මොන සමාජවාදයක් ගැනද මේ භීතිකාව?

මොන සමාජවාදයක් ගැනද මේ භීතිකාව?

මේ දිනවල මැතිවරණ කතා අස්සේ හඩු ජාවාරම්කාර වෙළඳපල බේරා ගැනීමේ නාගරික ඉහළ මැදපංතික විශේෂඥ කව මගින් ගොඩ නගන එක භීතියක් වන්නේ “සමාජවාදය” නැවත ගෙනාවොත් රටටම කෙළ වෙනවා යන්නය. මේ ජාවාරම්කාර විවෘත වෙළඳපල විසින් අවුරුදු 40ට වැඩි කාලයක් පුරා රටටම කෙළ වලා අවසන් යැයි ඔවුන් කියන්නේ නැත. බොහෝ අය තමන්ටත් කෙළ වෙලා යැයි තේරුම් නොගන්නේත් නාගරික වෙළඳපලෙහි ඇති පාරිභෝගික නිදහසින් ගොඩ යා හැකි යැයි වන මිථ්‍යාවෙහි මත්වී ඉන්නා නිසා ය. ඒ වෙනුවෙන් තමන් ධෛර්යමත්ව, අධිශ්ඨාන සහගතව තමන්ගේ ගමන යන්නේ නම් ජීවිතය සාර්ථක කරගත හැකියැයි “ධනාත්මක චින්තන” වෙදුන් කණ්ඩායමක්ද මෙහි පොහොසත් වෙති.

මේ වෙළඳපල පුරා හැල්මේ දුවන්නේ නැතිව මඳක් නැවතී වටපිට බලන්නේ නම්, දැකිය හැක්කේ දුප්පත්කම නොකඩවා වැඩිවී ඇති සැටිය. සමාජයේ ආදායම් හා වත්කම් බුක්ති විඳීමේ පරතරයද ඒ හා සමග බරපතල ලෙස තියුණුවී ඇති සැටිය. අධ්‍යාපනය, සෞඛ්‍ය, පොදු මගී ප්‍රවාහනය කොහේ යන්නේදැයි බලධාරීන් දන්නේද නැත. අධ්‍යාපන හා සෞඛ්‍ය ක්ෂේත්‍රයෙහි වෘත්තිකයින්ගේ දෛනික ආදායම් ඉහළ දැමුණු නමුත් සේවාවන් වශයෙන් ඒවා බාල, අවලංගුවූ සේවාවන් හැටියට ඉතිරිව ඇත. සමාජයේ නීතිය පවත්වා ගැනීම අති දූෂිත යැයිද අධිකරණ ක්‍රියාවලිය හැමවිට හැමට සාධාරණ නොවන්නේ යැයිද දැඩි විවේචන ඇත.

අවුරුදු පතා ඉහළ යන ස්ත්‍රී දූෂණ, ලිංගික අපරාධ හා හිංසන, පාසල්වල ළමුන්ට හිංසාකාරී ලෙස පහර දීම්, ළමා ලිංගික හිංසන සහ අපරාධ, මිනී මැරුම්, කප්පම් ගැනීම්, සොරකම්, දූෂණ වංචා වැනි සියලු අපරාධ මේ ජාවාරම්කාර වෙළඳපලෙහි සාමාන්‍ය කාරණා බවට පත්ව ඇත. ඒ සමග දේශපාලන හා මුදල් බලය මත කෙරෙන පරිසර විනාශය කෙළවරක් නොමැත. වනාන්තර හා තෙත් බිම් විනාශය, වෙරළාසන්න ප්‍රදේශ අප්‍රසන්න ලෙස භාවිත කිරීම බලා සිටියදී ඉහළ යන්නකි.

අපි නොදන්නා “සමාජවාදී” කතා

“සමාජවාදය” ගැන කතාව දැන් මතු කෙරෙන්නේ ජාවාරම්කාර වෙළඳපලෙහි සිදුවන අයුක්තීන්, අසාධාරණකම්, විනාශ, අපරාධ විඳ ගැනීමට අසීරු වනවිට, විකල්ප සෙවීමෙහිදී ය. එහෙත් “සමාජවාදය” ගැන නිශ්චිත, පැහැදිලි කිරීම් ඒ වෙනුවෙන් පෙනී සිටින්නන්ටද නැත. විරුද්ධ වන්නන්ටද නැත. මේ දෙපාර්ශවයම දළ වශයෙන් “රාජ්‍ය කේන්ද්‍රීය” ආර්ථික සමග දැඩිව පාලනය කෙරෙන වෙළඳපල ආකෘතීන් “සමාජවාදී” ආර්ථික යැයි බාර ගනිති.

