කෝවිඩ් වසංගතය නිසා ලෝකය ප්‍රති-ව්‍යුහගත විය. එනම් යළි සැකසිණ. නැතහොත් සැකසෙමින් පවතී.
කෝවිඩ් සහිත ලෝකය කලින් තිබු ලෝකය නොව අලුත් හෝ වෙනස් එකක් ය. සෞඛ්‍ය, ආර්ථික, නිෂ්පාදන, වෙළඳපොළ, දේශපාලන, සමාජ, සංස්කෘතික, සාහිත්‍ය-කළා, අධ්‍යාපන කී නොකී සියලු ක්ෂේත්‍ර ඇතුළු සියලු මිනිස් සබඳතා පෙර ඒවා නොව අලුත් ඒවා ය. අලුත් ව්‍යවහාර මෙන්ම අලුත් වචන සහ සංකල්ප ද ආවේය. නව සාමාන්යතාව නැතහොත් නිව් නෝමල්සි (new normalcy) යනු එවැන්නකි. මා එය නව නෝමල්සියානු තත්ත්වය ලෙස නම් කිරීමට කැමතිය. මෙම ලිපිය තුළ මා උත්සහ කරන්නේ මේ නව නෝමලියානු තත්ත්වය එනම් නව සාමාන්යතාව පිළිබඳව අපගේ පාඨකයින් සමඟ වෙනත් කතාබහක් සිදු කිරීමට ය.
බොහෝ අය සිතන්නේ නව නෝමල්සියානු තත්ත්වය වනාහි කෝවිඩ් නිමවුමක් බව ය. එසේම පළමු නව නෝමල්සියානු අවස්ථාව මෙය බවය. නමුත් මා සිතන දකින ආකාරයට අනුව නම් මිනිස් වර්ගයාගේ සකලවිධ ඉතිහාසයම නව නෝමල්සියානු තත්ත්වයන්ට මුහුණ දෙමින් ඉදිරියට ආ එකක් ය. මාක්ස් සහ එංගල්ස් ගේ කොමියුනිස්ට් ප්රකාශණය තුළ සඳහන්වන “මේ දක්වා වූ ඉතිහාසය පන්ති සටන්වල ඉතිහාසයයි” යන්න ආකෘතිකමය වශයෙන් අනුකරණය කරමින් ප්‍රවාදයක් ඉදිරිපත් කිරීම ට මට සිතේ. එනම් ‘මේ දක්වා වූ මානව ඉතිහාසය නව නෝමල්සියානු තත්ත්වයන්ට මුහුණ දීමේ ඉතිහාසයි’ යනුවෙනි.
මානව සමස්ථ ඉතිහාසය ම කල් ඇදුනු හෝ කෙටි කලකින් නිමා වී නැවත එළඹුන නව නෝමලියානු තත්ත්ව දාමයකින් යුක්ත වුවත් කාර්මික සහ කෘෂිකාර්මික විප්ලව වලින් පසුව, නව නෝමල්සියානු තත්ත්ව නිර්මාණය වන්නේ විශාල කාල පරතරයකින් තොරව ය. එනම් මේ විප්ලව වලින් පසුව ලෝකයේ ආර්ථික වෙළඳපොළ සමාජ සහ දේශපාලන වශයෙන් සිදුවීම් පෙළගැසෙන්නේ අධික වේගයකින් තරඟයට මෙන් ය. එසේම පශ්චාත් කාර්මික සමාජ ආර්ථික වෙළඳපොළ සන්දර්භයක් තුළ තොරතුරු තාක්ෂණයේ අරුම පුදුම වර්ධනය විසින් ලෝකය දිනපතා වෙනස් කරමින් නව නෝමල්සියානු තත්ත්ව දාමයක මානව සමාජය පටලවමින් සිටී. ඒ පසුබිමේ සත්‍ය කැලෑවැදී ඇත. ඒ වෙනුවට පශ්චාත් සත්‍ය සමාජය තොරතුරුවලින් සරුසාර වී ඇත. ඇත්ත සහ බොරුව අතර සියලු මායිම් අතුරුදහන් වී ඇත. එක්කෝ බොඳ වී ඇත.
සාර්ව ආකාරයෙන් බලනවිට ඇතැම් නව නෝමල්සියානු තත්ත්ව බලවතුන් විසින් උපායිකව නිෂ්පාදනය කරන ඒවා ය. එසේ නිෂ්පාදනය කිරීමට මැදිහත්වන බලවතුන් එහි වගකීම සමස්ත මානව සමාජයම මත පටවන්නේ ‘මානව නිෂ්පාදනයක්’ (a human product) ‘මානවයින් විසින් නිෂ්පාදිත ආපදා’ (human made disasters) යන ලේබල අලවමින් ය. අප ඒ ලේබල් තීරනාත්මකව ප්‍රතික්ෂේප කළ යුතු ය. එහෙත් ඒ ලේබලවලට විරුද්ධවන මානව වාදීන් බුද්ධිමතුන් ඉතාම හිග ය. ඒ නිසා අප වඩාත් නිවැරදිව, ඒවා ‘බලවතුන්ගේ නිෂ්පාදන’ ‘බලවතුන් විසින් නිෂ්පාදිත ආපදා’ ලෙස නම් කරමු. මේ බලවතුන් තම බල-ධන-මානසික අරමුණු වෙනුවෙන් ලෝකය හෝ රටවල් ගෝලීයව හෝ ජාතිකව අවභාවිත කිරීමට වෙර දරන අය ය. මේ අය මහා ව්‍යසන හෝ ආපදා නිර්මාණය කොට ඉන් අසරණ වන ජනයාට, මානව සමාජයට නියෝග කර සිටින්නේ, ඒ ව්‍යසන සමඟ ජීවත් වන ලෙස ට ය.
