මෙවර පළාත් පාලන ජන්ද විමසීමේ කාන්තා නියෝජනය -එහි හැඩය හා වර්ණය

මෙවර පළාත් පාලන ජන්ද විමසීමේ කාන්තා නියෝජනය -එහි හැඩය හා වර්ණය

අප සියලු ආකාරයෙන්ම සිරවී විසඳුමක් පෙණෙන මානයක නොමැති අවස්ථාවේ භාවිතයට ගන්නා කදිම සිංහල භාෂාගත ප්‍රස්තාව පිරුළක් ඇත්තේය. එය නිපදවා ගෙන ඇත්තේ කාව්‍යශේකරය නම් මාහැඟි ප්‍රාචීන සිංහල පද්‍ය සංග්‍රහය ඇසුරෙනි. එහි 11 වැනි සර්ගයේ මෙසේ  කියයි.  ''නොකිය, අද මඟ රැඳුණ තෝ නසී, ගෙට ගිය තා අඹුව නසී”. එය සරලව අප වරනගන්නේ මඟ සිටියොත් තෝ නසී -ගෙදර ගියොත් අඹු නසී' ලෙසිනි. මෙය ඉතා පහසුවෙන් ආදේශ කල හැකි සමාන්තර අවස්ථාවක් අදවනවිට දේශපාලන ක්‍ෂේත්‍රයේ ද දිස් වේ. ඒ මැතිවරණ කොමිෂන් සභාවේ නියමය පරිදි 25% ක කාන්තා නියෝජනය ප්‍රතිපූරණය කිරීම සඳහා සුදුසු කාන්තාවන් තෝරා ගැනීමේ කර්තව්‍යය සිදුකරන දේශපාලන පක්‍ෂ පත්ව ඇති තත්වයයි. එක් පසෙකින් මැතිවරණ කොමිෂන් සභාවේ නියමයට සහ නීතියට ඔවුන් අවනත විය යුතුය. අනෙක් පසින් නාම යෝජනා පත්‍ර දෙකක සඳහන් කාන්තාවන් සමූහයක් අතරින් වඩාත් සුදුසු කිහිප දෙනෙක් තෝරාගත යුතුය. රුසියාවේ සාර් රජුටත් වඩා ශ්‍රී ලංකාවේ දේශපාලන පක්‍ෂ ලේකම්වරුන් විශාල බලයක් භුක්ති විඳි. එහෙත් එකී බලපුළුවන්කාර ලේකම්වරුන් මෙලෙස උභාතෝකෝටිකයකට හසුවීම  බැලූ බැල්මට අමන්දානන්දය වඩන්නේය. එහෙත් සැබවින්ම ගැඹුරින් විමසා බැලිය යුත්තේ මිශ්‍ර සභික සමානුපාතික නියෝජනය ක්‍රමය (MMP) නම් වූ මෙම මැතිවරණ ක්‍රමය මඟින් හැඩ ගන්වන කාන්තා නියෝජනයේ වර්ණය මෙවර කවරාකාරයේ දිස්නයක් විහිදන්නේ  ද යන්නයි.

