ලොව පුරා කොවිඩ් – 19 භීතිය තව තවත් උත්සන්න කරමින් කොරෝනා වෛරසයේ නව ප්‍රභේදයක් වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතී. මෙම නව ප්‍රභේදය උතුරු අයර්ලන්තය හැර එක්සත් රාජධානිය පුරා සොයාගත හැකි ය. එහෙත් එය දැඩි ලෙස පැතිරී ඇත්තේ ලන්ඩන්, ගිනිකොන සහ නැගෙනහිර එංගලන්තයේ ය.
ආචාර්ය චන්දිම ජීවන්දර, ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය, ප්‍රතිශක්ති විද්‍යා සහ අණුක ජීවවිද්‍යා දෙපාර්තමේන්තුව
"පර්යේෂකයින්ට අනුව මේ විකෘතිවීම සිදුව ඇත්තේ වෛරසයේ ස්පයික් ප්‍රෝටීනයේ ය. ‘Spike protein’ යනු වෛරසයේ බාහිරින්ම පිහිටි ආවරණයේ ඇති ප්‍රෝටීනයකි. වෛරසයට සෛලයක් තුළට ඒමට උදව් දෙන්නේ එමඟිනි. සාමාන්‍යයෙන් ඕනෑම වෛරසයක් තමන්ගේ පැවැත්මට වාසිදායි ලෙස තමන්ගේ සැකැස්ම වෙනස් කරයි."
නව ප්‍රභේදය වේගයෙන් ව්‍යාප්ත වීම කරණකොට ගෙන මිලියන සංඛ්‍යාත ජනතාවක් දැඩි සීමාවන්වලට යටත් කිරීමට, නත්තල් සමයේදී ද ලොක්ඩවුන් නීති ක්‍රියාත්මක කිරීමට ද එංගලන්තය, ස්කොට්ලන්තය, වේල්සය සහ උතුරු අයර්ලන්තය පියවර ගෙන තිබිණි. එපමණක් නොව ශ්‍රී ලංකාව ද ඇතුළුව ඉන්දියාව, කැනඩාව ඇතුළු රටවල් හතළිහකට වැඩි ප්‍රමාණයක් එක්සත් රාජධානියට සංචාරක තහනම් පැනවීමට කටයුතු කොට තිබේ.
ලොව පුරා වෛරස සාම්පලවල ජාන කේත අධීක්ෂණ දත්තවලට අනුව කියැවෙන්නේ ඩෙන්මාර්කය සහ ඕස්ට්‍රේලියාව යන රටවල දැකිය හැකි වෛරස ප්‍රභේදය පැමිණ ඇත්තේ එක්සත් රාජධානියෙන් බව ය. නෙදර්ලන්තයෙන් ද මේ හා සමාන රෝගීන් වාර්තා වී ඇත. කෙසේ වෙතත් කොරෝනා වෛරසයේ නවතම ප්‍රභේදය මේ වන විට තවත් රටවල් කිහිපයකින් ම වාර්තා වී අවසන් ය.
මේ අයුරින් ලොව පුරා කතාබහට ලක්ව ඇත්තේ කොවිඩ්-19හි ඇතිවී තිබෙන විකෘතියකි. මෙම විකෘතිය ‘N501y’ ලෙස හඳුන්වාදී තිබේ. වෛරසයක මෙයාකාරයේ විකෘතියක් ඇති වූ පසු සාමාන්‍යයෙන් වෛරසයේ එම ප්‍රභේදය නම් කෙරේ. ඒ අනුව කොවිඩ් -19 නවතම ප්‍රභේදය, ‘VOC 202012/01’ යනුවෙන් නම් කොට ඇත.
