පොල්පිතිගම - කැකිරාව - කහටගොල්ලෑව - තැන් තුනක එකම හඬක්

පොල්පිතිගම - කැකිරාව - කහටගොල්ලෑව - තැන් තුනක එකම හඬක්

ගිනිකූටකේට පායන කාලයක අව් රස්නය වැඩියෙන් ම දැනෙන්නේ වියළි කලාපයේදී ය. රටේ තොටේ මිනිස්සු ජීවත් වන ආකාරයේ හැටි බලන්න මහ නගරවලටම කොටු නොවි ඈත ගම්දනව් කරා යන්න ඔ්න. ටීවී එකේ රේඩියෝවේ කතා නොකරන, මුහුණු පොතේ කොමේන්ටු නොදාන මේ රටේ ජීවිතවල ඇත්ත හඬ එහෙම යන එන ගමන්වලදී ඕනෑ තරම් අහන්න පුළුවන්. ඒ් හඬවල් ඉතා වැදගත් වන්නේ දේශපාලනික  හෝ වෙනත් කිසිම පෙළඹවිමකින් තොරව, කිසිම ලාභ අපේක්ෂාවක් නැතිව සිය ආත්මය අවදි කරවන ගැහැණු හා පිරිමි  ඒ් වගේ තැන්වලදි  ඕනෑ තරම් හමුවන නිසාය.

සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය රට වටා යමින් ජන ජීවිතයේ විවිධ පැතිකඩවල් සමඟ සංවාදයක් ආරම්භ  කරන ලද්දේ  ඒ් නිසාය. මේ රට අද තියෙන තැන හඳුනාගන්නට වගේම වැටී ඇති වලෙන් රට ගොඩට ගන්න ඇත්ත වුවමනාවක් ඇත්නම් මේ රට දේශපාලකයන්ට පෙර රටේ ජනතාවට සවන් දිය යුතුව තිබේ. සාධාරණ සමාජයක් අපේක්ෂා කරන සංවිධානයක් ලෙස අප ආරම්භ කළ ඒ් සැරිසැරිය මේ වන විට දිසා, පළාත් පසු  කරමින් දකුණේ හමබන්තොට සිට උතුරේ යාපනය දක්වාම යා කර තිබේ. වයඹ පළාතේ පොල්පිතිගම, රජරට අනුරාධපුරයේ දෙකෙළවරක් වන කැකිරාව හා කහටගොල්ලෑව එහි මෑතකාලීන නවාතැන් පොළවල් තුනකි. නගරය හෝ ගම කුමක් වුවද ඒ් සෑම තැනකදීම අප දුටුවේ ජීවත්වීම සඳහා අප්‍රතිහත ධෛර්යයෙන් යුතුව පොරබදන මිනිස් කැලකි. මේ රටේ පැවති හා පවතින ආණ්ඩු, ප්‍රාදේශීය පාලනයන් පමණක් නොව රාජ්‍ය නිලධාරින් පවා ඇති  කළ ආපදාවලින් ඕනෑවටත් වඩා බැට  කා ඇති ඔවුහු අද පතන්නේ අනාගත දරු පරම්පරාවට හෝ යහතින් ජීවත් විය හැකි රටකි.

