එක්ස්ප්‍රස් පර්ල් ගිල්ලුවේ අපේ ෆිෂ් බෑන්ක් එකේ - එක්සත් ධීවර හා ධීවර කම්කරු සංගමයේ ප්‍රධාන ලේකම් එම්. විජේන්ද්‍රන්
ඔබේ වෘත්තීය සිමිතිය නියෝජනය කරන්නේ කොයි වගේ ධීවර ප්රජාවක්ද?
වෙරාලාසන්නව ධීවර කර්මාන්තයේ නියැලිලා ඉන්න ධීවරයින් තමයි අපේ වෘත්තීය සමිතිය නියෝජනය කරන්නේ. වෙරලාශ්රිතව ධීවර කර්මාන්තයේ නියැලිලා ඉන්න ධීවර ප්‍රජාව අතර විශාල ධීවර කම්කරු ප්‍රජාවක් ඉන්නවා. ධීවරයින්ට අමතරව ඔවුන්වත් අපි නියෝජනය කරනවා. ධීවර නොවන කම්කරු ප්‍රජාව මුහුදු යන අය නොවෙයි. ධීවර යාත්‍රා සඳහා සහායකයින් ලෙස සේවය කිරමෙන් තමයි ඔවුන් තමන්ගේ ජීවිකාව කරගන්නේ. දැල් අදින්න, දැල් බාන්න, මහන්න, ධීවර යාත්‍රාවල නඩත්තු කටයුතු කරන්න, මුහුදු යන ධීවරයින් රැගෙන එන දැලක සිටින මාළු වර්ග දැලෙන් බේරන්න, වෙන් කරගන්න, අයිස් ගහන්න, බෝට්ටුවලට තෙල් ගහන්න, වගේ විශාල වැඩ කොටසක් මේ ධීවර කම්කරුවන් තමයි ඉටු කරන්නේ. මළු කූඩා උස්සාගෙන වෙළෙඳපොලට අරන් යන්නේ ඔවුන්. ඊට අමතරව කරෝල වේලන අය එක්ක විශාල ධීවර කම්කරු පිරිසක් වැඩ කරනවා. ගොඩ බිම සිට කිලෝ මීටරයක් පමණ දුර සීමාවේ ධීවර කටයුතු තෙප්පම් ධීවරයෝත් මේ අතර ඉන්නවා.
ආසන්න වසර කිහිපය තුළ කොයි වගේ ප්‍රශ්නවලටද මේ ධීවර ප්‍රජාවට මුහුණ දෙන්න සිදු වුණේ?
කොවිඩ් වෛරසය පළමු අවස්ථාවේ පැතිරීමත් එක්ක අපේ ධීවරයින්ට විශාල ප්‍රශ්නයකට මහුණ දෙන්න සිදු වුණා. මුහුදු යෑම තහනම් කරලා නොතිබුණත්, අයිස් මෝල් වැහුවා ඒ නිසා අයිස් ටික ගෙන්න ගන්න විදිහක් නැතුව ගියා. බෝට්ටු සඳහා තෙල් ටික ගෙන්න ගන්න විදිහක් නැතිව ගියා. පාරේ යන්න විදිහක් නෑ. පාස් එකක් නෑ. ඊට පස්සේ අපි නිවේදන නිකුත් කරලා, ආණ්ඩුවත් එක්ක සාකච්ඡා කරලා සෞඛ්‍ය බලධාරීන් එක්ක කතා කරලා, කෝවිඩි කමිටුවට කතා කරලා ප්‍රශ්න එකින් එක නිරාකරණය කර ගත්තා.
ධීවර කර්මාන්තය ආශ්රයෙන් පෑලියගොඩ කොවිඩ් පොකුරක් ඇති වුණා නේද?
