දහඅට හැවිරිදි මා කියල් සින් Kyal sin පසුගිය බදාදා මිලිටරි ආණ්ඩුවට ප්‍රතිවිරුද්ධකම් පෑමේ උද්ඝෝෂණයට ගියේ ඇයගේ හිස සිඹ පියා තිළිණ කළ ආශීර්වාද වදන් සිත් පුරවාගෙන සතුටු සිතෙනි. ඇය මියන්මාරයේ දෙවන විශාලතම නගරය වන මන්ඩලේහි ජීවත් වූවාය.
පසුගිය නොවැම්බරයේ පැවති මැතිවරණ දිනයෙහි මා කියල් සින් ඇයගේ පියා සහ මව ඡන්දය ප්‍රකාශ කිරීමට වර්ණ ගැන්වූ සිය දබරැඟිළි එසවූ ඡායාරූපයක් ඇයගේ ඉන්ස්ටර්ග්‍රෑම් පිටුවට එක්කර තිබුණි. මැතිවරණයෙන් ප්රජාතන්ත්රවාදය සඳහා වන ජාතික ලීගය මහ ජයක් ලැබුවේ මිලිටරිය බිය ගන්වමිනි.
“මගේ ජීවිතයේ පළමු වතාවට මම පුරවැසියෙකු ලෙස මගේ වගකීම භාර ගත්තා … හදවතින්ම එක ඡන්දයක්” යැයි කියල් සින් සිය ෆේස්බුක් හි ලියා ඇත්තේ තීන්ත ගෑ සිය ඇඟිල්ල සිප ගන්නා පින්තූරයක් පළ කරමිනි.
මා කියල් නැටුමටත්, මිරිස් රසැති කෑමටත්, රතුම රතු ලිප්ස්ටික් වලටත් ඇළුම් කළාය. ඊට අමතරව ඇයගේ ළැදියාවක් වූවේ තායි ක්වක් දෝ නම් බුරුම සටන් ක්රමයටය. ඇය සටන් ක්‍රම පුහුණු කාරියක්ද වූවාය.
නව යොවුන් වියේ සිටි ඇය වියයුතු පරිදිම විනෝදකාමීය. සිය ෆේස්බුක් පිටුවෙහි ඇය තමාගේ හැඩකාර සෙල්ෆි ඡායාරුපද සිය නර්තනයන්ද දැමුවාය. එමෙන්ම ඇයට සමාජ සාධාරණය සහ යුක්තිය ගැන හැඟීමක්ද තිබුණි. ඇය ලස්සන ඇඳුම්වලටද ඇලුම් කළාය.
එමෙන්ම ඇගේ පියා සමඟ ඇයගේ සමීප සම්බන්ධතාව විදහා දක්වන ඡායාරූපද එහි වෙයි. පසුගිය මාසයේ මුදු මොළොක් මොහොතක ඇයගේ පියා ඇගේ මැණික් කටුව වටා නිර්භීතකම සංකේතවත් කරන රතු පීත්ත පටියක් බැඳි ඇති බව එක් ඡායාරූපයකින් පෙනේ.
“මට මේ ගැන වෙන කියන්න දෙයක් නැහැ – ස්තූතියි තාත්තේ!” යැයි කියල් සින් “මියන්මාරයට යුක්තිය” යන හැෂ් ටැගය සමඟ එහි ලියා තිබුණි.
ඉන්ස්ටර්ග්‍රෑම් සමාජ ජාල අඩවියෙහි ඇය පෙනී සිටියේ ඒන්ජල් නොහොත් සුර දූතිකාව යන නමිනි. ඇය දැන් නිදහසේ සුරදූතිකාවකි.
ඇය නිදහස් ජීවිතයක් පතන මියන්මාර තරුණ ජනයාගෙන් අයකු විය. මහ මැතිවරණයෙන් සිය නායිකාව වූ අවූන් සාං සුකී ලද මහ ජය යුද්ධ ටැංකි මගින් චප්ප කළ විට එය පිළිගැනීමට මේ තරුණ පරම්පරාව සූදානම් වූයේ නැත.
