අපේ රටේ විවිධ ප්‍රදේශ විවිධ කර්මාන්ත සඳහා ප්‍රසිද්ධියක් උසුලනු ලබන අතර පාරම්පරික උරුම ලෙස අද දක්වා පැවත එන කර්මාන්ත අතර මැටි කර්මාන්තයට හිමිවන්නේ සුවිශේෂීී තැනකි. මානව ශිෂ්ටාචාරය ආරම්භයේ ප්‍රථම කර්මාන්තය ලෙස හඳුන්වන මෙම කර්මාන්තය මැටි කර්මාන්තය, කුම්භකාරක කර්මාන්තය, බඩහැල කර්මාන්තය, යන නම් වලින් ද හඳුන්වනු ලබයි.
මැටි කර්මාන්තය තුළ ගඩොල්, වළං, විසිතුරු භාණ්ඩ ආදී වශයෙන් නොයෙකුතත් නිර්මාණ පමණක් නොව මේ කර්මාන්තයේ නියැලෙන්නන්ගේ ජීවිකාව රඳා පවතින්නේ ද මෙම කර්මාන්තය මත ය. කපාගත් මැටි පිඩක් මැටි ගුලියක් කර ඒ තුළින් නිමවන විසිතුරු කර්මාන්තය අපූරුය. මේ සඳහා පාරම්පරිකව උරුම වූ අත්දැකීම් හා අත් හුරුව මනාවට අවැසිය.
මැටි කර්මාන්තය ශ්‍රී ලාංකීය සංස්කෘතිය විවිධ අවස්ථා මනාව සිහිපත් කරන අතර මානව ඉතිහාසයේ අපූර්ව බව හෙළි කරයි. උයා පිහාගෙන කෑම පමණක් නොව ශ්‍රී ලාංකිකයන් වශයෙන් අප ඕනෑම සුබ කටයුත්තක දී නැවුම් මැටි කලයක් , සෙම්බුවක්, මැටි පහනක්, මැටි මුට්ටියක් ආදී වශයෙන් මැටි භාණ්ඩ භාවිතයට ගැනීම අපේ ජන ජීවිතයේ සුවිශේෂී ලක්ෂණයකි. ඒ අනුව මැටි යනු සෞභාග්‍යයේ සංකේතයක් සේම මැටි තුළ ඇත්තේ හාස්කමකි.
මැටි කර්මාන්තකරුවෝ ලංකාවේ විවිධ ප්‍රදේශවල ව්‍යාප්තව සිටින අතර කැලණිය, කෑගල්ල, අනුරාධපුර, මහනුවර, කුරුණෑගල, මාතර, කළුතර, කිලිනොච්චිය, මුලතිව්, මන්නාරම, වවුනියාව, යාපනය, මඩකලපුව යන දිස්ත්‍රික්කවල විශේෂයෙන්ම මේ මැටි කර්මාන්තයේ ව්‍යාප්තිය හඳුනාගත හැකිය.

මැටි කර්මාන්තකරුවන් පොදුවේ මුහුණ දෙන ගැටළු
රට පුරා විසිරි පැතිර සිටින මෙම මැටි කර්මාන්තකරුවන් පොදුවේ මුහුණපාන ගැටලු කිහිපයක්ම හඳුනාගත හැකි ය. මැටි කර්මාන්තය සඳහා අවශ්‍ය සුදුසු පස් සපයා ගැනීම පොදුවේ මැටි කර්මාන්තකරුවන් මුහුණ දෙන මූලිකම ගැටලුවකි. මේ සම්බන්ධ කාරණා සොයා බැලීමකදී කුරුණෑගල දිස්ත්‍රීක්කයට අයත් කණුමලේ, රංජනගම පිහිටි කණුමලේ මැටි කර්මාන්තකරුවන්ගේ ශිල්ප සංවර්ධන සමිතිය හා දංවැල්ල මැටි කර්මාන්ත සමූපකාර සමිතියේ සාමාජික මැටි කර්මාන්තකරුවන් සමග සිදුකළ සාකච්ඡාවකදී ඔවුන් සිය අදහස් ප්‍රකාශ කර සිටිය හ.