නීතිය පැහැදිළිය -එහෙත් යුක්තිසහගත නැත

කාන්තා නියෝජනය යනු නිරනුමානවම ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රියාවලිය තුළ සිදුවූ යම් විප්ලවීය වෙනසක් මෙන්ම ප්‍රතිසංස්කරණයකි. එය අද ද ඉදිරිගාමී පියවරක් සේ ආදේශ  වී ඇත්තේ පළාත් පාලන ආයතන ස්ථරයේය. එහි සංඛ්‍යාත්මක අගය ද ආකර්ශනීයය. වසර 2011 අදියර තුනක් යටතේ විහිදුනු පළාත් පාලන ආයතන ජන්ද විමසීම මඟින් සමස්ත රටෙහිම බිහිකරන ලද්දේ කාන්තා සාමාජිකාවන් 88 දෙනෙක් පමණි. බොහෝ විට ජන්දයෙන් පසු බලය ගනු ලබන දේශපාලන පක්‍ෂය හෝ කණ්ඩායම වඩාත් ස්ථාවර මට්ටමකට පත් කිරීම සඳහා ප්‍රසාද සභික ධූර දෙකක්ද පිරිනැමිණි. එකී ප්‍රසාද අසුන් සඳහා හෝ කාන්තා සාමාජිකාවක් පත්කරගැනීමට හැකිවන සේ නාම යෝජනා ලැයිස්තු පිළියෙළ කිරීමක් එකල සිදුනොවීය. කාන්තාවන් ගැන සිහිකරන විට අනේක අලංකාරික ඔස්සේ සංවේදී වන දේශපාලන පක්‍ෂ නායකයන් ඔවුන් ගමේ කවුන්සිලයට ගෙන්නා ගමුදැයි යෝජනා කල විට ඉරියව් වෙනස් වී කහඹිලියා ගෑවුණු ස්වරූපයක් දිස්වූ යුගයකි අපි වසර 2018 තෙක් පසුකොට ඇත්තේ. 

මෙම කාන්තා දේශපාලන නියෝජනය සඳහා අනුබලය ලැබී ඇති ප්‍රධානතම නෛතික ලේඛන දෙකක් අප සතුව ඇත. පළමුවැන්න 2017 අංක 16 දරන පළාත් පාලන ආයතන ජන්ද විමසීම් (සංශෝධන) පනතයි. එහි 25 වන ජේදය මීට අදාළ කරුණු පැහැදිලි කොට ඇත. එමඟින් වඩාත් බලාත්මක කොට ඇත්තේ 1987 අංක 20 දරන පළාත් පාලන ආයතන ජන්ද විමසීම් ප්‍රධාන ප්‍රඥප්තිය යටතට වැටෙන 65 අඅ (2)අ වගන්තියයි.

මෙම නීතියට අනුව ඕනෑම පළාත් පාලන ආයතනයක, යම් දේශපාලන පක්‍ෂයක් හෝ කණ්ඩායමක්  සමස්ත වලංගු ජන්ද සංඛ්‍යාවෙන් 20% ට අඩුවෙන් හෝ සභික ධූර තුනකට අඩුවෙන්  ගන්නේද ඔවුන්ගේ ජන්ද සංඛ්‍යාව පළමුව බැහැර කල යුතුය. පසුව ඉතිරි පක්‍ෂ හෝ කණ්ඩායම්වල වලංගු ජන්ද ප්‍රමාණය එකතු කොට අදාළ පළාත් පාලන ආයතනයට හිමි නිල කාන්තා නියෝජනය නම් වූ සංඛ්‍යාවෙන් බෙදිය යුතුය. එය කියවන ඔබගේ සමීප පරිශීලනය සඳහා නිදසුනකින් කිව හැකිය. යම් පළාත් පාලන ආයතනයක සමස්ත සභික ධූරය 26 ක් යැයි සිතන්න. එවිට දශම සංඛ්‍යා ඉවත් කල යුතුය යන නියමය පරිදි එම සභාවේ සිටිය යුතු අවම කාන්තාවන් සංඛ්‍යාව 06 කි.

දැන් කාන්තා නියෝජනය ඒ ඒ පක්‍ෂ හෝ කණ්ඩායම් වලට ආදේශ කල හැකිය. පෙරකී පරිදි මුලින් එකතු කල සමස්ත වලංගු ජන්ද සංඛ්‍යාව කාන්තා නියෝජනයෙන් බෙදිය යුතුය. මුලින් කී නිදසුනට අනුව නම් 06න් බෙදිය යුතුය. එවිට ලැබෙන අගය අපි හඳුන්වන්නේ 'තීරක අගය ''ලෙසයි. තීරක සංඛ්‍යාව ඒ ඒ පක්‍ෂ හෝ කණ්ඩායම් ලබාගත් ජන්ද සංඛ්‍යා වලට ආදේශ කල පසු ඉතා පහසුවෙන් ඔවුන්ට හිමි කාන්තා නියෝජනයේ අගය කුමක්දැයි අවබෝධ කරගත හැකිය.

