රට ඇරීම වැසීම පිලිබඳ දෙගිඩියාව ගැන මා කතා කළේ කලකට පෙර ය. මෙම ලිපියෙන් උත්සාහ කරණුයේ ශ්‍රී ලංකාවේ වැසුණු ආර්ථිකය සහ වැසුණු දේශපාලනය ගැන කතා කිරීමට ය, ඒ ගැන ඔබගේ විචාරාත්මක අවධානය යොමු කරවීමට ය. සංවෘත ආර්ථිකයක් නැතහොත් වැසුණු ආර්ථිකයක් ගැන පළමු අත්දැකීම ලබා දුන්නේ 1970 සමඟි පෙරමුණු ආණ්ඩුව ය. ඉදිරිපත්කල රට සහ රාජ්‍ය ගොඩනැගීමේ පස් අවුරුදු සැලස්ම නිසි ලෙස සමාජගත කිරීමට නොහැකි වූ ඒ ආණ්ඩුව විරුද්ධවාදීන් ගේ නිර්දය විවේචනයට් ලක් විය. ‘හාල් පොලු, මිරිස් පොලු, සීනි නැතිව තේ, සහ මිරිස් නැති හොදි’ වැනි නින්දා සහගත උසුළු විසුළු ලද ඒ වැඩපිළිවෙල නිසි ලෙස ක්‍රියාත්මක වූවා නම් අද මෙ රටට බංගලාදේශයෙන් ණය ගන්නට සිදු නොවනු ඇත යන්න බොහෝ දෙනෙකුගේ මතය ය.
ආනයන අධෛර්යමත් කරමින් ආනයන ආදේශන ඇතිකිරීම සහ අපනයන දිරිගැන්වීම කරමින් අපනයන කර්මාන්ත වැඩිදියුණු කිරීම මත පදනම් වූ එම ආර්ථික වැඩපිළිවෙලට සමාන ඒවා, අද දියුණු යැයි කියන රටවල් ද භාවිතා කළ බවට නිදසුන් බොහෝ ය. එහෙත් අපේ එවක පරම්පරාව කළේ ‘ඔලුව පරාජය කොට බඩ දිනවීම’ ය. ඒ උපහැරණය අපේ අම්මා 1977 එජාප ජයග්‍රහණය නම් කිරීමට යොදා ගත් එකකි. එය ආර්ථිකය සහ දේශපාලනය පිලිබඳ එනම් 77 ආණ්ඩු වෙනසේ අනාගත දේශපාලන ආර්ථිකය පිළිබඳව වූ අනාවැකියකි. අප මේ මොහොත දක්වා නඩත්තු කරන්නේ ඒ ඔලුව පැරදුණු බඩ දිනූ දේශපාලනය ය, ආර්ථිකය ය. කලක් යනවිට ටික දෙනෙකුගේ හැර අති බහුතරයකගේ ඔලුවත් බඩත් දෙකම පරාජය විය. රටම අන්ත අසරණ තත්ත්වයකට ඇද වැටී ඇත.
1956 දී සිදුකළේ ආර්ථිකය වසා දේශපාලනය නිදහස් කිරීම ය. ඒ දක්වා මෙරට දේශපාලනය තුළ අධිපති බල පවුල්/හවුල්වලට සීමා වූ දේශපාලනය පොදු ජන සමාජයට විවෘත වුණේ 56 දී ය. දේශපාලනයේ ගල් ලෙන බිඳ දැමු 56, ආර්ථිකයට ඒ නිදහස ලබා දුන්නේ නැත. එය රාජ්‍ය සීමාව තුළ රඳවා ගනිමින් වඩාත් දියුණු සුබසාධන අර්ථ ක්‍රමයක් නිර්මාණය කිරීමට උත්සාහ ගත්තේ ය. 1971 නොවැම්බර් මස ඉදිරිපත් කළ පස් අවුරුදු සැලැස්මට එනම්, සමගි පෙරමුණු ආණ්ඩුව 1972 සිට 1976 දක්වා වූ කාලය සඳහා ඉදිරිපත් කළ පස් අවුරුදු සැලැස්මට පන්නරය ලැබුණේ 56 ඒ අදහස් සහ ප්‍රතිපත්ති ය. කෘෂිකර්මය, දැව සහ ධීවර කර්මාන්ත, කර්මාන්ත, ආර්ථික පොදු කාර්යයන්, අපනයන සැලස්ම, සමාජ පොදු කාර්යයන් (අධ්‍යාපනය හා මිනිස් බලය, සෞඛ්‍යය, නිවාස කටයුතු) යන ආර්ථික සමාජ ප්‍රතිපත්ති සහ ක්‍රියාකාරී සැලසුම් එම සැලැස්මේ අන්තර්ගත විය.