පුරවැසි හඞ අවදි  කිරීම

රටේ පුරවැසියන් ලෙස ඔවුන් වෙතින් නැගෙන හඬ තුළ මතු වන සියුම් හා ක්ෂුද්‍ර කාරණා පිළිබඳව පවා සමස්ත සමාජයම අවධානයක් යොමු කළ යුතුව ඇත්තේ හෙට දවසේ හෝ දියුණු ජාතියක් ලෙස පියමන් කිරීම සඳහා අවැසි මඟ සළකුණු ඒ් තුළ අන්තර්ගත වන හෙයිනි. වයඹ පළාතේ පොල්පිතිගම ජීවත් වන ඒ. එම් ප්‍රේමරත්න මහතා, පුරවැසි හා නායකත්ව භුමිකා පිළිබඳව ඉදිරිපත් කළ මේ අදහස විමසා බලමින් අප ඔවුන්ගේ හඬට  සවන් දෙමු. ඔවුන් මෙම අදහස් පළ කළේ, පොල්පිතිගම පල්ලේකැලේ තුසිතාරාම විහාරස්ථානයේදී පැවති ප්‍රාදේශීය සම්මන්ත්‍රණයකදිය. පූජ්‍ය කොත්මලේ ධර්මප්‍රිය නායක මා හිමිපාණන් වහන්සේගේ අනුශාසකත්වයෙන් පැවති එකි සම්මන්ත්‍රණයේදී අදහස් දැක්වූ ප්‍රේමරත්න මහතා  “දැනට හැමෝම කියන කාරණයක් තමයි අවුරුදු හැත්තෑවක කතන්දරය ඒ කියන්නේ අවුරුදු හැත්තෑවක් තිස්සේ රට පාලනය කළ පාලකයින්ගේ හා ව්‍යවස්ථාවේ පවතින ගැටලු. මම ඒ අවුරුදු හැත්තෑවම ඒ ගොඩට දාලා විවේචනය කරන්න කැමති නෑ. මොකද මේ අවුරුදු හැත්තෑව තුළ අපි රටක් හා ජාතියක් හැටියට හොඳ දේවල් බොහෝ කරල තියෙනවා. ඒ වගේම තමයි අපිට කරගන්න හැකියාව තිබිලත් කරගන්න බැරි වෙච්ච දේවලුත් සෑහෙන්න තියෙනවා.ඒ දේවල් එහෙම වුණේ අපි අපිට නායකත්වය දෙන්න කියලා අපිම පත් කරපු නායකයන් බොහෝ දෙනෙකුට කිසිම දැක්මක් නොතිබුණ නිසා”

මෙච්චර ජල  සම්පතක් තියෙන රටක, තුන්සිය හැටපස් දවසෙම හොඳට ඉර එළිය තියෙන රටක ලාභදායක ලෙස විදුලි බලය ජනනය කරගන්න අපට බැරිවෙලා තියෙනවා. ඒ වගේම පාලකයෝ මිනිසුන්ගේ සිතුවිලි විකෘති කරමින් හෝ බලය ගන්න තමයි බොහෝ විට උත්සහ කරන්නෙ. කිසියම් කලකිරීමක් හඟවන ඔහුගේ මෙම විවේචනය අද වන විට සමස්ත පුරවැසියන්ගේ සිතුවිලිවල ඇති අපේක්ෂා භංගත්වය නියෝජනය කරනා ආකරයක් දැකිය හැකිය.

සාමාන්‍ය තත්ත්වයේ හරස් කැපුමක්

එමෙන්ම පොල්පිතිගම, පල්ලෙකැලේ ප්‍රදේශය‍ෙහි ඉඩම් හා ජල ගැටලු පිළිබඳ ගොවීන් ඉදිරිපත් කළ අදහස් පරිස්සමෙන් විමර්ශනය කර බැලීම වැදගත් වේ. ඒවා රටේ සාමාන්‍ය තත්ත්වයෙහි හරස් කැපුමක් ලෙසද ගත හැකි අතර ප්‍රදේශයට අනන්‍ය ලක්ෂණ ද ඒවායින් විද්‍යමාන වේ.

අප හා කළ කණ්ඩායම් සාකච්ඡාවකට සහභාගී වූ ප්‍රදේශවාසියෙකු වන එම්.ඩි. වික්‍රමසිංහ මහතා සඳහන් කළේ  “මේ රටේ පවතින විෂම ආර්ථික රටාවේ සාධාරණ බවක් නැති නිසයි මේ ප්‍රශ්න ඇති වුණේ. 71 කැරැල්ලෙදි තරුණයින් ආයුධ අතට ගත්තේ රැකියාවක් නැතිකමට ඒ අනුව හැත්තෑ එකෙන් පසු මේ පැත්තෙ ඉඩම් ජනතාවට දෙන්න ආණ්ඩුව තීරණ කළා.  මේ ප්‍රදේශ ජනාවාස වුණේ ඒ අනුවයි. ගස්ලබූ, තේක්ක වගේ දේවල් වගා කළේ. ඒ කාලේ ඒ දේ කරෙත්  විධිමත් සැලසුමටකට නෙවෙයි”

ඔහු පෙන්වා දෙන්නේ දශක පහකට ඉහත දී මේ බිම් ජනවාස වන්නට මුල් වූ කරුණු ය.  දේශපාලන සබඳතා මත ඉඩම් අත්පත් කර ගැනීම් සිදූ වූ බවත් ඉන් නිර්මාණය වූ අක්‍රමවත් තත්ත්වය හේතුවෙන් මතු වූ ගැටලුවලට පරම්පරා දෙකකට පසුව පවා අද ඔවුන් මුහුණ දෙමින් සිටින බව වික්‍රමසිංහ මහතා අප හා පෙන්වා දුන්නේය.