පර්යේෂකයින්ට අනුව මේ විකෘතිවීම සිදුව ඇත්තේ වෛරසයේ ස්පයික් ප්‍රෝටීනයේ ය. ‘Spike protein’ යනු වෛරසයේ බාහිරින්ම පිහිටි ආවරණයේ ඇති ප්‍රෝටීනයකි. වෛරසයට සෛලයක් තුළට ඒමට උදව් දෙන්නේ එමඟිනි. සාමාන්‍යයෙන් ඕනෑම වෛරසයක් තමන්ගේ පැවැත්මට වාසිදායි ලෙස තමන්ගේ සැකැස්ම වෙනස් කරයි. ඒ අනුව මේ කියන්නාවූ විකෘතියෙන් ද සිදු ව ඇත්තේ වෛරසය මනුෂ්‍යයන්ගේ සෛල අතරට යෑමේ හැකියාව වැඩි වීම ය. දැනට ලැබී ඇති දත්තවලට අනුව කිව හැක්කේ කොවිඩ් -19 වෛරසයේ මේ සොයාගෙන ඇති නවතම ප්‍රභේදය මින් පෙර ලෝකය තුළ පැතිර ගිය ප්‍රභේදවලට වඩා 70%ක් පමණ වැඩිපුර සංසරණය වීමේ හැකියාවක් ඇති බව ය.
මෙම ප්‍රභේදය පිළිබඳ කතාබහ කිරීමේ දී බොහෝ දෙනකු මතු කරන පැනයක් වන්නේ මේ ප්‍රභේදය මාරාන්තිකද? යන්න ය. කොවිඩ් -19 වෛරසයේ මෙම ප්‍රභේදය ආසාදනය වූ පසු මිය යෑමේ ප්‍රවණතාව වැඩිද? අතුරු ආබාධ වැඩිද? අතිශය දරුණුද? යන්න පිළිබඳ මත පළ කිරීමට තවම කිසිඳු දත්තයක් නැත. මෙම ප්‍රභේදය හමු වී තවම ගත ව ඇත්තේ කෙටි කලකි. එබැවින් ඒ පිළිබඳව නිවැරදිව මත පළ කිරීමට තවත් දත්තයන් වුමනා ය. පර්යේෂණ සිදු කළ යුතු ය. එසේ ම තවත් කාලය ද අවැසිය.
ඕනෑම වෛරසයක එවැනි විකෘතීන් ඇති වීම සාමාන්‍ය වේ. ඒ සඳහා හොඳම නිදසුන ලෙස සෑම වසරකම වෙනස්වීමට, විකෘති වීමට ලක්වන ‘Seasonal flu’ වෛරසය පෙන්වා දිය හැකි ය. කොවිඩ් -19 වෛරසය ද එලෙස වෙනස්වීමකට භාජනය වීම අසාමාන්‍ය තත්ත්වයක් නොවේ. එහෙත් කොවිඩ්-19 වෛරසය පිළිබඳ දැනට සිදුකොට ඇති අධ්‍යයනයන්ට අනුව නම් පෙනී යන්නේ එය එතරම් විශාල වශයෙන් වෙනස්වීම්වලට බඳුන් වී නොමැති බව ය. කෙසේ වෙතත් මෙම වෛරසය සිය ස්වරූපය වෙනස් කිරීම පිළිබඳ ප්‍රබල අවධානයකින් සිටීම නම් වඩා වැදගත් වේ.
මේ වෛරසයේ විකෘතීන් ඇතිවී තිබෙනවාද? නැද්ද? යන්න හඳුනාගැනීමට සිදු කරන පරීක්ෂාව ‘genome sequencing’ නම් වේ. එනම් genome sequencing යනු කොවිඩ් -19 වෛරසයේ නවතම ප්‍රභේදය අප රට තුළ ඇතුළු වී තිබේද යන්න සොයා බැලිය හැකි විශේෂ ක්රමවේදයකි. ඒ ඔස්සේ වෛරසයේ සැකැස්ම ඉතාම නිවැරදිව හඳුනාගත හැකි ය. ඒ සඳහා විශේෂිත වූ තාක්ෂණයක් ද අවැසි වේ. එම තාක්ෂණය දැනට ලංකාවේ පවතින්නේ සීමිත ප්‍රමාණයකින් වූව ද එය සැබැවින් ම ගැටලුවක් නොවේ.