එවැනි සමාජවාදයක් සඳහා 60 - 70 දසකවල නිදසුන් ලෙස තබා ගත් සෝවියට් රුසියාව සහ එහි ආධිපත්‍යයට යටත් වූ නැගෙනහිර යුරෝපීය රටවල්, චීනය සහ පසුව කියුබාව වාමාංශික දේශපාලනයෙහි වැරදි තේරුම් ගැනීම් ය. ඒ රටවල් කිසිවක් සමාජවාදී රටවල් නොවුනි. ඒවායේ පැවතියේ දැඩි නිලධරවාදී දූෂිත කොමියුනිස්ට් පක්ෂ විසින් සියලු ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් අහෝසි කෙරුණු ඒකාධිපති පාලන යටතේ පවත්වා ගෙන ගිය රාජ්‍ය කේන්ද්‍රීය ආර්ථික ක්‍රියාවලියකි. ඒවායේ පාරිභෝගික අවශ්‍යතා හා තේරීම් තීන්දු කරනු ලැබුවේද කොමියුනිස්ට් පක්ෂ නිලධරය විසින් ය.     

“සමාජවාදය” එවැනි දූෂිත අධිකාරවාදී පාලන යටතේ පවත්වාගත හැකි සමාජ ආර්ථික ආකෘතියක් නොවේ. එය දියුණු ධනේශ්වර සමාජයකටද වඩා දියුණු සමාජ පැවැත්මක් වෙනුවෙන් යොදනු ලැබූ නමකි. දළ වශයෙන් ගතහොත් 1935 දී ලංකාවේ පළමු දේශපාලන පක්ෂය පිහිටුවීමේදී එහි මාක්ස්වාදී න්‍යායික තේරීම් අනුව ප්‍රධාන අරමුණක් වූයේ සමාජවාදී සමාජයක් හැදීමය. ඒ වෙනුවෙන් ඔවුන්ගේ පක්ෂය “සම සමාජ” පක්ෂය යැයි නම් කෙරුණේ “සමාජවාදය” සරළ සිංහලෙන් තේරුම් කිරීමේ අදහසිනි. සියල්ලන්ට සමානයින් ලෙස ජීවිත් විය හැකි සමාජයක් හදන්නාවූ දේශපාලනයට හිමිකම් කියන්නාවූ පක්ෂයක් යැයි කීමට ය.

මාක්ස් නොකියූ “සමාජවාදී” කතා

කාල් මාක්ස් සහ ෆ්‍රීඩ්රික් එන්ගල්ස් විසින් ඔවුන්ගේ ජීවිත කාලයේ කෙරුණු ආර්ථික හා සමාජ විද්‍යා පර්යේෂණ හා අධ්‍යන සමග ඉදිරිපත් කළ මානව පරිනාමයේ ඓතිහාසික භෞතිකවාදී කියවීමට අනුව, ධනේශවර ක්‍රමයේ උපරිම දියුණුවෙන් පසු මානව පරිනාමයේ පළමු වරට ජන සමාජයෙහි දැනුවත් තේරීම් සමග ඊළග සමාජය සැළසුම්කර ගත හැකි වන්නේය. එසේ විය හැක්කේ ඒ වනවිට විද්‍යාව, තාක්ෂණය, කලමනාකරණය, කුසලතා වර්ධනය, වැනි සියල්ල අතිශය දියුණු ඉහළ තත්ත්වයක තිබීමත් ඉතා දියුණු ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහ හා සම්ප්‍රදායන් සමාජ සංස්කෘතියෙහි වැදගත් සාධක ලෙස තහවුරුව තිබීමත් නිසාවෙනි. ඒ සමග වාණිජ ප්‍රාග්ධනය ශක්තිමත් නිෂ්පාදන ප්‍රාග්ධන ආයෝජන බවට පරිවර්තනය වී ඒ හේතුවෙන් ඉතා දියුණු, විශාල, සංවිධානාත්මක ශ්‍රම බලකායක්ද දියුණු ධනේශ්වර සමාජයෙහි වර්ධනයවී තිබීමය.

