ලංකාවේ පොදු ප්‍රවාහනය කියන ගඟට මෙට්‍රෝ බස් වගේ ඉනි කපල දාන්න එපා - අනුරුද්ධ ප්‍රදීප් කර්ණසූරිය

ශ්‍රී ලංගම විසින් මෙට්‍රො බස් කියලා ලස්සන බස් වගයක් ගෙනල්ලා තියෙනවා දැක්කා. ඒවල ලස්සන නිසාම, ලංකාවේ පොදු ප්‍රවාහනයත් දැන් දියුණු රටක පොදු ප්‍රවාහනය වගේ වෙන්නයි යන්නේ කියලා හිතාගෙන, ගොඩක් දෙනා බොහොම සතුටින් ඒ ලස්සන ඡායාරූප ශෙයා කරලා තියෙනවත් දැක්කා.
මේ වගේ ලස්සන දෙයක් ඉවසගන්න බැරිව කුහක කතා, අසුබ කතා කියනවා කියලා බනින්න එපා. මට තේරෙන විදියට නම් ඔය මෙට්‍රෝ බස් ගෙනාව කියලා, ලංකාවේ පොදු ප්‍රවාහනය ලොකු වෙනසක් වෙන්නේ නැහැ.
ලංකාවේ මගී ප්‍රවාහනය නරක එකක් වෙලා තියෙන්නේ ඒකට යොදාගන්න බස් නරක වීම නිසා කියලයි ගොඩක් දෙනා හිතන්නේ. අපේ අය නිතර බනිනවනෙ ලංකාවෙ තියෙන්නෙ බස් නෙමෙයි ලොරි චැසි කියලා. ඉතින් දියුණු රටවල් වල තියෙන අර ලෝ ෆ්ලෝ බස්වල ෆොටෝ පෙන්න පෙන්න, අපේ රටේ පොදු මගී ප්‍රවාහනය හදන්න ඕනෙනම් ඒ වගේ බස් ගේන්න කියලා ගොඩක් අය යෝජනා කරනවනෙ. දැන් මේ ආණ්ඩුව අර මෙට්‍රො බස් කියලා එකක් ගෙන්නලා කරන්න යන්නේ ඒ යෝජනාව ක්‍රියාත්මක කරන එක තමයි.
නමුත් මට පේන විදියට නම් ලංකාවේ පොදු මගී ප්‍රවාහනයේ ලොකුම ප්‍රශ්නය, ඒකට යොදාගන්න බස් නරක වීම නෙවෙයි, ඒ ප්‍රවාහන ක්‍රමය ක්‍රියාත්මක කරන ආකාරය වැරදි වීමයි. ටිකක් බර වචනයෙන් කියනවා නම් මෙතන තියෙන්නේ අන්තර්ගතයේ ප්‍රශ්නයක් නෙවෙයි ආකෘතියේ ප්‍රශ්නයක්. ඒ කියන්නේ ව්‍යුහාත්මක ප්‍රශ්නයක්.
මීට පෙරත් කිහිප වතාවක්ම කියල තියන පරිදි, ලංකාවේ පොදු මගී ප්‍රවාහනය ක්‍රියාත්මක වෙන්නේ ඒක කරන්න තියෙන නරකම ක්‍රමයටයි. ඒ කියන්නේ තනි තනි බස් එක අනිත් සියලුම බස් සමග තරග කරන ආකාරයකටයි. මේක සෘජුවම අදාල වෙන්නේ පෞද්ගලික බස්වලට තමයි. නමුත් ලංකාවේ මගී බස් අතර ප්‍රමුඛත්වය දැන් තියෙන්නේ පෞද්ගලික බස්වලට නිසා, එයාලගේ ආකෘතිය මේ මොහොතේ ලංකාවේ පොදු මගී ප්‍රවාහනයේ නොනිල මෙහෙයුම් ආකෘතිය බවට පත්වෙලා. ඒ කියන්නෙ ඒකේ ක්‍රමයට තමයි අනිත් අයත් හැසිරෙන්නේ.