පොල්පිතිගම ඇතුළු තදාසන්න ප්‍රදේශ දැනට මුහුණ දෙන ගොවි ගැටලු ගණනාවකට විසඳුම් සෙවීම සඳහා පිළියම ලෙස යෝජනා වී තිබුණේ වයඹ ඇල වාරි ව්‍යාපෘතියයි. එහි ඉදිකිරීම්වල ආරම්භක අදියර පමණක් නිමා වී ඇති අතර ජනතාවගේ අපේක්ෂා සුන් කරමින් සෙසු ඉදිකිරීම්  අද වන විට නවතා දමා ඇත. අප මේ සම්බන්ධයෙන් විමසා බැලීමේදී දැනගන්නට ලැබුණේ දෙවසරකට ඉහත උද්ගත වූ ආර්ථික අර්බුදය නිසා ඉදිකිරීම් කරමින් සිටි චීන සමාගම ඉවත් ව යාමත් සමග ඇලෙහි සෙසු අදියර නිර්මාණය කිරීම අඩාල වූ බවයි. කෙසේ වෙතත්, වයඹ ඇල සම්බන්ධ කාරණයේදී පොල්පිතිගම ජනයා වඩා ගැඹුරු සංවාදයකට පෙළඹෙන අන්දම අපට දැක ගැනීමට අවස්ථාව  ලැබුණි. ඊට හේතුව එවැනි ගැටලුවක් තමන්ට වඩා තීව්‍රරව සංවේදනය වන හෙයින් එවැන්නක් පිළිබඳ කතා කිරීමට ඔවුන් තුළ ඇති සහජ නැමියාවයි. ගමෙහි ගොවි සමිතියේ නායකයෙකු වන ගුණතිලක මහතාගේ ආරම්භය සමග ඔවුන්ගේ ඒ සංවාදය ඇදී ගියේ මෙසේ ය.    

වයඹ ඇළ සිහින වැනසූ හැටි

“ඉතාම මෑතකදි වයඹ ඇළ ව්‍යාපෘතිය තුළ මහා විශාල ගස් තියෙන අක්කර 800ක් විනාශ වුණා. ඒ පැත්තට ගම්මුන්ට යන්න දුන්නේ නෑ. හමුදා ආරක්ෂාව ඇතුවයි ඒ තුළ කටයුතු කළේ. දවසක් ඉරුදෙනිය ප්‍රදේශයේ ලොරියක් එරිලා තිබුණා. එහිදී අපි දැක්කා ඒක  කළුවර දැව පැටවූ ලොරියක් කියලා. මේ විශාල ගස් කැපුවේ ඒ තුළ තිබෙන මහ වැව බැඳලා එහා පැත්තට වතුර දෙන්නම් කියලා. නමුත් අද වෙද්දි ඒ දේ වෙලා නෑ. මහා කුඹුක් ගස්, කළුවර ගස් තිබුණු ඒ කැලේ දැන්  තියෙන්නේ වරා කැප්පෙටියා වගේ ගස් වැවිලා”

ගුණතිලක මහතා ඉදිරිපත් කළ අදහස් වලට එකඟ වෙමින් තවත් ගම්වැසියෙකු වන කරුණාදාස මහතා පැවසුවේ “වයඹ ඇළ ව්‍යාපෘතියේ දී සිද්ධ වුණේ ඒ කැලේ කපලා  ගෙනියන්න පුළුවන් ගස් ටික අරන් ගිය එක විතරයි. අන්තිමට කැලෙත් නෑ වැවත් නෑ අපට ඉතුරු වුණේ වන අලි ගම් වදින එක විතරයි” යනුවෙනි.

