- ජනපතිගේ බදු සහන ගැසට්වලින් නිදහස් කිරීම් ලබාදෙයි
ජනාධිපති අනුර කුමාර දිසානායක මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන ඇමතිවරයා වශයෙන් 2025 ජූලි 14 දින සහිතව නිකුත් කර ඇති අති විශේෂ ගැසට් නිවේදන 4ක් මගින් කොළඹ පොර්ට් සිටියේ ස්ථාපිත කරනු ලබන සමාගම් 4ක් සඳහා බදු සහන ලබාදී ඇති බව අප පසුගිය සතියේ වාර්තා කළෙමු.
ඒ අනුව Ceylon Real Estate Holdings (Private) Limited, Clothespin Management and Development, Private Limited, IFC Colombo 1 (PVT) Limited, ICC Port City (Private) Limited යන සමාගම් 4 සඳහා උපරිම වසර 35ක කාලයක් සඳහා බදු සහන ලබාදී ඇති අතර ඒ දේශීය ආදායම් පනත යටතේය. ඊට අමතරව 2002 අංක 14 දරන එකතු කළ අගය මත බදු පනත හෙවත් වැට් බදු පනත, 2002 අංක 11 දරන මුදල් පනත, 2005 අංක 5 දරන මුදල් පනත, 1989 අංක 13 දරන සුරාබදු (විශේෂ විධිවිධාන) පනත, (235 වන අධිකාරය වූ) රේගු ආඥා පනත, 2011 අංක 18 දරන වරාය සහ ගුවන්තොටුපළ සංවර්ධන බදු පනත හෙවත් පැල් බදු පනත, 1979 අංක 40 දරන ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනත, 1988 අංක 40 දරන ඔට්ටු ඇල්ලීම් සහ සූදු බදු පනත, 1971 අංක 45 දරන කම්කරුවන්ගේ රක්ෂාව අවසන් කිරීමේ (විශේෂ විධිවිධාන) පනත, (267 වන අධිකාරය වූ) විනෝද බදු පනත, 2017 අංක 12 දරන විදේශ විනිමය පනත හා 2010 අංක 17 දරන කැසිනෝ ව්‍යාපාර (නියාමනය කිරීමේ) පනත යටතේ එම සමාගම් 4 සඳහා බදු සහන සහ වෙනත් සහන ලබාදී තිබේ. ඒ 2025 ජූලි 14 දින සිට 2050 ජූලි 13 දින දක්වා අවුරුදු 25ක කාලයක් සඳහාය.
මෙම බදු සහන හා අනෙකුත් සහන ලබාදී ඇති පනත් අතරින් විශේෂ පනතක් වන්නේ 1971 අංක 45 දරන කම්කරුවන්ගේ රක්ෂාව අවසන් කිරීමේ (විශේෂ විධිවිධාන) පනතයි. එම පනතේ සියලු විධිවිධානවලින් එම සමාගම් නිදහස් කිරීම එම ගැසට් පත්‍ර මගින් සිදුකර ඇත. ඒ එම පනතින් බදු සහනයක් නොලැබෙන බැවිනි. එම පනත අදාාළ වන්නේ එහි නාමයෙන්ම ඇති පරිදි කම්කරුවන්ගේ රක්ෂාව කිසියම් ආයතනයක් විසින් අවසන් කිරීමේදී අනුගමනය කළ යුතු ක්‍රියා පිළිවෙතට අදාළවයි.
කම්කරුවන්ගේ රක්ෂාව අවසන් කිරීමේ (විශේෂ විධිවිධාන) පනත හඳුන්වා ඇත්තේ සේවා යෝජකයන් විසින් ඇතැම් රක්ෂාවල නියුක්ත කම්කරුවන්ගේ සේවය අවසාන කිරීම සම්බන්ධයෙන් විශේෂ විධිවිධාන පැනවීම සඳහා පනතක් වශයෙනි.
එහි අවධාරණය කරන්නේ කිසිම සේවා යෝජකයකු විසින් කම්කරුවන්ගේ කැමැත්ත ලියවිල්ලකින් කලින් නොලබා හෝ කම්කරු කොමසාරිස් ජනරාල්වරයාගේ ලිඛිත අනුමැතිය කලින් නොලබා යම් කම්කරුවෙකුගේ උපලේඛනගත රක්ෂාව අවසන් නොකළ යුතු බවයි.