ඉතින් ඒ බස්, ඉරි කපලා, කහ ඉරි උඩ ඉස්සර කරලා, පේව්මන්ට් එක උඩිනුත් ගිහින් අනිත් බස් එක්ක තරග කරනවා. කුණුහරුප කියනවා, බනිනවා, ගහගන්නවා, බැහැගන්න කලින් අද්දනවා, ඔය ඔක්කොම කරනවා. එහෙම කරන්නේ ඒ රියදුරු කොන්දොස්තර මහත්වරු නරක නිසා නෙවෙයි, එහෙම නොකර මේ බස් කර්මාන්තේ කරන්න බැරි නිසයි. මොකද මේ බස් ක්‍රමය හදල තියෙන්නේ හැම බස් එකක්ම අනිත් සියලුම බස් සමග තරග කරන විදියකටයි.
අපිට හොඳ පොදු ප්‍රවාහන ක්‍රමයක් ඕනේ නම් පළමුවෙන්ම කරන්න ඕනේ දේ තමයි අන්න ඒ ආකෘතිය වෙනස් කිරීම. ඒ කියන්නේ බස් අතර තරගය නැති කරලා, ඒ ප්‍රදේශයේ හෝ ඒ මාර්ගයේ සමස්ත ආදායම පොදුවේ එකතු කෙරෙන, සමානව බෙදෙන, සමාගම් ආකෘතියකට මාරුවෙන එක. ඒක රාජ්‍ය අයිතියේ තියෙන එකක් වෙන්නත් පුළුවන්, පෞද්ගලික සමාගමක් වුණත් කමක් නැහැ, දැන් තියෙන බස් හිමිකරුවන් කොටස්කරුවන් වෙන සමූපකාරයක් වුණත් කමක් නැහැ. ඔය කොයි දේ උනත් වෙන්න ඕනෙ දේ තමයි, තනි තනි බස් එක අනිත් සියලු බස් සමඟ තරග කරන ක්‍රමය නතරවීම.
හොඳ බස් හඳුන්වා දෙන්න ඕනේ අන්න එහෙම නිවැරදි ආකෘතියක් ඇති කළායින් පසුවයි. එහෙම නැතිව මේ මාරාන්තික තරගය තියන ප්‍රවාහන ආකෘතිය ඇතුලට ලෝ ෆ්ලෝ බස් නෙවෙයි එයාබස් දැම්මත් හරියන්නෙ නෑ.
මම මේ කියන්නේ මේ තියෙන ටකරන් බස් වෙනුවට හොඳ බස් දාන එක වැරදියි කියලා නෙවෙයි. ඒකෙන් ඒ තරම් ප්‍රයෝජනයක් අත්වෙන්නේ නෑ කියලයි. දැන් තියෙන අශෝක ලේලන්ඩ් බස් එන්න කලින්, ලංකාවේ ප්‍රයිවට් බස් විදියට තිබුනේ ජපන් රෝසා බස් නේ. ඒවා ලොරි චැසි නෙවෙයිනේ. බස් නෙ. නමුත් ඒ ජපන් රෝසා බස් ලංකාවේ පෞද්ගලික බස් ආකෘතිය තුළට දැම්මම වුනේ මොකක්ද කියලා අපි දන්නවනේ. අන්න ඒක තමයි මොන තරම් හොඳ බස් එකක් ලංකාවෙ මේ තියෙන ආකෘතිය ඇතුලට දැම්මොත් වෙන්නේ.
මගේ යෝජනාව තමයි මේ දැනට තියන ලොරි චැසි කියලා හඳුන්වන බස් ටිකම, කිසිම අමතර වියදමක් නොකර, අලුත් ප්‍රවාහන ආකෘතියක් තුළට ගන්න කියන එක. එහෙම කිරීමෙන්ම ලංකාවේ පොදු මගී ප්‍රවාහනයේ ලොකු වෙනසක් වෙන බව මට විශ්වාසයි. ඊට පස්සේ අපේ රටට සල්ලි තියෙන විදිහට ක්‍රමානුකූලව ඒ ලොරි චැසි බස් වෙනුවට හොඳ බස් ආදේශ කරන්න පුළුවන්. එතකොට ආකෘතියත් හොඳයි, අන්තර්ගතයත් හොඳයි.
එහෙම නැතිව මේ ආකෘතිය ඇතුලටම ඔය පොෂ් බස් ගෙනාවොත් වෙන්නේ, ඒව ගේන්නයි ඕවා නඩත්තුවටයි රජයට අමතර සල්ලියක් වියදම් වෙන එක විතරයි.
| අනුරුද්ධ ප්‍රදීප් කර්ණසූරිය