කිසියම් වෘත්තියක් නිර්මාණය වන්නේ, සමාජයේ පවතින යම් අවශ්‍යතාවක් පදනම් කර ගෙනය.
එහෙත් දහස් සංඛ්‍යාත පිරිසකට සේවය සැලසුවද මේ රැකියාවේ නියැලෙන්නියන්ට කටක් ඇර තමන් නියැලෙන රැකියාව ගැන කියන්නට හැකි පසුබිමක් මේ රට තුළ නැත. සමාජයෙන් වසන් වී, සමාජයේ අවශ්‍යතාවක් ඉටු කරන ඔවුන්, රට පුරා පවත්වා ගෙන යන සම්බාහන ආයතනවල නැතිනම් 'ස්පා' ආයතනවල සේවයේ යෙදෙන තෙරපිවරියන්ය.
සම්බාහන ආයතනයකට ගොස් සේවාවක් ලබා ගන්නට යන අයෙකුට මුණ ගැසෙන්නේ නවීන මාදිලියේ ඇඳුම් පැලඳුම්වලින් සැරසුණු මනා රූ සපුවකින් යුත් සුන්දර ආකර්ෂණීය සිනාවෙන් මුව සරසා ගත් කාන්තාවන්ය. පෙනුම - දැක්ම එසේ වුවත් ඔවුන්ගේ ජීවිත තුළට එබී බලද්දී අපට දැනෙන්නේ ශෝකාලාපයකි.
මොකක්ද මේ සම්බාහනය?
| සම්බාහනය කියන්නෙ ආයුර්වේද ප්‍රතිකාරයක්
"සම්බාහනය කියන්නෙ ආයුර්වේද ප්‍රතිකාරයක්. විශේෂයෙන් පංචකර්ම ප්‍රතිකාරයට රෝගියෙකු යොමු කරන්නට පෙරත්, ඇතැම් රෝග තත්ත්වවලදීත් රෝගියා සම්බාහනයට ලක් කරනවා. සම්බාහනය කිරීම සෞඛ්‍ය තත්ත්වය යහපත්ව පවත්වා ගෙන යෑමට පිටුවහලක් වෙනවා."
ආයුර්වේද කොමසාරිස්වරයෙකු වන ඩී.ඒ.එච්.ඒ.බී. තරංග මහතා, සම්බාහනයේ පිළිගත් අරුත එසේ පැහැදිලි කළේය.
ඔහු පවසන විදිහට ආයුර්වේද දෙපාර්තමේන්තුවේ ශිල්පීය අංශයේ ලියාපදිංචි කළ ස්පා නැතිනම් සම්බාහන ආයතන තිබෙන්නේ සංචාරක මණ්ඩලයේ ලියාපදිංචි හෝටල්වල පමණකි. ආයුර්වේද වෛද්‍යවරයකු ලෙස ලියාපදිංචි වෛද්‍යවරුන්ට අමුතුවෙන් සම්බාහන ආයතනයක් ලියාපදිංචි කළ යුතු නැති අතර ඒ සඳහා ඔවුන්ගේ ලියාපදිංචිය ප්රමාණවත්ය.
| සම්බාහන ආයතනවල සේවය කරන තෙරපිවරියන්ට ප්‍රසිද්ධියේ තම වෘත්තිය ගැන සඳහන් කිරීමට නොහැකි වී ඇත්තේ මේ ලියාපදිංචිය පිළිබඳ ගැටලුවක් නිසා නොවේ.
