දේශපාලනය යනු කුමක්ද? වෘත්තියක්ද එසේත් නැතිනම් සමාජ සේවයක්ද?

දේශපාලනය යනු කුමක්ද? වෘත්තියක්ද එසේත් නැතිනම් සමාජ සේවයක්ද?

වර්තමාන දේශපාලන ප්‍රවණතා පිළිබඳව කෙරෙන විග්‍රහයකි.

වර්ෂ 2016 අප්‍රේල් මස නිකුත් වූ ''Open Journal of Political Science'' නම් ජර්නලය කදිම තේමාවක් පිළිබඳ පර්යේෂනාත්මක ලේඛනයක් එළිදක්වා තිබුණි. එහිදී  “Professionals in politics?” (දේශපාලනය තුළ සිටින වෘත්තිකයන්)  ලෙසින් දේශපාලනය තුළට කාන්දු වී ඇති වෘත්තිකයන් හා සබැඳිව දක්වන නිර්වචනයකදී එහි දක්වා තිබූ කෙටි අදහසකි මේ.

“What’s common to a banker, a dancer and a former UN under-secretary general? Answer: they are all contesting the general election in India” (බැංකුකරුවෙක්, නාට්‍යශිල්පියෙක් හා එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා යටතේ රාජකාරි කල අයෙක් ආදී ලෙසින් සැමට සැමට පොදු විය හැකි කරුණක් විය හැක්කේ කුමක්ද? පිළිතුර නම් ඒ සම ඉන්දියානු මහා මැතිවරණයට තරඟ කිරීමයි) 

ඉන්දියාවේ ක්‍රමිකව වර්ධනය වන දේශපාලන බිමේ පැහැය ඉහත කී ප්‍රකාශයෙන් මනරම්ව අනාවරණය කොට ඇත. මෙය සැබවින්ම දැන් දැන් ලෝකයේ බොහෝ රටවල විශේෂයන් තරුණ පරපුර ද නගමින් සිටින ප්‍රශ්නයකි. දේශපාලනය වෘත්තියක්ද යන්න මෙන්ම  එය ජීවිතය පවත්වා ගැනීමේ එක් මාර්ගයක් ලෙසින් සළකා ඊට  පිවිසෙන්නේද යනු කවදත් උණුසුම් හා කුහුල දනවන බහුවිධ පිළිතුරු සහිත ප්‍රශ්නයකි. ඉන්දියාව වැනි රටක මෙම පැනය  බොහෝ සාකච්ජා මණ්ඩප උණුසුම් කලද  ශ්‍රී ලංකාවේ නම් එවැන්නක් ගැන සාකච්ජා කෙරෙන සභාවක් නැති තරම්ය.

මාලනී, විනයාගමූර්ති මුරලිදරන් හා රාජපක්ෂලා

ලෝක පරිමාණයෙන් ඉතා උණුසුම්ව සාකච්ජා කෙරෙන මෙම පැනය පිළිබඳව මෙවර අපගේ අවධානය යොමු කරන්නෙමු. ඒ ඊට අදාළ පෙරබිම පසුගියදා සකස් වූ බැවිනි. යටත් පිරිසෙන් අප  පරම්පරා ත්‍රිත්වයක් තම නිසඟ හැකියාවෙන් හා තරු ගුණයෙන් පෝෂණය කල සිනමා පාසැලක් වන් මාලිනිය (මාලිනි සෙනෙහෙලතා ෆොන්සේකා) පසුගියදා තම දිවිසැරිය නිමා කළාය. එකෙනෙහිම ඇය පිළිබඳව සුබාසුබ මිශ්‍රිත අනපේක්‍ෂිත අදහස් ගොන්නක් සර්පිලාකාර මට්ටමින් සමාජය පුරා පැතිරුණි. එහිලා බොහෝ දෙනෙක් නොදැන සිටි කරුණක් මෙරටේ කෘතහස්ත මැතිවරණ වෘත්තිකයෙක් වන මහින්ද දේශප්‍රිය මහතා හෙළිකොට තිබුනේ ඔහුගේ META ගිණුම ඔස්සේය. එනම් මාලිනිය, රාජපක්‍ෂ ආණ්ඩුව යටතේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයක් ලද්දේ වුවද වරෙක ඇය තම ඉල්ලා අස්වීමේ ලිපියද ලබාදුන්නේය යන්නයි.