එසේම යම් කම්කරුවකුගේ උපලේඛනගත රක්ෂාව අවසන් කිරීම පිණිස සේවායෝජකයකුට කම්කරු කොමසාරිස් ජනරාල්වරයාගේ අනුමැතිය දීම හෝ ප්‍රතික්ෂේප කිරීම කළ හැකි බවයි. ඒ සේවා යෝජකයකු විසින් කරනු ලැබූ ඉල්ලීමක් මත සහ ඒ ඉල්ලීමේ පිටපතක් අදාළ කම්කරුවා වෙත භාරදීමෙන් පසු සහ කරුණු ඉදිරිපත් කිරීමේ අවස්ථාවක් අදාළ කම්කරුවාට ලබාදීමෙන් පසු එම අනුමැතිය ලබාදීම හෝ ප්‍රතික්ෂේප කිරීම කළ හැකි බවයි.
එසේම රක්ෂාව අවසන් කිරීම සම්බන්ධයෙන් සේවායොා්ජකයා විසින් කම්කරුවාට පාරිතෝෂිකයක් හෝ වන්දියක් ගෙවීමට අදාළ යම් විශේෂ නියමයන් හා කොන්දේසි වෙතොත් ඒවාද ඇතුළත්ව කම්කරු කොමසාරිස් ජනරාල් විසින් සිය අනුමැතිය ලබාදීම තීරණය කළ හැකි බව එහි සඳහන් කර ඇත.
කම්කරු කොමසාරිස් ජනරාල්වරයාගේ එවැනි තීන්දුවක් කිසිම උසාවියකදී, විනිශ්චය සභාවකදී හෝ කාර්මික ආරවුල් පනත යටතේ ස්ථාපිත වෙනත් ආයතනයකදී අභියෝගයට ලක්කළ නොහැකි බව එහි වැඩිදුරටත් සඳහන් කර ඇත.
එසේම කම්කරු කොමසාරිස් ජනරාල්වරයා විසින් වන්දි මුදලක් සඳහා නියමයක් කිරීමේදී අවම වන්දි මුදල සම්බන්ධයෙන් වන සූත්‍රයක්ද (වන්දි සූත්‍රය) එම පනත යටතේ ගැසට් මගින් ප්‍රකාාශයට පත්කර ඇත. එම වන්දි සූත්‍රය අනුව යම් කම්කරුවෙකුගේ සේවය අවසන් කරන විට සේවා කාලය අවුරුදු 1 සිට 5 දක්වා නම් සෑම සේවා වසරක් සඳහා වන්දි වශයෙන් ගෙවිය යුතු මාසික වැටුප් ගණන 2.5ක් වශයෙන් නියම කර ඇති අතර එහි උපරිමය මාස 12.5ක් වශයෙන් සඳහන් කර ඇත. අවුරුදු 6 සිට 14 දක්වා සේවා කාලයක් ඇත්නම් වසරක සේවා කාලයකට මාසික වැටුප් 2ක් වන්දි වශයෙන් නියම කර ඇති අතර එහි උපරිම වන්දිය මාස 30.5ක වැටුප් වශයෙන් නියම කර ඇත. අවුරුදු 15 සිට අවුරුදු 19 දක්වා සේවා කාලයට වන්දිය අවුරුද්දක් සඳහා මාාස 1.5ක් ලෙස නියම කර ඇති අතර එහි උපරිමය මාස 38ක් වශයෙන් නියම කර ඇත. අවුරුදු 20 සිට 24 දක්වා සේවා කාලයකට අවුරුද්දක් සඳහා වන්දිය මාස 1ක් වශයෙන් නියම කර ඇති අතර එහි උපරිමය මාස 43ක් වශයෙන් නියම කර ඇත. අවුරුදු 25 සිට 34 දක්වා සේවා කාලයට අවුරුද්දක් සඳහා වන්දිය මාස 0.5ක් වශයෙන් නියම කර ඇති අතර එහි උපරිමය මාස 48ක් වශයෙන් නියම කර ඇත.