මියන්මාරයේ පුරුෂාධිපත්‍යවාදී දේශපාලන සහ සංස්කෘතික බැඳීම් නොසලකා ප්‍රතිවිරුද්ධකම් පෑමේ පෙරමුණූ බලඇණියක් බවට තරුණ ස්ත්‍රීහු පත්වූහ. විරෝධතා උද්ඝෝෂණ අතරතුර හමුදා ප්රහාරයන්ගෙන් තුවාල වන සිය සහෝදර සහෝදරියන්ට ප්‍රථමාධාර දීමට සූදානමින් වෛද්‍ය ශිෂ්‍යාවෝ පා ගමන්වලට එක්වූහ.
මියන්මාරය කොතරම් පුරුෂ මූලික සම්ප්රදායන්ගෙන් සිරගතව ඇත්ද යත් ස්ත්‍රියකගේ සහ පුරුෂයකුගේ ඉණෙන් පහළට අඳින ඇදුම් එකට සේදීම සලකන්නේ වරදක් ලෙසය. එසේ කළහොත් පුරුෂයාට අපලය. මේ නිසාම විරෝධතාවන්ට එක්විය නොහැකි වැඩිහිටි ස්ත්‍රීහු පාරවල යනෙන මිලිටරි සහ පොලිස් හමුදා බිය ගැන්වීමට සිය ලුන්ගි සහ සරොම් පාරවලට ඉහළින් එල්ලා තිබෙනු මේ දිනවල දැකිය හැකිය.
තත්මදෝව යැයි නම් කැරෙන මිලිටරියේ ඉහළ තනතුරුවල කිසිදු ස්ත්‍රියක නැත. එසේ වෙතත් නොවැම්බර් මැතිවරණයෙහි ප්රජාතන්ත්රවාදය සඳහා ජාතික ලීගයේ අපේක්ෂක ලැයිස්තුවල සියයට විස්සක් වූයේ ස්ත්රීන්ය.
මිලිටරිය එනම් තත්මදෝව දැනටමත් ස්ත්‍රී විරෝධය අවුළුවන්නට ජාතිකවාදී පසුගාමිත්වය යොදා ගනිමින් සිටි. “ මේ පෙළපාලි යන ගැහැනු හරියට ඇඳුම් අඳින්නවත් දන්නේ නැහැ” යැයි එහි ප්‍රධානියා කියයි. ඉන් මේ ඒකාධිපතියා අදහස් කරන්නේ ගැහැනුන් දිග කලිසම් නොඇඳිය යුතු බවයි.
තත්මදෝව රට මිලිටරි පාලනයකට යට කිරීමෙන් වැඩිම පහර වදින සමාජ කොට්ඨාසයක් වන්නේ ස්ත්රීන්ය. ඊට හේතුව නම් පසුගිය දස වසර පුරා පැවැති ප්රජාතන්ත්රවාදී අවකාශය ස්ත්රීන්ට ආර්ථික, සමාජ, දේශපාලන නිදහස ලබා ගැනීමට උපකාරී වූ නිසාය. දැන් මිලිටරි ඒකාධිපතිත්වය එම සියලු අවස්ථා තර්ජනයට ලක් කරයි.
මිලිටරි පාලනය පැරදවීම තමන්ගේද කාර්යයක් බව එරට ස්ත්‍රීහු ජීවිතයෙන්ම ඉගෙන ගෙන සිටිති. විශේෂයෙන්ම යෞවනියෝ සිය නිදහස යකඩ සපත්තුවට පැගී යෑමට ඉඩ නොදීමට අධිෂ්ඨාන කරගෙන සිටිති.