මෙම සිදුවීම සිදුවූයේ 2012 සැප්තැම්බර් මාසයේදීය. ඇය තම ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය ලද්දේ වසර 2010 පැවති පාර්ලිමේන්තු මැතිවරණ ප්‍රතිඵල සමඟිනි. මෙලෙස තම ඉල්ලා අස්වීම ඇය ලබාදුන්නේ බොහෝ දුරට ඇයගේ ස්වකැමැත්ත පරිදි නොවිය හැකිය. එවකට උතුරු නැගෙනහිර පැවති යුද්ධය හමුදාමය ලෙස නවතා ගෙවී ගොස් තිබුනේ තෙවසරක් පමණි. එහිදී රාජපක්‍ෂවරුන්  හා නව මිත්‍රත්වයක් ඇතිකරගෙන සිටි කරුණා අම්මාන් හෙවත් විනයාගමූර්ති මුරලිදරන් LTTE සංවිධානයේ බලකණුවක් වුවද ඔහුගේ නික්මීම ඔවුන්ට ගෙනආවේ යළි පිරිමැසිය නොහැකි පාඩුවකි. මෙකී මුරලිදරන් හට අනුස්මරණීය ත්‍යාගයක් ලබාදීම සඳහාය මාලිනියට මන්ත්‍රී ධූරය හැරයන්න යැයි දන්වා තිබුනේ. එහෙත් එකී ඉල්ලා අස්වීමත් සමඟ හටගත් විවේචනාත්මක සමාජ විරෝධය හමුවේ රාජපක්‍ෂවරු තාවකාලිකව තම ප්‍රයත්නය හකුලා ගත්හ. මාලිනිය නැවත තම ධූරයේ දිවුරුම් දීමටද සමත් වූවාය. එහෙත් අවසන තමන්ගෙන් ගිලිහුණු දින කිහිපය වෙනුවෙන් ඇයට ගෙවන්නට සිදුවූ වන්දිය වූයේ  අවම වශයෙන් වසර පහක් සැපිරීමෙන් අනතුරව හිමිවිය යුතුව තිබූ විශ්‍රාම වැටුප අහිමි වීමයි.

දේශපාලන වරදාන

මෙම සිදුවීම මෙහි උපුටා දැක්වූයේ ජනකාන්ත මාලිනියගේ දුර්ගුණයක් තෙපලීමට නොවේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් නිර්මිත ජාතික ලැයිස්තුව කලක් රටෙහි ගැලවුම්කරුවන් වූ දේශපාලකයන් වරින් වර අපහරණය කරන ලද්දේ කෙලෙසද යන්න ගැන යම් සිහි කැඳවීමක් සඳහාය. අනෙක් කරුණ නම් ජනකාන්ත තරු වෙනුවෙන් පුදදුන් වරප්‍රසාද බොහොමයක් දේශපාලන නායකයන්ගේ  පෞද්ගලික වරදාන නොව නව දේශපාලන සංස්කෘතියක් ගොඩනැගීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් විවර කරදුන් කදිම අවස්ථාය. ඒවා  පටු අභිමතාර්ථ වෙනුවෙන් උපයෝගී කරගැන්මේ ඉතිහාසයක් අපට ඇතැයි දැක්වීමටය ඉහත කරුණ දැක්වූයේ. විශේෂයෙන් එකී පටු අරමුණු සාධනය කරගැනීම සඳහා ගන්නා ලද උත්සහයන් ද එතරම් ජනප්‍රිය ඒවා නොවේ. එහිලා ජූනියස් රිචර්ඩ් ජයවර්ධන මහතා මෙරටේ පළමු විධායක ජනාධිපතිවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ඉල්ලා අස්වීමේ ලිපි (දින රහිත) ලබාගෙන තිබූ බවට ජනගතව ඇති රහස එක් කරුණකි. තවත් ආසන්න නිදසුනක් වන්නේ තමන්ට අභිමත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන සිදුවන තෙක් තමන් කැමති පරිදි දාම්පෙතක ඉත්තන්  සේ මන්ත්‍රීවරුන් එහාමෙහා කිරීමට (ගෙදර යැවීමට හා නැවත පාර්ලිමේන්තුවට ගෙන්වා ගැනීමට) හෙවත්  'බිලිබෝයිලා' නිර්මාණය කිරීමට රාජපක්‍ෂ වරුන් දැක්වූ අසහාය සමත්කමයි. රාජපක්‍ෂ කඳවුරේ කිතු යසස් ජනයා මුවමුවඟ රැව්පිළිරැව් දෙන සමයේ (බොහෝ විට කෘතීමව නිපදවූ  මාධ්‍ය උපක්‍රම ඔස්සේ)  එලෙස ඔවුන් භාවිත කරන ලද තැනැත්තියක් වූයේ මාලිනී ෆොන්සේකා මහත්මියයි. පසුකාලීනව එම අවස්ථාව ජයන්ත කැටගොඩ වෙත හිමිවිය.