ඉහත සඳහන් කරන ලද 1971 අංක 45 දරන කම්කරුවන්ගේ රක්ෂාව අවසන් කිරීමේ (විශේෂ විධිවිධාන) පනතින් කොළඹ පොර්ට් සිටියේ සමාගම් නිදහස් කිරීම මගින් එහි සේවයේ නියුතු ඕනෑම කම්කරුවෙකුගේ සේවය කම්කරු කොමසාරිස් ජනරාල්වරයාගේ අනුමැතියකින් තොරව අවසන් කිරීමේ හැකියාව ලැබේ. එසේම කම්කරු කොමසාරිස් ජනරාල්වරයාගේ අනුමැතිය සහිතව රැකියාව අවසන් කිරීමේදී වන්දි සූත්‍රයට අනුව ගෙවිය යුතු අවම වන්දි මුදල් හෝ ගෙවීමේ අවශ්‍යතාවයෙන් පවා කොළඹ පොර්ට් සිටියේ කටයුතු කරන සමාගම් නිදහස් වීම සිදුවේ.
එය පොර්ට් සිටියේ සමාගම්වලට බදු සහන ලබාදීමට වඩා වෙනස් තත්වයකි. මුළු රටටම බලපාන කම්කරුවන්ගේ සේවය අවසන් කිරීමේ එක් නීතියක් පවතිද්දී කොළඹ පොර්ට් සිටියට පමණක් එම කම්කරු නීතිය අදාළ නොවන තත්වයට පත් කිරීමකි. ඒ අනුව පළමු අවුරුදු 25ක කාලයේදී කොළඹ පොර්ට් සිටියේ සේවය කරන ඕනෑම කම්කරුවෙකුගේ (සේවකයකුගේ) සේවය අවසන් කිරීම අනුමැතියකින් තොරව හා කිසිදු වන්දියක් ලබාදීමකින් තොරව සිදුකිරීමට එම සහන ලැබූ සමාගම්වලට හැකිවනු ඇත.
සමාගම් සඳහා බදු සහන ලබාදීමේ මෙම ගැසට් පත්‍ර සම්බන්ධයෙන් ගත්කළ කම්කරුවන්ගේ රක්ෂාව අවසන් කිරීමේ පනත අවුරුදු 25ක කාලයකට අදාළ කර නැත්තේ සමාගම් කිහිපයක් වෙත මිස මුළු පොර්ට් සිටියටම නොවේ. මුළු පොර්ට් සිටියටම එය අදාළ කළද, රට සම්බන්ධයෙන් ගත්කළ රටේ එක් ප්‍රදේශයකට නීතියක් ක්‍රියාත්මක නොකිරීමකි. පොර්ට් සිටිය සම්බන්ධයෙන් ගත්කළ එහි සමාගම් කිහිපයකට පමණක් රටේ නීතියක් අවුරුදු 25ක කාලයකට ක්‍රියාත්මක නොකිරීමකි.
ජේආර් ජයවර්ධන මහතා නිදහස් වෙළඳ කලාප ඇතිකරන අවස්ථාවේදී එම වෙළඳ කලාපවලට කම්කරුවන්ගේ රක්ෂාව අවසන් කිරීමේ පනත අදාළ නොවන බවට කළ නියෝගයක් එවක අභියෝගයට ලක්කර තිබුනේ ලංකා සම සමාජ පක්ෂය වෙනුවෙන් ආචාර්ය කොල්වින් ආර් ද සිල්වාය. එහිදී ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය වී තිබුනේ ඒ ආකාරයට ප්‍රදේශ වශයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමට බැරි බවයි.