සිය දහස් ගණනින් ස්ත්‍රීහු දෛනික පාගමන් සඳහා එක්රැස් වෙති. ඒ අතර ගුරුවරියන්, ඇඟලුම් සේවිකාවන් සහ වෛද්‍ය සේවිකාවන්ගේගේ වෘත්තීය සමිති ඉදිරියෙන්ම සිටිති.
මෙලෙස වීදි අරක්ගත් සිය සගයින් සමඟ මා කියල් සින් දිනක් නෑර එක්වූයේ ඒ හැගීමෙනි. ඔවුන් නිරායුධ එනමුත් අදම්‍ය අධිෂ්ඨානයකින් පණ පෙවුණු බලවේගයක් වේ.
ඒ ඉරණම් සහගත බදාදා මා කියල් සින් සිය ටී ෂර්ටයේ පසුපස “අපට ප්රජාතන්ත්රවාදය අවශ්‍යයි. මියන්මාරයට යුක්තිය. අපේ ඡන්දවලට ගරු කරන්න” යන පාඨය ස්ටප්ලර් කර ගෙන තිබුණි. ජේත්තුකාර ටී ෂර්ට්වලට කැමැති වූ ඇයගේ ඒ ටී ෂර්ටයේ ඉදිරිපස වුයේ Everything will be all Right! “ හැම දෙයක්ම හරියාවි” යන පාඨයයි. දැන් ඒ පාඨය ප්‍රතිවිරුද්ධකම් පෑමේ පොදු උද්යෝග පාඨයකි.
එදින ඇයට යළි සිය පියා දක්නට යෑමට ලැබුණේ නැත.
විරෝධතාකරුවන් සහ විරෝධතාකාරියන් තිස් අටදෙනෙකුට මරණය උරුම කළ මියන්මාරයේ කළු බදාදා නමින් හැඳින්වෙන පසුගිය 03දා හමුදාව හිසට වෙඩි පහර දෙකක් ද, පපුවට එක් වෙඩිල්ලක්ද තබා මා කියල් සින් මරා දැමුවේය. සැණෙන් ඇයගේ මරණය සමාජ මාධ්‍ය හරහා දෝංකාර දුන්නේය. ඇය විරුද්ධකම්පෑමේ අධිෂ්ඨානයේ ප්‍රතිමූර්තියක් බවට පත් විය.
ඇයගේ මරණයෙන් පසු ඇය සමඟ ප්‍රතිවිරුද්ධකම් පෑමේ යෙදී සිටි තරුණියක් මෙසේ කීවාය; “මියන්මාරයේ ස්ත්රීන්ගේ ලේ රතුපාටයි.”
පසුදා පැවැති ඇයගේ අවමංගල්‍ය උත්සවය දහස් ගණනින් පිරී ගියේය.
මේ සතියේ උද්ඝෝෂණයකට යාමට පෙර, මා කියල් ඇයගේ රුධිර වර්ගය සිය ෆේස්බුක් පිටුවේ ලියුවාය. ඇගේ දුරකථන අංකයද එහි දක්වා තමාට යම් කරදරයක් සිදු සිදුවුවහොත් සිය අවයව පරිත්‍යාග කිරීම පිණිස ලබා ගන්නා ලෙස ලියුවාය.
“මා මිය ගියහොත් මට (මගේ අවයව) පරිත්‍යාග කළ හැකිය. යමෙකුට හදිසි උපකාර අවශ්‍ය නම්, එය මගේ මරණයට හේතු වුවද මට අවයව ලබා දිය හැකිය” යනුවෙන් ඇය එහි ලියුවාය.
උද්ඝෝෂණය අතරතුර කියල් සින්ගේ අවසන් මොහොත ඇයගේ මිතුරියන්ගේ ජංගම දුරකතනයන්හි සටහන් විය. හමුදා වෙඩි තැබීම් මැද ඇය පාර දිගේ බඩගාගෙන කඳුළු ගෑස් පිපිරුම් මධ්‍යයේ ආවරණයක් සොයා දිවයන අයුරුය.
