මියන්මාරයේ සයිබර් වද කඳවුර විනාශ කළ නොහැකි ඇයි?

cybercriminals

බෝට්ටුවක නැගී ඕස්ටේ්‍රලියාවට පලායාම කාලයක් මේ රටේ තරුණ කණ්ඩායම්වල සිහිනයක් වී තිබිණ. තැනින් තැන කුඩාවට ආරම්භ වූ මේ වැඩේ මහා පරිමාණ ව්‍යාපාරයක් වෙද්දී දෙරටේ ආණ්ඩුවලට බරපතල මැදිහත්වීමක් නොකර බැරි විය. එහි ප්‍රතිඵලය වූයේ අක්‍රමවත් සංක්‍රමණයේ බිහිසුණුබව හා ඵල රහිත බව ගැන ද්විපාර්ශ්වික රාජ්‍යතාන්ත්‍රික මෙහෙයුමක් කිරීමය. ඕස්ටේ්‍රලියාව බලා පලායාම එවැනි උපාය උපක්‍රමවලින් නතර කරගත්ත ද මෙසේ කෙරෙන මිනිස් ජාවාරම් එකවර නතර වන්නේ නැත. ජාවාරම්කරුවෝ ලෝකයේ තවත් ගමනාන්ත සොයාගනිති. පසුගිය කාලයේ එවැනි තවත් ගමනාන්ත දෙකක් වූයේ රුසියාව හා මියන්මාරයයි.

මියන්මාර හමුදා ආණ්ඩුවේ සෘජු පාලනයට යටත් නැති මියාවඩ්ඩි ප්‍රදේශයේ පිහිටි සයිබර් අපරාධ කඳවුරු එම මිනිස් ජාවාරමේ නවතම ඉලක්කයක් වී තිබේ. මේ ස්ථානයට තරුණ පිරිස් රැගෙන යන්නේ මිනිස් ජාවාරම් සම්බන්ධයෙන් කාලයක් තිස්සේ ජගත් පරිමාණයෙන් චෝදනාවට ලක් වූ තායිලන්තයේ දේශ සීමා හරහාය. තායිලන්ත දේශ සීමාවේ පිහිටි මේ සොට් ප්‍රදේශයේ ඇති ගංගාවක් හරහා යාමෙන් මේ ස්ථානයට ළඟා විය හැකිය. සයිබර් කඳවුරු යැයි අප නම් කළ ද එය සියලු පහසුකම් සපිරි කුඩා නගරයක් වැනිය. ව්‍යාජ ඔන්ලයින් අනන්‍යතා භාවිත කර කාන්තාවන් ලෙස පෙනී සිටිමින් යුරෝපයේ හා ඇමෙරිකාවේ සල්ලිකාර පිරිමින් රවටා මුදල් ගැරීම මේ කඳවුරුවල සිරවූවන්ගේ ඉරණමය.

| පසුගියදා මියන්මාරයේ කඳවුරක සිරවී සිටි කොටසක් මුදාවාගේන ශ්‍රී ලංකාට ගෙන එනු ලැබීය

“තායිලන්තය, කාම්බෝජියාව, ලාඕස් හරහාත් මියන්මාර් යන බව පේනවා. කොවිඩ් ඉවර වෙලා ආර්ථික ප්‍රශ්න වැඩිවෙන්න ගත්ත කාලේ 2023 මුල වගේ ඉඳල තමයි මේක පැට්න් එකක් වුණේ. ටුවරිස්ට් වීසාවලින් යන අයව නවත්තන්න බෑනෙ. බැලූ බැල්මටම සමහර වෙලාවට පේනවා මේ යන්නෙ මියන්මාර් වගේ කියලා. ඒත් නීතියෙන් නවත්තන්න බෑ.” ලංකාවේ තරුණ පිරිස් මේ විපතට වැටුණු හැටි ගැන ආගමන විගමන නිලධාරියකු විස්තර කළේ එසේය.