එසේ ආයුර්වේද දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි නොවුණ සම්බාහන ආයතන ඇත්නම් ඒවා සියල්ලම ව්‍යාපාර ලෙස පළාත් පාලන ආයතනවල හෝ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ලියාපදිංචි වූ ඒවාය. එහෙත්, සම්බාහන ආයතනවල සේවය කරන තෙරපිවරියන්ට ප්‍රසිද්ධියේ තම වෘත්තිය ගැන සඳහන් කිරීමට නොහැකි වී ඇත්තේ මේ ලියාපදිංචිය පිළිබඳ ගැටලුවක් නිසා නොවේ. එයට හේතුව එම වෘත්තිය හා එහි නිරතවන්නන් සම්බන්ධයෙන් සමාජය දක්වන ආකල්පයයි. ඔවුන්ගේ සේවාව ලබා ගන්නා අය වුණත් සේවය ලබා ගන්නා මොහොතේදී ලබා දෙන සැලකිල්ල පිටස්තර සමාජයේදී ඔවුන්ට දීමට කැමැත්තක් නැත.
| වෘත්තීය අයිතිවාසිකම් කිසිවක් නොලබන ඔවුහු දැඩි ශ්‍රම සූරාකෑමකට ලක් වෙති.
සම්බාහන ආයතනවලට ගොස් සේවය ලබා ගන්නා අවිවාහක තරුණයින් කීප දෙනෙකුගෙන් එවැන්නියක් විවාහ කරගන්නට කැමතිද යන ප්රශ්නය ඇසූ විට මුලින්ම ඔවුන්ගේ මූණු ඇඹුල් විය. ඉන් පසුව ඔවුන් පිළිතුරු දුන්නේ 'අපෝ නැහැ.' යනුවෙනි. ඉතින් මේවායේ සේවයේ යෙදෙන කාන්තාවන්ට තමන්ගේ රැකියාව ගැන කටක් ඇර කියන්නට බැරි වීම අරුමයක්ද?
මෙම තත්ත්වය නිසා ඔවුන්ට අහිමි වන්නේ සමාජ පිළිගැනීම පමණක් නොවේ. සෙසු වෘත්තීන්ට හිමිවන ආකාරයේ වෘත්තීය අයිතිවාසිකම් කිසිවක් නොලබන ඔවුහු දැඩි ශ්‍රම සූරාකෑමකට ලක් වෙති. එහෙත් ඔවුන්ට නීතියේ හෝ පිළිසරණක් නොලැබේ. සම්බාහන ආයතනවල තෙරපිවරියන් ලෙස සේවය කරන කිහිපදෙනෙකුගේ අත්දැකීම්, මෙම තත්ත්වය අවබෝධ කර ගැනීම සඳහා වැදගත් වේ.
තෙරපිවරියන්ගේ අත්දැකීම්
| ''ගාමන්ට් පඩියට වඩා ලොකු පඩියක් ලැබෙනවා.'' ඇය පැවසුවා. ඒ කොයිතරම්දැයි ඇසූ විට ඇය පැවසුවේ 'ඒ වාගේ හතර ගුණයක් විතර' ලැබෙන බවයි.
අපි ඇයට මිථිලා කියමු. ඇය අනුරාධපුරයේ ස්පා ආයතනයක වැඩ කරන තෙරපිවරියක්. වයඹ පළාතේ දුෂ්කර ප්‍රදේශයක, දුප්පත් පවුල් පසුබිමක උපන් ඇය, තිස් හැවිරිදි අවිවාහක තරුණියක්. සිය මිතුරියකගෙ මාර්ගයෙන් සොයාගත් මේ රැකියාවෙහි ඇය වසර 6ක් තිස්සේ නිරත වෙනවා. ඇයට සම්බාහනය සම්බන්ධයෙන් කිසිදු පුරුද්දක් නැහැ. මෙය ඇයගෙ ප්‍රථම සේවා ස්ථානයයි. වැටුප් ලැබෙන්නේ වැඩ කළ ප්‍රමාණය නිසා, නිවාඩු තිබුණත් ඇය ගෙදර යන්නේ මාසෙකට එක් වතාවයි. ඇයට එක් සේවා දායකයෙකු වෙනුවෙන් රුපියල් එක්දාස් පන්සීයක් ලැබෙනවා. එයට අමතරව සන්තෝෂමුත් ලැබෙන නිසා සමහර මාසවල රුපියල් ලක්ෂයකට වැඩියෙන් උපයන්න පුළුවන් බවයි ඇය කියන්නේ.
