කාන්තාවන්ට හා ළමුන්ට එරෙහිව සිදුවන ප්‍රචණ්ඩත්වයට අදාළ නීතිමය පසුබිම

කාන්තාවන්ට හා ළමුන්ට එරෙහිව සිදුවන ප්‍රචණ්ඩත්වයට අදාළ නීතිමය පසුබිම

අප සමාජයේ කාන්තාවන්ට හා ළමුන්ට සිදුවන හිංසනය ප්‍රචණ්ඩත්වය සහ වෙනස්කම් මගින් සමස්ත මානව ගරුත්වය හා මානව අයිතිවාසිකම් උල්ලංඝනය සිදුවේ. එමගින් දේශපාලන සමාජීය සංස්කෘතික හා ආර්ථික ජීවිතයේ දී සමාජයේ හා පවුලේ දියුණුවට තම හැකියාවන් වර්ධනය කර ගැනීමට කාන්තාවන්ට බාධාවන් පැමිණේ. මානව හිමිකම් සුරකින සමාජයක් තුළ කාන්තාවන්ට සහ ළමුන්ට එරෙහිව සිදුවිය හැකි ප්‍රචණ්ඩත්වය පිටු දැකීම සඳහා දේශීය  හා  ජාත්‍යන්තර වශයෙන් පවතින නීතිමය තත්ත්වයන් පිළිබඳව අවබෝධයක් සමස්ත ජන වර්ගයාටම තිබිය යුතුය.

මෙහිදී යම් පුද්ගලයෙකු ලිංගිකත්වය මත ස්ත්‍රී හෝ පුරුෂයෙකු යනුවෙන් වෙන්කොට දැක්වීම ස්ත්‍රී පුරුෂ සමාජභාවය යනුවෙන් හඳුන්වයි. මෙහිදී කාන්තාවන්ට සහ ගැහැනු ළමුන්ට එරෙහිව සිදුවන ‍ප්‍රචණ්ඩ ක්‍රියා පවුල තුලින්,  ප්‍රජාව තුළින් හා රාජ්‍ය මගින් සිදුවිය හැකිය.

පවුලෙන් තුළ හිංසාවන් ලෙස ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය , ව්‍යභිචාරය (ලේ තීන් අතර සිදුවන්නාවූ ලිංගික සම්බන්ධතා ), වෛවාහක ස්ත්‍රී දූෂණය සැලකිය හැක.

ප්‍රජාව තුලින් සිදුවන හිංසාවන් ලෙස ලිංගික අතවර කිරීම,  ස්ත්‍රී දූෂණය, ලිංගික අඩන්තේට්ටම් කිරීම, ගණිකා වෘත්තිය, ගබ්සා කිරීම ආදිය දැක්විය හැකිය.

රාජ්‍ය තුලින් සිදුවන හිංසාවන් ලෙස ලිංගික අල්ලස් ලබා ගැනීම, සේවා ස්ථාන මාරු කිරීම, මානසික හිංසනය, විදේශගත ශ්‍රමිකයින්ට නිසි රැකවරණ ලබා නොදීම, ආදිය ප්‍රචණ්ඩත්වයන් හා හිංසන ලෙස නම් කළ හැකිය.

