සේවා ස්ථානයේ දී සිදුවන ලිංගික  හා ශාරීරික හිරිහැර වලක්වා ගන්නේ කෙසේද?

සේවා ස්ථානයේ දී සිදුවන ලිංගික  හා ශාරීරික හිරිහැර වලක්වා ගන්නේ කෙසේද?

බොහෝ සේවා ස්ථානවලදී ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවයටම සිදුවන ලිංගික හිරිහැර පිළිබඳ ප්‍රශ්නය අද ප්‍රමුඛ මාතෘකාවක් බවට පත්ව ඇත. මෙකී හිරිහැර සේවායෝජකයාගෙන් සේවකයාට, සේවකයෙකුගෙන් තවත් සේවකයෙකුට සහ අධීක්ෂකවරුන්ගෙන් පහළ නිලධාරීන්ට නිරන්තරයෙන්ම සිදුවෙනවා දක්නට ලැබෙයි.

මනසින් උසස් නිසා මිනිසා යැයි පැවසුවද මිනිසාගේ නොමනා හැසිරීම් හා පහත් ආකල්පයන්  නිසා බොහෝ වෙලාවට පීතෘ මූලික සමාජයකින් කාන්තාවන් පහත් යැයි සලකා  ඔවුන්ට උසුළු විසුළු කිරීම්,  මානසික සහ ශාරීරිකව යම් යම් කරදර  සිදු කරනු ඇත. එහි ප්‍රතිපලයක් ලෙස සේවය අතහැර යෑම දක්වා වූ සෘනාත්මක බලපෑමක් සිදුවිය හැකිය.

එපමණක් නොවෙයි බොහෝ වෙලාවට සේවා ස්ථානවලින් සිදු වන්නා වූ එකී හිරිහැර සුළු කොට තකා ඊට ගොදුරුවන්නන් ඒවා ගණන් නොගැනීමේ ස්වභාවයක් පවතී.මෙම ලිංගික හිරිහැර ගැන සලකා බලන විට සේවයට බඳවා ගැනීම, උසස් වීම් සහ ස්ථාන මාරුවීම් සම්බන්ධයෙන් වෙනස් කොට සැලකීමද  සඳහන් කළ හැකිය.

ලිංගික අතවර කිරීම ශ්‍රී ලංකාවේ අපරාධ නීතියට අනුව සාපරාදී වරදකි. එනම් මෙම ක්‍රියාවන් ස්ත්‍රීන් සහ පුරුෂයින්ගේ ගෞරවයට බලපෑම් කරන්නක් ලෙස හැඳින්විය හැකිය. 

මෙම සිද්ධියට ගොදුරු වෙන අයගේ කැමැත්තකින්, පෙළඹවීමකින්, පිළිගැනීමකින් තොරව අසාධාරණ හා අහිතකර ලෙස කරනු ලබන බලපෑමක් ලෙස හැදින්විය හැකිය..

මෙවන් ලිංගික හිරිහැර කිරීම දේශීය නීතියේ මෙන්ම ජාත්‍යන්තර නීතිය යටතේ බරපතල  වරදකි. ශ්‍රී ලංකා දණ්ඩ නීති සංග්‍රහය,ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව දේශීය නීතිය ලෙස සඳහන් කළ හැකිය. 

තවද කාන්තාවන්ට එරෙහි සියලූ ආකාරයේ වෙනස්කම් කිරීම් තුරන් කිරීමේ ප්‍රඥප්තිය ප්‍රධාන තැනක් ගනියි. මෙම ප්‍රඥප්තිය පදනම් කරගෙන ශ්‍රී ලංකාවේ සකස් කර ඇති ශ්‍රී ලංකා කාන්තා ප්‍රඥප්තිය අනුව ලිංගික හිරිහැර තුරන් කිරීමට රටක් ලෙස බැඳී ඇත. තවද, 2019 වර්ෂයේ ලෝක කම්කරු සංවිධානය විසින් සම්මත කරගන්නා ලද 190  ජාත්‍යන්තර සම්මුතිය මඟින් වැඩ ලෝකයේ සිදුවන ශාරීරික හා මානසික හානි, ආර්ථික හානි ප්‍රචණ්ඩත්වය සහ හිංසනය දුරළීමේ  සම්මුතිය මගින් මනාව පැහැදිලි වේ. මෙමඟින් ඉතා පුළුල් අර්ථකථනයක් හිංසනය සහ ප්‍රචණ්ඩත්වය යන සංකල්පවලට ලබා දී ඇත. 

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) (2)  (4) වගන්ති මගින නීතිය ක්‍රියාත්මක කිරීමේදී රැකවරණයේදී සර්ව සාධාරණ වීම, කිසිම පුරවැසියෙකුට ආගම, භාෂාව, ස්ත්‍රී පුරුෂ භාවය,  දේශපාලන මතය,උපන් ස්ථානය යන හේතු මත වෙනස්කමකට හෝ විශේෂයකට භාජනය නොවිය බව යුතු බවයි සඳහන්ව ඇත. 

සේවයේ යෙදීමේ අයිතිය සෑම මනුෂ්‍යයෙකුටම අහිමි කළ නොහැකි අයිතියකි.  ස්ත්‍රී පුරුෂ භාවය පදනම් කරගත්  ලිංගික හිංසාවන්ට ලක් වන විට රැකියාවක් තුළ තිබිය යුතු සමානාත්මතාවයට දරුණු ලෙස බලපායි. තවද ඕනෑම අයෙකුට ගරුත්වයක් සහිතව රැකියාවක යෙදීම මූලික මානව අයිතිවාසිකමක් ලෙස හැඳින්වුවද මෙම ගෞරවනීය ලෙස සේවය කිරීමේ අයිතිය තහවුරු වීමට නම් එකිනෙකා කෙරෙහි ගරුත්වය ආරක්ෂා කිරීම සඳහා නිසි පියවර ගැනීම සේවායෝජකයාගේ  වගකීමකි. ජාත්‍යන්තර නීතියෙන්  මෙම තත්ත්වයන් දැඩි ලෙස හෙලා දකින්නේ ගරුත්වයෙන් යුතුව රැකියාවේ යෙදීම සංකල්ප පදනම් කරගෙනය. එමෙන්ම පුද්ගලයෙකුට ගරුත්වයක් සහිතව සේවයේ යෙදීමට නොහැකිනම් ඔහු හෝ ඇය තුළින් කාර්යක්ෂමව හා ඵලදායී සේවාවක් ලබා ගැනීමට නොහැකි වනු ඇත. 

අපරාධ නීතිය තුළින් ලිංගික හිංසනය සඳහා දඬුවම් සහ දඩ නියම කිරීම සඳහන් වී තිබුණද  එවන් හිංසනයක් සේවකයාගේ සේවා ස්ථානයේ සිදුවූ  විට සේවයෙන් අතහැර යෑම් සහ සේවය එපාකරවීම වැනි ද්වේශ සහගත සැලකීම් මත වැඩ ලෝකයේ මෙම වින්දිතයාට තෘප්තිමත් සහනයක් නොලැබී යා හැක. 

එම නිසා සේවා ස්ථානයේ දී සේවකයින්ගේ සුරක්ෂිතතාවය සඳහා ආයතන මට්ටමින් යම් ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම්වූ ‍ප්‍රතිපත්ති සකසා අපරාධමය තත්ත්වයන් වළක්වා ගැනීමට සේවා යෝජකයින් කඩිනමින් පියවර ගත යුතුය. මේ සඳහා නීතීන් පිළිබඳව ආයතන මට්ටමින් සේවකයින් දැනුවත් කොට ඔවුන්ට දැනුවත් බව ලබා දීම හා සිතීමේ නිදහස තුලින් නිරෝගී මනසකින් වැදගත්කම අවබෝධ කරගැනීමට අවශ්‍ය  සහාය ලබාදීම් තුළින් වැරදි සිදුවීමට වඩා වළක්වා ගැනීමට කටයුතු කළ හැකිය.