මහනුවරදී අපට මුණ ගැසුණු මංගලිකා, කෑගල්ල දිස්ත්‍රික්කයේ කෙළවරක පිහිටි ගමක සිට කටුනායක ඇගලුම් කම්හලක සේවයට ගිය තරුණියක්. එහිදී මුණගැසුණු යාළුවෙක්ගේ මාර්ගයෙන් මේ රැකියාවට යොමු වූ ඇය මුලින්ම මීගමුවේ ස්පා ආයතනයක අවුරුදු පහක් සේවය කළා. ඇය ඒ එහි සේවයෙන් ඉවත් වී තිබෙන්නේ පොලිස් වැටලීමකදී අත්අඩංගුවට ගෙන උසාවියට ඉදිරිපත් කිරීම හේතුවෙන්. ඉන් පසුව වෙනත් තැනක එම රැකියාවේම නිරත වන ඇය කියන්නේ ගාමන්ට් රස්සාවට වඩා මේ රස්සාව හොඳ බවයි. "වැඩ කරන්න කියල කරදරයක් නෑ. ගාමන්ට් පඩියට වඩා ලොකු පඩියක් ලැබෙනවා." ඇය පැවසුවා. ඒ කොයිතරම්දැයි ඇසූ විට ඇය පැවසුවේ 'ඒ වාගේ හතර ගුණයක් විතර' ලැබෙන බවයි.
ඇය සම්බාහනය පිළිබඳ සයමසක පාඨමාලාවක් හදාරා තිබුණු අතර උසස් පෙළ දක්වා අධ්‍යාපනය ලබා ඇති බවද පැවසුවා. සම්බාහන ආයතන නමින් පවත්වාගෙන ගියද මේවායේ ලිංගික සේවා සැපයීමද සිදු වන බව ප්‍රකට රහසක්. ඇයද සම්බාහනය මෙන්ම ලිංගික සේවා සැපයීමද සිදු කරන අතර නිසි පරිදි උපත් පාලන උපකරණ භාවිත කරන බවත්, මාස හයකට වරක් වෛද්‍ය පරීක්ෂණයක් සඳහා යොමු වන බවත් ඇය පැවසුවා. එහෙත් මේ වෘත්තියේ යෙදෙන සියලු දෙනා එසේ දැනුවත්ව කටයුතු කරනු ඇතැයි සිතන්නට බැහැ.
| සංචාරක හෝටලයක තිබෙන ස්පා ආයතනයකට යොමු වීම ඇගේ අපේක්ෂාවයි. "ඒ වගේ තැන්වල වැඩි කරදරයක් නැතිව බියක් සැකක් නැතිව රැකියාව කරන්න පුළුවන්. ඒ වගේම මීට වඩා ලොකු මුදලක් උපයාගන්නත් පුළුවන්."
ඇය කියන්නේ ලිංගික සේවය නීතිගත කළ යුතුය බවයි. ඇය දැනට සේවය කරන ස්ථානය පිළිබඳ කිසිම ප්‍රශ්නයක් නැති වුණත්, මේ ආයතනවලට නීත්‍යානුකූලව අවසර දුන්නොත් මේ සේවයේ යෙදෙන අයට, සමාජයට රහසේ වුවත් බියක් සැකක් නැතිව රැකියාව කරගෙන යා හැකි බව ඇය පවසනවා.
ගම්පහ ප්‍රදේශයෙහි සම්බාහන ආයතනයක සේවය කරන තුෂාරි නාගරික ප්‍රදේශයක ජීවත් වන විසි හතර හැවිරිදි තරුණියක්. ඇය පවසන්නේ තම රැකියාව ගැන පවුලේ අය දැනුවත් බවයි. ඒ නැතත්, තමන් කැමති දෙයක් කරන්නට නිදහස තිබිය යුතු බව ඇය පවසනවා. සංචාරක හෝටලයක තිබෙන ස්පා ආයතනයකට යොමු වීම ඇගේ අපේක්ෂාවයි. "ඒ වගේ තැන්වල වැඩි කරදරයක් නැතිව බියක් සැකක් නැතිව රැකියාව කරන්න පුළුවන්. ඒ වගේම මීට වඩා ලොකු මුදලක් උපයාගන්නත් පුළුවන්." ඇය පවැසුවා.