ඒ ආකාරයට රටේ වලංගු කම්කරු නීතියක් කොළඹ පොර්ට් සිටියෙන් අවුරුදු 25ක කාලයකට එහි කටයුතු කරන සමාගම් වෙනුවෙන් නිදහස් කිරීම සිදුකර ඇත්තේ ජාතික ජන බලවේග ආණ්ඩුවක් විසින් වීම එය තවදුරටත් විශේෂත්වයක් බවට පත් කරයි. ඒ ජාතික ජන බලවේග ආණ්ඩුවේ දේශපාලන පක්ෂය වන ජනතා විමුක්ති පෙරමුණ කම්කරු අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි කම්කරුවන්ගේ වෘත්තීය සමිති මගින් දේශපාලනය කරන පක්ෂයක් වන නිසා හා වාමාංශික පක්ෂයක් ලෙස ඔවුන්ව හඳුන්වා ගන්නා නිසාය.
එවැනි පක්ෂයක ආණ්ඩුවක් බලයට පත්වී සිටියදී පොර්ට් සිටි සේවකයන් වෙනුවෙන් රටේ කම්කරු නීතියක් ක්‍රියාත්මක වන්නේ නැති බවට ප්‍රකාශයට පත් කිරීම තේරුම් ගැනීමට අපහසු සහ එහෙත් තේරුම් ගතයුතු තත්වයකි.
ඒ නිසාම ජාතික ජන බලවේග ආණ්ඩුවේ දේශපාලන පක්ෂය වන ජනතා විමුක්ති පෙරමුණේ ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය මෙහෙයවූ වත්මන් ඇමති කේඩී ලාල් කාන්ත හා අන්තර් සමාගම් සේවක සංගමය මෙහෙයවූ වත්මන් ඇමති වසන්ත සමරසිංහ සම්බන්ධ කරගෙන මේ පිළිබඳ විමසන්නට උත්සාහ කළද ඔවුන් වෙනදා මෙන් දූරකතන ඇමතුම්වලට සම්බන්ධ වූයේ නැත. (බලයට පැමිණීමට පෙර නම් මිස් කෝල් එකක් තිබ්බා යැයි කියමින් ඔවුන් නැවත ඇමතුමක් ලබා ගැනීම සිදුවේ)
එම ගැසට් නිවේදනවල ඇති කම්කරුවන්ගේ රක්ෂාව අවසන් කිරීමේ පනත පොර්ට් සිටියේ සමාගම් කිහිපයකට අදාළව අවුරුදු 25ක කාලයකට නිදහස් කිරීම පිළිබඳව මෙතෙක් වෘත්තීය සමිති නායකයන්ට දැනුවත්භාවයක් නැති බව ඒ සම්බන්ධයෙන් අප කළ විමසීම්වලදී අවබෝධ කර ගැනීමට හැකිවිය. එම දැනුවත් වීමෙන් පසු ආණ්ඩුවෙන් පිට සිටින වෘත්තීය සමිති ඒ සම්බන්ධයෙන් කිනම් ප්‍රතිචාරයක් දක්වයිද යන්න දැන්ම කිව නොහැකිය. එහෙත් ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ වෘත්තීය සමිති හා ඒවායේ නායකත්වයන් රටේ අනෙකුත් සේවක අයිතිවාසිකම් සම්බන්ධයෙන් වන ගැටළුවලදී මෙන් තමන්ගේ ආණ්ඩුව රැක ගැනීමේ නිහඬතාවයක යෙදෙනු ඇතැයි සිතිය හැකිය.
කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පනත් කෙටුම්පත ඉදිරිපත් කළ අවස්ථාවේදී ජනාධිපති අනුර කුමාර දිසානායක ඔහුගේ ෆේස්බුක් ගිණුමේ 2021 අප්‍රේල් 12 දින එම පනත් කෙටුම්පත විවේචනය කරමින් දීර්ඝ සටහනක් තබා තිබුණි. පහත සඳහන් කරන්නේ ඉන් උපුටා ගත් කොටසකි.