දැනට ශ්‍රී ලංකාවේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා, ප්‍රතිශක්ති විද්‍යා සහ සෛල ජීවවිද්‍යා අංශය සතුව මේ සඳහා අවශ්‍ය කරන, ලෝකයේ ඇති සියලුම විශිෂ්ට පහසුකම් පැවතීම සතුටට කරුණකි. ඒ ඔස්සේ කොවිඩ් -19 සම්බන්ධයෙන් ඉකුත් මාර්තු මාසයේ සිට ම එම අංශය මඟින් පරීක්ෂණ සිදු කෙරිණි. එහි සිදු කෙරෙන පර්යේෂණවල ප්‍රතිඵල සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයට නිරන්තරයෙන් දැනුම් දෙන අතර මේ සියලු පර්යේෂණ සිදු කෙරෙන්නේ සෞඛ්‍ය අමාත්‍යංශයේ ඉල්ලීම සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ ආධාර මත ය.
2020දි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා, ප්‍රතිශක්ති විද්‍යා සහ සෛල ජීවවිද්‍යා අංශය, කැබිනට් නියෝගයක් ප්‍රකාරව පිහිටුවා ඇත්තේ මුදල් අමාත්‍යංශයේ ප්‍රතිපාදන මගිනි. එම ප්‍රතිපාදනවලින් අද වන විට රටට සිදු වන සෙත මෙතැකැයි කියා කිව නොහැකි තරම් ය. මෙම sequencing සිදු කරන ස්ථානයක් ශ්‍රී ලංකාවේ ද පැවතීම සතුටට කරුණකි. අප වැනි රටකට sequencing සිදු කරන ස්ථාන විශාල ප්‍රමාණයක් අවශ්‍ය නොවන අතර එංගලන්තය, ඇමරිකාව වැනි සංවර්ධිත රටවල ද sequencing සිදු කරන ස්ථාන පවතින්නේ ඉතාම සුළු වශයෙනි.
මන්ද ඒ සඳහා තාක්ෂණය, ඉතා මිල අධික උපකරණ, හොඳින් පුහුණු වූ පර්යේෂකයින් අවශ්‍ය වේ. ඒ සියල්ලම මේ වන විට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා, ප්‍රතිශක්ති විද්‍යා සහ සෛල ජීවවිද්‍යා අංශය සතුව පවතින බව සතුටින් කිව හැක. මේ sequencing සිදු කරන උපකරණයක් මෙරට තුළ ක්‍රියාත්මක කිරීමට සැලසුම් යොදා ඇත්තේ 2012 වර්ෂයේ සිට ය. ශ්‍රී ලංකාව මේ සඳහා වන උපකරණයක් මිලදී ගෙන ඇත්තේ 2012 සිට සැලසුම් කරමින්, ඒ සඳහා අවශ්‍ය මානව සම්පත පුහුණු කරමින් සිට, අවශ්‍ය පුහුණුව ඉතා හොඳින් ලබාගත් බව අවබෝධ වූ පසුව ය. ඒ මිලදී ගැනීම සිදු ව ඇත්තේ 2019දී ය.
ශ්‍රී ලංකාවට මෙවැනි උපකරණයක් මිලදී ගැනීමේ අවශ්‍යතාව අප තේරුම් ගත්තේ ලෝකයට කොවිඩ් -19 වසංගතය පැමිණීමටත් පෙර ය. Sequencing සම්බන්ධයෙන් ලංකාවට බිය විය යුතු තත්ත්වයක් නැත. මන්ද ඒ සඳහා අවශ්‍ය කරන සියලු පහසුකම් රට අභ්‍යන්තරයේ ම පවතින බැවිනි. මෙම sequencing සිදු කිරීමේ වැදගත්කම නම් නව ප්‍රතිකාර ක්‍රම හඳුනාගැනීමේදී පරීක්ෂණවලට සහය වීම ය. මෙමඟින් අනාගතයට පෙර සූදානමක් ඇති කරගත හැකි ය.
කෙසේ වෙතත් මේ කියන්නාවූ කොවිඩ් -19 නවතම ප්‍රභේදය ශ්‍රී ලංකාවට ඇතුළු වී තිබේද යන්න සෙයාගැනීමට sequencing නොවන යම් ක්‍රමවේදයන් ද අනුගමනය කළ හැකි ය.