කෙසේවෙතත් මෙදින සටහන එකී කරුණ ගැන නොවේ. සෙලිබ්‍රිටිස් ලෙස නිරතුරු අමතන සමාජයේ යම් ජනාදරයකට පත් අයවලුන්  තුළ (Celebrities) දේශපාලනයට පිවිසීම සඳහා ඇතිවන ආශාව සහ කැමැත්ත මෙන්ම ඔවුන් තම කඳවුරට එක්කර ගැනීම සඳහා දේශපාලන පක්‍ෂ දරන උත්සහය පසුපස ඇති සාධක මොනවාදැයි විමසීමයි. සැබවින්ම මෙම කරුණ බොහෝ විට යම් උභතෝකෝටිකමය එකක්ය. හේතුව  මැතිවරණ ක්‍රමවේදයේ වෙනස්විය යුතු  තැන් මොනවාදැයි හමුවන ඕනෑම කෙනෙකුගෙන්  ඇසීම (අවස්ථාවට ගැලපෙන පරිදි) මාගේ පුරුද්දකි. ඒ හැමවිටම සෑම පුද්ගලයන් තිදෙනෙකුගෙන් අඩුම තරමේ එක් අයෙක් දෙන පිළිතුරක් ඇත්තේය. ඒ මෙයයි.

''ක්‍රීඩකයොයි, නළු නිළියොයි හතු පිපෙන්න වගේ ජන්දෙ කාලෙට එනවා. අපේ පළාත්වලත් නොවෙයි. පැරිෂුට්කාරයෝ. ඔන්න ඔය ක්‍රමේ නවත්තන්න ඕන. ආවට පස්සේ කිසි වැඩක් කරන්නෙත් නැහැ''

ඡන්ද කාලෙට පිපෙන තරු

බහුතර ජනතා ප්‍රතිචාරය එය වුවද ශ්‍රී ලංකාවේ තවමත් ජනකාන්ත තරුවකට මැතිවරණයෙන් ජයගැනීමේ ඉහළ සම්භාවිතාවක් ඇත්තේය. එසේනම් සිදුවනු ඇත්තේ කුමක්ද? මීට අදාළ පසුබිම වටහා ගැනීම සඳහා අවශ්‍යනම් අපට ඉන්දියාවේ බැබලෙන තවත් තරුවක් වන චේතන් බගත් හට සවන්දිය හැකිය. ඔහු තම Half Girlfriend නම් නවකතාවේදී මෙසේ කියයි ''Maybe when you start liking people, you start liking everything about them.” ( ඔබ මිනිසුන් වෙත කැමති වන්නට පටන් ගත් විට , සමහරවිට ඔබ ඔවුන් හා සබැඳි සියල්ලට කැමති වන්නට පුළුවන)  සමහරවිට තරු දේශපාලනයට පැමිණිවිට කෙතරම් ඔවුන් දේශපාලනයට ආධුනික වුවද ජන්දදායකයන් ඔවුන්ව හදබැඳ ගනු ලබන්නේ මේ සරල සිතිවිලි දාමය නිසා වන්නට ද  ඇත. මෙම ආකර්ශනීය දේශපාලනික කරුණ පිළිබඳව මෑතදී ඇමෙරිකා එක්සත් ජනපදයේ  'Ash Center for Democratic Governance and Innovation' නම් මධ්‍යස්ථානය කදිම අධ්‍යයනයක් සිදුකොට ඇත. Harvard Kennedy School හා අනුබද්ධ එම ආයතනය සිදුකොට ඇති අධ්‍යයනයේ නම ''Celebrities Strengthening Our Culture of Democracy - A STUDY ON THE IMPACT OF CELEBRITY ENGAGEMENT ON CIVIC PARTICIPATION'' (ජනතා සහභාගිත්වයෙහිලා ජනකාන්ත තරුවල සහභාගිත්වයෙහි ඇති බලපෑම පිළිබඳව කෙරෙන අධ්‍යයනය).  සංස්කාරකත්වය  Ashley Spillane ය. එකී සමස්ත අධ්‍යයනය තුළ රැඳුණු සොයාගැනීම් බොහොමයක් තිබුනා වුවත් ඒ සියල්ල කැටිකොට දක්වන මේ ප්‍රකාශය මෙහිලා උපුටා දැක්වීම ඉතා වැදගත්.  "rigorous evidence that [celebrity] voices are incredibly powerful" in promoting civic engagement and altering polling numbers. (ජනතා සහභාගිත්වය මෙන්ම ජන්ද භාවිතය ප්‍රවර්ධනහිලා ජනකාන්ත තරු නගන හඬ ඉතා බලසම්පන්නය).

