සංචාරක ව්‍යාපාරය ආරම්භ කිරීම සඳහා න්‍යාමක ව්‍යාපෘතියක් ලෙස යුක්රේන් ජාතිකයන් මෙරටට ගෙන්වා ගැනීමේදී, සංචාරකයන්ගේ අවශ්‍යතා පිළිබදව මිස රෝග පාලනය සඳහා ඇති සෞඛ්‍ය හෝ විද්‍යාත්මක අවශ්‍යතා එතරම් තැකීමකට ලක් කර නොමැති බව ඇතැම් ප්‍රකාශ මගින් තහවුරු වෙනවා.
රටේ පවතින නිරෝධායන නීතිය මෙන්ම සෞඛ්‍ය අමාත්‍යාංශයේ පාළණ රෙගුලාසි හා උපදෙස් එලෙස හෑල්ලුවට ලක්වීම මගින් සාමාන්‍ය ජනතාව ඒවා නොපිලි ගන්නා තත්වයකට පත්වීම, වසංගත පාළණය ප්‍රභල අනතුරකට ලක් කරවනවා. විශේෂයෙන්ම සංචාරකයන් මෙරටට ගෙන්වා ගැනීමේ පුරෝගාමියෙකු ලෙස ඔහු විසින්ම ඔහුව හඳුන්වා ගන්නා පුද්ගලයකු මාධ්‍යයට සිදු කල ප්‍රකාශ මගින් පෙනෙන්නට තිබෙන්නේ, සංචාරකයන් මෙරට තිබෙන නිරෝධායන නීති පිළිබඳව විශ්වාසයක් හෝ ගරු කිරීමක් සිදු නොකරන බවය.
සංචාරකයන්ට දින දාහතරක් නිරෝධායනය වීමට තරම් පිස්සුවක් නැති බවත්, PCR පරීක්ෂණ 5ක් පමණ සිදු කිරීමේ වුවමනාවක් නැති බවත්, මෙරට පවතින නීති ප්‍රායෝගික නොවන බවත්, ඔවුන් සෞඛ්‍ය අමාත්‍යාංශය අභියෝගයට ලක්කර තිබෙනවා. එමෙන්ම සංචාරක මණ්ඩලයේ ප්‍රධානියකු මාධ්‍යයට ප්‍රකාශ කර තිබෙන ආකාරයට දින දාහතරක් ලෙස පැවති මෙරට නිරෝධායන නීතිය, ඔවුනගේ බලපෑමට අනූව දින 7 දක්වා අඩු කර ලබාදී තිබෙන බවක් හැඟවෙනවා.
මෙම සියලු කාරණා සලකා බලන විට සෞඛ්‍ය අමාත්‍යාංශය විසින්ද නිරෝධායන නීති සකසා ඇත්තේ වෛරසයේ හැසිරීමට වඩා, එක් එක් පුද්ගලයාගේ හැසිරීමට ද යන්න මේ මොහොතේ ප්‍රශ්නාර්ථයක් ලෙස මතුව තිබෙනවා. නිරෝධායනය සඳහා අප දින 14ක කාලයක් අවශ්‍ය යැයි සලකනු ලැබුවේ වෛරස හැසිරීම සහ ආසාදිත පුද්ගලයකුගෙන් තවත් පුද්ගලයකුට රෝගය ආසාදනය වීම වැළැක්වීම සඳහා දින දාහතරක් අවශ්‍ය බව තහවුරු කර ගැනීමකින් මිස, සංචාරකයන්ට එක් ආකාරයකටත්, මුදල් ඇති ප්රභූන්ට වෙනත් ආකාරයකටත්, රටේ සාමාන්‍ය මිනිස්සුන්ට තවත් ආකාරකටත් වෛරසයේ හැසීරීම වෙනස් වන නිසා නොවේ.
ඒ අනුව සෞඛ්‍ය අමාත්‍යාංශය නිරෝධායන නීතිය වෙනස් කරනු ලබන්නේ නම්, ඊට අදාළ විද්‍යාත්මක පදනම පැහැදිලි කළ යුතුව ඇති අතර, එය මෙරට මහජනතාවටත්, මැදපෙරදිග අසරණ වී ඇති අපේ ශ්‍රමිකයන්ටත්, ඒ ආකාරයෙන්ම අදාළ විය යුතුය.