කාර්මික විප්ලවය මානව සමාජය මත පතිතකළ පීඩනය, තැති ගැන්ම සහ අසරණකම බලවතුන් නම් කළේ මානව සමාජය පනින ලද යෝධ පිම්මක් ලෙස ය. එහෙත් එය කර්මාන්ත හිමියන් හාම්පුතුන් වෙළෙඳ බලවතුන් ලැබූ සමෘද්ධියක් මිස, කාර්මික විප්ලවය සමස්ත මානව සමාජයට සහ පෘථිවියට අත්පත් කර දුන්නේ ව්‍යසන පිට ව්‍යසන පැමිණෙන ඉතිහාස කතාවක් ය. කාර්මීකරණය, යන්ත්‍රකරණය, ස්වයංක්‍රීයකරණය, තොරතුරු තාක්ෂනය මගින් අසරණ වුණු, වීසි වී රැකියා අහිමිව හිඟමනට වැටුන, වැටුප් වහලුන් බවට පත් වුන, දිනකට පැය කීපයක් තැන තැන වැඩකරමින් දෛනික වියදම් හොයකන, හැම අතකින්ම පරාරෝපණය වී මානසික ආතතීන් සහ ව්‍යාධීන් සහිත මිහිතලයේ අසරණයින් බවට පත් වුන, තිබෙනවා යැයි කියන සියලු පහසුකම් මැද පැය විසිහතරම මානසික පීඩනයකින් සිටින බිලියන ගණනකින් යුත් මානව සමාජයක් මිස, සුළුතරයකට හැර, අති බහුතරයකට එය ලබා දුන් සමෘද්ධියක් සහනයක් නැත.
ඒවාට විරුද්ධ ව්‍යාපාර මතු වුනත් කාර්මික ධනවාදය, පශ්චාත් කාර්මික ධනවාදය, සහ එහි බලවතුන් පරාජය වුයේ නැත. එනම් නැවත කාර්මික විප්ලවයෙන් පෙර කාලයට යාමක් සිදු වුණේ නැත. සමහරු අලුත් තත්ත්වය මානවීයකරණය කර ගැනීමට තවමත් උත්සහ කරති. නමුත් සත්‍ය වශයෙන්ම කාට කාටත් කරන්නට සිදු වුණේ, කාර්මික විප්ලවයේ ප්‍රතිපලයක් ලෙස ඇතිවුණු දශලක්ෂ සංඛ්‍යාත හදිසි අනතුරු, මරණ, වසංගත, බො නොවන රෝග, මානසික ආතති, වෙළඳපොළ බලහත්කාරකම්, බහුජන සංහාරක ආයුධ සහ උපක්රමික තාක්ෂනය සහිත මිහිතලය කම්පාකරවන අති බිහිසුණු දැවැන්ත යුද්ධ සාමාන්‍ය දේවල් යැයි සලකමින් කාර්මික විප්ලවය විසින් ඇතිකළ මානව සහ පෘතුවි විරෝධී නව නෝමල්සියානු තත්ත්වයට අනුගත වී, තනි වී, තනි තනිව කෙසේ හෝ දිවි රැක ගැනීමේ ක්‍රියාවලියක නිරත වීමට ය. අප මේ මොහොතේත් කරමින් සිටින්නේ එය ය.
එසේම එම නව නෝමල්සියානු තත්ත්වය අති දැවැන්ත වෙළඳපොළ ක්‍රියා දාමයකි. කෝවිඩ් නව නොමල්සියානු තත්ත්වය තුළ බලවත් වී ඇති වෛද්‍ය පරීක්ෂණ, නිරෝධායන, අත් සේදීමේ දියර, වෛරස් නාශක, මුව ආවරණ, ශරීර ආවරණ, ඖෂධ, ප්‍රතිශක්තිකරණ ක්‍රම, ඔන්ලයින් අධ්‍යාපනය, වැනි කර්මාන්ත, වෙළඳපොළ, සහ මිලගණන් දෙස අවධානය යොමුකළහොත් මා පෙන්වන දෙය වටහා ගැනීම ඔබට පහසු වනු ඇත. මේ වෙළඳපොලේ දී බිලියන ගණනින් වූ ජනයා අසරණය, පීඩිත ය. විද්‍යාවේ දියුණුව කාර්මික විප්ලවය ‘මානව සංහතියේ නිර්මාණයක්’ නම් එහි වාසි සමස්ත මානව සංහතියටම නොලැබී සුළුතරයකගේ වාසියට පමණක් හේතු වී ඇත්තේ අර කිසිවක් අපේ නොවන නිසා ය. අපි ඒ හැම දෙයකටම පාවිච්චි වනවා පමණි.