නීතිගත කළොත් ගැටලු විසඳෙනවා
| වෘත්තිය නීතිගත කිරීම ඔස්සේ, ඒ ආශ්රිත අනෙකුත් ගැටලුවලටද විසඳුම් ලැබෙන බව ඇය පෙන්වා දෙනවා.
හැට හතර හැවිරිදි කාන්තාවක් සම්බාහන ආයතනයක සේවය කරනවාය කිවහොත් කිසිවෙකුත් විශ්වාස නොකරන්න පුළුවන්. ඒත් සම්බාහන සේවිකාවන් ගැන තොරතුරු සොයා යද්දී, අපට එවැන්නියක මුණගැසුණා.
ඇය කියන විදිහට මේ රටේ වැඩි පිරිසකට හොඳ වැටුපක් ලැබෙන රස්සාවකට යෑම පහසු නැහැ. සාමාන්‍ය උපාධියක් ගත්තත් රුපියල් අසූදාහක පඩියක් ගන්න කොච්චර කාලයක් රස්සාව කරන්න ඕනද? ඇය අපගෙන් විමසුවා. "අපිට විභාග පාස් කරගන්න බැරි වුණා. ඔක්කොටම එහෙම විභාග පාස් කර ගන්න බැහැනෙ. අපට තිබුණේ රූපෙ විතරයි. මම අවුරුදු විසි හයෙන් මේ රස්සාවට ආවේ. හොඳට හෙව්වා. පොලිසියටත් අහු වුණා. උසාවියටත් දැම්මා. හැබැයි දඬුවම් විඳල නම් නැහැ."
ඇය පවසන්නේ මෙම රැකියාවෙන් සිය ජීවිතය සාර්ථක කර ගැනීමට හැකි වූ බවයි. "රස්සාව කරන අතරතුරේ මම කසාදත් බැන්දා. ළමයි දෙන්නෙකුත් ඉන්නවා. ඒ අයට ඉගැන්නුවා. රස්සාවලුත් කරනවා. විවාහත් වෙලා. මහත්තය මගේ රස්සාව දන්නවා. දැන් මම එන්නෙ පුරුද්දට. මට ගෙවල් දොරවල්, යාන වාහන තියෙනවා. මම කියන්නේ මේක නීතිගත කරන්නම ඕනේ කියන එක. එතකොට කැමති කෙනෙකුට බයක් සැකක් නැතිව රස්සාව කරගන්න පුළුවන්."
වෘත්තිය නීතිගත කිරීම ඔස්සේ, ඒ ආශ්රිත අනෙකුත් ගැටලුවලටද විසඳුම් ලැබෙන බව ඇය පෙන්වා දෙනවා.
"එතකොට මේක විධිමත් වෙලා, රස්සාවට ඕනෙ සුදුසුකම් හැදිලා, නියමිත වැටුපක් ගෙවන ක්‍රමයක් හැදෙයි. අපේ රටේ මේව ප්‍රශ්න වුණාට ලෝකෙට මේව ප්‍රශ්න නෙවෙයි. ලෝකෙ වෙනස් වෙනකොට අපිත් වෙනස් වෙන්න ඕනේ."
වැටලීම්වලින් හෙළි වන යථාර්ථය
| 2024 වසරේ මැයි මාසය වන විට සිදු කර ඇති වැටලීම් ගණන 300ක් වන බවත් පොලිස් තොරතුරුවලින් දැන ගන්නට තිබේ.