සමගි පෙරමුණු ආණ්ඩුව දේශපාලනය නිදහස්කොට විධිමත් ආර්ථික සැලැස්මක් ක්‍රියාත්මක කළා මිස ආර්ථිකය නිදහස් කළේ නැත, විවෘත කළේ නැත. ඒ ආර්ථිකය තුළ බලවත් වූ විදේශීය සහ මෙරට ධනහිමි ව්‍යාපාරිකයින් කෙරෙහි අඩු විශ්වාසයක් තබමින් ය. එසේම පෞද්ගලික අංශයට ඒ සඳහා එ තරම් ශක්තියක් නැතැයි යන හැගීමත් සමාජවාදී රටවල්වල ආර්ථික වැඩපිළිවෙලවල් කෙරෙහි තිබු බැදීමත් ඒ සඳහා බලපෑවේ ය. එහෙත් එය දේශපාලන අනතුරක් බව ඒ ආණ්ඩුව එක්කෝ දැන සිටියේ නැත, නැතහොත් ඒ ගැන තැකීමක් කළේ නැත. එසේම බලය ඩැහැ ගැනීමේ දේශපාලනයට වඩා සමාජ දේශපාලනය වැදගත් යැයි සිතු වාමාංශික පක්ෂ මෙම පෙරමුණ තුළ සිටීම ද ඊට හේතුවක් විය. නමුත් සමගි පෙරමුණු ආණ්ඩුව 1975 දී වාමාංශික පක්ෂ එම පෙරමුණෙන් ගලවා දමා, දේශපාලනය සීමා කොට ආර්ථිකය නිදහස් කිරීමට කටයුතු කළ ද ඒ වන විට එම ආණ්ඩුවේ දේශපාලන පැවැත්ම දෙදරුම් කා හමාරය. 1977 එජාප ජයග්‍රහණය සිදු වුයේ එම පසුබිමේ ය.
77 එජාප ජයග්‍රහණය බැලු බැල්මට වැසුණු ආර්ථිකය ඇරීමකි, විවෘත කිරීමකි. සත්‍ය වශයෙන් ම නම් සිදු වුණේ ආර්ථිකය සහ දේශපාලනය යන දෙකම වසා තැබීමකි. ටික දෙනෙකුට ඒ අංශවල පිනුම් ගැසීමට ඉඩ විවෘත කිරීමකි. එතැන් සිට ක්‍රමානුකුලව සිදු වුයේ ඒ දෙකම තව තවත් වැඩි වැඩියෙන් වසා තැබීම මිස නිදහස් කිරීම හෝ විවෘත කිරීම නම් නොවේය. මේ අදහස වඩාත් පුළුල්ව පැහැදිළි කිරීම මෙවර ලිපියේ මූලික ම අරමුණ ය. එනම් දේශපාලනය සහ ආර්ථිකය වසා දැමු හෝ වසාගත් රටක ජීවත්වන්නට පටන් ගෙන දැනට අවුරුදු 24 කි.
අප මුලින් ම දේශපාලනය දෙස ට හැරෙමු. රාජ්‍ය මන්ත්‍රණ සභා කාලයේ සිටම මෙරට දේශපාලන ප්රජාතන්ත්රවාදය පුළුල් වූවා නම් එසේ වූයේ ඡන්ද අයිතිය සහ දේශපාලන බලය අභ්‍යාස කිරීමේ අයිතිය සියලු පුරවැසියන් ට ලැබීම අතින් පමණය. ක්‍රියාත්මක කිරීමට නිදහසක් නැති අයිතියක් යනු මළ/මියැදුණු අයිතියකි. ඉතින් අර අයිතීන් දෙකම ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය නිදහස ලැබුණේ හෝ ලබා ගත්තේ බලවත් පෙළපත් කීපයක් පමණි. ඒවා වැසුණු පෙළපත් ය. අනෙකුත් අයට ඡන්ද අයිතිය තිබුනාට ඡන්ද නිදහස තිබුණේ හෝ ලැබුණේ නැත. දේශපාලන අයිතීන් තිබුනාට දේශපාලන නිදහස තිබුණේ හෝ ලැබුණේ නැත. ඒ නිසාම 1956 වනතෙක් මෙරට ඡන්ද අයිතිය සහ දේශපාලන අයිතිය ඊට අදාළ නිදහස ලැබී තුබුණේ පෙළපත් කීපයකට පමණි. අන් අයට ඒ අයිතීන් සඳහා වූ නිදහස ලැබුණේ 1956 දී ය. එතෙක් දේශපාලන ප්රජාතන්ත්රවාදය තිබුණේ ගල් ලෙනක වසා දමා ය. 56 ශ්‍රීලනිප ප්රමුඛ මහජන එක්සත් පෙරමුණ කළේ ලෙන් දොර ඇර ගල්ලෙන බිඳ දමා පෙළපත් කීපයක් විසින් අත්පත් කරගෙන සිටි දේශපාලන ප්රජාතන්ත්රවාදය ජනසතු කිරීමය.