සංචාරකයන් සදහා බලපෑම්වලට නතුව, විවිධ ක්‍රියාමාර්ග ගැනීම සාධාරණය කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඇතැම් නිලධාරීන් ජීව බුබුලක් පිළිබඳව විද්‍යාත්මක තර්කයක්
ගැට ගසන්නට උත්සාහ කරමින් සිටිනවා.
නමුත් "ජීව බුබුලක්" නිර්මාණය කිරීමේ මූලික අවශ්‍යතාවයක් ලෙස, එම බුබුල තුළට ආසාදිතයන් හෝ ආශ්‍රිතයන් ඇතුළු කර නොගැනීම අත්‍යවශ්‍යයෙන් ම සැලකිය යුතු වෙනවා. යුක්රේන ජාතිකයන් මෙරටට පැමිණීමේ දී සිදුකරන ලද PCR පරීක්ෂණ ප්‍රතිඵල මගින්, ඔවුන් සමග ආසාදිතයින් මෙරටට පැමිණ ඇති බව තහවුරුව තිබියදී, දින 5ක් ඇතුළත ඔවුන් ගේ සංචාරක කටයුතු ආරම්භ කිරීමත්, නිරෝධායනය මූලික නීතීන් වන මුඛ ආවරණ පැළඳීම පවා සිදු නොකිරීමත්, මගින් එම ජීව බුබුල ට අදාළ න්‍යායන් උල්ලංගනය වී තිබෙනවා.
දින දාහතරක නිරෝධායනය නීතිය ආරක්ෂා කරමින් තායිලන්තය, මැලේසියාව වැනි සංචාරකයින්ගෙන්ම යැපෙන රටවල් පවා ක්‍රියා කරමින් තිබියදී, සංචාරකයන් ගෙන්වා ගැනීමේදී රටක් ලෙස අප ප්‍රධාන වගකීම් තුනකට බැඳී සිටින බව අමතක නොකළ යුතුයි.
ඉන් පළමුවැන්න වන්නේ,
යුක්රේන ජාතිකයන්ගෙන් මෙරට මහජනතාවට කොරෝනා ආසාදනය ආසාදනයක් සිදුනොවීම සඳහා වග බලා ගැනීම ය. දෙවැන්න වන්නේ, මෙරට මහජනතාගෙන් යුක්රේන් ජාතිකයන්ට horona ආසාදනයක් සිදු නොවීමට වගබලා ගැනීම ය. අප අමතක නොකළ යුතු වූ තුන්වැනි වගකීම වන්නේ යුක්රේන් ජාතිකයන්ගෙන් යුක්රේන් ජාතිකයන්ට රෝගය ආසාධනය වීම වැළඳීම වැළැක්වීමත් අප රටෙහි සෞඛ්‍ය අමාත්‍යාංශයේ වගකීමක් වන බවය.
එසේම ජාත්‍යන්තර වසංගත නීතියට අනුව යම් රටක් තුළ දී විදේශිකයෙකුට කොරෝනා ආසාදනය සිදු වුවහොත්, ඒ සදහා එම රට වගකිය යුතු මෙන්ම එම රටෙන් එම විදේශිකයා පිටත්කර හැරීමට පෙර ඔහුව සුවපත් කර යැවීමේ වගකීමක් සදහා සියලු රටවල් බැඳී සිටී. ඒ අනූව, ජීව බුබුල තුළ සිටින යුක්රේන ජාතිකයන්ට කොරෝනා රෝගය වැළඳීම පිළිබඳවද අප මූලික අවධානය යොමු කළ යුතුමය.
මේ වන විට යුක්රේනයේ නව කොරෝනා ප්‍රභේද පහක් පිළිබඳව අවධානය යොමු වෙමින් තිබෙන අතර ඒ පිළිබඳව මූලික පරීක්ෂණවලින් අනතුරුව ලෝක සෞඛ්‍ය සංවිධානයට නිදර්ශක යොමුකර ඇති බව ද වාර්තා වේ. සංචාරකයින් හරහා නව ප්‍රභේද මෙරටට ඇතුළු වීමට ඇති විශාල ඉඩකඩක් පැවතියදී, සංචාරකයින් ගෙන්වීමේ නියමු ව්‍යාපෘතිය සදහා, යුක්රේනය ම තෝරා ගැනීම පිළිබඳව පැහැදිලි කිරීමක් විය යුතුය.