මේ සොයාගැනීම අලුත්ම එකක් නොවිය හැකිය. බොහෝවිට අපිට අනුමාන කළහැකි කරුණකි  එය. එනමුත් වඩාත් දියුණු රටවල් අතර තම ජන්දය භාවිත කිරීම සඳහා ජන්දපොළට නොයන වැඩි ජන්දදායකයන් පිරිසක් වාසය කරන  රටවල් අතරේ ඇමෙරිකා එක්සත් ජනපදය පසුවන්නෙත් පෙරමුණේය. එබැවින් ජනකාන්ත තරු මඟින් ජන්ද ප්‍රතිශතය වැඩිකරගත හැකි ආකාරය Ashley Spillane මෙහිදී විස්තර කොට ඇත.  එහෙත් ශ්‍රී ලංකාවේ සැබවින්ම සිදුවන්නේ මෙහි අනෙක් පැත්තය.එනම් අපේක්‍ෂකයන් ලෙස ජනකාන්ත තරු පිරිවරා ගැනීමයි. ජන්දදායකයන් අභිප්‍රේරණය කිරීම සඳහා තරු පිරිවැරීමේ ඉහළ විභවතාවක් ශ්‍රී ලංකාවේ මෙතෙක් ප්‍රදර්ශනය කොට නැත. වරෙක ඉන්දියාවේ අද ද අසහාය කැරිස්මාවක් සහිත නළු සල්මාන් ඛාන්ද මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයට කැන්දූ බව මෙරටේ ජන්දදායකයන්ගේ මතකයේ බැහැරව නැතැයි සිතමි. එහිදී සල්මාන් ඛාන්ද මෙහි පැමිණියේ ජන්දදායකයන්ගේ උනන්දුව වැඩි කිරීමට නොව දේශපාලන පක්‍ෂයක් සහ අපේක්‍ෂකයෙක් ප්‍රවර්ධනය කිරීමටය.

ජනකාන්ත තරු සතු ප්‍රධානතම වාසිය වන්නේ වෙන අන් කවරක් හෝ නොව අපේක්‍ෂකත්වය ලබාගැනීම සඳහා ඔවුන් සතුව ඇති පහසු ප්‍රවේශයයි. සමානුපාතික නියෝජන ක්‍රමය යටතේ මෙරටේ පළමු පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වූයේ වසර 1989 දීය. එතැන් පටන් අපේක්‍ෂකයෙකු තරග කලයුතු මැතිවරණ ඒකකය (Constituency Unit)  දිස්ත්‍රික්කය විය. එය බොහෝ අපේක්‍ෂකයන් හට දරා ගත නොහැකි අන්දමේ මැතිවරණ අත්දැකීමක් බව නොකිවමනාය. නිදසුනක් ලෙස මහනුවර දිස්ත්‍රික්කය සළකා බලන්නේනම් මෙම දුෂ්කරතාවේ දිගපළල වටහා ගත හැකිය. මහනුවර දිස්ත්‍රික්කය වර්ග කිලෝමීටර 1,940 ක් පුරා විහිදෙන අතර ප්‍රධාන ජනවර්ග හතරක් සහ ආගමික විශ්වාස හතරක් ද වැඩිවශයෙන් ජනතාව අතර පැතිරුණු සුවිශාල භුමි භාගයකි. ප්‍රාදේශීය ලේකම් කාර්යාල 20 ක් තුළ පිහිටි ග්‍රාම නිළධාරී කොට්ඨාශ පමණක් 1,188 ක් පමණ පිහිටා ඇත. ජන්දදායකයන් සංඛ්‍යාව 1,202,558කි. මෙම සියලු දේ එකතු වන්නේ එක් අපේක්ෂකයෙකුගේ ජන්ද ව්‍යාපාරය කලයුතු මූලික ඒකකයක් යටතටය.

