කම්කරුවන්ගේ සේවය අවසන් කිරීම සම්බන්ධව බලපවත්නා නීතිමය තත්ත්වය

කම්කරුවන්ගේ සේවය අවසන් කිරීම සම්බන්ධව බලපවත්නා නීතිමය තත්ත්වය
මේවන විට රටේ ජනතාවගේ සම්පුර්ණ ජන ජීවිතය හා ආර්ථිකය කඩාවැටී ඇති බව අමුතුවෙන් කිව යුතු නොවේ. උද්ගතවී පවත්නා වසංගත තත්ත්වය හමුවේ සේවක අයිතිවාසිකම් බිඳ වැටෙමින් පවතින බවද පිළිගන්නට සිදුවේ. මේ පිළිබඳව අවධානය යොමු කිරීමේදී, මේ හා සමාන තත්ත්වයක් නොවුවද, 1971 කැරැල්ල සම්බන්ධයෙන් එවකට සිටි සහකාර කම්කරු කොමසාරිස්තුමා වූ එස්. වන්නිආරච්චි මහතා විසින් පළ කරන ලද ලිපියක සඳහන් වන කරුණක් උපුටා දක්වනු වටියි.
 
1. 71 කැරැල්ල නිසා රටේ උද්ගතවූ ආර්ථික හා සාමාජීය විපර්යාස
 
විදේශ විනිමය අඩුවීම ,නිෂ්පාදන කටයුතු අඩාළ වීම, ව්‍යාපාරය කටයුතු අඩපණ වීම නිසා කර්මාන්ත ශාලා නැවතීම සිදුවිය. මෙකී තත්ත්වය මැඩ පැවැත්වීමට රජය මැදිහත්වී කෙටි කාලයක් තුළ එකී කටයුතු රටේ සාමාන්‍ය ජන ජීවිතය යතා තත්ත්වයට පැමිණිය බව සඳහන්ය. කෙසේ වෙතත් මෙම පසුබිම මත එකල කූඨ ව්‍යාපාරිකයින්ගේ හිතුවක්කාරී තත්ත්වය මත සේවකයින් හේතු රහිතව රැකියා ස්ථානවලින් අස් කරන්නට විය. මෙම තත්ත්වයට ස්ථීර විසඳුමක් ලෙස රජය විසින් 1971 අංක 45 දරන කම්කරුවන්ගේ සේවය අවසාන කිරීමේ (විශේෂ) විධි විධාන පනත පාර්ලිමේන්තුව මගින් සම්මත කොට නීති ගත කරන ලදී.
 
මෙකී පනත වර්තමානයේ සේවකයින්ගේ සේවය අවසන් කිරීම අදාළව පවත්නා අදාළ පවත්නා ප්‍රබල පනතකි. මෙම පනත යටතේ කඩිනම් සහන ලබා ගැනීමේ කාර්ය පටිපාටියක්  ක්‍රියාත්මක වේ
 
සේවකයින්ගේ සේවය අවසන් කිරීමේ ක්‍රම 2කි.
 
1. විනයානුකුල අවසන් කිරීම.
2. විනයනුකුල නොවන අවසන් කිරීම.
 
1950 අංක 43 කාර්මික ආරවුල් පනතේ 4වන වගන්තියේ (iv ආ) කොටස අනුව  Retrenchment (සේවකයින් අඩු කිරීම ) Lay-off (තාවකාලිකව සේවය නතර කිරීම),   Closure (වසා දැමීම) යන අවස්ථාවන් සම්බන්ධයෙන් විධිවිධාන දක්වා ඇත. මේ යටතේ යම් සේවකයෙකු සේවා ගිවිසුමක් නැතිව ඉවත් කිරීමට හෝ අඩුකිරීමට අදහස් කරන්නේ නම් මාසයක දැනුම්දීමකින් කළ හැකිය. එහෙත් එහිදී එකී දැනුම්දීමට අදාළ පිටපත්, එම සේවකයාගේ වෘත්තීය සමිතියට සහ කම්කරු කොමසාරිස්වරයාට ද යොමු කළ යුතුය.
 
එහිදී එම දැන්වීමෙන් මාස 2ක් යනතුරු සේවායෝජකයාට අදාළ සේවකයා සේවයෙන් ඉවත් කළ නොහැක. තවද “සේවකයින් අඩුකිරීම“ට අදාළව ඕනෑම ආරවුලකදී සමථකරණය ,බේරුම්කරණය හෝ කාර්මික අධිකරණයට සමථය සඳහා යොමු කළ හැකිය. මෙහිදී සමථය සඳහා කම්කරු කොමසාරිස් වරයා විසින් නියෝගයක් දී ඇති විට මාස 2ක් යනතුරු සේවකයෙකු සේවයෙන් ඉවත් කිරීම කළ නොහැක. කාර්මික ආරවුල් පනතේ 5 වගන්තිය අනුව සේවා යෝජකයෙකු විසින් සේවකයෙකුගේ සේවය අවසන් කිරීම නීතියට පටහැණි වූ විට එය බල ශුන්‍ය වේ. එම පනතේම 6 වගන්තිය අනුව එලෙස නීතියට පටහැණි ලෙස සේවකයෙකුගේ සේවය අවසන් කරන ලද අවස්ථාවක කම්කරු කොමසාරිස් වරයාට පහත නියෝගය කළ හැකිය.
 
1.  එම කම්කරුවාට අඛණ්ඩව සේවය ලබාදීම
2. එම නියෝගය බල පැවැත්වෙන දිනයේ සිට පෙර සේවය කරන ලද තනතුරේම පිහිටුවීම
3. කම්කරුවා එකල ලබාගත් වේතනය සහ අනිකුත් දීමනා ගෙවීම.
 
මෙකී නියෝගය ක්‍රියාත්මක කිරීම සේවායෝජකයෙකුගේ වගකීම වන්නේය. මෙකි නියෝගය කම්කරු කොමසාරිස්වරයා විසින් දෙපාර්ශවයට දැනුම්දිය යුතුය. 6 (අ) වගන්තිය අනුව යම් සේවායෝජකයෙකු විසින් ව්‍යාපාරය හෝ කර්මාන්තයක් වසා දැමූ අවස්ථාවක මෙම පනතේ ප්‍රතිපාදනවලට පටහැණිව කම්කරුවෙකුගේ සේවය අවසන් කළහොත්, කම්කරු කොමසාරිස්වරයා විසින් නියෝග කරනු ලබන දිනක හෝ ඊට පෙර එකී කම්කරුවා නැවත සේවයේ පිහිටුවීම ,වන්දි මුදලක් ප්‍රදානය කිරීම,  පරිතෝෂික හෝ ගෙවිය යුතු වෙනම සහන මුදලක් සේවායෝජකයා විසින් සේවකයාට ගෙවිය යුතුය.
 
වර්තමානයේ උද්ගතව පවත්නා කොවිඩ් 19 තත්ත්වය මත සාමාන්‍ය ජන ජීවිතය අඩාලවී පවත්නා මෙවැනි වටපිටාවක රැකියාවන් අහිමිවූ සහ අහිමිවීමට යන ලක්ෂ සංඛ්‍යාත කම්කරුවන් සහන අපේක්ෂාවෙන් කම්කරු කොමසාරිස්වරයාට පැමිණිලි ඉදිරිපත් කළහොත් ඔහුට එම ඉල්ලීම් වලට සාර්ථකව විසඳුම් ලබාදිය හැකිද යන්න ප්‍රශ්නයක් මතු වේ. පැමිණිලි විමර්ශනය කිරීමට ප්‍රමාණවත් මානව සම්පත් තිබේද, යන්න තවත් ප්‍රශ්නයකි. කෙසේ වුවද කාර්මික ආරවුල් පනතේ ප්‍රතිපාදන අනුව සේවකයාගේ සේවා ආරක්ෂාව සම්බන්ධව එතරම් ප්‍රමාණවත් බලපෑමක් නොමැති බව පෙනී යයි.
 
1971 අංක 45 දරණ කම්කරුවන්ගේ සේවය අවසන් කිරීමේ (විශේෂ)විධිවිධාන පනත අනුව සේවකයෙකුගේ විෂමාචාර ක්‍රියාවන් වලදී විනයානුකූල අවසන් කිරීම් සඳහා ක්‍රියාත්මක වන කඩිනම් හා ප්‍රබල පනතකි. එහි 2(1)වගන්තිය අනුව සේවායෝජකයෙකු විසින් සේවය අවසන් කිරීම පහත කරුණු 2කට යටත්ව මිස සිදු නොකළ යුතුය.
 
1.සේවකයාගේ පූර්ව ලිඛිත කැමැත්ත
2.කම්කරු කොමසාරිස් වරයාගේ පූර්ව ලිඛිත අනුමැතිය
 
2(2))වගන්තිය අනුව සේවකයෙකුගේ සේවය අවසන් කිරීම සඳහා අනුමැතියදීම හෝ ප්‍රතික්ෂේප කිරීම කම්කරු කොමසාරිස්වරයාගේ පූර්ණ අභිමතය මත සිදු වේ. ඔහුගේ තීරණය අවසානාත්මක හා තීරණාත්මක වනු ඇත. මෙකි තීරණය කිසිම අවස්ථාවකදී කම්කරු විනිශ්චය සභාවක අභියෝගයට ලක් කළ නොහැක. එම පනතේ 3(1) වගන්තිය අනුව පහත සඳහන් ගණයට වැටෙන සේවකයින්ට මෙම විශේෂ පනත බලපාන්නේ නැත.
 
1. (1)සේවකයින් 15කට වඩා අඩුවෙන් සේවයේ යොදවා ඇති විට.
2.සේවකයෙකු 6 මාසයකට අඩුවෙන් සේවයේ යොදවා ඇති විට
3.විශ්‍රාම ගන්වන වයස සේවා ගිවිසුමේ සඳහන් කර ඇති අවස්ථාවක
4.රාජ්‍ය සේවයේ යෙදෙන සේවකයෙකුට
5.පළාත් පාලන කාර්යාල
6.සමුපකාර සමිති
7.රාජ්‍ය සංස්ථා
8. යම් කාලයකට බලපාන සහ යම් කිසි නීතියකට පටහැණිව සේවයේ යොදවන ලද කම්කරුවෙකුට මෙකි පනතේ ප්‍රතිපාදන බල නොපායි.
 
ශ්‍රී ලංකාවේ පරිවාස සේවකයින් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පොදු නීති තත්ත්වයක් පිළිගෙන ඇත. එනම් සේවකයෙකු දින 182 ක කාලයක් සේවය කර තිබෙන විට මෙම විශේෂ පනත බලපායි. එමගින් සේවකයාගේ ශ්‍රමය සූරාකෑම වළකා අනියම් සේවකයෙකුගේ තත්ත්වය පිරිනමයි. තවද මෙම විශේෂ විදි විධාන පඩිපාලක සභා පනත ,සාප්පු හා කාර්යාල පනත හා කර්මාන්ත ශාලා ආඥා පනතේ සේවකයින්ට සහ අනෙකුත් පෞද්ගලික අශයේ සේවය කරන සේවය අවසන් කිරීමකදි මෙකි විශේෂ විධිවිධාන පනතේ රැකවරණය ලබාගත හැකිය  එවන් සේවා අවසන් කිරීමකින් මාස 06ක් ඇතුළත කම්කරු කොමසාරිස්වරයාට /කම්කරු විනිශ්චය සභාවකට අයඳුම් පත්‍රයක් ඉදිරිපත් කළ යුතුයි. මෙම පනතේ 17වන වගන්තිය අනුව කම්කරු කොමසාරිස්වරයා විසින් සිදුකරන විමසීම ( inquiry)  ස්වාභාවික යුක්ති මුල ධර්මයට පටහැණි නොවිය යුතුය . කම්කරු විනිශ්ච සභාවේ තීරණ සාධාරණ හා යුක්ති සහගත (just and equitable concept) මූලධර්මයට අනුව සිදුවිය යුතුය.
 
අවසාන වශයෙන් වර්තමානයේ පවතින කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් කම්කරු අයිතිවාසිකම් කප්පාදුවීම් ගැන වෘත්තීය සමිති නායකයින් වරින් වර අදාළ කම්කරු ඇමතිවරයා, කම්කරු කොමසාරිස්වරයා සහ හාම්පුතුගේ සම්මේලනයන් සමඟ සාකච්ඡා පවත්වා කම්කරු අයිතීන් ආරක්ෂා කර ගැනීමට සද්භාවයෙන් වෙර දැරිය යුතුය.
 
සටහන -ලිලන්ති කුමාරි (නීති නිලධාරී)