වැඩිහිටි වයසේ දෙදෙනෙකු ස්ව කැමැත්තෙන් දෙදෙනෙකුට ලිංගිකව එකතු වීම නීතිමය වශයෙන් ගැටලුවක් නොවේ. එහෙත් ස්පා ආයතන ලියාපදිංචි වුවත්, නැතත්, පොලිසියට වැටලීමට ඉඩක් තිබේ. ඒ ගණිකා නිවාස පවත්වා ගෙන යාම නීති විරෝධී බැවිනි. එවැනි වැටලීම් ජනමාධ්‍යවල වාර්තා කෙරෙන්නේ, "සම්බාහන ආයතනයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වැටලීමෙන්..." යන සුලබ සිරස්තලයෙනි.
රටේ වැඩිම සම්බාහන ආයතන ප්‍රමාණයක් තිබී ඇත්තේ නුගේගොඩ (මිරිහාන) පොලිස් අධිකාරී කොට්ඨාශයේය. 2023 වසර වන විට එම ප්‍රදේශයේ ස්පා ආයතන 200කට ආසන්න ප්‍රමාණයක් තිබී ඇත. 2023 වසරේදී පමණක් එවැනි ආයතන අවස්ථා 285කදී වැටලීම් කර ඇත. 2024 වසරේ මැයි මාසය වන විට සිදු කර ඇති වැටලීම් ගණන 300ක් වන බවත් පොලිස් තොරතුරුවලින් දැන ගන්නට තිබේ.
සම්බාහන මධ්‍යස්ථාන සම්බන්ධ මතුපිට කියවීම එලෙස වුවත්, මේ හා බැඳුණු සුවිසල් සමාජ සමාජ ඛේදවාචකයක්ද තිබෙන බව මෙම වැටලීම්වලට සම්බන්ධ වූ ඉහළ නිලධාරියකු සඳහන් කළේය. ඔහු පවසන පරිදි මෙම වෘත්තියේ නියැලෙන්නියන් බහුතරය වයස අවුරුදු 18-30 දක්වා පරාසයන්හි සිටින කාන්තාවන්ය. එයින් ඉහළ වයස් කාණ්ඩවලට අයත් පිරිස සුළුතරයකි.
"උසස් අධ්‍යාපනය හදාරන අය මෙන්ම විවිධ රැකියාවල නියැලෙන අයද මේ අතරේ සිටිනවා. මෑතකදී කළ වැටලීම්වලදී විශ්වවිද්‍යාලවල ඉගෙන ගන්න දරුවන් කීප දෙනෙකුත් අපට හමු වුණා. එක්කෙනෙක් නීති පීඨයක ඉගෙන ගන්නේ. තවත් ශිෂ්‍යාවක් ඇයගේ අධ්‍යාපන වියදමුත් දරාගෙන ගෙදරටත් සල්ලි යැවූ බව පැවසුවා."
| මෙම වෘත්තියේ නියැලෙන්නියන් බහුතරය වයස අවුරුදු 18-30 දක්වා පරාසයන්හි සිටින කාන්තාවන්ය.
අප මුණ ගැසී කතා බහ කළ සිව් දෙනාගෙන් ලද තොරතුරු සහ පොලිස් නිලධාරීන් විසින් අත් අඩංගුවට ගත් අයගෙන් ලබා ගෙන තිබූ තොරතුරුද, ඔවුන් දැක්වූ අදහස්ද සම්පිණ්ඩනය කර දැක්විය හැකි නිගමන කීපයක් වෙයි.
- මේ සියලු දෙනාගෙන් වැඩි පිරිසකට තෙරපිවරියන් ලෙස විධිමත් පුහුණුවක් නැත. වෘත්තියේ නීතිමය පසුබිම පිළිබඳවද ඇත්තේ අඩු අවබෝධයකි.
- රැකියාව ස්ථිර වූවක් නොවන අතරම නිශ්චිත වැටුප් ගෙවීමක් හෝ නීත්‍යානුකූල නිවාඩු හා වෙනත් වරප්රසාදයන් නොලැබීම.
- පොලිස් අත්අඩංගුවට පත්වීම් වැනි අවස්ථාවලට ලක් නොවීම සඳහා එවැනි වැටලීම්වලට ලක් නොවන ආයතන කෙරෙහි වැඩි නැඹුරුවක් දැක්වීම.
