හැමදෙනාටම තමන්ගේ කියා කතාවක් ඇත... අද හිතුනා මගේ කතාව ලියන්න...!

Fathima-Nazira

හැමදාම හැමකෙනා ගැනම දුක හිතෙන කතාවක් ලියනවා. ඇයි මම මගේ කතාව ලියන්නේ නැත්තේ. එහෙම හිතුන මට, අද හිතුනා මගේ කතාව ලියන්න ඔනේ කියලා.

මම නමින් ෆාතිමා නෂීරා. උපන් ගම නාරම්මල, පාසල් ගියෙත් නාරම්මල මහා විද්‍යාලයට. මගේ පවුලේ මට ඉන්නේ අම්මා, අක්කා අයියා තාත්තා. ඒත් තාත්තා අපෙන් වෙන්වෙලා දෙවියන් ළඟට ගිහින් අවුරුදු 8ක් විතර වෙනවා.

මේ කතාව ලියන්නේ හුස්ම හිරකරන්. තාත්තා කසාද දෙකක් බැඳපු කෙනෙක්. මම දෙවෙනි කසාදෙ බාලම දරුවා. දෙමව්පියන්ගෙන් ඉඩකඩම් ඉන්න තැනක් අපට හම්බ උනේ නෑ. මම, අක්කා ඒවා ඉල්ලූවෙත් නෑ. මම රට ආවේ 2009. ඊට පසු ඉන්න ඉඩමක් අරං ගෙයක් හදා ගත්තා. තාත්තා ඉන්නකල් මට ආරක්ෂාව ආදරය තිබ්බා. හැම අතින්ම මාව ආරක්ෂා කළා. ඒත් තාත්තා නැති උනාට පස්සෙ මම තනි උනා. පවුලේ හැමෝටම ඔන උනේ මගෙන් දෙයක් ගන්න මිස මාව බලා ගන්න නෙමේ. මට තේරුණා මට කාගෙන්වත් ආදරයක් නැති බව. හැමෝම මගෙන් දෙයක් ගන්න හදන බව.

ඔව්. මමත් ආදරයක් හොයන් පස්සෙන් ගියා. මට ආදරයක් ලැබුණා. මම හිතුවා ඒ ආදරය තමා මම හෙව්ව ආදරය කියලා. හැමෝම මට කිව්වේ ඒ මනුස්සයා හොරෙක් විශ්වාස කරන්න එපා කියලා. ඒත් සමාජය කියන දේ ගෙදර අය කියනදේ නොඅසා මම ඔහු සමග සම්බන්ධයක් ඇති කර ගත්තා. ටික කාලයක් යනකල් අපි හොඳින් හිටියා. පස්සෙ පස්සෙ ඔහුගේ සැබෑ ස්වරූපය එන්න ගත්තා. ඔහු කලින් කසාද තුනක් බැඳපු ළමයින් දෙන්නෙක් ඉන්න කෙනෙක්. ඔහු මාව මුලා කළේ බොරු ලොවක් පෙන්නලා. ඒත් මම ඉවසුවා. මොකද දැන් මට වෙන්න ඕන දේ හැමදේම වෙලා ඉවරයි. එහෙම වුණා කියලා ආපහු ගෙදරට යන්නත් බෑ. මොකද මාව ගෙදරින් අයින් කරලා නිසා.

දවසක් මම අසනීප වෙලා කුරුණෑගල රෝහලේ ඉද්දි මාව බලන්න ආවේ ඔහු විතරයි. පස්සේ ටිකට් කපං ගෙදර ආවාම ඔහු මට කිව්වේ මගේ යාළුවෙක්ට කරදරයක්. සල්ලි වගයක් ඕන වෙලා අපි මේ ඉඩම උගස් කරලා සල්ලි ටිකක් දෙමු කියලා. ඒ වෙලාවේ මම ඔහුට තිබ්බ පේ‍්‍රමය නිසාම ඔහුව විශ්වාස කළා. ඒත් ඇත්තටම ඔහුයි යාළුවයි දෙන්නාම මාව රවට්ටලා මගේ ඉඩම සින්න උනා. සල්ලි බේරන්නේ නැතිව ඉඳලා.

දවසක් මම ඉඩම බේරලා දෙන්න කියලා රංඩු වුණාම මගේ අතයි කකුල් දෙකයි කටයි බැඳලා යකඩ බටෙන් හොඳටම ගැහුවා. ඒ ගහලා ඒවා වීඩියෝ කරලා යාළුවන්ට ඔහු පෙන්නුවා මෙන්න බලපං අද මම ගෑනිට ගැහුවා කියලා. පස්සේ මම හොරෙන් අක්කාගේ ගෙදර ගියා. අම්මා එදා මට සාත්තු කළේ නැත්නම් අද මම මැරිලා. ඔහු නිසා මම තුන්වරක් සිය දිවි හානි කරගන්න උත්සාහ කළා. ආපහු ඉන්න තැනක් හදාගන්න ඕනේ නිසා මම රට ආවා. මෙහේ මම ළමයින් අට දෙනෙක් බලනවා. ඒ ගමන් උයන පිහින වැඩ කරනවා. නින්දක් නෑ. නිදහසක් නෑ. හරි හමන් කෑමක් නෑ. ඒත් දුක් විඳිනවා. ගොඩක් ගෑනු ළමයින් වංචාකාර පිරිමින්ට අහුවෙන්නේ ඒ අයට ආරක්ෂාවක් නැති නිසා. කරුණාව වුවමනා නිසා.

අද මම කාන්තාරේ දුක් විඳිනවා. ඒ මදිවට ලංකාවට යවන්නෙත් නෑ. ඒජන්සියෙන් අපි එද්දී මට කිව්වේ ඔයාට ළමයින් දෙන්නෙක් විතරයි බලාගන්න තියෙන්නේ කියලා. ඒත් මෙහාට ආවාම ළමයින් අටක්. එහෙමයි කියලා අපිව ආපහු යවන්නේ නෑ. ඇයි මේ ඒජන්සිවල මිනිස්සු බොරු කියලා මිනිස්සු රවට්ටන්නේ. සුරංගනා ලෝක පෙන්නලා මිනිස්සු අතරමං කරන්නේ.

එදා මම අම්මා, අක්කා, අයියා කියන දේ ඇහුවා නම් අද ඔහු නිසා මගේ දේවල් මට නැති වෙන්නේ නෑ. එහෙනම් අද මම මේ විදිහට දුක් විඳින්න එන්නෙත් නෑ. මේ තමයි අපි ඉල්ලගෙන විඳින දුක.

මට මේක කියන්න හිතුනේ ගෑනු ළමයින් ඉක්මන් තීරණ අරං ආදරයක් නිසා තමන්ගේ ජීවිත නැති වෙන තැනට පත් කරගන්න නිසයි. එසේ වූ විට තමන්ට ආපහු හැරෙන්න බෑ. අද සමාජයේ පිරිමියෙක් එක්ක ඉඳලා වෙන් වෙන කාන්තාවක් දිහා සමාජය බලන විදිහ ගැන මොලේ කලඳක් හරි තියෙන කෙනෙක්ට මම අමුතුවෙන් කියලා දෙන්න ඕනේ නැහැ. ආදරය කියන ප්‍රෝඩාවට ඔබ අහුවෙන්න කලින් ඔබ විශ්වාස කරන්න ඔබේ අම්මා තාත්තාව. එසේ වූ විට ඔබට වරදින්නේ නැත. මැදපෙරදිග සිට ලියමි.

(උපුටා ගැනීම - දිවයින)

ඔබටත් මෙවැනි හෝ වෙනත් කතා ඇත්නම් <This email address is being protected from spambots. You need JavaScript enabled to view it. හෝ whatsapp - +94777073435 කරන්න)