එසේනම් නීතිය මෙතරම් පැහැදිළිව තිබියදීත් එය අගතිදායී යැයි පවසන්නේ මන්ද? හේතුව නම් මෙම සූත්‍රය මඟින් ජනිත වන ප්‍රතිඵලය බොහෝවිට  අදාළ වන්නේ අනුශුරයා වෙත වන අතර වසර 2018 දී වැඩිම කාන්තාවන් පිරිසක් නම්කොට යැවීමට සිදුවූයේ එක්සත් ජාතික පක්ෂයටය. නීතිය එයනම් මෙහි ඇති ගැටලුව කුමක්දැයි කවුරුන් හෝ ඇසීමට සුදානම්ව සිටිනු ඇත. ඔවුන්ගේ සැකය විද්වංසනය කිරීම සඳහා පැවසිය යුත්තේ කෝටාවක් යනු එක් පක්‍ෂයක් හෝ කණ්ඩායමක් මත පැටවෙන්නක් නොව එය සාමූහික අභිලාශයකින් තෝරා බේරාගෙන බෙදාහදා ගත යුතු යමක් බවයි.

එය තවත් පැහැදිලි කිරීමට මෙවර ජන්ද විමසීමේ ප්‍රතිඵලයක් විමසිය හැකිය.

මාතර දිස්ත්‍රික්කයේ තිහගොඩ ප්‍රාදේශීය සභාව සඳහා තරග වැදුණු දේශපාලන පක්‍ෂ කණ්ඩායම් ගණන 05 කි. එහිදී 20% කට වැඩියෙන් හෝ සභික ධූර 03 කට වඩා ගත් පක්‍ෂ යන නිර්ණායක දෙකෙන් එකක් බැගින් සම්පුර්ණ කොට ඇති දේශපාලන පක්‍ෂ ගණන  දෙකකි. ඒ ජාතික ජනබලවේගය සහ සමඟි ජනබලවේගය ලෙසිනි. පොදුජන එක්සත් පෙරමුණ සභික ධූර 01 ක්ද,  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සභික ධූර 02 ක්ද ,  හා දේශප්‍රේමී ජනතා බලය සභික ධූර දෙකක්ද වශයෙන් ලබා ඇත.

ඒ අනුව ජාතික ජනබලවේගය සහ සමඟි ජන බලවේගය පමණක් කාන්තා නියෝජනයේ පංගුව සඳහා සුදුසුකම් ලබයි. එකී දේශපාලන පක්‍ෂ දෙකෙහි වලංගු ජන්ද සංඛ්‍යාවේ එකතුව (9,926+3,958) 13, 884 කි. එහිලා තිහගොඩ ප්‍රාදේශීය සභාවට තෝරා ගැනීමට නියමිත අවම කාන්තා නියෝජනය 04 කි. (එම සංඛ්‍යාව 04 වී ඇත්තේ එහි සභික සංඛ්‍යාව 17 කට සීමා වී ඇති බැවිනි). ඒ අනුව පළමු නාම යෝජනා පත්‍රයෙන් අවම වශයෙන් 10% නියෝජනය තහවුරු කිරීම සඳහා එක් කාන්තාවක් නම්කලයුතුව තිබූ අතර දෙවැනි නාම යෝජනා පත්‍රයෙන් නම් කල යුතුව තිබූ අවම කාන්තාවන් සංඛ්‍යාව 04 කි.

වැඩිබර දරන්නේ අනුශුරයාය

ඉහත ජන්ද ප්‍රතිඵලයට අනුව කාන්තා නියෝජනය සැළසීමේ තීරක අගය වන්නේ ජන්ද 3,471 කි. ජාතික ජන බලවේගය ලබා ඇති ජන්ද ප්‍රමාණයට අනුව ඔවුන් නම් කල යුතු කාන්තා සභිකයන් සංඛ්‍යාව 02 කි. සමඟි ජනබලවේගය ලත් ජන්ද සංඛ්‍යාව වන 3,958 ක ජන්ද ප්‍රමාණය බෙදීමේදී ඔවුන් එක් කාන්තා සභික ධූරයක් සඳහා වන නමක් මැතිවරණ කොමිෂන් සභාවට නම් කොට යැවිය යුතුය.