කලාපීය ගැටලුවක සිට ගෝලීය ආරක්ෂක තර්ජනයක් දක්වා පුළුල් වී ඇති මේ මියන්මාර් කඳවුරුවල සිර වූ ලාංකික තරුණ පිරිස සිය ගණනක් හෝ දහස් ගණනක් විය හැකිය. එසේ සිරගතව වධබන්ධනවලට ලක්ව සිටි තරුණ තරුණියන් සැලකිය යුතු පිරිසක් පසුගිය මාස කීපය පුරාම විටින් විට නැවත ලංකාවට ගෙන්වාගත්තේ රාජ්‍යතාන්ත්‍රික වශයෙන් හා නිල නොවන අයුරින් පුද්ගල මට්ටමින් පවා කළ මැදිහත්වීම්වල ප්‍රතිඵලයක් වශයෙනි. එසේ අවසන් වරට නිදහස් කරගත් විසි හත් දෙනෙකුගේ කණ්ඩායම දිවයිනට පැමිණියේ පසුගිය 16 වැනිදාය. මේ පිරිස බේරාගැනීම සඳහා රජයට තායිලන්ත හා මියන්මාර් ආණ්ඩු සමග අනවරත රාජ්‍යතාන්ත්‍රික සාකච්ඡාවල නිරතවන්නට සිදු වූ අතර සංක්‍රමණ සඳහා වන ජාත්‍යන්තර සංවිධානය ඒ සඳහා දැඩි වෙහෙසක් ගත්තේය.

ආගමන විගමන රාජකාරියේ සීමා...

සැකසහිත විදෙස් සංචාරකයන් මෙරටට පැමිණෙද්දී විමසා බලා මැදිහත්වීම් කිරීම ආගමන විගමන නිලධාරින්ගේ ප්‍රධාන කාරියකි. එහෙත් බොරු හේතු කියාගෙන සංචාරක වීසාවෙන් රටින් පිටවන්නන් විෂයෙහි ඒ පමණම මැදිහත්වීමක් කිරීමට ඔවුන්ට නොහැකිය. ඊට අවශ්‍ය නෛතික බලය දුර්වල වීම ඊට එක් හේතුවකි. එක් අවස්ථාවක කටුනායක ගුවන් තොටුපළට පැමිණි මැදි වියේ ගැමියකු ආගමන විගමන කවුන්ටරයට සිය විස්තර ඉදිරිපත් කළේය. තමා නේපාලයට යන බව කී පසු ආගමන විගමන නිලධාරියා අවසාන මොහොතේ නිකමට මෙන් ඇසුවේ විදෙස්ගත වන හේතුවයි. ඔහු එක්වරම කීවේ නැවක රැකියාවක් සඳහා යන බවය. එහෙත් ඔහුගේ ගුවන් ටිකට් පරීක්ෂා කළ විට එහි ගමන්මග සංකීර්ණ බව නිලධාරියාට වැටහුණි. පළමු දින නේපාලයේ කත්මණ්ඩුවලටය. දෙවැනි දින ඉන්දියාවේ නවදිල්ලිය. ඒ හරහා ඇමෙරිකා දක්වා ගමන්මග දීර්ඝය. එහෙත් මගියා දන්නේ තමා නේපාලයට ගිය පසු නැවක රැකියාවක් ලැබෙන බවය. නැවක රැකියාව කරන වෙළෙඳ නාවිකයන් සඳහා වූ වෙනම ලියාපදිංචි පොතක් ඇත. ඔහුට ඒ ගැන අවබෝධයක් නැත. මේ තැනැත්තාගෙන් ප්‍රශ්න කරන අතරේ තවත් කවුන්ටරයකට ද මෙවැනිම ගමනාන්තයක් සහිත මගියෙක් පැමිණ තිබුණු අතර ප්‍රශ්න කිරීමේදී නිලධාරින්ට වැටහුණේ මේ දෙදෙනාම හසුව ඇත්තේ එකම වංචනිකයකුට බවය. ආගමන නිලධාරින්ගේ පැහැදිලි කිරීම නිසා ඒ දෙදෙනාගේ ජීවිත අනූ නවයෙන් බේරුණි.

