ජපානයේ දොරටුව ලාංකිකයන්ට විවර කර දුන් තකිකෝ යොෂිඩා මැතිණියගේ 115 ජන්ම සමරුව අදයි
පරමාණු බෝම්බයෙන් සම්පූර්ණයෙන්ම විනාශ වුණ ජපානය යළි නැඟී සිටියේ ඒ රටේ මිනිස්සු තුළ ඇති වුණ ජාතික සංවර්ධන අභිලාෂයන් නිසයි.තමන්ගේ රට ගොඩනැගීමට ඔවුන් දිවා රෑ කැපවෙලා වැඩ කිරීම නිසා "ජපනා හපනා" කියන කතාව ලෝකෙට එකතු වුණා.පසුගිය සියවසේ හත්වන දශකයේ අවසාන භාගය වන තුරු ජපානය සහ ශ්‍රී ලංකාව අතර ඒ තරම් සමීප බැඳීමක්, සබඳතාවක් තිබුණෙ නැහැ.ජපානයට ලංකාව විවෘත වෙන්න ප්‍රධාන වුණ චරිතයක් තමයි තකිකෝ යොෂිඩා මැතිණිය.
අනගාරික ධර්මපාලතුමා ජපානයට ගොස් එරට තිබූ කර්මාන්ත සංවර්ධනය ගැන අධ්‍යයනය කර ලංකාවේ දේශීය කර්මාන්තකරණයකට මුල පිරීමට දැඩි උත්සාහයක් ගනු ලැබීය.ඒ වගේම ජපානයේ ථෙරවාදී බුදු දහම ස්ථාපිත කිරීමටත් උන්වහන්සේගේ හදවතේ විශාල අදහසක් ,උත්සාහයක් තිබුණත් උන්වහන්සේට අරමුණ ඉෂ්ඨ සිද්ධ කරගන්න නොහැකි වූයේ පැවති විවිධ බාධක නිසයි. ශ්‍රීමත් ධර්මපාලතුමන්ගේ ඒ අදහස ඉෂ්ඨ සිද්ධ වෙන්නේ උන්වහන්සේගේ මහාබෝධි සමාගමේ සෙවණ යටතේ හැදී වැඩුණු බානගල උපතිස්ස නායක හාමුදුරුවන් ජපානයේ ලංකාජී විහාරය ආරම්භ කිරීම තුළයි.
හැඩිගල්ලේ පඤ්ඤාතිස්ස නාහිමිපාණන් වහන්සේ සමඟ ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශයේ බෝපාල් එහි සාංචි විහාරයේ වාසය කරමින් විදිසා හි අධ්‍යාපනය ලැබූ සමයේ සාංචි චේතියගිරි විහාරයට පැමිණෙන ජපානයේ මහා බෞද්ධ මහෝපාසිකාව වන තකිකෝ යොෂිඩා මැතිණියට බානගල හිමියන් හමුවන්නීය. එහි දී අහම්බෙන් තේ කෝප්පයකින් සංග්‍රහ කිරීම සමඟ ඇරඹි මේ දෙදෙනාගේ මාතෘ පුත්‍ර සබඳතාවය ඔස්සේ අනගාරික ධර්මපාලතුමන්ගේ ථෙරවාවාදී බුදු දහම ජපානයට ගෙනයෑමේ සිහිනය සැබෑ කරමින් බානගල හිමියන් ජපානයේ සවාරා හි ලංකාජී විහාරය ගොඩනඟා එහි ජපානයේ ප්‍රථම ථෙරවාදී චෛත්‍යය ස්ථාපිත කරන්නේ යොෂිඩා මැතිණියගේ අප්‍රතිහත ධෛර්ය හා සහයෝගය සමඟින් ය.