තරුවීම නිසා ලැබෙන වාසී

මෙහිදී වැඩි අනියම් වාසියක් ලබන පාර්ශවය වන්නේ නිසැකවම ජනකාන්ත තරු හෙවත් Celebrities ලාය. හේතුව ඔවුන් නාම යෝජනා ලබාදෙන විටම අවශ්‍යයෙන්ම කල යුතු අත්‍යවශ්‍ය කාර්යය වන තමන්ගේ නම ජන්දදායකයන් අතර ඒ වන විටත් ජනගත කොට තිබීමයි. එවැනි වාසියක් ලැබීමට නම් වෙනත් අපේක්‍ෂකයෙක් වැය කල යුතු පිරිවැය හා ගත කල යුතු කාලය අසීමිතය. අනෙක් පසින් ඇති වාසිය නම් සාමාන්‍යයෙන් ජනකාන්ත තරුවක් වෙත ඇති තරුණ ආකර්ෂණයයි. ඔවුන් බොහෝවිට සම්ප්‍රදායික සහ වයස්ගත අපේක්‍ෂකයන් හට තම ජන්දය ලබාදීමට මැලිවන අතර කලාකරුවන් හෝ ක්‍රීඩකයන් පිළිබඳව එලෙස නොසිතයි.

කරුණු එසේවුවද ජනප්‍රිය තරු අපේක්‍ෂකයන් ලෙස ජන්දවිමසීම් සඳහා තරඟ වැදීමේදී මැතිවරණ ක්‍රියාවලියට හෝ පොදුවේ දේශපාලන සමාජයට වියහැකි අනර්ථකාරී සාධක ද නැත්තේ නොවේ. ජනකාන්ත තරුවල චේතනාව සුබවාදී වියහැකි වුවද ඔවුන්ගේ කීර්තිය කෙරෙහි ආශක්ත සමාජය සිතනු ඇත්තේ ඔවුන් කියන සියල්ල වඩාත් නිවැරදි හෝ දේව වාක්‍ය බඳු ඒවා බවයි. මෙම පසුබිම නිරායාසයෙන් දුස්තොරතුරු සම්පාදනයට පාදක වීමේ අවදානමක් පවතී. එබැවින් එලෙස  තරු ජන්දය අයැදීමේදී සිදුවිය හැකි නිශේධනාත්මක බලපෑම හඳුන්වනු ලබන්නේ  ''oversimplify complex issues'' ලෙසය. දෙවැන්න ද පළමුවැන්න තරම්ම බරපතලය. එමඟින්  හඳුන්වන්නේ සමාජය ද්‍රවීකරණය වීමට තරුවල බලපෑම හේතුවිය හැකි බවයි. දේශපාලනයේ විචිත්‍රවත් බව සහ වැඩදායක බව තීරණය වන එක් සාධකයක් වන්නේ විවිධ මතවාද වලට ඇති අවස්ථාය. එහෙත් තම දේශපාලන දෘෂ්ඨිවාද වෙනුවට තරු යන මඟ යන්නට හා ඔවුන් හා සමගාමීව සිතන්නට එක්විය හැකි පිරිස වැඩිවීම වැළැක්විය නොහැකි කරුණකි. එහිදී විවිධ දේශපාලන මතවාද වලින් සන්නද්ධ පිරිසේ ප්‍රමාණය තව තවත් කුඩාවී එකී මතවාද දරන්නන් හුදෙකලා වීම ස්වභාවයෙන්ම සිදුවිය හැකි අනර්ථයකි.