- සමාජය තුළ පිළිගැනීමක් නොමැති වීමත් ගර්හාවට ලක්වීමත් හේතුවෙන් සිය වෘත්තිය ගැන කිසිවෙකුටත් නොපැවසීම හා මිතුරු ඇසුර පවා තම වෘත්තියේම නියැලෙන්නියන් අතරට සීමා වීම.
- හැකි තරම් එකම සේවා ස්ථානයක සේවය කිරීමට උත්සාහ කිරීම හා එසේ කළ නොහැකි වූ විට රැකියා ස්ථානය මාරු කිරීම.
- වෘත්තීය අයිතිවාසිකම් ඇතුළු අනෙකුත් අයිතීන් පිළිබඳ අවබෝධය සීමිත වීම හා ඒ සඳහා සංවිධානය වීමේ හැකියාවක් නොමැති වීම.
- දිළිඳුකම, සැමියා මිය යෑම, අත්හැර යෑම, කරමින් සිටි වෘත්තිය අහිමි වීම වෙනත් වෘත්තීන්ගෙන් ජීවත් වීම සඳහා ප්‍රමාණවත් ආදායමක් නොලැබීම වැනි හේතු නිසා මේ වෘත්තිය කෙරෙහි නැඹුරු වීම.
සමස්තයක් ලෙස, සම්බාහන වෘත්තියේ නියැලෙන කාන්තාවන් ආර්ථික වශයෙන් යම් තෘප්තිමත් මට්ටමක පසුවුවද සමාජය තුළ සිටින්නේ අවවරප්රසාදිතව නැතහොත් ආන්තීකරණයට ලක් වූ තත්ත්වයක බව මේ අනුව පැහැදිලි වේ. ඔවුන්ට මේ සමාජය තුළ යම් පිළිගැනීමක් ඇති කිරීමට නම් සම්බාහන වෘත්තිය ප්‍රමිතිගත හා නීත්‍යානුකූල තත්ත්වයකට පත් කිරීමත් එම වෘත්තියේ නියැලෙන්නියන්ට විධිමත් වෘත්තීය දැනුමක් සේම මහජන සම්බන්ධතා, සෞඛ්‍යාරක්ෂාව යනාදිය පිළිබඳ අවබෝධයක් ලබා දීමත් අවශ්‍ය වේ. මෙම වෘත්තියෙහි නිරතවූවන් ප්‍රකාශ කළේද ඊට සමාන අදහසකි. ලෝකයේ දියුණු රටවල් මෙවැනි සේවා සඳහා නියම කර ඇති ප්රමිතීන් හා නීතිමය සීමාවන් මොනවාදැයි සොයා බැලීම ඒ සඳහා වැදගත් වනු ඇත.
අලුත් ඇසකින් බැලිය යුතුයි
| ඒ වගේම ඔය කියන බටහිර රටවලත් පශ්චාත් උපාධි කරන ගෑනු ළමයි ගණිකා වෘත්තියේ යෙදිලා සල්ලි හොයන අවස්ථා තිබෙන බවත් අප අමතක නොකළ යුතුයි.
කොළඹ විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අංශයේ හිටපු ජේෂ්ඨ කථිකාචාර්ය කුමුදු කුසුම් කුමාර මහතා මෙම වෘත්තියට අදාළ තවත් පැතිකඩ කිහිපයක් පිළිබඳව සිය අදහස් පළ කළේය.
"විශ්වවිද්‍යාල ශිෂ්‍යාවන් ස්පාවල තෙරපිවරියන් ලෙස සේවයේ නියැලෙන බව මීට කලිනුත් වාර්තාවෙලා තිබුණ දෙයක්. විශ්වවිද්‍යාලවලට යන ග්‍රාමීය දුෂ්කර ප්‍රදේශවල දුප්පත් සිසුන් වගේම පහළ මධ්‍යම පන්තියේ සිසුනුත් දැඩි ආර්ථික දුෂ්කරතාවලට මුහුණ දෙනවා. මහපොළ වගේ ශිෂ්‍යධාර ලැබුණත් ඒවා ප්‍රමාණවත් නැහැ. බටහිර රටවල නම් විශ්වවිද්‍යාලවල ඉගෙන ගන්න අයට වෙනත් රැකියා කිරීමේ අවස්ථා තිබෙනවා. මෙහේ කෝ එහෙම අවස්ථා? එහෙම තිබුණත් සේවයට සරිලන වැටුපක් දෙන අර්ධකාලීක රැකියා තියෙනවද කියන එක ප්‍රශ්නයක්.