ඉන්දියාවේ අධ්‍යාපන කටයුතු හමාර කර ලංකාවට ඒමට නියමිතව සිටි බානගල හාමුදුරුවන් වැඩිදුර අධ්‍යාපනය ලැබීමට ජපානයට යාමට අවස්ථාවක් යොෂිඩා මැතිණිය ගෙන් ඉල්ලා සිටි අවස්ථාවේ යොෂිඩා මැතිනිය උන්වහන්සේට ජපානයට පැමිණීමට සියලු පහසුකම් සලසා දුන්නීය.යොෂිඩා මැතිණිය බානගල හාමුදුරුවන් ගෙන් අසා සිටියේ "ඔබ වහන්සේ උසස් අධ්‍යාපනය ලැබීමට අපේක්ෂා කරන්නේ කුමන විෂයන් ද" කියා.එහි දී බානගල හාමුදුරුවන් කියා ඇත්තේ "තමන් උසස් අධ්‍යාපනය සඳහා තෝරා ගන්නේ පූර්ව ළමාවිය සංවර්ධනය හෙවත් ලදරු අධ්‍යාපනය කියන විෂය" බවය.ජපාන අධ්‍යාපනයේ දී පූර්ව ළමා විය සංවර්ධන අධ්‍යාපනයට ලබා දෙන්නේ ඉහළම ප්‍රමුඛතාවක්.ජපානයේ පූර්ව ළමාවිය සංවර්ධන අධ්‍යාපනය ළමා මනෝ විද්‍යානුකූලව දරුවාගේ පෞරුෂ වර්ධනය ඉලක්ක කරමින් ගොඩනැගුණු ඉතාම සුවිශේෂ අධ්‍යාපන ක්රමයකි.(ජපානයේ පූර්ව ළමාවිය අධ්‍යාපනය පිළිබඳ වෙනම කථා කළ යුතුයි) එම අධ්‍යාපන කටයුතු හමාර කර ශ්‍රී ලංකාවට පැමිණෙන උන්වහන්සේ ගෙන් යොෂිඩා මැතිනිය අසා සිටින්නේ "ඔබ වහන්සේට මගෙන් ඉටුවිය යුතු දේ කුමක් ද" කියාය.
ජපානයයේ සිට සපුගස්කන්ද අබේසේකරාම විහාරයට පැමිණෙන බානගල හාමුදුරුවෝ යොෂිඩා අධ්‍යාපන හා සමාජසේවා පදනම පිහිටුවා , 1979 ජූනි 26 දින සපුගස්කන්දේ ශ්‍රී ලංකාවේ ප්‍රථම ජපාන සම්ප්‍රදායානුකූල පූර්ව ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානය ආරම්භ කළහ.ඊට පූර්ණ අනුග්‍රහය දක්වන්නේ ද ඒ සඳහා පැමිණෙන්නේද යොෂිඩා මැතිනියයි.
එකල ජපානයට ශ්‍රී ලංකාවෙන් සේවකයන් හෝ අධ්‍යාපනය සඳහා යෑම පිළිබඳ කිසිදු කතිකාවක් තිබුණේ නැත.එකල ලංකාවේ හැමෝම කතා කළේ එංගලන්තයට ඇමරිකාවට ජර්මනිය වගේ රටවල් වලට තමන්ගේ දරුවා යැවීමටයි. බානගල හාමුදුරුවන් ප්‍රථම වරට පූර්ව ළමාවිය සංවර්ධනය අධ්‍යාපනය හැදෑරීමට මෙරට තරුණියන් විශාල ප්‍රමාණයක් ජපානයට යැවීමත් සමඟය ජපානයේ රැකියා සහ අධ්‍යාපන අවස්ථා පිළිබඳ ලංකාවේ කතාබහ ඇරඹෙන්නේ. කොටින්ම ජපානය කියන රට ශ්‍රී ලංකාවට විවෘත වන්නේ යොෂිඩා මැතිණියගේ සහ බානගල නායක හාමුදුරුවන් ගේ මේ ක්‍රියාවලිය සමඟයි."ජපන් ලදරු පාසල්" ලෙස රටපුරා ප්‍රචලිත වන මෙම පූර්ව ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන නිට්ටඹුව, සපුගස්කන්ද, හොරණ, නුවරඑළිය, මත්තෙගොඩ,අගලවත්ත,
පොල්ගස්ඕවිට, මාලඹේ, නුවරඑළිය, මහනුවර, නෙළුව ආදී ප්‍රදේශවල ස්ථාපිත වෙන්නේ යොෂිඩා මැතිණියගේ සම්බන්ධීකරණයෙන් ජපාන දානපතියන්ගේ ඉමහත් ආධාර උපකාර මතයි.
එතැන් සිට යොෂිඩා මැතිණිය ශ්‍රී ලංකාවේ ඉතාමත්ම සමීපතම ආදරණීය සංවර්ධන සහකාරිණියක් බවට පත්වෙනවා.ඒ නිසාම ඇයව බොහෝ දෙනා හඳුන්වන්නේ "ඔකාසන් අම්මා" කියා ය.