මැතිවරණ ප්‍රතිඵල වලට අනුව ජාතික ජන බලවේගය මැතිවරණ නීතියට අනුකූලව නම්කළ යුතුව තිබුණු කාන්තා අපේක්ෂිකාව එක් කොට්ඨාශයකට නම්කොට ඇත. එලෙසම ඇය ජයගෙන ඇත. ඔවුන් පරාජයට පත්ව ඇත්තේ එක් කොට්ඨාශයක් පමණි. ඒ පහළ විටියලයි. දැන් කාන්තා නියෝජනය බෙදී යන්නේ මෙලෙසය. (මෙවර තිහගොඩ සභාවට එල්ලෙන ආසන (Overhang Seats) ලැබී නැත).  ජාතික ජන බලවේගය 02 ක් සහ සමඟි ජන බලවේගය 01 ක් ලෙසය. එහෙත් මෙලෙස සූත්‍රයට අදාළව කාන්තා නියෝජනය ලබාදීමට ජාතික ජනබලවේගයට අවස්ථාවක් නැත. හේතුව ඔවුන්ට දෙවැනි නාම යෝජනා ලැයිස්තුවෙන් තෝරා යැවිය යුතු සභිකයන් ලැබී නැති බැවිනි. එනම් ඔවුන්ට සමානුපාතික නියෝජනයක් සඳහා අවස්ථාව නැත. එබැවින් ඔවුන් නම්කළ යුතුව පවතින කාන්තා සාමාජිකාවන් දෙදෙනාගෙන් කෙනෙක් ජයගත් නිසා නිහඩව සිටිය හැකිය. දැන් ඒ නියෝජනය ද සපුරාලිය යුත්තේ සමඟි ජන බලවේගයයි. හේතුව ඔවුන්ට සභික ධූර ලැබී ඇත්තේ අතිරේක ලැයිස්තුව යටතේ බැවිනි.එබැවින් මැතිවරණ කොමිෂන් සභාව ඔවුන්ට දන්වනු ඇත්තේ ඔවුන් තෝරා යැවිය යුතු සභිකයන් තිදෙනාම කාන්තා නියෝජිතයන් විය යුතු බවයි.

තිහගොඩ ප්‍රතිඵලය සියලු ප්‍රතිපත්ති සම්පාදකයන්ගේ ඇස් අරවන්නකි. සභික ධූර තමන්ට වඩා 14 ක් ලබාගෙන ඇති දේශපාලන පක්‍ෂ හතරකින් එක් කාන්තාවක් පමණක් සාමාජිකාවක් ලෙස සභාවට නම්කරන විට, තමන් සතු සියලු නියෝජනය කාන්තා නියෝජනය වෙත දියකර හැරීම කාන්තා දේශපාලනය අගය කරන්නන්ගේ මනදොළ සපුරන්නක් විය හැකිය. එහෙත් එය ඉතා හොඳ  මැතිවරණ ක්‍රමයක  මඟ හැරුණු නරක තත්වයකි. එබැවින් තිහගොඩ සමගි ජනබලවේගයේ ප්‍රාදේශීය මෙන්ම දිස්ත්‍රික් නායකයන්ද, පක්ෂ ලේකම්වරයා වන රංජිත් මද්දුම බණ්ඩාර මහතා ද මෙම ප්‍රතිඵලය මඟින් ජනිත කරන ලද අසමාන පසුබිම කෙරෙහි ප්‍රිය මනාප වනු ඇතැයි සිතිය නොහැක. 

කාන්තා නියෝජනය ජාතික අභිලාශයක් බවට පත්වේද?

