ලොව පතළ රාජ්‍ය තාන්ත්‍රිකයන් හා පරිපාලකයන් මතු නොව මැතිවරණ පිලිබඳ ලියූ පතපොත ද සොයා දෙස් විදෙස් මඟ දෙපස පිහිටි කුඩා කුඩා පොත්ගුල් හා පොත් සල්පිල් පීරූ යුගයක් ද අපි පසුකළෙමු. කොවිඩ් ව්‍යවසනය, එකී නිදහස් සංචරණ රටාව උඩුයටිකුරු කර දැමුවේය. එනමුදු අගනා මිණිමුතු ලොක්ඩවුන් සමයක වුව මතු විය හැකිය. එලෙස මෙරටේ පළමු ලොක් ඩවුන් කාල සමයේ එළිදුටු අගනා මිණකි ලයනල් ප්‍රනාන්දුගේ කෙටි ස්වයං චරිතාපදානය. ලොව කවර පරිපාලකයෙකු වුව සිදුකරන සිංහාවලෝකනයකදී හමුවිය හැකි අගනා අත්දැකීම් සමුදායක් සංගෘහිත ඉන් විහිද පැතිර යන්නේ ලයනල් ප්‍රනාන්දු ජීවන අන්දරය පමණක් ම නොවේ. කෘතහස්ත පරිපාලන වේදියෙකු සුමට හෝ කටුක වේවා ඒ සැම කල්හිම එක්සිත්ව රැකගත යුතු අදීන පෞරුෂයේ විචිත්‍රවත් කතාන්දරයයි.
කරුණු එසේ වුවත් මෙම සටහන සැබවින්ම ලයනල් ප්‍රනාන්දු හා බැඳුණක් නොවේ. ඔහුගේ ස්වයං චරිතාපදානයේ සඳහන් 'A Man for All Seasons' සලරුව ගැන සිහිකොට විවුර්ත ඇරයුමක් කිරීමයි. පෞද්ගලික මිත්‍ර සංථවයක් නැතත් ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමයේ (සාසා) අදියුරු මාතර දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් රත්නායක මහතා වෙත කරුණාමුසු දයාවෙන් සිදුකල යුතුව පවතින ඇරයුමක් ඇත. එනම් සෝභාමත් වූ පියකරු සන්ධ්යාභාගයක නිදහස් මනසින් ඉහත කී සලරුව නරඹන ලෙසයි.
මෙකී ජනකාන්ත චිත්‍රපටයේ නමින්ම වෙන්කොට ඇති පරිච්ජේදයක් පුරා ලයනල් ප්‍රනාන්දු ස්මරණය කොට ඇති සිදුවීමේ පාත්‍ර වර්ගයා වන්නේ ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායක. ඔහු අසහාය බලයක් ලත් සමඟි පෙරමුණ ආණ්ඩුවේ සුක්කානම කරකවන්නා බවට පත්වුණේ තමන් ලත් ප්‍රබල අමාත්‍ය ධූර ඔස්සේ පමණක් නොවෙයි. තමන් අභිමුඛයේ සිටින කිසිදු තැනැත්තෙක් අභියස නම්‍යශීලී භාවිතාවක් පළ නොකළ දෘඪතර නායකයෙක් ලෙස. ලයනල් ප්‍රනාන්දු එවකට රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ ස්වදේශ කටයුතු අමාත්‍යංශයේ සහකාර ලේකම්වරයෙක්. ඔහු තමන් පිළිපැදීමට නොරිසි නියෝගයක් ප්‍රතික්ෂේප කරන ලද උපායශීලි ප්‍රසන්න විලාශය අත්‍යන්තයෙන්ම අනගිභවනීයයි. එහි වැඩිමනත් වතගොත අදාළ ග්‍රන්ථය පරිශීලනයෙන් උගත හැකියි.