එකල ලංකාවේ හතු පිපෙන්නා සේ හැම තැනම ලදරු පාසල් තිබුණාද ඒ සඳහා වන කිසිදු නියාමනයක් හෝ ප්‍රමිතියක් පැවතියේ නැත. යොෂිඩා මැතිණියගේ මැදිහත්වීම සමග ළමා මනෝවිද්‍යාවට අනුගත ප්‍රමිතිගත ළදරු පාසල් මෙරට පුරා ස්ථාපිතවීම සමග කාගේත් අවධානයට ඇදී යෑම නිසා මෙරට ලදරු පාසල් අධ්‍යාපනයට ප්‍රමිතියක්, නියාමනයක් සකස්වීම ඇරඹෙන්නේ ය.අද වන විට මෙරට පූර්ව ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන නියාමනය සදහා නීති රීති ද ප්රඥප්ති ද පනත් ද ආයතන සහ අමාත්‍යංශ පවා ස්ථාපිත වන්නේ යොෂිඩා මැතිනිය හෙවත් ජපන් අම්මා සහ බානගල උපතිස්ස නා හිමියන් විසින් මෙරට ස්ථාපනය කරන්න යෙදුන විධිමත් පූර්ව ළමාවිය අධ්‍යාපන ක්‍රමය සහ පද්ධතිය නිසාය.
මේ අන්දමට ඇය මෙරට ජනතාවට සහ ළමා පරපුරට මෙන්ම ජපානයේ ථේරවාදී බුදු දහම ප්‍රචලිත කිරීමට දැක් වූ ඉමහත් ගෞරවනීය දායකත්වය නිසාම 1991 එවකට ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා විසින් ඇයට "ශ්‍රී ලංකා රංජන" ගෞරව නාමය පිරිනමනු ලැබීය. මෙරට එවැනි ජාතික ගෞරව නාමයෙන් පුද ලද ප්‍රථම විදේශීය චරිතය වන්නේ යොෂිඩා මැතිනියයි.2000 සදහටම අපෙන් සමු ගන්නා යොෂිඩා මැතිණියගේ සියවන ජන්ම සමරුව වෙනුවෙන් 2008 දී ඇය නමින් සමරු මුද්දරයක් ද නිකුත් කළේ, විදේශිකයෙකු වෙනුවෙන් මෙරට සමරු මුද්දරයක් නිකුත් කළ ප්‍රථම කාන්තාව ලෙස යොෂිඩා මැතිණිය ඉතිහාසයට එක් කරමින් ය. එසේම සපුගස්කන්ද - බියගම ප්‍රධාන මාර්ගය "තකිකෝ යොෂිඩා මාවත" ලෙස ද නම් කිරීමට ද මෙරට ජනතාව කෘතවේදී විය.
1908 අගෝස්තු 16 වෙනිදා ජපානයේ කියුෂු පරපුරේ උපත ලද යොෂිඩා මැතිණිය පසුව කීර්තිමත් ශල්‍ය වෛද්‍ය විශේෂඥයකු වන කිෂි යොෂිඩා මැතිතුමා සමඟ විවාහ වීමෙන් පසුව, ජපානයේ වර්තමානය ඇති විශාලතම පෞද්ගලික රෝහලක් වන යොෂිඩා රෝහලේ කොටස්කාරිණියක් බවට පත්වන්නීය.මෙරට මහා නායක හිමිවරුන් ඇතුළු බොහෝ දෙනකුට එම රෝහලේ නොමිලේ සෞඛ්‍ය වෛද්‍ය ප්‍රතිකාර ලබාදීමට ඉදිරිපත් වූ ඇය මෙරට භික්ෂුන් වහන්සේලාගේ හා බෞද්ධ ජන නායකයන්ගේ ඉමහත් ගෞරවාදරයට පාත්‍ර වූ ජපාන කාන්තා රත්නයක් විය.
යොෂිඩා මැතිණියගේ 115 වන ජන්ම සමරුව නිමිත්තෙන් අද (16) සපුගස්කන්ද යොෂිඩා පෙර පාසල හා යොෂිඩා ෂෝකන්ජි ජාත්‍යන්තර පාසල පවත්වන සමරු උත්සවය එම විද්‍යාලයේ පරිශ්‍රයේ පැවැත්වෙන බව යොෂිඩා ජාත්‍යන්තර පාසලේ අධ්යක්ෂ හේමකුමාර ගුණසේකර මහතා පවසයි.