එහිදී අසාධාරණයකට ලක් වූ ඔවුන් සඳහන් කරන්නේ දරා ගත නොහැකි මුදලකට පස් මිලදීගෙන පුරුදු රැකියාව සිදුකරගෙන යන බවයි. ඒ කවර කාරණයක් නිසාදැය විමසා සිටි විට ඔවුන් සඳහන් කර සිටියේ, ඔවුන්ට කිට්ටුම නාරම්මල වැවෙන් මැටි සපයාගෙන පුරුදු කර්මාන්තය කරගෙන ගිය ද මේ වන විට එම වැවෙන් මැටි කැපීම තහනම් කර ඇති බවයි. නමුත් මහා පරිමාණයේ මැටි කර්මාන්තකරුවන් හා දංකොටුව උළු මෝල්වලට මැටි කපා ගැනීමට අවසර දී ඇති බවයි. එම පිරිස් ඩෝසරුවලින් මැටි කපාගෙන යන නමුත් මේ ගමේ පිරිසට සුළු ප්‍රමාණයක් හෝ මැටි කපා ගැනීමට නොදෙන බවයි.
පැහැදිලිවම අසාධාරණයට ලක්වී ඇති මෙම පිරිස සඳහන් කරන්නේ ගමේ පවුල් තිස්පහක් පමණ මෙම කර්මාන්තය සිදු කරන බවත්, එනිසා මෙම කර්මාන්තය කරගෙන යාමට මැටි කපා ගැනීමට අවසර ලබා දෙන ලෙස දේශපාලන අධිකාරියෙන් පවා අවසර ඉල්ලා සිටියත් ඒ සම්බන්ධ කිසිදු සැලකිල්ලක් නොදක්වා හොරෙන් මැටි කැපුවා යැයි නඩු ද දමා ඇති බවයි. එසේම නාරම්මල වැවේ මැටි රුක්මලේ ගමේ පිරිසට ඕනෑ තරම් කපා ගන්නට අවසර දෙන බව ද කණුමලේ, රංජනගම මැටි කර්මාන්තකරුවන් සඳහන් කර සිටියේ ය.

කණුමලේ ගමට විතරක් ඇයි නීති දෙකක්?
ඔවුන් මුහුණපාන ගැටලු සම්බන්ධයෙන් තවදුරටත් සඳහන් කරමින් ඔවුන් කියා සිටියේ වැව්වලින් මැටි කපා ගැනීමට අවසර නොදෙන නිසා ඒ් ගමේම වත්තකින් (වළං සඳහා සුදුසු මැටි ඇති ඉඩමක්) මුදල් ගෙවා මැටි මිලදී ගැනීමට සිදුවී ඇති බවයි. වැවෙන් මැටි කපාගන්නට දෙන්නේ නම් එම මැටි සඳහා අමතර වියදමක් වැය නොවන අතර ප්‍රවාහනය කර ගැනීමේ ගාස්තුවක් පමණක් ඒ වෙනුවෙන් වැය වන නමුත් වැවෙන් මැටි කපා ගැනීමට නොදීම නිසා ප්‍රවාහන ගාස්තුව සේම මැටිවලටත් මුදල් වැය කිරීමට සිදුවන බවයි. වාහන තිබෙන, සල්ලි තිබෙන පිරිස් වැව්වලින් මැටි කපාගෙන විත් වතුවල ගොඩ ගසාගෙන ඒවා මුදලට අලෙවි කරන අතර එම මැටි මුදලට විකුණන බව හා තමන් ඔවුන්ගෙන් මැටි මිලදි ගන්නා බවයි. ඔවුන් සඳහන් කර සිටියේ එකම රැකියාව කරන පිරිසට නීති දෙකකි. ඇති නැති පරතරය තුළ නැති බැරි මිනිසුන් තව තවත් අසරණ කරන අමුතු නීතියකි එය.
මැටි කර්මාන්තය සඳහා වඩාත් සුදුසු පස වන්නේ රොන් මැටි පසයි. එය පහසුවෙන්ම ලබාගත හැක්කේ වැව්වලිනි. වැවකින් පස් කැපීම තුළින් එම වැවේ රොන්මඩ ඉවත්වීම සිදුවන අතර වැව ගැඹුරු වීම සිදුවෙයි. එය පාරිසරික හානියක් ද නොවේ. ගැඹුරු වන වැවට එකතු වන ජල ධාරිතාව වැඩි කර ගැනීමට අවස්ථාවක් ද වේ. එවැනි තත්ත්වයක දී පිරිසකට පස් කපා ගැනීමට අවසර දීමත් පිරිසකට අවසර නොදීමත් කවර නීතියක්ද? එසේ නම් එය භේදයකින් තොරව සියල්ලන්ටම තහනම් කල යුතුය. කල යුත්තේ භේද සහිතව අවසර දීම නොව, යම් යම් පාරිසරික කොන්දේසීන් මත, යම් ප්‍රමාණයකට පස් කපා ගැනීමට අවසර ලබා දීමයි. මන්ද යත් මේ සුළු පරිමාණයෙන් එදිනෙදා ජීවන වියදම සොයා ගැනීමට මෙම කර්මාන්තය සිදු කරන පිරිසට වඩා මහා පරිමාණයෙන් මැටි කර්මාන්තයේ නියැලෙන පිරිස භාවිත කරන මැටි ප්‍රමාණය වැඩි බැවින් සිදුවිය හැකි හානියක් වේනම් සිදුවන්නේ ඔවුන්ගෙනි.

