ලෝක බැංකුවේ ආයෝජන ආයතනය වන “ලෝක මූල්‍ය සංස්ථාව” විසින් මෙරට පෞද්ගලික බැංකු 03 ට ආහාර, ඖෂධ හා පොහොර ආනයනය සඳහා පහසුවක් ලෙස ඩොලර මිලියන 400 ක හුවමාරු ණයක් ලබා දුන් බව (මාර්තු 06) දින අසන්නට ලැබුණකි. අද මා ඇසූ තවත් වැදගත් ප්රවෘත්ති තුනක් විය. චීන “එක්සිම්” බැංකුව ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමට ලබා දුන් පොරොන්දුව සමග ජාත්‍යන්තර මූල්‍ය (ජා.මූ) අරමුදල මෙතෙක් ප්‍රමාද කළ ඩොලර මිලියන 2.9 ක සිව් අවුරුදු ගිවිසුම ලංකාණ්ඩුව සමග අත්සන් කළ බව එකකි. අනෙක මැතිවරණ කොමිසම විසින් ප්‍රමාද කෙරුණු පළාත් පාලන මැතිවරණය ලබන අප්‍රේල් මස 25 වන දිනට තීන්දු කළ බවය. තුන්වැන්න ක්ෂණික සමාජ අවධානය නොලැබුණත් පෙබරවාරි මස අවසානයේදී ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල් 365 ක් වූ රුපියලේ වටිනාකම අද වනවිට රුපියල් 325 ක ඉහළ වටිනාකමක් ලබා තිබීමය. ඩොලරයට පමණක් නොව බ්‍රිතාන්‍ය පවුමට, යූරෝවට, ජපන් යෙන් වලට හා ඉන්දීය රුපියලටද සාපේක්ෂව රුපියලේ වටිනාකම ඉහළ ගොසින් තිබිණ.
මේ ප්රවෘත්ති තුනම රටට යහපත් ප්රවෘත්ති ය. මේ කිසිවකින් වහා සෙතක් ඇති නොවන බව එනමුත් සිහි තබා ගත යුත්තකි. ඉන් සිදුවන්නේ අනාගතය සඳහා නැවත බලාපොරොත්තු ඇති කරවීමය. පළාත් පාලන මැතිවරණය සැළකීමේදී එමගින් ලබා ගත හැකි ප්රජාතන්ත්රවාදී අවකාශය ප්‍රයෝජනයට ගැනීමේ සැළසුම් කිසිවක් කිසිදු විපක්ෂ දේශපාලන පක්ෂයක් සතු නොවේ. ඔවුන් ඒ වෙනුවට ගණන් හැදූ “රනිල් විරෝධය” අනෙක් කාරණා විසින් තනුක කරනු ඇත. එහි වාසිය පොහොට්ටුවේ අපේක්ෂකයින්ට එකතු කර ගැනීමට හැකි වන්නටද පුළුවන.
ජා.මූ. අරමුදල සමග අත්සන් කෙරෙන ගිවිසුමෙන් අපට හුස්ම ගැනීමේ ආර්ථික ඉඩක් ලැබෙනු ඇත. ණය ප්‍රතිව්‍යුහගත කිරීම යනු මෙතෙක් ගෙවා ගැනීමට නොහැකිව ඇති ඩොලර ණය සඳහාවන පොලී ගෙවීමට අපට තව අවුරුදු 03 ක හෝ 04 ක විරාම කාලයක් ලැබීම ය. ඒ සමග ලෝකය ඉදිරියේ අප බංකොලොත් රටක් යැයි නම් කළ ෆිෂ්ට්, මූඩීස් වැනි ජාත්‍යන්තර ආයතන ඒ ලේබල ඉදිරියේදී ඉවත් කළ විට ජාත්‍යන්තර වෙළඳ පලින් පවා ආණ්ඩුවට නැවත ඩොලර ණයට ගැනීමට හැකි වනු ඇත.
ඒ අතර රුපියල ශක්තිමත් වීමේ වාසිය සාමාන්‍ය ජනතාවට ලබා ගැනීමට නම් ආණ්ඩුව පාරිභෝගික භාණ්ඩ මිල කලමනාකරණය කිරීමට මැදිහත් විය යුතු වන්නේය. වෙළඳුන් ඒ වාසිය තමන් සතු කර ගැනීම මේ ආර්ථිකයේ සාමාන්‍ය රීතිය වන හෙයිනි. හේතු කවරක් වූවත් ඉහළ දැමුණු මිල නැවත පහත හෙළන සම්ප්රදායක් මේ රටේ නැතැයි සාමාන්‍ය ජනතාව කියන්නකි. පළාත් පාලන මැතිවරණය අප්‍රේල් මස අවසානයට නියම වූයෙන් වික්‍රමසිංහ ජනාධිපති බංකොලොත් රටක් යළි පිළිසකර කිරීමේ තම සාර්ථකත්වය ප්‍රදර්ශනය කිරීමටත් ඒ මත බලසම්පන්න පාලකයෙකු ලෙස තහවුරු වීමටත් ජා.මූ අරමුදල සමග වූ ගනුදෙනුව හා රුපියල ශක්තිමත්වීමේ වාසිය යම් පමණකට ජනතාවට ලබා දීම සඳහා මැදිහත් වනු ඇතැයි මම අනුමාන කරමි.