 සියලුම ප්‍රචණ්ඩත්වයට හේතුන් ලෙස  පුරුෂාධිපත්ය, සංස්කෘතික මතවාද, සෘණාත්මක  ආකල්ප  දැක්විය හැකිය.  විශේෂයෙන්ම  මෙවැනි ප්‍රචණ්ඩකාරී තත්ත්වය  යුදමය  තත්ත්වයන් වලදී  මෙන්ම වසංගත covid 19 වැනි  ස්වභාවික විපත් කාලයන් තුළ කාන්තාවන්ට සහ ගැහැනු දරුවන්ට එල්ල විය හැකි හිංසන තත්ත්වයන් වැඩිවීමට හේතු වී ඇත. එමෙන්ම මෙකී ප්‍රචණ්ඩ  ක්‍රියාවලට හේතුවී ඇත්තේ ඇයගේ ලිංගිකත්ව යයි.මෙවැනි  කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය තුළින් බරපතළ වූ සමාජ හානි සිදුවිය හැකිය .මෙලෙස දියණියක් හෝ කාන්තාවක් විටක මවක්, දියණියක්, සහෝදරියක් හෝ බිරිඳක් විය හැකිය.   තවද  කාන්තාව සාම්ප්‍රදායික හා නූතන කාර්යභාරය තුළ ස්වාමිපුරුෂයාගේ අවශ්‍යතා ඉටු කිරීම, දරුවන් වැදීම, පෝෂණය කිරීම, ආර්ථිකයට දායකත්වය ලබාදීම, සාමාජීය හා වෘත්තිමය වශයෙන් විවිධ වගකීම් දැරීම සිදුකරනු ලබයි. එමෙන්ම  මෙවන් ප්‍රචණ්ඩකාරී තත්ත්වයකට මුහුණ දෙන්නා වූ කාන්තාව හෝ දියණිය ශාරීරික මානසික බිඳවැටීම මත ඇගේ පෞර්ෂතාවය දුර්වලවී තම පවුලට හා සමාජයට කරනු ලබන කාර්යභාරයේ වෙනසක් හා දුර්වල තත්ත්වයක් ඇති වී ඒ තුළින් සමස්ත සමාජයට ලැබෙන දායකත්වය පිරිහීමට ලක්වෙයි.

මෙවර කාන්තා ප්‍රචණ්ඩත්වයට එරෙහි දින 16 ක්‍රියාකාරීත්වය පදනම් කරගත් ගෝලීය තේමාව වන්නේ කාන්තාවන්ට එරෙහි ගෘහස්ත සහ වැඩ ලෝකය තුළ සිදුවන්නාවූ ප්‍රචණ්ඩත්වය තුරන් කිරීමයි. දැනට වසර තිහක් පුරාවට ගෝලීය වශයෙන් මෙම දින16 වැඩසටහන පවත්වාගෙන යයි. සෑම වසරකම නොවැම්බර් මස 25 වන කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්ව දිනය  තුළ  මෙකී වැඩසටහන ආරම්භක දිනය ලෙසත් දෙසැම්බර් 10 වන දින ජාත්‍යන්තර මානව හිමිකම් දිනය  තුළ වැඩසටහන අවසන් වෙයි.එසේ නමුත් මෙකී කාන්තාවන්ට හා ගැහැණු දරුවන්ට සිදුවෙන ප්‍රචණ්ඩත්වය හා හිරිහැර කිරීම පිළිබඳව සමස්ත සමාජයම අවදානයෙන් සිටිමින් ඔවුන්ට නිසි රැකවරණ ලබා දීමට උත්සුක විය යුතුයි.

මෙම විවිධාකාර මුහූවරක් ගන්නා ප්‍රචණ්ඩත්වයට නීතිමය රාමුව තුළ කුමන ආකාරයේ ප්‍රතිපාදන පවතිනවාද යන්න පිළිබඳව සොයා බැලිය යුතුයි. යම්කිසි කාන්තාවකට  තම ගෘහය තුළ සිදුවන්නා වූ මානසික, ශාරීරික ‍ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් දැනටමත් 2005 අංක 34 දරණ ගෘහස්ත ප්‍රචණ්ඩත්ව පනත  මගින් රැකවරණය ලබාගත හැකිය .එපමණක් නොව ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත වෙනස්කමකට ලක් නොකිරීමේ  ප්‍රතිපාදන ඇතුළත් ප්‍රධානම  ජාත්‍යන්තර සම්මුතිය වන මිනිස් අයිතිවාසිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශය මඟින් පැහැදිලිව දක්වා ඇත.


මෙම විශ්ව ප්‍රකාශනය මගින් ජාතිය, වර්ණය, ස්ත්‍රී පුරුෂ භාවය, භාෂාව, ආගම, දේශපාලනය, සමාජ තත්ත්වය, දේපල, උපත ආදී කවර තත්ත්වයක හෝ විශේෂයක් නොමැතිව මෙහි සඳහන් සියලු හිමිකම් වලට හැම පුද්ගලයෙකුම උරුමකම් කියන්නේය යනුවෙන් ඉතා පුළුල් නිර්වචනයක් ලබාදේ. මේ හා සමාන අර්ථ නිරූපණයක් සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය මගින්ද දක්වා ඇත. මෙම සම්මුතිය ශ්‍රී ලංකාව විසින් අපරානුමත කර ඇත. සියලුම තැනැත්තන් නීතිය ඉදිරියේ සමාන  රැකවරණ ලැබීමට හිමිකම් ඇත්තේය .නීතියේ රැකවරණ ලැබීමේදී ස්ත්‍රී පුරුෂ භාවය, වර්ණය, ජාතිය, භාෂාව ආගම, දේශපාලනය ආදී කිසිදු තත්ත්වයක් මත වෙනස්කම් කිරීමට ලක් කළ නොහැක .තවද කාන්තාවන්ට එරෙහි සියලු ආකාරයේ විශේෂ කොට සැළකීම තුරන් කිරීම පිළිබඳ සම්මුතිය මගින් ද කාන්තාවන්ට රැකවරණය ලබා දී ඇත. ළමයින් සම්බන්ධයෙන් ළමා අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය දැක්විය හැකිය. තවද කෲර අමානුෂික වධහිංසා සහ අවමන් සහගත සැලකිලි හා දඬුවම් පිටුදැකීමේ ජාත්‍යන්තර සම්මුතිය සමස්ත ප්‍රචණ්ඩත්ව සහ හිරිහැරයන් ප්‍රතික්ෂේප කොට ඇත.  

කාන්තා හා ළමා අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතියේ ඇති ප්‍රතිපාදන දේශීය ව්‍යවස්ථාවට 1995 අංක 22 දරන දණ්ඩනීති සංග්‍රහ සංශෝධන පනත මගින් ඇතුළත් කොට ඇත. එහි 345 වගන්තිය මගින් ලිංගික හිංසනයට එරෙහිව දණ්ඩනයෙන්  ප්‍රතිපාදන දක්වා ඇත. එසේම  1994  අංක 22 දරන වධහිංසාවට එරෙහි වූ පනත මගින් එක්සත් ජාතීන්ගේ  වධහිංසාවට එරෙහි සම්මුතිය දේශීය නීතියට ඇතුළත් කරගත කදිම අවස්ථාවකි. තවද 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා  මගින්  මානව අයිතිවාසිකම් කිහිපයක් මූලික අයිතිවාසිකම් ලෙස පිළිගෙන ඇත. මෙකී අයිතිවාසිකම් තුළ ස්ත්‍රී පුරුෂ සමාජභාවය හා බැඳුණු අයිතිවාසිකම් දෙකකි .එනම්  12 ව්‍යවස්ථාව මගින් දක්වා ඇති සමානාත්මතාවය සහ 11 වන ව්‍යවස්ථාව මගින් පිළිගෙන ඇති කෲර අවමන් සහගත වධහිංසා සහ සැලකිල්ලට ලක් නොවී සිටීමේ අයිතිවාසිකමයි. තවද 12 (2)  ව්‍යවස්ථාව මගින් ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත කිසිවකු වෙනස්කමකට ලක් නොකළ යුතු බව වැඩිදුරටත් සඳහන් වේ .

ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය යනු ශාරීරික හෝ මානසික වශයෙන් නිවස තුළදී හිංසාවට පත් වීමයි. මෙහිදී බොහෝ දුරට වාර්තා වන්නේ ශාරීරික හිංසනය පමණි .නමුත් මානසික හිංසනය නිසා සිදුවන්නාවූ අගතිය කෙතරම් දැයි මැනිය නොහැක. මෙම තත්ත්වය ඉතා බරපතළ ප්‍රතිඵල ඇති කරන්නා වූ තත්ත්වයකි. මේ සම්බන්ධයෙන් ගෘහස්ථ ප්‍රචණ්ඩත්ව වැළැක්වීමේ පනත සම්මත කරගැනීමෙන් පසු යම් ආකාරයක ආරක්ෂාවක්  ගෘහයේ  සිටින  කාන්තාවන්ට ලැබී ඇත. 

වර්තමානයේ කාන්තාවන් හා ගැහැණු දරුවන් බොහෝ දුරට ගෘහ සේවයේ යෙදෙන බව අප කවුරුත් දන්නා කරුණකි.. මොවුන් රැකියාව කරන ගෘහය තුළද ඔවුන්ට ප්‍රචණ්ඩත්වයෙන් සහ හිංසනයෙන් තොරව එම සේවාවන් හි නිරත වීමට අයිතිවාසිකම් ඇත. එනම් ගෘහයේ යෙදෙන සේවිකාවන්ද  සේවකයන් ලෙස සැලකිය යුතු බවත් ඔවුන්ට ගරුත්වයකින් යුතුව තම සේවාව  ලබාදීමට අයිතියක් ඇති බවත් 2011 වර්ෂයේදී ලෝක කම්කරු සම්මේලනය මගින් සම්මත කර ගන්නට යෙදුණු 189 සම්මුතිය සහ ඊට අදාළ 201 වැනි නිර්දේශය මගින් පැහැදිලි වේ .

එපමණක් නොව වැඩ ලෝකය තුළ සිදුවන්නාවූ මානසික, ශාරීරික,  ලිංගික  හා ආර්ථික හිරිහැර හා ප්‍රචණ්ඩත්වය දුරලීම සඳහා 190 ජාත්‍යන්තර සම්මුතිය සහ 206 නිර්දේශය  2019දී ලෝක කම්කරු සංවිධානය මගින් පිළිගන්නට විය. මෙම සම්මුතීන් 2  ශ්‍රී ලංකාව විසින් සම්මත කරගැනීමට ශ්‍රී ලංකා රජය උත්සුක විය යුතුය. එනම් බොහෝ කාන්තාවන් රටේ ආර්ථිකයට සෘජුව සහ වක්‍රව දායකත්වය ලබා දෙමින් වැදගත් මෙහෙයක් ඉටුකරයි. නමුත් මෙම ප්‍රචණ්ඩත්වය හේතුකොටගෙන බොහෝ කාන්තාවන් ශ්‍රම බලකායෙන් ඉවත්  වීම ජාතික ආර්ථිකයට සෘජුව බලපායි.

මේ අනුව කාන්තාවන්ට සහ ගැහැණු දරුවන්ට එරෙහිව සිදුවන්නාවූ ගෘහස්ථ සහ වැඩ ලෝකය තුළ සිදුවන්නාවූ ප්‍රචණ්ඩත්වය පිටුදැකීමට අත්‍යාවශය කාලයකි. මෙම දින 16 ක්‍රියා කාරීත්වය වැදගත් කාල පරිච්ඡේදයක් වන්නේ පුද්ගලයන් කන්තාවන් හිරිහැරයට පත්කිරීම ගැන ලැජ්ජාවට පත් වී ප්‍රචණ්ඩත්වය දුරුකරගැනීමට අවස්ථාවක් උදාකර ගැනීමයි. මෙම ප්‍රචණ්ඩත්වය හා හිරිහැර සම්බන්ධව කෙතරම් ජාතික නීති හා ජාත්‍යන්තර නීති පැවතුනද එතුළින් පමණක් ප්‍රචණ්ඩත්වය දුරු කිරීමට නොහැකියි. මෙහිදී වඩා වැදගත් වන්නේ පුද්ගලයින්ගේ සහ සමාජීය ආකල්ප වෙනස් කිරීමයි.