ගම්වැසියෙකු වන ඩි.ආර්.එස්. ජානක මහතාට අනුව, “අපේ රටේ සංවර්ධනයේදී ඇත්තටම සිද්ධ වෙන්නේ අපෙ  සමාජයට අවශ්‍ය දේවල් නෙවෙයි. උදාහරණයක් විදිහට කිව්වොත් කෝටි පහක් හයක් වියදම් කරලා  සමහර පාසැල්වල සම්මන්ත්‍රණ ශාලා හදල තියෙනවා, නමුත් ඒ පාසලේ ඊට වඩා අවශ්‍යතා රැසක් තියෙන්න පුළුවන්. ඒ කෝටි පහ හය  ව්‍යාපෘතියේ ඉදිරිපත් කරන්නේ අත යට මුදලක් තව කාට හරි තියාගෙන. දූෂණ කටයුතු තමයි බොහෝවිට සිද්ධ වෙන්නේ. ඒ නිසා මම යෝජනා කරන්නේ සංවර්ධන ව්‍යාපෘතියට පෙර පහළින් අදහස් අරගෙන ඒවා සංවර්ධනය කරලා විශ්ලේෂණය කරලා අවශ්‍ය දේ පමණක්  කල යුතුව ඇති බවයි. මේ ප්‍රදේශයේ කජු වගාව පිහිටෙව්වා. පැළ බෙදලා දීලා. මිනිස්සු ඒවා වගා කළා. නමුත් ඒවායේ ඉදිරි ක්‍රියාමාර්ගයක් සැලසුම් කළේ නෑ. මේ කජු අස්වැන්න අරන් මොනවද කරන්නේ කියලා හිතුවෙ නෑ. ඒවා පිටරට යවන්න හැදුවා නම් මුදලක් ලැබෙනවා අපේ මිනිස්සුන්ට, තවත් අතුරු රැකියා ලැබෙනවා. ඒ වගේ අපේ තිබෙන සම්පත් හඳුනාගෙන ඒවා දියුණු කරනවා නම් තමයි වටින්නේ”

රාජ්‍ය සේවය කොයිබටද ?

වයඹ ඇළෙන් නොනැවතී ඇදී ගිය ඔවුන්ගේ සංවාදයේ දී මෙරට රාජ්‍ය සේවය ද විවේචනය විය. නමුත් වැදගත්ම කරුණ වන්නේ පිළියම් සෙවීම සඳහා කළ යුත්තේ කුමක්ද යන පොදු ජන ප්‍රතිචාරයයි. සමස්ත ජාතික රාජ්‍යයම කුණු වී දුගඳ හමමින් ඇති අවස්ථාවක එක් එක් අංශය පමණක් තනි තනිව ගෙන පිරිසිදු කළ නොහැකි බව ඔවුහු පෙන්වා දුන්හ. එය අලුත් රටක් නිර්මාණය කරගත යුතු තත්ත්වයකි. එහෙත් අලුත් රටක් යන්න ඉබේ මැවෙන්නක් නොවේ. පුරවැසියන්ද, මහජන නියෝජිතයින්ද, විශේෂඥ මට්ටමේ දැනුමැති නිලධාරි තන්ත්‍රයද ඒ සඳහා ඒකාබද්ධ ප්‍රවේශයකට ආ යුතුය.