වෙඩි තබා ඝාතනය කිරීමට මොහොතකට පෙර, කඩතොලු වූ ජීන්ස් යුගලයකින් සැරසී සිටි කියල් සින් සිය සහෝදර සාමකාමී විරෝධතාකරුවන් දිරිමත් කරනු ජංගම දුරකතන වීඩියෝවන්හි දැක්වේ.
ආරක්ෂක අංශ විසින් එල්ල කරන ලද කඳුළු ගෑස් ප්රහාරයන් මැද කියල් සින් සිය සගයින්ගේ දෑස් පිරිසිදු කිරීම සඳහා වතුර බෙදනුද පෙනේ. තවත් විරෝධතාකරුවෙකු විසින් පටිගත කරන ලද වීඩියෝවක ඇය කෑගසයි: “අපේ ජනතාවගේ ලේ හැලෙන්න දෙන්න බැහැ!”
“ඇය මගේ ජීවිතයේ මෙතෙක් දැක ඇති නිර්භීත කෙල්ල” යැයි කියල් සින්ගේ අවසාන ඡායාරූප කිහිපයක් ගත් කළ කෝ ලූ මාව් පුවත්පත් වාර්තාකරුවන්ට කීවේය.
ඇගේ නමේ අර්ථය බුරුම බසින් “පිරිසිදු තාරකාව” ය. එනිසාම ඇය සිය ටී-ෂර්ටයට යටින්, තරු හැඩැති පෙන්ඩනයක් පැළඳ සිටියේය.
“ඔබ තරුවක් දුටුවහොත් මතක තබා ගන්න, අන්න ඒ මම තමයි” කීමට ඇය පුරුදුව සිටියාය.
බ්‍රහස්පතින්දා උදෑසන ඇය වෙනුවෙන් ශෝකයට පත් පිරිස් ජනප්‍රිය විප්ලවවාදී ගීතයක් වන, “ලෝක අවසානය තෙක් අපි අමතක නොකරමු ” යන ආදර ගීය ගායනා කළේ මල් කළඹ සහ මල් වඩම් දරාගෙන ඇගේ මෘත දේහය පසු කර යමිනි.
ඒ ගීයේ පද කිහිපයකින් කියල් සින්ට සුව නින්දක් සහ ජය පතමු.
සදාකාලිකත්වය ලස්සනයට සීතලයි
සුරදූතිකාවන් මහලු වේදැයි නොදනිමි
ඔබේ දෑසෙහි මා ගිලීයයි
මං මුහුදේ අතරමං
ඔබ දන්නවා මට ඔබ හැම දෙයක්ම බව
කිසිදා බිය නොවන්න
සියල්ල අළු පැහැයට හැරෙන විට
එපා, බිය වෙන්න එපා
මට ඕනෑ ඔබේ ආදරය පමණමයි
දෙන්න මට ඔබේ සියලු වේදනාවන්
මා අමතක නොකරන්න මගේ ආදරිය මා ඔබ අමතක කරන්නේ නැහැ මගේ ආදරිය
ලෝකාවසානය තෙක්
පහළත් ආපස්සටත්
කාලාවසානයම තෙක්
කාවද මාව නවත්වන්නේ
ඔවුන් උත්සාහ කළදෙන්
අඳුරු දවස්
අඳුරුතම රාත්‍රීන්
මං නතරවන්නේ නැහැ
මැරෙන කං මගේ ආදරිය – මගේ ආදරිය ලොව නතරවනු තුරු
මා කියල් සන්, ලෝකාවසානය වනතුරු ඔබ නිදහසේ සුරදූතිකාවකව ජීවත් වෙයි, නිදහස සඳහා දිවි පුදන නමක් ඇති නමක් නැති සුවසහක් විරුවන් සහ විරවරියන් සමඟ.
සොයුරිය, සොහොනේ අළු මට දෙන්න. මගේ පණ ඔබ ගන්න!
(සුනන්ද දේශප්‍රිය – රාවය)