කොවිඩ් 19 සහ අනෙකුත් රෝග වැළඳෙන පුද්ගලයන්ට මේ දිනවල දී විවිධ අපහසුතාවලට මුහුණ දීමට සිදුවන අතර, රෝහල්ගත වූ විට පවා මුහුණ දීමට සිදුවන්නේ වෙනස් ක්‍රියාදාමයකටය.
කොවිඩ් 19 වැළඳුන සහ රෝග ලක්ෂණ තිබුණු පුද්ගලයන් කීපදෙනෙක් සිය අත්දැකීම් බීබීසී සිංහල සේවයට හෙළි කළහ.
"මම කොළඹ ඇස් වාට්ටුවේ නතර වුණේ ඇහේ සැත්කමකට. හැබැයි සැත්කම ඉවර වෙලා මාව නතර කරපු වාට්ටුවේ කොරෝනා හැදුන අය හිටියා, දවස් දෙකක් යනකොට මටත් කොරෝනා හැදුණා," නම හෙළි කිරීමට අකමැති වූ කාන්තාවක පැවසීය.
"කොරෝනා හැදුනට පස්සේ මාව වෙන වාට්ටුවකට මාරු කළා. හැබැයි මට දවසක් විතර ගෙවෙනකම් කෑම බීම ටිකවත් හරියට ලැබුණේ නැහැ.වැඩ කරන අයට වරද පටවන්නත් බැහැ. මොකද එතන අපි හැමෝම බලාගන්න තරමේ සේවක පිරිසක් හිටියේ නැහැ. සේවකයන්ටත් කොරෝනා හැදිලා.
මම කලින් නැවතිලා හිටිය වාට්ටුවෙන් කොරෝනා වාට්ටුවට මාරු කළාට පස්සේ මගේ බෑග් එකයි බඩු ටිකයි ගෙන්න ගන්න දවසක් විතර ගත වුණා. හොඳ වෙලාවට මට අමාරු වුණේ නැහැ. හැබැයි රෝහල් පිරිලා හරිම කලබලකාරී තත්ත්වයක් ඇතුළේ තියෙන්නේ. ඉන්න සෞඛ්‍ය සේවකයොත් සෑහෙන වැඩ, හැබැයි ඒ අයත් ඉන්නේ බයෙන්," ඇය තවදුරටත් පැවසීය.
මේ අතර කටාන ප්‍රදේශයේ වෙසෙන චාමි කුරේරා පැවසුවේ තමන්ට PCR පරීක්ෂණයක් සිදු කර ගැනීමට සතියක් ගත වුණු අතර, එහි ප්‍රතිඵල වාර්තාව ලැබෙනවිට තවත් සතියක් ගෙවී තිබුණ බවය.
"මගේ රිපෝට් නෙගටිව්, හැබැයි සති දෙකක කාලයක් මම පුදුම බයකින් අන් අයගෙන් වෙන් වෙලා ජීවත් වුණේ. මගේ මානසික නිදහසට ඔක්කොටම වඩා බලපෑම් එල්ල වුණා මේ ප්‍රමාද වීමෙන්. ගෙදර ඉන්න වයසක දෙමාපියන් පුදුම බයකින් හිටියේ. මේ තරම් පුංචි රටක සිස්ටම් එක හරියට ක්‍රියාත්මක නොවෙන එක ගැනනම් ඇත්තේ කලකිරීමක්," ඇය තවදුරටත් පැවසුවාය.
කොවිඩ් 19 පැතිරී යාම වැළැක්වීම සඳහා පැනවූ සෞඛ්‍ය ආරක්ෂිත උපදෙස් පිළිනොපැදීම හේතුවෙන් තමන්ට කොවිඩ් 19 වැළඳුන බව බියගම ප්‍රදේශයේ පුද්ගලයෙකු පැවසීය.
"මම මාස්ක් එක භාවිතකරන්න අකමැතියි. ඒක මහ කරදරයක් විදිහට තමයි මට දැනුනේ. ඉතින් මාස්ක් එක නැතිව එළියේ හැමතැනම ඇවිද්දා. වෙනත් සෞඛ්‍ය ආරක්ෂිත උපදෙස්වත් පිළිපැද්දේ නැහැ. හැබැයි අවසානයේ කොරෝනා හැදිලා , හුස්ම ගන්න අපහසු වෙලා, ගිලන් රථයකින් තමයි මාව ගෙනිච්චේ.
"යන්ත්‍ර ඇඟේ සවි කරගෙන ජීවිතයත්, මරණයත් අතර සටන් කරද්දී තමයි මේ ලෙඩේ බරපතලකම තේරුණේ. හැම කෙනාගෙන්ම මං දැන් ඉල්ලීමක් කරන්නේ, අනිවාර්යයෙන්ම සෞඛ්‍ය ආරක්ෂිත උපදෙස් පිළිපැදලා හැකිතාක් ගෙදරට වෙලා ඉන්න කියලා," ඔහු තවදුරටත් පැවසුවේය.
කොළඹට ආසන්න ප්‍රදේශයක දිවි ගෙවන දරුවන් දෙදෙනෙක් ද සිටින පවුලකට කොරෝනාවෛරසය වැළඳීමෙන් පසු විවිධ අත්දැකීම්වලට මුහුණ දීමට සිදුව තිබිණි.
"අපිට කොරෝනා පොසිටිව් වුණා. අපිව රට වටේ මධ්‍යස්ථාන තුනකට එක්කගෙන ගියා. ඒවායේ ඉඩ නැති නිසා මහ රෑ වෙනකොට කොළඹින් කිලෝමීටර සියයක් විතර එහා තියෙන මධ්‍යස්ථානයකට අපිව අරගෙන ගියා. ඒ ප්‍රතිකාර මධ්‍යස්ථානය පුදුම විදිහට අපිරිසුදුයි.
නියමිත කාලය ඉඳලා මධ්‍යස්ථානයෙන් අපිට ගෙදර යන්න පුළුවන් කිව්වෙත් රෑ නමයට විතර. පහුවදා කොළඹට පිටත් වෙන වාහන නැති නිසා රෑ එහෙන් පිටත් වෙන බස් එකේ ඕනනම් යන්න පුළුවන් කිව්වා. නමුත් ගෙනත් බස්සන්නෙ පිටකොටුවට විතරයි.
දරුවොත් එක්ක පිටකොටුවේ ඉඳන් ආවේ කැබ් එකක. කැබ් එකට දහස් ගණනක් අමාරුවෙන් ගෙව්වා," ඔවුහු පැවසූහ.
බුද්ධික ලංකාර තම අත්දැකීම් මෙසේ හෙළි කළේය..
"පොසිටිව් කියලා කිව්ව ගමන්ම මම ලෑස්ති වුණේ එක්කන් යන තැනකට යන්න. ඒත් පීසීආර් එකෙන් දවස් පහක් ගිහින් තමා මට කතා කළේ. පැය භාගෙකින් එනවා එක්කන් යන්න, ලෑස්ති වෙන්න කියලා පණිවිඩයක් ආවා.
මම ඕනෙ කරන ඇදුම් ටිකක් බෑග් එකට දාගෙන ලැස්තිවෙලා හිටියා. ටිකකින් ගිලන් රථයක් එක්ක රෝස බස් එකක් ආවා.
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙක්, ආමි එකේ කෙනෙක් ඒවායේ හිටියා. මාත් ඒ බස් එකට නැග්ගා. වටේ පිටේ සමහරු නම් බලන් හිටියේ ත්‍රස්තවාදියෙක් අල්ලන් යනවා වගේ. මම මගේ පාඩුවේ වාඩිවෙලා හිටියා. බස් එකේ හිටියේ මාත් එක්ක පිරිමි දෙන්නයි. අනිත් අය ළමයි එක්කම හිටපු අම්මලා. මැසිවිලි, අඳෝනා, බැනුම් අහගෙනම මාත් හිටියා.
අපිව එක්කගෙන ගියේ කොස්ගම සාලාවේ රෝහලට. අපි ගියාට පස්සෙ තව සෑහෙන පිරිසක් ගෙනාවා එතනට. මාව රෝහලේ වාට්ටුවකට ඇතුළු කළා. මම මගෙ බඩු ටිකත් අරන් ගිහින් පෙන්නපු ඇඳ හදාගෙන ඉතුරු දවස්ටික ගෙවන්න ලෑස්ති වුණා. යනකොට නම් පොඩි චකිතයක් තිබ්බා හිතේ. නමුත් ඒක ඇරිලා ගියා.
එදා ඉඳන් දවස් පහක් මම හිටියේ කොස්ගම සාලාවේ රෝහලේ. එතන හිටියේ ඔක්කොම කොරෝනා රෝගීන්. වාට්ටුවලට දොස්තරවරු ආවේ නෑ හදිස්සිම දේකට ඇරෙන්න. රෑට උදේට නර්ස් කෙනෙක් ආවා ලෙඩ්ඩුන්ට ඕනෙ කරන සේලයින් එන්නත් දෙන්න විතරක්. ඒත් ඒ අය නිතරම අවධානයෙන් සොයා බැලුවා අපි ගැන.
වාට්ටුවලට පත් කර තිබුණා ලීඩර් කෙනෙක්. ඒත් මේ ලෙඩ්ඩුන්ගෙන්ම තෝරගත්ත තරුණ අය දෙතුන් දෙනෙක්. ඒ අය තමා වාට්ටු පරිපාලනය කලේ. ලෙඩ්ඩුන්ගේ ප්‍රෙශර්, සීනි, රුධිරගත ඔක්සිජන් මට්ටම බලන එකේ ඉඳලා සමහර වෙලාවට ලෙඩ්ඩුන්ට ඔක්සිජන් දෙන එකත් අපි කළා.
නිතරම දොස්තරලා එක්ක කතා කරළා තමයි මේ සියල්ල කළේ. කෑම එවනවා, තේ එවනවා, බිස්කට් එහෙම තිබුණා අපිට කන්න. උණුවතුර ගන්න හීටර්ස් දුන්නා. හැමෝටම ඇඳක් තිබුණා. බිම හිටියේ නෑ කිසි කෙනෙක්.
ඒ යාන්ත්‍රණය රෝහලෙන්ම හදපු එකක්. ටීම් ලීඩර් තමා වාට්ටුවේ ගොඩාක් දේවල් බලන්නෙ. හැම වෙලාවෙම තව දෙන්නෙක්ව ට්‍රේන් කරගන්නවා ප්‍රෙශර් බලන්න, සීනි බලන්න. එතකොට එක්කෙනෙක් යනකොට තව එක්කෙනෙක් ඉන්නවා ඒක බලාගන්න.
මුලින්ම ගේන අයව දැම්මෙ වාට්ටුවේ කොනේම ඇඳන්වලට. දවසෙන් දවස තමා එයාලව ඉස්සරහට ගන්නෙ. එතකොට වෙනස් විදියේ ලෙඩෙක් හිටියත් පරණ ලෙඩ්ඩුන්ට බෝ වෙන එක අඩු වෙනවා.
වාට්ටු පිරිසිදු කරන ඒවාත් අපිම තමා කළෙත්. සේවකයෝ එන්නෙ නෑ. අපි ඉන්න තැන් අපිම අතුගෑවා, මොප් කලා, වතුර රත්කරලා හැමෝටම දුන්නා. බෙහෙත් පල්ලෙහායින් එව්වාම නම අඩගහලා දීලා පෙව්වා.
හැම දවසකම උදේ ඉඳලා ලෙඩ්ඩු අරන් එනව රෝහලට. ඒ එන අය එළියේ ඉඳගෙන ඉන්නවා රෑ වෙනකන්. කන්න දෙනවා. අපි වතුර රත්කරලා උණු වතුර දුන්නා සෑහෙන්න, අපිත් ආවේ ඒ විදියටම නිසා. ඒත් අපේම මිනිස්සු. රෑ දහයට තමයි බස් පිටත් වෙන්නෙ පූනානි වලට. එතකන් ඉන්නවා ඔහේ ඉඳගෙන.
අමාරුම වුණ ලෙඩ්ඩු දැක්කෙ නෑ මම. ඒත් යම් යම් සංකූලතා තිබුණ අය හිටියා අපි එක්ක. හුස්ම ගැනීමේ අමාරුකම්, කෑම කන්න බැරි ගතිය තමා වැඩියෙන්ම තිබුණේ. පොඩි දරුවොත් ආවා. ඒ අයට නම් මේ ලෙඩේ ඒතරම් බලපෑමක් නෑ වගේ මට පෙනුණේ..
මේ අතර, අපි එක්ක හිටපු තරුණ පිරිසක් හොරෙන් බීලා අහු වුණා. ලොකු කාමරේක පාඩුවේ ඉන්න තිබුණ අවස්ථාව නැතිකරගෙන එදාම රෑ පූනානි යන්න වුණා ඒ කට්ටියටම.
ඔබටත් කොරෝනා ආසාදිත වෙලා ඉස්පිරිතාලේ යන්න වුණොත් අඳින්න සැහැල්ලු කපු ඇදුම්, පිඟානක්, කෝප්පයක්, ජෝගුවක් ගෙනියන්න. අනිවාර්යෙන්ම උණු වතුර බෝතලයක් අරගෙන යන්න. සීනි ටිකක්, පොඩි හැන්දක්, අමතර පිඟානක්, බෙඩ්ශීට් දෙකක්, කොට්ට උරයක් හැකිනම් කොට්ටයක්, රබර් සෙරෙප්පු දෙකක්, සබන්, දත් බෙහෙත්, ඇතිවෙන්න මාස්ක්, සැනිටයිසර් බෝතල් වගේම පොඩි හීටරයක් ගෙනියන්න පුළුවන් නම් හොඳයි. උණු වතුර නිතරම ඕනෙ වෙනවා.
කන්න අප්පිරියාවක් එන එක සාමාන්‍ය දෙයක්. ලෙඩෙක්ට කෑම යවනවා නම් පොඩ්ඩක් සැරට හදන්න. ඇඹුල් මොනවා හරිත් එකතුකරන්න. බත් එකක් යවනවා නම් තව අතිරේක කෑම පාර්සලයක් දෙකක් යවන්න."
(දැහැමි රණවීර - බීබීසී /සන්දේශය)