රුහුණේ වෛද්‍ය පීඨයේ 12 වැනි අධ්‍යයන සැසිය පවත්වයි

රුහුණේ වෛද්‍ය පීඨයේ 12 වැනි අධ්‍යයන සැසිය පවත්වයි

“ජීවන චක්‍රය හරහා සෞඛ්‍ය“ (Health across the life cycle) යන්න තේමා කර ගනිමින් රුහුණු විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ 12 වන අධ්‍යයන සැසිය - 2024 (Faculty of Medicine Academic Session (FMAS) – 2024) (08) දින සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතාගේ ප්‍රධානත්වයෙන් රුහුණු විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ටී.ඩබ්ලිව් වික්‍රමනායක ශ්‍රවණාගාරයේ දී පැවැත්විනි.

ශ්‍රී ලංකාවේ වෛද්‍ය ක්ෂේත්‍රයේ පර්යේෂණ සොයාගැනීම්, හොඳම භාවිතයන් සහ නවෝත්පාදන ඉදිරිපත් කිරීමට සහ සාකච්ඡා කිරීමට වෛද්‍ය උපාධි අපේක්ෂකයින්, විද්වතුන්, පර්යේෂකයන් සහ අනෙකුත් සෞඛ්‍ය සේවා වෘත්තිකයන් එක් කරන, වසරකට වරක් පවත්වනු ලබන මෙම සැසිය සදහා පර්යේෂකයන්, වෘත්තිකයන්, අධ්‍යයන සාමාජිකයින් මෙන්ම සිසුන් ඇතුළු පුළුල් පරාසයක පාර්ශවකරුවන් රැසක් සහභාගී විය.

ශ්‍රී ලංකාවේ ජීවන චක්‍රය හරහා සෞඛ්‍යය සහතික කිරීමේ අභියෝග පිළිබදව සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා මෙහිදී අදහස් දක්වන ලද අතර, නූතනයේ සෞඛ්‍ය සේවාවට අභීයෝගයක්ව ඇති බෝනොවන රෝග පාලනය, ප්‍රාථමික සෞඛ්‍ය සේවා ශක්තිමත් කිරීමේ වැදගත්කම, සෞඛ්‍ය දර්ශක හා දත්ත මත මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රය ලබා ඇති ප්‍රගමනය, සුව සේවාවේ ඉදිරි අභියෝග හා එම අභියෝග ජයගෙන වඩා ගුණාත්මක හා ශක්තිමත් සෞඛ්‍ය සේවාවක් ස්ථාපිත කිරීමට අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ගයන් පිළිබදව සෞඛ්‍ය ලේකම්තුමන් කරුණු අවධාරණය කරන ලදි.

මෙහිදී ඉදිරිපත් කරන ලද පර්යේෂණ පත්‍රිකා, සිද්ධි අධ්‍යයන, සායනික වෛද්‍ය විද්‍යාව, මහජන සෞඛ්‍යය, මූලික විද්‍යාවන් සහ ව්‍යවහාරික විද්‍යාව වැනි සෞඛ්‍යයේ විවිධ අංශ පිළිබඳ ඔවුන්ගේ අත්දැකීම් සහ දැනුම බෙදා ගනු ලැබූ අතර, මෙම උත්සවය අදහස් හුවමාරු කර ගැනීමට, එකිනෙකාගෙන් ඉගෙන ගැනීමට සහ රටේ සෞඛ්‍ය පද්ධතියේ ප්‍රගමනයට දායක වීමට ද අවස්ථාවක් සපයනු ලැබිය.

ශ්‍රී ලංකාවේ වත්මන් සෞඛ්‍ය පද්ධතියේ තත්ත්වය පිළිබඳ චින්තන,  සෞඛ්‍ය ක්ෂේත්‍රයේ නැගී එන ගැටලු සහ අභියෝග පිළිබඳ විශේෂඥ මණ්ඩල සහිත දේශන සහ සම්මන්ත්‍රණයක් පැවැත්විය.

‍FMAS මගින් වෛද්‍ය උපාධි අපේක්ෂකයින්ට දැනුම සහ උනන්දුව වැඩි දියුණු කිරීම සඳහා තරුණ පර්යේෂකයන් ලෙස පර්යේෂණ වෘත්තිය ප්‍රවර්ධනය ද සිදු කරනු ලබයි.

මෙහිදී පර්යේෂණ ප්‍රකාශණ සම්මාන - 2023 (Research Publication Awards 2023) සහ පීඨාධිපතිවරුන්ගේ සම්මාන සහ පීඨාධිපතිවරුන්ගේ ලැයිස්තුව 2023 Deans' Awards & Dean's List 2023 සහතික පත් ප්‍රදානය ද සිදු කරන ලදි.

මෙම අවස්ථාවට රුහුණු විශ්වවිද්‍යාලයේ උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුජීව අමරසේන,  වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය තිලක් වීරරත්න, කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ළමා රෝග පිළිබඳ ඡ්‍යෙෂ්ඨ මහාචාර්ය පූජිත වික්‍රමසිංහ, වෛද්‍ය පීඨයේ අධ්‍යයන සැසිය - 2024 සම සභාපතිනී මහාචාර්ය නයනා නයනා ලියනාරච්චි යන මහත්ම මහත්මීන්, වෛද්‍ය උපාධි අපේක්ෂකයින්, විද්වතුන්, පර්යේෂකයන් ඇතුලු පිරිසක් එක්ව සිටියහ.