ඉහළ වැටුප් සහිතව තායිලන්තයේ පරිගණක ක්ෂේත්රයේ රැකියා සඳහා රැගෙන යන මුවාවෙන් මෙරට තරුණ තරුණියන් නීති විරෝධි ලෙස ලාඕසයට රැගෙන ගොස් එරට විශේෂ ආර්ථික කලාපයක් තුළ කොටු කරගෙන දස වද දෙමින් චීන ජාතිකයන් පිරිසක් විසින් අන්තර්ජාලය ඔස්සේ කරනු ලබන මහා පරිමාණයේ ජාවාරමක් සම්බන්ධයෙන් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකයත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තැනැත්තන් වෙළදාම්, ජාවාරම් විමර්ශන හා සමුද්‍රීය අපරාධ කොට්ඨාශයත් ඇස ගසාගෙන සිටින්නේ කාලයක සිටය. ඒ මෙම ජාවාරම පිටුපස ඇත්තේ වහල් සේවයට එහා ගිය අන්ත මිනිස් ජාවාරමක් වන බැවිනි.
මෙම මිනිස් ජාවාරමේ ගොදුරු බවට පත්වූ මෙරට තරුණ තරුණියන් බොහෝය. ඒ අය වැඩිදෙනෙක් වයස අවුරුදු 20ත් 25ත් අතර නව යොවුන් වියේ පසුවන්නන්ය. එසේ තායිලන්තයේ පරිගණක ක්ෂේත්රයේ රැකියා සඳහා යැයි කියා රැගෙන ගොස් ලාඕසයේ සිරකරුවන් බවට පත්වූ තරුණ තරුණියන් 24 දෙනෙක් පසුගිය දා මෙරටට එන්නේ හැම අපා දුකක්ම විඳ ජීවිතය යාන්තමට බේරාගෙනය.
මේ සෑම අයෙක්ම පාහේ තායිලන්තයේ පරිගණක ක්ෂේත්රයේ රැකියා සඳහා යැයි කියා ජාවාරම්කරුවන් විසින් රැගෙන ගිය අයයි. ඒ අයව තායිලන්තයට රැගෙන ගොස් ඇත්තේ මෙයට මාස හතර පහකට පමණ පෙරය. එසේ රැගෙන ගොස් මේ පිරිස නීති විරෝධි ලෙස දේශ සීමා පන්නමින් ලාඕසයට රැගෙන ගොස් සිරකරුවන් බවට පත් කරගෙන වැඩගන්නේ චීනයේ සමාගම්වල පාලන බලය වැඩි ප්‍රදේශයක් වන “බොකියෝ“ (BOKIO) ප්‍රදේශයේ ගොඩනැගිල්ලක සිරකර තබාගෙනය. මේ කලාපය අයත්වන්නේ යැයි කියැවෙන්නේ “ රන් ත්‍රිකෝණය“ ලෙස සැලකෙන කලාපයටය.
මෙම කලාපය පිහිටි ලාඕසය අග්නිදිග ආසියාවේ ඇති රටකි. මෙහි වයඹට මායිම්ව ඇත්තේ බුරුමය හා චීනයයි. නැගෙනහිරට මායිම්ව ඇත්තේ වියට්නාමයයි. දකුණින් සහ බටහිරින් මායිම්ව ඇත්තේ කාම්බෝජය හා තායිලන්තයයි.
ගොඩබිම් දේශසීමාවලින් වටවුණු ලාඕසයේ මේ කියැවෙන මිනිස් ජාවාරම සිදුවන බව සඳහන් වන බොකියෝ ප්‍රදේශය පිහිටා ඇත්තේ එරට උතුරු ප්රදේශයේය. වර්ග කිලෝ මීටර් 6196ක භූමියක් පුරා විහිදුණු මෙම ප්‍රදේශය සැලකෙන්නේ එරට අඩුම ජනගහනයක් සහිත ප්‍රදේශයක් ලෙසිනි. මෙහි නිරත දිග මායිම තායිලන්තය වන අතර, බටහිර මායිම පිහිටා ඇත්තේ බුරුමයට මායිම්වය. තායිලන්තයේ රැකියා සඳහා යැයි කියා මෙරට තරුණ තරුණියන් රැගෙන යන ජාවාරම්කරුවන් තායිලන්තයේ සිට මේ කියන ප්‍රදේශයට ඔවුන්ව රැගෙන යන්නේ යැයි කියනු ලබන්නේ තායිලන්ත දේශ සීමාව ඔස්සේ මිකෝ ගඟ තරණය කරමිනි.
රන් ත්‍රිකෝණය ලෙස සැලකෙන මේ ප්‍රදේශය ආරම්භයේ සිටම සැලකෙන්නේ මත්ද්‍රව්‍ය ජාවාරම, මිනිස් ජාවාරම හා සත්ත්ව ජාවාරම් වැනි නීති විරෝධී ජාවාරම්වලින් පිරුණු ප්‍රදේශයක් ලෙසිනි. මෙම ආර්ථික කලාපය ගොඩනැඟී ඇතැයි කියැවෙන්නේ ලාඕසයේ බොකෝ පළාතේ ටොන් ෆුං දිස්ත්‍රික්කයේ මිකෝ ගඟ දිගේය. අන්තර්ජාලයේ තොරතුරු ගවේෂණයේදී පෙනී යන්නේ මෙම කලාපය හෙක්ටයාර් 3000ක වපසරියකින් යුක්ත බවය. 2007 වසරේදී ලාඕස් රජය විසින් චීනයට අයත් හොංකොංහි ලියාපදිංචි සමාගමක් සමඟ එක්ව ආර්ථික සංවර්ධන අපේක්ෂා ඇතිව නිර්මාණය කළ ලාඕසය, මියන්මාරය සහ තායිලන්තය හමුවන මෙම කුප්‍රකට රන් ත්‍රිකෝණය පිහිටි ආර්ථික කලාපයේ සිරකරුවන් බවට පත්කරමින් මෙරට තරුණ තරුණියන් මරව මරවා වැඩ ගෙන ඇත්තේ අන්තර්ජාල වංචාවන්වල යොදවමිනි.
මේ ගැන පුළුල් විමර්ශනයක නිරතව සිටින විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකයේත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තැනැත්තන් වෙළදාම්, ජාවාරම් විමර්ශන හා සමුද්‍රීය අපරාධ කොට්ඨාසයේත් නිලධාරීන්ට පෙනී ගොස් ඇති ආකාරයට අනුව තායිලන්තයේ පරිගණක ක්ෂේත්රයේ රැකියා සඳහා යැයි සඳහන් කරමින් කුප්‍රකට රන් ත්‍රිකෝණයේ පිහිටා ඇති චීන බළ කඳවුරකට මෙරට තරුණ තරුණියන් රැගෙන යාම පිටුපස සිටින්නේ ද චීන ජාතිකයෙකි. මෙරට අධිවේගී මාර්ග ව්‍යාපෘතියකට සම්බන්ධව සිටි මෙම චීන ජාතිකයා බම්බලපිටිය පැත්තේ කුලියට ගත් ගොඩනැගිල්ලක කාර්යාලයක් පවත්වා ගෙන යමින් මෙම වංචනික ක්රියාවේ නිරතව සිටින්නේ 2019 වසරේ සිටය. ඒ සඳහා ඔහුට හයියක් වී ඇත්තේ අම්බලන්තොට පැත්තේ ටියුෂන් ගුරුවරයකුය. අම්බලන්තොට නෝනාගම පදිංචිකරුවෙක් වන ඔහු නමින් රුවන් පතිරණය. දැන් ඔහු සිටින්නේ මෙම වංචාවට කොටුවී ඇප නැතිව රක්ෂිත බන්ධනාගාරගතවය. ඔහුගේ සහායකයා අනුර සමරනායකය. අම්බලන්තොට පැත්තේම පදිංචිකරුවෙක් වන ඔහු මාලිමාවෙන් මෙවර අම්බලන්තොට ප්‍රාදේශීය සභාවට තරග කිරීමට නාමයෝජනා ලබා දී සිටින්නෙකි. නමුත් මෙම ජාවාරමේ බැහැලම ඉන්නේ යැයි හඳුනා ගෙන සිටින්නේ රුවන් පතිරණය.
චීන ජාතිකයාව අනුර පතිරණ දැන හඳුනා ගෙන ඇත්තේ දක්ෂිණ අධිවේගී මාර්ගය ඉදි කරමින් පැවැති වකවානුවේදීය. රුවන් පතිරණ හා ඉතා කිට්ටු මිත්‍රත්වයක් එකල ගොඩනඟාගත් මෙම චීන ජාතිකයා ඔහුට යෝජනා කර ඇතැයි පැවසෙන්නේ චීන සමාගම් විසින් තායිලන්තයේ පවත්වා ගෙන යන සමාගම්වල පරිගණක ක්ෂේත්රයේ රැකියා සඳහා ලොකු ඉල්ලුමක් ලෝකයේ ඇති බැවින් දන්නා කියන තරුණ තරුණියන් සිටී නම් ඒ අයව එම රැකියා සඳහා යොමු කළ හැකි බවය. ඉහළ වැටුප් හිමි වන බව කී එම රැකියා සඳහා අවශ්‍ය මූලික සුදුසුකම බව කීවේ ඉංග්‍රීසි භාෂා දැනුම සහ පරිගණක භාවිතයට ඇති හැකියාව පමණි. රුවන් පතිරණ මෙම චීන ජාතිකයා හමුවට මුලින්ම ඉදිරිපත් කරනු ලබන්නේ ඔහුගේ ඉංග්‍රීසි පන්තියෙන් අකුරු කළ තරුණ තරුණියන් පිරිසකි. ඒ අය අම්බලන්තොට සහ හම්බන්තොට පැතිවල පදිංචිකරුවන්ය. ලක්ෂ දෙක තුනක වැටුපක් හිමිවන බව කී නිසාම එම රට රැකියාවලට වහ වැටෙන මෙකී තරුණයින්ට විදෙස් ගමන් බලපත්‍ර පවා සකස්කර ගන්නට උනන්දුකරවන්නේ රුවන් පතිරණය. ඒ සිහින ලෝකවල තරුණ තරුණයන් අතරමං කරවන ඔහු අවසානයේදී එම තරුණ තරුණියන්ව කොළඹට ගෙන්වා ගෙන චීන ජාතිකයාට ඉදිරිපත් කර සම්මුඛ පරීක්ෂණවලට පවා භාජනය කර තිබුණේය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තැනැත්තන් වෙළදාම්, ජාවාරම් විමර්ශන හා සමුද්‍රීය අපරාධ කොට්ඨාසයේ විමර්ශන තොරතුරුවලට අනුව තායිලන්තයේ පරිගණක ක්ෂේත්රයේ රැකියා සඳහා මෙසේ සම්මුඛ පරීක්ෂණ පවත්වා තෝරා ගත් පළමු කණ්ඩායම තායිලන්තය බලා රැගෙන යන්නේ 2019 වසරේ අගය. ඒ රැගෙන යන්නේ ද හය දෙනෙකුගේ කණ්ඩායමකි. ඒ අය අතර තරුණියන් තිදෙනෙක් ද සිටියේය. මේ හයදෙනාව තායිලන්තය බලා මේ අය විසින් රැගෙන යන්නේ සංචාරක වීසා මඟිනි. ඒ ගැන ඒ කිසිදු තරුණ තරුණියකුට අවබෝධයක් ද නොවීය. ඒ අය සිතන්නේ තායිලන්තයේ ගොස් කරන රැකියාවෙන් අතට ලැබෙන මුදල ගැන පමණි. ඒ ඔවුන් ඉංග්‍රිසි ගුරුවරයා කෙරෙහි ලොකු විශ්වාසයක් තැබූ බැවිනි.
තායිලන්තයේ බැංකොක් නුවරින් ගොඩබසින ලද මේ තරුණ තරුණියන් හයදෙනාව ගුවන්තොටුපොළින් භාරගන්නට පැමිණ සිටින්නේ චීන ජාතිකයින් දෙදෙනෙකි. ඒ අය වෑන් රථයක මේ අයව නංවා ගෙන රැගෙන යන්නේ ලොකු ගමනකි. පැය 08ක පමණ ගමනකින් පසු ඔවුන්ට පොඩි විවේකයක් ලැබෙන්නේ ඇඳුම් මාරු කර ගැනීමටය. ඒ පාළු ප්රදේශයකදීය. තමන්ව මේ රැගෙන යන්නේ කොහේටදැයි කියාවත් මේ තරුණ තරුණියන් දැන සිටියේ නැත. ඒ අය සිතන්නේ රැකියා ස්ථානය වෙත තමන්ව රැගෙන යන බවය. නමුත් සැබෑවටම සිදුවෙමින් තිබුණේ ඔවුන්ව මියන්මාරය දේශසීමාවට රැගෙන යාමකි. එහිදී ඔවුන්ව බෝට්ටුවක නංවා මිකෝ ගඟ දිගේ රැගෙන යන්නේ ලාඕසයේ බොකියෝ වෙතය. නීති විරෝධී ලෙස දේශසීමා පැන්නීමකින් අනතුරුව මෙම පිරිස රැගෙන යන්නේ චීන සමාගමක පාලනයේ ඇති විශාල ගොඩනැගිලිවලින් සමන්විත ප්‍රදේශයක් වෙතය. මේ අයගේ සේවාස්ථානය වූයේ එම ප්‍රදේශයේ පිහිටි ගොඩනැගිල්ලකි. ඊට ඇතුළු වූ සැණින් මේ හැමෝගේම විදෙස් ගමන් බලපත්‍ර අතට ගන්නේ එහි පාලකයා යැයි සිතිය හැකි චීන ජාතිකයෙකි. එහි තවත් රටවල් කිහිපයකම තරුණ තරුණියන් රැඳී සිටියත් ඒ අයගෙන් බොහෝ දෙනෙක් චීන ජාතිකයන්ය.
මේ අයගේ රැකියා ස්ථානය මෙන්ම නවාතැන් පොළ වූයේද ඔවුන්ව රැගෙන ගිය එම ගොඩනැගිල්ලමය. කුමන හේතුවක් මත එම ගොඩනැගිල්ලෙන් පිටතට යාම තහනම්ය. ඒ බව එහි ගිය මුල්ම දවසේ චීන ජාතික පාලකයා ඔවුන්ට දැනුම් දුන්නේය. ලෙඩක් දුකක් හැදුණ ද ප්‍රතිකාර කරන්නේ චීන ජාතිකයන්මය. දැඩි ආරක්ෂක රැකවල් පැවති බැවින් එම ගොඩනැගිල්ලෙන් පිටතට යනවා යැයි කියන්නේ ද එතරම් ලෙහෙසි පහසු නොවන බව එම තරුණ තරුණියන් දුටුවෝය.
මේ අයගේ අතට මුල්ම දිනයේ ලැබෙන්නේ I 8 වර්ගයේ ජංගම දුරකතන ගොන්නකි. ඒ එක් අයකුට දුරකතන පහ බැගිනි. මේ හයදෙනාට කරන්නට වැඩ පැවරුණේ මෙම ජංගම දුරකතනවලිනි.
මෙම ජංගම දුරකතන සමඟ මේ හයදෙනාට සුරූපී තරුණියකගේ ඡායාරූපයක්ද ලැබී තිබුණේය. එම තරුණිය අමෙරිකානු ජාතික ධනවතියක් බව චීන ජාතික ප්‍රධානියා විසින් මේ අයව දැනුවත් කරනු ලැබීය. ඇගේ නමද මේ අයට ඔහු කීවේය. තායිලන්තයේ සමාගමක පරිගණක ක්ෂේත්රයේ රැකියාවක නිරතවීමේ අපේක්ෂාවෙන් ශ්‍රී ලංකාවෙන් පිටත්ව ගිය මෙම තරුණ තරුණියන්ට ලාඕසයේ පිහිටි බොකියෝ ප්‍රදේශයේ පිහිටි චීන සමාගම් ගොඩනැගිල්ලක සිරකරුවන් බවට පත්වෙමින් පැවරෙන මුල්ම රාජකාරිය වන්නේ මෙම අමෙරිකානු තරුණියගේ නමින් ඡායාරූපයද සහිතව තමන් අතට ලද දුරකතන යොදාගෙන ව්‍යාජ ෆේස්බුක් ගිණුම්, වට්ස්ඇප් ගිණුම්, ටිවිටර් ගිණුම් ආදී සමාජ මාධ්‍ය ගිණුම් රාශියක් සකස් කරන්නටය. තායිලන්තය පෙන්වා ලාඕසයට රැගෙන ආ මේ අයගෙන් චීන ජාතිකයින් වැඩ ගන්නට පටන් ගන්නේ ඉන් අනතුරුවය. ඒ අමෙරිකාවේ ධනවතුන්ගේ දුරකතන අංක 50 බැගින් එක් අයෙකුට ලබාදෙමින් ඒ අය සමඟ අමෙරිකානු තරුණියගේ නමින් සකස් කළ ව්‍යාජ සමාජ ජාල ගිණුම් ඔස්සේ චැට් කර ඒ අයව අල්ලා ගැනීමය.
එය එතරම් ලෙහෙසි පහසු කටයුත්තක් නොවීය. මේ අයට චීන ජාතික ප්‍රධානියා දැනුම් දෙන්නේ මුලින්ම මඟහැරුණු පණිවුඩයක් ඒ අයට යවා ඒ ඔස්සේ සම්බන්ධය ගොඩනගා ගන්නා ලෙසය.
ලාඕසයේ වේලාවෙන් මේ අයට වැඩ ආරම්භ කරන්නට සිදුවන්නේ රාත්‍රී 12.00 සිටය. ඒ ලාඕසයට එය මැදියම් රැය වූවාට අමෙරිකාවේ උදෑසන වැඩ අරඹන්නේ මේ වේලාවට බැවිනි. මේ නිසා මෙම තරුණ තරුණියන්ට පැය 12ක් එක දිගට වැඩ කරන්නට සිදුවන්නේ නිදි වර්ජිතවය. මෙහිදී මේ අයට ලබාදෙන ඉලක්කය වන්නේ දිනකට අඩුම තරමින් අමෙරිකානුවන් දෙතුන් දෙනෙකුවත් කොටුකර ගන්නා ලෙසය. එම ඉලක්ක සපුරා ගැනීමට නොහැකිවන අයට හිමිවන්නේ දඩුවම්ය. චීන ජාතිකයින්ට නම් ඒ අය ලබාදී තිබුණු දඬුවම් අමානුෂිකය. මිලේච්ඡය. කුඩා පිහිතලවලින් යටිපතුල් කපා තුවාල කරමින් හිරිහැර කර තිබුණේය. එවැනි දඬුවම් අපේ අයට නොලැබුණත් කෑම බීම නොදී අව්වේ පැය ගානක් තබා දඬුවම් ලබා දුන්නේය. ඒ හැරුණු කොට ඇතැම් තරුණියන්ට මේ අය දඬුවම් ලබාදුන්නේ විලංගු දමා කළුවර කාමරවල දමාය.
“අනේ අපිට මෙහෙ ඉන්න බැහැ. ශ්‍රී ලංකාවට යවන්න“ යැයි එහිදී එම තරුණියන් හඩා වැළපෙන විට ඒ අය කියන්නට වූයේ “තොපිව අපි ඩොලර් 5000ක් දීලයි අරගෙන තියෙන්නේ.“ යැයි කියාය.
මෙසේ නූතන වහල් වෙළදාමේ ගොදුරක් බවට පත්ව සිටි තරුණ තරුණියන් පිරිසට මෙහිදී විඳින්නට සිදු වූ හිරිහැර කරදර ගොන්නකි. අඩුම තරමින් ඔවුන්ට මාසික වැටුප් පවා හිමිව තිබුණේ නැත. හැමදෙයක්ම ඉවසාගෙන මේ අය එහි රැදී සිටියේ අඩුම තරමින් පොරොන්දු වූ ලෙස වැටුප් පවා ගෙවනු ඇතැයි කියාය. මාස ගාණක් ඔවුන්ව සිරකරුවන් බවට පත්කරගෙන වැඩ ගත්තද නිදහසක් නම් උරුම වූයේ නැත. ඒ නිසාම තමන් අත වූ ජංගම දුරකතන අවසානයේදී ඔවුන් යොදා ගන්නේ සිය පවුලේ උදවියට මේ ගැන කියන්නටය. ඔවුන් සිය පවුලේ සාමාජිකයන්ට පණිවුඩ තබමින් ඉල්ලා සිටින්නට වූයේ ශ්‍රී ලංකාවට ගෙන්වා ගන්නා ලෙසය. මෙහි බලපෑම මෙරට රැඳී සිටින චීන ජාතිකයාට රුවන් පතිරණ හරහා එල්ලවන විට සිදුවන්නේ මෙම තරුණ තරුණියන් හය දෙනාව ලාඕසයට රැගෙන ගිය ආකාරයටම බෝට්ටුවක නංවා ගෙන තායිලන්තයට රැගෙන විත් අතරමංකර දමා යාමය. ඒ සඳහා පවුල්වල උදවියට වැය කරන්නට සිදුවී ඇතැයි කියැවෙන මුදල රුපියල් ලක්ෂ 13කට වැඩිය. ඒ මුදල් නොලැබුණි නම් ඒ අයට නිදහසක් ඔවුන්ගෙන් උරුම නොවනු ඇත.
තායිලන්තයේ අතහැර දමා ගිය පසු දින ගණනාවක්ම තායිලන්තයේ අතරමංවූ ඒ අය තානාපති කාර්යාලවලින් පිහිට පතන විට උපදෙස් ලැබෙන්නේ ළඟම ඇති පොලිස් ස්ථානයට ගොස් බාර වෙන ලෙසය. ඒ ඔවුන් රැඳී සිටින ස්ථාන හඳුනාගෙන තානාපති අංශ වෙත පහසුවෙන් ඔවුන් වෙත ළඟාවීම දුෂ්කර කටයුත්තක් බවට ඒ වන විට පත්ව තිබුණු බැවිනි. ඒ අනුව තානාපති අංශවලින් ලද එම උපදෙස්වලට අනුව යමින් තායිලන්ත පොලීසියට ගිය මේ අයට සිදුවන්නේ කබලෙන් ලිපට වැටීමකි.
ඒ වීසා කාලය ඉක්මවා තිබීම හේතුවෙනි. මේ නිසාම හිරේ විලංගුවේ ද වැටී අපා දුක් විඳි මේ අය නැවත මෙරටට එන්නට වාසනාව උදාකරගන්නේ පසුගිය ජනවාරි මාසයේදීය. තායිලන්තයේ සමාගම්වල ඉහළ වැටුප් සහිත පරිගණක ක්ෂේත්‍ර යේ රැකියා සඳහා යැයි කියා මෙරට තරුණ තරුණියන් සංචාරක වීසා මගින් තායිලන්තයට රැගෙන ගොස් නීති විරෝධි ලෙස ලාඕසයේ සිරකරගෙන සිදුකරන අන්තර් ජාල වංචා ගැන පවා මෙරට බලධාරීන්ගේ අවධානයට යොමුවන්නේ මේ පිරිස මෙරටට පැමිණීමත් සමඟිනි.
විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකයත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තැනැත්තන් වෙළදාම්, ජාවාරම් විමර්ශන හා සමුද්‍රීය අපරාධ කොට්ඨාසයත් මේ ජාවාරම ගැන පුළුල් විමර්ශනයක් ආරම්භ කරනුයේද ඒත් එක්කමය. මෙහිදී අනාවරණය වන්නේ ඒ වන විටත් තවත් තරුණ තරුණියන් පිරිසක් ද ජාවාරම්කරුවන්ට හසුවී ලාඕසයේ කොටුවී සිටින බවය. එම ප්‍රමාණය 30කට වැඩි බව ඒ අයට පෙනී ගියේය. පසුගිය දා මෙරටට එන්නේ ද එසේ මෙම ජාවාරම්කරුවන්ගේ ගොදුරු බවට පත්ව සිටි අයගෙන් 24 දෙනෙකි. ඔවුන්ටද සිදුව ඇත්තේ ලාඕසයේ චීන සමාගම් ගොඩනැගිල්ලක සිරකරුවන් බවට පත්වෙමින් තනි කරගෙන මේ අයව ද චීන ජාතිකයින් විසින් යොදාගෙන ඇත්තේ අන්තර්ජාල වංචාවන් සඳහාය. ලබාදෙන ඉලක්ක සපුරා ගැනීමට නොහැකි වූ අයට චීන ජාතිකයන් දඬුවම් ලබාදී ඇති බව කියන්නේ විදුලිය සැර පවා වද්දවමිනි.
“මේ අයව රැගෙන යන්නේ රජයේ ලියාපදිංචි රැකියා ඒජන්සි මඟින් නෙමෙයි. තනිකරම සිදුවන්නේ නීති විරෝධී ක්‍රියාවක්. සේවා ගිවිසුමක්වත් ඒ නිසා මේ අයට දෙන්නේ නැහැ. තායිලන්තයට සංචාරක වීසා මඟින් රැගෙන ගිහින් හොර පාරෙනුයි ලාඕසයට රැගෙන යන්නේ. ඒ ගිහින් මේ අයව හිරකාරයෝ බවට පත්කරගෙන වැඩ ගන්නවා. ක්‍රිස්ටෝ කරන්සි සඳහා ගනුදෙනුකරුවන් සොයන්න ඉලක්ක දෙනවා. ඒවා කරන්න ඕනේ ව්‍යාජ ෆේස් බුක් හදාගෙනයි. ගෑනු අය වගෙයි චැට් කරන්න කියන්නේ. ඒ විතරක් නෙමෙයි සමාජ මාධ්‍ය ගිණුම් ඔස්සේ සමලිංගික සමූහයන් පවා සකස් කරන්න මේ අයට සිදුවෙලා තියෙනවා. උස් තාප්ප ඉදිකරල තියෙන ගොඩනැගිලිවල තමයි මේ අය තබාගෙන මේ හැම වැඩක්ම අරගෙන තියෙන බව අපිට පෙනී ගිහින් තියෙන්නේ“ යැයි මෙම ජාවාරම ගැන විමර්ශන පවත්වමින් සිටින විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකයේ කළමනාකරු කපිල කරුණාරත්න මහතාය. ඔහු සොයාගත් දෑ ගැන කරුණු ගොන්නකින් ටිකක් එළියට දැමුවේ එසේය.
මෙම මිනිස් ජාවාරම්කරුවන්ට ගොදුරු වී සිටින්නේ ශ්‍රී ලංකිකයන් පමණක් නොව ඉන්දියානුවන්ද සිටිති. ඒ හැරුණු කොට දකුණු ආසියාතික කලාපයේ තවත් රටවල් කිහිපයකම තරුණයින් මෙසේ ගොදුරුබවට පත්ව සිටීමට ඇති ඉඩකඩද බොහෝය. ජාවාරම සිදුවන්නේ එකිනෙකා මුහුනොවන ආකාරයට ඉතා සූක්ෂමවය. මේ අයට කෑමට දී ඇත්තේ ගෙඹි මස් හා තාරා මස් සමඟ සුදු බත්ය. ගෙඹි මස් ලබා දෙන විට අපේ අය සුදු බත් පමණක් ආහාරයට ගෙන රසක් ගුණක් නැතත් කුසගින්න නිවාගෙන ජීවත්වී ඇත්තේ වෙන කරන්නටම දෙයක් නොමැති තැනය. ලෝකයට වහන් වී සිදුකරන මේ නූතන වහල් කඳවුර ගැන මේ වන විටත් ජාත්‍යන්තර සංවිධාන හරහා ඇත්තේ ලෝකයට නිරාවරණය වෙමිනි. මෙම වහල් කඳවුරේ සිරකරුවන් බවට පත්ව සිටින අපේ රටේ තවත් තරුණයන් 06 දෙනෙක් මෙරට ගෙන්වා ගැනීමට ඉතිරිව ඇති බව කියැවේ. ඒ අය මේ වන විට රැඳී සිටින්නේ යැයි කියැවෙන්නේ මියන්මාර සීමාවේය. විදේශ සේවා නියුක්ති කාර්යාංශයේද මැදිහත්වීමෙන් ඒ අය ගෙන්වා ගැනීමට තානාපති සහ කොන්සියුලර් අංශ මේ වන විට සිටින්නේ ලොකු සටනක නිරත වෙමිනි.
(කටුනායක ගුවන් තොටුපළ සමූහ ටී.කේ.ජී. කපිල - සිළුමිණ)