සැබවින්ම කවරෙක් නැතත් මෙරටේ මෙම පාඩම යස පදමට ධාරණය කරගත යුතු මාණ්ඩලික නිළධරයා වන්නේ ප්‍රදීප් රත්නායක. ඊට ආසන්න හේතු බොහොමයි. ප්‍රමුඛතම කරුණ වන්නේ දිවයිනේ කිසිදු කලෙක විද්‍යමාන නොවූ අවරෝහණයක් මෙරටේ රාජ්‍ය සේවය තුළින් ප්‍රදර්ශණය වීම. රාජ්‍ය සේවයේ යම් නැග්මක් වේද ඉන් පරිපාලන සේවා නිළධරයන් යම් කිතු යසසක් ලබන්නා සේම එහි බැස්ම හමුවේත් එල්ලවන නින්දා අපහාස විඳින්නටත් ඔවුන් හුරුපුරුදු වියයුතුයි. ඒ ඔවුන් මෙරටේ ප්‍රමුඛතම සේවාව ලෙස ස්වයං නාමෝපලක්ෂිත නිසාම නොවෙයි. 'සේවය පළමුව' යැයි උදාන පාඨයක් සමඟ සමාජගතවන නිසා.
අප දෙමළ ජාතික සුමිතුරන් අතර ප්‍රකට දමිළ භාෂාගත පිරුළක් මෙහිලා දැක්විය යුතුයි. එනම් 'කුඩල් කායියන්දාල්,කුදිරෛයුම් වෛක්කෝල් තින්නුම්' යන්නයි. එහි පදගතාර්ථය වන්නේ 'බඩ වේළුනාම අශ්වයාත් පිදුරු කයි'යනුයි.
මින් දෙවසරක් ඉකුත්ව යන තැන නිසැකවම පරිපාලන සේවා නිළධරයන් ප්රමුඛ අනෙකුත් සේවා බොහොමයක විධායක නිළධරයන් සමූහය වෙතම සිදුවන්නේ අශ්වයාට සිදු වියහැකි සංතෑසියමයි. මින් වැඩිම විපත සිදුවන්නේ පරිපාලන සේවාවට බව නොදන්නා එකම වියපත් තැනැත්තා සාසාවේ සභාපතිවරයා වියහැකි බවයි අපගේ උපකල්පනය.
සැබවින්ම පරිපාලන සේවාව මෙම ගෙවීයන මොහොතේ පසුවන්නේ මරණ තුනක් අභියස කලදවස ගෙවූ මිනිසාගේ ඉරණමට සමාන දුක්ඛිත එහෙත් ත්‍රාසජනක නිමේෂයක. එක් පසෙකින් විශ්‍රාමික හා සක්‍රීය සේවයේ පසුවන යුධ හමුදා ප්‍රධානීන්. ඇත්තටම අමාත්‍යංශ ලේකම්වරුන් තම නිධන්ගත රෝගයකට වුවත් ප්‍රතිකාර ගැනීම උදෙසා රෝහල්ගත වීම පවා මෙකල අනතුරුදායක විය හැකියි. ඔහු හෝ ඇය යළිත් තම අසුන කරා පැමිණෙන විට රණවිරුවෙක් එහි ආසනාරූඪව සිටීමේ විභවතාවක් පැවතීමයි ඊට හේතුව. අනෙක් පසින් ජනාධිපති ලේකම්වරයා. රටෙහි ඉහළම පරිපාලකයා ලෙසින් ජනාධිපති කාර්යාලයේ ඔහු අසුන්ගන්නේ කලකට පසුව එකී ධූරයට පරිපාලන සේවාවෙන් පරිබාහිරව පත්වූ පරිපාලකයා ලෙසින්. එබැවින් ජයසුන්දර චරිතය ඔස්සේ විහිද පැතිර යා හැකි අසුන්දර මෙන්ම අප්‍රමාණ කුඩුකේඩුකම් හා ප්රතිවිරෝධතා සමුදායක් සමඟ පොරබදන්න පරිපාලන සේවාව හුරු විය යුතුයි. අනෙක් පසින් තම සේවාව තුළම පවත්නා දීන ගති සිරිත් හා නිහීන චර්යාවන්. එය දැන් දැන් සමස්ත දෙරණතට ම පොදු ලක්ෂණයක් වුවත් පරිපාලකයෙක් තවත් පරිපාලකයෙකුගේ බෙලි කැපීම උදෙසා දශක ගණනාවක් තිස්සේ අනුදත් ව්‍යාභිචාර හා විශ්මිත ශිල්පමාලාව විශ්මිතයි, එහෙත් ජුගුප්සාජනකයි.
ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවය උසුලන විධායක ශ්‍රේණියේ නිළධරයන් අතර 2,800 කට ආසන්න නිළධරයන් පිරිසක් පරිපාලන සේවාවේ නයුවන් ලෙස සාමාජිකත්වය දරන සුපතළ සංගමයේ අරමුණු ගොන්නක් පැවතියත් එහි පරම ආධ්‍යාශය වන්නේ තම සේවාවේ ප්‍රමිතිය ඉහළ නංවමින් අයිතීන් රැකගැනීම උදෙසා සාමාජික භවතුන් වෙත සහය වීම. අදට සිදුනොවන එකම දේත් එයම තමයි. එහි ක්‍රියාකාරිත්වය රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය සේ කන්න සිතුන විට කබරයා වුව තලගොයා වැනි පිළිවෙතක් නොවූවාට කම් නැහැ. එහෙත් අඩුතරමින් ජානගත දුබලතාවක් නිසාවෙන් අත්හැර ගත නොහෙන වන්දිභට්ට දේශපාලන පිළිවෙත මැද්දේ වුවත්, මුරුත්තෙට්ටුවේ ආනන්ද වැනි වෘත්තීය සමිති නායකයෙක් අඛණ්ඩව තම සංගමයේ සාමාජිකාවන් වෙනුවෙන් සිදුකරන පෙනී සිටීම වුවත් ආදර්ශයට ගැනීම වරදක් නොවෙයි. මෙවැනි සංගම් කලක් පැවතියේ තම පැලැන්තියේ තත්වය සුරැකීමට. එහෙත් දැන් දැන් එය හුදු රාජ්‍ය සේවයේ තම තනතුර රැකගැනීමේ සටනක් බවට පත්වීම දොම්නස හා ඉච්ජාභංගත්වය දනවන්නක්. සාසාවේ සභාපතිවරයා වීම හා මාතර දිස්ත්‍රික් ලේකම්ධූරය අතර යම් සබැඳියාවක් තිබේදැයි අවැසිනම් යමෙකුට විමසිය හැකියි.
රාජ්‍ය සේවය උදෙසා වන ප්‍රතිසංස්කරණ පැකේජය ජනගත වියයුත්තේ නිළධරයන් අතරින් මිසක් 'සිස්ටම් චේන්ජ්' ලෙසින් හඳුන්වා සිදුකරන ව්‍යාජ පිළිසඳරවල් හමුවේ ධනහානි කරන පාලකයන් මතින් නොවෙයි. යටත් පිරිසෙන් තම අපේක්ෂාවන් හෝ නිවැරදිව කෙටුම්පත් කොට සමාජ සංවාදයක් ඇරඹිය නොහැකි පරිපාලන සේවා නිළධාරීන්ගේ සංගමය, ගමේ ගොඩේ අහම්බෙන් රැස්වන ළිඳළඟ සංගමය තරමේ හෝ අධිෂ්ඨානයක් හා ප්‍රතිභාවක් නොදැක්වීම අඳුරු අනාගතයක් වෙත කෙරෙන නිහඬ ඇරයුමක් වැනියි. ලයනල් ප්‍රනාන්දු ෆිලික්ස්ලා සමඟ හැප්පුනේ ඇඟේ හයියෙන් නොවෙයි. අවස්ථාවෝචිත දැනුම හා පරිපාලන වේදයේ අසීමිත ප්‍රාගුන්‍යය තුළින්. එබැවින් සාසාව දැන්වත් තම සිසිර නිද්‍රාව පසෙකලා වහා ඇහැරිය යුතුයි. යටත් පිරිසෙන් එකී සංගමය වටා රොදබැඳ ගත් තරුණ පරිපාලකයන් වෙත මඟ හෙළි කිරීම සභාපතිවරයා පෞද්ගලිකව දැරිය යුතු ප්රයත්නයක් සේ සැලකිය යුතුයි.
පරසිදු ධම්ම පදයේ අප්‍රමාද වර්ගය උපදෙස් දෙන්නේ 'මා පමාද මනු යුංජේත' හෙවත් පමාවෙන් කල් නොයවව්' යනුවෙනුයි. රත්නායක මහත්මා දැනුත් හොඳටම ප්‍රමාදයි. එහෙත් ධෛර්යයක් හා එඩියක් තිබේනම් ඔහුට තවමත් පුළුවන් 'A Man for All Seasons' කෙනෙක් වෙන්න!.
මංජුල ගජනායක