මෙවර පළාත් පාලන ආයතන ජන්ද විමසීමේදී දේශපාලන පක්‍ෂ සහ කණ්ඩායම් තරඟ කල සමස්ත  කොට්ඨාශ ගණන 5027 කි. ඉන් සාතිශය බහුතරය ජයගෙන ඇත්තේ ජාතික ජනබලවේගයයි. ඒ 3,722ක් ලෙසය. ගම්පහ දිස්ත්‍රික්කය තුළින් පමණක් ඔවුන්  දිනා ඇති කොට්ඨාශ ගණන 399 කි. ඔවුන්ට සමගාමීව සමඟි ජනබලවේගය ජයගෙන ඇත්තේ කොට්ඨාශ 514 ක් පමණි. ඉන් 65 ක් හෙවත් වැඩිම කොට්ඨාශ ගණනක් දිනාගෙන ඇත්තේ මහනුවරිනි. ඉලංකෙයි තමිල් අරසු කච්චි හෙවත් ITAK ජයගෙන ඇති කොට්ඨාශ සංඛ්‍යාව 425 කි. ඉන් ඔවුන් වැඩිම කොට්ඨාශ ගණනක් ජයගෙන ඇත්තේ යාපනය දිස්ත්‍රික්කයෙනි. ගණන 94 කි. මේ කොට්ඨාශ ජයග්‍රහණ සළකා බැලීමේදී එතරම් කාන්තාවන් ප්‍රමාණයක් සභාවන් වෙත යනු ඇතැයි උපකල්පනය කල නොහැකිය. හේතුව ඔවුන් නීතියට අනුගතව සාමාන්‍ය ව්‍යවහාරයේ සඳහන් වන පරිදි ඇපයෙන් ගැලවීමට කාන්තාවන් නම් කිරීමක් පමණි සිදුවූයේ. එහෙයින් මෙම පක්‍ෂ දෙක මඟින්ම මෙවර සභා නියෝජනය කරනු ඇත්තේ නිසැකවම 10% ක ප්‍රතිශතයට සමාන්තර ගණනක් වන අතර සමඟි ජන බලවේගය එහි ප්‍රතිපක්‍ෂය නියෝජනය කරනු ඇත්තේය. බොහෝ දුරට ඔවුන් කොට්ඨාශ මට්ටමේදී ඉහත දේශපාලන පක්‍ෂ දෙක හා සම අසුන් ගත්තද සභාවන් වෙත නම්කොට යවනු ලබන පිරිස් අතරින් 80% - 90% ත් අතර පිරිසක් කාන්තාවන් වනු ඇත. ඒ අනුව දිවයිනේ ඕනෑම පළාත් පාලන ආයතනයක (බොහෝ දුරට උතුර සහ නැගෙනහිර පළාත හැර) කාන්තා නියෝජනයේ 90% ක නියෝජන පංගුවක්  බෙදනු ඇත්තේ සමඟි ජනබලවේගයටය. උතුරු නැගෙනහිර මීට නොදෙවෙනි පසුබිමක් නිර්මාණය විය හැකිය. ඒ 25% ප්‍රතිපූරණයට අදාළ කාන්තා නියෝජනය නිසිලෙස සම්පුර්ණ කිරීමට අවැසි තාක්‍ෂණික පසුබිම එහි නිර්මාණය වී ඇත්තේ ඉතා අවම ලෙසින් බැවිනි.

මෙම පසුබිම මඟින් නිර්මාණය කර ඇති අවුල  සරලව දක්වන්නේ නම් වසර 2018 කාන්තා නියෝජනයේ වැඩි පංගුව එක්සත් ජාතික පක්‍ෂයට ලැබෙන විට මෙවර එය සමඟි ජන බලවේගය වෙත දෝලනය වී ඇතැයි යන්නයි. මේ අනුව අනුශුරයා වීම දුකක් විය හැකි වුවද මෙලෙස වැඩි කාන්තා නියෝජනයක අයිතිය ලැබීම සමහර විටෙක සතුට ජනිත කරන්නක් ද විය හැකිය. අපි නොදන්නෙමු. වටින් ගොඩින් ඇසෙන ශබ්ද හා වාද විවාද වලින්නම් හැඟෙන්නේ කාන්තාවන් උදෙසා වන නිල අයිතිය වැඩියෙන් ලැබී තිබීම සතුටට වඩා ළතැවිල්ලට හේතුවක් වී ඇති බවයි.

manjula gajanayake 1

| මංජුල ගජනායක