ඒ සියල්ල සිදුවන්නේ නැවත ණය ලබා ගැනීමෙන් මිස, අපට අපේ අවශ්‍යතා සඳහා ප්‍රමාණවත් වන විදේශ විනිමය උපයා ගැනීමට හැකි අයුරු මේ විවෘත වෙළඳපල අලුත්වැඩියා කිරීමට හැකිවීමෙන් නොවන බව අවධාරණයෙන් කිව යුත්තකි.
මේ විවෘත වෙළඳපල මගින් අපට අවශ්‍ය තරම් විදේශ විනිමය ඉපැයීමට අවුරුදු 40 ට වැඩි කලක් නොහැකි වූයේ දූෂණය හා වංචා නිසා නොවන බව යළි යළිත් කිව යුත්තකි. මේ විවෘත වෙළඳපල ආර්ථිකයෙන් අපගේ අවශ්‍යතා අනුව විදේශ විනිමය උපයා ගැනීමට ජයවර්ධන ජනාධිපතිගේ සිට චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිනිය දක්වාද අපට නොහැකි විය. වෙළඳාම සඳහා ආර්ථිකය විවෘත කිරීමට පෙර 1976 අවසන් වනවිට කිසිදු විදේශ විනිමය අහේනියක් අපට නොතිබුණු නමුත් ආර්ථිකය විවෘත කිරීමෙන් අවුරුදු 10 ට පසු 1988 දී වෙළඳ හිඟය දළ දේශීය නිෂ්පාදනයෙන් සෘණ සියයට 10.8 ක් නොහොත් ඩොලර බිලියන 0.8 ක් විය. චන්ද්‍රිකා පාලනය අවසන් වනවිට එය සෘණ සියයට 09 ක් නොහොත් ඩොලර බිලියන 02.2 ක් විය. වසර 09 ක යෝධ දූෂණ වංචා සිදුවිනැයි කියූ රාජපක්ෂ යුගය අවසන්කර යහපාලන ආණ්ඩුව 2015 බලයට පත් වන විට වෙළඳ හිඟය දළ දේශීය නිෂ්පාදනයෙන් සෘණ සියයට 7.1 ක් නැතිනම් ඩොලර බිලියන 06.1 ක් විය. යහපාලන ආණ්ඩුව ඉවත් වූ 2019 අවසානයේ එය සෘණ සියයට 05.8 ක් නැතිනම් ඩොලර බිලියන 05.1 ක් විය.
යෝධ දූෂණ වංචා නොමැති විවෘත වෙළඳපල ආර්ථිකයක් මේ ලෝක සිතියමෙන් සොයා ගැනීම පහසු නැත. ඉතා ශක්තිමත් විවෘත වෙළඳපල ආර්ථිකයක් ඇතැයි කියන්නාවූ චීනය, ලොව දූෂිතම රටවලින් එකකි. ඉන්දියාව, වියට්නාමය වැනි රටවලද දූෂණවල අඩුවක් නැත. වික්‍රමසිංහ ජනාධිපතිට දූෂණයෙන් තොර විවෘත වෙළඳපල ආර්ථිකයක් හැදීමට නොහැක. දූෂණය මෙවැනි ආර්ථිකවල ආවේනික ලක්ෂණයකි. ඔහු කරනුයේ දෙවන විදේශ විනිමය හිඟයක් සහිත ණය ආර්ථිකයක් සඳහා අවශ්‍ය ණය විරාමයක් ලබා ගැනීමය. ඔහුට ඒ සඳහා ඇමෙරිකානු සහ පැරිස් සංගමය වැනි හවුල්වල සහාය සමග ජා.මූ. අරමුදලේ මැදිහත්වීම ලැබෙන්නේ විවෘත වෙළඳපල ආර්ථිකය යළි නඩත්තුකර ගැනීමට පමණි.
එනිසා මේ සමාජයේ දැනුවත් පිරිසට සංවර්ධනයකින් තොර අසංවර ආර්ථිකයක ප්රශ්නය එළෙසින්ම ඉතිරිවනු ඇත. ඊට උත්තර සෙවීමට “ජාතික සංවර්ධනය” යනු කවරක්දැයි අර්ථකතනය කර ගැනීමටත් ඒ සඳහාවන විදේශ විනිමය උපයා ගත හැකි සහ සමාජයට වගවන ජාතික ආර්ථිකයක් සැළසුම් කර ගන්නේ කෙසේද යන්නට අලුත් සමාජ කතිකාවකට මුල පුරන්නටත් සිදුවනු ඇත.
| කුසල් පෙරේරා (ප්‍රවීණ මාධ්‍යවේදී හා සමාජ විශ්ලේෂක)