එනම් එක් විශේෂ පී. සී.ආර් කට්ටලයකින් සිදු කරන පී සී ආර්. පරීක්ෂණ ඔස්සේ මෙම ප්‍රභේදය පිළිබඳව අදහස් ඇතිකර ගැනීමේ හැකියාවක් පවතී. ශ්‍රී ලංකාව තුළ දැනට පී.සී.ආර්. පරීක්ෂණාගාර 29ක් පමණ පවතී. එබැවින් යම් පී. සී. ආර්. පරීක්ෂණයකින් මෙම නව වෛරස ප්‍රභේදය පිළිබඳව අදහසක් ව්‍යංගයෙන් හෝ ලබාදෙන අවස්ථාවක, ඒ ඕනෑම පර්යේෂණාගාරයකට, එහි සාම්පල ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා, ප්‍රතිශක්ති විද්‍යා සහ සෛල ජීවවිද්‍යා අංශය වෙත යොමු කළ හැකි ය. ඉන් පසුව sequencing සිදු කෙරෙනු ඇත.
මේ වන විට ලෝකයේ රටවල් කිහිපයකින්ම හමුවූ කොවිඩ් – 19 නවතම ප්‍රභේදයෙන් තරුණ ප්‍රජාවට වැඩි අවදානමක් ඇති බව ද අසන්නට ලැබෙනවා සේ ම දැනට තිබෙන තත්ත්වය අනුව මේ ප්‍රභේදය තරුණ ප්‍රජාවට ආසානය වීමේ හැකියාව වැඩි බව පෙනෙන්නට ද තිබෙනවා. එහෙත් මෙම මතය දෙස බැලිය යුත්තේ වඩාත් සැලකිලිමත්ව ය. මන්ද මෙම ප්‍රභේදය මුලින්ම හඳුනාගත් එංගලන්තය වැනි රටවල තරුණ ප්‍රජාව බොහෝ විට කොවිඩ් අවදානම නොතකා මූලික සෞඛ්‍යාරක්ෂණ පිළිවෙත්වලින් බැහැර වී සිට ඇත.
එංගලන්තයේ, විශේෂයෙන්ම ලන්ඩන් නුවර ජනතාව හැසිරී ඇත්තේ සමාජ දුරස්ථ භාවය රඳවා ගැනීම, මුව ආවරණ පැළැඳීම, නිතර සබන් හෝ විශබීජනාශක යොදා දෑත් පිරිසිඳු කිරීම වැනි කොවිඩ් පරදවන සෞඛ්යාරක්ෂිත ක්‍රම අනුගමනය කිරීමකින් තොරව ය. එබැවින් මේ වෛරසය සැබැවින් ම තරුණ ප්‍රජාවට බෝවීමේ සීඝ්‍රතාව වැඩිද? නැතහොත් ඔවුන් සෞඛ්යාරක්ෂිත ක්‍රමවේද නොපිළිපැදීම හේතුවෙන් වැඩියෙන් ආසාදනය වූවාද? යන වග නිශ්චිත ව කිව නොහැකියි. කෙසේ වෙතත් කොවිඩ් – 19හි විශේෂ කරුණක් වන්නේ Super Spreaders (වැඩිපුර බෝකිරීමේ හැකියාව ඇති පුද්ගලයින්) මඟින් බෝවීම ය. එනම් යම්කිසි පුද්ගලයින්ට වැඩිපුර බෝ කිරීමේ හැකියාවක් ඇත.
අප නියමාකාරයෙන් කොවිඩ්- 19 පැරදවීමට අදාළ සෞඛ්යාරක්ෂිත ක්‍රමවේදයන් නොකඩවා අනුගමනය කරන්නේ නම් එම වෛරසයේ ප්‍රභේදය වෙනස්වීම සම්බන්ධයෙන් බිය විය යුතු නැත. වසරකට ආසන්න කාලයක් පුරා ලෝකය මෙම වෛරසය සම්බන්ධයෙන් විවිධාකාර පර්යේෂණ සිදුකොට තිබේ. එසේ ම විවිධ ඖෂධ සහ එන්නත් සොයාගෙන ඇති අතර මේ මොහොත වන විටත් එවැනි දේ අත්හදා බලමින් සිටී. එසේ වුවද මේ දක්වා කොවිඩ් -19 වෙනුවෙන් බටහිර වෛද්‍ය විද්‍යාවේ ප්‍රතිකාරයක් ලෙස කිසිඳු ඔසුවක් නැත. කෙසේ වෙතත් රෝගය පාලනය කිරීමටත් මරණ අනුපාතය අවම කිරීමටත් ලොව පුරා විවිධ ඔසු භාවිත කරන බව නම් සත්‍යයකි.