අනෙක් පසින් එලෙස විවිධ ජනප්‍රිය චරිත දේශපාලනයට පිවිසීම හා සමාජ සේවයට ප්‍රිය පිරිස් දේශපාලනයට පිවිසීම යන අවස්ථා දෙකම සංසන්දනය කිරීමෙන් පැහැදිළි කරගත යුත්තේ සැබවින්ම දේශපාලනය වෘත්තියක්ද යන්නයි. ගැටලුව වන්නේ ඊට වියුක්ත පිළිතුරක් දීම ඉතා අපහසු බවයි. වරෙක මෙරටේ ධනවත් ව්‍යාපාරිකයෙක් ලෙස ප්‍රකට ධම්මික පෙරේරා දේශපාලනයට පිවිසීම සඳහා අවැසි පසුබිම සකස් කරගනිමින් සිටි බවක් අප දුටුවෙමු. ඔහු දේශපාලනයට පිවිසියා නම් ඔහුට ඇතැයි කියන දේපොළ, ධනය සහා ව්‍යාපරික සබඳතා මත නිස්සරණධ්‍යාශයෙන් දේශපාලනය කිරීමේ හැකියාවක් පැවති බව උපකල්පනය කල හැකිය. එවිට ධම්මික පෙරේරාට දේශපාලනය බොහෝ දුරට හුදු සමාජ සේවයක්  පමණක් වීම පුදුමයක් නොවේ.  එහෙත් පාසැල් ගුරුවරයෙක් හෝ කුඩා පරිමාණ ව්‍යවසායකත්වයක් හිමි එහෙත් දේශපාලනයට ලැදි යම් තැනැත්තෙක් දේශපාලනයට පිවිසුනහොත් සිදුවිය හැක්කේ කුමක්ද? එක්කෝ ඔහු හෝ ඇය තමන්ගේ පෙර වෘත්තිය සිදුකරන අතරතුර දේශපාලනයට අර්ධ ලෙසින් පිවිසිය යුතුවන අතර එසේත් නැත්නම් තමන්ගේ ජීවනෝපාය හැරපියා පුර්ණකාලීනව දේශපාලනයට පිවිසිය යුතුව ඇත. වත්මන් පාරිභෝගික සමාජයේ එවැන්නක් කල හැක්කේ කාටද? සමහරවිට එවන් කැපවීමක් දැක්විය හැක්කේ පක්‍ෂ සාමාජිකයන් ලෙස නොව කාඩර්වරුන් ලෙස තම පක්‍ෂය නඩත්තු කරන ජනතා විමුක්ති පෙරමුණට පමණක් විය හැකිය. ඒ ඔවුන් තම කාඩර්වරුන්ගේ ඉපැයීම් තම ගිණුමට බැර කරගනිමින් නැවත ඉන්  යම් ප්‍රතිශතයක් ඔවුන් කාඩර්වරුන් වෙත ලබාදීමේ පිළිවෙත නිසාය. මෙම ව්‍යාකූල පසුබිම නිසාදෝ වරක් Georgios A. Papandreou”.

පැවසුවේ  “I never thought of politics as a profession (දේශපාලනය වෘත්තියක් යැයි  මම කිසිදා නොසිතන්නෙමි) යනුවෙනුයි. එහෙත් පරසිදු රොනල්ඩ් රේගන් නම් පවසා ඇත්තේ වෙනස් කතාවකි. ඔහු මෙසේ කියයි

“It has been said that politics is the second oldest profession. I have learned that it bears a striking resemblance to the first. (දේශපාලනය ලොව දෙවැනි වෘත්තිය යැයි කියා ඇත්තේ වුවද, මම හදාරා ඇති පරිදි එය පළමුවැන්න හා දැඩි සාම්‍යයක්  ඇති බව කිව හැක්කේය)