පැවති රාජ්‍ය “ජනතා” විප්ලව මගින් හෝ ජනතාව වෙනුවෙන් කෙරුණු විප්ලව මගින් ස්ථාපිත කෙරුණේ යැයි ඒවා සමාජවාදී රටවල් ලෙස ගණන් හැදීම අතිශය වැරදි ගණන් හැදීමකි. එවැනි විප්ලව සඳහා නායකත්වය දෙනු ලැබුවේ කොමියුනිස්ට් පක්ෂ යැයි ඔවුන් බලය ගත් හේතුවෙන් ඒවා සමාජවාදී රටවල් වන්නේද නැත. මෙතෙක් ඉතිහාසයෙහි එවැනි “ජනතා” විප්ලව මගින් තහවුරු කෙරුණු කිසිදු රටක් මාක්ස්වාදී අර්ථකතනයට අනුව සමාජවාදය අහළකටවත් පැමිණි රටවල් නොවුනි.

යූරල් කඳු වැටියෙන් බස්නාහිරට සහ විශාල ප්‍රදේශයක් ආවරණය කරමින් නැගෙනහිරට පැතිර තිබූ මහ රුසියාව, දිළිඳු වැඩවසම් සමාජයක් විය. රුසියානු සාර් අධිරාජ්‍යයෙහි පෝලන්තය හා ෆින්ලන්තය අත හැරි පසු 1916 වනවිට ජනගහනය වූයේ දළ වශයෙන් මිලියන 96 ක් පමණය. ඉන් සියයට 82 ක් ගැමියන් යැයි ගණන් බලා තිබිණ. 1861 දී රුසියානු ප්‍රවේණිදාස ක්‍රමය අහෝසි කෙරුණාට, වැඩවසම් ආකල්ප හා සම්ප්‍රදායන්, බැඳීම්, ඉඩම් අයිතීන් එතරම් වෙනසකට බඳුන් වී නැත. කම්කරු ජනගහනය සියයට 04 ක් යැයි ගණන් බලා තිබුණේ පෙත්‍රොග්‍රාඩ්, මොස්කව්, ටුලා, කාර්කොව්, කසාන්, සමාරා වැනි නගරවල කර්මාන්තශාලා සේවකයින් සහ ශිල්පීන්, සොල්දාදුවන් හා නාවිකයින් වැනි පුද්ගල සංඛ්‍යාවන්ද ඇතුළත්වය. (Imperial Russia – Government & People / Chapter – Class Divisions in Russia).        

එවැනි පෙනුමක් සමග රතු වර්ණ පක්ෂයක් ලෙස ජ.වි.පෙ කතා කරන හෙයින් දේශපාලනයක් හරියට නොකියවන මාධ්‍යවේදීන් ඔවුන්ව මාක්ස්වාදී කියා හැඳින්වීමේ සහ ඔවුන්ද සමාජවාදයක් ගැන නොදැන සමාජවාදයක් ගැන කතා කිරීමේ අර්බුද අපටද ඉදිරියේ හමුවන්නට ඉඩ ඇත. එසේ සමාජවාදය හැදීමට ගිය හැම රටක්ම තිරිසන් ඝාතන සිදුවූ කාම්බෝදියාවක් නොවුනාට අසාර්ථක ගමන් ගිය රටවල් විය. එබැවින් දියුණු බටහිර රටවල කම්කරුවන්ට එවැනි බලහත්කාර අව වර්ධිත රාජ්‍ය ආකර්ශනයක් නොවුනි. බටහිර යුරෝපීය රටවල දෙවන ලෝක යුද්ධයෙන් පසු මාක්ස්වාදී දේශපාලනයට එනිසා ඉල්ලුමක් නොවුනි.

එහෙත් එනිසාම, රාජ්‍යගත ආර්ථික ආකෘතීන් සමග නිදහසක් ප්‍රජාතන්ත්‍රවාදයක් නොමැති, දූෂිත ඒකාධිපති පාලන සමාජවාදී යැයි අර්ථ දැක්වීම වැරදිය. ඒවා හඳුනාගත යුත්තේ රාජ්‍ය ආර්ථිකවාදී ඒකාධිපති පාලන වශයෙනි. අවශ්‍ය නම් ඒවාට කෙටි නමක් යොදා ගත හැකිය. දැනට එපමණ ය.

කුසල් පෙරේරා