අපට මැටි ටිකක් ගන්න දෙන්න - රජයෙන් අපට මොකුත් එපා
මෙම අසාධාරණය හමුවේ මුදලට මැටි ලබාගෙන, ප්‍රවාහන ගාස්තුව ගෙවාගෙන, අනෙකුත් වියදම් ද දරාගෙන පුරුදු කර්මාන්තය සිදු කළත් ඉන් සරලන තරමේ ලාබයක් ද නොමැති නමුත් පුරුදු රැකියාව නිසා පාඩුව දරාගෙන වුව රැකියාව සිදු කරන බවයි ඔවුන්ගේ මැසිවිලි අතරේ කියැවුණේ.
එසේ මොවුන් සඳහන් කර සිටි තවත් කාරණයක් වූයේ අමුද්‍රව්‍ය හිඟතාවය මිස මෙම කර්මාන්තය තුළ ඉල්ලුමේ හිඟයක් නොමැති බවත් ඉල්ලුමට සරිලන සැපයුම ලබාදීමට ඇති බාධකය වන්නේ අමුද්‍රව්‍ය ලබා ගැනීමේ අපහසුතාවය බවයි ඔවුන් තවදුරටත් සඳහන් කර සිටියේ.
කණුමෙලේ ගම්මානයේ මැටි කර්මාන්තකරුවන් මේ අසාධාරණයට මුහුණපාන අතර ඒ සම්බන්ධ අවධානය යොමු කිරීම ඉතා වැදගත් ය. මෙසේ එක් පිරිසකට පමණක් නාරම්මල වැවේ මැටි කැපීම තහනම් කිරිමට හේතුව කුමක්දැයි සොයා බලා ඔවුන් වෙනුවෙන් ගත හැකි පියවරක් වේ නම් ඒ් වෙත යොමුවීම එදිනෙදා ජීවන අරගලය සමඟ පොරබදන ඔවුනට කරන්නා වූ මහත්ම උපකාරය විය හැකි ය. පාරිසරික වශයෙන් හානි නොවන ආකාරයට මැටි කපාගැනිමට කොන්දේසි සතව බලපත්‍රයක් හෝ නිකුත් කර මෙම ගම්මානයේ මැටිකරුවන්ටත් අවසර ලැබෙන්නේ නම් ඔවුන්ගේ ජීවිතය ද සමෘද්ධීයට හේතුවක් වනු ඇත.
සමස්තයක් වශයෙන් මැටි කර්මාන්තකරුවන් මැටි සපයා ගැනීමේ අපහසුතාවය, දර, විදුලිය හා පොල්ලෙලිවල මිල ඉහළ යාම, වළං සඳහා විකල්ප නිෂ්පාදන වෙළඳපොළට පැමිණීම මෙන් ම මැටි ප්‍රවාහනය සම්බන්ධ ගැටලු රාශියක් එම කර්මාන්තය ආශ්‍රිත හඳුනාගත හැකිය. මෙම ගැටළු සමස්තයක් වශයෙන් මැටි කර්මාන්තකරුවන් මුහුණපාන ගැටළු වන අතර අසාධාරණයක් හමුවේ නාරම්මල වැවේ මැටි කැපීම තහනම් වූ කණුමලේ මැටි කර්මාන්තකරුවෝ මුහුණපාන්නේ කෘතීම අර්බුදයකට ය. ඔවුන්ගේ මෙම මැසිවිල්ල සාධාරණද, අසාධාරණදැයි සොයා ඒ් සඳහා සුදුසු පියවරක් බලධාරින්ගේ වගකිමකි.

| නිර්මලා දිසානායක