 “නේපාල් කියල එන ඒ වගේ අයට කරන්නෙ ගොඩක් වෙලාවට නේපාලෙන් බංගලාදේශ දේශ සීමා හරහා ගෙනිහින් ඕස්ට්‍රේලි යවනවා කියල බෝට්ටුවකට අතාරින එක. හැබැයි ඒ මිනිස්සු වෙන්නෙ මොකක්ද කියලවත් දන්නේ නෑ”

මෙම මිනිස් ජාවාරම සම්බන්ධයෙන් ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරි නිශ්ශංක ජයවර්ධන විසින් නිර්මාණය කරන ලද වාර්තාමය වැඩසටහනක් ද ඇත. දුටු මනතින් මෙහි ඇති බිහිසුණු බව වැටහෙන පරිදි නිර්මාණය කර ඇති එහි කතානායකයා මියන්මාර් සයිබර් අපරාධ කඳවුරට ගොදුරු වූ තරුණයෙකි. මේ හා සම්බන්ධ වූ ද තවත් අපූරු කතාවක් තිබේ. වරක් ආගමන විගමන නිලධාරියකුට කාම්බෝජියාව බලා යාමට පැමිණි තරුණයකු සම්මුඛ විය. බැලූ බැල්මටම මේ නම් මියන්මාර් කඳවුරේ ගොදුරක් බව වැටහුණු බැවින් නිලධාරියා ඔහුගේ ගමන ගැන කෙලින්ම විමසා සිටියේය. වචනයෙන් කොතරම් තේරුම් කළත් එහි ඇති බිහිසුණු බව වැටහෙන්නේ නැති නිසා එම නිලධාරියා කළේ දෙපාර්තමේන්තුවෙන් සැකැසූ මෙම වාර්තාමය වැඩසටහනේ වීඩියෝව ඔහුට නැරඹීමට දීමය. තරුණයාගේ පිළිතුර වූයේ “මම සර් ඕකත් බැලුවා” යන්නය. “අපට ඔයාව නවත්තන්න බෑ. ඒත් අඩුම තරමේ තානාපති කාර්යාලය එක්ක සන්නිවේදනය තියාගන්න. ටේක් කෙයා” නිලධාරියාට ඉන් එහාට කරන්නට දෙයක් නැත. එහෙත් ඉන්පසු ඒ තරුණයාගේ දුරකථනය ද ක්‍රියා විරහිත වී තිබිණ.

දැන දැන විපතේ වැටීම...

පෙර කී තරුණයාගේ කතාව අනුව නම් මියන්මාර් වඳ කඳවුරු අපාය බලා ගමන් කරන ඇතැමුන් ඒ ගැන නොදැන යනවා නොවේ. අධ්‍යාපන ඉණිමගේ ප්‍රශ්න මෙන්ම රැකියා අවස්ථා සම්බන්ධයෙන් ඇති අපේක්ෂා භංගවීම් ඇතුළුව අතෝරයක් ගැටලු මේ වටා ගැටගැසී තිබේ. විශේෂයෙන්ම කොවිඩ් වයිරසය සමග අත්වැල් බැඳගෙන පැමිණි ආර්ථික අර්බුදය ලංකාවේ තරුණ තරුණියන්ගේ ජීවිත ඉතාම දුෂ්කර අඩියකට ඇද දැම්මේය. මේ වනවිට යම් ආකාරයක සමහන් බවක් පෙන්නුම් කළ ද ඒ අවධියේ රට හැර යාම ප්‍රවණතාවක් වන තැනට පැමිණියේය. අධ්‍යාපන ඉණිමගේ ඉහළට නැග සිටි වෘත්තිකයන්ට විදේශයන්හි කිසියම් හෝ අවස්ථා තිබුණු නමුත් සමාජයේ පහළ තීරුවලට ඉතුරු වුණේ සුසුම්ලෑමය. රටින් පිටවූවන් සිය නව විප්‍රවාසී ජීවිතයේ යශෝරාවය සමාජ මාධ්‍යයේ ඡායාරූප හා වීඩියෝ ලෙසින් ලෝකයට පෙන්වද්දී ලංකාවේ සිර වී සිටි තරුණ පිරිස් ද කෙසේ හෝ පලායම්හයි තව තවත් අධිෂ්ඨාන කරන්නට වූහ. එහි එක් අතුරු ඵලයක් හැටියට ද මෙවැනි අපරාධ දම්වැල්වලට දැන දැනම ගොදුරු වීම සැලකිය හැකිය.