ක්ෂුද්‍ර වශයෙන් බලන විට කෝවිඩ් නෝමල්සියානු තත්ත්වය තුළ පීඩාවට පත්වන අසරණයින් අපගේ අවධානයට ලක්විය යුතුය. කාර්මික විප්ලව නෝමල්සියානු තත්ත්වය හෝ නෝමල්සියාව තුළ මහා පරිමාණ කර්මාන්ත සහ වෙළඳපොළ විසින් අසරණ කළ සුළු පරිමාණ සහ තනි පුද්ගල කර්මාන්තකරුවන් සහ වෙළෙන්දන් තම ජීවනෝපාය සලසා ගත්තේ එක්කෝ දෛනික කුලීකරුවන් ලෙස ය. එක්කෝ සංචාරක තනි පුද්ගල භාණ්ඩ සහ සේවා සපයන්නන් ලෙස ය. මෙය තේරුම් ගැනීමට, පෝපි පෝපි හඬින් නලාව ශබ්ද කරමින් තැනින් තැනට ගිය අයිස්ක්‍රීම් වෙළෙන්දන් මහා පරිමාණ අයිස්ක්‍රීම් කර්මාන්තය සහ වෙළඳාම විසින් අතුරුදහන් කළ ආකාරය මතකයට නගා ගන්න. මහන මැෂිමක් තියාගෙන ඇදුම් මැසූ ටේලර් උන්නැහේ, මහා පරිමාණ රෙඩිමේට් ඇගලුම් කර්මාන්තය සහ වෙළඳපොළ විසින් අතුරුදහන් කළ ආකාරය ද සිහියට නගා ගන්න. අපට ඒ අය ගැන මතයක් වත් ඉතුරු කොට නැත. ඔවුන් ගැන සෙවීම අමතක කර දැමුවේ ද මේ කියන කාර්මික සහ පශ්චාත් කාර්මික ධනේශ්වර නෝමල්සියානු තත්ත්ව විසින් ය.
(ඒ වටහා ගැනීම මත පදනම්ව අද දවසේ අපේ රටේ ත්‍රීවීල් කරුවන් සහ මගී ප්‍රවාහණ සේවා සපයන්නන්, සංචාරක මාළු වෙළෙඳුන්, අනෙකුත් සංචාරක භාණ්ඩ-සේවා සපයන්නන්, දවසේ කුලියට වැඩ කරන ගෘහ සේවක සේවිකාවන්, වීදි වෙළඳුන්, සංචාරක සහ දෛනික කම්කරුවන්, ශ්‍රම සහ ශරීර විකුණන අය, ශාරීරිකව සමීප සේවා සපයන අය, කෝවිඩ් නෝමල්සියානු තත්ත්වය තුළ අසරණ වී සිටින ආකාරය ද අප තේරුම් ගත යුතුය.)
මේ ආකාරයට කාර්මික විප්ලවයෙන් පසු ඇතිවූ ලෝක යුද්ධ, රටවල්වල අභ්‍යන්තරික යුද්ධ, රටවල් අතර යුද්ධ, ජෛව අවි පරිහරණ, වෙළඳපොළවල් බෙදාගැනීම සඳහා වූ ජාවාරම්කාර සැඟවුණු යුද්ධ, වසංගත, බෝනොවන රෝග වලින් මිනිසුන් දශලක්ෂ ගණනින් මිය යෑම්, බිහිසුණු බහුජන සංහාර, න්‍යෂ්ටික අවි නිෂ්පාදනය, වායු ගෝලය උණුසුම් කිරීම, සොබාදහම දුෂණය කිරීම එනම් පාංශු දුෂණය, ජාල දුෂණය, වායු දුෂණය, ශබ්ද දුෂණය, අවකාශ දුෂණය, වන විනාශය යනාදී එකිනෙකට පෙළගැසුණු ව්‍යසන වල දී අපට ධනේශ්වර ක්‍රමය දෙන උපදේශය වන්නේ ඊට අවනතව අනුගත වී එළඹෙන නව නෝමල්සියානු තත්වයන්ට අනුව අසරණව පීඩිතව ජීවත්වන්න හෝ මිය යන්න කියා ය. අප වටහා ගත යුත්තේ බලවතුන් සුරැකෙන දුබලයින් මිය යන ඉරණමක් මිස, වෙන ක්‍රමයක් යෝජනා කිරීමේ වුවමනාවක් ධනේශ්වරයට සහ බලවතුන් ට නොමැති බවය. මේ වනාහි ධනවාදයේ නෝමල්සියාව ය.
ධම්ම දිසානායක