කෙසේවෙතත් සමස්ත දකුණු ආසියාව මෙන්ම ඇමෙරිකා එක්සත් ජනපදය ප්‍රමුඛ ලොව ඕනෑම ප්‍රජාතන්ත්‍රීය රටක දේශපාලකයෙක් ලෙස ඉදිරියට ඒමට ජනකාන්ත තරුවකට ඇති පමණ ඉඩකඩ පවතිනවා පමණක් නොව ඒ සඳහා දොර කවුළු විවර කිරීමට දේශපාලන අධිකාරිය ද සැදී පැහැදී සිටින බව නොරහසකි. එය යුක්රේනයේ ජනපති Volodymyr Oleksandrovych Zelenskyy ගේ  සිට ජාතික ජනබලවේගයේ  මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ දක්වාම අදාළය. ශ්‍රී ලංකාවේ  අතීත මැතිවරණ සටන් බිම ද ජනකාන්ත තරු වලින් ගහන එකක් වූ අතර මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේදී වෙනදා තරම් ඉල්ලුමක් ජනකාන්ත තරු නොලද බවද සටහන් කල යුතුමය.

එන්. එම්ලාගේ කාර්යභාරය

තරුවල දේශපාලන ආගමනය පිළිබඳව එතරම් සුපසන් හැඟීමක් බොහෝ දෙනෙක් තුළ නොපැවතියද, මෙරටේ අනාගතවාදී දේශපාලන නායකයන් අතර සුවිශේෂී චරිතයක් වූ ආචාර්ය N.M.  පෙරේරා ද රූපණ ශිල්පියෙක් ලෙසද යම් දක්ෂතාවක් පැවති තැනැත්තෙක් වූ අතර ගාමිණී ෆොන්සේකා වැනි සම්මානනීය කලාකරුවන් වුවද සියඹලා ගෙනවිත් නැතැයි කීම ඔවුන් හට කරන අපහාසයක් විය හැකිය. අපිළිවෙලකින් යුත් දේශපාලන පද්ධතියක් ඇති රටක ජනකාන්ත තරු පැමිණියා යැයි සිදුකල හැකි වෙනස්කම් අල්ප විය හැකිය. කෙසේ වෙතත් තවමත් ශ්‍රී ලාංකිකයන් විශ්වාස කරනු ලබන්නේ කුප්‍රකට මහර අතුරු මැතිවරණයේදී  විජය කුමාරතුංග පැරදවීම සඳහා සමස්ත එක්සත් ජාතික පක්ෂයම උත්සහ නොගන්නට, විජයට මෙරටේ දේශපාලන සංස්කෘතිය තුළ සිදු කල හැකිව තිබූ වෙනස සුවිශාල බවයි.

තරුවක් වුවද, සම්ප්‍රදායික දේශපාලකයෙක් වුවද වඩාත් වැදගත් වන්නේ තම දේශපාලන ලෝකයට හිමි වපසරිය පිළිබඳව ප්‍රමාණවත් අධ්‍යයනක් සමඟ ඉදිරියට යෑමයි. එවැනි අධ්‍යයනක් නොමැතිව හුදු ටෙලිනාට්‍යයක චරිතයක් තුළ පැවති ආකර්ෂණය හමුවේ කරළියට ආ පබා හෙවත්  උපේක්‍ෂා ස්වර්ණමාලි පවා පසුකාලීනව දේශපාලනය පිළිබඳව අධ්‍යයනය කලයුතුය යන ආකල්පයෙන් කටයුතු කලද ඒ වන විටත් ඇය ප්‍රමාද වැඩි විය. ඒ රුපවාහිනී නාලිකාවක් සමඟ පැවති සංවාද වැඩසටහනකදී ඇය 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව පළකළ අදහස් ඔස්සේය. ඊට ප්‍රතිපක්ෂව අනර්කලී ආකර්ෂා කටයුතු කල බවක් අපගේ නිරීක්ෂණයට ලක්විය. ඇයගේ සිංහල බස උච්චාරණය මෙන්ම වෙනත් බොහෝ කරුණු අරභයා ඇය දකුණු පළාත් සභාවට තේරීපත්වූ දින සිටම ඇය කෙරෙහි එල්ලවූ විවේචන සමුදාය අසීමිතය. එනමුත් ඇය පළාත් සභා ක්‍රමය සහ දේශපාලන විද්‍යාව පිළිබඳව යම් අධ්‍යයනක් සහිතව තම කටයුතු සිදුකරමින් සිටි බව අදාළ පළාත් සභාවේ නිළධාරින් කිහිප දෙනෙක් වරෙක මෙම ලියුම්කරු සමඟ පැවසූහ.

