විදෙස් රැකියා වංචාකරුවන්ගෙන් ආරක්ෂා කිරීමට දිවයින පුරා දැනුවත් කිරීම් අරඹයි

human-traffiking

මිනිස් වෙළඳාමට එරෙහි නීතිය, ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ පනත සහ විමර්ශනය සම්බන්ධයෙන් කාර්යාංශය විසින්, අනුරාධපුර දිස්ත්‍රික්කයේ පොලිස් නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහනක් පසුගියදා අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී සාර්ථකව පවත්වන ලදී. 

වර්තමානයේදී ශ්‍රි ලාංකිකයන් විශාල වශයෙන් විදේශ රැකියා සදහා උනන්දුවක් දක්වන බැවින් සමාජ මාධ්‍ය හා වෙනත් මාර්ග ඔස්සේ විදේශ රැකියා අපේක්ෂිතයින් මිනිස් වෙළෙඳාමට හා විවිධ වංචාවන්ට හසුවීම වැඩි වශයෙන් දක්නට ලැබේ. එබැවින් විදේශ රැකියා සඳහා යොමුවීමට අපේක්ෂා කරන පිරිස් වංචාකරුවන්ට හසුවීම වැළැක්වීම හා වංචාකරුවන්ට එරෙහිව ක්‍රියාත්මක කළ හැකි නීතිමය පසුබිම පැහැදිලි කිරීම අරමුණු කරගනිමින් මෙම වැඩසටහන පැවැත්වුණි. ප්‍රදේශයේ ජනතාවට වඩාත් සමීප, ප්‍රාදේශීය වශයෙන් නීතිය බලාත්මක කරන කණ්ඩායම වන පොලිස් නිළධාරීන් දැනුවත් කිරීම මගින් ජනතාව වෙත වඩාත් නිවැරදි හා කාර්යක්ෂම සේවාවක් සැපයීමට හැකිවෙතැයි කාර්යාංශය අපේක්ෂා කරයි .

විදේශ රැකියා අපේක්ෂිතයින් වංචාවන්ගෙන් වළක්වා ගැනීම මූලික අරමුණ කරගනිමින් ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ නීති අංශය හා මිනිස් වෙළෙඳාමට එරෙහි කාර්යාංශ ඒකකය මගින් මෙම දැනුවත් කිරීමේ වැඩසටහන දිප ව්‍යාප්තව සිදුකරනු ලබන අතර, මේ වසරේ සංවිධානය කරන ලද පළමු වැඩසටහන මෙය විය.

මෙම දැනුවත් කිරිමේ වැඩසටහන සඳහා අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් රංජිත් විමලසූරිය, උතුරු මැද දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති අයි.ටී.බී.සුගතපාල, තන්තිරිමලේ සහකාර පොලිස් අධිකාරී ඒ.ඩී.සෙනෙවිරත්න, කාර්යාංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (නීති) නෙළුම් සමරසේකර යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.