වෘත්තීය සමිති ක්‍රියාකාරකම් මර්ධනයට පොලිසියට බලයක් තිබේද?දැනගන්න

වෘත්තීය සමිති ක්‍රියාකාරකම් මර්ධනයට පොලිසියට බලයක් තිබේද?දැනගන්න

මෑතකාලයේ සමාජ මාධ්‍ය ඔස්සේ කතා බහට ලක්වෙන ප්‍රධානතම මාතෘකා වලින් වැදගත් මෙන්ම නිවැරදි කරුණු කාරණා ගැන අවබෝධයක් ලබාදිය යුතුම මාතෘකාවක් ගැන අද වැඩබිම නීති පිටුව ඔස්සේ සාකච්ඡා කිරීමට තීරණය කරන ලදී.

පසුගිය කාලවකවානුව තුළ වෘත්තීය සමිති විසින් දියත්කරනු ලබන අරගල,උද්ගෝෂණ හෝ පෙළපාලි එසේ නැතිනම්  විවිධාකාරයේ රැස්වීම් බලහත්කාරයෙන් විසුරුවා හැරීමට මෙන්ම ඒවාට සහභාගිවූවන් අත් අඩංගුවට ගැනීම්,බලාහත්කාරයෙන් රඳවා ගැනීම් ආදිය සමාජ මාධ්‍ය ඔස්සේ කතිකාවට ලක්විය.

මෙවැනි අවස්ථාවලදී අප දැනගත යුතු නීතිමය රාමුව පිළිබද පැහැදිලි අදහසක් පහතින් දැක්වෙයි.

01. ගැටළුව:

අප රටේ වෘත්තිය සමිති සාමාජිකයින් හෝ ක්‍රියාකාරීන් විසින් විවිධ අවස්ථාවන්වලදී පවත්වන විවිධාකාරයේ රැස්වීම්, උද්ඝෝෂණ, පෙළපාලි බලහත්කාරයෙන් විසුරුවා හැරීමට පොලිස් නිලධාරීන් සතු නීතිමය බලතල කවරේද?

පිළිතුර:

මෙහිදී වෘත්තිය සමිති ක්‍රියාකාරීන් විසින් විවිධ අවස්ථාවන්වලදී විවිධාකාරයේ රැස්වීම්, පෙළපාලි, උද්ඝෝෂණ පවත්වනු ලබයි. වෘත්තිය සමිති මගින් පවත්වනු ලබන රැස්වීම් සිදු කරනු ලබන්නේ ඔවුන්ගේ මූලික අයිතියක් ලෙසයි. නමුත් එහි ස්වරූපය අනුව එනම් නීති විරෝධී රැස්වීම් හෝ සාමකාමී රැස්වීම් පවත්වන අවස්ථාවල දී මෙම අයිතිය කප්පාදු වෙමින් පවතින බවක් පෙනෙන්නට තිබේ.

මෙකී රැස්වීමේ නිදහස ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 වන ව්‍යවස්ථාවේ අනු ව්‍යවස්ථා මගින් පැහැදිලි කොට දී ඇත.

 14(1) සෑම පුරවැසියෙකුටම

 අ) භාෂණයේ නිදහසට හා  ප්‍රකාශනය ඇතුළු අදහස් පළ කිරීමේ නිදහසට

 ආ) සාමකාමීව රැස්වීමේ නිදහස

 ඇ) සමාගමේ නිදහස

 ඈ) වෘත්තිය සමිති පිහිටුවීමේ සහ වෘත්තිය සමිති වලට බැඳීමේ නිදහස

ඒ අනුව කිසියම් පෙළපාළියක්, රැස්වීමක්, පිකටින් ව්‍යාපාරයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 1  (අ) සහ 14 1 (ආ) අනු ව්‍යවස්ථා අනුව වෘත්තිය සමිති අයිතිවාසිකම් ක්‍රියාත්මක කරන විට ඒ සඳහා  ප්‍රබල හේතුවක් නොමැතිව එවැනි රැස්වීමක් විසුරුවා හැරීමට පොලිසියට බලතල නොමැත.  ක්‍රියාකාරීන් විසින් මාර්ගය අවහිර කරමින් ගල්වලින් පහර දෙමින් ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරෙමින් එකී පිරිස පලවා හැරීමට  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 15 (7) අනු ව්‍යවස්ථාව පරිදි එනම් රාජ්‍ය ආරක්ෂාව, රටේ යථා පැවැත්ම තහවුරු කිරීම පිණිසත් මහජන සෞඛ්‍යය හෝ සදාචාරය ආරක්ෂා කිරීම පිණිසත් අන්‍යයන්ගේ අයිතිවාසිකම් හා නිදහස නිසි පරිදි පිළිගන්නා බවට සහ ඊට නිසි පරිදි ගරු කරන බවටත් යන සීමාවන්ට පමණක් යටත් වෙයි.

 02. ගැටළුව:

සාමාන්‍ය ජනතාවගේ නිදහසට බාධාවන අයුරින් පොලීසිය මගින් අත්තනෝමතික අත්අඩංගුවට ගැනීමේ ක්‍රියාවලිය මගින් පුරවැසියන්ගේ මූලික අයිතීන් මෙන්ම මානව අයිතීන් ද උල්ලංඝනය වීමට හැකියාවක් ඇත්තේ ද?

පිළිතුර

රටේ පුරවැසියන්ගේ මූලික අයිතීන් පිළිබඳ නීතිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3වන පරිච්ඡේදය මඟින් ද මානව අයිතීන් නැමැති පුළුල් පරාසය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනයේ 12 වගන්තිය මගින්ද දක්වා ඇත. ඒ අනුව කිසිම පුරවැසියෙකුගේ පෞද්ගලිකත්වයට, සාධාරණ හේතුවක් මත මිස බාධා නොකළ යුතුයි. ඒ වගේම නීත්‍යානුකූලව මිසක අත්අඩංගුවට ගැනීමට බන්ධනාගාර ගත කිරීමකට ලක් නොවීමේ අයිතිය සියල්ලන්ටම සමානව හිමි වී ඇත.

එපමණක් නොව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 (1) අනු ව්‍යවස්ථාව අනුව කිසිම තැනැත්තකු නීතියෙන් නියම කරනු ලැබූ කාර්ය පටිපාටියට අනුකූලව මිස සිරභාරයට ගැනීම නොකල යුතු වන්නේය. යම් තැනැත්තෙකු සිරභාරයට ගනු ලබන්නේ යම් හේතුවක් මත ද ඒ හේතුව ඒ තැනැත්තාට වහාම දැන් විය යුත්තේය. මේ අනුව සිරභාරයට නැතහොත් අත්අඩංගුවට පත්වන සෑම තැනැත්තෙකුටම තමාගේ නිදහස අහිමි කරන්නේ මන්දැයි දැනගැනීමට අයිතියක් ඇත. අත්අඩංගුවට ගැනීම වරෙන්තුවක් සහිතව හෝ රහිතව සිදුවිය හැකිය. නමුත් පොලිස් නිලධානිලධාරියකු විසින් යම් සැකකරුවකු අත්අඩංගුවට ගන්නේ යම් සැකයක් මත පමණක් නම් සහ එසේ රඳවා තබා ගැනීම නීති විරෝධී ලෙස සිදුකර ඇත්තේ නම් එකී පොලිස් නිලධාරියාට එරෙහිව නීතිමය පියවර ගත හැකිය.

03. ගැටළුව:

යම්  තැනැත්තෙකු පොලිස් අත්අඩංගුවට ගෙන පොලිස් භාරයේ තබා ගත හැකි කාල සීමාව කොපමණද?

පිළිතුර

පොලිස් නිලධාරියකු විසින් යම් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන අදාළ මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීම  පැය 24ක කාලයක් තුළ සිදුකළ යුතුය. අපරාධ නඩු විධාන සංග්‍රහ පනතට අනුව මෙසේ පැය 24 ක කාලසීමාව යම් ආකාරයකින් ඉක්මවා යා හැක්කේ අදාල සැකකරුව මහේස්ත්‍රාත් වරයා ඉදිරියට ගෙන යෑමට ගතවන කාලය වෙනුවෙන් පමණි. නමුත් අපරාධ නඩු විධාන සංග්‍රහ  සංශෝධන පනත අනුව සැකකරුවකු රඳවා තබා ගැනීමේ උපරිම කාලය පැය 48 දක්වා දීර්ඝ කළ හැකිය. එපමනක් නොව 1978 අංක 48 දරණ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අනුව පැය72 දක්වා සැකකරුවෙකු රඳවා තබා ගත හැකිය.