පෑලියගොඩ ධීවර වෙළෙඳ සැලේ ධීවිරයින්ට කෝවිඩ් ආසාධනය වීමත් එක්ක තමයි අපට විශාලතම ගැටලුවට මුහුණ දෙන්න සිදු වුනේ. ඒ අවස්ථාවේ ධීවරයින් නිසා පෑලියගේඩ කොවිඩ් පොකුරක් ඇති වෙලා එතනින් සමස්ථ රටටම කොවිඩ් පැතිරුණා වගේ කතාවක්නේ ප්‍රචාරය වුනේ. ඒක වැරදි කතාවක්. ධීවරයෝ නිසා කොවිඩ් පැතිරුනේ නෑ. පෑලියගොඩ පොකුර ඇති වුනේ ධීවර වෙළෙන්ඳන්ගෙන්. මාළු අල්ලලා වාහනවල පටවලා කොළඹට එවන එක විතරයි ධීවරයෝ කරන්නේ. ඒතනින් ඒ අයගේ වැඩේ ඉවරයි. ඒ නිසා ධීවර වෙරළෙන්, ධීවර තොටුපොලෙන්, ධීවර කාර්මිකයාගෙන් කොවිඩ් පැතිරුනේ නෑ. මත්ස්‍ය වෙළෙඳපොලේ ධීවර වෙළෙන්ඳන්ගෙන් හා එතනින් තොග වශයෙන් මාළු ගන්න එන ධීවර වෙළෙන්ඳන්ගෙන තමයි මේක හැම තැනම පැතිරිලා ගියේ.
ඒ වෙලාවේ මාළු අළෙවි කරගන්න බැරි වීම අපේ ධීවරයින්ට විශාල ලෙස බලපෑවා. ණය වෙන්න වුණා. ඒ නිසා සමහර ධීවරයින්ට තවමත් මහුදු යන්න බැරි වෙලා තියෙන්වා. තුන් වෙනි රැල්ලේදී වුණත් හරියාකාරව මුහුදු යන්න ඉඩක් ලැබුණේ නෑ. මුහදේ ගිහිල්ලා මාළු අරන් ආවාට විකුණා ගන්න තැනක් තිබුණේ නෑ. ලෙල්ලන් වහලා දැම්මා. මාළු ඇඳුම පිටින්, මාළු ටික කූඩෙට දාලා, පාර අයිනට ආවාම පොලීසිය ධීවරයින්ට ගහලා එලෙව්වා.
මැයි 19 මෙරට මහුදු සීමාවට පැමිණිලා ගිනිගෙන මුහුදුබත් වූ එක්ස්ප්‍රස් පර්ල් නැවේ සිදු වීමත් එක්ක ධීවර ප්‍රජාවට මොන වගේ ගැටළුවලටද මුහුණ පාන්න සිදු වුනේ?
අපි කවදාවත් අමතක නොකළ යුතු කාරනේ තමයි මේ ගිලුනේ හිස් නැවක් නොවන බව. මහ මුහුදේ නැව් ඕනෑ තරම් ගිලිලා තියෙනවා. කොළඹ අවට මුහුදේත් ඒවගේ ගිලුණු නැව් ඕනෑ තරම් තියෙනවා. ඒත් මේ තරම් බහාලුම් ප්‍රමාණයක් එක්ක නැව් ගිලුනේ නෑ. බහාලුම් 1486 ක් එක්ක තමයි මේ නැව මුහුදුබත් වෙලා තියෙන්නේ. ඒ ගිලුණු බහාලුම් 1486 න් අති බහුතරයක රසායණික ද්‍රව්‍ය තිබූ බව තමයි කියන්නේ. නයිට්‍රික් ඇසිඩ් ටොන් 25 ක්, මෙතනෝල්, කෝස්ටික් සෝඩා, තඹ මිශ්‍ර ද්‍රව්‍ය, සොඩියම් මෙතෝසයිඩ්, ඇලුමිනියම් කෙමිකල් වර්ග, ගෙන්දගම් යකඩ මිශ්‍ර කෙමිකල් වර්ග, ඊයම් මිශ්‍ර කොමිකල් වර්ග, යූරියා කාබයිට්, ඇමසයිඩ් කියන ද්‍රව්‍ය, කැල්සියම් ඔක්සයිඩ්, සෝඩියම් මෙතිලේට් වගේ විශාල රසායනික ද්‍රව්‍ය තොගයක් මේ නැවේ බහාලුම්වල තිබුණු බව කියනවා. ඊට අමතරව රූපලාවන්‍ය කටයුතු සඳහා භාවිත කරන විවිධ තෙල් වර්ග බහාලුම් ගණනාවක් තිබිලා තියෙනවා. කරවල වර්ග ටොන් සිය ගණනක් තිබිලා තියෙනවා.