නමුත් 1975 දී සමගි පෙරමුණ බිඳ වැටීම මගින් සිදු වූයේ නැවතත් ඒ ලෙන් දොර වසා පෙළපත් සහ කල්ලි කීපයක් විසින් ගල් ලෙනක් තුලට දේශපාලන ප්රජාතන්ත්රවාදය දමා අගුලු ලෑ ම ය. 1977 න් පසුව වඩාත් බලවත්ව පවතින්නේ ඒ ලෙන මිස පොදු ජන දේශපාලන ප්රජාතන්ත්රවාදය නොවේ ය. සිදු වුණේ පෙළපත් සහ කල්ලි අතට දේශපාලනය මාරුවීම පමණක් ම ය. එනම් එදා සිට අද දක්වාම මෙරට දේශපාලන ප්රජාතන්ත්රවාදය ඇත්තේ ගල් ලෙනක ය. හැමෝටම ඒ ලෙනට ඇතුළු විය නොහැකි ය. හැබැයි අයිතිය ඇත. එහෙත් නිදහස නැත. උග්‍ර දක්ෂිනාංශිකයෙකු වන මා පෞද්ගලික මිත්‍ර ‘කිවි දා දැක්ම’ ලියුම්කරු චරිත හේරත් මේ අදහස තදින් සිතට ගනු ඇති.
දැන් අපි ආර්ථිකය දෙසට හැරෙමු. 1977 න් පසු වසා දමා තිබූ ආර්ථිකය ‘විවෘත’ කළේ ය. ආර්ථික ලෙන් දොර බිඳ ගල් ලෙන විවෘත කළේ ජේ ආර් ජයවර්ධන මෙහෙය වූ එජාපය ය. ආර්ථිකයට සම්බන්ධ වීමේ අයිතිය කාට කාටත් ලැබුණි. මෙරට සියල්ලෝට ම ආර්ථිකයට සම්බන්ධ වීමේ ව්‍යවසායකයෙක් වීමේ ව්‍යාපාර කර්මාන්ත ආරම්භ කිරීමේ ජාතික ආර්ථිකයට දායක වීමේ අයිතිය ඇත. එය පළමු සහ දෙවැනි ජනරජ ව්‍යවස්ථා මගින් තහවුරු කර ඇති මූලික අයිතිවාසිකමකි. ඒ කලාපය විවෘත ය. එහෙත් අයිතිය ලැබුනාට ඊට අදාළ නිදහස ලැබුණේ සහ ඇත්තේ හැමෝටම නොව ටික දෙනෙකුට පමණි. කල්ලියකට පමණි. ඇති වුණේ සහ ඇත්තේ විධිමත් නිදහස් පූර්ණ තරඟකාරී ආර්ථිකයක් හෝ වෙළඳපොළක් නොව කතිපයාධිපති සහ ඒකාධිකාරී ආර්ථිකයකි. වෙළඳපොලකි. පිවිසීමට හෝ පිටවීමට නිදහසක් නැත. බාධා සීමා බොහෝ වෙති. චරිතගේ කියන්නා සේ අපට ඉන්නේ ටාටා වැනි අය නොව අදානිලා වැනි අය ය. ක්ෂුද්‍ර මුල්‍ය ගිනි පොලී කාරයෝ ය. තමා දන්නා හඳුනන එවැනි ඇතැම් අයගේ නම් සඳහන් නොකර වුවත් ඒ අදහස නො බියව ඉදිරිපත් කළාට චරිතට අපගේ ස්තුතිය හිමි විය යුතුම ය.
