ත්‍රස්තවාදය වැළැක්වීම සම්බන්ධ නඩු කටයුතු

ත්‍රස්තවාදය වැළැක්වීම සම්බන්ධ නඩු කටයුතු

අද දවසේ අප ඔබ වෙත දැනුවත් කිරීමට බලාපොරොත්තු වන්නේ "දේශපාලනික අරමුණු මත සාහසික ක්‍රියාවන් සහ බිය වැද්දීම් සිදු කිරීම" ත්‍රස්තවාදයේ මූලික ලක්ෂණයක් බැවින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඇති ප්‍රතිපාදන කෙරෙහි එකී බලපෑම්හි ඇති නෛතික බලපෑම කවරේද යන්න සම්බන්ධව ඔබගේ දැණුම අවදි කිරීමයි..

01. ගැටළුව:

සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය හෙවත් ICCPR ACT යනු කුමක්ද? සහ එහි ඇති නීතිමය බලපෑම කෙසේද?

පිළිතුර:

එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් 1966 දී එක්සත් ජාතීන්ගේ සමුළුවේදී සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ  ජාත්‍යන්තර සම්මුතිය ට අත්සන් තබා ඇති අතර 1977 වසරේ සිට මෙම සම්මුතිය බලාත්මක වී ඇත. ශ්‍රී ලංකාව මෙම සම්මුතියට සම්බන්ධ වන්නේ 1980 වසරේ සිටය. ශ්‍රී ලංකාවේ බල පවත්නා නීතිමය තත්ත්වය අනුව  කිසියම් ජාත්‍යන්තර සම්මුතියක් ශ්‍රී ලංකාවේ නීතිය බවට පත් වීමට නම් ඒ සඳහා පනතක් සම්මත කළ යුතුය. එනම් ශ්‍රී ලංකාව ද්වින්‍යාය (dualist) සහිත රටක් බැවිනි. ඒ අනුව 2007 අංක 56 දරන සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය පනත සම්මත කර ගන්නා ලදී.

 එම පනතේ 3 (1) වගන්තිය අනුව කිසිම තැනැත්තෙකු ජාතීන් අතර අසමගිය ඇති කිරීමට හෝ ජාතීන් අතර වෛරය පැතිරවීමට ක්‍රියා නොකළ යුතුය. එබඳු වරදකට තැත් කිරීම, අනුබල දීම, ‍ත්‍රස්තවාදී ක්‍රියා කරන බවට තර්ජනය කිරීම පනතට අදාලව දඬුවම් ලැබිය හැකි වරදකි. මෙබඳු වරදක්  සම්බන්ධයෙන් මහාධිකරණයෙන් යම්   පුද්ගලයෙකු වරදකරු කරනු ලැබුවහොත් වසර දහයක් නොඉක්මවන කාලයකට බරපතල වැඩ ඇතිව බන්ධනාගාර ගත කළ හැකිය. මෙම පනතේ සඳහන් වැරැද්දක් සම්බන්ධව යම් පුද්ගලයෙකු වැරදිකරුවෙකු වූ විට වරෙන්තු නැතුව අත්අඩංගුවට ගැනීම සහ ඇප ලබාදිය නොහැකි වරදක් බවට සැලකේ. එවැනි අවස්ථාවලදී ඇප ලබාගත හැක්කේ මහාධිකරණයෙන් පමණි.

02. ප්‍රශ්නය

ත්‍රස්තවාදයට මුදල් සැපයුම මැඩපැවැත්වීමේ සම්මුති පනත යනු කුමක්ද?.

පිළිතුර 

එක්සත් ජාතීන්ගේ තවත් එක් ජාත්‍යන්තර සම්මුතියක් ලෙස මෙම සම්මුතිය හැඳින්විය හැක.මෙය ත්‍රස්තවාදීන්ට හෝ ත්‍රස්තවාදී කණ්ඩායම්වලට, සංවිධානවලට මුදල් රැස් කිරීම සම්බන්ධයෙන් වූ සම්මුතියකි. මෙම සම්මුතියට ලංකාව 2000 වසරේදී පාර්ශවකරුවෙකු විය. ජාත්‍යන්තර සම්මුතිය බලාත්මක වීම සඳහා වර්ෂ 2005 අංක 25 දරන ත්‍රස්තවාදීන්ට මුදල් සැපයීම මැඩපැවැත්වීමේ සම්මුති පනත ශ්‍රී ලංකාවේ නීතිගත කරන්න විය. එම පනතේ 3 වගන්තිය අනුව ත්‍රස්තවාදීන්ට හෝ ත්‍රස්තවාදී සංවිධාන වලට මුදල් රැස් කිරීම වරදකි. එම වරදට අනුබල දීම සහ එම වරද කිරීමට යම් කණ්ඩායමක් හෝ තැනැත්තකු සමඟ පොදු අරමුණක් ඇතිව ක්‍රියා කිරීමද වරදකි. මෙකී වරදට මහාධිකරණය පවත්වන නඩු විභාගයකින් වරදකරු වුවහොත් වසර 15 කට නොඅඩු වසර 20 කට නොවැඩි කාලයකට  බන්ධනාගාර ගත කිරීමකින් දඬුවම් කළ හැකිය. තවද මෙම පනත යටතේ එම වරදට අධි චෝදනා ලැබූ පසු අදාල පුද්ගලයාගේ බැංකු ගිණුම් තහනම් කළ හැකිය.

03. ප්‍රශ්නය 

ත්‍රස්තවාදය වැළැක්වීම සම්බන්ධව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඇති ප්‍රතිපාදන කවරේද?.

පිළිතුර 

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 ව්‍යවස්ථාවේ අනු ව්‍යවස්ථා 7 මගින් එය මනාව පැහැදිලි කර ඇත.

ඒ අනුව 13(1)  ව්‍යවස්ථාවන් නීතියෙන් නියම කරනු ලැබූ ආකාරයට මිස කිසිම තැනැත්තෙකු සිරභාරයට ගැනීම නොකළ යුතුය. යම් තැනැත්තකු සිරභාරයට ගනු ලබන්නේ යම් හේතුවක් මත ද ඒ හේතුව ඒ තැනැත්තාට දැන්විය යුතුය. එසේම 13 (2) ව්‍යවස්ථාවෙන් අත්අඩංගුවේ තබා ගනු ලැබූ  හෝ වෙන ආකාරයකින් පෞද්ගලික නිදහස අහිමි කරනු ලැබූ සෑම තැනැත්තකුම නීතිමය ප්‍රතිපාදන අනුව එම තැනැත්තාව ආසන්නතම නිසි අධිකරණයකට ඉදිරිපත්කොට විනිසුරුගේ නියෝගය මත මිස එකී තැනැත්තාව අත් අඩංගුවේ තබා ගැනීම හෝ රඳවා තබා ගැනීම හෝ ඒ තැනැත්තාගේ පෞද්ගලික නිදහස අහිමි කිරීම හෝ සිදු නොකළ යුතුය.

එසේම 13 (3) ව්‍යවස්ථාව අනුව වරදක් සම්බන්ධයෙන් යම් තැනැත්තෙකුට විරුද්ධව චෝදනා නගා ඇති විට එකී තැනැත්තාට නිසි අධිකරණයක් ඉදිරියේ සාධාරණ නඩු විභාගයකට හෝ පෞද්ගලිකව නීතිඥවරයකු මගින් තම නිදහසට කරුණු කියා සිටීමට හිමිකම් ඇත්තේය.

13 (4) ව්‍යවස්ථාව නීතියෙන් නියම කරනු ලැබූ ආකාරයකට  අනුකූලව නිසි අධිකරණයක් විසින් කරනු ලැබූ නියෝගයක් අනුව මිස කිසිම තැනැත්තකු මරණීය දණ්ඩනයට  යටත් කිරීම හෝ බන්ධනාගාර ගත කිරීම නොකළ යුත්තේ ය. නමුත් විමර්ශනයක් පවත්වන තෙක් හෝ නඩු විභාගයක් පවත්වන තෙක් හෝ යම් තැනැත්තෙකු සිරභාරයට ගැනීම, අත් අඩංගුවේ තබා ගැනීම, රඳවා තබා ගැනීම හෝ වෙනයම් ආකාරයකින් ඒ තැනැත්තාගේ පෞද්ගලික නිදහස අහිමි කිරීම වරදක් නොවන්නේය.

13(5) ව්‍යවස්ථාවට අනුව  යම් තැනැත්තෙකු වරදකරුවකු යැයි ඔප්පු කරන තෙක් සෑම තැනැත්තකුම නිර්දෝෂි බවට පූර්ව නිගමනයක් ඇත්තේය. එසේ වුවද විශේෂ වූ සිද්ධි සම්බන්ධයෙන් ඔප්පු කිරීම චූදිත තැනැත්තාට පැවැරේ.

(6)  ව්‍යවස්ථාව අනුව  යම් ක්‍රියාවක් කළ හෝ නොකර හැරීමක් සිදු වූ අවස්ථාවේ දී ඒ ක්‍රියාව හෝ නොකර හැරීම වරදක් නොවේ නම් කිසිම තැනැත්තකු ඒ සම්බන්ධයෙන් වරදකට වරදකරු නොවන්නේය. තවද යම් වරදක් සිදු කර ඇති අවස්ථාවකදී ඒ වරද සම්බන්ධයෙන් නියම කර ඇති දඬුවමට වඩා වැඩි කිසිම දඬුවමක් ඒ තැනැත්තාට ලබා නොදිය යුතුය.

13(7) ව්‍යවස්ථාව අනුව ආගමික හා විගාමික පනතේ 1967 අංක 14 දරන ඉන්දු ලංකා ගිවිසුම් පනතේ හෝ එකී පනතේ විධිවිධාන යටතේ කරනු ලබන රටින් පිට කිරීමේ නියමයක් හේතුවෙන් යම් තැනැත්තකු සිරභාරයට ගැනීම, අත් අඩංගුවේ තබා ගැනීම, රඳවා තබා ගැනීම හෝ අන්‍ය ආකාරයකින් ඒ තැනැත්තාගේ පෞද්ගලික නිදහස අහිමි කිරීම මෙම ව්‍යවස්ථාව කඩකිරීමක් නොවන්නේය .

තවද මෙම ව්‍යවස්ථාවන් යටතේ පවතින්නාවූ අයිතිවාසිකම් භුක්ති විඳීමේ දී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 15 ව්‍යවස්ථාවේ ඇති අනු ව්‍යවස්ථාවලින්  පිළිගෙන  ඇති   රාජ්‍ය ආරක්ෂාව තහවුරු කිරීම පිණිස නීතියෙන් නියම කර  ඇති සීමා කිරීම් වලට යටත්වේ. තවද මහජන ආරක්ෂාව පිළිබඳ අදාලවන නීතිය යටතේ  සඳහන් කරන නියෝග වලටද  මෙකී අයිතීන් සීමා වේ.