‘ඒ විතරක් නෙවෙයි දැනට පාර්ලිමේන්තුවේ සම්මත කොට තිබෙන ඉතාමත් වැදගත් පනත් ගණනාවක් මෙම ප්‍රාන්තය තුළ ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඉදිකිරීම් පිළිබඳ අනුමැතිය ලබාදෙන ජාතික රාජ්‍ය සභාවේ අංක 78 දරන නාගරික සංවර්ධන අධිකාරි පනත, මහ නගර සභා ආඥා පනත, ශ්‍රී ලංකා වාණිජ සමථ මධ්‍යස්ථාන පනත, නගර හා ග්‍රාම නිර්මාණ ආඥා පනත, විවිධ ව්‍යාපෘති සඳහා බදු සහන ලබාදෙන ක්‍රමෝපායික සංවර්ධන පනත, පොදු කොන්ත්‍රාත් ගිවිසුම් පනත, ආයෝජන මණ්ඩල පනත, සුරැකුම් හා විනිමය කොමිෂන් සභා පනත වැනි වැදගත් පනත් මේ ප්‍රාන්තය තුළ ක්‍රියාත්මක වෙන්නේ නැහැ. සුරැකුම් හා විනිමය කොමිෂන් සභා පනත මගින් තමයි විදෙස් විනිමය ආරක්ෂා කරගෙන තිබෙන්නේ. එම රටේ විදෙස් මුදල් පිළිබඳ සියලු බලතල හා රෙගුලාසි ක්‍රියාත්මක වෙන්නේ මෙම පනත හරහා. එමෙන්ම ආදායම් බදු පිළිබඳ නීති රෙගුලාසි ඇතුළත් දේශීය ආදායම් පනත, එකතතු කළ අගය මත බදු පනත, 2002 අංක 11 දරන මුදල් පනත, 2005 අංක 5 දරන මුදල් පනත, භාණ්ඩ ආනයන අපනයන පිළිබඳ බලය තිබෙන රේගු ආඥා පනත, වරාය හා ගුවන් තොටුපල බදු වලට අදාළ වරාය හා ගුවන් තොටුපල සංවර්ධන පනත, ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනත, ඔට්ටු ඇල්ලීම හා සූදූ පනත, හිතු පරිදි සමාගම්වල කැමැත්ත පරිදි සේවකයින් සේවයෙන් පහ කිරීමට නොහැකි සහ සේවකයින්ට අදාළ අයිතිවාසිකම් ආරක්ෂා වෙන කම්කරුවන්ගේ රක්ෂාව අවසන් කිරීමේ පනත, විනෝද බදු පනත, විදෙස් විනිමය පනත, කැසිනෝ ව්‍යාපාර නියාමනය කිරීමේ පනත යන පනත් සියල්ල මුළුමනින්ම නිදහස් කිරීමට හෝ යම් යම් වගන්ති සංශෝධනය කර දීමට ආණ්ඩුව කටයුතු කරනවා. එනිසා සැලසුම් සකස් කරමින් තිබෙන්නේ මෙම වරාය නගරය චීන ප්‍රාන්තයක් කිරීමටයි. චීනයට හොංකොං පිළිබඳ සැලැස්මට සමාන සැලැස්මක් තමයි වරාය නගර ව්‍යාපෘතිය සම්බන්ධයෙන් තියෙන්නේ.’
අප මෙහි සාකච්ඡාවට ලක්කරන කම්කරුවන්ගේ රක්ෂාව අවසන් කිරීමේ පනත සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක එහි සඳහන් කරයි. දෛවයේ සරදම වන්නේ අද මුදල්, ක්‍රම සම්පාදන හා ආර්ථික සංවර්ධන ඇමතිවරයා වශයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායකටම අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කරමින් කොළඹ වරාය නගරය හෙවත් පෝර්ට් සිටියේ සමාගම්වලට බදු සහන ලබාදීමට සිදුවීමයි. ඉන් එහා ගොස් ඔවුන් පක්ෂයක් ලෙස පෙනී සිටි කම්කරුවන්ගේ අයිතිවාසිකමක් වන කම්කරුවන්ගේ රක්ෂාව අවසන් කිරීමේ පනත පොර්ට් සිටියේ ක්‍රියාත්මක නොකිරීම සඳහා නිදහස් කිරීම වෙනුවෙන් අති විශේෂ ගැසට් පත්‍ර නිකුත් කිරීමට සිදුවී තිබීමයි. මේ අනුව ජාතික ජන බලවේග ආණ්ඩුව කම්කරුවන් හෙවත් සේවකයන් තේරුම් ගත යුත්තේ කෙසේද?
| ලසන්ත රුහුණගේ
(අනිද්දා පුවත්පත)