මෙම වෛරසයේ ප්‍රභේදය වෙනස් වීම සම්බන්ධයෙන් පර්යේෂණ සිදු කිරීම වැදගත් වන්නේ ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් අවශ්‍ය කටයුතු යෙදීම සඳහා ය. එනමුත් සෞඛ්‍ය අංශ මඟින් ලබාදී ඇති මාර්ගෝපදේශන නිවැරදිව අනුගමනය කරන්නේ නම් මේ පිළිබඳ අනියත බියක් ඇතිකර ගත යුතු නැති වග ජනතාව මැනවින් අවබෝධකොට ගත යුතු ය.
මෙම නව ප්‍රභේදය අවදානම අවම කරගැනීමෙහිලා මූලික පියවරක් වශයෙන් දැනට මෙම ප්‍රභේදය ප්‍රධාන වශයෙන් හමුවන එංගලන්තයෙන් ශ්‍රී ලංකාව වෙත එන ගුවන් ගමන් නවතා තිබේ. එය ප්රශස්ත තීරණයක් ලෙස සැලකිය හැක්කේ මෙම ප්‍රභේදය පිළිබඳ අපට නිවැරදි අවබෝධයක් ලැබෙන තුරු, එය ශ්‍රී ලංකාවට ඇතුළුවීමේ හැකියාව මෙමගින් යම් පමණකට අවම කරගත හැකි බැවිනි. දැනට මෙම ප්‍රභේදය ශ්‍රී ලංකාව තුළ හමු නොවන බැවින් එය මෙරට තුළ පැතිර යා හැක්කේ පිටරටකින් මෙරටට ඇතුළු වුවහොත් පමණි.
දැනටත් විදේශවල සිට පැමිණෙන්නන් පී සී ආර් පරීක්ෂණවලට භාජනය කිරීමේ සහ නිරෝධායනය කිරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක ය. වඩා සාර්ථක ප්‍රතිඵල උදෙසා එම වැඩපිළිවෙල නිවැරදිව, ක්‍රමවත්ව සහ අඛණ්ඩව පවත්වාගත යුතු ය. එක අතෙකින් දූපතක් වීම තුළ ද රටක් ලෙස අපට මෙයින් ආරක්ෂා වීමට ඇති හැකියාව වැඩි ය.
පිටරටවලින් පැමිණෙන පුද්ගලයින් අදාළ පරීක්ෂණවලට සහ නිරෝධායන ක්‍රියාවලියට යොමුකොට ඉන් පසුව මුදාහැරීම අනිවාර්යයෙන් කළ යුත්තකි. කෙසේ වෙතත් මෙම නව ප්‍රභේදය හේතුවෙන් වැඩිපුර කාලයක් නිරෝධායනය වීමේ අවශ්‍යතාවක් ද නැත. ප්‍රභේදය කුමක් වුවත් මහජනතාව මනාකොට සිහි තබාගත යුත්තේ තවමත් කොවිඩ් අවදානම පහව ගොස් නැති වග ය. එබැවින් කොවිඩ් පැරදවීමට පෙන්වාදී ඇති සෞඛ්යාරක්ෂිත ක්‍රමවේදයන්ගෙන් කිසිසේත් ම බැහැර නොවිය යුතු ය.
ආචාර්ය චන්දිම ජීවන්දර, ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය, ප්‍රතිශක්ති විද්‍යා සහ අණුක ජීවවිද්‍යා දෙපාර්තමේන්තුව – අධ්යක්ෂ, අසාත්මිකතා, ප්‍රතිශක්ති විද්‍යා සහ සෛල ජීවවිද්‍යා අංශය, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය
කාංචනා සිරිවර්ධන - lanakepress