධන පසුගිය 21දා රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැත්වුණු ප්රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය.
ගුරුවරුන්ගේ වැටුප් විෂමතා පිළිබඳ ගැටලුව මේ වන විට තීව්ර වී තිබේ. ගුරුවරුන් ඔන්ලයින් ඉගැන්වීමවලන් ඉවත් වී සති දෙකක් පමණ වෙනවා. වැටුප් විෂමතා ඉවත් කරන සටන වීදියට පැමිණ ඇත. ගුරුවරුන් දහස් ගණනින් වීදි බසිති. ගුරුවරුන්ගේ වැටුප් වැඩි කළ යුත්තේ ගුරු සේවය ආවෘත සේවාවක් බවට පත්කර වැටුප් පිළිබඳ කොමිෂමක් පිහිටුවා පුළුල් සංවාදයකින් බව ඇමතිවරයා පැවසීය. ගුරුවරුන්ට වැටුප් වැඩි කළහොත්, සෙසු රජයේ සේවකයන් ද නිකම් ඉන්නේ නැත. වැටුප් වැඩිකිරීම පසෙක තිබියදී, රජයේ සේවකයන්ට එදිනෙදා වැටුප් ගෙවාගැනීම පවා රජයට අභියෝගයක් වී තිබෙන බව ඇමතිවරයා විසින් ගෙනහැර දක්වන ලද ගණන් හිලව්වලින් පැහැදිලිය.
ගුරුවරුන්ගේ වැටුප් විෂමතා සම්බන්ධ ඉල්ලීම ඉතා සාධාරණය. ගුරුවරුන්ගේ වැටුප් එම වෘත්තියට ජාත්‍යන්තර ප්‍රමිතියෙන් ගත්කල ගෙවන වැටුප් අනුව ප්‍රමාණවත් මට්ටමක නැත. ගුරු වැටුප මේසන් බාස් කෙනෙකුගේ වැටුපට පවා අඩු යයි මතයක් තිබේ. එය බොරුවකි. මේසන් බාස් කෙනෙකුට දිනකට රු. 3,000ක් පමණ වැටුපක් ලැබෙන බව ද, ගුරුවරයකුගේ දෛනික වැටුප ඊට අඩු බව ද පසුගිය දිනවල තර්කයක් ලෙස ඉදිරිපත් කරන ලදී. ගුරුවරයකු වැඩ කරන කාලය නිශ්චිත නැත. එහෙත්, සතියට දින පහක් වැඩ කරන්නේ යයි සිතමු. රජයේ නිවාඩු දින ද ඇතුළත්ව ගුරුවරයකු නිවාඩු නොගෙන වැඩ කරන දින ගණන මාසයකට දින 20ක් පමණ වේ. එම කාලය වැඩ කළොත් පෙදරේරුවකු උපයන්නේ රු. 60,000ක මාසික ආදායමක් පමණි. ගුරුවරයකුට පාසල් වාරාවසාන නිවාඩුවලට අතිරේකව අවුරුද්දකට වැටුප් සහිත අනියම් හා විවේක නිවාඩු 41ක් තිබේ. පෙදරේරුවකුට ඒ කිසිවක් නැත. වැඩ නැතිනම් පඩි නැත. විශ්‍රාම වැටුප්, වැන්දඹු අනත්දරු අරමුදල්, ජීවන වියදම් දීමනා, රක්ෂණ වැනි ගුරුවරුන්ට ලැබෙන වරප්‍රසාද කිසිවක් පෙදරේරුවන් හට නැත.
රජයේ සේවයේ තිබෙන රැකියා සුරක්ෂිතභාවය වෙනත් කිසිදු වෘත්තීය අංශයක නැත. වැඩ කළත්, නොකළත්, වැරදි කළත්, දඬුවම් ලැබුවත්, කලක් නොදන්වා සේවයට නොපැමිණ සිටියත්, රජයේ රැකියාවක් පහසුවෙන් අහිමි නොවන බව රජයේ සේවයේ සිටින අය හොඳින් දනිති.
ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ 2016 වසරේ සංඛ්‍යාති අනුව, ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවය සන්නද්ධ හමුදා සාමාජිකයන් ලක්ෂ තුනක් ද සමග ලක්ෂ 14ක් වේ. ඍජු රාජ්‍ය සේවකයන් ලක්ෂ 11 අතරින් 65%ක් අයත් වන්නේ මධ්‍යම රජයටයි.
ප්රශ්නය තිබෙන්නේ රාජ්‍ය සේවකයන් මෙතරම් සංඛ්‍යාවක් සිටියත්, ඔවුන්ට වැටුප් ගෙවන මහජනතාවට තෘප්තිමත් විය හැකි අන්දමේ සේවයක් ඔවුන්ගෙන් නොලැබීමයි. රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාව නැංවීම සඳහා කළ යුතු බොහෝ දේ තිබේ. ආකල්ප සංවර්ධනය එහිදී ඉතා වැදගත්ය. දේශපාලනය වැදගත් වන්නේ එහිදීය. ආණ්ඩුව රාජ්‍ය සේවයකයන්ට නායකත්වය දිය හැකි එකක් විය යුතුය. ආදර්ශවත් නායකයන් එහි සිටිය යුතුය. එහෙත්, එහෙම නැතැයි කියා ගැලවීමේ හැකියාවක් රජයේ සේවකයන්ට තිබේද? තමන්ට වැටුප් ගෙවන මහජනතාව සම්බන්ධයෙන් ඔවුන්ට වගකීමක් නැද්ද?
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ දිළිඳුභාවය පිටුදැකීම සඳහා වන නව නිර්මාණාත්මක සංකල්පයක් වන බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකාය සඳහා ලක්ෂයක් දෙනා බඳවාගැනීමේ අයදුම්පත් කැඳවීමේ දැන්වීම් 2020 පෙබරවාරි මස පුවත්පත්වල පළ විය. මෙසේ පිහිටුවනු ලබන බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකාය යටතේ සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයක ම රජයේ රැකියා 350කට වඩා නිර්මාණය වන බව වාර්තා විය. මෙම බලකාය මෙහෙයවීම සඳහා උපාධිධාරීන් 10,000ක් ඉදිරියේදී දෙපාර්තමේන්තුවට බඳවා ගැනීමට නියමිත බව ද පැවසිණි. තවත් රැකියා විරහිත උපාධිධාරීන් 50,000කට ද රජයේ රැකියා ලබා දීමට කටයුතු කරන බව රජය කීවේය. ගුරු සහායකවරුන් 50,000ක් අලුතෙන් බඳවා ගන්නා බව ද නිවේදනය කළ රජය සහායකවරුන් බඳවා ගන්නා බව කියා පන්තියක සිසුන් සංඛ්‍යාව ද 35 සිට 40 දක්වා ඉහළ නැංවීමට තීරණය කළේ ය. මේ වැඩසටහන් නිසි පරිදි ක්‍රියාත්මක නොවුණ මුත්, වත්මන් රජය යටතේ ද රජයේ සේවයට නැවතත් අතිවිශාල පිරිසක් පුරවන ලදී.
රජයේ සේවයේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම වෙනුවට, දේශපාලන වාසි වෙනුවෙන් තව තවත් පුළුල් කිරීමෙන් වර්තමාන තත්වය නිර්මාණය වී තිබේ. රාජ්‍ය සේවය සමන්විත විය යුත්තේ පුහුණු වෘත්තිකයන්ගෙනි. ඒ සඳහා දක්ෂයන් හා මහජන සේවයට විශේෂ කැමැත්තක් දක්වන පිරිස් තෝරගැනීමේ ක්‍රමවේදයක් තිබිය යුතුය. ඒ වෙනුවට තවමත් සිදුවන්නේ රැකියා විරහිතයන්ට රස්සා දීම සඳහා රාජ්‍ය සේවය නඩත්තු කිරීමයි. කාලයක් තිස්සේ එසේ කිරීම නිසා අද වන විට රාජ්‍ය සේවයේ මූලික කාර්යය රස්සා දීම බවට පත්වී මහජන සේවය අතුරු කාර්යයක් බවට පත්වී තිබේ.
අජිත් පැරකුම් ජයසිංහ – ලංකා පුවත්පත – 2021-07-24