නව ප්‍රභේද පැතිරීම පිළිබඳව ලෝකයපුරා අවදානමක් තිබෙන මොහොතක, තුන්වෙනි කොරෝනා රැල්ල නව ප්‍රභේදය කින් ආරම්භ වීම පිළිබඳව ලෝකය පුරා නව තහංචි පැනවෙමින් තිබෙන මොහොතක, අප සංචාරක ව්‍යාපාරය ආරම්භ කිරීම සඳහා මෙතරම් හදිස්සියක් දක්වන්නෙ මන්ද යනවග පිළිබඳව මූලික පැහැදිලි කිරීමක් මෙතෙක් සිදුවී නැත.
එසේම සංචාරකයින් හා අනෙකුත් ආගමනිකයින් මෙරටට පැමිණීමේදී මීට වඩා සැලසුම් සහගතව නිරෝධායන කටයුතු සහ පරීක්ෂණ කටයුතු සිදු කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශයට සහ රජයට හැකියාවක් තිබෙන බව අප විශ්වාස කරමු. ඒ අනුව පැමිනෙන සියලු සංචාරකයන්ගේ PCR පරීක්ෂණ, විශාල මුදලක් ලබා ගනිමින් පෞද්ගලික අංශයේ රසායනාගාරවල සිදුකර ගැනීමත්, නිරෝධායන නීති අඩු තක්සේරුවට ලක් කිරීමත්, සංචාරක ව්‍යාපාරයට නගා සිටුවීමට සෘජු ලෙසම බද්ධ වූ තීරණයන් වන්නේ නැත.
පරීක්ෂණ සිදු කිරීම සඳහා දිනකට මිලියන අටසීයක් පමණ වියදම් කරන රටක්, සංචාරක ව්‍යාපාරයෙන් ඊට ලැබෙන මුදල පෞද්ගලික රෝහලකට බැර කර තබන්නේ මන්ද යන වග සෞඛ්‍ය බලධාරීන්ගේ අවධානයට ලක්විය යුතුය. මෙම විදේශිකයන්ගේ PCR පරීක්ෂණ පෞද්ගලික අංශයට යොමු කිරීම සඳහා සෞඛ්‍ය බලධාරීන් තීරණය කරනු ලබන්නේ, එකී පෞද්ගලික රසායනාගාර සමඟ අනියම් සම්බන්ධතා පවත්වා ගැනීම හේතුවෙන් බව අපි ඍජු ලෙසම චෝදනා කරමු.
ජාත්‍යන්තර ගුවන්තොටුපළේ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් පිහිටුවා ඇති PCR රසායනාගාරය අද ලෝකයේ ප්‍රධාන පෙළේ රසායනාගාරයක් ලෙස ස්ථාපිතව තිබියදී, ඉතාම කෙටි කාලයකින් ලොව පිළිගත් වාර්තාවක් ලබා ගැනීමේ හැකියාව තිබියදී, දිනකට PCR පරීක්ෂණ 4000 ක පමණ ප්‍රමාණයක් ආවරණය කිරීමට හැකියාව තිබියදී, ඒ හා සමග සංසන්දනය හෝ කරන්නට නොහැකි පෞද්ගලික රසායනාගාරයට එම වගකීම ලබාදීම පිළිබඳව අපට ඇත්තේ ජුගුබ්සාජනක සිතිවිල්ලකි.
එසේම, නව ප්‍රභේද හඳුනා ගැනීම සඳහා මේ වන තුරුත් සෞඛ්‍ය අමාත්‍යාංශය අත්‍යවශ්‍ය රසායනාගාර උපකරණ රජයේ රෝහල් රසායනාගාර වෙත ලබා නොදෙමින්, සිටින්නේ කුමක් නිසාද යන වග තවදුරටත් තේරුම්ගත නොහැකි අත්භූත තීරණයකි. නව ප්‍රභේද හඳුනා ගැනීමේ, ජාන අනුක්‍රමික විශ්ලේෂක යන්ත්‍ර ලබා ගැනීමට අප උත්සාහ කරන ලද සෑම අවස්ථාවක්ම සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඇතැම් බලධාරීන් විසින් ව්‍යාර්ථ කොට ඇත. එසේම වසංගත රෝග අංශයට වගකියන ප්‍රධානීන් දිගින් දිගටම මාධ්‍යයට කරන ලද ප්‍රකාශවලින් හැඟීයන්නේ තවදුරටත් රජයේ රසායනාගාර සේවාව තුළ එම හැකියාව වර්ධනය කිරීම පිළිබඳව ඔවුන් අකමැත්තක් දක්වන බවය.