උතුරුමැද පළාතේ කැකිරාවේදී මෙවැනිම අදහස් පළකල පිරිස්  ඒ තුළ ද සමස්ත ජාතියේ පොදු අභිලාෂය තහවුරු කිරීම විශේෂත්වයකි. එම මහජන හමුව පවත්වන ලද්දේ කැකිරාව, සූරියගම සුමංගලාරාම විහාරස්ථානයේදීය. එම විහාරාධිපති කොස්හින්නේ රතනජෝති හිමිපාණන් වහන්සේගේ ආශීර්වාදය ඇතිව පවත්වන ලද එම සංවාදය ද උණුසුම් හා බෙහෙවින් සිත් ගන්නා සුලු අදහස් ඉදිරිපත් වූවකි. දරුවන් දෙදෙනෙකුගේ මවක වූ, දිල්හානි මහත්මිය එහිදී අදහස් දක්වමින් කියා සිටියේ “අපි දරුවෙක් පාසලට ඇතුළත් කළාම  ගුරුවරු කියනවා අදාළ විෂය නිර්දේශය ආවරණය කරනවා කියලා. නමුත් විභාගයට මුහුණ දෙන්න ගියාම දරුවන්ට ප්‍රශ්න තියෙනවා. අදාළ කාරණා දන්නේ නෑ, උගන්වලා නෑ කියලා කියනවා. ඒ නිසාම දරුවා ටියුෂන් එකකට යොමු කළාම ටියුෂන් ගුරුවරයා සියලු විෂය කරුණු  ආවරණය කරනවා. ටියුෂන් යවන්න  වුණත් අපහසුතා තියෙනවා අපිට. අපි හැමදේම කරන්නේ දරුවන්ට හොඳ අධ්‍යාපනයක් දෙන්න නමුත් ලයිට් බිල්, වතුර බිල්, බඩු මිල එක්ක මේ හැමදේම එක්ක අපි හොයාගන්න වැටුප ප්‍රමාණවත් නෑ දරුවා ටියුෂන් යවන්නත්.”

අධ්‍යාපනයේ සැබෑ ඛේදවාචකය

මේ අනාවරණය වන්නේ අපේ අධ්‍යාපනයේ ඛේදවාචකයයි. මේ තුළ නිදහස් අධ්‍යාපනයේ සැබෑ අර්ථය මෙයදැයි ජනයා ප්‍රශ්න නගමින් සිටී. නිදහස් අධ්‍යාපනය හා නොමිලයේ අධ්‍යාපනය වරදවා වටහා ගනිමින් සිටින ඇතැම් අධ්‍යාපනඥයින් පවා දක්නට ලැබේ. නොමිලයේ දෙන නිසා ගුණාත්මක බව පිළිබඳ කල්පනා නොකරන ඇතැම් ගුරු භවතුන් තමන්ගේම ටියුෂන් පංතියේදී විෂය මනාව උගන්වන බව ජනතාවගේ චෝදනාවයි. කාරණය සත්‍යයක් නම් එවැන්නක් ප්‍රතිසංස්කරණය වීම වහා සිදු විය යුතු නොවේද?

කැකිරාවේදී අපට හමු වූ තවත් කාන්තාවක වන ලිලී මහත්මිය සිය අදහස් හරහා ප්‍රකාශ කර සිටියේ “රැකියා ප්‍රශ්න තියෙනවා රැකියාවක් ගන්න උපාධියක්ම ඉල්ලනවා. උපාධියක් නැතිනම් රැකියාවක් දෙන්නේ නෑ. ඉතින් රැකියාවක් ගන්න උපාධියක්ම ඕනෙද? අට පාස් අයට, සාමාන්‍ය පෙළ පාස් අයට සහ උසස් පෙළ පාස් අයට දෙන්න රැකියා තියෙනවා. නමුත් රැකියා දෙන්නේ නෑ.”

මෙහි රැකියා ලබා දීම පිළිබඳ කාරණය පමණක් නොව සැඟව ඇති තවත් කාරණයක්ද විද්‍යමාන වේ. එනම් වෘත්තීන් ඉලක්ක කර ගනිමින් විෂයමාලා සංවර්ධනය නොවීමයි. ප්‍රශ්නය එවැනි ප්‍රතිසංස්කරණවලට අප සූදානම්ද යන්න සහ එවැන්නකදී වෘත්තීය සමිති ඇතුළු  අංශවලින් පවා එල්ල වන ප්‍රතිරෝධය හමුවේ ප්‍රතිසංස්කරණවලට ඉදිරියට යා හැකිද යන්නයි.

