කුරුණෑගල හොර විදේශ රැකියා ඒජන්සියක් වටලයි

කුරුණෑගල හොර විදේශ රැකියා ඒජන්සියක් වටලයි
  • හිමිකරු හා විදෙස් ගමන් බලපත්‍ර 110ක් අත්අඩංගුවට...

කුරුණෑගල නගරයේ නීතිවිරෝධි අයුරින් පවත්වාගෙන ගිය විදේශ රැකියා නියෝජිතායතනයක් ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ නිළධාරීන් විසින් මැයි (31) දින වැටලීම් කර තිබේ. 

කුරුණෑගල, සූරතිස්ස මාවතේ එම්.එම්.බී නමින් නීතිවිරෝධි විදේශ රැකියා ආයතනයක් පවත්වාගෙන යමින් සෞදි අරාබිය, ඕමාන්, කුවේට් ඇතුළු මැදපෙරදිග රටවල් සඳහා බඳවාගැනීම් සිදුකරන බවට කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකයට ලද තොරතුරක් අනුව මෙම වැටලීම සිදුකර තිබේ. එහිදී අදාළ රැකියා නියෝජිතායතනය පවත්වාගෙන ගිය හිමිකරු විමර්ශන නිළධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලද අතර, එම ස්ථානයේ තිබී විදේශ ගමන් බලපත්‍ර 110ක්, රැකියා අයදුම්පත්‍ර ඇතුළු ලේඛන රැසක්ද නිළධාරීන් භාරයට ගන්නා ලදී.

මෙම වැටලීම සඳහා කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ කළමනාකරු වන කපිල කරුණාරත්න, ඉදුනිල් පුෂ්පකුමාර, රවීන්ද්‍ර අබේපාල, මදුශාන් විජේවර්ධන, අමිල පෙරේරා හා රංග යසරත්න යන නිළධාරීන් එක්විය.

විදේශ රැකියාවක් ලබාගැනීම සඳහා යම් ආයතනයකට හෝ පුද්ගලයෙකුට මුදල් හෝ විදේශ ගමන් බලපත්‍රය ලබාදීමට පෙර එම ආයතනයට විදේශ රැකියා සඳහා බදවාගැනීමට කාර්යාංශයේ වලංගු බලපත්‍රයක් තිබේද යන්න හා වලංගු රැකියා නියෝජිතායතනයක් වුවද එම ආයතනයට අදාළ රැකියාව සඳහා වලංගු රැකියා ඇණවුමක් ලැබී ඇත්දැයි යන්න සොයා බැලීම සඳහා කාර්යාංශයේ www.slbfe.lk වෙබ් අඩවියට පිවිසීමෙන් හෝ 1989 ක්ෂණික ඇමතුම් අංකය ඇමතීම මගින් තොරතුරු ලබාගන්නා ලෙස කාර්යාංශය විදේශ රැකියා අපේක්ෂිතයින්ගෙන් ඉල්ලා සිටියි.