ඇමතිවරු හි රාජ්‍ය ආයතනවල නිලධාරීන් කිව්ව ආකාරයට අමේ නැව ඇත්තටම ගිලුනේ ගැඹුරු මුහුදේද?
ඇමතිවරු, සභාපතිවරු. මේ හැමෝම ඒ වෙලාවේ වැරදි ප්‍රචාරයක් අරන් ගියා. වරායේ සිට නාවුක සැතපුම් 9.5 ක් ගැඹුරු මුහුදේ තමයි මේ නැව ගිලුනේ කියලා ඔවුන් කිව්වේ. ඒක සම්පූර්ණයෙන්ම බොරු කතාවක්. වරායට කෙලින් බස්නාහිට මහුණලා කිලෝ මීටර් 10 ක් පමණ ගියාම ගැඹුරු මුහුද හමු වෙනවා. ඒත් මේ නැව කොළඹ වරායට කෙලින් මුහුදේ සිට උතුරු දිශාවට ඇද්දා. ඒ කියන්නේ මීගමුව පැත්තට. ඒක ගැඹුරු මුහුද නෙමෙයි. මෝදර සිට මීගමුව දක්වා කලාපය අවුරුදු දහස් ගණනක් තිස්සේ කැලණි ගඟෙන් පෝෂණය වූ මුහුදු කලාපයක්. බටහිර මුහුදු තීරයේ වැඩිම බෝට්ටු ප්‍රමාණයක් ගිහිල්ලා වසරේ සෑම මසකම එකම ආකාරයෙන් ධීවර කර්මාන්තයේ නියැලෙන මුහුදු කලාපය ඒක. ගැඹුරු මහුදේ අල්ලන ටූනා මත්ස්‍ය වර්ග බලයෝ වගේ මාළු හැරෙන්න අනෙක් සියලු මාළු වර්ග අඩුවක් නැතිව ඔය මහුදු කලාපයේන් තමයි අපේ ධීවරයෝ අල්ලන්නේ. ඒ කලාපයට ධීවරයෝ කියන්නේ ෆිෂ් බෑන්ක් එක කියලා. මීගමු කලපුවේ පෝෂක ජලයෙනුත් කැළණි ගඟෙන් එන පෝෂක ජලයෙනුත් මේ කලාපය පෝෂණය වෙනවා. ඒ මඩ තට්ටුව මත පෝෂණය වන විශාල මාළු වර්ග ප්‍රමාණයක් මේ කලාපයේ ඉන්නවා. මීගමුවේ ධීවරයින්ගේන් වැඩි ප්‍රමාණයක් මාළු අල්ලන්නේ ඔය කලාපයෙන්. පෝට් සිටිය හදන්න, මුතුරාජවෙල ගොඩ කරන්න, කොළඹ දකුණු වරාය ගොඩ කරන්න, විකුණන්න මහා පරිමාණයෙන් වැලි පොම්ප කළෙත් ඔය කලාපයෙන් තමයි.
ඔය නැව ගිල්ලපු තැනට කිලෝ මීටරයක් පමණ ආසන්නයේ තියෙනවා තඹ ගල කියලා ගලක්. ඒක මුහුදේ නාවුක සිතියම්වල පවා සටහන් වෙලා තියෙනවා. ඒක කිලෝමීිටර් 10 ක් විතර දිග ගල් වැටියක්. මේ වැටියත් මේ කළාපයේ මාළු වැඩිවෙන්න හේතු වෙලා තියෙනවා. ඒ ගල වටේම පරිවාර ගල් විශාල ප්‍රමාණයක් තියෙනවා. මමත් ඔය කලාපයේ අවුරුදු ගණනාවක් මළු අල්ලලා තියෙනවා. දෙවන ලෝක යුද්ධ කාලේ කඩා වැටුණු ගුවන් යානා එතන තියෙනවා. ඒ කාලේ ගිලුණු වතුර බත්තල් විශාල ප්‍රමාණයක් තියෙනවා. ගොඩබිම දෙසට වෙන්න මුහුදු තීරයේ මිනිස්සු ඉස්සෝ දැල්ලෝ අල්ලනවා. මේ නැව ගිලුනත් එක්ක ඒ සියලු ධීවරයින් අනාත වෙලා ඉන්නේ. මේ වෙනකොට ධීවර පවුල් දහස් ගණනකට රැකියා අහිමි වෙලා තියෙන්නේ. අද මේ කලාපයේ ගිහිල්ලා දැලක් එලන්න බෑ. එලුවාම සුදු පුළුන් වගේ ද්‍රව්‍යයක් දල් ඇස වහගන්නවා. ඇතැම් දැල් බර වෙලා මුහුදෙන් උඩට ගන්න බැරි වුණාම ධීවරයෝ දැල් කපලා ගොඩ එන්නේ. නාරා එක ඇවිත් පොටෝ අරන් යනවා. අලුතෙන් දැල් ගත්තත් ඒවාටත් ඒ වැඩේමයි වෙන්නේ. ඒක තමයි මේ වෙනකොට ධීවරයින්ට තියෙන බරපතළම ප්රශ්නය.