මවක් ලෙස තමන්ට දැනෙන ඇත්ත ප්‍රකාශ කරන බව පවසමින් සාරදා ප්‍රනාන්දු  මහත්මිය එම සංවාදයේදී ප්‍රකාශ කළේ “අධ්‍යාපන රටාව තුළ සල්ලි තියෙන පවුල්වල දරුවෝ උසස් පෙළ අසමත් වුණත් ප්‍රයිවට් කැම්පස් එකකට ගිහිල්ලා අවුරුදු තුනෙන් උපාධිය ගන්නවා. නමුත් දුප්පත් පවුල්වල දරුවෝ උසස් පෙළට ඒ. බී සාමාර්ථ අරගෙනත්  අවුරුද්දක් ගෙදරත්  ඉඳලා රජයේ  කැම්පස් එකකට ගිහිල්ලා ඒවා ඉවර කරලා රැකියාවක් අරන් විවාහයක් කර කරගනිද්දි  අවුරුදු 35වත් වෙනවා. එතකොට වයස ගිහින්. දරුවෝ හදන්න බෑ. ජීවිතයකුත් නැහැ. තවත් කාරණයක් තමයි මේ ගම්වලට පත් කරන සමෘද්ධි නිලධාරී, සංවර්ධන නිලධාරී අවම ගමෙන් දුරකට යොදවන්න ඕනේ. ගමේම අය පත් කරාම හිතවත්කම් වලට ඇඳුරුම්කම්වලට පවුලේ අයට තමයි හැමදේම කරන්නේ”

ඉන් අනතුරුව පැවැත්වූ සංවාදයේදී  ලාලනි අහපු ප්‍රශ්නය කැබිතිගොල්ලෑවේ ම  ප්‍රශ්නයකි.

“කැබිතිගොල්ලෑව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ කහටගොල්ලෑව තුලානය කියන්නේ ආණ්ඩුවේ සේවකයෝ බොහෝ දෙනෙක් ඉන්න ප්‍රදේශයක් නෙවෙයි. ගොවින් තමයි ඉන්නේ. ඒ් අතරේ වැඩිම පිරිස හේන් ගොවීන්. ඒ්  මිනිස්සු තමන්ගේ ජීවිතය ගැටගසා ගන්නේ ඒ්කෙන් ලැබෙන අස්වැන්නෙන්. හේනක් කරන්න වුණත් කැලයක් කපන එක හොඳ දෙයක් නොවන බව ඇත්ත. නමුත් අලි කොටි ඉන්න මහා වනාන්තරේ අක්කර ගණන් කපලා කාන්තාර වෙන්න දීලා ලොකු ලොක්කෝ බලන් ඉන්න රටක, ගමක මනුස්සයෙක් තම  දරු පවුල ජිවත් කරන්න හේනක් කොටාගන්න ලඳු කැළයක් හෙළි කරන එකත් මහා වරදක්ද?”

කැබිතිගොල්ලෑවෙන්  ප්‍රශ්නයක්

ඒ් කහටගොල්ලෑවේ ජීවත්වන සමස්ත කාන්තාවන් පාහේ අපෙන් අහපු ප්‍රශ්නයකි. ඒ් ප්‍රශ්නය ඉදිරිපත් වුණේ කහටගොල්ලෑව ධම්මවිජයාරාම විහාරස්ථානයේ දී පැවති ප්‍රාදේශීය රැස්විමකදී ය. පමුණුවේ විමලකිත්ති  හිමිපානන් වහන්සේගේ අනුශාසකත්වය ඇතිව එකි විහාරස්ථානයේ දි පැවති එම හමුවේදි ලාලනි අපට ඒ් ගැන තවදුරටත් පැහැදිලි කළාය.

