ශ්‍රී ලංකා රසායනික විද්‍යාවේදී විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනයේ 10 වන වාර්ෂික අධ්‍යයන සැසිවාරය සැමරේ

මෙරට රසායනික ව්‍යාධි විද්‍යාව පිළිබඳ විශේෂඥයින් ප්‍රමිතියෙන් ඉහළ රසායනාගාර සේවාවන් සාක්ෂාත් කර ගැනීමට අභියෝග රැසක් මධ්‍යයේ කටයුතු කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා පවසයි.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මෙම අදහස් දක්වන ලදදේ ශ්‍රී ලංකා රසායනික ව්‍යාධි විද්‍යාඥයින්ගේ විද්‍යායතනයේ (College of Chemical Pathologists of Sri Lanka - CCPSL) 10 වන වාර්ෂික අධ්‍යයන සැසිවාරයට ප්‍රධාන ආරාධිතයා වශයෙන් එක්වෙමිණි. මෙම සැසිවාරය කෝට්ටේ “මොනාක් ඉම්පීරියල්” හෝටලයේ දී පැවැත්විණි.
"අභියෝග හෙළිදරව් කිරීම: විශිෂ්ටත්වය සඳහා ගුණාත්මක කථීකාව - Unraveling Challenges: Quality Saga for Excellence" යන්න තේමා කර ගනිමින් රසායනාගාර සහ සායනික සැකසුම් යන දෙඅංශයෙහි වෘත්තිකයන් සමඟ රසායනික ව්‍යාධි විද්‍යාවේ වත්මන් සංකල්ප එකට ගෙන එමින් මෙම වාර්ෂික අධ්‍යයන සැසිවාරය සංවිධානය කර තිබුණි.
මෙහිදී සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසුවේ මෑත කාලීන සාර්ස්-කෝවිඩ් (SARS-CoV-19) ස්වසන රෝග පැවති කාලය තුළ අභියෝග රැසක් මධ්‍යයේ මෙරට රසායනාගාර ව්‍යාධි විශේෂඥයින් සෞඛ්‍ය අමාත්‍යාංශය සමඟ එක්ව ප්‍රජාව ආරක්ෂා කිරීම සඳහා අඛණ්ඩව සේවා සැපයූ බවත්, ශ්‍රී ලංකාවේ රසායනික ව්‍යාධි විද්‍යාව පිළිබඳ විශේෂඥයින් ඉහළම ප්‍රමිතියේ රසායනාගාර සේවාවන් සාක්ෂාත් කර ගැනීමට අභියෝග මධ්‍යයේ කටයුතු කරන බවයි.
නවීන වෛද්‍ය විද්‍යාවේ මූලික රෝග විනිශ්චය, චිකිත්සක සහ පුරෝකථන මූලිකාංගයක් වන රසායනික ව්‍යාධි විශේෂඥ සේවාව අත්‍යවශ්‍ය ක්ෂේත්‍රයක් බවත්, මෙම සැසිවාරය පුරවැසියන්ට ඉහළම මට්ටමේ සෞඛ්‍ය සේවාවක් ලබාදීම සඳහා වන සාමූහික ප්‍රයත්නයක ප්‍රතිඵලයක් බව ද සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා මෙහි දී වැඩිදුරටත් පෙන්වා දෙනු ලැබීය.
මෙහිදී ආරාධිත ප්‍රධාන දේශණය එක්සත් රාජධානියේ සායනික ජෛව රසායන විද්‍යාව පිළිබඳ මහාචාර්ය දේවකී නායර් මහත්මිය විසින් සිදු කරන ලදි.
ශ්‍රී ලංකා රසායනික ව්‍යාධි විද්‍යාඥයින්ගේ විද්‍යාලය රසායනික ව්‍යාධි විද්‍යාව පිළිබඳ විශේෂඥයින් සඳහා වන විද්‍යාත්මක හා වෘත්තීය ආයතනයක් වන අතර, එය රෝගීන්ගේ රෝග පරීක්ෂාව, නිරීක්ෂණය සහ විනිශ්චය සඳහා වැදගත් කාර්යභාරයක් ඉටු කරයි.
රසායනික ව්‍යාධි විද්‍යාව ප්‍රායෝගිකව සායනික හා තාක්ෂණික දැනුම හා කුසලතාවන්හි විශිෂ්ටත්වය අත්කර ගැනීම, රසායනික ව්‍යාධි විද්‍යාව පිළිබඳ පර්යේෂණ හා සංවර්ධනයට පහසුකම් සැලසීම සහ අදාළ විෂයයන්හි පර්යේෂණ සඳහා සහාය වීම, වෛද්‍ය ක්ෂේත්‍රයේ අනෙකුත් ක්ෂේත්‍ර අතර විශේෂත්වයක් ලෙස රසායනික ව්‍යාධි විද්‍යාවේ වැදගත්කම සහ රසායනික ව්‍යාධි පරීක්ෂණ තාර්කිකව භාවිතා කිරීම ප්‍රවර්ධනය කිරීම, රෝග පරීක්ෂා කිරීම, රෝග විනිශ්චය කිරීම සහ නිරීක්ෂණය කිරීමේ දී රසායනාගාර පරීක්ෂණවල
වැදගත්කම පිළිබඳව ප්‍රජාව තුළ දැනුවත්භාවය ඇති කිරීම, සාමාජිකත්වයේ අඛණ්ඩ වෘත්තීය සංවර්ධනය සඳහා ජාත්‍යන්තර සහ ජාතික සංවිධාන සමඟ සහයෝගයෙන් කටයුතු කිරීම ශ්‍රී ලංකා රසායනික ව්‍යාධි විද්‍යාඥයින්ගේ විද්‍යාලයේ දැක්ම වේ.
මෙම අවස්ථාවට සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (රසායනාගාර සේවා) විශේෂඥ වෛද්‍ය ප්‍රියන්ත අතපත්තු ඇතුළු සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය නියෝජනය කරමින් නිලධාරීන්, ශ්‍රී ලංකා රසායනික ව්‍යාධි විද්‍යාඥයින්ගේ විද්‍යාලයේ සභාපති වෛද්‍ය තුෂාර හේවාගීගන, දේශීය හා විදේශීය රසායනික ව්‍යාධි විද්‍යා විශේෂඥයින්, රසායනික ව්‍යාධි විද්‍යා පශ්චාත් උපාධි අභ්‍යාසලාභීන්, වෛද්‍ය රසායනාගාර කාර්මික ශිල්පීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.