තරුවල දේශපාලනය ගැන ඇසෙන විට සමහරුන් හට තරු විසිවෙන නමක් වන්නේ රංජන් රාමනායකය. ඔහු දේශපාලනයේ සදාතනික විවාදාත්මක චරිතයක් වූ අතර ඔහු පිළිබඳව දේශපාලන විචාරකයන් තුළ වුවද ඇත්තේ මිශ්‍ර අදහසකි. කෙසේවෙතත් ඔහු පිළිබඳව වැදගත් කරුණු දෙකක් මෙහිලා ඉදිරිපත් කල යුතුය. එකක් නම් මෙරටේ මැතිවරණ ප්‍රචාරක වියදම් නියාමන නීතියක් නැති සමයකදී එනම් වසර 2020 පාර්ලිමේන්තු මැතිවරණයේදී ඔහු තම මැතිවරණ පිරිවැය පිළිබඳව අයවැය වාර්තාවක් ජනගත කිරීමට සමත් වූ එකම අපේක්‍ෂකයා වීමයි. අනතුරුව 2024 එනම් මෙවර පැවති පාර්ලිමේන්තු මැතිවරණයේදී ඔහු  මාධ්‍ය ආවරණය වෙනුවෙන් වැඩිම පිරිවැයක් දැරුවද පාර්ලිමේන්තුවට යෑමට නොහැකි වූ අපේක්ෂකයා ද ඔහු ම විය ( රුපියල් 93,428,330.40).  ඔහුට ඉදිරියෙන් සම්ප්‍රදායික මාධ්‍යවල වැඩිම ප්‍රචාරක දැන්වීම් ප්‍රමාණයක් පළකළ අපේක්‍ෂකයන් දෙදෙනාම පාර්ලිමේන්තුගත වීමට සමත් විය (සජිත් ප්‍රේමදාස සහ දිලිත් ජයවීර) මෙම සංඛ්‍යා දත්ත ප්‍රජාතන්ත්‍රීය ප්‍රතිසංස්කරණ සහ මැතිවරණ අධ්‍යයන ආයතනය (IRES) මඟින් එකතු කල ඒවා වූ අතර එම ආයතනයට අනුව වසර දෙදාහෙන් පසුව මෙරටේ පැවැත්වූ පාර්ලිමේන්තු  මැතිවරණ  පිළිබඳව සළකා බැලීමේදී ජනකාන්ත තැනැත්තන් ලෙස අපේක්‍ෂකත්වය ලත් කලාකරුවන් සහ ක්‍රීඩකයන් ඇතුලු සෙසු තැනැත්තන් තම   මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය තුළ අඩුම පිරිවැයක් දරන ලද මැතිවරණය මෙය විය.

කෙසේවෙතත් අවසන පැහැදිළි වන එක් කරුණක් නම් කලාව, දේශපාලනය හෝ ක්‍රීඩාව වැනි ඕනෑම ක්‍ෂේත්‍රයක් පිළිබඳව සළකා බැලීමේදී එතරම් බරපතල වෙනසක් නොමැති බවයි. එකී සෑම ක්‍ෂේත්‍රයකදීම අවසන සිදුවන්නේ මිනිසුන් පිනවීමයි. වැඩිමනත් මිනිසුන් සංතෘප්ත කරන්නා වැඩි ප්‍රේක්‍ෂක /ජන්දදායක මනාපයක් ලැබීම ස්වභාවිකය. එහෙත් සැබෑ කරුණ වන්නේ මිනිසුන් සැබෑවටම සංතර්පණය වන්නේ  කවර කරුණක් අරභයා ද යන්න නිවැරදිව වටහා ගැනීම එතරම් සුහුරු අභ්‍යාසයක් නොවීමයි.

වරෙක, George Shirk මෙසේ පවසා ඇති බවද අමතක නොකරන්න. ''Sports, Politics and Technology. All the same game''. (ක්‍රීඩාව, දේශපාලනය හා තාක්ෂණය ආදී සියල්ල එක සමාන ක්‍රීඩාවන්ය).

| මංජුල ගජනායක