“හේන් ගොවිතැන අවුරුද්ද පුරාම කරන දෙයක් නෙවෙයි. එක කන්නයයි කරන්නේ. හැම අවුරුද්දකම අලුත් වනාන්තර එළි කිරීමක් දැන් කරන්නේ නෑ. ඒ් නිසා තව තව කැලෑ හෙලිවීම් දැන් වෙන්නේ නෑ.එකම බිම අවුරුද්දේ එකවාරයක් එළි කරනවා. ඒ් හේන වගා නොකරන කාලයට ගඩොල් ටිකක් කපලා, වැලි ටිකක් ගොඩදාලා මිනිස්සු තමන්ගේ ජීවිතය ගැටගහ ගන්න බලනවා. මේ ගම්වල මිනිස්සු වෙන මොනවා කරන්නද?  අපි අවුරුදු පහළොවක් වගා කරපු හේනේ ගිය අවුරුද්දේ වගාව දැම්මා කියලා වන රක්ෂණ  නිළධාරින් ඇවිත් දඩ ගැහුවා. ඒ් දඩය ගැහුවේ හේන එළි කරන වෙලාවේ නෙවෙයි. බීජ හිටවන කාලේත් නෙවෙයි. වගා කරපු බීජ හොඳට හැඳිලා අස්වැන්න නෙලද්දි තමයි වන රක්ෂණ නිලධාරින් ඇවිත් දඩ ගැහුවේ. ඒ් අයට අපි වගා කරපු ඉඩම එතකම් පෙනුනේ නැද්ද? අද වෙනකොට ඒ් ඉඩම ඇතුල් කරලා රක්ෂිතයේ කණු දාලා. ඒ් නිසා පහුගිය කන්නයේ අපිට ඒ් ඉඩම වගා කරන්න බැරි වුණා. අද වෙනකොට අ‌පේ ගෙවල්වල ආර්ථික ප්‍රශ්න. මෙතන ඉන්න හැම කෙනාටම කුඹුරු නෑ. හේනක් කරලා තමයි ජීවත්වෙන්නේ. දැන් ඒ් ජීවිතවලට මොකද වෙන්නේ?”

ලාලනි අහපු ඒ් ප්‍රශ්නයේ බරපතළකම එම සභාවේ සිටි එම්. ජයවර්ධන  මහතා අවධාරණය කළේ මෙසේය. 

“අපි ගොවිතැන් තමයි කරන්නේ. ඒකෙන් කිසිම ප්‍රතිඵලයක් නෑ. මහන්සිවෙලා අලිත් එක්ක සටන් කරලා ගොවිතැන් කරලා ගන්න අස්වැන්න ටික අපෙන් ගන්නේ තුට්ටු දෙකට. කුලී වැඩක් කරලා හොයාගන්න මුදල අරන් කඩයකට ගියාම ඒ මුදලට ගන්න දෙයක් නෑ. එදා වේල කන්න වුවමනා බඩු ටිකවත් ඒ මුදලට ගන්න බෑ. බඩු මිල ඒ තරමට ඉහළයි.  දැන් අපේ ඉඩම්වලට ගල් කණු දාලා රක්ෂිත කරලා තියෙන්නේ. අවුරුදු ගාණක් අපි හේන් ගොවිතැන් කරගෙන ආපු මිනිස්සු ඒ ඉඩම්වලට රක්ෂිත කණු දාලා ඒවා රක්ෂිත කරලා  තියෙන නිසා අපිට හේන් ගොවිතැන් කරගන්න ඉඩම් නෑ. ඒ ගැන අදාළ බලධාරීන්ට කිව්වත් වැඩක් නෑ. ඒක රජයෙන් ආපු නියෝගයක් නිසා වෙනස් කරන්න බෑ කියනවා. නමුත් සල්ලි දෙන්න තිබුණා නම්  ඒ විදිහට ගල් කණු දාලා රක්ෂිතයට පවරන එක නවත්තගන්න තිබුණා. මගේ වත්ත පහළ කොටසේ තමයි මම අවුරුදු ගාණක් කුරක්කන් හේන කලේ. දැන් ඒක රක්ෂිත කරලා. ඒ මදිවට මගේ ඉඩමෙනුත් අක්කර තුන්කාලක් රක්ෂිතයට පවරගෙන. ඔප්පු පෙන්නුවත් වැඩක් නෑ. හේන් කරන ඉඩම් වලට ඔප්පු නෑ. නමුත් වත්තේ ඉඩමට ඔප්පුව තියෙනවා. ඒ ඔප්පුව තියෙන ඉඩමෙනුත් තමයි අක්කර තුන්කාලක් රක්ෂිතයට අරන් තියෙන්නේ”