තත්වය එසේ තිබියදී රජයේ වියදමෙන් එක්තරා විශ්ව විද්‍යාල රසායනාගාරයක් සදහා පමණක්, ජාන අනුක්‍රමික විශ්ලේෂක යන්ත්‍රයක් ලබා දී තිබීම ඊටත් වඩා අපැහැදිලි ය.
එම ජාන අනුක්‍රමික විශ්ලේෂක යන්ත්‍රය රජයේ වියදමින් ස්ථාපිත කරන කරගන්නා ලද විශ්ව විද්‍යාලයේ සමහර බලධාරීන්, නව ප්‍රභේද හඳුනා ගැනීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයට 'අවිධිමත් PCR ක්‍රම" යෝජනා කරමින්, රජයේ රසායනාගාර තුළ එම හැකියාව වර්ධනය කිරීමට බාධා කරනු ලබන්නේ කිනම් අරමුණක් හේතුවෙන් ද යන්න පිළිබඳව ද අප අවධානයෙන් සිටිමු.
කෙසේ නමුත් නව සාමාන්‍යකරණයක් යටතේ රට යථා තත්ත්වයට පත් කරන්නට අවශ්‍ය නම් ඒ සඳහා රජය සහ සෞඛ්‍ය අමාත්‍යාංශය ගනු ලබන තීරණ වල පැහැදිලි බවක් පැවතිය යුතු අතර විවිධ පුද්ගලයන් විවිධ ආකාරයට කොරෝනා මර්ධන නීති වෙනස් කිරීමක් මහජනතාවට ඒත්තු ගැන්වීම තුළින් අප මෙම පාලන ක්‍රමය බරපතළ අර්බුදයට ලක් කරනු ඇත.
වෛද්‍ය රසායනාගාර සේවාව පාර්ශවයෙන් සැලකීමේදී බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලෙහි රසායනාගාරය තුළ සියලු විදේශිකයන්ගේ සහ ආගමනිකයන් ගේ PCR පරීක්ෂණ කටයුතු සිදුකරමින්, වාර්ථාවන ආසාධිතයින්ගේ ප්‍රභේද හඳුනාගැනීමේ ජාන අනුක්‍රමික විශ්ලේෂණයන් සිදු කිරීමේ පහසුකම් ස්ථාපිත කරමින්, අවශ්‍ය වන්නේනම්
ඉතා විධිමත් ම මෙය කටයුත්ත සිදු කළ හැකිව ඇත.
එසේම මෙම PCR පරීක්ෂණ මගින් ඉපයිය හැකි ආදායම පෞද්ගලික රෝහලක් පෝෂණය කිරීමට යොදා නොගනිමින්, දැනට අපට හිඟව ඇති ජංගම රසායනාගාර, ස්ථානීය PCR යන්ත්‍ර සහ අනිකුත් අඩුපාඩු සකසා ගැනීම සඳහා, එම මුදල් යෙදවීම පවා සිදුකළ හැකිය.
එනයින් අප රජයේ සහ සෞඛ්‍ය බලධාරීන්ගේ අවධානයට යොමු කරනු ලබන්නේ නව සාමාන්‍යකරණය සඳහා මීට වඩා විධිමත් හා බලපෑම් වලට නතු නොවන ක්‍රමයක් සඳහා තීරණ මෙහෙයවන ලෙසය. එසේ නොමැති වුවහොත් වසංගතයක් ලෙස රෝග පාළණය කර ගැනීම කෙතරම් වාසනාවක්ද යන්න පසක් කරවමින්, වසංගතය ව්‍යසනයක් දක්වා වර්ධනය වීම වැළැක්විය නොහැකි බව අප සිහි තබා ගත යුතුය.
රවි කුමුදේශ්, සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය