- වැටුප් වැඩි කිරීමේ තීරණය ගත්තේ මාස කීපයකට කලින්
රජය විසින් රාජ්‍ය අංශයේ සහ පුද්ගලික අංශයේ වැටුප් ඉදිරි අයවැයෙන් වැඩි කිරීමට සූදානම් බවට දැණුවත් වීමෙන් අනතුරුව වෘත්තීය සමිති සහ අනෙකුත් දේශපාලන පක්ෂ සිය දේශපාලන වාසි තකා වැටුප් වැඩි කරන ලෙසට විරෝධතා කළ බවත් වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් වන තීරණය රජය විසින් ගත්තේ මාස කිහිපයකට පෙර බවත් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පැවසීය.
අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ, මෙරට අවිධිමත් සේවා අංශයේ නියුතු සියලුම වෘත්තිකයින්ගේ ශ්‍රමයේ ආරක්ෂාව සහ ගෞරවය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් නිර්මාණය කළ “ගරු සරු” වැඩසටහන් අද දින කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතාගේ ප්රධාන්තවයෙන් ආරම්භ වූ අවස්ථාවේදීය.
මෙම ”ගරු සරු” වැඩසටහන මගින් පෞද්ගලික බස් රථ රියදුරු, බස්රථ සහායක, වෙනත් ප්‍රවාහන අංශ රියදුරු, ඉදිකිරීම් කාර්මික, ඉදිකිරීම් සහායක, ගෘහ සේවක, රූපලාවන්‍ය ශිල්පී, ස්වයං රැකියාවල නිරතවන්නන් ආදි සෑම රැකියාවකම ගෞරවය, ආරක්ෂාව හා පිළිගැනීම ගොඩනැගීම අපේක්ෂා කරනු ලබයි. මේ සඳහා ආරම්භ කොට ඇති සාකච්ඡා මාලාව සඳහා පුරවැසි ප්‍රජාවගේ, අවිධිමත් හා විධිමත් අංශවල රැකියාවන්හි නියුතු වූවන්ගේ යෝජනා හා අදහස් ඉදිරිපත් කිරීමට ඕනෑම අයෙකුට අවස්ථාව හිමවේ.
ඒ අනුව මෙම වැඩසහටනේ ආරම්භය සනිටුහන් කරමින් අවිධිමත් සේවා අංශයේ නියුතු සියලුම වෘත්තිකයින්ගේ මහජන අදහස් විමසීමේ සැසිවාරයක්ද අමාත්‍යවරයාගේ සහභාගීත්වයෙන් අද දින පැවැත්විණි.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙසේද පැවසීය,
අපි අමාත්‍යංශයක් විදිහට මේ අවුරුද එකහාමාරට වැඩ ගොඩක් කළා. අපිට ලබන අවුරද්දේ මුල් භාගය වෙනකොට නව කම්කරු පනත ගෙන එන්න පුළුවන් වෙයි.
මේ රටේ විදේශගත ශ්‍රමිකයන්ට රටට සල්ලි එවන්න එපා කියලා රට සම්පූර්ණයෙන්ම වැටිලා තියෙන අවස්ථාවක ඉදලා රටට අවශ්‍ය තෙල් ටික, ගෑස් ටික ගේන්න පුළුවන් තත්ත්වයකට රට ගෙන එන්න හැකියාව ලැබුනා. ඒකට අපිට විදේශගත ශ්‍රමිකයන් අපිට විශාල සහයක් ලබා දුන්නා. ඒ නිසාම ඔවුන්ව විශේෂයෙන්ම මතක් කළයුතුයි.
අපි මේ අමාත්‍යංශය භාරගත්ත දිනයේ සිට පසුගිය සැප්තැම්බර් මාසයේ 30 වෙනිදා දක්වා කාලය තුලදී විදේශ ගත ශ්‍රමිකයින් මේ රටට ඇමරිකානු ඩොලර් බිලියනට 7.1ක් එවලා තියෙනවා. ඒ වගේම මම මතක් කරන්න කැමතියි අපේ රටේ සමස්ථ ණය බර ඇමරිකානු ඩොලර් බිලියන 38යි. ඒ කියන්නේ අපිට මේ කාලය තුලදී සැලකිය යුතු විදේශ විනිමය ප්‍රමාණයක් ලැබිලා තියෙනවා.
මේ මුදල එවලා තියෙන්නේ බිංදුවටමට වැටිලා තිබ්බ රටකටයි. ඒක ඉතාම දැවැන්ත ප්‍රගතියක්. ඒ අයට ගරු කිරීමට අපි පියවර ගත්තා ඒ ඔස්සේ තමයි අපිට මේ තත්ත්වයට එන්න හැකියාව ලැබුනේ. ඒ වගේම අපේ රටේ ශ්‍රමිකයන්ගේ ගැටලු රාශියක් අවසන් කරගනිමින් දවසින් දවස අපිට ඉදිරියට එන්න හැකියාව ලැබුනා.
අපි දැක්කා පහුගිය දවස් වල පඩි වැඩි කරන්න කියලා උද්ඝෝෂණ කරනවා. ඒත් ඒ අය උද්ඝෝෂණය කලේ අපි මාස තුනකට විතර කලින් රාජ්‍ය පුද්ගලික සහ වතු ක්ෂේත්රයේ සියලුම දෙනාගේ පඩි වැඩි කරන්න තීන්දුවක් ගත්තට පස්සේයි.
ඒ තීන්දුවේ අපේ කොටස විදිහට පුද්ගලික අංශයේ අවම මූලික වැටුප වැඩිකරන්න මූලික සාකච්ඡා පවත්වලා, කම්කරු උපදේශණ සභාවේ එකඟතාවය අරගෙන කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරලයි තිබුණේ. අපි මූලික වැටුප වැඩි කරන්න අවශ්‍ය පදනම දැමීම අවසන් කරලයි තිබුනේ. මේ වෙලාවේ ජනාධිපතිතුමා අපිට කිව්වා අයවැයෙන් මේ වැටුප් වැඩි කිරීම කරමු කියලා.
මේ අතරතුරේදී වතු ශ්‍රමිකයන්ගේ වැටුප් වැඩි කරන්න කියලා ඉල්ලුවාම ඒ ගැන අපි සාකච්ඡා කලා. ඒ අවස්තාවේදී ජනාධිපති කිව්වා එතුමා වතු සමාගම් එක්ක කතා කරලා ඒකට අවශ්‍ය දේවල් කරන්නම් කියලා.
සමහර අයගේ නොදන්නාකමත්, අත්දැකීම් නොමැති කමත් ඒ වගේම ඡන්දය දිනන්න තිබුණ අවශ්‍යතාවය නිසාත් රටේ රාජ්‍ය ආදායමත් නැතිකරලා දැම්මා. එ්ත් වර්තමාන ජනාධිපතිතුමා යලිත් මේ බදු ආදාම ඉහළ දමලා රාජ්‍ය ආදායම ඉහළ දමන්න කටයුතු කරලා තියෙනවා.
ඒ අනුව අපි වැඩියෙන් හම්බකරන අයගෙන් යම් බදු ප්‍රමාණයක් ගත්තා. හැබැයි මේක ලෝකයේ අනෙක් රටවල් වලට සාපේකෂව අඩු අගයක් කියන කාරණයත් මතක තබා ගතයුතුයි.
කෙහොම වුනත් අපි අය වැයෙන් පඩි වැඩිකරන්න යනවා කියන කාරණය දන්න නිසා තමයි මේ පිරිස පාරට බැහැලා පඩි වැඩි කරන්න කියලා උද්ඝෝෂණය කළේ. ඒකෙන් මේ අය බලපාපෙරොත්තු වෙන්නේ, අපි තමයි මේක කලේ කියලා තවත් පිරිස තමන්ගේ සමිති වලට බඳවා ගන්නයි. ඉතින් අපි කැබිනට් එකේදී තීරණය කළා රාජ්‍ය සේවකයින් අව්වේ තියන එක නතර කරන්න. ඒ නිසා අපි මේක ජනතාවට කියනවා කියලත් තීරණය කළා.
මම කලින් කිව්ව හැමෝටම තමන්ගේ පඩි වැඩිකරන්න කියලා කෑගහන් පුළුවන්. ඒත් අද මෙතන ඉන්න අය කාටද කියන්නේ තමන්ගේ මේ ප්‍රශ්න කියන්නේ? වයස අවුරුද 55, 60 වුනාම පුද්ගලික අංශයේ අයට අර්ථසාදක අරමුදල ලැබෙනවා. රාජ්‍ය සේවකයාට විශ්‍රාම වැටුප ලැබෙනවා.
ඒ වගේම පුද්ගලික සහ රාජ්‍ය අංශයේ අයට රැකියාව කරන කාලයේදී රක්ෂණ ක්‍රම තියෙනවා. ඒත් අපේ ත්‍රී රෝද රථ අයට, අනතුරක් වුනොත් ගෙදර අයව කවුද බලාගන්නේ? ඒ වගේම මේ ඉන්න අනිත් අයටත් ඒ වගේමයි. මේක බරපතල සමාජ ප්‍රශ්නයක්. අපේ රටේ මේච්චර කාලයක් සාකච්ඡා ගොඩක් තිබ්බා ඒත් ඒ එකකින්වත් මේකට විසඳුමක් ගත්තේ නැහැ.
ගමේ ගොවි මහතෙකුගේ අතපය වාරු නැති වුනාට පස්සේ ඔහු ජීවත් වෙන්නේ කොහොමද?. සමහරු කතා කරන්නත් කැමති නැති සම්භාහන මධ්‍යස්ථානයක ඉන්න කාන්තාවක්ට වුනත් තමන්ගේ දෑතේ ශක්තිය නැති වුනාම මොකද කරන්නේ ? ගෘහ සේවයේ ඉන්න අයටත් ඒ විදිහමයි. ඒ අයට බැරිවුන කාලේදී ඒ අයව කවුද බලාගන්නේ කවුද? ඉතින් මේවා නෙමෙයිද සැබෑ සමාජ ප්‍රශ්න ?
මෙතන ඉන්නවා විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන අය. අද මේ අවස්තාව වාර්තා කරන මාධ්‍යවේදීන්ටත් මොකක්ද තියෙන ආරක්ෂාව. ඒ අයට ඊ,පී,එෆ්. ඊ,ටී,එෆ් තියෙනවාද? මේ අයට අනතුරක් වුනොත් බලාගන්න ක්‍රමවේදයක් තියෙනවාද ?
මම මෙතක් වෙලා කිව්වේ සරු කියන කොටස ගැන විතරයි. දැන් කියන්න යන්නේ ගරු කියන කොටස ගැනයි. ඇත්තමට ගරු කියන්නේ ගරුත්වය. අපි වඩු බාස්, ගස් නගින එකා. ත්‍රීවිල් කාරයා. වැඩකාරී වගේ නම් වලින් තමයි මේ අපේ අවිධිමත් ක්ෂේත්රයේ ඉන්න අයට අමතන්නේ. එහෙම වුනාම ඒ අයට තියෙන ගරුත්වය කෝ?
අපි වෙනත් රටවල් වලට ගිහින් ආවාට පස්සේ කියනවා එ් රටවල තණකොළ කපන එකා එන්නෙත් ප්‍රාඩෝ එකෙන් කියලා. ඒ අය අනිත් අය යන තැනටමයි කන්න යන්නේ, බඩු ගන්න යන්නේ කියලත් කියනවා. මේ තත්ත්වය අපේ රටේ ඇති කරන්න අවශ්‍ය විසදුම දෙන්නත් සියලුම වෘත්තීන්ට ගරුත්වය දෙන්නත් තමයි අපි මේ වැඩසටහන ක්‍රියාත්මක කරන්න යන්නේ.
සෑම වෘත්තියකටම ගරුත්වය ලබා දීමත් සාරවත්භාවයක් ලබාදීම තමයි මේ වැඩසටහනේ අරමුණ වෙන්නේ. ඒකට අවශ්‍ය පසුබිම හදන්නයි අපි කටයුතු කරන්නේ. එහිදී හැම වෘත්තකයෙක්ම වයසට ගියාම බලාගන්න වැඩ පිළිවෙලක් තියෙන්න ඕනේ.
ඒත් මේ වැඩේට අපි අපේ කාමර වල ඉදගෙන ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ උපදෙස් අරගෙන ඒවට අනුව කටයුතු කරලා හැරියන්නේ නැහැ. මේක කරන්නේ කොහොමද කියලා ඔබෙන් අහන්න ඕනේ. ඒකයි අපි මේ අදහස් විමසුම පටන් ගත්තේ.
වෘත්තිය සංගම් සමඟ අපි සාකච්ඡා කරනවා. ගමන් ගමට යනවා. අපිට මේ වැඩසහනින් ඕනේ තවත් වෘත්තිය සමිතියක් හඳන එක නෙමෙයි, වෘත්තීය සංගම් හැදිමයි. අදාල වෘත්තීන් වල අය තමයි තමන්ගේ සුදුසු කම් තීරණය කරන්න ඕනේ. ඒ වගේම තමන්ගේ වෘත්තිය කොයි තැනට පැමිණිය යුතුද කියන කාරණයත් තීරණය කරන්න ඕනේ ඔවුන්මයි.
උදාහරනයක් විදිහට ත්‍රීවිල් එලවන්න නම්. ත්‍රීරෝද රථ සංගම් එකතු වෙලා පිහිටුවන සංගමයක් විසින් කියන කාරණා සම්පූර්ණ කිරීමෙන් පසුව ඒ සුදුසුකම් තියෙන අයට ලයිසන් එක්ක දෙනවා.
ඒ වගේම බස් රියැදුරන්ටත් රියැදුරු බලත්රය විතරක් නෙමෙයි ඊට අවශ්‍ය අනෙකුත් සුදුසුකම් හදලා ඒවා සපුරලා තියෙන අයට විතරක් ලයිසන් එක්ක දෙන්න ඔවුන්ගේ සංගමයකින් කටයුතු කරන්න පුළුවන්. ඒ විදිහට හැම ක්ෂේත්රයේම ඉන්න අයට මේ වගේ ක්‍රමවේදයක් හදන්න පුළුවන්.
ගෘහ සේවයටත් ඔවුන්ගේ සංගමය විසින් නිකුත් කරන බලපත්‍ර ක්‍රමයක් හදුන්වා දෙන්න පුළුවන්. එතකොට ඒ අයට ගෙදරකට ගියොත් අයෙත් පොලිස් වර්තා ගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ වගේම අපි මේවාට යම් සීමාවනුත් දානවා. එතකොට අපි ඒ අයටත් අවම වැටුප් ප්‍රමාණයක් හදුන්වා දෙනවා. එයි මේ සියලුමදෙනාට නිසි වටිනාකමක් දෙන්න පුළුවන් වෙනවා.
මේ වගේ හැම ක්ෂේත්රයකම මෙම ක්‍රමවේදය ක්‍රියාත්මක කරන කොට අපිට පුළුවන් වෙනවා, හැමෝටම සම අයිතියක් දෙන්න. ඒ වගේම අපි දැනට ඉන්න පිරිසට අමතරව සමාජ ආරක්ෂණයට ඔබවත් දායක කරගන්න ඕනේ කියන කාරණය විශ්වාස කරනවා. වයස අවුරුද 55 පස්සේ ඔබ සියලුදෙනාමට පරිතෝෂික ක්‍රමයක්, හෝ විශ්‍රම වැටුප් ක්‍රමයක් වැනි සමාජ ආරක්ෂණ ක්‍රමයක් තිබිය යුතුමයි.
මේ සියලුදේවල් අපි අධ්‍යනය කළා. ඊට පස්සේ අපි මේ දේවල් ගිය සතියේ කැබිනට් එකට දැම්මා. කැබිනට් එක මට අනුමැතිය දුන්නා මාස හයක් ඇතුලත මේ රටේ වැඩකරන සියලුම ජනතාවට ආරක්ෂා කරන සමාජ ආරක්ෂණ වැඩපිලිවෙලක් හදන්න කියලා. ඒ වගේම ඊ,පී,ඒෆ, ඊ.ටී.ඒෆ්. මේ සිල්ල එකතු කරලා දැනට එම ප්රතිලාභ හමුනොවන සියලුදෙනාත් ඉන්න ජාලයක් හදන්න කියලත් මට කිව්වා.
ඒ වගේම දැනට තියෙන සමාජ ආරක්ෂණ ජලාය පුළුල් කරන්න කියලත් කිව්වා. අපේ රටේ සියලුදෙනාම ආරක්ෂා කරන වැඩපිළිවෙලත් තිබිය යුතුයි. එහිදී කාට හරි රැස්සාවක් නැති වුනාම දීමනාවක් දෙන්න ක්‍රමයක් ඇති කරන්නයි අපි සූදානම් වෙන්නේ. ඒක හැම ක්ෂේත්රයටම දෙන්නයි අපි අදහස් කරන්නේ.
මේ රටේ වගේම අනිත් රටවල් දේශපාලඥයින් මිනිස්සු රැවැට්ටුවා. සමහර නායකයෝ කිව්වා මම අර රස්සාව කළා, මේ රස්සාව කියලා. ඒත් එහෙම කළේ මිනිස්සුන්ට පෙන්නයි රවට්ටන්නියි. ඒත් සැබෑ තත්ත්වය ඒක නෙමෙයි. මේ රටෙත් ජනතාවගේ හිත දිනා ගන්න ටයි කොට් ඇදලා ඉංග්‍රීසි කතා කරපු අය මේ රටෙන් නැව් නැගලා පිරට රටට ගිහිල්ලා, ලංකාවට අවේ සුදු සරමයි ශර්ට් එකයි ඇදගෙනයි.
කම්කරු නායකයෝ කියන බහුතරයක් ඡන්ද කාලයට විතරක් කම්කරුවන් වෙනුවෙන් කතා කළා, පාරට බැස්සා. මැයි දිනයට පාරට ඇවිල්ලා අපි කම්කරුවන් වෙනුවෙන් මේ දේවල් කරනවා කියලා යෝජනා සම්මත කළා. ඒත් ඒ යෝජනා හරියට එකතුකරලා අයෙත් බැලුවොත් අපි මේ දේවල් අද කතා කරන්න ඕනෙත් නැහැ.
මේ විෂම චක්‍රය වෙනස් කළයුතුයි. මේ රට වෙනස් කරන්නයි අපි මේ වගකිම බාරගත්තේ. මරණයේ සහතිකය අතට ගන්නවා වගේ තමයි අපි මේවා භාරගත්තේ.
හය ලක්ෂකින් දුවන්න පුළුවන් රාජ්‍ය සේවය තමයි ලක්ෂ 17ක් වෙලා තියෙන්නේ. ඒ අයට පඩි ගවන්න බිලියන ගාණක් යනවා. ඒ අයට පඩි ගෙවන්නේ ජනතාවගේ අයකරන බදුවලින් තමයි මේ අයට පඩි ගෙවන්නේ. රටේ සෑම 13 දෙනෙකුගෙන් එක් අයෙක් රාජ්‍ය සේවකයෙක්.
ඔබ සියලුදෙනා වැඩ කරන්නේ පාඩු ලබන ශ්‍රී ලංකන් එක නඩත්තු කරන්න. පාවිච්චි කරන්න බැරිව තියෙන හදපු ගොඩනැගිලි, වලට ණය ගෙවන්න ඔබයි. ඒත් ඔබට තියෙන ප්‍රතිලාභය මොකක්ද?
ජනතාව ඉල්ලපු සිස්ටිම් චේන්ජ් එක තමයි අපි මේ කරන්නේ. ඒ නිසාමයි ගොඩක් නීරස තීන්දු අපි ගන්නවා. අපි ඒ තිරණ ගන්නේ ජනතාවට අදරේ නැතිව නෙමෙයි. අපි මේ තීන්දු ගන්නේ අපේ දේශපාලන අනාගතය ගැනවත් හිතන්නේ නැතිවයි. ඔබ මේ පද්ධතියට ඇතුළු කරගන්නකොට අපිටත් බාදා එයි. ඒත් ඔබට ගරුත්වය සහ ආරක්ෂාව ලබා දෙනවා.
කම්කරු ඇමති විදිහට මගේ සතුටුදායකම දවස අදයි. අපේ ශ්‍රමිකයින්ට ගරුත්වය දෙන්න පටන් ගන්න පුළුවන් වුන එක තමයි කම්කරු ඇමති විදිහට කරන්න පුළුවන් උපරිම දේ.
අපිටත් තව අවුරුදු පහකින් දහයකින් අපේ සෑම වෘත්තියකම ඉන්න අය සමාන වැටුප් තියෙන ගරුත්වයක් තියෙන පරිසරයක් නිර්මාණය කරන්න පුළුවන් වෙයි. අපි ඒක වෙනුවෙන් තමයි මේක හැමදේම කරන්නේ.
මම කිව්වා ලෝකයේ විවිධ රස්සා කරපු නායකයෝ හිටියා කියලා. ඒත් අපි පුංචි කාලේ ඉදන් කුඹුරේ වැඩ කරලා. ගෝනි කරගහලා, ගොයම් පාගලා, අත්දැකීම් හොදට තියෙන ඒ වගේම ඉස්කෝලේ යන කාලේ ඉදලම ඡායාරූප ශිල්පියෙක් විදිහට කටයුතු කරලා, ඒවා වලින් සල්ලි හම්බකරලා, රස්සාවක් කරන්න ඕනේ කියන එක පුංචි කාලේ ඉදලම තේරුම් ගත්ත අයයි.
මම උසස් පෙළකරන කාලයේ රක්ෂණ නියෝජිතයෙකු විදිහට ගෙවල් වලින් බැනුම් අහන ගමන් කටයුතු කරලා. මාධ්‍යවේදියක් විදිහට අත්දැකීම අරගෙන, වෘත්තින් වල අවශ්‍යතාව ඇත්තටම දැනගෙනයි අපි මේ වැඩසටහන ක්‍රියාත්මක කරන්නේ.