එක්ස්ප්‍රස් පර්ල් නැවේ සිදුවීමත් එක්ක ආණ්ඩුවේ අය ධීවරයිනට කිව්වානේ ඒ ප්‍රදේශයට නොයා වෙනත් කලාපවල ධීවර කටයුතුවල නියැලෙන්න කියලා?
එක් දින යාත්‍රාවල අපේ ධිවරයෝ මුහුදු යන්නේ. උදේ ගිහිල්ලා හවස එන්න ඕනෑ. එහෙම නැත්නම් මධ්‍යම රාත්‍රියේ ගිහිල්ලා උදේ පාන්දර ගොඩ එනවා. හෝස් පවර් 15, 20, 25 වගේ පුංචි එන්ජින් අපේ ධීවරයින්ට තියෙන්නේ. ඒවාට දවස් ගණන් යන්න තෙල් ගහන්න බෑ. පැයක් දෙකක් වගේ දුර ගිහින් දැල් එලාගෙන මාළු අල්ලන්නේ. මාළු ටික විකුණා ගන්න හැකි ඉක්මනින් තමන්ගේ ධීවර වරායට ගොඩ එන්න ඕනෑ.
මේ බහාලුම් 1486 න් බහාලුම් දෙකයි ගොඩ ආවේ අනේක් ඒවා සියල්ල කෙමිකල් එක්ක මුහුදු යට දැන් තියෙන්නේ. ඒවායෙන් රසායනික ද්‍රව්‍ය ටිකෙන් ටික එලියට එනවද? පස්සේ එයිද? කියන ප්රශ්නය අපිට තියෙනවා. මේ කළාපයේ මුහුදු රැකියාවේ යෙදන අය ඉන්නවා නම් ඒ අයට සිදු වූ පාඩු හා හානිවලට වන්දි ගෙවන්න තොරතුරු ලබා දෙන්න කියලා මේ වෙනකොට ධීවර අමාත්‍යාංශයෙන් හා වරාය අධිකාරියෙන් දැන්වීම පල කරලා තියෙනවා ධිවර රස්සාව අනෙක් රස්සාවල් වගේ නෙමේ. ඒ අය මේවා ලියාගෙන කරගෙන නෑ.
නාරා ආයතනය කැස්බෑවෝ, ඩොල්පින්ලා හා ගොඩට ආව මාළු අරන් ගියා අද වෙනකම් එක වාර්තාවක් එළියට දාලා නෑ. කොච්චර ඛේදවාචකයක්ද? එක්කෝ බයට මේ තොරතුරු එළියට දෙන්නේ නෑ. නැත්නම් ආණ්ඩුවෙන් කියලා ඇති ඒ තොරතුරු එළියට දෙන්න එපා කියලා. සෞඛ්‍ය සම්පන්න මාළුවෙක් ගොඩට ගෙනාවොත් තමයි මිනිස්සුන්ට කන්න පුළුවන් වෙන්නේ. මාළු අල්ලනකොට මේ මළුවා ලෙඩ වෙලාද කියලා බලන්න වෙලාවක් ධීවරයින්ට නෑ. ගෙනැල්ලා ලෙල්ලමේ තියලා විකුණන එක. ඒ නිසා මේ සම්බන්ධයෙන් විශාල වගකීමක් ආණ්ඩුවේ ආයතනවලට පැවරිලා තියෙනවා.
ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර