ඔවුන් ඉන්දියාවේ තමිල්නාඩුවේ දකුණු දිස්ත්‍රික්කවලින් අපේ අයව කම්කරුවන් ලෙස ගෙනාවා. අපිව තේ වතුවල වැඩට දැම්මා. මෙහෙම ආපු අපිට කඳුකරයේ මිනිස්සු කියලා කියනවා. වතුකරයේ නැත්නම් වත්තේ මිනිස්සු කියලත් කියනවා.. නමුත් අපිට එය ලැජ්ජාවක් නොවෙයි.
එය එක්තරා විදිහකට බැලුවම අපේ අනන්‍යතාවයක් විදිහටත් හඳුන්වන්න පුළුවන්. වතු කම්කරුවන් මධ්‍යම කඳුකරයට සංකේතයක් වන අතර 5x10,10x10 ලයින් කාමරවල එම කම්කරුවන් පදිංචි කරුණා. අදත් එම ලයින්වලම, අවුරුදු 200ක් තිස්සේ මාරු නොකල අබලන් වූ ටකරං ද සහිතව සිදුරු වී ඇති ටකරං වල සිදුරු වැසීම සඳහා රබර් ෂීට් ද, ඒ රබර් ෂීට් මත වැලි මිටි, ගල්, ගස් අතු අතුරා බියෙන්ම අපි ජීවත් වන්නෙමු. වසර 200ක් තිස්සේ අපේ ජීවිතවල කිසිම වෙනසක් සිදු වී නැත. එලෙස ලයින් කාමරවල පදිංචි වූ අපේ කඳුකර ජනතාවගේ ජීවනෝපාය සහ ජීවන රටාවේ කිසිදු වෙනසක් නැත. එම ලයින් කාමර පද්ධතියේ කිසිදු වෙනසක් සිදුවී නොමැති සේම එම ලයින් පද්ධතියේ ඇති වැසිකිලිවල ද කිසිදු වෙනසක් සිදුවී නොමැත. නිවෙස් 10කට අඩී 100ක දුරකින් ඇත්තේ එක් ගරාවැටුණු වැසිකිලියකි. ගමන් කිරීම සඳහා නිසි මාර්ග නොමැති නිසා පාසල් සිසුන් ඉගෙනීම සඳහා දහඩිය වගුරමින් බොහෝ දුර පයින් යා යුතුව ඇත. මේ නිසා ඔවුන්ට පාසල යාම එපා වී නිවෙස්වලට වී සිටින බවක් පෙනෙන්නට තිබේ.
මෙම ජනතාව කඳුකරයේ දේශපාලකයින්ගේ ජීවිත වෙනස් කර ඇති මුත් මෙම කඳුකර ජනතාවගේ ජීවිත අදටත් වෙනස් නොවී එලෙසම පවතියි. පවතින ආර්ථික ප්‍රශ්න මැද අපගේ කඳුකර ජනතාවගේ ජිවන තත්වයන් දියුණු කරගැනීම ඉතාමත් අසීරු බව කිව යුතුයි. ප්‍රතිසංස්කරණය නොකල මාර්ගවල බස් රථ ධාවනය ද සිදු නොවන බැවින් ජනතාවට කිලෝමීටර් ගණන් පයින් යාමට සිදු වේ.
ඊටත් වඩා අවාසනාවන්තම දෙය නම් අපිට අද වනතුරු ලිපිනයක් නොමැතිව වසර 200 ක් පසු කර ඇත්තෙමු. කොපමණ රාජ්ය නොවන සංවිධාන තිබුණත් දශක ගණනාවක් තිස්සේ වතු කම්කරුවන් මුහුණදෙන ගැටළු තවමත් විසඳි නොමැත. මෙහිදී රජය නොවන සංවිධාන මෙච්චර දවසක් කළ සංවර්ධන ව්‍යාපෘති වල ප්‍රතිපලය කුමක්ද? . කඳුකර ජනතාව තම දෛනික වැටුප ලෙස රු.1000/- ක් ලබා ගැනීමට වසර 200ක් ගත වී ඇත. තමන්ගේ නමට ටාගට් කිලෝ ගාණ ගත්තොත් විතරයි ඒ රුපියල් 1000 ලැබෙන්නේ. වතුකරයේ වැඩ කරන අපේ කඳුකරයේ මව්වරුන්ට සහ දරුවන්ට නිසි පෝෂණයක් නොමැති අතර දරුවන් මන්දපෝෂණයෙන් පෙළේ. ඔවුන්ගේ ගැටළු විසඳීමට වතුකරයේ දේශපාලකයින් මැදිහත් වීම සිදු නොවීම නිසා මෙම කම්කරුවන් දිනෙන් දින අන්ත දුගී දුප්පත්බාවයට පත් වී ඇත. නමුත් වතුකම්කරු වෘත්තීය සමිති නායකයින් අති සුඛෝපභොගී ජිවිත ගත කරමින් වතුකම්කරු ගැටළු පිළිබඳව කිඹුල් කඳුලු හෙළමින් සිටියි.
කඳුකරයේ විදුලිය නොමැති කාලයේ දී පහන් එළියෙන් ඉගෙනගත් වෛද්‍යවරු, ගුරුවරු, නීතිඥවරු ඇතුළු බොහෝ වෘත්තිකයන් තමන් කඳුකරයේ කෙනෙක් ලෙස තමන්ගේ අනන්‍යතාව පෙන්වන්නට කැමැත්තක් නොදක්වයි. අව්වේ, වැස්සේ, කූඩැල්ලන් හා බඹරුන්ගේ දෂ්ඨ කිරීම්වලට, සර්පයින්ට හා දිවියන්ට ගොඳුරු වෙමින් අධ්‍යාපනය සඳහා රටේ ආර්ථිකය සඳහා වියදම් කරන්නේ මෙම මිනිසුන් බව ඔවුන්ට අමතක වී ඇත. එසේම අනවසර ඉදි කිරීමක් යැයි පවසමින් මාතලේ වත්තක නිවසක් වතු කළමණාකාරීත්වය විසින් කඩා දමන ආකාරය පසුගිය දා දක්නට ලැබිණි. එලෙස සිදු කිරීම සිදු කිරීම නීති විරෝධී බව පවසන්නා සේම එය කඩා දමන ලද ආකාරයද නීති විරෝධීය. එම ස්ථානයට පැමිණි ඇමති ලොක්කෙකු කිඹුල් කඳුළු හෙළනු අප දුටුවෙමු. නමුත් අනවසර ඉදිකිරීම් ලෙස හෝ කුඩා පැල්පත් ඉදිකරගෙන ඉතා දුක්ඛිත ජිවිත ගත කිරීමට ඉඩ සැලසුවේද මෙම දේශපාලකයින් බව වතුකරයේ මිනිසුන්ට අමතක නැත. එම නිසා එම දේශපාලකයින් ගැනද ජනතාව තේරුම් ගනිමින් සිටී.
සටහන - ටී. ක්‍රිෂාන්ති