ඒ වගේම ඔය කියන බටහිර රටවලත් පශ්චාත් උපාධි කරන ගෑනු ළමයි ගණිකා වෘත්තියේ යෙදිලා සල්ලි හොයන අවස්ථා තිබෙන බවත් අප අමතක නොකළ යුතුයි. ශ්‍රී ලංකාව ගත්තොත් මේ ප්රශ්නය සංකීර්ණ වාගේම විස්ථාරණීය ප්‍රශ්නයක් බව සැලකිය හැකියි. මේ ගැටලුවේ විවිධ පැතිකඩ තිබෙනවා. පිළිතුරු සෙවීමේදී ඒවා ගැනත් සිතන්න ඕනේ. මේක සමාජීය මෙන්ම ආර්ථික ප්‍රශ්නයක් ලෙසට ලඝු කරන්න බැහැ. නව ලිබරල්වාදය සමහ ජීවත් වෙන්න තම තමන් තනියම මුදල් හොයාගන්න වෙනවා. එනිසා මේ ප්රශ්නය සමාජීය පැත්තෙන් වගේම ළමයින්ගෙ පැත්තෙනුත් බලන්න වෙනවා."
| අප දන්නා විදිහට ලිංගික සේවය අපේ රටේ වරදක් නෙවෙයි. ලිංගික සේවයේ යෙදවීම, අලෙවි කිරීම වගේ දේවල් තමයි කරන්න බැරි. එහෙත් දේශපාලනික වශයෙන් පවා දැන් දැන් මේ ගැන කතා කරන පසුබිමක් තිබෙනවා.
ඔහු වැඩිදුරටත් පෙන්වා දෙන්නේ මේ දෙස සදාචාරවාදී ද්රෘෂ්ටියෙන් බැලීමේ අර්ථයක් නොමැති අතර මෙම කාරණා විවෘතව සාකච්ඡාවට ලක් විය යුතු බවයි.
"අද රටේ ලිංගිකත්වය පිළිබඳ කතා බහ පුළුල් වෙලා. නූතන තරුණ පරම්පරාවට මේ ගැන තියෙන්නේ සාම්ප්‍රදායික අදහස්වලින් ඔබ්බට ගිය අදහස්. ඒ නිසා මෙය සදාචාරමය ආකල්පයෙන් මනින්ට යෑමේ අර්ථයක් නැහැ. අනෙක් අතින් අපේ රටේ වුවත් ලිංගිකත්වය පිළිබඳ සාම්ප්‍රදායික ආකල්ප ලිහිල් වෙමින් තිබෙන්නේ. සමාජ මාධ්‍ය ආගමනයත් මෙයට හේතුවක්. මේක ව්‍යසනයක් යැයි කියන්න බැහැ. මේ වෙනස්වීම අප තේරුම් ගත යුතුයි.
අප දන්නා විදිහට ලිංගික සේවය අපේ රටේ වරදක් නෙවෙයි. ලිංගික සේවයේ යෙදවීම, අලෙවි කිරීම වගේ දේවල් තමයි කරන්න බැරි. එහෙත් දේශපාලනික වශයෙන් පවා දැන් දැන් මේ ගැන කතා කරන පසුබිමක් තිබෙනවා. ඇත්තටම එය සංවාදයට බඳුන් විය යුත්තක්."
(විශේෂ ස්තුතිය- පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දුව මහතාට)
උපදේශකත්වය හා අනුග්‍රහය ඉන්ටනිව්ස්
| නිමල් වීරසිංහ | This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
(the leader)