පාර්ලිමේන්තු මන්ත්‍රී ශානක්කියන් රාසමානික්කම් පසු ගිය දිනෙක ලංකාදීප ‘කාලීන සටහන්’ ලිපිය සඳහා බිඟුන් මේනක සමඟ කළ සංවාදය කෙරෙහි අපගේ අවධානය යොමු කරමු. ඔහුට අනුව “ ලංකාවේදී ආයෝජන කටයුත්තක් ආරම්භ කිරීමට නම් නිල හා නොනිල වශයෙන් පගා දෙන්නට සිදු වේ. මේ ක්‍රමය විසින්ම නිර්මාණය කරනු ලැබූ කළු ව්‍යාපාරික පැලැන්තියක් මේ නිසාම ලංකාවේ සිටී. ආනයන අපනයනවල සිට බදු පැනවීමේදී අසීමිත ලෙස සහන ලබන මේ කණ්ඩායම බොහෝවිට සේවය කරන්නේ බලයට පැමිණෙන ආණ්ඩුවට ය. මේ කියන ව්‍යාපාරිකයෝ ස්ටීව් ජොබ්ස්ලා හෝ බිල් ගේට්ස්ලා වැනි ව්‍යවසායකයෝ නොවෙති. මේ නිසා ආර්ථික විද්‍යානුකූලව ගත් විට වෙළෙඳපොළ තරගයකට ඉඩක් ලංකාවේදී නැති අතර මේ නිසාම ජාතික ධනයෙන් සාතිශය බහුතරය පවුල් කිහිපයක් අතරේ සිර වී තිබේ. මෙය අවසානයේදී දෙමළ ද සිංහල ද කියා වෙනසක් නොමැතිව රටේ බහුතරයක් ජනයාගේ ආර්ථික ජීවිත පීඩාකාරී වීමට ද බලපා ඇත. හාල්, පිටි, සීනි, පරිප්පු ආදී අත්‍යවශ්‍ය ආහාරවලට අධික මුදලක් තමන්ට ගෙවන්නට සිදුවන්නේ මෙසේ ඒ ඒ ආණ්ඩුවලට හිතෛශී ව්‍යාපාරිකයන්ට ඍජු බදු සහන දෙන විට යැයි මේ මිනිස්සු බහුතරයක් නොදනිති”.
මා සහචර ධනවාදය, සහචර ආර්ථිකය කියන්නේ මෙන්න මේ තත්ත්වයට ය. ආර්ථිකය විවෘත විය යුත්තේ කුඩා බලවත් ජාවාරම්කාර රංචුවකට නොව සියලු මට්ටම්වල එනම් සුළු, මධ්‍යම, මහාපරිමාණ ව්‍යවසායකයින්ට ය. සියලු ජනයාට ය. නමුත් තවමත් එසේ සිදු වී නැත. පසු ගිය දිනෙක ලංකාදීප කතුවරයාගේ කතු වැකියක විවේචනයට ලක් වී තිබු සහල් මාෆියාව, සහ සීනි මාෆියාව ඊට නිදසුනක් ය. තව බොහෝ වෙති. ලූණු මාෆියාව, ඖෂධ මාෆියාව, සුරැකුම්පත් මාෆියාව සහ විවිධ අංශවලට අදාළ අපනයන මාෆියා මෙන් ම ව්‍යවසායික, වෙළඳපොළ මාෆියා සහ බාධා කෙරෙහි රට කරවන අයගේ විමර්ශනාක්ෂිය යොමු විය යුතු ම ය.
ජාතික ආර්ථිකය දියුණු කළ හැක්කේ ගුණාත්මක සහ ප්‍රමාණාත්මක දියුණු ආර්ථික නිදහසක් දීම මගින් මිස එය රංචුවකට පමණක් භාර දී අන් අයට අගුළු ලෑ ම තුලින් නොවේ ය. එසේම ප්රජාතන්ත්රවාදී දේශපාලන සංස්කෘතියක් දියුණු කළ හැක්කේ දේශපාලන අයිතිය පමණක් දීම මගින් නොව කුඩා පිරිසක් භුක්ති විඳින දේශපාලන නිදහස ජනසතු කිරීම මගින් ය. නමුත් ගැටලුව වන්නේ දශක ගණනක් තිස්සේ මෙරට දේශපාලනයත් ආර්ථිකයත් ගල් ලෙනක තබා ලෙන් දොර වසා එහි යතුර කුඩා කල්ලි කීපයක් විසින් හුවමාරු කර ගැනීම ය. එසේ ම විධිමත් ලෙන් දොර වසා දමා ගල් ලෙනේ රහසිගත සිදුරුවලින් කීප දෙනෙකු පමණක් ඇතුළු වීම ය. ඒ අය සතුටින් කළ දවස ගෙවමින් වෙන කිසිවෙකුටත් ඊට ඇතුළු වන්නට ඉඩ නො දීම ය. රට වැසීම ඇරීම ගැන කරන කෝවිඩ් සාකච්ඡාව මෙන් ම සමහර විට ඊටත් වඩා දේශපාලනය සහ ආර්ථිකය වැසීම ගැන නැතහොත් ඒ ගල් ලෙන සහ ලෙන් දොර ගැන වූ සාකච්ඡාව පෙරට ගත යුතු ය යන්න මෙවර මගේ ‘කිවි දා දැක්ම’ ය.
ධම්ම දිසානායක - කිවි දා දැක්ම