| පූජ්‍ය මාලිගාවිල අස්සජී ස්වාමින් වහන්සේ

සංචාරක වීසාවෙන් ගොස් ඉහළ වැටුපක් ගෙන උසස් ජීවන තත්ත්වයක් අපේක්ෂා කළ ද ජීවිතය වැරදීමට ගියේ දේශසීමා තරණය කරන කාලය පමණි. අවසානයේ සිදුවුණේ මෙසේ නොදන්නා රටක පාතාලයන් අතර හිර වූ සිය දරුවන්ගේ ජීවිත බේරාගැනීම සඳහා ඒ කල්ලිවලට කප්පම් ගෙවන තැනට මවුපියන් වැටීමය. මාලිගාවිල අස්සජි හිමි නමැති ධර්මධර විනයධර බුද්ධපුත්‍රයන් වහන්සේ මෙහිදී අතිශය කැපකිරීමක් කරමින් මෙම දරුවන් බේරාගැනීම සඳහා මවුපියන්ට මෙන්ම රජයට ද විශාල සහායක් ලබා දී තිබුණි. උන්වහන්සේගේ ශාසනික පෞරුෂයත් භාෂා හැකියාවත් ඇතුළු තන්වැසි මැදිහත්වීම මියන්මාරයේ සිර වූ දරුවන් බේරාගැනීමේදී විශාල කාර්යභාරයක් කර තිබිණි. ආර්ථික දුෂ්කරතා හමුවේ මිනිසුන් විදෙස්ගතවීම දරිද්‍රතාවයේ සදා නොනිමි ගැටලුවකි. එය තේරුම්ගත හැකි තත්ත්වයකි. එහෙත් ඊට මුවා වී කෙරෙන මිනිස් ජාවාරම් යනු ජාතික ආරක්ෂාවේ සිට ගෝලීය ආරක්ෂාව දක්වා පුළුල් අර්බුදයකි. එයට විසඳුම් සෙවීමේදී ආරක්ෂක අංශ විසින් කරනු ලබන වැටලීම් මෙන්ම අවදානම සන්නිවේදනය ද එකසේ වැදගත්ය. මන්දයත් ගොදුරුවූවන් බේරාගැනීම මෙන්ම ඊළඟ වටයේදී විපතේ වැටීමට ඉඩ ඇති තරුණ ජීවිත කල්තියාම ඉන් බේරාගැනීම ද වැදගත් නිසාය.

මෙම ප්‍රශ්නයේදී මවුපියන් චෝදනා කරන්නේ අනෙකුත් රජයන්ට වින්දිතයන් බේරා ගැනීම සඳහා මැදිහත් විය හැකිනම් ලංකාවේ ආණ්ඩුවට එය කළ නොහැකි ඇයිද කියාය. අස්සජි හිමියන් ත්‍රස්තයන් වෙසෙන ප්‍රදේශයට ගියත් පැවති ආණ්ඩුවේ නායකයන් එම ප්‍රදේශයට නොගිය බවට ද ඔවුහු චෝදනා කරති. එහෙත් මේ සම්බන්ධයෙන් ආගමන විගමන දෙපාර්තමේන්තුව මෙන්ම විදේශ කටයුතු අමාත්‍යාංශය ද අප දන්නා පරිදි සැලකිය යුතු මැදිහත්වීමක් පසුගිය දිනවල සිදුකළේය. අනෙක් අතට මේ මිනිස් ජාවාරමේ ගොදුරුවූවන්ම කරන ප්‍රකාශ අනුව ක්‍රියාවලිය මුල සිටම සිදුව තිබෙන්නේ නීතියට පරිභාහිරව බව ද පැහැදිලිය.

“ ඒ අය අපිව එහේට හයර් කරන්නේ එයාලගේ අතේ සල්ලි වලින්. එයාලා ටිකට් දාලා වීසා දාලා. සමහර වෙලාවට අපිත් මුලින් ගානක් දෙන්න ඕනෑ. හැබැයි අපට ඉන්න බෑ කියල එන්න හැදුවොත් ඒගොල්ලෝ කියන්නේ එක ළමයෙක්ගෙන් ඩොලර්ස් අටදාහක් ඕනෑ කියල. ලංකාවේ සල්ලි වලින් ලක්ෂ විසි පහකට වැඩියි. ”

කඳවුරෙන් බේරී ආ තරුණයෙක් පසුගියදා මාධ්‍යට කළ මේ ප්‍රකාශයෙන් කියැවෙන්නේ කප්පමේ තරමය. කඳවුරේ වද දීම් ගැන මින් පෙර ද ‘මව්බිම’ වාර්තා කළ ද ඔහුගේම වචන මෙහි සටහන් කරන්නේ එහි බිහිසුණු බව දැනගැනීම ගොදුරුවීමට පෙර වටින නිසාය.