හේන් ගොවීන්ට නිමක් නැති ගැටලු

ඒ් ගැටලුවම වෙනත් ආකාරයකට ඉන්දික මහතා පැහැදිලි කළා. “අපි හැම කන්නෙම හේන් ගොවිතැන් තමයි කරන්නේ. පළවෙනි කන්නය කපලා ගත්තම ඊළඟ කන්නය කරනකම් කැලෑව. ඉතින් ඒ කාලේ ඇතුලතදී ඇවිත් තමයි මේ රක්ෂිත කණු දාලා යන්නේ. ඒ වගේම මේ පැත්තට පත්වෙලා යන ගොඩක් නිලධාරීන් වැඩ කරන හැටි ගමේ මිනිස්සුන්ගෙන් ඇහුවොත් කියාවී. සමහර ඉඩම්වලට මුලින් කණු දාලා තිබුණත් පස්සේ ඒ්වා ඉවත් කරගෙන. සමහරුන්ට අදාළව පමණක් එහෙම වෙන්නේ කොහොමද? මේ වගේ දේවල් නිසා තමයි රට බංකොලොත් වෙන්නේ. මේ දේවල් ගැන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට හෝ ගොවි ජන සේවාවට පැමිණිලි කළත් වැඩක් නෑ. කිසිම ආකාරයකින් ඒ අය ක්‍රියාත්මක වෙන්නේ නෑ”

එහි දි ඒ් ගැන තවත්  කරුණු එක් කළ රණසිංහ මහතා සඳහන් කළේ  “පාරම්පරිකව  වගා කරගෙන ආපු ඉඩම් පවා රක්ෂිත කරලා. 2006 අවුරුද්දේ මම වගා කරපු ඉඩමකට රක්ෂිත කණු දාන්න ආවා. මං කිව්වා කණු දාන්න එපා මේක අපි වගා කරන ඉඩම කියලා. ඒගොල්ලෝ කණු නොදා ඉන්න ක්‍රමයක් මට යෝජනා කලා. මම එතකොට කිව්වා මට එහෙම සල්ලි තියෙනවනම් මම අලිත් එක්ක සටන් කරලා මෙහෙම ගොවිතැන් කරන්නේ නෑ කියලා.  ඊට පස්සේ නිලධාරීන් කණු දැම්මා නමුත් එයාලා මට කිව්වා මේ කොටස ස්ථිර බෝග වගා නොකර ගොවිතැන් කටයුතු කරන්න කියලා. ඉතින් මං ඒ විදිහට 2022 අවුරුද්ද වෙනකම් ඉඩම වගා කරගෙන ආවා.  ඒ ඉඩමේ සෑම අවුරුද්දකම බඩ ඉරිඟු කිලෝ විස්සක් විසිපහක් වගා කරනවා 2022 ඒ ඉඩම රක්ෂිත කණුදාලා රක්ෂිතයට පවරා  ගත්තට පස්සේ ඉඩම අත්හරින්න මට සිද්ධ වුණා. ඉතින් මගේ ආර්ථිකය නැවතුනා”

ප්‍රධාන ප්‍රශ්නයේ අතුරු ප්‍රශ්න

මේ හැම තැනකදිම, හැම ගමකදීම ජනතාව මතු කළ ප්‍රශ්න රටක් ලෙස අප මුහුණ දෙන ප්‍රධාන ප්‍රශ්නයේ අතුරු ප්‍රශ්නය. යහපත් ආණ්ඩුකරණයක් නොමැති රටක මෙවැනි ප්‍රශ්න මතුවීම නොවැළැක්විය හැකිය. රටක් ලෙස අප මුහුණ දෙන සකලවිධ ප්‍රශ්නයන්හි මූලය ඇත්තේ එතැනය. එක් පුද්ගල බලකේන්ද්‍රයකට අත්තනෝමතික බලයක් පවරා දී ඒ් වටා ජාලගත වන දූෂණයට පරිසරයද සකස් කොට එමෙන්ම ඒ් සඳහාම සුදානම්ව සිටින රාජ්‍ය සේවයක් නඩත්තතු  කිරිම වැනි අටෝරාශියක් හේතු ඒ් තුළ හඳුනා ගත හැකිය. මේ රට වඩා යහපත් රටක් බවට පත් කර ගැනීමට නම් අප පැහැදිලි ක්‍රම වෙනසකට යොමු විය යුතුව ඇත. ඒ් සඳහා අප සමත් වන්නේද නැද්ද යන්න මත මේ රටේ අනාගත ස්වභාවය ද තීන්දු වනු ඇත.

| ලසන්ත ද සිල්වා / නිර්මලා දිසානායක