ඉතාලි රැකියා සිහින පෙන්වා මුදල් ගැරූ සැකකරු මහනුවරදී කොටුවෙයි

ඉතාලි රැකියා සිහින පෙන්වා මුදල් ගැරූ සැකකරු මහනුවරදී කොටුවෙයි

ඉතාලියේ රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචාකළ පුද්ගලයෙකු ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකයේ නිළධාරීන් විසින් 2024.06.01 වන දින අත්අඩංගුවට ගෙන තිබේ.

මහනුවර, පේරාදෙණිය ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි පුද්ගලයෙකු විසින් ඉතාලියේ වැඩිහිටියන් බලාගැනීමේ රැකියාවක් ලබාදෙන බව පවසා රු.1,250,000.00 ක මුදලක් ලබාගෙන පොරොන්දු වූ පරිදි රැකියාව ලබා නොදුන් බවට පුද්ගලයෙකු විසින් කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයට පැමිණිලි කර තිබේ.

ඒ අනුව කාර්යාංශයේ විමර්ශන නිළධාරීන් සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පේරාදෙණිය ප්‍රදේශයේ අදාල සැකකරුගේ නිවෙස වෙත ගියද, සැකකරු නිවෙසේ සිට නොමැති හෙයින් කාර්යාංශයේ මහනුවර පළාත් කාර්යාලය වෙත කැඳවා ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව අත්අඩංගුවට ගන්නා ලදී.

අත්අඩංගුවට ගත් සැකකරු (6/2) දින මහනුවර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ජූනි මස 6 තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කරන ලදී.

මෙම අත්අඩංගුවට ගැනීම සඳහා කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ කළමනාකරු වන කපිල කරුණාරත්න, ඉදුනිල් පුෂ්පකුමාර, රවීන්ද්‍ර අබේපාල, අමිල පෙරේරා, මධුශාන් විජේවර්ධන හා එච්. ජයන්ති යන නිළධාරීන් එක්විය.

විදේශ රැකියාවක් ලබාගැනීම සඳහා යම් ආයතනයකට හෝ පුද්ගලයෙකුට මුදල් හෝ විදේශ ගමන් බලපත්‍රය ලබාදීමට පෙර එම ආයතනයට විදේශ රැකියා සඳහා බදවාගැනීමට කාර්යාංශයේ වලංගු බලපත්‍රයක් තිබේද යන්න හා වලංගු රැකියා නියෝජිතායතනයක් වුවද එම ආයතනයට අදාළ රැකියාව සඳහා වලංගු රැකියා ඇණවුමක් ලැබී ඇත්දැයි යන්න සොයා බැලීම සඳහා කාර්යාංශයේ www.slbfe.lk වෙබ් අඩවියට පිවිසීමෙන් හෝ 1989 ක්ෂණික ඇමතුම් අංකය ඇමතීම මගින් තොරතුරු ලබාගන්නා ලෙස කාර්යාංශය විදේශ රැකියා අපේක්ෂිතයින්ගෙන් ඉල්ලා සිටියි.