“හොරෙන් තියන් ඉන්න ෆෝන් එකක් අහුවුනොත් කෙලින්ම හිරගෙදරට දානවා. මාංචු දාලා කකුල්වලින් එල්ලනවා. කන්න බොන්න දෙන්නේ නෑ. ඇස් පියා ගත්තත් ගහනවා. අන්තිමේදි මූණට ගහනවා. එතකොට හම ඇතුළෙන් ලේ එනවා. වතුර බෝතල් එල්ලං ස්කොට් පන්සියයක් ගහන්න ඕන. ඇස් පිය වුණොත් ඊලග දවසේ 1500ක්. එදත් වැරදුනොත් ඊළඟට දෙදාහක්. අන්තිම කාලෙ වෙද්දි මගේ ඇඟෙන් බාගයක් වගේ වැඩ කළේ ”

මියන්මාර් තායිලන්ත සහාය ප්‍රමාණවත්ද?...

ආසියාව, නැගෙනහිර අප්‍රිකාව, දකුණු ඇමරිකාව සහ බටහිර යුරෝපයේ තරුණ තරුණියන් දහස් ගණනකට පරිගණක ආශ්‍රිත රැකියා ලබා දෙන බවට පොරොන්දු වෙමින් මෙම සයිබර් අපරාධ කඳවුරුවල සේවය කිරීමට සලස්වා ඇතැයි ජාත්‍යන්තර පොලිසිය පවසයි. ඊට අනුව මෙවැනිම තවත් වංචාසහගත ස්ථාන ලාඕසය, පිලිපීනය, මැලේසියාව, තායිලන්තය සහ වියට්නාමය යන රටවල ද ඇත. කෙසේ වෙතත් මියන්මාර් කඳවුරේ ප්‍රශ්නයේදී ඊට විසඳුම් සෙවීම සඳහා රාජ්‍යතාන්ත්‍රික සහායේ වැදගත්කම අවධාරණකටයුතුය.  විශේෂයෙන්ම තායිලන්තයට මිනිස් ජාවාරම් සම්බන්ධයෙන් චෝදනා එල්ල වූයේ කලෙක පටන්ය. එක් අවස්ථාවක 2015දී තායිලන්ත සහ මැලේසියා දේශ සීමාවේ කැළයක වල දමා තිබූ මළ සිරුරු තිහක් පමණ සොයාගැනුණු අතර පසුව සැකකෙරෙැණේ ඒවා නීතිවිරෝධී සංක්‍රමණිකයන්ගේ බවටය. ඉන්පසුව මිනිස් ජාවාරම් මැඩලීම සඳහා තායිලන්ත රජය විටින් විට විවිධ මෙහෙයුම් සිදුකළ ද අදටත් එය මුලිනුපුටා දැමීමට හැකිව නැති බව මේ සිදුවීම්වලින් පැහැදිලිය.

| මැලේසියා දේශ සීමාවේ කැළයක වල දමා තිබූ මළ සිරුරු

මෙම සයිබර් කඳවුරු කලාපය මායිම් වන ගඟ මේ ගමන්මගේ තීරණාත්මක තැනකි. අපරාධ කඳවුරේ ගොදුරු  වී පණ බේරාගත් තරුණ තරුණියන් බොහෝ දෙනෙකු පවසන්නේ එම ගඟ තරණය කරද්දී නැවත කිසිදා ලංකාවට ඒමට හැකිවනු ඇතැයි නොසිතූ බවය. උත්ප්‍රාසජනක කරුණ වන්නේ මෙම ගං ඉවුරු සීමාවේ තායිලන්ත ආගමන විගමන කවුන්ටර හතරක් ද පිහිටා තිබීමය. මිනිස් ජාවාරමේ නිරත වන පාතාලයන් අපරාධ කලාපයට යා යුත්තේ මේ කවුන්ටර පසුකරය. එසේ කවුන්ටර පසුකර යද්දී තමන් රැගෙන යන මිනිස් බිලිවලට අයත් පාස්පෝට් මේ කවුන්ටරවලට පෙන්විය යුතුය. සාමාන්‍යයෙන් රටක ආගමන විගමන කටයුතු සඳහා වෙනම රාජ්‍ය ආයතනයක් පිහිටුවීමේ අරමුණ වන්නේ ද නීතිවිරෝධී සංක්‍රමණ හා සංචාරය මුවාවෙන් සිදුකෙරෙන අනීතික වැඩ නීතියේ රැහැනට හසුකරගැනීමය. සැකකටයුතු සංචාරකයන්ගෙන් ප්‍රශ්න කිරීම එහිදී ප්‍රමුඛය. එහෙත් සංචාරකයන් මිනිස් තොග වශයෙන් වාහනවල පටවාගෙන එකම රටාවක ව්‍යාපාරයක් සිදුවෙද්දී ඒ ගැන කිසිම ප්‍රශ්න කිරීමක් නොවන්නේ නම් අප පුදුම විය යුතු නොවේද? මියාවඩ්ඩි කලාපය මුදා නොගත් කලාපයක් හැටියට හැඳින්වුවද එහි යටිතල පහසුකම් පවතින්නේ ඉතා ඉහළ මට්ටමකය. සාමාන්‍යයෙන් ත්‍රස්ත හෝ නීතිවිරෝධී කල්ලිවලට කටයුතු කිරීමේදී මුහුණපෑමට සිදුවන ප්‍රධාන ප්‍රශ්නයක් නම් බලශක්තියයි. මේ සයිබර් කඳවුරුවලට අත්‍යවශ්‍ය දෙයක් නම් විදුලියයි. එහෙත් දැන් කාලයක් තිස්සේ කිසිදු බලශක්ති ගැටලුවකින් තොරව සිය සයිබර් අපරාධවල නියැලීමට මේ අනීතික කල්ලිවලට හැකිව තිබේ. වාර්තා වන ආකාරයට ඒවාට අවශ්‍ය විදුලිය සැපයෙන්නේ ද නීතියට පිටින් නොවේ. මෙම අනීතික වැඩ නිසා එක්සත් ජාතින්ගේ සංවිධානය විසින් මියන්මාරයට සම්බාධක පවා පනවනු ලැබ තිබේ.

මෙම තත්ත්වය මත ලංකාවේ ආගමන විගමන නීති ද තවත් ශක්තිමත් කළ යුතු බව ප්‍රවීණයන්ගේ අදහසයි. ආගමන විගමන නීතිය මේ වනවිට සංශෝධනය කිරීම සඳහා කෙටුම්පත් කර ඇත. ඒ නව පනතක් වෙනුවෙනි. එහෙත් වාර්තා වන ආකාරයට සැකසහිත සංචාරකයන් සම්බන්ධයෙන් ආගමන විගමන නිලධාරින්ට ක්ෂණිකව තීන්දු ගත හැකි අයුරින් යෝජිත සංශෝධනවල ද කරුණු අන්තර්ගතව නැත. මිනිස් ජාවාරම මැඩලීම අද වනවිට ගෝලීය අභියෝගයකි. මිනිස් ජාවාරම් සහ අනෙකුත් ජාත්‍යන්තර අපරාධ පිළිබද බාලි ක්‍රියාවලිය යනු ඒ සඳහා වූ ගෝලීය ප්‍රයත්නයයි. එහෙත් එවැනි රාජතාන්ත්‍රික දම්වැලක් තිබියදී පවා මේ පාතාලය නිදහසේ ක්‍රියාත්මකවීමෙන් පෙන්නුම් කරන්නේ කුමක්ද? එය පසුපස සිටින මහමොළකරුවන් ද බලවතුන් බවය. දැනටමත් ලංකාවේ ආරක්ෂක අංශ හා බලධාරින් සොයමින් සිටින්නේ මේ වහල් වෙළෙඳාමේ දේශීය ඒජන්තයන් කවුද කියාය.

 bingun menaka gamage

| බිඟුන් මේනක ගමගේ

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

(මව්බිම)